Saturday, April 19, 2008

සිංහරාජය ‍ලෝක උරුමයක් නොවේ ??

අද පත්තරවලත් පහු ගිය දිනවල විද්‍යුත් තැපෑලෙනුත් සිංහරාජය ‍ලෝක උරුමයක් ලෙස නම් කිරීමට ඡන්දය දෙන මෙන් ඉල්ලීම් ගණනාවක් ලැබුණා. දැන් අපේ පරිසර ඇමැත්තා පවා එහෙම ඉල්ලීම් කරනවා..

නමුත් ලෝක උරුමයන් ගැන මෙහෙම කතාවකුත් තියෙනවා..

මේ අබය ආර්යසිංහ මහත්තයා 2006දී කියපු කතාවක්....

අපේ රටේ කිසිවක් ලෝක උරුමයක් නොවේ...

යූනෙස්කෝ ආයතනය කලින් කලට ලෝකයේ ඇති පැරණි නිර්මාණ හා ඇතැම් ස්වාභාවික වස්තූන් ලෝක උරුම ලෙස හඳුන්වා දීමට තැත් කර තිබේ. මේ කාර්යයේදී ඔවූන් "ලෝක උරුමය" යනූ හරිහැටි තේරුම් කර ගෙන නැති බව පෙනේ. කිසියම් නිර්මාණයක් ලෝක උරුමයක් ලෙස හංවඩූ ගැසූ විට එය එම රටට දුන් කීර්තියක් සේ ගණන් ගැනීමට සමහරු පූරුදු වී සිටිති. මෙය අතිමහත් රැවටීමකි. තමන් සතු දෙයකට උරුම කීමට ලෝකයාට අත වැනීමකි.

ලෝක උරුමයක් ලෙස පිළිගත හැක්කේ එම නිර්මාණය කළ ජාතිය හෝ ඉන් පැවතෙන ජනතාව එම රටෙි තවමත් ජීවත් නොවූවහොත් පමණි. ඉන්දුනීසියාවේ පිහිටා ඇති බෝරෝ බූදූර් බෞද්ධ විහාරය එහි අතීතයේ පදිංචිව සිටි බෞද්ධයන්ගේ අද්විතීය නිර්මාණයකි. එම රට ඉස්ලාම් ආගමික රටක් වූයේ ඉන් බොහෝ කලකට පසූය. නියම නිර්මාණකරුවෝ හෝ ඔවූන්ගෙන් පැවතෙන්නන් හෝ දැන් එහි නැත. සම්මතය අනූව මේ බොරෝ බූදූර් ඉන්දුනීසියාවට අයත් වූවත් සංස්කෘතිය අතින් එය සමස්ත ලෝකයාටම අයත් යැයි පිළිගැනීම වරදක් නැත. එහෙයින් එය "ලෝක උරුමයක්" සේ නම් කිරීම මැනවි.

චීන මහා ප්රාකාරය චීන ජනතාවගේ නිර්මාණයකි. එම ජාතියෙන් පැවත එන්නෝ කෝටි ගණනක් දැන් එහි වාසය කරති. එබැවින් චීන මහා ප්රාකාරය චීන ජාතික උරුමයක් විනා ලෝක උරුමයක් නොවේ.

ශිෂ්ට ලෝකයා විශ්මයට පත් කරන නිර්මාණ කීපයක් සිංහලද්වීපයේ තවමත් ඉතිරිව තිබේ. රුවන්මැලිසෑය, අභයගිිරිය, ජේතවනය වැනි ස්තූප ද සමූදුර පරයන පරාක්රම සමූද්රය වැනි වැව් ද සීගිරිය වැනි විශ්මයජනක රාජධානි ද කරවූවෝ එකල සිටි සිංහලයෝය. මෙයින් අන්තිමට සඳහන් කළ සීගිරිය තෝරාගෙන එය ලෝක උරුමයක් කියා හංවඩූත් ගස්සා ගත්තෝ අවියත් සිංහලයෝය. ඒ මදිවාට සීගිරිය අටවන පූදුමය ලෙස කියවා ගන්නට වෑයම් කළේ එබඳුම අවිචාරවත් සිංහල ඇමැතිවරයෙකි. මේ උත්සාහය එතුමාගේ මනසට පමණක් සීමා වී තිබේ.

සීගිරියට ළඟාවන පාරවල සංස්කෘතික ත්රිකෝණය හිටූවා ඇති ලෝක උරුම බෝඩ් සියල්ලම ගලවා ගිනි දෙවියාට පූද කළාට වරදක් නැත.

සිංහරාජ වනය ද ලෝක උරුමයක් ලු. එය සිංහල පොළෙවේ සාරය උරාගෙන වැඩූන ගණ මනහර වනයකි. සිංහලයා එය රෝපණය කළේ නැත. එසේ වූවත් පෙර කී සේම යූනෙස්කෝව කියන පරිදි ලෝක උරුමයන් නොවන බව දතමනාය. කොටින් කියතොත් අප රටෙි ඉතිරිව ඇති කිසිම නිර්මාණයක් ලෝක උරුම නොවේ. ඒවා හූදු සිංහල උරුම වේ.

මහාචාර්ය අබය ආර්යසිංහ

2006 ජුනි

යන රැල්ලත් එක්ක යන්නේ නැතිව දැන් මේ කියන කාරණය ගැනත් හිතා බැලුවොත් හොඳය කියන එකයි මගේ නම් හැඟීම.
--


1 comment:

ඔහේ said...

ලොකු රැලි ඇහැට පෙනුනත් පොඩි රැලි පෙනෙන්නෙ නැහැ.