Wednesday, May 23, 2012

'S' නැතුව 'සරසවි'යේ පීනන ශ්‍යාම්..

තුසිතයි මායි නුගේගොඩ සරසවියට ගියා..
අවුරුදු කීපෙකට පස්සෙයි සරසවියට ගියේ. අළුත් නවාතැනට යන මගේ පළමු විසිට් එක. පොත් ගොන්නක් දකිද්දි ආසාවෙ බෑ.. ඒත් අත්‍යවශ්‍ය කාරණයකින් පස්සේ මං පහළට ගිය ගමන් නිකමට වගේ විමසීමක් කළා. ඒ මං මීට කලින් වතාවක කියලා තිබුණ පොතක් ගැන..

..ශ්‍යාම් සෙල්වදුරෙයිගෙ ස්විමින් ඉන් ද මොන්සූන් සී තියෙනවද ?
.. මේකෙ ඉන්නෙ ෆොරීන් ලේඛකයො විතරයි. ලංකාවෙ අය නෑ..
..නෑ එයා ලංකාවෙ ඉපදුණාට ඉන්නෙ පිටරට තමයි..
හතරවෙනි තට්ටුවෙන් බැලුවෙ නැද්ද?..
නෑ..ටිකක් අහනවද ? ඔයාල ගාව එයාගෙ පොතේ සිංහල පරිවර්තනය තියෙනවනෙ..

මද වෙලාවක් පරිගණකය පිරික්සා දුරකතන ඇමතුමක් දෙමින්..

..නෑ මිස්..
.. නෑ බලන්නකො..ස්විමින්..එස් ඩබ්ලිව් අයි ඩබල් එම් අයි එන් ජී.. ස්විමින් ඉන් ද මොන්සූන් සී...

නැවතත් දුරකථන ඇමතුමේ සිටිමින්..

..නෑ මිස් ඒක වැරදියි.. ඒකට එස් එකක් නෑ.. ඒක පටන් ගන්නෙ ඩබ්ලිව්වලින්... විමින් ඉන් ද මොන්සූන් සී..
එයා මාව හෙන මෝඩයෙක් කරන බැල්මකින් මා දිහා බලලා කිව්වා.
මං තුසිතා දිහා බැලුවා.. එයා මං දිහා බැලුවා..

..ඒක තියෙනවද ?

ඔව්. හතරවෙනි තට්ටුවට යන්න.  අපි ලිෆ්ට් එකට ගියා.
.. පීනන්නෙ කොහොමද එස් නැතුව?.. මං තුසිතගෙන් ඇහුවා..
..අනේ මන්ද.. අනික මුහුදෙ..
තුසිතා මගෙන් ඇහුවා..
අපි හතරවෙනි තට්ටුවට ගියා. පොත්වල භාරකාරියන් දෙන්නෙක් කතාවක.

.. මං පහළ ඉඳන් කෝල් කරල පොතක් හෙව්ව. ඒක තියෙනවද ?..

විමින් ඉන් ද මොන්සූන් සී ඕන නැති නිසා මං පොතේ නම නොකියා දීර්ඝ විස්තරයක් කරලා පොත ඇහුවා.

.. ආ අර තියෙන්නෙ මිස් මේසෙ උඩ..



මං පොත ගත්තා.. මට හිනා ගියා.. දුක හිතුණා.. ලිෆ්ට් එකට හැරිලා ගිහිල්ලත් පොඩි කේන්තියකුත් ආව නිසා මං ආයි ආවා..

..මිස් ඔය දෙන්නගෙන් කවුද ඒ කෝල් එකට ආන්සර් කළේ..
..මම.. ඇයි ?..
 මං පොත පෙන්නුවා..
..මේ..මේකෙ එස් එක තියෙනවනේ.. මේකෙ නම ස්විමින් ඉන් ද මොන්සූන් සී.. මේ දෙවෙනි පිටුවෙත් තියෙන්නෙ...

..ආනේ...... මං එස් එකක් දැක්කෙම නෑ...

එයා ..............හයියෙන් හිනාවෙලා කිව්වා...

මට හිනා ආවෙ නෑ.

දැන් කියන්න එපා.. මං මේ උපාධි අරවා මෙව්වා නැති සාමාන්‍ය කෙනෙක්ගේ ඉංග්‍රීසි දැනුමට හිනා වුණා කියලා...

ඒක ඒ තරම් සරළ නෑ.

ඒත් අනෙක් අතට.. ලංකාවේ පෙළ පොත් පවා ගහන්නේ වගකීමකින් තොරව නම්, පොතක් විකුණන තැනක  වෙළඳ වටිනාකම ඇරෙන්න අනික්වා ගැන මොන වගකීමක්ද ? නේද ?

Tuesday, May 15, 2012

Halloween වෙසක් !

වෙසක් ආවා. වෙනද වගේ ගෙදර ගිහින් කූඩු හදන්න බැරිවුණා.. ඉන්න ගෙදරවත් පහනක් පත්තු කරන්න බැරිවුණා.

වෙසක් එකට දවසකට කළින් ගෙදරට කෝල් එකක් ගත්තා. 
..නංගි කෝ ..
මං හිතුවේ.. වෙසක් කූඩු හදන්න ඔයා එනකන් නංගියි මල්ලියි බලා ඉන්නවා.. කියල චූටි අම්මා කියයි කියලා. ...එයා කූඩුවක් අලවනවා පුතේ.. ඒ වෙනුවට චූටි අම්මා කිවුවා.. 
..ආ...
මට කියන්න දෙයක් හිතාගන්න බැරිවුණා..
කූඩු කඩෙන් ගෙනාවද ?
නෑ.. නංගි හැදුවා කාඩ්බෝඩ්වලින්..මල්ලිට ස්කෝලෙ ගෙනියන්න කඩෙන් කූඩුවක් ගෙනාවනෙ. එයා ඒක බලන් හැදුවා..
..ආ...
බල්බ් දැම්මද ? 
ඔව් බාප්පා අළුත් බල්බ් වැලක් හයි කළා.. 
..ආ...
මට හෙනම තෝන්තු ගතියක් දැනුණා.. ඉතින් මාව ඕන වෙලා නැහැනේ කාටවත්. වෙසක් එකට ගෙදර යන්න හිතන් හිටි එකෙත් නිකන් හෙළවෙන ගතියක් දැනුණා..දුක හිතුණා.. මෝඩ  කඳුළු බිංදුවක් ළාවට ඇහැ පිහදාගෙන ගියා වගේ දැනුණා..මං හිතන් හිටියේ මං  හිටපු තැන හිස්තැනක් ඉතිරිවෙලා ඇති කියලා.. ඒවුණාට එයාලා ඒ හිස්තැන පුරවගෙන කියලා දැනුණහම නිකන් අමුතු හැඟීමක් දැනුණා.

ඉතින් ඒ වුණාට කොහොම හරි වෙසක් එකට ගෙදර ගියා. යන්න වුණා. මොකද අපේ ඔෆිස් එකේ වෙසක් කලාපයට යන්න වුණ නිසා.. මං කලින් දවසේ කඩේ  ගිහින් සුදු ඇඳුමක් අරන් පස්සෙන්දා නංගියි මල්ලියි චූටි අම්මයි එක්කන් නිල වෙසක් ගමනට ගියා. මගේ බොස් අපිව ගේ ළඟින් බස්සලා ගියා. ගේට්ටුවෙන් ඇතුළට එනකොට අයියලා අක්කලා පොඩි කලබලයක. අපේ මලයව දැක්ක ගමන් කෑ ගැහුවා.. 
අපි අයිස්ක්‍රීම් දන් සලක් දෙනවා එන්න එන්න කියලා. ඉතින් ඒක පටන් ගන්න වෙලා යන නිසා මං ඇහුවා මගේ ටීම් එකෙන්.. අපි යංද පන්සල්..එනගමන් දන්සැල් වඳිමු..කියලා. ඒවා ඉතින් කටින් පිටවෙනකොටම ස්ථිර වෙන නිසා අපි පන්සල් ගිහින් පාඩුවෙ කාලය ගෙවලා සුපුරුදු බ්‍රව්න්ස් දන්සලෙන් අයිස්ක්‍රීම් කාලා ඊට එහා දන්සලෙන් උණු සව් කැඳ බීලා ඉසිපතන වෙසක් කලාපයේ කුඩ තොරණයි, මට අනුව නම් හෙනම ග්‍රාම්‍ය විදිහට හදලා තිබුණ දික්තල-කාලගෝල රූකඩ කතාවෙන් ටිකකුයි, ඉසිපතන තොරණයි, ස්කෝලවල කූඩුයි බලාගෙන ගෙදර ආවා.. 

දෙවෙනි දවසේ අපේ ඉසම්මා (එයාගෙන් නම ඇහුවම කියන්නෙ එහෙමයි) එයාගෙ අම්මයි තාත්තයි මාලයි එක්ක ආවා. ඉතින් මාලා දන්සැල් වැඳලා නැති නිසයි, මගේ ටීම් එකේ පොඩි මෙම්බර්ට හා මට ගංගාරාමෙ වෙසක් බලන්න ආසාවක් තිබුණ නිසයි අපි ගංගාරාමෙ ගියා. 
පිත්තල හන්දියෙන් වෙසක් කලාපය පටන් ගන්න තැනම අයිස්ක්‍රීම් දන්සලෙන් දියවීගෙන යන අයිස්ක්‍රීම් කකා අපි ඇවිදගෙන වෙසක් කලාපයට ගියා. මම මල්ලිගෙ ්අතින් ඇදගෙන. මාලා නංගිගේ අතින් අල්ලගෙන. චූටි අම්මා අපි පස්සෙන් එනවා... කලාපේ වෙසක් කූඩු අවසන් වේගෙන එන හරියෙදි ගංගාරාමෙ දූපත පේන්න ගත්තා සුරපුරයක් වගේ. ඒ කියන්නේ පාට පාට ලයිට් පිරිලා. ඒ මදිවට ලයිට් බලන්න යන්න පෝලිමක්. ඉතින් අපිත් පෝලිමට යන ගමන් දැකපු දේවල් නිසා මං හැරිලා මාලාට  කිවුවා..
.. එහෙන් මෙහෙන් අල්ලන්න ආවොත් කන රත්වෙන්න එකක් දෙන්න...
(අම්මෝ මේ වෙසක් කාලෙ නේද ? මගේ යටි හිත මට කිවුවා. මේ ඇත්තටම මම ද කියලා මටත් හිතුණා)
ඉතින් මං ආවෙ වෙසක් බලන්න මිසක් සිල් ගන්න නෙවේනෙ. ඉතින් ඉවසීම කොහෙන්ද ? එක්කෝ ඒ  පරිසරය විසින් හික්මුණු සිතිවිලි අයින් කරලද මන්දා.. නිකන් නොතේරෙන සිතිවිලි අවුල් ජාලයක් ඒ වෙසක් කලාපයේ තිබුණා..
අයියෝ මේ සල්ලි නාස්තියක්. තනිකරම කානිවල් එකක්නේ මේ වෙසක් කියලා කරන්නේ.. හිත කිවුවා.
ඉතින් ෂෝක්නෙ. මේ දවසට නරක දේවල් නොකර නොහිතා මේ වගේ තැනකට ඇවිල්ලා හිත සන්තෝස කරගන්න එක. වෙසක් වෙන්නත් ඕන ඉස්සරහට මෙහෙම තමයි.. හිතේ අනික් පැත්ත කිව්වා. මං ගන්නේ කොයි පැත්තද කියලා මට විශ්වාස කරගන්න බැරිව ගියා..
අපි දූපතේ රවුමක් ගහලා කණ්ඩියක් උඩට ඇවිත් ඇණ තියාගත්තා. මාලයි චූටි අම්මයි ගියා නූඩ්ල්ස් ස්ටෝල් එකට පොරකාලා අපිට නූඩ්ල්ස් ගේන්න. එතකොට රෑ 11ට විතර ඇති. අපිට හොඳටම බඩත්ගිනි.
එහෙම ඉඳන් ඔන්න මං පීපල් වොචින් කරන්න පටන් ගත්තා.. මෙන්න එනවා කට්ටි කට්ටි. පවුල් පිටින්. රංචු පිටින්. 

පිරිමි ළමයි මෙන්න මේවා දාගෙන..  

ගෑණු අය මෙන්න මේවා දාගෙන  
මාරයි වෙසක් ! මට හිතුණා.. පොඩි ළමයින්ගේ ඔලුවල දිලිසෙන රතුපාට අං තට්ටු. තව රතු දිලිසෙන ලෝගු ඇඳපු කොල්ලෝ...වෙසක් එක කානිවල් එකක් (වුණ) නිසා සර්ව ආගමික අය පාරට බැහැලා..කනවා බොනවා..කාපු බීපු රොඩු පාර පුරා වීසි කරනවා.. ඒ අස්සේ පොඩි කෙල්ලෝ කොල්ලෝ ජෝඩු පිටින් ෆැන්සි ඩ්‍රෙස් ඇඳන්, පාර්ටි ඩ්‍රෙස් ඇඳන් පොඩි පොඩි ආදර කතා බහ... (කොහොම ගෙවල්වලින් ආවද මන්දා මේ වෙලාවට - ආයිත් මට සාම්ප්‍රදායික ප්‍රශ්න)
මේක තමයි වෙන්න ඕන..... ආයිත් මට හිතෙනවා...
මේක තමයි හැලොවීන් වෙසක්... මං හිතනවා..
හරිනේ..හැලොවීන් කියන්නෙත් සාන්තුවරයින්ගේ දවසක්ලුනේ.. ඒ අතින් ගත්තත් අපි  සමානයි. නපුරු ආත්ම පලවා හරින දවසක් කියලා කියනවානේ... ඒකත් ටිකක් සමානයි. මොකද අපි වෙසක් පෝයට සිල් සමාදන් වෙලා හිත- කය- වචනය සංවර කරගෙන කරන්නේ ඒ වගේ දෙයක්නේ.....මේ වෙනකොට නෝක්කඩුවක් තියෙනවා හැලොවීන් තියෙන රටවල්වලත් දැන් ඒකෙ තේරුම වෙනස්වෙලා..පොඩි ළමයි එක එක විදිහේ ඇඳුම් ඇඳන් ගෙයක් ගානේ ගිහින් ට්‍රික් ඔ ට්‍රීට් කරනවා කියලා... ඉතින් ඒකමනෙ දෙයියනේ මේ ඇස් පනාපිටම වෙන්නේ... අම්මලා තාත්තලා ළමයින්ට මාස්ක් අරන් දීලා .. අං පළන්දලා... විසිතුරු අන්දවලා වෙසක් දවසට එළියට එක්කන් එන එක.... ආයෙ වෙන මොනවද.
අනික හැලොවීන් වට්ටක්කා ගෙඩි හාරලා ඉටිපන්දම් ගහන එකයි, වෙසක් කූඩු සරසලා ඉටිපන්දම් ගහලා එල්ලන එකෙයි සමාන කමක් නැද්ද ?
අනික හැලොවීන් එකට බය හිතෙන රූප, ඇඳුම් හැම තැනම. මේ වෙසක් කූඩු ගාවත් යක්ෂ ඒ කිව්වෙ මේ සිංහල යක්කු නෙවේ අර රූපෙ ඉන්න වගේ මූණු දාලා හදපු පඹයො වගේ රූප තියෙනවා මං දැක්කා.. 
අනික වෙසක් බලලා අපි පයින්ම කොම්පඤ්ඤ වීදිය හරහා සලාකා පහු කරලා ටවුන් හෝල්වලට එද්දි ඉලන්දාරි සෙට් එකක් අර උඩ තියෙන මූණ දාගෙන ඇඟට පනිනවා. ඉතින් ඒකත් හැලොවීන් යාතු කර්මයක් නෙවෙයිද ?(මගේ ඇඟට පනින කොටම මං නැවතිලා අත දික් කළ පාරට කට්ටිය සසල වුණ එක වෙනම කතාවක්- අම්මෝ වෙසක් එකට තරහව..)
ඉතින් ගංගාරාමෙ වෙසක් කලාපෙට ගියාම නම් මට වෙසක් කියලා මෙතෙක් කල් දැනුණ හැඟීම් එකක්වත් දැනුණෙ නෑ.. ඒ නිසා මං ඒක ට සුදුසු නමක් හිතුවා.. ඒක තමා උඩ තියෙන්නේ..
බෞද්ධයො මා එක්ක අමනාප වෙන්න එපා. මට කරන්න දෙයක් නෑ.. පරිසරය අනුව සිතිවිලි ගලපා ගත්තා විතරයි. ඉතින් එහෙම හිතන්න එපා නම්, ඔය වෙසක් කලාපෙ වෙනස් කරවා ගන්න. මට හිතෙන විදිහ හරිනම්.....
එහෙනම් ඉතින් අවුලක් නැහැනේ..
හැමෝටම (ගෙවුණු) ප්‍රීතිමත් හැලොවීන් වෙසක් මංගල්ලයක් වේවා !

Thursday, December 30, 2010

තනිකඩ පුංචා ගැටගසමින් ලියූ කවිය




ලොවම උර මත දරා ජීවිතේ බර රැගෙන
අඳුර සමගින් තනිව ගාටමින් එන කලට
එකම කිරි සිනාවක සියලු ළතැවුල් මැකෙන
අරුම නොදනිමි තාම නුඹ ළඟදි සිත නිවෙන

හදන්නට දරුන් නැති හිස් උකුළ සරසන්න
පිටාරය ගලා යන සෙනේ ගඟ කිමිදෙන්න
මගෙ වාසගම් නැතද මගෙම යැයි හිත කියන
මට මෙන්ම අන් හැමට මාව අමතක කෙරුව

හිස දුවනැ'ඟිලි මැද සුදු පෑය දැක සැලෙන
නෙත අගට ආ රැල්ල අත ගගා සුසුම් ලන
මට හොරෙන් මා දිහා බලා ඇතුළෙන් තැවෙන
අම්මාගෙ හිත හැදුව අක්කාගෙ දූ මැණික

Wednesday, September 8, 2010

You're the euphony of my life
හද බිඳෙන සර නුඹම වී...




හීන බිඳී හිත පෑරෙයි මතු දාක
ආල නුරාවට වැට බැඳ හිටියාට
බාල බොළඳ හිත සනසා හැම දාක
හීන මකා නුඹ නතරව මා ගාව

විලක් කර නෙතග රහසේ තෙමුණාම
මවක් පියකු සේ හිත නිවු මිතුරාන
රැයක් දී ගියද උන් හද රඳවාන
සඳක් වීය නුඹ පුර පස ප්‍රියයාණ

ගෙවා පැමිණි මග සියුමැලි නැතුවාට
දෙපා රිදී මග පැටලී වැටුණාට
තබා ලකුණු නුඹ හැරෙමින් යනදාට
හැරී නොයමි මග නිම් නැතිවාට

පතා පැමිණියෙද සසරේ හමුවන්න
කියා නොසිතුවෙමි මං නුඹ නොදකින්න
අපේ හිත් සවිය ඇතියෙන් දුර යන්න
වැටී දෙවොල නොපතමි නුඹ රැකගන්න

‍කවිය නුඹම වී දිවි පොත පිරුණාම
කවිත් අමතකව ගිලිහුණි සඳලකර
යළිත් පසු පසට , ආ මග බැලුවාම
යමක් ලියමි නැතුවද කවිකම් සුරුව

You're my brother, friend, geek, guide and many more
Thank you for being there always

My dearest love,

May your dreams reach even higher
May your step seem even mighter
May your smile strech even wider
May you have a Birthday that's never been finer !

අඳුරු හද තුළ සහන් එළි වී
හිඳින මගෙ සඳ නෙතට කැප වී
නිවනු ඇත දිවි මේ සෙනේ හී
නිබඳ නුඹ වෙත පිරිත් සර වී

HaPpY Birthday !
:-)

...

Tuesday, August 17, 2010

බැංකු ආතති

කාලෙකට පස්සේ බ්ලොග් පෝස්ට් එකක් ලියලා ඒකට ටිකක් ගැඹුරින් හිතන ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා දැක්කහම සතුටුයි. ඒවා ගැන තව ටිකක් විවේකෙන් හිතන්න හිතාගෙන අද පොඩි සටහනක් දාන්න හිතුණා.. අද වුණ දෙයක් නිසා.
කවුරුවත් දන්නේ නැතිවට ටික දවසකට කළින් මගේ තාවකාලික භාණ්ඩාගාරය සම්පූර්ණයෙන්ම හිස්වුණා.. සුනාමියක් ආවා වගේ තමයි. ආර්ථික අවපාතයකට අහුවෙලා ඉන්න අස්සේ දවසක් ඊ බෑන්කින් බලද්දි මගේ බැංකු ගිණුමට කවුදෝ ලක්ෂ 3ක් විතර දාලා... ඉතින් ටික වෙලාවක් ඒක දිහා බලාගෙන කල්පනා කරද්දි මට තේරුණා බැංකුවට වැරදිලා වෙන දෙන්නෙකුගේ චෙක් පත් දෙකක් මගේ ගිණුමට දාලා කියලා. මේක ගැන දැනගත්තු මගේ සමහර යාලුවෝනම් කිව්වේ කියන්න යන්න එපා..ඔයාට වගකීමක් නෑ.. කියලා. මහ බැංකුවේ ඉන්න මගේ යාලුවෙකුත් කිව්වේ ටිකක් සද්දෙ වහලා ඉන්න කියලා.... එදා සිකුරාදා දවසක්. කෝකටත් කියලා මං බැංකුවට කතා කරලා විනාඩි ගාණක් වේටින් ඉඳලා.. තුන්දෙනෙකුට විතර කතා කරලා..කිව්වා.. මගේ ගිණුමට සල්ලි වගයක් ඇවිත් තියෙනවා. ඒවා මං දාපුවා නෙවෙයි ටිකක් බලලා මට කියනවද මොකක්ද වෙලා තියෙන්නේ කියලා ...
ඉතින් අන්තිමට ගත්තු කෙනා හරි හරි අපි බලන්නම් කියලා දඩ බඩ ගාලා ෆෝන් එක තිබ්බා...
සඳුදා මං බලද්දි ආපහුත්... මේ බැංකුව මටත් නොකියාම..අඩුම ගාණේ ස්තූතියි කියලාවත් නොකියා මගේ ගිණුමෙන් සල්ලි මාරු කරලා. !

සුහද හදක් ඇති දේශීය බැංකුව !!
සෙනසුරාදා ම එයාලා ඒක කරලා. හැබැයි සෙනසුරාදාට මේ අය දන්න තරමින්නම් වැඩ නැහැ. අනික් අතට අපිට නොකියා අපේ ගිණුමට අත පොවනවානම්, මේ බැංකු ගැන විශ්වාසයක් තියන්නේ කොහොමද අපි? මගේ ළඟින්ම ඉන්න කෙනා නම් කියන්නේ බැංකුවට අපිත් එක්ක රහස්‍ය භාවයක් නැහැ ඒ නිසා අපේ ගිණුම්වලට එයාලාට එහෙම බලෙන්ම හොට දාන්න පුළුවන් කියලා.. ඒත් එහෙම කරනවානම් බැංකුවලට ඕනමවෙලාවක අපේ ගිණුම්වල තියෙන සල්ලි එහෙ මෙහෙ කරන්න පුළුවන්නේ... අනේ මන්දා...මේ කතාව අහපු මගේ ඇතැම් යාලුවෝනම් කියන්නේ මෙහෙම වරදින සල්ලි දාන්නේ බැංකු කළමණාකරු/බැංකුව සතු ගිණුමකලු. අයිති අය හොයන් ආවොත් තමයි ඒවා එයාලගෙ ඒවාට දාන්නේ එතකොට කියලා..
එහෙමනම් ඉතින් ඒක කොයිතරම් වැරදිද.. ආයෙත්..අනේ මන්දා..මං හිතාගෙන හිටියේ බැංකුව මට කියලා සල්ලි ආපහු අරගත්තහම නියම අයිතිකාරයා කවුද කියලා බැංකුවෙන් මමත් දැනගෙනම ඒ සල්ලි දෙන්න පුළුවන් කියලයි. කවුරුවුණත් දුක් මහන්සියෙන් හම්බු කළ සල්ලි වෙන්න ඇති නේද කියලා ඒක මගේ ගිණුමේ තියෙනකම්ම මට හිතුණා. දැන් ඒක ඉවරයි. ඒවා නියම කෙනාට ගියාද කියලා දන්නේ බැංකුව විතරයි.

අද (16 සඳුදා)..
මම රෑ බත්තරමුල්ලේ පෙට් එකට ගියා.

ඒක ඇතුලේ ඉන්න මනුස්සයා වීඩියෝ ගේම් එකක් ගහනවා වගේ දැනුණ නිසා ටිකක් වෙලා බලා හිටියා. ඉන් පස්සේ ඒ මනුස්සයා ගේම් එක ඉවර කරලා සල්ලිත් මල්ලට ඔබාගෙන යන්න ගියා. මං මැෂින් එකට ගියාම ඒක මගෙන් අහනවා...
"ඔබට තවත් සේවාවන් අවශ්‍ය ද ?" කියලා !!
මෙන්න වැඩක්. මං ටිකක් බැලුවා. YES කියන එක එබුවා නම් මගේ ආර්ථික අවපාතයට ස්වීප් එකක් ඇදගන්න තිබුණා. මං ටක් ගාලා NO ඔබලා කාඩ් එකත් අරන් එළියට දුවලා හතර අතට බැලුවා.. සල්ලි ගත්ත කෙනා අතුරුදහන්. මං අල්ලපු බාටා කඩේට ගිහින් කිව්වා scenario එක. කියලා ‍කවුරු හරි ආවොත් කියන්න මං හෙට උදේ කාඩ් එක බැංකුවට ගෙනත් දෙනවා කිවුවා කියලා... මං ආවා.

ඒ මනුස්සයා තමන්ගේ ට්‍රාන්සැක්ෂන් ඉවර කරලාවත් නෙවි එළියට ඇවිත් තිබුණේ. මදැයි.. මට ගේ ගාවට එද්දි තමයි හිතුණේ ඒකේ සිකියුරිටි සඳ හිටියේ නැහැ නේද කියලා.. හිටියා නම්‍ හෙට උදේට පරිප්පු නොකා මට ඒක දීලා එන්න තිබුණා. දැන් මේ සිහි කල්පනාව නැතුව ගිය ඕ.ඩබ්ලිව්.කේ.පී.පත්මපෙරුම මහත්මයා නිසා හෙට මං බැංකු යනවා කියන්නේ අපේ අම්මාටත් මං නිසා ලොකුම පරිප්පුවකට වග කියන්න වෙනවා කියන එකයි.

අනික් බැංකු සිද්ධියත් මේ රටේ විතරක් අහන්න ලැබෙන තවත් එකක්. බිල් දිහා බලා ඉන්න කොට මට හිතුණා ඊ බෑන්කින් පැත්තේ රවුමක් දාලා සල්ලි තියෙනවානම් මේවා ගෙවලා දාන ‍එක හොඳ නේද කියලා. තව දවස් දෙක තුනක් යනකන් හිටියොත් candle light dinner නොවරදින බව පෙනුණ නිසා...ඉතින් ලොග් වෙන්න ගියා. මට මුර පදය මතක නැහැ. 3 පාරක් එපා කියලා කිවුවාට මතක නැත්නම් එක පාරක් ට්‍රයි කළත් එකයි 3 පාරක් කළත් එකයිනේ කියලා මං 3 පාරම ගහලා ඊට පස්සේ ඊ මේල් එකක් දැම්මා බැංකුවට මට "Excessive PIN tries" කියන පණිවිඩෙත් ආවා මගේ මුර පදය රිසෙට් කරළා දෙන්න කියලා. දවල් වෙනකන් බැලුවා උත්තර නෑ. ඉතින් මං කෝල් එකක් අරන් බැංකුවට කිවුවා මං ඊ මේල් එකක් දැම්මා මට උත්තර එන්න කොය් තරම් වෙලාවක් යාවිද කියලා. බැංකුව මගෙන් අහනවා..ඔයා ස්ටාෆ්ද ? ස්ටාෆ් නම් විතරයි ඒක රිසෙට් කරන්නේ.... අරක මේක..දැන් අපේ ඉන්ටර්නෙට් බෑන්කින් පාස්වර්ඩ් එකක් අමතකවුණහම අපි ඉන්ටර්නෙට් බෑන්කින් අතාරින්න ඕනද ? මම මට පුළුවන් උපරිම පැහැදිළි කළහම ඒ ළඳ මගේ ඊ මේල් එක බළලා මට කියනවා, හරි දැන් ඔයා ලොග් වෙන්නකො..ඔයාට පාස්වර්ඩ් අමතකයි කිවුවානෙ.. කියලා..
මං කිවුවා.. ඉතින් මං පාස්වර්ඩ් දන්නවානම් ලොග් වෙලානෙ.ඔයාට කතා කරන්නෙ නැහැනෙ.. මතක නැහැයි කියන්නෙ මතක නැහැම තමා..ටිකකින් මතක් වෙන්නෙ නැහැ... කියලා..

දීර්ඝ පැහැදිළි කිරීමකින් පසුව ඒ ළඳ මට ඊමේල් කරනවා රිසිට් එකක්. ඒකෙ ප්‍රින්ට් එකක් අරන්, අත්සන් කරලා, ස්කෑන් හෝ ෆොටෝකොපි කරලා බැංකුවට ෆැක්ස් කළහම දවස් දෙකකින් පාස්වර්ඩ් එක දෙන්නම්ලු ගේ ගාව තියෙන ශාඛාවට බස් එකේ ගිහින් ඉන්ටර්නෙට් බෑන්කින් පාස්වර්ඩ් එක අරන් එන්න !!!@$$%&^*()@!$$.................................................
සුහද හදක් ඇති.... බැංකුව !!



ඊට ලේසියි මං එවෙළෙම පාස් පොත අරන් බැංකුවට ගියානම් සල්ලි අරන් එනවා....

අපි ඇයි තාක්ෂණය පාවිච්චි කරන්නෙ ? අපේ ජීවිත පහසු කරගන්න.. එහෙමයි මේ මගේ ළඟින්ම ඉන්න කෙනා නිතරම මන්තරයක් වගේ කියන්නෙ. ජීවිතේ පහසු කරගන්න දියුණුම තාක්ෂණය පාවිච්චි කරන්න ගියාම සාමාන්‍ය ක්‍රමයටත් වඩා රස්තියාදු වෙන විදිහටයි අපේ රටේ පද්ධති ක්‍රියාත්මක වෙන්නෙ.... මට මතකයි ඉස්සරම ඉස්සර කාර්යාලවලට විද්‍යුත් තැපෑල ආව කාළෙ.. අපි වෙන ශාඛාවකට විද්‍යුත් ලිපියක් යැවුවහම දුරකථන ඇමතුමක් දීලත් කියන්න වෙනව "අපි ඊමේල් එකක් එවුව ටිකක් බලනවද ?" කියල.. මේක පස්සෙ කාලෙක රජයේ කාර්යාලවල ඊ- ක්‍රියාකාරකම් පැහැදිළි කරන හොඳම උදාහරණයක් බවටත් පත්වුණා. හිනා ගියාට කොයිතරම් ලොකු ඛේදවාචකයක් ඇතුළෙද අපි රටක් විදිහට නැගිටින්න දඟලන්නෙ කියල හිතෙන්නෙ නැද්ද ?