Saturday, April 19, 2008

අවුරුද්දයි ආදරයයි

සිංහල අවුරුද්ද කියන්නේ සිනා බෝ වන ‍උත්සවාකාරී ‍අවස්ථාවක්. අත්‍යන්තයෙන්ම සොම්නස පිරි කාලයක්. ඒත් මේ අවුරුද්දෙ කාරණා තුනක් නිසා මගේ හිත බෙහෙවින් සසළ වී ගියා.

එකක් තමා..මගේ මිතුරු සගයින් කීප ‍පොළක් කිවු කතාවකින්....

" මේ පාර අවුරුද්දේ වැඩිම පෝලිම් තිබුණේ උගස් බඩු කඩවල " මේ කතාව ඇහුවාම ඔබව කම්පනයට පත් වෙන්නේ නැතිනම් ඔබට ඇත්තේ නරුම හදවතක් යැයි කියනවාට මට සමාවෙන්න. මිනිසුන්ට මුදල් නැහැ ඒක ඇත්ත. බඩු ගණන් ගිහින් ඒකත් ඇත්ත. ඒත් මාස එකොළහක්ම ‍ළෙව කකා ජීවත්වන ගානට හිටියත් අවුරුදු මාසෙට මිනිසුන් එහෙම මග හැර යන්න හිතන්නේ නෑ. තමන්ගේ අම්මා තාත්තාට පවුලේ අයට ආච්චිලා සීයලාට චීත්තයක්, සරමක් වත් අරන් ගිහින් දණ ගහලා වැඳලා කිරිබත් කටක් කන්න කවුරුත් ආසයි. ඒ තමා අපේ සංස්කෘතිය. ඊටත් වඩා නැති බැරි කම විසින් වසාගෙන සිටින අපේ ආදරය.....

මතක තියා ගන්න..
ආ ද ර ය .....
හොඳේ.

ඉතින් මේ දිනවල දකින්න ලැබුණු තවත් දෙයක් තමා හවුස් ඔෆ් ෆැෂන්, ෂේඩ්ස් වගේ ඇඳුම් කඩවල පාර දිහාට එනකන් දවස් ගණන් පෝලිම. ඇයි මේ තැන්වල විතරක් ? කාරණේ පැහැදිළියි නේ..අතේ තියෙන සොච්චමට හරියන්න කාට කාටත් කෑල්ලක් හරි ගන්න පුළුවන් මේ තැන්වලින් විතරයි. ඒ නිසා හැමෝම තමන්ගේ යුතුකම් ඉටු කරන්න වෙර දරන හැටි කල්පනා කරන කොට ම‍ට ඇත්තටම ලොකු කම්පනයක් ඇති වුණා... මං මේ කතා කරන්නේ මමත් අයත් බහුතර පංතිය ගැන. මට පෝලිම් ගැන නොරිස්සීම් ඇති නොවු එකම සහ ප්‍රථම අවස්ථාව මේක බව මට දැන් හිතෙනවා.

දෙවැන්න පෞද්ගලික අවස්ථාවක් නිසා සසළ වු මොහොතක්..

මම මගේ ගෙදර අයට, මගේ නෑදෑයින්ට, මගේ ළඟම මිතුරු සගයින්ට සහ අහළ පහළ පොඩි යාළුවන්ට මට හැකි පමණ හොඳින් තෑගි දෙන්න හැමදාමත් කැමතියි. අවුරුද්දට ඉතින් ඒක වි‍‍ශේෂයි.....

මේ පාර ඒ යුතුකම් ඉටු කරන අතරේ මං කෙනෙකුගෙන් ඇහුවා...
" ඔයාට මොනවද මං අරන් දෙන්නේ ? ඇඳුමක් අරං දෙන්නද? "කියලා..
එයා ගත් කටටම කිවුවා
" අනේ එපා.. මට ඕන තරම් ඇඳුම් තියෙනවා..මට ගෙදර අයත් අරන් දෙනවා".. කියලා

....
....
....
.....

ඉන් පස්සේ දීර්ඝ නිශ්ශබ්දතාවක්. (පොඩ්ඩක් බර කඳුළු බිංදු දෙක තුනක්)

අපි අවුරුද්දට කාට හරි මොනවා හරි දෙන්නේ ඒ කෙනාට ඒ දේ නැති නිසා නෙවෙයි කියලා තේරුම්ගන්න සමහර අයට හැකියාවක් නෑ

ජීවිතේ හැම දේම යාන්ත්‍රික ‍වෙලා තියෙන මොහොතක,
මිනිස් සම්බන්ධතා දුරස් වී ඇති අවකාශයක,
මිනිසුන් අතර ආදරය නිසා ඇති වන සරළ එහෙත් සුන්දර අවකාශයන් දුරස් වි ඇති මොහොතක,

අපේ ජීව්ත වියළි ස්වභාවයට පත් වෙන එක වළක්වන්න බෑ...ඉතිං ඔයින් මෙයින් අපි අවුරුද්දට ඇඳුම් ගන්න එක නතර වුණා.

තෙවැන්න-- එය ඉතාමත් පෞද්ගලිකයි. ඒ මා මෙවර අවුරුද්දට ගෙදරින් පිට සිටි නිසා. එය කතා කිරීමේ පලක් නෑ.


ඉතින් මේ අවුරුද්ද හිතට දැනුණු කාරණා නිසා මම තවමත් යම් දුරකට කම්පනය වී සිටිනවා..

ලබන අවුරුද්දේ බොහෝ දෙනාට සියුම් මිනිස් සම්බන්ධතාවල වටිනාකම හා සුන්දරත්වය වඩාත් හොඳින් අවබෝධ වන, මිනිසුන් උකස් කඩවලින් ඈත් කර තබන සුබ අළුත් අවුරුද්දක් වේවා ! යි මම දැන්ම සිට පතනවා.

No comments: