Sunday, April 27, 2008

සිතිවිලි පවා ලෙඩවෙලා - I'm sick of being myself..


අතුරු අනතුරු පිරුණු දිවියක
සතුරු වන කලට සුව සෙත
මිතුරු හිත් කිසිත් නැත ළඟ
යතුරු පුවරුව පමණ සවි දෙන

එහෙත් අතැඟිලි දුබල වන දින
තවත් කළ හැකි දෙයක් වෙද ලොව
කිසිත් වාවනු නොහැකි හිතකට
පසක් කළ හැකි වේද බු‍දු බණ ‍


අතේ එකිනෙක ඇඟිලි ගැන ගැන
හිතේ හැටියට ගිලින පෙතිවල
ගතේ රෝදුක් නැසෙනු ඇත හෙට
හිතේ සවි බල මුලිනුදුරගෙන


--

Sunday, April 20, 2008

එහෙව් පුතා හැරදා මම්...

පහුගිය දොහක සෞන්දර්යය යනු කුමක්ද ? කියන ප්‍රශ්නය ගැන පොඩි කතා බහක් ඇති වුණා. ඒ ගැන විවිධ අයගේ මත අහන් ඉන්නත් සිද්ධ වුණා. සෞන්දර්යය ගැන නොයෙක් දෙනා කියල තියෙන දේවලුත් කතාබහට ලක් වුණා.

පෙරදිගින් භරත මුණි, අපරදිගින් ඇරිස්ටෝටල්..
ලංකාවෙන් සේකරයන්, ජී.බී., සරච්චන්ද්‍රයන්, වික්‍රමසිංහයන්..
ඉන්දියාවෙන් ආනන්දවර්ධන වැනි අය..
කාල් මාක්ස් වැන්නන්..

මේ සියල්ලන්ම එක් එක් අවස්ථාවලදී සෞන්දර්ය යනු කුමක්ද යන්න විවිධාකාරයෙන් විස්තර කරන්නට වෙර දරා තිබෙනවා.

මේ ආනන්දවර්ධනයන් තමා කිවුවෙ සෞන්දර්යය බිහි කරන්නේ ඖචිත්‍යය විසින් ය කියල. ඒ කියන්නේ උචිත-අනුචිත බව අනුව සුන්දර/අසුන්දරත්වය ඇතිවන බව..

ඉතින් අපි කවි ගැන කතා කරද්දි අපි සෞන්දර්ය හඳුනා ගන්නේ එහි ඇති අලංකාර ඇසුරින්. කාව්‍ය නිර්මාණයක විඳීම ඒ තුළ ඇති අලංකාර ඒ කියන්නේ උපමා උපමේය, ධ්වනි ආදී විවිධ දේවල් නිසා ඇතිවන බවයි සාමාන්‍ය පිළිගැනීම..

ඒ වුණත් කිසිම උපමාවක් නැති නමුත් විඳීම ඉතා තීව්‍ර කාව්‍ය සංකල්පනාවක මේ කතා බහේදී අහන්නට ලැබුණා..

මේ සටහන ලියන්නේ ඒ කව ඔබ හමුවේ තැබීමට මිස සෞන්දර්ය යනු කුමක්ද යන්න සාකච්ඡා කිරීමට නොවේ.

මේ කව සාවියක විසින් ඇගේ පැටවා මිනිසුන්ගේ උගුලකට හසු වූ විට වැළපෙන ආකාරය කියා පාන්නක්

මෙන්න ඒ කව‍‍

සත් අවුරුදු සාර මසක් පේව ගොසින් පුතෙක් ලබා ගත්තේ
හතර වටේ උගුල් තනා පුතාට කළ යුද්දේ
හැළිය වටේ බුබුළු දමා පුතා ඉදෙන සද්දේ
එහෙව් පුතා හැර දා මම් කෙසේ ඉඳිමි බැද්දේ


හා අම්මාගේ වැළපීම ඔබටත් නොදැනේද? හා පැටවා මරු විකල්ලෙන් උගුලෙහි දැඟලූ හැටි ඔබට නොපෙනේද ? හා පැටවා මරා හැළියක දමා පිසද්දී ඒ හැළිය වටා බුර බුරා නැගෙන ගිනිදැල් ඔබට නොපෙනේද? ඒ ගින්නෙන් හැළි‍යේ ඇතුළ බුබුළු දමමින් හා පැටවා පිසෙන ආකාරය සිතෙහි නොමැවේද?

යළි යළිත් කව කියවා බලන්න.

ඒ සිදුවීම, ඒ දැනීම, ඒ ශෝකය ඔබටත් දැනෙනවා නේද ? හැබැයි ඒ දැනවීම සඳහා කිසිදු වෙසෙස් අලංකාරයක් මෙහි භාවිත කොට නැහැ.

එහෙනම් සෞන්දර්යය යනු කුමක්ද යන්න හොඳින් සිතා බලා අවබෝධ කර ගත යුත්තක් බව දැන් වැටහෙනවා ඇති

00

Saturday, April 19, 2008

මැරතන් අවසන් - මේ තුතිමල් මදි ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඔබ හැම ගෙළ පළඳන්ට..

මට බ්ලොග් එකක් නැති උනත් මැරතන් එකට මොනවම හරි දෙයක් ලියන්න ඕන නිසා සූ ගෙ බ්ලොග් එකේ පොඩි ඉඩක් ඉල්ලගත්ත.

බ්ලොග් මැරතන් එක ගැන ආරංචිය ගොඩක් කලින් ලැබිල තිබුණත් මම බ්ලොග් කරුවෙකු නොවන නිසා ඒකට සම්බන්ධ වීම නොගැලපෙන දෙයක් කියලයි හිතුණෙ. ඒත් මලින්ත සහ ආනන්දවර්ධන සමග තිබුණ ඇයි හොඳයිය නිසා දන්නෙම නැතිව ඒ වැඩවලට සම්බන්ධ උනා. ඉන් පස්සෙ ටිරෝන් සහ මලින්ත සමග තාක්ෂණික වැඩ කරමින් ඉන්නකොට තමයි කාලිංගව මේ වැඩ සදහා සම්බන්ධ කරගන්න ලැබුනෙ. කාලිංග සහ මගේ තිබුන යාලුකම නිසා මේක අපේම වැඩක් වගේ තමයි දැනුනෙ. ඔය අතරෙ තමයි ටිරෝන් මේ වැඩවලින් සමුගන්නෙ. ඒ සමුගැනීමත් එක්ක මැරතන් එකේ සම්පූර්ණ තාක්ෂණික කටයුතුවල වගකීම මටත්, කාලිංගටත් මලින්තටත් බාරගන්න උනා.

අවසානය දක්වාම හැකි උපරිම අයුරින් ඒ කටයුතු කරන්න පුළුවන් උනා. මට යොදන්න පුලුවන් කාල වෙලාව අඩු වූ නිසා කාලිංග සහ මලින්ත ගොඩක්ම ඒ කටයුතුවල යෙදුනා. මහ නුවරදී පැවැත්වූ ප්‍රචාරක කටයුතු සදහාත් දායක වීමට ලැබීම ගැන දැනෙන්නෙ ලොකු සතුටක්. දැන් මැරතන් එකේ අවසානයට ළඟාවෙලා ඇති නිසා අපේ වගකීම් හොදින් ඉටුකළා කියන හැගීම සහ සතුට දැනෙනව. මැරතන් එකට නොලීවට (සූ, සමග රිලේ දිවීම හැර) මේ කාලය තුළ අඩුවෙන්ම නින්දක් ලැබූ කිහිපදෙනා අතරට අපිත් අනිවාර්යයෙන්ම එකතු වෙනව.

සමස්තයක් ලෙස ප්‍රථම සිංහල බ්ලොග් මැරතන් එක ඉතාම සාර්ථකයි කියල කියන්න පුලුවන්. මේ වැඩසටහනට සහභාගිවූ හැම දෙනාම වෙනුවෙන් කාලිංගට ස්තුතිවන්ත වෙන්න ඕන.
-තමන් ව්‍යාපාරයක් ලෙස කරන වෙබ් හොස්ටින් සේවාවේ උපරිම පහසුකම් සහිත වෙබ් ඉඩකඩ සැපයීමෙන්, -සින්ඩිකේටර්, -වෙබ්සයිට් සෑදීමේ සිට අවසන් දවසේ තාක්ෂණික කටයුතු මෙහෙයවීමට තම සේවා ස්ථානය ලබාදීම දක්වා ඔහු කළ ඒ කැප කිරීම හැම දෙනාම දැනගැනීම වැදගත්.

ඕනෑම වෙලාවක පිහිටට සිටින, මේ ඉඩ ලබා දුන් සූ, ට බොහොම පින්.

මම බුද්ධික ජයසිංහ

අපි කවුරුත් සහයෝගයෙන් මැරතන් දිවුවා. මමත් බෝත් අද සහභාගී වෙන්න බැරිවුණු සහෘදයෙකුගේ බරත් ටිකක් ඇද්දේ එක්වෙලා යන ගමනට අපි කවදත් සතුටු හින්දයි. මම වඩාත් කිට්ටුවෙන් හඳුණන අයගෙන් බුද්ධික ඕනෙම මොහොතක ඕනෙම දේක දුක් ගන්නා කෙනා වෙන බව ප්‍රත්‍යක්ෂයෙන්ම මේකෙදිත් දැනගත්තා. එවන් අය ඇසුරු කරන්නට ලැබීම මට අපමණ සතුටක් ‍ගෙන දෙන බව නොකියාම බැහැ. කෙනෙකු‍න්ගේ හොඳ අගයන්නට ඕන සැඟවී නෙවෙයි.

මගේ කම්මැලිකම නිසා මට එක එක දේවල් හොයාගන්න උවමනා වුණහම ආනන්දවර්ධන සහෘදයාට කරදර කළ වාර අනන්තයි. ඒ ගැනත් අහිතක් නැතුව ඇති.

මේ සියලු දේ දි රැඳී සිටි කාලිංගටත් ස්තූතියි.

මේ හරහාම අඳුනාගෙන හිතවත් කමින් කතා බහ කරමින් ලියන්නට දිරි දුන් හැම දෙනාටම ස්තූතියි. වි‍ශේෂයෙන් සටහනක් අගයමින්, වෙනත් ඉසව් පෙන්වමින් මේවා කියවන්නට සටහන් තබන්නට පෙළඹුණු දන්නා -නොදන්නා, නම් කිවු - නොකිවු සියලු දෙනාට ස්තූතියි.

එහෙමනම් නැවතත් හමුවෙමු
සුපුරුදු අකුරු අතරින් - වෙනදාටත් වඩා සතුටින්

- සු


කම්මැලි කම යන්න කවියෙන් චැට්

පාළුව කාන්සිය යන්නට පෙර ලෙසට
ලියනට දොඩන්නට සවියක් නෑ හිතට
-බෝ

හිතට සවිය හිත ගිය අය ළඟ ඉඳුම
මුලට ලෙඩේ ඔය වයසට තනි වීම
-සු

හිතේ සව්ය දැඩ් කරන ගෙන පෙර ලෙසට
ලිවිවොත් ඉඩ නැති වේ කාන්සියට...
-සුදාරක


තාලෙට ලියන්නට කවියක් ගලපාලා
තවමත් බැරි මොකද අසනෙමි විමසාලා
-සුදාරකට බෝගෙන්

මැරතන් දුවන්නට හිත ගත වෙහෙසාලා
මොලේ කචල් වෙලා මගේ පැටලීලා...
- සුදාරක

ඉන්නද බල බලා කවි ලියවෙයි කියලා
දෙන්නද උදව්වක් මුල් දෙපදය ලියලා
-බෝ

ගුත්තිල වගේ බැරි වෙන කොට දිනන්නට
නැද්ද න‍ගේ ගුලියක් උඩ දමන්නට

-සු

කවියට කවිය කියුමට නැත සිත සවිය
රටවට දුවල මට දැන් ඇති වෙලා ඇත...
-සුදාරක

අනුරාධ : මොකද්ද මේ වලිය?

කවියට කවිය ඇති තැන පරදියි වලිය
කවියට සවිය ගත නොව සිත ඇති දිරිය
-සු

කවි බැඳුමට කල් වේලා මදිය මට - තිබුණා නම් කියනෙමි කවි දුවන්නට
-රජිත්

කාලය අරන් බැන්දේ කවි පොත්වලට- තාලය තමයි ඕනැ මේ කවිවලට
-සු

මව මව කතා කල් නැති බව නොකියන්ට --- දුව දුව කවි කියනු කොහොමද කියන් මට
-බෝ

හිටිවන කවි වලට අපෙ අය පරසිද්ද-සිදුවන කවි හටන් ඇයි ඔබ නොදකිද්ද
-සු

තාලය තියලා ලියුවත් තව මොකෝ අද ----- එළි වැට නැතුව කවි ලීමෙන් පලක් වෙද
-බෝ

දුව දුව හරි බඳිමි කවි ඔබ හට මම අක්කේ - ඒත් දුවන්නත් වේලා මට නැත්තේ
-රජිත් බෝ ට

දුව දුව ලියන කවි පද වල රස මතුවේ - ලිය ලිය දුවමු මැරතන් අද රෑ නිමවේ
-සුදාරක

ජීවිතයත් කවක් එහෙමයි මම දත්තේ - බත් කන ගමන් කවිමයි අහරට ගත්තේ
-බෝ

කවියෙන් කවිය කිය කිය චැට්‌ කරන්නේ - නැතිවද ළමයි දැන් මැරතන් දුවන්නේ? :P
-සමනලී

අයි නරකද? කවි මඩුවක් හොඳ නැද්ද? - නිදිමත යන්න කවි කියනෙමු කර සද්ද
-රජිත්

...
..
..

කවි සිත් ගොලු වෙලා කට්ටිය නිස්සද්ද --- අගුල් ඇරගන්න යතුරක් ආ මෙන්න
-බෝ

යතුර දමා ඇරගත්තෙමි මගෙ ඉබ්බා - ඉතිරි පැයම කියමුද කවි මඟ ඉඳලා
-රජිත්

වෙන්ව යන්ට මොහොතත් ළඟළග එන්නේ - දමා යන්ට නැහැ පපුවත් වාවන්නේ
-සු

අට වුණු පලියට නැහැ අප යායුත්තේ - මැරතන් එකෙන් පසු හති දමනට ඇත්තේ
-රජිත්

හමුවී එක්ව ලියුවා නෙක කරුණු සැමා - වෙන්වී යන්නෙ කොහොමද කර සියල් නිමා
-බෝ

වෙන්වී යන්න බැහැ මට නම් ඔබලාගෙන් - මම ඉඳිනෙමි මැරතන් නැවතුම ගාවින්
-රජිත්

කවි කිය කියා ගල් ඉබ්බා - වෙන්වෙලා බඩ ගා ගියා ....මම කවියෙක් නෙවෙයි...
-සදීපැප් කොහා

ඔන්න කොහා ඇවිදින් කපුටු කූඩුවට-උන්නා බලන් පර පුටු වෙස්ගෙන යසට
උස්සා අරන් තටුවෙන් මූ පොලව පිට- ගසා එළවමුද ළං කර ගමුද සිප
-සු

ගඟක් වුණත් ‍ගොස් සයුරට එක් වෙනවා- එක්වුණ අපට වෙන් වන්නට සිදු වෙනවා
-සු

මුහුදු ජලය අහසෙදි යලි එක්වෙනවා - දුක් වන්නට එපා යලි අපි හමුවෙනවා
-රජිත්

මැරතන් දුවන අපහට සවි දෙන්න කියා ----- පරසිඳු වෙන්න අර අඳිනවා නොවෙද මෙයා
-බෝ

සද්ද කරන් කවි කියද්දි අපි මෙහෙ රොක් වෙලා - සද්ද නැතුව තව සමහරු ඇතිලු සෙට්වෙලා
-සු

(
:D දන්නෝ දනිත්)

නිදිමත වැඩි නිසා, කවියක් දෙකක් පවසා, කම්මැලි කම නසා, ලියමු දිගටම නොතක වෙහෙසා
-අනුරාධ

ලියනා නේක හිත් යා කරගෙන මෙන්න - පෙම් මල් පිපෙනවා හරි සුවඳයි ඔන්න
-බෝ

දන්න අපට කොළ කඩලා වැඩක් නැත-සමනල් ලොවට පෙම් මල් මිස කවි මොටද
-සු

(වරුණ:
Bors: kauru ganada ea?)

සද්ද කරා පොඩ්ඩක් කල් බලා හෙම ---- චැටට කලින් පනිනා කැන් දුටිම් මම
-බෝ


කැස්සයි ආලයයි සැඟවිය නොහැකියිලු - කියමන ඇත්ත බව කාටත් වැටහෙයිලු
-සු

(වරුණ:
kauru ganada ea? mmmmmmmmmmmmmmmmmmm)

කියමන ඇත්ත දැන්නම පෙනෙනවා රඟේ----- ඔන්න බලන් තොප්පිය හරි ගිහින් වගේ
-බෝ

කැස්සට බෙහෙත් තිබුනත් ආලෙට නැතිලු - වලකා නොගත්තොත් ගොඩ ඒමක් නැතිලු!
-අනුරාධ

(සමනලී: bo akke oyaa kavi kya kiya thoppi vikunanawada ? )

විකුණන්නේ නෑලු අපි විසිකරනවලු --- හරියන එවුන් ඒ දාගෙන නටනවලු
-බෝ

සමනල සිහින පෙනෙනා කල ඇතැමුන්ට - වරුණය කියන්නට මේ කවි පද මදිය
-සු

දිගටම මඩ ගසමින්නේ - බෝ අක්කා වෙහෙසෙන්නේ
-වරුණ

වෙලා තිබුණ නම් කියනා කවි දනිමී - නැති පෙම් පවා ඇති කරවන සැටි කියමී
-රජිත්

වරුණට මොකුත් කිව්වද මම කවි ලියලා --- අහක යන වැසුම් දාගනු ඇයි නුඹලා:s
‍-බෝ

මඩ ගැහුවා නෑ දැක්කේ - කවි කියමින් අපි උන්නේ - මඩ පාරට ඇහැරෙන්නේ - වරුණ මොකද නාගන්නේ
-සු

හැමදා ගහයි මඩ අපෙ මේ බෝ අක්කා -හැම තැනදිම කරන්නේ මේ බව දැක්කා
-වරුණ

තොප්පිය හරි ගිය විට දාගැනුම හැර - වෙන මොනවා කරන්නද? මොහු තැවෙයි අද
-රජිත්

අයදිමි සමා මම සිදු වූවා වරදක් -කවියට තිත තබමි නෑ කිසි හා හූවක්
-වරුණ බෝට

තුන් සරණින් හැමටම යහපත වෙන්ට - මම් පතනෙමි සිත සතුටින් සමු ගන්ට
-සු


සිත සතුටින් සමු ගන්නට සිතුව මෙමා --- එනමුත් එක් කලේ රිදුමක් හදට පෙමා
-බෝ

ලිව්වේ කාටවත් රිද්දන්නට නොවේ මා --- කියමුද කොහොම කවි කර මට දැනෙන සැමා
-බෝ

කවි අහලා රිදවාගන්නේ කවුද - මම නම් නිදි මතත් ඇරගත්තා ඔන්න
-රජිත්

ගතවිනි සතර විසි පැය දැනුනේම නැති --- සවි දුන් සියල් වෙත මම ආසිරි පතමි
-බෝ

ඉතිරි පදේ ...

බෝ මෙහෙම කියනවා..

පාළුව කාන්සිය යන්නට පෙර ලෙසට
ලියනට දොඩන්නට සවියක් නෑ හිතට
බෝ

----------------------------------------
----------------------------------------

ඉතිරි පද දෙක සම්පූර්ණ කරන්න මේ කවිය ඔන්න සූ වෙතට යවනවා...

මෙන්න පොඩි ට්‍රයි එකක් දුන්නා.......

හිතට සවිය හිත ගිය අය ළඟ ඉඳුම
මුලට ලෙඩේ ඔය වයසට තනි වීම

සු ගෙන්

:)

යන්ට වු බැවින් ....

බෝ ඇහැරලා එනකොට පස්ස පැත්තට ඉර එළිය වැටිලා බව නම් ඇත්ත. ඒත් මම නිදාගෙන නෙවේ
හිටියෙ...

අප්පච්චී දන්නවානම් කියාවි..

කම්මැලි කෙල්ලනේ
ගනු පොල්කටුව අතිනේ.. කියලා.. නේහ් ?

මම ගමනක් ගියා .. ‍නොගිහින් බැරි. දැන් නම් ඇව්ත් ඉන්නේ :)
මෙන්න එහෙනම් උත්තරයක්.... බෝ ගේ කවියට


නින්ද හොඳයි හිත බැඳි දුක් හේදෙන්ට
බැන්ද කවි තමයි කවදත් නොතනියට
යන්ට වු බැවින් යා යුතු ගමනකට
ඉන්ට බැරිවුණා ‍බෝ මා හොයන කොට

--

යුද්ධය






ලුයගී පිරැන්ඩෙලෝ (Luigi Pirandello) ඉතාලියේ ජනප්‍රියත්වයට පත් නූතන පරපුරේ ලේඛකයෙක්ද නාට්‍ය රචකයෙක්ද වෙයි. 1934 දී සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගය දිනාගැනීමටද හෙතෙම සමත් විය.







සත්‍යය හා මායාව අතර ගැටුම පිරැන්ඩෙලෝගේ නාට්‍ය, කෙටි කතා හා නවකතා තුළ දකින්නට ලැබෙයි. ඔහු මවන චරිත හැමවිටම තමන්වම රවටා ගනිමින් කරදරකාරී සිදුවීම් මග හරින්නට උත්සාහ දරයි. එහිදී එක් එක් චරිත තමා පිලිබදව ලබන ස්වයං අවබෝධය වේදනා සහගතය.

චරිත නිතරම සත්‍යය නොසලකා හැරීමෙන් හා නිරන්තර මුලාවෙන් වෙලී සිටියි. ඒවායේ හැසිරීම ගුප්තාකාරය. නැතහොත් උත්ප්‍රාසය දනවයි. ඔහු විසින් මවනු ලබන චරිතවලට සත්‍යය පිලිගනු ලැබීමට බල කෙරෙයි. ඉනික්බිති එය ශෝකාන්තයක් බවට පත්වෙයි.

පිරැන්ඩෙලෝ නාට්යෝචිත බසෙහි දක්වන සරුබව හෙලිකරන කෙටිකතාවකි "යුද්ධය". ඔහුගේ අන් නිර්මාණවලදී මෙන්ම මෙහිදීද අමිහිරි සත්‍යය සමග සහයෝගයෙන් ජීවත් වන්නට මිනිසුන් දරන අරගලය පෙන්වයි. මේ ලේඛකයාගේ පුතුද පළමු ලෝක යුද්ධයේ සිරකරුවෙකුව සිටියෙකි.

--

සුද්දන්ට විනාඩි පහෙන් සිංහල


ලෝකෙ කොහේදෝ රටක එක් නගරයකදී එකට රැස්වන මිනිසුන් තම තමන්ටම හිනාවෙන විස්තරයක් දිනක් කෙනෙකුන් කිවූ බව මතකයි. අප්‍රේල් පළමුවෙනිදාට අපි කරන්නෙත් ඒ වගේ දෙයක්.

නමුත් සිංහලයා තරම් තමන්ටම සිනාවෙන්නට සිදුවූ ජාතියක් මෑතකාලයේ වෙන කොහේවත් නැතුව ඇති. යටත් විජිත කාලයේ පටන් එකිනෙකා සිදු කළ පාවාදීම් හා උඩගෙඩිදීම් නිසා අප ඇතැම්විට නිවටුන් සේ ක්‍රියා කරන්නට පෙලඹිලා.

මෙය අපේ බස ගැන අපට ලොකු අභිමානයක් නැතිවී යාම නිසා උපන් විහිළු කතාවක්.

වරක් ලංකාවට පැමිණි එක් විදේශිකයෙකු තමන්ට සිංහල භාෂාව ඉගෙන ගැනීමට මහත් ආසාවක් ඇති බවත් ඒ සදහා කෙතරම් කාලයක් ගතවේද යන්නත් සිංහල ජාතික හිතවතෙකුගෙන් අසා තිබෙනවා.

" අයියෝ හරිම සිම්පල්... ඕකට විනාඩි පහක් තිබුනම හොදටම ඇති " ... මේ ඔහුගේ පිළිතුර.

ඉතින් කොහොමද මේ විනාඩි පහෙන් විදේශිකයකු සිංහල ඉගෙනගන්නේ...?
ඔබ දන්නවාද ඒ කොහොමද කියා....?
මෙන්න අපේ ඇත්තාගේ උත්තරේ...

" ඕනෙම ඉංග්‍රීසි නමක් ඉස්සරහට 'එක' කියල දාලා කතා කරන්න. එතකොට සිංහල තමා " ...

Fan එක, Bus එක, Van එක, Note එක, Car එක, Paper එක
.........................................

විහිළුවක් උනත් අඬනවද, හිනාවෙනවද, කේන්ති ගන්නවද කියන එක ඔබට බාරයි.
--

කුමරතුගුවන්ගේ ළමා කවි රස

ළමා කවි පබදින්නන් ළමයින්ට ආයාසයකින් තොරව වටහා ගත හැකි, ගයද්දී හිතේ ප්‍රීතිය වඩවන, ඇග පත නිකම්ම නැටවෙන ආකාරයේ කවි රචනා කළ යුතුය. එපමණක් නොව ඒවා අසා සිටින වැඩිහිටියන්ගේ පවා හිත් පැහැදෙන ආකාරයට ළමා කවි රචනා කළ යුතුය. කුමාරතුංග කවියා "කව් රසය" නම් නළු සිඟිත්තේ මෙසේ පවසයි.

දරුවන් හට මහත් - නැතත් නැති වැ මැ වැටහෙන
උන්ගේ සිත් පුබුදුවන - ඇඟපත නිකම් නටවන
යහළුවන් සමගින් - සසඳන්නට පොළඹවන
උන් කියවනු ඇසූ වැඩි - හිටියවුන් පහදවන
විසිතුරු පබැඳුමෙකි - එ වයසට කවියෙක් නම්

කුමාරතුංගයන්ගේ ළමා ගී, නව උපමාවෙන්ද සරු අර්ථයෙන්ද මෙන්ම ළමයින්ට ගැළපෙන පිවිතුරු බසින්ද පොහොසත් විය. ඔහුගේ මල් බස් කවි පන්තිය ඊට නිදසුනකි.

ගස වතුසුදු
වී පිරිසිදු
පොහොය නැත දු
සිල් ගත් බඳු

මහ පුදුමෙකි
මලෙක මලෙකි
නැහැ එහි සකි
සමනලයෙකි

නැණ ගුණ දම්
රුව පැහැ තුම්
ඇති අය නම්
රෝස කුසුම්

මේ එම කවි පන්තියෙන් උපුටාගත් කවි කිහිපයක් පමණි. කුමාරතුංග කවියාගේ, දරුවන් සදහා රචිත කවි, වැඩෙන පරපුරේ කුඩා සිත් නිවැරදි බස් වහර හා තමා වෙසෙන පරිසරය පිළිබඳවත්, යහපත් ගුණ ධර්ම කෙරෙහිත් නිරායාසයෙන් ඇද බැඳලන්නට සමත්ය. ඉගෙනුම රසවත් කරන අතරම විනෝදය තුළින් ඉගෙනුම ලබා දීමටද අපට එපාව, බළලාගේ සෙල්ලම, බල්ලාගේ සෙල්ලම වැනි කවි පන්තීන් සමත් වේ.

--

බොළද කටට කුමර ගී - 1

1887 දී උපත ලද කුමාරතුංග මුනිදාසයෝ 1944 දී අපෙන් සමුගන්නා තෙක්ම සිංහල භාෂාවට සිය දිවි දෙවෙනි කොට සේවය කළහ. පාලි සංස්කෘත, ඉංග්‍රීසි ආදී භාෂාවන්හී උසස් දැනුමින් සපිරිව සිටි ඔහු ලොකු, කුඩා සියල්ලන්ටම නිවැරදි සිංහල භාෂාව ඉගැන්වීමට මහත් වෙහෙසක් දැරුවේය. වසර පන්සියයකට ආසන්න කාලයක් විදේශීය ජාතීන්ගේ ආධිපත්‍යයෙන් බැටකමින් පිරිහී තිබුණු සිංහල භාෂාවට නිසි තැන ලබා දී එය ඔසවා තැබීමට කළ කැපවීම් අපමණය. ඒ අතර සාහිත්‍යයේ වියරණ රීති හෙළි කිරීම, ග්‍රන්ථකරණය, පැරණි සම්භාව්‍ය ග්‍රන්ථ සංස්කරණය, ශාස්ත්‍රීය වාද විවාද, හෙළ හවුල ආරම්භ කිරීම ආදිය වේ.

ඉනුදු, ළමා වියේ සිටම නිවැරදි බස් වහර කුඩා දරුවන්ට හුරු කරවීමේ අභිලාෂයෙන් පළ කළ ළමා සාහිත්‍ය පොත පත වැදගත් තැනක් හිමි කර ගනී. හත් පන, මගුල් කෑම, හීන් සැරය, කියවන නුවණ පොත්පෙල වැනි රසවත් කතන්දරද කුමර ගීය, රුවන් වැල, කුමාර පද්‍ය සංග්‍රහය පොත් පෙළ, අකුරු සැහැල්ල, ශික්ෂා මාර්ගය පොත් පෙළවැනි කවියෙන් කළ රචනාද ළමයින් සදහාම සිදු කළ නිර්මාණ වේ.

මේවා අතර කියවන නුවණ කවිඩපෙල මුලුමණින්ම සිංහල හෝඩියේ අකුරු උගැන්වීම සඳහාම වෙන් විය. මුල් බිළිදු පොත, මැද බිළිදු පොත, අග බිළිදු පොත යනුවෙන් කොටස් 3ට වෙන් වී ඇති මෙය, වචන හා අකුරු සිගිති මුවට හුරු කිරීම වෙනුවෙන් නිර්මාණය කෙරුණකි.

මුල් බිළිදු පොත

අ ආ අ ආ
අ ආ අ ආ
අ ආ අ ආ
අ ආ අ ආ

ආ අ ආ අ
ආ අ ආ අ
ආ අ ආ අ
ආ අ ආ අ

මැද බිළිදු පොත අකුරු කිහිපයක් සහිත වචනද උගන්වයි

කාක් කාක් කාක්
කෝක් කෝක් කෝක්
කේක් කේක් කේක්
කනු කනු ඇති තාක්

කන්දේ ඉද නැන්-දා
අන්දා දූ නන්-දා
කැන්දා එන සන්-දා
උන්දෑ සුදු ඇන්-දා

අග බිළිදු පොත ඉන් මදක් ඔබ්බට ගොස් වචන කිහිපයක් එකවර උගන්වයි.

මට මාමා මගේ
දුන්නා මැන මෑ ගොඩක්
මිටි මීමා පිටේ ඇති
නාමු මූදේ බැඳ මූ

හා හා හදඳ් හා-වා
හඳ හැම තැන හෑ-වා
හිහී හිහී ගෑ-වා
හුඟක්ම හූ කී-වා

ලංකා දීපේ - ගිං ගං මත්තේ
බිං ගේ හාවා - පිං කම් ඇත්තේ

ගංටා නාදේ - ඩිං ඩොං ඩිං ඩොං
දවුලේ නාදේ - ඩං ඩුං ඩං ඩුං

මී මැස්සන්ගේ - රුං රුං රුං රුං
ලේනුන්ගේ ඒ - ටිං ටිං ටිං ටිං

මේ එක් එක් අකුරු සඳහා පාඩම බැගින් වෙන් වශයෙන් නිර්මාණය කර කියවන නුවන රචනා කර තිබේ.
වැඩිහිටියන්ට, පණ්ඩිතමානී ස්වරූපයෙන් රචනා කළ කුමාරතුංගයෝ හැමවිටම දරුවාට සරල, සුගම බසින් කවි ලිවූහ.

බල සෙනගට සමර ගී
සුර සබයට අමර ගී
සුවද මලට බමර ගී
බොළද කටට කුමර ගී

යනුවෙන් ඔහු කුමර ගීයේදී ඒ බව ප්‍රකාශ කර සිටියි.

--

සිංහරාජය ‍ලෝක උරුමයක් නොවේ ??

අද පත්තරවලත් පහු ගිය දිනවල විද්‍යුත් තැපෑලෙනුත් සිංහරාජය ‍ලෝක උරුමයක් ලෙස නම් කිරීමට ඡන්දය දෙන මෙන් ඉල්ලීම් ගණනාවක් ලැබුණා. දැන් අපේ පරිසර ඇමැත්තා පවා එහෙම ඉල්ලීම් කරනවා..

නමුත් ලෝක උරුමයන් ගැන මෙහෙම කතාවකුත් තියෙනවා..

මේ අබය ආර්යසිංහ මහත්තයා 2006දී කියපු කතාවක්....

අපේ රටේ කිසිවක් ලෝක උරුමයක් නොවේ...

යූනෙස්කෝ ආයතනය කලින් කලට ලෝකයේ ඇති පැරණි නිර්මාණ හා ඇතැම් ස්වාභාවික වස්තූන් ලෝක උරුම ලෙස හඳුන්වා දීමට තැත් කර තිබේ. මේ කාර්යයේදී ඔවූන් "ලෝක උරුමය" යනූ හරිහැටි තේරුම් කර ගෙන නැති බව පෙනේ. කිසියම් නිර්මාණයක් ලෝක උරුමයක් ලෙස හංවඩූ ගැසූ විට එය එම රටට දුන් කීර්තියක් සේ ගණන් ගැනීමට සමහරු පූරුදු වී සිටිති. මෙය අතිමහත් රැවටීමකි. තමන් සතු දෙයකට උරුම කීමට ලෝකයාට අත වැනීමකි.

ලෝක උරුමයක් ලෙස පිළිගත හැක්කේ එම නිර්මාණය කළ ජාතිය හෝ ඉන් පැවතෙන ජනතාව එම රටෙි තවමත් ජීවත් නොවූවහොත් පමණි. ඉන්දුනීසියාවේ පිහිටා ඇති බෝරෝ බූදූර් බෞද්ධ විහාරය එහි අතීතයේ පදිංචිව සිටි බෞද්ධයන්ගේ අද්විතීය නිර්මාණයකි. එම රට ඉස්ලාම් ආගමික රටක් වූයේ ඉන් බොහෝ කලකට පසූය. නියම නිර්මාණකරුවෝ හෝ ඔවූන්ගෙන් පැවතෙන්නන් හෝ දැන් එහි නැත. සම්මතය අනූව මේ බොරෝ බූදූර් ඉන්දුනීසියාවට අයත් වූවත් සංස්කෘතිය අතින් එය සමස්ත ලෝකයාටම අයත් යැයි පිළිගැනීම වරදක් නැත. එහෙයින් එය "ලෝක උරුමයක්" සේ නම් කිරීම මැනවි.

චීන මහා ප්රාකාරය චීන ජනතාවගේ නිර්මාණයකි. එම ජාතියෙන් පැවත එන්නෝ කෝටි ගණනක් දැන් එහි වාසය කරති. එබැවින් චීන මහා ප්රාකාරය චීන ජාතික උරුමයක් විනා ලෝක උරුමයක් නොවේ.

ශිෂ්ට ලෝකයා විශ්මයට පත් කරන නිර්මාණ කීපයක් සිංහලද්වීපයේ තවමත් ඉතිරිව තිබේ. රුවන්මැලිසෑය, අභයගිිරිය, ජේතවනය වැනි ස්තූප ද සමූදුර පරයන පරාක්රම සමූද්රය වැනි වැව් ද සීගිරිය වැනි විශ්මයජනක රාජධානි ද කරවූවෝ එකල සිටි සිංහලයෝය. මෙයින් අන්තිමට සඳහන් කළ සීගිරිය තෝරාගෙන එය ලෝක උරුමයක් කියා හංවඩූත් ගස්සා ගත්තෝ අවියත් සිංහලයෝය. ඒ මදිවාට සීගිරිය අටවන පූදුමය ලෙස කියවා ගන්නට වෑයම් කළේ එබඳුම අවිචාරවත් සිංහල ඇමැතිවරයෙකි. මේ උත්සාහය එතුමාගේ මනසට පමණක් සීමා වී තිබේ.

සීගිරියට ළඟාවන පාරවල සංස්කෘතික ත්රිකෝණය හිටූවා ඇති ලෝක උරුම බෝඩ් සියල්ලම ගලවා ගිනි දෙවියාට පූද කළාට වරදක් නැත.

සිංහරාජ වනය ද ලෝක උරුමයක් ලු. එය සිංහල පොළෙවේ සාරය උරාගෙන වැඩූන ගණ මනහර වනයකි. සිංහලයා එය රෝපණය කළේ නැත. එසේ වූවත් පෙර කී සේම යූනෙස්කෝව කියන පරිදි ලෝක උරුමයන් නොවන බව දතමනාය. කොටින් කියතොත් අප රටෙි ඉතිරිව ඇති කිසිම නිර්මාණයක් ලෝක උරුම නොවේ. ඒවා හූදු සිංහල උරුම වේ.

මහාචාර්ය අබය ආර්යසිංහ

2006 ජුනි

යන රැල්ලත් එක්ක යන්නේ නැතිව දැන් මේ කියන කාරණය ගැනත් හිතා බැලුවොත් හොඳය කියන එකයි මගේ නම් හැඟීම.
--


රාත්‍රියේ තනිකම වද නොදෙන්නට (වරුණට පමණයි)

මේක වරුණගේ තනිකම් දෝසය දුරුවෙන්ට පතා ලියමි.

නින්ද කපා තනි යහනේ ඉන්න කොට
නින්ද නොයා තනිකම හද පෙලන කොට
මම් බෙහෙතේ කියමි ඔය රෝ දුරුවන්ට
කැන්ද එන්න හොඳ නැකතක් බලා ගෙට

සකු නළු රස සිහිවෙයි...

ඔබ කාලිදාසයන්ගේ ශාකුන්තලය කියවා ඇත්දැයි මම නොදනිමි. මම සංස්කෘත නාට්‍ය කියවන්නට ඉමහත් ආසාවකින් ‍පෙළෙන්නට වූයේ පාසල් අවදියේ සිටමය. සකු නළු රසය මට බෙදා දුන් ගුරුවරයා ලීල් අධිකාරි මහත්මයායි. ඔහු දැන් කොහේ ඇත්දැයි නොදනිමි. එකල ද ඔහු බොහෝ වයස්ගත ය. නමුත් රඟ දක්වමින් සකු නළු රස දැක්වූ ආකාරය අදද අමතක නොවේ.

අභිඥාන ශාකුන්තලය, ප්‍රියදර්ශිකා, රත්නාවලී, නල-දමයන්ති වැනි නාට්‍ය කියවීමට මම එකල බෙහෙවින් ප්‍රිය කළෙමි. ඉනුදු ශාකුන්තලයෙහි එන ශකුන්තලාව දුෂ්‍යන්ත ගැන සිතමින්, උයනේ ළපලු පත්වල පවා ඔහුගේ රුව දකිමින් කල් ගෙවූ ආකාරය අදද මට රසවත් ලෙස මතකයට නැගේ.

මේ සංකල්පනාව ඒ රස හා බැඳුණු එහෙත් වෙනත් දෙයකි.

සකුන්තලා හද ඇවිලුණු ගිනි වැද

වැතිරී හුන් නෙළුමක පත එදවස

මැලවී ගියයුරු ඇසුවෙද සඳ ඔබ

අද මේ ‍‍ළය තුළ

ඇවිලෙන ගිනි කඳ

සම කළ නොහැකිය

ඒ කිසිවක් හට

--

මන්ද නිදි නේන කාරණ..??

ඔහ්.. බෝත් ගියා එන්නම් ඉක්මනට... කියාගෙන.. ඉතින් මම විතරයි මේ පැත්තේ....බඩගින්නයි...සීතලයි..පාලුවයි..ඒත් නින්ද නම් අහලක නෑ..

:(


ඔන්න බලන් දැන් තනියම මං මෙතන
උන්දැ ගියා යළි එන්නම් කියාගෙන
නින්ද වුණත් හතුරුයි අද මගෙ නෙතට
මන්ද නොදන්නෙමි නිදි නේන කාරණ !!


බෝ ..ඊ ගාව කවි පදය ලියන්න ඉක්මණට එන්න...

--

රේඩියෝව කළ මහතුනි අසල්ලා..

බෝ කිව්වේ ඇත්ත.. මේ කාලිංග නිස්සද්ද වුණාට පස්සෙ ටිකක් පාලුයි වගේ. තියෙන කොටත් ගාණක් නෑ අර කම්මලේ ‍බල්ලාට හෙණ ගැහුවා වගේ....

බෝ ගේ කවියට මෙන්න උත්තරයක්


අන්ද මන්ද වූ සිත් හැම පහන් කොට
වෙන්ට තිබු දේ සිදු විය හිතාගෙන
කන්ද කපා හඳ පායන විලාසෙට
කින්ද සිනා වපුරන්නට පමා තව ??


ඉතින් නුඹත් නැත්නම් මට මා කවුද ?

ඉස්සර පාසල් යන කාලෙ තරගෙට මිතුරියක් එක්ක කවි ලිව්වා මතකයි. එතකොට අපි හිටි‍යේ හතේ පන්තියේ. ඇයි කියලා හිතාගන්න බෑ ඒ කාලෙත් මං ඒවා ලිව්වේ හැමෝටම හොරෙන්....යාළුවෝ කීප දෙනෙකු නම් බැලුවා. ඒත් ගෙදර අය නම් දන්නේ නෑ..

මේ ‍කාලෙත් මං ලියන ඒවා බලන්නේ මමම විතරයි. මේ බ්ලොග් මැරතන් හින්දා අද නම් තත්වේ ටිකක් වෙනස්.

ඉතින් හැමෝම ඒ කාලෙ මොනවා හරි ලියලා පත්තරවලට යවද්දි මට හිතුණේ ඒක උන්මාදයක් කියලයි. මම හරියි කියල මං හිතන්නේ නෑ. ඒත් ඒ හැම එකක්ම පලවීමට තරම් සුදුසු නැහැයි කියල මට හිතුණ නිසා මම කවදාවත් පත්තරේකට කවි සංකල්පනාවක් දැම්මේ නෑ

නමුත් කාලෙත් එක්ක මට හිතුණා එකම එක වතාවක් ඒකත් කරලා බලන්න. එහෙම යැවු එකම එක කවි සංකල්පනාව තමා මේ....ඒක පලවුණේ මී‍විතේ...

ඉමක් කොනක් නැති සෙනෙහස හිතේ දරන්
පෙරුම් පුරාගෙන ආ රැය ගෙවී ගිහින්
සඳත් තරුත් මගෙ තනියට ඉතිරි කරන්‍
හිතත් රිදො‍්ගෙන නුඹ අද යන්න ගිහින්‍


නෙත පෙම් කළා මතකයි රුව දකින්නට
සිත පෙම් කළේ නුඹ ළඟ රැඳෙන්නට
අත දිගු කළත් සසරේ පෙර පුරුද්දට
නොකියම ගියේ මගෙ මොන වැරැද්ද ද ?

මුවින් මුවට විස පිරි අවලාද
කනින් කොනට ඇහුණා හැම උදෑසන
නෙතින් කඳුළු හසරැල්ලන් පිස දමන
ඉතින් නුඹත් නැත්නම් මට මා කවුද??

එදා ‍එහෙම ඇහුවට හැමෝම මට කිවුවෙ මම වැලක් නෙවෙයි ගහක් කියලයි..

............

කෙට්ටු වෙන්න අබ ඇටයක්

මං දැක්කා ටීකාව කරන මහත්තැන් ලියලා තියෙනවා තරබාරුව අඩු කරන අව් කණ්ණාඩි කුට්ටමක් ගැන..මම හිතන්නේ මම තරබාරු නැහැ කියලයි. ඒත් මාසයක විතර ඉඳන් අසාමාන්‍ය විදිහට ස්කන්ධය වැඩිවෙන අඩුවෙන බවක් පෙනෙනවා.

ඉතින් මං පුරුද්දක් විදිහට චීන කටු ගහන තැනට ගිහිල්ලා මගේ ගැටළුව ගැන කිව්වා..

ඔන්න දැන් මගේ ක‍න ගාව පුංචි අබ ඇටයක් ප්ලාස්ටර් කැබැල්ලකින් රඳවා තියෙනවා.
මට හිතෙන විදිහට මේකෙන් කරන්නේ කෑම රුචිය අඩු කරන එක වෙන්න ඕන.
මේක නිල උත්තේජනයක්..

නමුත් එයාල දන්නවනම් මම කන්නේ බොහොම ස්වල්ප ප්‍රමාණයක් කියලා... මේ අබ ඇටය අලවන එකක් නෑ කියලා මට දැන් හිතෙනවා.

සඳුදා දිහාවට ගිහින් අහලා බලන්න ඕනා ..මේකෙන් ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා..

-

නොදනිමි ඉවසන තාල.............


කුරවී අදත් ඇවිදින් ගේ දොරකඩ ට‍
විරහී ගීය ගැයුවා හද පාරවන
ඇවිලී අනුරාග පෙර විඳි නුඹ ගාව
සසැළී හඬමි - නොදනිමි ඉවසන තාල

මිලී ඇසූ කල අම්මා මන් ද නිදී - ලිලී පැවසුවා උන්දැට නින්ද මදී

අපේ ජන කවියට කර්තෘ කෙනෙක් නෑ. ඒ ජන කවි අතර තේරවිලි කවි කියන්නේ ඉතාමත් රසවත් අංගයක්.
-යුගල පැදි සහ කේවල විසඳුම් දෙන ජන කවි
-යුගල පැදිවලට බහුවිධ විසඳුම් දෙන තේරවිලි
-ඒකල පැදිවලට බහුවිධ විසඳුම්
-පද පෙරළි
-පෙරළි පැදි
මේ ආකාරයේ නොයෙකුත් තේරවිලි කවිවලින් අපේ ජන කවිය ‍පෝෂිතයි. මේවා එකතු කර තබන අයට ඇත්තෙන්ම අපි ගරු කළ යුතුයි. පළාතෙන් පළාතට, විෂයෙන් විෂයට වෙනස් කවි රාශියක් අපේ ජන කවි සාහිත්‍ය තුළ තිබෙනවා.

මම දැන් මෙහි සටහන් කරන්නට යන්නේ පෙර‍‍‍‍‍‍ළි පැදි කීපයක්. මේවායේ කවියේ මුල හා අග පද පෙරළිමට පත් ව ඇති අයුරු ඉතා රසවත් නේද ?

උසාවියට ගෙව්වේ නම් දඩකාසී
ඒකට හරියන්ට ලැබුණේ කඩදාසී

මිලී ඇසූ කල අම්මා මන් ද නිදී
ලිලී පැවසුවා උන්දැට නින්ද මදී

මාසේ පඩිය දෙන්නට උන් කල් දෙනවා
නැති බැරි කමට බඩගින්නට දෙල් කනවා

මේ මුල පද පෙරළෙන හැටි...........

ගල් සිත් නිසයි කවුරුත් පව් කරන්නේ
සිල්ගත් පසුයි කොයි කාටත් දැනෙන්නේ

කහ සාරියත් අරගෙන මම යන කලට
සහකාරියත් පැනලා ගොස් ඇගෙ ගමට

පාරුවේ පුවක් පටවාගෙන යන කලට
පුරුවේ පවක් පල දුනි අනේ මට

මඩ කණ්ඩිය උඩින් ගිය විට ඇති පාර
කඩ මණ්ඩිය පෙනෙයි අත ළඟ පේන දුර

බනිස් මිල වැඩියි කියලා පලක් නැත
මිනිස් බල ඇතොත් හැමදා ඉදෙයි බත

මේ අන්තිම ‍කවියට නම් අපේ වෙළද කටයුතු හා පාරිභෝගික ඇමතිතුමාත් ආස වෙයි මං හිතන්නේ :)

මේ තේරවිලි කවි අඩංගු ‍බොහොම වටිනා පොතක් පල කර තිබෙනවා කිත්සිරි අලුත්ගේ කියන මහත්මයා. 360/4, මාගම්මන. හෝමාගම එතුමාගේ ලිපිනය..ඔබත් කැමති නම් ලිපියකින් ඒ උත්සාහය අගේ කරන්න ‍හෝ වෙනත් යමක් දැන කියා ගන්න පුළුවනි.

අවුරුද්දයි ආදරයයි

සිංහල අවුරුද්ද කියන්නේ සිනා බෝ වන ‍උත්සවාකාරී ‍අවස්ථාවක්. අත්‍යන්තයෙන්ම සොම්නස පිරි කාලයක්. ඒත් මේ අවුරුද්දෙ කාරණා තුනක් නිසා මගේ හිත බෙහෙවින් සසළ වී ගියා.

එකක් තමා..මගේ මිතුරු සගයින් කීප ‍පොළක් කිවු කතාවකින්....

" මේ පාර අවුරුද්දේ වැඩිම පෝලිම් තිබුණේ උගස් බඩු කඩවල " මේ කතාව ඇහුවාම ඔබව කම්පනයට පත් වෙන්නේ නැතිනම් ඔබට ඇත්තේ නරුම හදවතක් යැයි කියනවාට මට සමාවෙන්න. මිනිසුන්ට මුදල් නැහැ ඒක ඇත්ත. බඩු ගණන් ගිහින් ඒකත් ඇත්ත. ඒත් මාස එකොළහක්ම ‍ළෙව කකා ජීවත්වන ගානට හිටියත් අවුරුදු මාසෙට මිනිසුන් එහෙම මග හැර යන්න හිතන්නේ නෑ. තමන්ගේ අම්මා තාත්තාට පවුලේ අයට ආච්චිලා සීයලාට චීත්තයක්, සරමක් වත් අරන් ගිහින් දණ ගහලා වැඳලා කිරිබත් කටක් කන්න කවුරුත් ආසයි. ඒ තමා අපේ සංස්කෘතිය. ඊටත් වඩා නැති බැරි කම විසින් වසාගෙන සිටින අපේ ආදරය.....

මතක තියා ගන්න..
ආ ද ර ය .....
හොඳේ.

ඉතින් මේ දිනවල දකින්න ලැබුණු තවත් දෙයක් තමා හවුස් ඔෆ් ෆැෂන්, ෂේඩ්ස් වගේ ඇඳුම් කඩවල පාර දිහාට එනකන් දවස් ගණන් පෝලිම. ඇයි මේ තැන්වල විතරක් ? කාරණේ පැහැදිළියි නේ..අතේ තියෙන සොච්චමට හරියන්න කාට කාටත් කෑල්ලක් හරි ගන්න පුළුවන් මේ තැන්වලින් විතරයි. ඒ නිසා හැමෝම තමන්ගේ යුතුකම් ඉටු කරන්න වෙර දරන හැටි කල්පනා කරන කොට ම‍ට ඇත්තටම ලොකු කම්පනයක් ඇති වුණා... මං මේ කතා කරන්නේ මමත් අයත් බහුතර පංතිය ගැන. මට පෝලිම් ගැන නොරිස්සීම් ඇති නොවු එකම සහ ප්‍රථම අවස්ථාව මේක බව මට දැන් හිතෙනවා.

දෙවැන්න පෞද්ගලික අවස්ථාවක් නිසා සසළ වු මොහොතක්..

මම මගේ ගෙදර අයට, මගේ නෑදෑයින්ට, මගේ ළඟම මිතුරු සගයින්ට සහ අහළ පහළ පොඩි යාළුවන්ට මට හැකි පමණ හොඳින් තෑගි දෙන්න හැමදාමත් කැමතියි. අවුරුද්දට ඉතින් ඒක වි‍‍ශේෂයි.....

මේ පාර ඒ යුතුකම් ඉටු කරන අතරේ මං කෙනෙකුගෙන් ඇහුවා...
" ඔයාට මොනවද මං අරන් දෙන්නේ ? ඇඳුමක් අරං දෙන්නද? "කියලා..
එයා ගත් කටටම කිවුවා
" අනේ එපා.. මට ඕන තරම් ඇඳුම් තියෙනවා..මට ගෙදර අයත් අරන් දෙනවා".. කියලා

....
....
....
.....

ඉන් පස්සේ දීර්ඝ නිශ්ශබ්දතාවක්. (පොඩ්ඩක් බර කඳුළු බිංදු දෙක තුනක්)

අපි අවුරුද්දට කාට හරි මොනවා හරි දෙන්නේ ඒ කෙනාට ඒ දේ නැති නිසා නෙවෙයි කියලා තේරුම්ගන්න සමහර අයට හැකියාවක් නෑ

ජීවිතේ හැම දේම යාන්ත්‍රික ‍වෙලා තියෙන මොහොතක,
මිනිස් සම්බන්ධතා දුරස් වී ඇති අවකාශයක,
මිනිසුන් අතර ආදරය නිසා ඇති වන සරළ එහෙත් සුන්දර අවකාශයන් දුරස් වි ඇති මොහොතක,

අපේ ජීව්ත වියළි ස්වභාවයට පත් වෙන එක වළක්වන්න බෑ...ඉතිං ඔයින් මෙයින් අපි අවුරුද්දට ඇඳුම් ගන්න එක නතර වුණා.

තෙවැන්න-- එය ඉතාමත් පෞද්ගලිකයි. ඒ මා මෙවර අවුරුද්දට ගෙදරින් පිට සිටි නිසා. එය කතා කිරීමේ පලක් නෑ.


ඉතින් මේ අවුරුද්ද හිතට දැනුණු කාරණා නිසා මම තවමත් යම් දුරකට කම්පනය වී සිටිනවා..

ලබන අවුරුද්දේ බොහෝ දෙනාට සියුම් මිනිස් සම්බන්ධතාවල වටිනාකම හා සුන්දරත්වය වඩාත් හොඳින් අවබෝධ වන, මිනිසුන් උකස් කඩවලින් ඈත් කර තබන සුබ අළුත් අවුරුද්දක් වේවා ! යි මම දැන්ම සිට පතනවා.

Friday, April 18, 2008

" අපි දැන් පදිංචිවෙලා ඉන්නේ අපේම අළුත් ගෙදර.."

"අදහස් අවකාශයේ" සහෘදයා ලියා තිබුණ නළු නිළි වත ගැන දැක්කාම මටත් කාරණයක් මතක් වුණා. අපේ සති අන්ත පුවත්පත්වල ටැබ්ලොයිඩ්වල මැද පිටුවේ නළු නිළියන් ගැන යනවානෙ. ඉතින් යන්නේම එයාලගෙ ගෙවල්වල නිදන කාමරවල කුස්සිවල ඡායාරූප, අළුත් වාහනේට හේත්තුවෙලා අළුත්ම ඇඳුම් මෝස්තරවලින් සැරසිලා ඉන්න ඡායාරූප..වගේ විස්තර මිසක් වෙන මොකුත් නෙවෙයි..

ඉතින් දවසක් පත්තර හිතවතෙක් තවත් පත්තර සගයෙකුගෙන් ඇහුවා මොකද මේ නළු නිළියෝ ගැන ලියද්දි එයාලගෙ ගෙවල් ගැනම ලියන්නේ කියලා..

අර සගයා ගත් කටටම කිවුවා..

"ඉතින් මචං එයාල ගැන වෙන මොනව කියල ලියන්නද? මොනවා හරි කරලා ගෙයක් දොරක් හදා ගත්ත එක විතරමනේ ‍ඔය කට්ටිය කළා කියලා කියන්න කරලා තියෙන්නේ...ඉතින් ඒවා ගැන ලියනවා" කියලා...


අපේ රටේ එක රැයෙන් නළු නිළියන් බිහිවෙලා හැ‍මෝටම වෛර කර කර ඉන්න චරිතම කර කර ඉන්න හැටි දැක්කාම ඒකත් ඇත්ත කියලා හිතෙනවා.

මං මේ කතා කරන්නේ අල්පයක් වූ චරිතාංග නළු නිළියන් ගැන නෙවේ.
බහුතරයක් නළු නිළි චරිත ගැන පමණයි.

සිංදු අටයි ෆයිට් තුනයි- අකුණු ගොඩයි ලිපි හතරයි :(

සිංහල චිත්‍රපටි හදන ලේසිම විදිහ තමා සිංදු කීයද ?ෆයිට් කීය ද ? කියල දමාගන්න එක..මං කියන්නේ වාණිජ වට්ටෝරු චිත්‍රපට..(නැත්නම් සමහරු යුද්ධ ප්‍රකාශ කරයි)..

ඒක මතක් වුණේ හතරවෙනි පාරටත් ලොග් වෙලා පෝස්ට් ගණන කියවද්දි දුක හිතිලයි.

තාමත් අකුණු ගගහා වැස්ස..කෙළවරක් නෑ...

ආවොත් ආවා ගියොත් ගියා කියල හිතාගෙන ලොග් වුණා

වා නං වා - පෝ නං පෝ ..කිවුවලු

වැඩිම වුණොත් පරිගණකය අබිබගාත වෙයි.
ගෙදර දුරකථනයට කිසිවක් නොවී එහෙම වුණාට නම් කමක් නෑ
නැත්නම් ප්‍රතිපාදන සහ නේවාසික පහසුකම් අහෝසි වෙයි....


එහෙනම් නැවතත්...සිංහල බ්ලොග්කරුවන්ට ආ වඩා ආයිබෝ වේවා !

අපිට මොටද හැරි පොටර්

සුදාරක මැරතන් එකට හැරී පෝටර් ගැන ලියලා තිබුණා දැක්කාම මට සිද්ධියක් මතක් වුණා. පරිපාලන සේවා විභාගෙ ආවාම ‍අපේ ගෙදරින් බර බරේ ආවා මටත් විභාගයට දමන්න කියලා. ඉතින් මමත් දාලා සද්ද නැතිව උන්නා. ඒත් විභාගය දවස ආවාම හැම තැනින්ම ආරංචිවන නිසා ගෙදරින් ආයෙත් බර බරේ..ඉතින් කනක් ඇහිලා ඉන්න නැතිවන වග දන්න නිසා මමත් විභාගයට ගියා.

විභාග ලියන එක මගේ විනෝදාංශයක් නිසා ගාණක් වුණේ නෑ.. දන්න ඒවාට ලියලා දැම්මා..

ඒකේ සාමාන්‍ය දැනීම ප්‍රශ්නවලට අහලා තිබුණා

" හැරී පෝටර් ලිව්වේ කව්ද ? " කියලාත් ...ඒක මං දන්නේ නෑ...දැනගන්න වුවමනාවකුත් නෑ

ලංකාවෙ පරිපාලන නිලධාරියෙකුට හැරී පෝටර්ගෙන් ඇති වැඩේ මොකක්ද කියලා අදටත් මේ දැනුත් මං කල්පනා කරනවා....අනේ මෙහෙම අමන ප්‍රශ්න...අහපංකෝ අපේ ඉතිහාසය ගැන....මට එහෙමයි හිතුණේ..

ප්‍රතිඵල ආවා

මම ලකුණු දෙකකින් අසමත්.

හැරි පෝටර් ගැන දැනන් උන්නා නම්..මම අද පරිපාලන නිලධාරිනියක්.
ඒ කියන්නේ අතිරේක ලේකම්වරියක්/සහකාර ප්‍රා‍දේශීය ලේකම්වරියක්


ඒත් හැරී පෝටර් ගැන ලියලා එහෙම වෙනවාට වඩා නම්බුයි ඒකට බැනලා එළියේ ඉන්න එක කියලත් මට හිතෙනවා.

ඔබ මොකද හිතන්නේ ????

එගොඩ ගොඩෙත් ගිනි - මෙගොඩ ගොඩෙත් ගිනි


අද ලක්බිමේ රබන් පද ගැන ලිපියක් තිබුණා.

"වත පියකරු බඳ රවුමැති රබානේ-මේ අවුරුදු හෙට ඉවරලු හැබෑනේ " කියල.. මම ඒක අහල තිබුණෙ නෑ. ඒත් මමත් ඉන්න ගමන් රබන් පද වගේ ඒවා ටිකක් ලිවුවා.

මෝටාර් එකක කෑල්ලකින් කොකිස් අච්චුවක් හදාගෙන, ග්‍රෙනේඩ් එකකින් පහන් දල්වාගෙන අවුරුද්ද හිතට කිට්ටු කර ගන්න හදන හැමෝටමත් , නමක් ගමක් නොදන්නා හැමෝටමත් හැම අවුරුද්දක්ම සුබ අළුත් අවුරුද්දක් වෙන දවසක් ඒවා යි පතමින් මං ඒවා මෙහෙම පළ කරනවා.

මම ගිහින් එන්නම්...

අතුරේ යන මිනිහගෙ ගෑනියි මුහුදු යන මිනිහගෙ ගෑනියි දවසකට තුන් පාරක් කණවැන්දුම් වෙනවලු කියල මූදුකරේ කතාවක් තියෙනවා..

ගහකින් ගහකට ගිහින් ගස් මදින, අතුරේ යන කෙනා අව්ව, වැස්ස, රෑ, දවල් නොබලා, කුණාටු සුළං නොබලා මූදු යන කෙනා...මේ දෙන්නාම තමන්ට මුහුණ දෙන්න වෙන දේවල් ගැන ඒ තරම් විශ්වාසයකින් නෙවෙයි ඉන්නෙ.

මේ දෙන්නම තමන්ගෙ අයගෙන් සමුගනිද්දි "යන්නමි" කියනවා මිසක් කවදාවත් "ගිහින් එන්නම්" කියා කියන්නේ නෑ....

මූදු යන අය නම් අකුරටම ඒ සිරිත රකිනවා..යන ගමනක් මිස එන ගමනක් ගැන විශ්වාසයක් නැති නිසයි ඒ..එහෙම එන ගමනක් ගැන කියන එක අසුබ දෙයක් විදියටයි ඔවුන් සිතන්නේ..

පහුගිය කාළෙ මේ කියමන මේ කොළඹ ඉන්න අපටත් පොදු දෙයක් වුණා..
ගිලන් රථයක නාදය ඇහෙන කොට, කොහෙන් හෝ ලොකු සද්දයක් ඇහෙන කොට, අහස අඳුරු වෙලා මූසල පාටට බලන් ඉන්න කොට...

එළියට බැස්සාම ගෙදර එනකන් විශ්වාස නැති ගමන් තමා දැන් අපිත් යන්නෙ


" බෝම්බයෙන් අනුකම්පාවක් නැත"

හැම වෙලේම කන් දෙක අස්සෙන් එහෙම ඇහෙනවා.

ඒත් මම හැම වෙලේම ඉල්ලන්නේ..."ගිහින් එන්නම්" කියලා කියන්න කියලයි.
ඔබටත් මම කියන්නේ .." බුදු සරණයි, පරිස්සමින් ගිහින් එන්න " කියලයි.

ඒ මනුස්ස බැඳීම් හැර පළමු තැනට වටිනා කිසිවක් මට මගේ සරළ දිවිය තුළ නැති නිසයි.

යසරුවන් වෙනුවෙන් - "ශෝකය හැර ගිය අයට නොවේ..ජිවත්ව ඉන්නා අපටයි"

Tuesday, April 15, 2008

හද බිඳි සර..

පබවත් සදිසි රන් රුව වියැකී ගියෙ ද
කුළගොත් පිරිහි පෑහීමක් නොපෙනුනිද
කල්වස් නොසරි වී සිත් සසැළි ගි‍යෙද
සදවත් සදිසි හිමි මග හැර කොයි ගියෙද

වෙනස් නොවන කිසිවක් ලොව නැති විටෙක
පෙමක් වුවත් පවතීවිද තිර ලෙසට
මෙරක් තරම සෙනෙහස පිදු බව එකල
ලොවක් දනීවිද නුඹ නොදකින කලෙක

මගෙයි කියා කී කිසිවක් නොවු ක‍ලට
නුඹයි දුන්නෙ සෙනෙ‍හස මදි නොකියන්ට
මමයි නුඹයි වෙන් කර ඇඳ බෙදුම් ඉර
අගෙයි දුන්නු දඬුවම මේ හිඟන්නිට

Monday, April 14, 2008

අවුරුද්දක් ඇවිත් ගියා....2


මගේ අවුරුද්ද හා බැඳුණු තවත් සටහන් කීපයක් ලියන්න හිතුණා.


‍සඳ‍‍ගෙ ගෙදර අවුරුද්දට ගේ පොලිෂ් කර ගන්න අර පොලි‍‍‍‍‍‍‍‍‍‍ෂර් එකක් තිබුණේ නෑ. ඉතින් තිසුලනාගෙ අප්පචිචී මොකක්දේ රෙදි කෑලි ටිකක් ගැට ගහගත්තු මොප් එකක් වගේ කොස්සක් ‍හදාගෙන තිබුණා. ඒත් පොලිෂ් ගාලා අතුල්ලන්න තරම් ඒකෙ බර මදි නිසා
කොස්ස උඩින් තිසුලනා වාඩිවෙලා හිටිද්දි ඒක ගේ පුරා ඇදගෙන ගිහින් තමා‍ පොලිෂ් කළේ..

පේනවනේ පින්තූරේ..
වෙලාවට තිසුගෙ අම්මා ආවෙ ඔය ‍සෙල්ලම් ඉවර වෙද්දි.

අනිත් කාරණේ තමා ළසංඛ මල්ලි වඳිද්දී සඳ‍ගෙ තාත්තා එක පාරටම කිවුවා හරියට වඳින්න කියලා
ඉතින් ඒ පාර මල්ලී දණ බිම ගහලා දෙපතුල් අල්ලලා තාත්තාට වැන්දා

ඔය වැඳිල්ල ගැන මගේ යා‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ළුවන්ට එක එක අදහස් තියෙනවා.
සමහරු කියන්නේ නිතර වඳින්න ඕන නැහැ කියලයි. හිස නැමීමට ඒ අය කැමති නැහැ
සමහරු කියන්නේ අපි වැඩිහිටි අයට ගරු කරන්නට පුරුදු විය යුතු බවයි

අද අපේ ගොඩක් පොඩි හිටි‍යො වගේම වැඩි හිටියොත් වඳින්නෙ ඉන්දියන් ස්ටයිල් එකට
අර යාන්තම් නැවිලා එක් අතකින් පාද ස්පර්ශ කරලා.. අයිශ්වර්යා රායි එහෙම වඳින ක්‍රමේට

මට නම් ඊට වඩා හොඳයි නොවැඳම ඉන්න එක කියලා හිතෙනවා
අපට හන්දි අමාරු නැත්නම්, වඳින්නත් ඕන නම් .. දණ බිම ඇණලා වැන්දහම මක් වෙනවද ,

මෙදා පාර අපේ ගෙදර කැවුම් ‍කොකිස් නෑ..ලෝකෙන්ම රසට උයන අම්මා අපේ අම්මා වු ණාට අම්මාට ඒ තෙල් කෑම හදන්න දැනෙන්නේ නැහැ. ඉතින් අපි පොඩි කාලේ
ගමෙන් ආ නැන්දා කෙනෙක් මේ උඩ තට්ටුවේ ගෙදර සාලෙ තහඩුවක් තියලා ඒක උඩින් ලිපක් බැඳලා කැවුම් කොකිස් හැදුවා අපට පෙනෙන්න.
කොකිස් රසට හදන්න අපේ අම්මගෙ ලොකු නැන්දා තරම් සමතෙක් හිටියේ නෑ. ඉස්සර අපි අවුරුද්දට එහෙ (ගොඩමග) ගියහම හතර වටෙන් ආපු නැන්දලාගෙ කැවුම් කොකිස් මේසෙ තිබුණත්, අපි කවුරුත් කාලා රසයෙන් ලොකු නැන්දගේ කොකිස් අඳුණ ගන්නවා
ඒකත් අපට ලොකු හපන්කමක් ඒ දිනවල..අදටත් ඒ ‍කොකිස් හදන පදම අපි දන්නේ නෑ.. ඒ රහසත් අරන් ලොකු නැන්දා පිළිකාවක් නිසා අපෙන් සමු ගත්තා..

පස්සෙ කාලෙක අපේ නංගිටයි මල්ලිටයි ඔය අත්දැකීම් මොනවත් නොලැබෙන නිසා මං කල්පනා කළා ‍ඕවා හදල බලන්න
අපේ අක්කා මට කිවුවා අපි දෙන්නා කැවුම් කොකිස් වගේ සිංහල කෑම හදන පන්තියකට යමු කියලා. මාත් එක පයින් හා කිවුවත් ඒ වැඩේ කෙරුණෙත් නෑ
මම යාළුවන්ගේ අම්මලාගෙන් දුරකථන උපදෙස් හෙම අරන් පළමු වතාවට කොකිස් හැදුවාම මගේ යාළුවෝ කිසි කෙනෙක් පිළි ගත්තේ නෑ..
කොකිස් ව‍ගේ නෙවෙයි කැවුම් තමා හදන්න අමාරු කිවුවාම ඒ අභියෝගයත් බාර ගත්තේ කාටවත් ආවට ගියාට කැවුම් හදන්න බැරි නිසයි

ඉතින් ගිය අවුරුද්දේ අපේ ගෙදර කෑම මේසයට කොණ්ඩ කැවුම් තිබුණා කිවුවොත් ඹයාලා වුණත් දැන් පිළි ගන්න එකක් නෑ. සමහරුන්ට දවස් දෙක තුනක් තියාගෙන කැවුම් සාම්පල් ගෙනිහින් දීලයි
මගේ අභියෝගයේ සතුට විඳගත්තෙ.. ඒ විතරක් නෙවෙයි අපේ 4 පන්තියේ නංගියි අවුරුදු දෙකේ මල්ලියි රෑ එළිවෙනකං බැණුම් අහගෙන ඇහැරං හිටියා කැවුම් හැදිල්ලට සපෝර්ට් එකක් දෙන්න

ඒ තමා මගේ එකම ප්‍රේක්ෂකයෝ දෙන්නා..

දැන් මේ ඔන්ලයින් ලියන එ‍කේ පල ප්‍ර‍යෝජන අපේ නංගි හා මල්ලි වගේ තව නංගිලා මල්ලිලා, දුලා පුතාලා සිය දහස් ගාණකට අනාගතේදි, මේ කාලේ අපේ අවුරුදු කියන්නේ මොන වගේ එකක්ද කියලා තේරුමි ගන්න ‍
උපකාරයක් වෙයි කියලා දැනෙද්දි ලියන එකේ වටිනාකම මටත් දැනෙනවා.

අපි දැකපු දේවල්වත් අද එයාලා දකින්නේ නැතිනම්.....

අනාගතේ කොහොම වේවි ද???

මුළු මහත් බාල පරම්පරාවටම ගුගල් සහ විකිපීඩියා සරණයි.

අවුරුද්දක් ඇවිත් ගියා....


අවුරුද්දක් ඇවිත් ගියා. සති අන්තයට නැකැත් ආ නිසා මොකක්දෝ ජංජාලයක් වාගෙයි අවුරුද්ද දැනුණේ.

මෙදා පාර අවුරුද්දට නෑදෑ හිතවතුන්ට ඇඳුම් ගන්න වෙනදා නැති තරම් රස්තියාදුවක් වෙන්න වුණා. එක්කෝ පොලිම් දිගයි කලන්තෙ හැදෙන තරමට..එක්‍ොක් ඇඳුම් නෑ තේරිලා තේරිලා ඉවර වෙලා...
රෑක ගියා ඒත් එහෙමයි‍‍.. උදේ ගියා ඒත් එහෙමයි..කොල්ලුපිටියට ගියා..බම්බලපිටියට ගියා..නුගේගොඩට ගියා..රාජගිරියට ගියා..
ඒත් තවමත් අරන් ඉවර නෑ
අවුරුද්දට නම් මං ඇදුම් ගන්න යන්නේ අපේ අක්කණ්ඩිත් එක්කලා..එයා තෝරලා දුන්නාම මං අරන් එන එක තමා ලේසිම
නැත්නම් මට ඔය විෂය ටිකක් සංකීර්ණයි..
මං වැඩිය කැමති පොඩි අයට තෝරන්න තමයි..ඒක හරිම විනෝදජනකයි

ඉතින් මේ ඇඳුම් අරන් පෝලිම්වල බිල් ගෙවන්න ඉන්න කොට පිටිපස්සෙන් ඇවිත් ඇඟට හේත්තුවෙලා තෘප්තියට පත්වෙන සමහරුත් නැතුවා නෙවෙයි
මං මේ දේ දෙපො‍‍‍ළකදිම දැක්කා
ඒ වෙලාවට නම් එන්නේ ලොකු තරහක්

කොහොම කොහොම හරි තවමත් කීප දෙනෙකුටම ඇඳුම් ගත්තේ නෑ.
මට මොකුත් ගත්තෙත් නෑ..ඒක නම් ඒ තරම් දැනුණෙත් නෑ..මට ඉතින් ඒකෙ ගාණක් නෑ :)

මම මෙදා පාර අවුරුද්දට යාළුවෙකුගේ ගෙදර ගියා..පාදුක්ක පැත්තේ.. ඉතින් මම කලින් දවසේ එහෙ යද්දි යා‍‍ළුවගේ අම්මා ගජරාමෙට කැවුම් හදනවා. උණු කැවුම් දෙක තුනක් කාලා ප්ලේන්ටියක් බීලා මමත් කට්ටියට එකතු වුණා.

යාළුවගේ‍ ගෙදර අවුරුද්ද සමරන්න එයාගෙ අම්මගෙ පැත්තෙ සහෝදරියක් වන මම්ම යි එයාගෙ දුවලා දෙන්නෙකුයි එයා‍ලගෙ දරුවන් සමග ඇවිත් හිටියා

ඉතින් නැකැත් වෙලාව ලැබුවාම අම්මා ලිප ගිනි මොලවලා කිරිබත් මුට්ටිය ලිපේ තියලා වැඳලා චාරිත්‍ර ඉටු කළා
ගෙදර හැමෝම එකතුවෙලා සාලෙ පැදුරු එළලා කැවිලි පෙවිලි, පහන්, බුලත් සහ කාසි හෙප්පුවක් ඒ ‍‍‍‍‍‍‍උඩින් තියලා..කෙහෙල් ගහකින් කො‍ල කපලා
ගෙදර ‍උදවිය ගානට කෙහෙල් කො‍ළ කැපුවා. අපි හැමෝම පැදුර වටේ වාඩි වු ණහම එක් එක්කෙනා අතට තාත්තගේ අතින් කෙහෙල් කො‍ළය ගණනෙ ලැබුණා.
ඉස්සෙල්ලම කිරිබත් කෑල්ල බෙදුවෙත් තාත්තා.‍ ඒ වගේම හැමෝටම පළමු කට කැව්වෙත් තාත්තාම තමයි..

මම කන්න කැමති කිරිබත්වල දංකුඩ නිසා, මම කිරිබත් කෑලි කපද්දිම සඳගෙ අම්මට කියලා දංකුඩ ටික හූරලා පිඟානකට දමා ගෙනයි හිටියෙ
මං හීන් සීරුවෙ ඒක මගේ කෙහෙල් කොළයට මාරු කර ගත්තා

අපි හැමෝම කාලා ඉවර වුණහම බුලත් දෙන වෙලාව ආවා
කවුරුත් තාත්තාටයි අම්මාටයි වඳින කොට තාත්තා හැමෝටම බුලත් කොළයක එතූ මුදලක් දුන්නා
අපිත් ඉතින් ගනු විතරයි - දෙනු නෑ

‍රස්සාවකට යනකම්ම ගනු විතරයි. පස්සේ තමා දෙන්නත් පටන් ගත්තෙ
පොඩි කාලෙ අපේ ප්‍රියතම අවස්ථාවක් තමා මේ ගනුදෙනු අවස්ථාව
කීයක් හම්බවුණාද කියලා බලනකම් ඉවසිල්ලක් නෑ...ඒ මුදල් කැටයකට දමන්නත් පස්සෙ කාලෙක නම් පොතට දමන්නත් අපි පුරුදු වෙලා හිටියා.

දැන් මෙහේදිත් ආපහු ඒ පුරුදු මතක් වුණේ තිසුලනා නිසයි. තිසුලනා ඉන්නෙ පහේ පන්තියේ. ඒ කාලෙ අපි වගේම තමයි.
මං දැක්කා බුලත් කොළ දිග හරින්න තිබූ නොඉවසිල්ල

ඉන් පස්සේ හැමෝම වැඩ අල්ලන වෙලාව ආවා. සඳගෙ තාත්තා කළින්ම අපට අණ කරලා තිබුණා පොත් පත් පෑන් ලෑස්ති කරන්න කියලා.. තාත්තායි අයියලායි ගිහින් කිරි ගහකට කොටලා වැඩ අල්ලන අතරතුරේ
මමත් එස්.එම්.එස්‍ එකක් යවලා වැඩ ඇල්ලුවා (එහෙම ‍කළේ මං විතරක් නෙවෙයි (ලු)).....

ඒ අදහසත් නරක නෑ නේද ?

තව දෙයක් සටහන් කරන්න ඕනේ. මගේ යාළුවගේ ගෙදරට අළුත් අවුරුද්දට ඉස්සෙල්ලම ආවෙ බලු මිතුරෙක්..
නැකතට අහ‍ළ පහළ පත්තුවුණු රතිඤ්ඤාවල සද්දෙට බය වුණු බල්ලෙක් දුවගෙන දුවගෙන ඇවිත් ගේ ඇතුළට වැදුණා.
ගෙදරත් සත්ව ලෝලියෝ ඉන්න නිසා බල්ලට මාර පිළිගැනීමක් ලැබුණා.
අන්තිමට ඌව කාමරේකට දාලා දොර වහලා තමා අවුරුදු සිරිත් කළේ

අද උදේ තේ බොන්න කුස්සියට ගිය වෙලේ මට ඇහුණා කට්ටිය කියනවා ඒ බල්ලා හරිම සිරියාවන්තයි කියලා...

පොල්ලකින් ගහලා එ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ළවනවාට වැඩිය ඒ පිළිගැනීමත් කොයි තරම් හොඳද කියලා මේ දැනුත් මං කල්පනා කරමින් ඉන්නෙ

මං සාමාන්‍යයෙන් මෙහෙම ඒවා ලියන්නේ නෑ. එත් මේ අවුරුද්ද ගෙදරින් පිට හිටි නිසාත්, මොකක්දෝ කියාගන්න බැරි අවිනිශ්චිත හැඟීමකින් තාමත් පෙළෙන නිසාත් ලියලා දමන්න හිතුවා

කියවපු හැමෝටමත්, නොකියවු අයටත්

සිත නිවී පහන් වෙන, දුක් දොමිනස් වියැකී ගිය සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා !
මේ ලැබූ අවුරුද්දේ ..

සිනා බෝ වේවා !

Thursday, April 10, 2008

ලිවිල්ලේ දිවිල්ල - තව දින 8 යි !

පතුරු යන්න ලියන්න !
සිංහල බිලොග් මැරතන්



මෙදා පාර අවුරුද්දට - පතුරු යන්න ලියන්න...
හිතේ ‍තියෙන හැම දෙයක්ම
හංගන්නෙ නැතුව ලියල දාන්න

ආයෙ කල් - යල් බලන්නෙ මොකට ද ?
අරය - මෙයා ගැන
එදා - මෙදා තුර
අතන - මෙතන වුණ දේ
යන - එන කොට
දුටු - නුදුටු දේ
අහන - දකින දේ
අඳින - පළඳින
කන - බොන දේවල් ගැන වුණත්
ලියන්න - කියන්න ................. කොයි තරම් දේවල් තියෙනවද ? ඒවා
අහන්න - දකින්න .. වගේම ඒවයින්
හිතන්න - පතන්න

ලියන - නොලියන හැම දෙනාටම පොඩි ගතියක් දෙන්න..

සිංහල බිලොග්කරුවන්ගේ සංසදය හා පුරා කියල අළුත් අවුරුද්දෙ අත ගහන වැඩේ තමා අළුත් අවුරුදු බිලොග් මැරතන් උළෙල..

මෙය සිංහල ප්‍රිය කරන කොයි කාගෙත් නෙතට උළෙලක්ම වේවා යි පතන ගමන් ම..

බ්ලොග් එකකින් සිංහල අවුරුද්දට වැඩ අල්ලන්න එන්න කියල ආරාධනාවකුත් මේ සමග එවනවා...

නැකත තියෙන්නේ අවුරුදු මාසේ 18 වෙනිදා .. ඒකත් හැන්දෑවට.. (මෙදා ඔක්කොම හැන්දෑ නැකැත්)

වැඩේ සිද්ධ වෙන්නේ නම් මෙන්න මෙහෙමයි.
හරිද ? කියවලා ‍අදහසක් ගත්තද ?

තව විස්තර ඕන නම් chat එකටත් පොඩ්ඩක් set වෙන්න..

මට 18 වෙනිදා රැය පහන් වෙන තුරු ඉන්න පුළුවන් වුණත් වෙනත් කටයුත්තක් සඳහා පසුදා එළිවෙන‍කොට යන්න සිද්ධ වෙනවා.
ඉතින් මං අපේ අනිත් අයගේ පූර්ණ ආශීර්වාදය මැද බ්ලොග් මැරතන් - බ්ලොග් රිලේ බවට පත් කිරීම සඳහා ‍බ්ලොග් සහකරුවෙකු සොයාගන්න ස්වයංවරයක් පවත්වන්න තීරණය කළා. එයාට පුලුවනි එදාට මං හවස එනකන් මම වෙලා ඉන්න..

ඉතින් එහෙනං පහුවෙලා දෙවෙනි පාරටත් බැදගත්තු ‍කොකිස් වාටි ටිකක්, පුස් එක්ක හරි කැවුම් දෙක තුනක්, අලුවා කෑල්ලක්, උණු කෝපි ෆ්ලාස්ක් එකක් එක්ක 18 වෙනිදාට එක වහලක් යටට එකතු වෙලා කෙලවරක් නැතුව කියවන්න එන්න.

එහෙනම් ඔන්න .. ආයෙ කියන්නේ නෑ... හැමෝම එන්න .. හරි නේ...

[ආවෙ නැත්නම් බලාගන්න පුළුවන් ;) ]

Friday, April 4, 2008

වෙහෙසයි මට..























පිටව යන්න හිතූ දාක යළි නොහැරී
නිද්‍රාවක ගිල්වා මා පිටව යන්න
සිහිනය තුල මම ඉන්නම් ඔබ ම රැඳුණ
අවදි නොවන පැතුමක් ළය තුරුළට ගෙන...


-

Tuesday, April 1, 2008

පරණ සුසුමක අළුත් සිහිලක්.. ?

පරණ කවියක කඳුළු අත ගා
බලමි ළසොවින්
අළුත් සිහිලක් දැනෙයි නෙතු අග
සිහින් රිදුමක් නැගෙයි හද තුළ..

------------------------------------