Monday, April 14, 2008

අවුරුද්දක් ඇවිත් ගියා....


අවුරුද්දක් ඇවිත් ගියා. සති අන්තයට නැකැත් ආ නිසා මොකක්දෝ ජංජාලයක් වාගෙයි අවුරුද්ද දැනුණේ.

මෙදා පාර අවුරුද්දට නෑදෑ හිතවතුන්ට ඇඳුම් ගන්න වෙනදා නැති තරම් රස්තියාදුවක් වෙන්න වුණා. එක්කෝ පොලිම් දිගයි කලන්තෙ හැදෙන තරමට..එක්‍ොක් ඇඳුම් නෑ තේරිලා තේරිලා ඉවර වෙලා...
රෑක ගියා ඒත් එහෙමයි‍‍.. උදේ ගියා ඒත් එහෙමයි..කොල්ලුපිටියට ගියා..බම්බලපිටියට ගියා..නුගේගොඩට ගියා..රාජගිරියට ගියා..
ඒත් තවමත් අරන් ඉවර නෑ
අවුරුද්දට නම් මං ඇදුම් ගන්න යන්නේ අපේ අක්කණ්ඩිත් එක්කලා..එයා තෝරලා දුන්නාම මං අරන් එන එක තමා ලේසිම
නැත්නම් මට ඔය විෂය ටිකක් සංකීර්ණයි..
මං වැඩිය කැමති පොඩි අයට තෝරන්න තමයි..ඒක හරිම විනෝදජනකයි

ඉතින් මේ ඇඳුම් අරන් පෝලිම්වල බිල් ගෙවන්න ඉන්න කොට පිටිපස්සෙන් ඇවිත් ඇඟට හේත්තුවෙලා තෘප්තියට පත්වෙන සමහරුත් නැතුවා නෙවෙයි
මං මේ දේ දෙපො‍‍‍ළකදිම දැක්කා
ඒ වෙලාවට නම් එන්නේ ලොකු තරහක්

කොහොම කොහොම හරි තවමත් කීප දෙනෙකුටම ඇඳුම් ගත්තේ නෑ.
මට මොකුත් ගත්තෙත් නෑ..ඒක නම් ඒ තරම් දැනුණෙත් නෑ..මට ඉතින් ඒකෙ ගාණක් නෑ :)

මම මෙදා පාර අවුරුද්දට යාළුවෙකුගේ ගෙදර ගියා..පාදුක්ක පැත්තේ.. ඉතින් මම කලින් දවසේ එහෙ යද්දි යා‍‍ළුවගේ අම්මා ගජරාමෙට කැවුම් හදනවා. උණු කැවුම් දෙක තුනක් කාලා ප්ලේන්ටියක් බීලා මමත් කට්ටියට එකතු වුණා.

යාළුවගේ‍ ගෙදර අවුරුද්ද සමරන්න එයාගෙ අම්මගෙ පැත්තෙ සහෝදරියක් වන මම්ම යි එයාගෙ දුවලා දෙන්නෙකුයි එයා‍ලගෙ දරුවන් සමග ඇවිත් හිටියා

ඉතින් නැකැත් වෙලාව ලැබුවාම අම්මා ලිප ගිනි මොලවලා කිරිබත් මුට්ටිය ලිපේ තියලා වැඳලා චාරිත්‍ර ඉටු කළා
ගෙදර හැමෝම එකතුවෙලා සාලෙ පැදුරු එළලා කැවිලි පෙවිලි, පහන්, බුලත් සහ කාසි හෙප්පුවක් ඒ ‍‍‍‍‍‍‍උඩින් තියලා..කෙහෙල් ගහකින් කො‍ල කපලා
ගෙදර ‍උදවිය ගානට කෙහෙල් කො‍ළ කැපුවා. අපි හැමෝම පැදුර වටේ වාඩි වු ණහම එක් එක්කෙනා අතට තාත්තගේ අතින් කෙහෙල් කො‍ළය ගණනෙ ලැබුණා.
ඉස්සෙල්ලම කිරිබත් කෑල්ල බෙදුවෙත් තාත්තා.‍ ඒ වගේම හැමෝටම පළමු කට කැව්වෙත් තාත්තාම තමයි..

මම කන්න කැමති කිරිබත්වල දංකුඩ නිසා, මම කිරිබත් කෑලි කපද්දිම සඳගෙ අම්මට කියලා දංකුඩ ටික හූරලා පිඟානකට දමා ගෙනයි හිටියෙ
මං හීන් සීරුවෙ ඒක මගේ කෙහෙල් කොළයට මාරු කර ගත්තා

අපි හැමෝම කාලා ඉවර වුණහම බුලත් දෙන වෙලාව ආවා
කවුරුත් තාත්තාටයි අම්මාටයි වඳින කොට තාත්තා හැමෝටම බුලත් කොළයක එතූ මුදලක් දුන්නා
අපිත් ඉතින් ගනු විතරයි - දෙනු නෑ

‍රස්සාවකට යනකම්ම ගනු විතරයි. පස්සේ තමා දෙන්නත් පටන් ගත්තෙ
පොඩි කාලෙ අපේ ප්‍රියතම අවස්ථාවක් තමා මේ ගනුදෙනු අවස්ථාව
කීයක් හම්බවුණාද කියලා බලනකම් ඉවසිල්ලක් නෑ...ඒ මුදල් කැටයකට දමන්නත් පස්සෙ කාලෙක නම් පොතට දමන්නත් අපි පුරුදු වෙලා හිටියා.

දැන් මෙහේදිත් ආපහු ඒ පුරුදු මතක් වුණේ තිසුලනා නිසයි. තිසුලනා ඉන්නෙ පහේ පන්තියේ. ඒ කාලෙ අපි වගේම තමයි.
මං දැක්කා බුලත් කොළ දිග හරින්න තිබූ නොඉවසිල්ල

ඉන් පස්සේ හැමෝම වැඩ අල්ලන වෙලාව ආවා. සඳගෙ තාත්තා කළින්ම අපට අණ කරලා තිබුණා පොත් පත් පෑන් ලෑස්ති කරන්න කියලා.. තාත්තායි අයියලායි ගිහින් කිරි ගහකට කොටලා වැඩ අල්ලන අතරතුරේ
මමත් එස්.එම්.එස්‍ එකක් යවලා වැඩ ඇල්ලුවා (එහෙම ‍කළේ මං විතරක් නෙවෙයි (ලු)).....

ඒ අදහසත් නරක නෑ නේද ?

තව දෙයක් සටහන් කරන්න ඕනේ. මගේ යාළුවගේ ගෙදරට අළුත් අවුරුද්දට ඉස්සෙල්ලම ආවෙ බලු මිතුරෙක්..
නැකතට අහ‍ළ පහළ පත්තුවුණු රතිඤ්ඤාවල සද්දෙට බය වුණු බල්ලෙක් දුවගෙන දුවගෙන ඇවිත් ගේ ඇතුළට වැදුණා.
ගෙදරත් සත්ව ලෝලියෝ ඉන්න නිසා බල්ලට මාර පිළිගැනීමක් ලැබුණා.
අන්තිමට ඌව කාමරේකට දාලා දොර වහලා තමා අවුරුදු සිරිත් කළේ

අද උදේ තේ බොන්න කුස්සියට ගිය වෙලේ මට ඇහුණා කට්ටිය කියනවා ඒ බල්ලා හරිම සිරියාවන්තයි කියලා...

පොල්ලකින් ගහලා එ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ළවනවාට වැඩිය ඒ පිළිගැනීමත් කොයි තරම් හොඳද කියලා මේ දැනුත් මං කල්පනා කරමින් ඉන්නෙ

මං සාමාන්‍යයෙන් මෙහෙම ඒවා ලියන්නේ නෑ. එත් මේ අවුරුද්ද ගෙදරින් පිට හිටි නිසාත්, මොකක්දෝ කියාගන්න බැරි අවිනිශ්චිත හැඟීමකින් තාමත් පෙළෙන නිසාත් ලියලා දමන්න හිතුවා

කියවපු හැමෝටමත්, නොකියවු අයටත්

සිත නිවී පහන් වෙන, දුක් දොමිනස් වියැකී ගිය සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා !
මේ ලැබූ අවුරුද්දේ ..

සිනා බෝ වේවා !

2 comments:

Anandawardhana said...

හරිම ආසාවෙන් කියෙව්වා ලිපි දෙක ම :-)

සිනා බෝ වුනා :D
ඔබටත් එසේ ම වේවා!

Bo said...

සඳ අක්කටත් සුභ අලුත් අවුරුද්දක් කිව්වා ඔන්න, සු අක්කෙ ලිපිය ආසාවෙන් රසවින්ඳා. පින්තූර දැක්කම ඇත්තටම කටට කෙල ඉනුවා. නියම අවුරුදු මේසේ