ළමා කවි පබදින්නන් ළමයින්ට ආයාසයකින් තොරව වටහා ගත හැකි, ගයද්දී හිතේ ප්‍රීතිය වඩවන, ඇග පත නිකම්ම නැටවෙන ආකාරයේ කවි රචනා කළ යුතුය. එපමණක් නොව ඒවා අසා සිටින වැඩිහිටියන්ගේ පවා හිත් පැහැදෙන ආකාරයට ළමා කවි රචනා කළ යුතුය. කුමාරතුංග කවියා "කව් රසය" නම් නළු සිඟිත්තේ මෙසේ පවසයි.
දරුවන් හට මහත් - නැතත් නැති වැ මැ වැටහෙන
උන්ගේ සිත් පුබුදුවන - ඇඟපත නිකම් නටවන
යහළුවන් සමගින් - සසඳන්නට පොළඹවන
උන් කියවනු ඇසූ වැඩි - හිටියවුන් පහදවන
විසිතුරු පබැඳුමෙකි - එ වයසට කවියෙක් නම්
කුමාරතුංගයන්ගේ ළමා ගී, නව උපමාවෙන්ද සරු අර්ථයෙන්ද මෙන්ම ළමයින්ට ගැළපෙන පිවිතුරු බසින්ද පොහොසත් විය. ඔහුගේ මල් බස් කවි පන්තිය ඊට නිදසුනකි.
ගස වතුසුදු
වී පිරිසිදු
පොහොය නැත දු
සිල් ගත් බඳු
මහ පුදුමෙකි
මලෙක මලෙකි
නැහැ එහි සකි
සමනලයෙකි
නැණ ගුණ දම්
රුව පැහැ තුම්
ඇති අය නම්
රෝස කුසුම්
මේ එම කවි පන්තියෙන් උපුටාගත් කවි කිහිපයක් පමණි. කුමාරතුංග කවියාගේ, දරුවන් සදහා රචිත කවි, වැඩෙන පරපුරේ කුඩා සිත් නිවැරදි බස් වහර හා තමා වෙසෙන පරිසරය පිළිබඳවත්, යහපත් ගුණ ධර්ම කෙරෙහිත් නිරායාසයෙන් ඇද බැඳලන්නට සමත්ය. ඉගෙනුම රසවත් කරන අතරම විනෝදය තුළින් ඉගෙනුම ලබා දීමටද අපට එපාව, බළලාගේ සෙල්ලම, බල්ලාගේ සෙල්ලම වැනි කවි පන්තීන් සමත් වේ.
--
No comments:
Post a Comment