Friday, August 29, 2008

When finally..



සිඳී යයිද සඳේ රශ්මි කළුවරෙක ගිලී
මකා මෙතෙක් පිරී තිබූ සොඳුරු රූ දසුන්
රැයට අඳුර හාද වූ සෙයක් දැනේ මටත්
ගියොත් නිවී හැඟුම් ඔබේ සිතින් මා බැඳී


God wants us to meet a few wrong people before meeting the right one.
So when we finally meet the right people,
We should know how to be grateful to them.
-author not known

Friday, August 22, 2008

සිංහල බ්ලොග්කරුවන් වෙනුවෙන් ෆයර් Fox වේදිකාවට...

දැනුම් දීමක් !
සිංහල ෆයර්ෆොක්ස් සම්බන්ධයෙන් මෙතෙක් කල් පළ වූ වාද විවාද හා කිසිදු පදනමකින් තොරව එකිනෙකාට චෝදනා එල්ල කර ගනු ලබන බ්ලොග් සටහන් ද කියවීමි. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල නිවේදනයක් ‍වන මෙම ප්‍රකාශනයෙන් එම තත්වය හා ෆයර්ෆොක්ස් සිංහලකරණය සඳහා මිතුරු පදනමින් ඩනිෂ්ක නවීන් හට සහය දුන් බ්ලොග් සාමාජිකයින්ගේ එකී සටහන්හි පසුබිම මනාව පැහැදිළි කර දෙයි. මමද සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය දරන හෙයින් මගේ සටහන තුළ ද මෙය පළ කිරීම යුතුකමක් කොට සලකමි.

මින් ඉදිරියට මෙම කරුණ සම්බන්ධයෙන් තම තමන්ගේ හිතළු පළ කරන සියල්ලන් මෙම නිවේදනය හොඳින් කියවනු ඇතැයි සිතමි.

මෙය කිසිවෙකු වෙනුවෙන් පෙනී සිටීමක් සඳහා නොව, හුදෙක් සිංහල බ්ලොග්කරුවන්ගේ ආත්ම ගෞරවය රකිනු වස් පළ කරමි.

දැනුම්දීමයි!

සිංහල ෆයර්ෆොක්ස් සම්බන්ධව දැනට ඇතිවී තිබෙන තත්වය පිළිබඳව අප අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අදහස් කළෙමු.

දැනට මේ ඇතිවී තිබෙන තත්වය පිළිබඳව අපගේ අවධානය යොමු නොවූ පැතිකඩක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණ වන අතර පළමුව දැනට ඇති වී තිබෙන තත්වයේ පසුබිම මදක් පැහැදිලි කරගනිමු.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයින් කිහිප දෙනෙක් විසින් ඉක්ටා (ICTA) ආයතනයේ ක්‍රියා කලාපය විවේචනය කරමින් බ්ලොග් සටහන් ලියුවේ ආසන්න වශයෙන් පහත සඳහන් කරුණු පාදක කරගනිමින් ය.

1. මෝසිලා ආයතනය යටතේ ඇති විවෘත හා නිදහස් මෘදුකාංගයක් වන සිංහල ෆයර්ෆොක්ස් බ්‍රවුසරය ඉක්ටා ආයතනයේ සහ මොරටුව විශ්ව විද්‍යාලයේ නිෂ්පාදනයක්ය යනුවෙන් හුවා දැක්වීමට ගත් උත්සාහයත්,

2. ඒ පිළිබඳව මාධ්‍ය ආයතන වලට ඔවුන් විසින් පෙන්වූ වැරදි චිත්‍රයත්,

3. මාධ්‍ය ආයතන විසින් කළ වැරදි ප්‍රචාරය නිවැරදි නොකිරීම සම්බන්ධවත්,

4. පසුව සිංහල බ්ලොග්කරුවන් වෙත නිකුත් කළ කිසිම නිල තත්වයක් නැති මාධ්‍ය ප්‍රකාශයත්,

5. මොරටුව විශ්ව විද්‍යාලයේ හා ICTA විසින් ෆයර්ෆොක්ස් ඔවුන්ගේ නිෂ්පාදනයක්ය යනුවෙන් මාධ්‍යයන්ගේ ගිය ප්‍රකාශත්,

මෙම කරුණු එකක් හෝ කිහිපයක් අලලා ලියැවුනු සිංහල බ්ලොග් සටහන් නිසා පැන නැගුණු තත්වය මත අප සංගමයේ කාලිංග ඇතුලත්මුදලි මහතා සහ ඉක්ටා ආයතනයේ වසන්ත දේශප්‍රිය මහතා අතර සුහද ලිපි හුවමාරුවක් ද සිදුවිය. සිංහල බ්ලොග්කරුවන් කිසිවිටෙකත් ඉක්ටා ආයතනය සමඟ ප්‍රශ්න ඇතිකරගැනීමටවත්, වෛර බැඳ ගැනීමටවත් මේ නිසා අදහස් නොකළ අතර එසේ විවේචන ඉදිරිපත් කළේ පැහැදිලිවම පෙනෙන වැරදි කිහිපයක් ඉක්ටා ආයතනය මගින් සිතාමතා හෝ නොසිතා සිදුවී තිබූ නිසාය. එවන් ඇතැම් කරුණු ගැන වසන්ත දේශප්‍රිය මහතා විසින් අපට පැහැදිලි කිරීම් ඉදිරිපත් කළ අතර සිදුවී තිබූ ඇතැම් වැරදි ගැන කණගාටුව ද ප්‍රකාශ කරන ලදි. එමෙන්ම ඔහු ලබාදුන් ඇතැම් පිළිතුරු සම්බන්ධයෙන් අපේ නොසතුට හා විරුද්ධත්වයද ප්‍රකාශ විය.

ඩනිෂ්ක නවීන් විසින් ඔහුගේ අන්තිම බ්ලොග් සටහනේ කියා තිබූ ආකාරයට "ඉක්ටා ආයතනය යනු සිංහල ෆයර්ෆොක්ස් නිර්මාණය සඳහා දායක වුනු ප්‍රජාවේ එක් පාර්ශවයක්" පමණි යන්න අපද එකහෙළා ප්‍රකාශ කර සිටිමු. ඒ ෆයර්ෆොක්ස් සිංහලයට පර්වර්ථනය කිරීම සඳහා යම්කිසි කාලයක් එම කටයුත්තෙහි පූර්ණකාලීනව යෙදී සිටී ඩනිෂ්ක නවීන් හට මූල්‍යමය වශයෙන් අනුග්‍රහය දක්වමින්ය. රෙඩ්හැට් ආයතනයද ඒ අයුරින්ම ෆයර්ෆොක්ස් සිංහලයට පරිවර්ථනය කිරීම සඳහා ඩනිෂ්ක හට මූල්‍ය අනුග්‍රහය ලබාදීමෙන් මෙම කටයුත්තට දායක වූ තවත් ආයතනයකි. එමෙන්ම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයද එහි සාමාජිකයින්ද එම කාර්යය සඳහා නන් අයුරින් සහාය දැක්වීය.

ඉහත ආයතන වල අනුග්‍රහය යටතේ කටයුතු කිරීමට ඩනිෂ්කට ඔවුන් සමඟ ගිවිසුම්වලට එළඹීමට සිදුවී ඇති බවද අපි දනිමු. ගිවිසුම්වල අන්තර්ගත වූ කරුණු පිළිබඳව අපි දැනුවත් නැතත් ඉක්ටා ආයතනයේ වසන්ත මහතා විසින් කාලිංග වෙත එවා තිබූ අවසන් ලිපියේ සඳහන් පරිදි ෆයර්ෆොක්ස් සිංහලයට පරිවර්ථනය කිරීම ඩනිෂ්ක ඔවුන් සමඟ ඇතිකරගත් ගිවිසුමේ පරිදි "contractual deliverable" (භාරදිය යුතු කටයුත්තක්) බව පැවසේ. ෆයර්ෆොක්ස් සිංහලයට පරිවර්ථනය කරන්නේ ඉක්ටා ආයතනයේ පුද්ගලික ප්‍රයෝජනය සඳහා නම් එම ගිවිසුමේ පරිදි ඩනිෂ්ක විසින් කාර්යය නිමකර එය ඉක්ටා ආයතනයට අවශ්‍ය පරිදි භාවිතා කිරීමට දීම හෝ ගිවිසුම් ප්‍රකාරව එහි අයිතිය ඉක්ටා ආයතනයට ලබාදීම පිළිබඳව කිසිඳු ප්‍රශ්නයක් අපට නැත.

නමුත් ඉක්ටා ආයතනයේ ගිවිසුම ප්‍රකාරව ඩනිෂ්ක විසින් ෆයර්ෆොක්ස් සිංහලයට පරිවර්ථනය කර භාරදිය යුත්තේ ඉක්ටා ආයතනයට වුවත් එය ඇත්ත වශයෙන්ම භාර දී ඇත්තේ (ඉක්ටා අනුදැනුමද ඇතිව) මෝසිලා ආයතනය වෙතය. එමෙන්ම ඉක්ටා ආයතනයට ගිවිසුමකින් බැඳී සිටී ඩනිෂ්ක ඔහුගේ රාජකාරිය කළේද මෝසිලා ආයතනයේ දැක්ම, මෙහෙවර, අරමුණු, සහ ඉලක්ක (goals) වෙනුවෙන් ඔවුන්ගේ deadlines අනුවය. ඒ අනුව ඩනිෂ්ක විසින් මෝසිලා ෆයර්ෆොක්ස් 3.0 නිකුතුව සමඟ සිංහල අනුවාදයද 2008 ජූනි 17 දින නිකුත් කිරීම සඳහා භාරදුන්නේ මෝසිලා ආයතනය වෙතයි. ඉන්පසු මොසිලා වෙබ් අඩවිය ඔස්සේ ලංකාවේ මෙන්ම ලොව පුරා බොහෝ පිරිසක් ෆයර්ෆොක්ස් හි සිංහල අනුවාදය භාගත කරගන්නා ලද බව අපි දනිමු.

ඒ අනුව පෙනීයන්නේ ඉක්ටා ආයතනය විසින් ඩනිෂ්ක වෙත ඉදිරිපත් කළ ගිවිසුම විවෘත සහ නිදහස් මෘදුකාංග පිළිබඳව කිසිඳු සිතාබැලීමකින් තොරව, කිසිඳු ආකාරයකින් තර්කානුකූල නොවන, පදනම් විරහිත කොන්දේසි සහිත ලියවිල්ලක් බවත්, එම ගිවිසුම සඳහා මෝසිලා ආයතනයට හෝ ඩනිෂ්කට කොන්දේසි ඇතුලත් කිරීමට අවස්ථාවක් නොලැබී ඇති බව හෝ අවස්ථාවක් ලැබුණත් ඔවුන් විසින් කොන්දේසි ඇතුලත් කර නැති බවයි. එය වැඩිදුර නොසිතීම නිසා සිදුවූවක් විය හැකිය. (එවන් කොන්දේසි තිබේදැයි අපි නොදනිමු)

එමෙන්ම ඉක්ටා ආයතනය මෝසිලා ආයතනයේ කිසිඳු ප්‍රතිපත්ති ප්‍රකාශනයක් (Policy Statement) හදාරා නොමැතිව එම ගිවිසුම් සකස් කර ඇති බවත් පෙනී යයි. මක්නිසාද ඉක්ටා ආයතනයේ ගිවිසුම පරිදි ෆයර්ෆොක්ස් සිංහල සංස්කරණයේ අයිතිය ඉක්ටා ආයතනය සතුබව ප්‍රකාශ කළද, මෝසිලා දේශීයකරණ ව්‍යාපෘති සඳහා වන ප්‍රතිපත්ති ප්‍රකාශයේ (Mozilla Trademark Policy for Localization Projects : http://www.mozilla.org/foundation/trademarks/l10n-policy.html ) සඳහන් පරිදි නිල ෆයර්ෆොක්ස් සිංහල සංස්කරණයේ හිමිකාරීත්වය ඇත්තේ එම කාර්යය සිදුකළ කණ්ඩායමේ නායකයාට (නොහොත් හිමිකරුට) බව "The L10n team owner is the module owner for the translation" ලෙස පැහැදිලිව සඳහන් වේ. ඒ අනුව ඉක්ටා ආයතනය හා ඩනිෂ්ක නවීන් අතර කුමන ගිවිසුමක් ඇති වුවද ඊට පෙර සිට තිබූ මෝසිලා ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ෆයර්ෆොක්ස් සිංහල සංස්කරණයේ හිමිකාරීත්වය ඇත්තේ ඒ සඳහා මූලිකත්වය ගත් කණ්ඩායම් නායකයා වූ ඩනිෂ්ක නවීන් හටය. එයද මෝසිලා වෙබ් අඩවියේ "Browser/toolkit owner - Danishka Navin " (https://wiki.mozilla.org/L10n:Localization_Teams#Sinhala_.28si.2Csi-LK.29 ) යනුවෙන් පැහැදිලිව දක්වා ඇත.

තවත් අයුරකින් බැලුවත්, ඉක්ටා ආයතනය රාජ්‍ය ආයතනයක් නිසා දැනට අප භාවිතා කරන සිංහල ෆයර්ෆොක්ස් මෘදුකාංගය නිපදවීම සඳහා පූර්ණකාලීනව කටයුතු කළ පුද්ගලයාට මූල්‍යමය අනුග්‍රහය සපයා ඇත්තේ මහජනතාව විසින්මය. එය හරියට ගමක ප්‍රජාශාලාවක් ගොඩනැගීම සඳහා ග්‍රාම සංවර්ධන සමිතිය මඟින් මේසන්බාස් කෙනෙකුට ‍වේතනයක් ගෙවා අවශ්‍ය ගොඩනැගිල්ල සාදවාගත්තා හා සමාන කටයුත්තකි.

මෙම ඉක්ටා ආයතනය-සිංහල බ්ලොග්කරුවන්-ඩනිෂ්ක යන පාර්ශව අතර ඇතිවී ඇති තත්වයයෙන් තම අරමුණු මුදුන්පත් කරගැනීමට වෙර දරණ තවත් පාර්ශවයක්ද සිටින බව පෙ‍නී යයි. එම කරුණ පැහැදිලි කිරීම සඳහා මෙම ලිපිය ලිවීමට අදහස් කළ අතර පසුබිම පැහැදිලි කිරීමට ඉහත කරුණු ඉදිරිපත් කළෙමු.

සිංහල යුනිකේත සම්බන්ධ ඉතිහාසයය ගැන සලකාබැලීමේදී සිංහල යුනිකේත පිළිබඳව මත දෙකක් දරණ පිරිසක් ලංකාවේ සිටින බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි. ඉක්ටා ආයතනය ප්‍රමුඛ බහුතරයක් සිංහල යුනිකේතවල කිසිඳු අඩුපාඩුවත් නොමැති බවත්, එය ඕනෑම කෙනෙක්ට ඕනෑම පරිගණක පද්ධතියක් තුල භාවිතා කර නිවැරදිව සිංහල ලිවීමට හා කියැවීමට හැකි පරිදි මෙවලම් නිර්මාණය කර ඇති බවත් ප්‍රකාශ කරද්දී, තමන්ගේ පටු වාණිජ පරමාර්ථ මුදුන් පමුණුවාගැනීමට වෙර දරණ එක් පුද්ගලයෙකු සමඟ සිටින ඉතා සුළු පිරිසක් සිංහල යුනිකේත වල අඩුපාඩු ඇතැයි පවසමින් ඒ සඳහා විකල්පයක් තමන් සතුව ඇතැයි මොර දෙති. ඒ බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි.

ඩනිෂ්කගේ මූලිකත්වයෙන් සිංහල ෆයර්ෆොක්ස් එලිදැක්වීමත් සමඟ මෙම සිංහල යුනිකේත විරෝධී කල්ලියට තරු වීසි වී ඇත්තේ සිංහල යුනිකේතය සඳහා ප්‍රායෝගිකව ජාත්‍යන්තර පිළිගැනීමක් සිංහල ෆයර්ෆොක්ස් නිසා ලැබීම හේතුවෙනි. සිංහල යුනිකේත භාවිතයෙන් නිකුත්වූ ලොව ජනප්‍රියතම මෘදුකාංගය ෆයර්ෆොක්ස් වන බැවින් මෙම සිංහල යුනි‍කේත විරෝධී කල්ලි‍යේ "සිංහල යුනිකේත දෝෂ සහිතයි" යන තර්කය නිරායාසයෙන්ම බිඳී ඇත. එමෙන්ම ඔහුගේ විකල්ප සිංහල යුනිකේත මාලාවේ ඉරණමද ඒ සමඟම තීරණය වී ඇත. එම නිසා එම කල්ලියේ අලුත්ම සතුරන් වී ඇත්තේ ඩනිෂ්ක නවීන්, සිංහල ෆයර්ෆොක්ස් සහ සිංහල බ්ලොග්කරුවන් ය.

එමෙන්ම සිංහල යුනිකේතවල කිසිඳු අඩුපාඩුවක් නැතැයි කියා කීමටද ඉක්ටා ආයතනය ඇතුලු සිංහල යුනිකේත ප්‍රජාවට ඇති ප්‍රබලම සාධකයද සිංහල ෆයර්ෆොක්ස් බව අවිවාදයෙන් කිව හැකිය.

ඌරන් කැකුණ තලන විට හබන් කුකුලන්ට මඟුල් කීවා සේ, ඉක්ටා ආයතනය, ඩනිෂ්ක නවීන් සහ සිංහල බ්ලොග්කරුවන් අතර ගැටුමක් ඇතිවී ඇති මේ මොහොතේ සිංහල යුනිකේත විරෝධී කල්ලියට රජ මඟුල් අවස්ථාවකි. එම නිසා එම කල්ලිය විවිධ බ්‍ලොග් අඩවි ඔස්සේ මෙම ඇතිවී ඇති තත්වය හැකි තරම් උණුසුම් කර, අවුල් කර ඉක්ටා ආයතනය සහ සිංහල බ්ලොග්කරුවනුත්, ඩනිෂ්කත් කෙටවීමට උත්සාහ කරන බවක් පෙනේ. මෙම ප්‍රශ්නකාරී තත්වය දුරදිග ගොස් ඉක්ටා ආයතනයත්, සිංහල බ්ලොග්කරුවනුත්, ඩනිෂ්ක නවීනුත් විරසක වුවහොත් ඉන් උපරිම වින්දනයක් ලබන්නේ එම සිංහල යුනිකේත විරෝධී කල්ලියයි. එමෙන්ම එම තත්වය යටතේ සිංහල ෆයර්ෆොක්ස් හි ඉදිරි සංවර්ධන කටයුතුද කඩාකප්පල් වීමට ඉඩ ඇත.

කෙසේ වෙතත් මෙම කරුණ ගැන කිසිඳු තැකීමක්, දුරදිග සිතීමකින් තොරව කටයුතු කළ සහ කරන ඉක්ටා ආයතනයේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා සිංහල යුනිකේත විරෝධී කල්ලියේ අයට ඇති තරම් මඩ බාල්දි ප්‍රමාණයක් රැස්කරගත හැකිවී ඇත. අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් ඉක්ටා ආයතනයටත්, ඩනිෂ්ක නවීන්ටත්, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයටත්, එහි සාමාජිකයින්ටත් එරෙහිව අසත්‍ය ප්‍රකාශ සහ මඩ ප්‍රහාර ඔවුන් විසින් දියත් කරමින් පවතී.

ඔවුන් පවසන පරිදි ඉක්ටා ආයතනය විසින් මහජන මුදලින් ඩනිෂ්ක නවීන්ගේ කැනඩා සංචාරය සඳහා මුදල් වියදම් කර නැති බවත්, ඔහු කැනඩාවේ සංචාරයක නිරත වූයේ මෝසිලා ආයතනයේ ආරාධනාවක් මත "‍2008 ෆයර්ෆොක්ස් සමුළුවට" සහභාගීවීම සඳහා බවත්, ඒ සඳහා සියළු වියදම් මෝසිලා ආයතනය විසින් දරා ඇති බවත් ෆයර්ෆොක්ස් සිංහල කිරීමේ කටයුතු වලට හවුල් වූ පාර්ශවයක් වශයෙන් අප අවධාරණයෙන් කියා සිටිමු.

එබැවින් කරුණාකර එම පිරිසගේ අසත්‍ය ප්‍රචාර වලින් නොමඟ නොගොස් ක්‍රියා කරන ලෙසද, එවන් බ්ලොග් අඩවි වලට ගොස් අදහස් ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙසද සැමගෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම ඉක්ටා ආයතනයට හෝ වෙන යම් පිරිසකට/පුද්ගලයෙකුට පන්න පන්නා පහර දීමේ ප්‍රතිපත්තියක් සිංහල බ්ලොග්කරුවන් අතර නැති බවද කිව යුතුය.

තවද සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයින්ගේ බ්ලොග් සටහන් හෝ ප්‍රකාශ ඒ ඒ සාමාජිකයින්ගේ පුද්ගලික අදහස් වන බවද, ඒවා සංසදයේ අදහස් හෝ ප්‍රකාශ ලෙස වටහා නොගන්නා ලෙසද මතක් කර සිටිමු.

එමෙන්ම දුරදිග සිතා කටයුතු කරන මෙන්ද, තම නිලධාරීන්ගේ නොමනා ක්‍රියාකලාපය සොයාබලා වගකීමෙන් කටයුතු කරන ලෙස අවවාද කරන ලෙසද ඉක්ටා ආයතනයේ වගකිවයුතු ඉහළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය


Friday, August 15, 2008

මලින්තගේ i ෆෝනය සහ ආසාවේ අතෘප්තිය


සිදුවීම් කිහිපයක් අසන්නට දකින්නට ලැබිණ.

"අර අයියා ජාතික ඇඳුම ඇඳන් ජාතිය ආගම ගැන කතා කළාට කසාද බැන්දෙ කලිසම් කෝට් ඇඳල ‍බොන්න දීල ගොඩක් ජනප්‍රිය අය පිරිවරාගෙන...."

අනේ මන්ද ...

මගේ මිතුරියක මැසිවිල්ලක් නැගුවාය.

"මිනිස්සු කලාව, කවිය, ආගම, ජාතිය, භාෂාව වගේ දේවල් තෝරගන්නෙ තමන් වෙනුවෙන් තමන්ගේම පැවැත්මට මිසක් අවංකව ඒ දේවල් වෙනුවෙන් නෙවෙයිනෙ..ඒ නිසා ඕක පුදුම වෙන්න දෙයක් නෙවෙයි."

මම කීවෙමි.

ඒ එකකි.

දැන් පරණ සිදුවීමක් මතකයට නැගේ. හෙළ උරුමය බිහිවන සමයේ බොහෝ පිරිස් හිටි අඩියේ ආගම දහමට නැඹුරුවන අවධියේ එය අපේ කතාබහටද ලක් විය.

"ගමෙන් නගරෙට ආපු මිනිස්සු එඩරු නැටි වගේ. මුල් ඉදිරිලා.. ‍එහෙට අයිතිත් නැහැ. මෙහේ පැළවෙන්නත් බෑ.. මේ හිස්කම, අඩුව වහගන්නෙ ‍ඒ වෙනුවට වෙනත්‍ දෙයක් ආරෝපණය කරගෙන. තමන්ට වටිනාකමක් හොයාගන්න විවිධ ව්‍යාපාරවලට එකතු වෙනවා.. සාමුහික වෙන්න හදනවා"....එදා මම කීවෙමි.

දැන් තෙවනුව,
මලින්ත i pod එකක් ගෙන තිබේ. ඒ ඔහුට දුරකථනයක් හෝ පරිගණකයක් නැති නිසා නොවේ. එහෙනම් ඒ ඇයි ?

දැන් ඔහුම ඒ ගැන මෙහෙම කියයි.

-කොටින්ම කියනවා නම් පිස්සු වැඩක් තමයි.
-මොකද මෙච්චර වැඩ කරන්න තියෙද්දි මේකක් ගත්තු එක.
-මේක එකපාරටම ආපු හැඟීමක්.
-එකක් ගන්න තදටම අවශ්‍ය වුණා.
-ඒත් ඉතින් ටවුමට ගිය වෙලාවෙ මට තවත් බලාගෙන ඉන්න බැරිවුණා.
-ම් ඉතින්… මට කියන්න බැරි තරම් සතුටුයි.
මොකද මේකක් ගන්න එක මගේ හීනයක් වෙලා තිබුණු නිසා. ෂුවර් නැත්නම් මං ලියපු පරණ සටහන් බලන්නකො.
-පසුතැවිල්ලක් නෑ (දැනට) ඒත් ඉස්සරහට මොනවා හිතෙයිද කියන්න බෑ.
බලමුකො.

දැන් මේ සියල්ලෙහි පොදු සාධක ඉවත් කර ගැනීම ට බලමු.

හිස් බව, ආසාව, අසම්පූර්ණභාවය හා අතෘප්තිය

අප සියලු දෙනා තුළ අඩු වැඩි වශයෙන් මේ වා පවතී. අපි ඒවා සම්පූර්ණ කර ගැනීමට සමාජ ව්‍යාපාර, බුද්ධිමය ක්‍රියාකාරකම්, ආගම්, පාරිභෝගික භාණ්ඩ, පුද්ගලයින්, සහ කලාවේ පිහිට පතමු.

දැන් ඔබ.. අහවලා රූපවාහිනියේ/ගුවන් විදුලියේ සාහිත්‍ය-කලා වැඩසටහන් මෙහෙයවන්නේ කලාවට සාහිත්‍යයට ඇති ඇල්ම නිසා හෝ අහවලා සෝම හාමුදුරුවන්ගේ බණ අහන්නට යන්නේ ආගම දහමට ඇති ආදරය නිසා හෝ අහවලා අහවල් වාහනය, භාණ්ඩය අත්පත් කර ගත්තේ එහි උපරිම උපයෝගීතාව නිසා හෝ යැයි කියමින් මා සමග සටනට සැරසීම මදක් පමා කළ මැනව.

අප සියලු දෙනා උපදින්නේ ආ‍සාව සහ අතෘප්තිය තුළටය. අපේ අතෘප්තිය අප තෘප්ත කර ගැනීමට නම් අප විසින් අපේ ආසාව ජනනය කරන වස්තුව ලබා ගතයුතුව ඇත.
මලින්ත‍ගේ අයිපොඩය ඔහුගේ ආසාවේ වස්තුවයි. මක් නිසාද යත් ඔහුගේ ආසාව ජනනය කරන වස්තුව එය වන නිසාය. (මේකක් ගන්න එක මගේ හීනයක් වෙලා තිබුණු නිසා.) දැන් ඔහුගේ ආසාව තෘප්ත ද ? නැත..ටික කලකදී තමන්ගේ ආසාව එම වස්තුව තුළ නැති බව ඔහුට දැනෙන්නට පටන් ගනු ඇත. (-පසුතැවිල්ලක් නෑ (දැනට) ඒත් ඉස්සරහට මොනවා හිතෙයිද කියන්න බෑ. බලමුකො.) ආසාව අතෘප්තිකර වන්නේ එ හෙයිනි. එම නිසා ආසාව යනු කෙළවර වන දෙයක් නොවේ. එය යළි යළි උපදියි. එය කිසි දිනෙක පරිපූර්ණත්වයට ළඟාවන්නක් ද නොවේ.

(වැඩි දුර උදාහරණ ඇවැසි නම් කාලිංගගේ ලැප් ටොප් හෝ ජංගම දුරකථන ආසාවන් ගැන කියවා බලන්න). අසීමාන්තික භාණ්ඩ අවකාශයක කෙසේ එක් වස්තුවකින් ආසාව තෘප්ත වේ ද ?

අප විසින් ලබන මේ තෘප්තිය පරිපූර්ණවූවක් නොවේ නම් අප ඒවා ගොඩ නගා ගන්නේ කෙසේද ? අපට එම පරිපූර්ණභාවය මවා පෙන්වන කෙනෙකු සිටියි. ඒ පුද්ගලයා බෙහෙවින් තෘප්ත ය. පරිපූර්ණ ය.. ඔහු සිටින්නේ රූපවාහිනිය/වෙළඳ දැන්වීම් තුළය... අප විසින් තෘප්තිය සොයා යන්නේ මේ රූපවාහිනියේ සිටින තෘප්ත වූ අනෙකාට සාපේක්ෂ වෙමිනි.

එසේ නම් අප තුළ ආසාව සහ අතෘප්තිය මවන්නෝ ද සිටිති. මේ පරිභෝජන සමාජයේ ස්වභාවයයි.

දැන් මේ පළමු පුද්ගලයා සාහිත්‍ය‍යේ පරම ගැලවුම්කරුවකු ලෙස පෙනී සිටීම හෝ
දෙවනුව අප යම් සමාජ ආගමික ව්‍යාපාරයක කොටස් කරුවකු වීම හෝ
මලින්ත අයිෆෝනයක් ගැනීම හෝ
සිතන තරම් අහිංසක කාරණා ‍නොවන බව පෙනී යනු ඇතැයි සිතමි.

පාරිභෝගික භාණ්ඩ විසින් පුද්ගලයා වෙත අත් කර දෙන ප්‍රමෝදය බලන්න..(-ඒත් ඉතින් ටවුමට ගිය වෙලාවෙ මට තවත් බලාගෙන ඉන්න බැරිවුණා.-ම් ඉතින්… මට කියන්න බැරි තරම් සතුටුයි. )

දැන් මලින්ත අයිපොඩය උත්කර්ෂභාවයට පමුණුවයි. (දැන් තමයි තේරෙන්නෙ මිනිස්සු අයිපොඩ් වලට මෙතරම් වහ වැටිලා තියෙන්නෙ ඇයි කියලා. මට නම් හිතෙන හැටියට ඒ පරිශීලක අතුරුමුහුණත හින්දා වෙන්න ඕන (User Interface) පාවිච්චිය බොහොම පහසුයි. ලස්සනයි. වේගවත්.)

දැන් මලින්ත විසින් අයිපොඩය මිලදී ගෙන ඇතැයි ඔහු සිතා සිටියද සැබවින්ම වී ඇත්තේ අයිපොඩය විසින් මලින්තව මිලදී ගැනීම නොවේද ? මේ පාරිභෝගික ජීවියාගේ ඉරණමයි.

තාක්ෂණයේ වර්ධනය විසින් අතෘප්තිකර පාරිභෝගික රෝගියකු බිහි කොට ඇත.

දැන් මෙම සටහනට ඇවැසි නම් කුහකකම, ඉරිසියාව, ද්වේෂය වැනි අදහස් දැක්වීම් එකතු කළ හැක. එහෙත් .. ඒ මොහොතේදී ද හෙට දින සඳහා ඔබ විසින් අද ඔබගේ ආසාව තෘප්ත කරවන වස්තුව වෙනුවට වෙනත් ආදේශකයක්ද ඒ සමගම තෝරමින් සිටින බව ඔබට නොපෙනෙනු ඇත.
ඒ අපේ හැටිය.


---
මෙය කෙටි සටහනක් පමණි. කිසිවක් හොඳ හෝ නරක යැයි තීරණය කිරීම මගේ සීමාවෙන් බැහැර ය. එබන්දක් මින් සිදු නොවේ.

Thursday, August 14, 2008

හෙට...