Saturday, April 19, 2008

මිලී ඇසූ කල අම්මා මන් ද නිදී - ලිලී පැවසුවා උන්දැට නින්ද මදී

අපේ ජන කවියට කර්තෘ කෙනෙක් නෑ. ඒ ජන කවි අතර තේරවිලි කවි කියන්නේ ඉතාමත් රසවත් අංගයක්.
-යුගල පැදි සහ කේවල විසඳුම් දෙන ජන කවි
-යුගල පැදිවලට බහුවිධ විසඳුම් දෙන තේරවිලි
-ඒකල පැදිවලට බහුවිධ විසඳුම්
-පද පෙරළි
-පෙරළි පැදි
මේ ආකාරයේ නොයෙකුත් තේරවිලි කවිවලින් අපේ ජන කවිය ‍පෝෂිතයි. මේවා එකතු කර තබන අයට ඇත්තෙන්ම අපි ගරු කළ යුතුයි. පළාතෙන් පළාතට, විෂයෙන් විෂයට වෙනස් කවි රාශියක් අපේ ජන කවි සාහිත්‍ය තුළ තිබෙනවා.

මම දැන් මෙහි සටහන් කරන්නට යන්නේ පෙර‍‍‍‍‍‍ළි පැදි කීපයක්. මේවායේ කවියේ මුල හා අග පද පෙරළිමට පත් ව ඇති අයුරු ඉතා රසවත් නේද ?

උසාවියට ගෙව්වේ නම් දඩකාසී
ඒකට හරියන්ට ලැබුණේ කඩදාසී

මිලී ඇසූ කල අම්මා මන් ද නිදී
ලිලී පැවසුවා උන්දැට නින්ද මදී

මාසේ පඩිය දෙන්නට උන් කල් දෙනවා
නැති බැරි කමට බඩගින්නට දෙල් කනවා

මේ මුල පද පෙරළෙන හැටි...........

ගල් සිත් නිසයි කවුරුත් පව් කරන්නේ
සිල්ගත් පසුයි කොයි කාටත් දැනෙන්නේ

කහ සාරියත් අරගෙන මම යන කලට
සහකාරියත් පැනලා ගොස් ඇගෙ ගමට

පාරුවේ පුවක් පටවාගෙන යන කලට
පුරුවේ පවක් පල දුනි අනේ මට

මඩ කණ්ඩිය උඩින් ගිය විට ඇති පාර
කඩ මණ්ඩිය පෙනෙයි අත ළඟ පේන දුර

බනිස් මිල වැඩියි කියලා පලක් නැත
මිනිස් බල ඇතොත් හැමදා ඉදෙයි බත

මේ අන්තිම ‍කවියට නම් අපේ වෙළද කටයුතු හා පාරිභෝගික ඇමතිතුමාත් ආස වෙයි මං හිතන්නේ :)

මේ තේරවිලි කවි අඩංගු ‍බොහොම වටිනා පොතක් පල කර තිබෙනවා කිත්සිරි අලුත්ගේ කියන මහත්මයා. 360/4, මාගම්මන. හෝමාගම එතුමාගේ ලිපිනය..ඔබත් කැමති නම් ලිපියකින් ඒ උත්සාහය අගේ කරන්න ‍හෝ වෙනත් යමක් දැන කියා ගන්න පුළුවනි.

0 comments: