අතුරේ යන මිනිහගෙ ගෑනියි මුහුදු යන මිනිහගෙ ගෑනියි දවසකට තුන් පාරක් කණවැන්දුම් වෙනවලු කියල මූදුකරේ කතාවක් තියෙනවා..
ගහකින් ගහකට ගිහින් ගස් මදින, අතුරේ යන කෙනා අව්ව, වැස්ස, රෑ, දවල් නොබලා, කුණාටු සුළං නොබලා මූදු යන කෙනා...මේ දෙන්නාම තමන්ට මුහුණ දෙන්න වෙන දේවල් ගැන ඒ තරම් විශ්වාසයකින් නෙවෙයි ඉන්නෙ.
මේ දෙන්නම තමන්ගෙ අයගෙන් සමුගනිද්දි "යන්නමි" කියනවා මිසක් කවදාවත් "ගිහින් එන්නම්" කියා කියන්නේ නෑ....
මූදු යන අය නම් අකුරටම ඒ සිරිත රකිනවා..යන ගමනක් මිස එන ගමනක් ගැන විශ්වාසයක් නැති නිසයි ඒ..එහෙම එන ගමනක් ගැන කියන එක අසුබ දෙයක් විදියටයි ඔවුන් සිතන්නේ..
පහුගිය කාළෙ මේ කියමන මේ කොළඹ ඉන්න අපටත් පොදු දෙයක් වුණා..
ගිලන් රථයක නාදය ඇහෙන කොට, කොහෙන් හෝ ලොකු සද්දයක් ඇහෙන කොට, අහස අඳුරු වෙලා මූසල පාටට බලන් ඉන්න කොට...
එළියට බැස්සාම ගෙදර එනකන් විශ්වාස නැති ගමන් තමා දැන් අපිත් යන්නෙ
" බෝම්බයෙන් අනුකම්පාවක් නැත"
හැම වෙලේම කන් දෙක අස්සෙන් එහෙම ඇහෙනවා.
ඒත් මම හැම වෙලේම ඉල්ලන්නේ..."ගිහින් එන්නම්" කියලා කියන්න කියලයි.
ඔබටත් මම කියන්නේ .." බුදු සරණයි, පරිස්සමින් ගිහින් එන්න " කියලයි.
ඒ මනුස්ස බැඳීම් හැර පළමු තැනට වටිනා කිසිවක් මට මගේ සරළ දිවිය තුළ නැති නිසයි.
Friday, April 18, 2008
මම ගිහින් එන්නම්...
Posted by සු at 8:31 PM
No comments:
Post a Comment