Monday, April 14, 2008

අවුරුද්දක් ඇවිත් ගියා....2


මගේ අවුරුද්ද හා බැඳුණු තවත් සටහන් කීපයක් ලියන්න හිතුණා.


‍සඳ‍‍ගෙ ගෙදර අවුරුද්දට ගේ පොලිෂ් කර ගන්න අර පොලි‍‍‍‍‍‍‍‍‍‍ෂර් එකක් තිබුණේ නෑ. ඉතින් තිසුලනාගෙ අප්පචිචී මොකක්දේ රෙදි කෑලි ටිකක් ගැට ගහගත්තු මොප් එකක් වගේ කොස්සක් ‍හදාගෙන තිබුණා. ඒත් පොලිෂ් ගාලා අතුල්ලන්න තරම් ඒකෙ බර මදි නිසා
කොස්ස උඩින් තිසුලනා වාඩිවෙලා හිටිද්දි ඒක ගේ පුරා ඇදගෙන ගිහින් තමා‍ පොලිෂ් කළේ..

පේනවනේ පින්තූරේ..
වෙලාවට තිසුගෙ අම්මා ආවෙ ඔය ‍සෙල්ලම් ඉවර වෙද්දි.

අනිත් කාරණේ තමා ළසංඛ මල්ලි වඳිද්දී සඳ‍ගෙ තාත්තා එක පාරටම කිවුවා හරියට වඳින්න කියලා
ඉතින් ඒ පාර මල්ලී දණ බිම ගහලා දෙපතුල් අල්ලලා තාත්තාට වැන්දා

ඔය වැඳිල්ල ගැන මගේ යා‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ළුවන්ට එක එක අදහස් තියෙනවා.
සමහරු කියන්නේ නිතර වඳින්න ඕන නැහැ කියලයි. හිස නැමීමට ඒ අය කැමති නැහැ
සමහරු කියන්නේ අපි වැඩිහිටි අයට ගරු කරන්නට පුරුදු විය යුතු බවයි

අද අපේ ගොඩක් පොඩි හිටි‍යො වගේම වැඩි හිටියොත් වඳින්නෙ ඉන්දියන් ස්ටයිල් එකට
අර යාන්තම් නැවිලා එක් අතකින් පාද ස්පර්ශ කරලා.. අයිශ්වර්යා රායි එහෙම වඳින ක්‍රමේට

මට නම් ඊට වඩා හොඳයි නොවැඳම ඉන්න එක කියලා හිතෙනවා
අපට හන්දි අමාරු නැත්නම්, වඳින්නත් ඕන නම් .. දණ බිම ඇණලා වැන්දහම මක් වෙනවද ,

මෙදා පාර අපේ ගෙදර කැවුම් ‍කොකිස් නෑ..ලෝකෙන්ම රසට උයන අම්මා අපේ අම්මා වු ණාට අම්මාට ඒ තෙල් කෑම හදන්න දැනෙන්නේ නැහැ. ඉතින් අපි පොඩි කාලේ
ගමෙන් ආ නැන්දා කෙනෙක් මේ උඩ තට්ටුවේ ගෙදර සාලෙ තහඩුවක් තියලා ඒක උඩින් ලිපක් බැඳලා කැවුම් කොකිස් හැදුවා අපට පෙනෙන්න.
කොකිස් රසට හදන්න අපේ අම්මගෙ ලොකු නැන්දා තරම් සමතෙක් හිටියේ නෑ. ඉස්සර අපි අවුරුද්දට එහෙ (ගොඩමග) ගියහම හතර වටෙන් ආපු නැන්දලාගෙ කැවුම් කොකිස් මේසෙ තිබුණත්, අපි කවුරුත් කාලා රසයෙන් ලොකු නැන්දගේ කොකිස් අඳුණ ගන්නවා
ඒකත් අපට ලොකු හපන්කමක් ඒ දිනවල..අදටත් ඒ ‍කොකිස් හදන පදම අපි දන්නේ නෑ.. ඒ රහසත් අරන් ලොකු නැන්දා පිළිකාවක් නිසා අපෙන් සමු ගත්තා..

පස්සෙ කාලෙක අපේ නංගිටයි මල්ලිටයි ඔය අත්දැකීම් මොනවත් නොලැබෙන නිසා මං කල්පනා කළා ‍ඕවා හදල බලන්න
අපේ අක්කා මට කිවුවා අපි දෙන්නා කැවුම් කොකිස් වගේ සිංහල කෑම හදන පන්තියකට යමු කියලා. මාත් එක පයින් හා කිවුවත් ඒ වැඩේ කෙරුණෙත් නෑ
මම යාළුවන්ගේ අම්මලාගෙන් දුරකථන උපදෙස් හෙම අරන් පළමු වතාවට කොකිස් හැදුවාම මගේ යාළුවෝ කිසි කෙනෙක් පිළි ගත්තේ නෑ..
කොකිස් ව‍ගේ නෙවෙයි කැවුම් තමා හදන්න අමාරු කිවුවාම ඒ අභියෝගයත් බාර ගත්තේ කාටවත් ආවට ගියාට කැවුම් හදන්න බැරි නිසයි

ඉතින් ගිය අවුරුද්දේ අපේ ගෙදර කෑම මේසයට කොණ්ඩ කැවුම් තිබුණා කිවුවොත් ඹයාලා වුණත් දැන් පිළි ගන්න එකක් නෑ. සමහරුන්ට දවස් දෙක තුනක් තියාගෙන කැවුම් සාම්පල් ගෙනිහින් දීලයි
මගේ අභියෝගයේ සතුට විඳගත්තෙ.. ඒ විතරක් නෙවෙයි අපේ 4 පන්තියේ නංගියි අවුරුදු දෙකේ මල්ලියි රෑ එළිවෙනකං බැණුම් අහගෙන ඇහැරං හිටියා කැවුම් හැදිල්ලට සපෝර්ට් එකක් දෙන්න

ඒ තමා මගේ එකම ප්‍රේක්ෂකයෝ දෙන්නා..

දැන් මේ ඔන්ලයින් ලියන එ‍කේ පල ප්‍ර‍යෝජන අපේ නංගි හා මල්ලි වගේ තව නංගිලා මල්ලිලා, දුලා පුතාලා සිය දහස් ගාණකට අනාගතේදි, මේ කාලේ අපේ අවුරුදු කියන්නේ මොන වගේ එකක්ද කියලා තේරුමි ගන්න ‍
උපකාරයක් වෙයි කියලා දැනෙද්දි ලියන එකේ වටිනාකම මටත් දැනෙනවා.

අපි දැකපු දේවල්වත් අද එයාලා දකින්නේ නැතිනම්.....

අනාගතේ කොහොම වේවි ද???

මුළු මහත් බාල පරම්පරාවටම ගුගල් සහ විකිපීඩියා සරණයි.

1 comment:

Bo said...

මේ අවුරුදු මතක කියවද්දී, අපෙන් ඈත් වෙලා යන ඒ සිරිත් විරිත් ගැන දුකක් දැනෙනවා. කොකිස් නම් මාත් හැදුවා අම්මා හදලා ඉවර උනාට පස්සෙ, කොකිස් වලට ලුනු සහ මිරිස් කුඩු දාලා කාලා බලන්න අම්බෝ පුදුම රසක්. පොඩි මල්ලි පණ්ඩිතයා නම් කොහොමත් ඕනෙ එකකට වැඩියෙනුත් එක්ක සපෝට් නෙ,අක්කෙ මේ මතක ඇත්තටම අපූර්ව මතකයන් රාශියක් ගෙනාවා සිතට. අර පොලිෂ් වැඩේටනම් මම කැමති නෑ, බැරිවෙලාවත් අත ඇරුනොත්, කෙලින්ම වදින්නෙ බෙල්ල පිටිපස්සෙ ,occipital region එක, ඒකනම් හොඳ වැඩක් නෙමේ, ඔන්න ඒක ආයෙමත් කරන්න එපා කිව්වා කියන්න මම.