Sunday, February 24, 2008

जोधा-अकबर - JA cleared by the Censor Board with a UA certificate but..

ඉන්දියානු සිනමාවේ එතෙක් මෙතෙක් දැවැන්තම නිෂ්පාදනය වන ආශුතෝශ් ගොවරිකාර්ගේ ජෝදා අක්බාර් සිනමා පටය අද සිට ශ්‍රී ලංකාවේදී නැරඹීමේ හැකියාව තිබෙනවා. මේ සටහන එම චිත්‍රපටය සම්බන්ධ විවිධ පුවත්වලින් බිඳක් හෙළි කිරීම සඳහා තැබූවක්..
--------------------------------
ජෝදා අක්බාර් නිෂ්පාදනය කළ UTV Motion Pictures සමාගම 23 වන සෙනසුරාදා එනම් ඊයේ මධ්‍ය ප්‍රදේශයේ මහාධිකරණය වෙත ගියේ ඒ සදහා වන ප්‍රදර්ශන තහනම ඉවත් කර ගැනීමටයි. ඒ සදහා අවශ්‍ය වුවහොත් උපරිමාධිකරණයට වුවද සූදානම් බව ඔවුන් පවසා සිටියා. ජනතාවට අවශ්‍ය කුමක්දැයි තීරණය කිරීමට කුඩා කණ්ඩායමකට නොහැකි බවයි එහි චිත්‍රපට සමාගම් එකතුව පවසන්නේ. ඉන්දියාව පුරා සිනමා ශාලා 1300ක එක වර තිර ගත වීම‍ට මුදා හැර තිබූ චිත්‍රපටය රැඟුම් පාලක මණ්ඩලයෙන් අනුමත වුවද එය තිරගත කිරීම ප්‍රාන්ත රජය විසින් තහනම් කොට තිබීම එයට හේතුවයි. පෙරේදා එනම් 22 වන දා රාජ්පුත් සභාව ඉදිරියේ එය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව මධ්‍ය ප්‍රදේශ ආණ්ඩුව විසින් එය ප්‍රදර්ශනය කිරීම තහනම් කළා. රාජ්ජුත් කුමරිය ජෝදා බායි මෝගල් අධිරාජයා වන ජලාල්උද්දීන් අක්බාර් විවාහ කර ගැනීම සදහා ඉස්ලාම් ආගම වැළඳ ගැනීම චිත්‍රපටයේ නිරූපණය වීම එය තහනමි කිරීමට හේතුව ලෙස සැළකිය හැකියි. එමෙන්ම ඔවුන් පවසන්නේ එය ඉතිහාසය විකෘති කළ චිත්‍රපටයක් බවයි. ජෝදා බායි කාගේ බිරියද යන්න පිළිබඳව එකිනෙකා තුළ ඇති අදහස් මෙයට බලපා ඇති බවක් පෙනෙනවා.

සොනෙපාත් නගරයේ එය තහනම් කෙරුණේ workers of the Nationalist Congress Party (NCP) එය නැරඹීමෙන් පසුවයි. එහි නියෝජ්‍ය කොමසාරිස් ඩී.එස්.පී.නගල් විසින් එම නියෝගය නිකුත් කර තිබෙනවා. මේ අතර අම්බාලා දිස්ත්‍රික්කයේද එය ප්‍රදර්ශනය කිරීම තහනම්. ජෝදා ගේ නගරය වන රාජස්ථානයද. රාජ්පුත් කර්නි ගෘප් නම් කණ්ඩායමේ වි‍රෝධය මත ජායිපූර් නගරයේද එයට විරෝධතා එල්ල වුණා. යුව ක්ෂත්‍රිය මහ සභා නම් කණ්ඩායමක් විසින් ග්වාලියර් හි සිනමා ශාලා දෙකකත් මෙය තිරගත වීම නවතා දමා ඇති බවයි වාර්තා වන්නේ. ගර්ගෝන් නගරයේදී රාජ්පුත් කණ්ඩායමට අයත් තරුණයන් මෙහි ප්‍රචාරක දැන්වීම් ගිනි තබා විරෝධය දැක්වූවා.

මෙම මස 20 වන දා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පන්වෙල් සිනෙරාජ් සිනමා හලේ එය තිරගත වෙමින් තිබියදී බොම්බේ නගරයේ ‍බෝම්බ පිපිරීමක් සිදු වුණා.

කෙසේ වුවත් මෙම චිත්‍රපටයේ එන ‍ඓතිහාසික තොරතුරු සම්බන්ධයෙන් ප්‍රමාණවත් පර්යේෂණ ගණනාවක් සිදු කොට ඇති බවයි එහි නි‍ෂ්පාදකවරුන් පවසන්නේ. ඒ සඳහා වසර 4ක් පමණ ගත වී තිබෙනවා.

එමෙන්ම සත්ව හිංසාව පිටු දකින සමාජයකිනුත් මෙම චිත්‍රපටියට බාධා පැමිණුනා. මෙහි දර්ශන සඳහා ඔටුවන් 50කට අධික සංඛ්‍යාවක්, අසුන් 100ක් සහ අලි ඇතුන් 80ක් පමණ යොදාගෙන තිබෙනවා. එය නිසි අවසරයකින් සිදු කළේද යන්න ඔවුන් ප්‍රශ්න කර සිටියා.

උතුරු ඉන්දියාවේ ඇ.තැම් ප්‍රදර්ශකයින් විසින් මෙහි සමහර කොටස් ඉවත් කර ප්‍රදර්ශනය කරන බවද මේ අතර වාර්තා වෙනවා. ඒ පැය තුනකුත් විනාඩි විස්සක් පුරා දිවෙන මේ සලරුවෙහි කාලය අඩු කර ගැනීම සඳහා යි. මෙහි තෙළුඟු පිටපත මාර්තු 06 වනදා පළ කිරීමට නියමිත අතර, තමිල්නාඩුවේ ප්‍රදර්ශනය සඳහා සකස් කෙරෙන දෙමළ හඬ කැවීම් සහිත පිටපත තිරගත වන දිනය තවමත් තීරණය කර නැහැ. චිත්‍රපටය ඉතා දීර්ඝ වීම නිසා මේ සඳහා කාලය විශාල වශයෙන් අවශ්‍ය වීම එයට බලපා ඇතැයි සඳහන්.

මේ අතර මෙම චිත්‍රපටය ලොව සිවුවන විශාලතම මංගල දර්ශනය පැවැත්වූ චිත්‍රපටය බවට පත්ව තිබෙනවා. එය ලෝකය පුරා අවට රටවල් 15ක එකවර ප්‍රදර්ශනය කිරීම ඇරඹුවේ ඩොලර් මිලියන 8.1ක් උපයමින්. එක්සත් රාජධානියේ එය තිරගත වීම ඇරඹුණේ ලැයිස්තුවේ 10 වන තැනින්, පළමු සතිය තුළ එය ඉපයූ මුදල පවුම් ලක්ෂ පහක් වනවා. එය පළමු දින කිහිපය තුළ ඩොලර් මිලියන 1.6ක් උපයමින් අමෙරිකාව තුළත් ජනතාව පෝලිමේ තබන්නට සමත් වූ චිත්‍රපටයක් වී හමාරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී එය ඉන්දියානු රුපියල් කෝටි 1.84ක්. මේ සියල්ල මුල් සතියක්, දෙකක් තුළ ලද ආදායම් පම‍‍ණයි.

මේ අතර ඉන්දියානු මා‍ධ්‍යයක සදහන්ව තිබුණේ මෙම චිත්‍රපටය නරඹා වික්ෂිප්ත භාවයට පත්වන තවත් පිරිසක් සිටින බවයි. ඒ පාසල් සිසුන්. අක්බාර්ගේ බිරියන් සංඛ්‍යාව හෝ එම බිරියන් කාගේ දැයි යන්න ඔවුන් අවුල් සහගත කරන බව ඇතැමුන් පවසනවා. ජෝදා අක්බාර්ගේ බිරියද, සලීම්ගේ බිරිය ද? ඇය සලීම්ගේ බිරිය නම් නූර් ජෙහාන් හා අනාර්කලී කවුරුන් ද වැනි ප්‍රශ්න ඔවුන්ට ඇති වන බව එම මාධ්‍ය සඳහන් කර තිබුණා. ඒ බව දැක්වෙන කාටූනයක් ද මෙහි පළ වෙනවා.

- - -
මෙම චිත්‍රපටයේ ආභරණ සියල්ල පැරණි ඉතිහාසය අනුව යමින් රාජස්ථාන් හා මෝගල් මෝස්තර ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද ඒවායි. ඒ සඳහා 200 දෙනෙකුගෙන් යුත් නිර්මාණ ශිල්පී හමුදාවක් පුරා වසර දෙකක් මුළුල්ලේ වෙහෙසුණා. ආභරණ සදහා රත්රන් කිලෝ ග්‍රෑම් ‍400ක් සහ වටිනා මැ‍ණික් වර්ග යොදා ගත්තා. එහි දී ජෝදා බායිගේ විවාහ මංගලෝත්සවය සඳහා අයිශ්වර්යා විසින් පැළඳ සිටි රත්රන් ආ‍භරණවල පමණක් බර කිලෝග්‍රෑම් තුන්සිය පණහකට ආසන්න බව පැවසෙනවා. මෙම ආභරණ පැළඳ සිටීම මෙම චිත්‍රප‍ටයේ දුෂ්කරම කාර්යය වූ බවයි ඇය පසුව සඳහන් කළේ. මුළු රංගය පුරාම ඇය විසින් කිලෝග්‍රෑම් 200ක රත්රන් පැළද සිටියා. මෙම ආභරණ නිර්මාණය කිරීම සදහා පැරණි සිතුවම් පරීක්ෂා කරමින්, පර්යේෂණ සිදු කරමින්, පැරණි රජ පෙ‍ලපත්වලින් පැවත එන පවුල්වල අය හමුවෙමින් හා ඔවුන්ගේ අබරණ පිරික්සමින්, පෙ ද්ගලික එකතූන් හා කොතුකාගාර පිරික්සමින් නිර්මා‍ණකරුවන් මේ සදහා දරා ඇති වෙහෙස විශාලයි. එහිදී රාජ්පුත් අබර‍ණ රනින් ද මෝගල් අබරණ වටිනා මැණික්වලින් ද නිමවී ඇති බව සිහි තබා ගන්නටත් ඒවායේ පුරා‍ණ රටාවන් රැක ගන්නටත් ඔවුන්ට සිදු වුණා. විශේෂයෙන් ජෝදා බායි හා සම්බන්ධ පින්තූරමය සාක්ෂිවල වූ අල්ප බව නිසා ඉතාමත් ප්‍රවේසමෙන් මෙය සිදු කරන්නට වූ බවත් ඒ සඳහා පරම්පරා තුනක් නියෝජනය වන ශිල්පීන් තෝරා ගන්නට සිදුවූ බවත් වාර්තා වෙනවා.

චිත්‍රපටයට අදාල තොරතුරු රැගත් නිල ‍අන්තර්ජාල අ‍ඩවියයි http://www.jodhaaakbar.com/

No comments: