ඊයේ මගේ කුඩා සොයුරිය රචනයක් ලියා මට පෙන්වූවාය. මැදියම් රැයක ගඟ බඩ අසිරියක අත්දැකීම ඇය රචනයෙන් විස්තර කොට තිබිණ. " සඳ රාක්ෂයෙක් සේ පොළවට පැමිණීමට ඉතා ආසන්න" බව එහි ආරම්භක ඡේදයක ඇය විසින් ලියා තිබිණ. එය අළුත් අදහසක් සේ මට දැනුණු මුත් ප්‍රාථමික ශ්‍රේණියක උගන්නා ඇය සඳ පිළිබඳව එසේ සිතීමේ අදහස පැහැදිළි කර ගනු රිසි ව ඇගෙන් ඒ ගැන විමසා සිටියෙමි.
..." ඇයි ස්කූබි ඩූ එකේදි කියන්නෙ අර හඳ එළයෙ හොල්මන් බිමට එනවා කියලා.."
........................
මම ඇය වඩාත්ම කුඩා කල අක්කාත් මමත් ඇයට කියා දුන් අනේක කවි පද සිහි කර දුන්නෙමි. ඇය ඒ කිසිවක් මතක නැතැයි කී මුත් මා සිහි කර දුන් කුඩා කවියක් සිය රචනයට අළුතින් එක් කර ගත්තාය. " ඔයා ආයෙත් ස්කූබි ඩූ බලන්න එපා.. ඒක හැමදාම එකම දේ යන මෝඩ කතාවක්..මින් පස්සෙ දවසට එක පිටුවක් ගානෙ හරි පොතක් කියවන්න..." මම ඉල්ලා සිටියෙමි. ඇය එකඟ වූවාය.........................
ඇගේ රචනය කියවද්දී මා කුඩා කල වඩාත් හොඳින් මතක සිටි කවි පංති තුනක් වහා මගේ මතකයට නැගිණ. මා නිතර ආදරයෙන් සිහි කළ, මගේ හද බැඳ ගත් ඒ කවි නම් කුමාරතුංග ශූරීන්ගේ "නැළැවිල්ල", " උදය" හා "දොරට වැඩුම" යි.
අද ඔබ හමුවටත් එම නැළැවිල්ලේ රස මතකය ගෙන එන්නට මේ සටහන තබන්නේ හද පිරි සතුටිනි.
1. තොටිල්ල සැම සුව පිරී
පැද්දෙයි තාලෙට සරී
අසමින් ගී සුමිහිරී
නිඳන්නැ පුත රන් කිරී
දොයි දොයි දොයි
බයි බයි බයි
නිදි දුව එයි
වැලැඳැ- ගනියි
2. උණු වැඩි යැ යි හිරු ගෙ රැස්
තෙමා නැවැතැ ගෙනෙන ලෙස්
ගියේ යැ වැදැ මුහුදු කුස්
පෙනේ ද ආදර වෙසෙස්
3. සිහිල් වෙති යි සඳ ඉතා
සාවා එහි පැනැ ගතා
රැසින් අඩක් නො නවතා
සිටී ද ඒ හොඳ සතා
4. සුරතල් දරු බිය වෙතී
කුරුලු පැටවු නො හඬතී
නැළැවිල්ලෙන් කම් නැතී
කිරිල්ලෝ ද සැතැපෙතී
5. වසු පැටියෝ ගෙල වසා
මිණි වැල් සෙලැවෙන නිසා
රිසි ලෙස ඇඟ නො මැ කසා
නිඳති තණට ඇස වසා
6. හූනෝ එළියට අවුත්
මැස්සන් පස්සෙන් ගතොත්
නඟති යි උන් හඬ මහත්
කට මැ කටෙහි ලා ගනිත්
7. හෝරා යතුරත් අපේ
පතා ඔබට නිදි සැපේ
ගෙවෙනා සැටියට කපේ
පුරුදු පරිදි නො වැලැපේ
8. සුවඳ ගෙනෙන මලු'යනා
සුළඟ කවුළු තිරයෙනා
තද ගති අඩු කැරැ ගෙනා
එයි ඔබ හට දී සිනා
9. සර සර ගානා තදේ
ගසුත් සුළඟ වැදැ මඳේ
දැන් නොමැ කැරැ කිසි සඳේ
අතු අතරින් ගමන දේ
10. ගඟ ද සුළඟ සමඟිනී
කතා නො කැරැ පෙරැ මෙනී
හබල් පහර ඔරුයෙනී
නිසොල්මන් වැ විඳ ගනී
11. සඳ පානේ වැලි තලා
සුර කුමරියො මල් සලා
නටති මෙ දෙස බල බලා
ගිගිරි වළලු පයැ නො ලා
12. සුර කුමරුවො පෙළ සැදී
අතින් හිසින් රඟ යෙදී
හඟවති තාලය බැඳී
වීණා බෙර නද නො දී
13. සඳ ද සිනිඳු රස් කඳූ
නො හෙළා බිමැ එක බඳූ
වලාකුළින් පිරිසිදූ
පෙරා එවයි බිඳු බිඳූ
14. කැරැ ගස් අඳුරත් වටා
තද ගොස් නොඇසෙන්නටා
සඳ රස් ගඟ දිය පිටා
පය උස් නො කැරැ මැ නටා
15. සුර බිලිඳෝ සඳු කැලුම්
තළත සමන් මල් නොහිම්
බිහිරි වෙති යි කන සියුම්
නවත ති දී අත් කුසුම්
16. අහසේ තරු රැස දිළී
අහෝ යහන ළඟැ එළී
වැඩි නම් නො වෙති යි කෙළී
වෙවුලයි බිය ගෙනැ පෙළී
17. ඔබ සිප - ගන්නට ලොබා
වෙමින් උනුන් පසු බබා
එති සුර කුමරියො බබා
පයැ'ඟිලි අග බිමැ ඔබා
18. සරසවි ඔබ මුව සිඹී
සිරි ඇඟැ දැවැටී හොබී
හැම දෙවියෝ එබි එබී
බලති අමා රස නො බී
දොයි දොයි දොයි
බයි බයි බයි
නිදි දුව එයි
වැලැඳැ- ගනියි
ශික්ෂා මාර්ගය 3
----------------
මවකි බිලිඳකු නලවන ආකාරය මින් පෙන්වයි. වටා පිටාවේ සියලුදෙය මේ නිදන කුඩා බිලිඳාගේ නිදි සුව පිණිස සැරසෙන අයුරු විස්තර කරමින් ඇය බිලිඳා නලවන්නීය. ඉතා සියුම් ලෙස අරුත් ඔබ සිතෙහි මවා ගනිමින් මේ කව් පංතිය රස විඳින මෙන් මම ඔබට ආරාධනය කරමි.
බලන්න මෙහි 2 වන කවිය. තද අවුව ඇති දවසක ඒ තද අවුවෙන් හට ගන්නා උණුසුම දරුවා නළවා ගැන්මට බාධාවක් බව කල්පනා කරන හිරු මුහුදට බැස සිය රැස් තෙමා සිහිල් කොට ගෙන එන්නට යයි. ඉරෙහි බැස යාම පවා දරුවා කෙරෙහි හටගත් ආදරයේ ඇසින් අමුතු ලෙසකින් දකින්ට කුමාරතුංගයෝ සමත් වෙති. ඒ ඉරෙහි රශ්මිය ය. එසේ නම් සඳ කෙසේ දරුවා ගැන සිතනු ඇත්ද ? 13 වන කවිය එය දක්වන්නේ මෙසේය. මේ රැය වරින් වර වලා කුළින් වැසී යයි. ඒ ඇයි ? සඳ කැලුමෙහි සිසිලස දරුවාට ඉතා සිහිල් වැඩිය. ඔහු ඊටත් වඩා මොළකැටි හෙයිනි. එහෙයින් සඳ එක් වර සිය කැලුම් පොළොව මතට නොඑවා, වලාකුළින් පෙර පෙරා ටිකෙන් ටික පොළොවට එවයි.
මෙම කව් කියවන අපට, අප වටා ඇති පරිසරය කෙරෙහි ඉමහත් ආදරයක් මෙන්ම අප සිත් තුළ අපමණ චමත්කාරයක් ජනනය කරවන්නට සමත් වෙයි. ආදරය, අවිහිංසාව හා රසාස්වාදනය අළුතින් ඉගෙන ගන්නට පංති යන්නට අපට ඇවැසි නොවූයේ මේ සාහිත්‍යය ඇසුරු කළ හෙයිනැයි මම නිතර සිතමි. එහෙත් අද කුමාරතුංගයන්ගේ කවියක් පාසල් පෙළ පොතක දැකීම උගහට කාරණාවක් වී ඇති නිසා, ළමුන්ට ආදරය හා අවිහිංසාව පිළිබඳව උගන්වන්නට වෙනම වැඩමුළු පැවැත්වීමට සිදු ව තිබේ.
1 comment:
අද වැඩිහිටියො බලන්නෙ wrestling. තමන්ට අදාල නැති මිනිසුන්ගේ මෘග හැසීරීම් බලල එයාලා විනෝද වෙන කොට ළමයින්ට සකූබි ඩු
Post a Comment