දෙවියන් වහන‍්සේ මිනිසුන් මවා ඇත්තේ අර්ධ සත්වයන් වශයෙන් එනම් දෙකඩ කොට බව පැවසෙන කතාවක් තියෙනවා. ඉතින් මේ අර්ධ මිනිසුන් හා ගැහැණුන් සිය අනෙක් අර්ධය සොයමින් ලෝකය පුරා ගමන් කරනවා. තමන්ට ගැළපෙන අර්ධය නැතහොත් පලුව හමු වූ විගස එය තමන්ට එකතු කර ගෙන සම්පූර්ණ වෙනවා. ඒකට කියන්නේ විවාහය කියලාලු. ඉතින් දෙයියනේ මේ දෙවියන් වහන්සේ හැම කෙනෙක්වම දෙකඩ කළා නම්, බොහෝ අයට තමන්ගේ නිවැරදි පලුව සොයා ගන්නට බැරිව මේ කුඩා ජීවිත කාලය දුකක් කර ගන්නේ ඇයි ?
අපි වැරදි තේරීම්වලින් දුක් විඳිනවාට සහ අන් අයට දුක් දෙනවාට වඩා අසම්පූර්ණ පලුවක් සේ සිටීම හොඳය කියා මට විටෙක සිතෙනවා. අනෙක තමා සම්පූර්ණ කර ගත යුතු කාලය තීරණය කරන්න කාටවත් ඉඩ දෙන්න හොඳ නැහැ. එවිට වන්නේ ඉක්මන් වන්නට ගොස් වැරදි තීරණවලින් විඳවීමයි. අපි අපේ අරමුණු වෙනුවෙන් කාලයට ඉදිරියෙන් දිව ගියත්, අපේ ජීවිතය විඳින්නට නම් නැවතී හුස්ම ගත යුතු වෙනවා. අප සතුටින් ගෙවන කාලය, වේගය සහ දුර අනුව මනින්නට ගියොත් නම් ජීවිතය නිස්කලංකව විඳ ගන්නට ඉඩක් ලැබේදැයි සැක සහිතයි.
කතාවක් තියෙනවානෙ ඉක්මනට දුවන අයට ඉක්මනට හති වැටෙනවා කියලා..අපි දුවන්න ඕනෙ දුවන රේස් එක මැද්දෙ නොදුවා, නොවැටී නොහැපී නොතැලී නොසැලී ඉන්න තරම් හයියක් ඇත්නම් පමණයි. නමුත් ඒක අසීරු ඉලක්කයක්. ඒ නිසා වේගය දැනගෙන ඇවැසි තරමට දුවන එකයි හොඳ.
හැබැයි ජීවිතය විඳින්න ඉඩක් තියාගෙන.....
No comments:
Post a Comment