Friday, February 1, 2008

නිදහස් ජාතියක වහල් චින්තනය.

අද සිකුරාදා..

අද අහන්න ලැබුණා මෙවර නිදහස් උත්සවය වෙනුවෙන් "තරුණයාට හෙටක්" සංවිධානයේ මෙහෙයවීමෙන් ගාලු මුවදොර මීටර් 10*5 දිග පළලින් යුත් කොඩියක් එල්ලන්නට යනවාය කියා. එයට අවශ්‍ය ආධාර හා තාක්ෂණය ලැබෙන්නේ චීනයෙන්ලු. මෙහෙව් දවසක කුමාරතුංගයන් කුඩාපොළ හිමිවරුන් සිටියා නම් මොනවා කියාවිදැයි මට හිතාගන්න බැහැ. ‍මේ අදහස ගෙනෙන කෙනාගේ පශ්චාත් ‍භාගයට පා පහරක් දී හොදවායින් දෙකක් කියා එළවා දමාවි.

අතීත කාමය
අද අපට ඉතිරිව ඇත්තේ අතීත කාමය පමණයි. අතීතයේ අපේ මුතුන් මිත්තන් හැදූ තටාකවලට වී පීනමින් සිටීම පමණයි අප කරමින් ඉන්නේ... අපේ නිදහස් (යැයි කියන) දවසට අපේ කොඩිය අපට හදාගන්නට බැරි ජාතියක් අපි. මට නම් දැනෙන්නේ ලැජ්ජාවක්.

එක අතකට ‍වෙලාවකට මට හිතෙනවා අපි අපේ ඉතිහාසය මේ තරම් පුම්බන්නේ අපට ඉතිරිව ඇත්තේ එය පමණක් නිසාවත්දෝ කියා... මොකද අප අතීතයේ අප සතුව තිබූ තාක්ෂණයේ , චින්තනයේ, සමෘද්ධියේ අහලකවත් අද නෑ...

එදා ලෝකෙටම කන්න දුන් පෙරදිග ධාන්‍යාගාරය..අද සහල් මෙට්රික් ටොන් ගණන් පිටරටින් ගෙනාවත් එය සෑහෙන්නේ දින කිහිපයකට පමණයි කියා බලධාරීන් කියා සිටිනවා.

ඉන්දියාවත් ලංකාවත් පෝක් සමුද්ර සන්ධියේ තෙල් ළිං ගැන ගවේෂණය කළේ එකම කාලයේ..අවුරුදු හතකටත් එහා පැත්තේ. අද ඉන්දියාව තෙල් ගොඩ අරන්. අපි අපේ ඉන්ධන පිරවුම්හල් පවා ඉන්දියාවට විකුණා, තවමත් තෙල් ගොඩ ගැනීමට නැකත් බලනවා.

සියලු දේට නොරටට අත පාන ජාතියක් අපි. ආඩම්බරයෙන් පෙන්වන්නට තරම් මොනවාද අප කර ඇත්තේ ?? නොරටුන්ට ණය වීම, යුද්ධ කිරීම, අතීතය ගැන දොඩවමින් සිටීම පමණයි.

අලුතින් කිසිම දෙයක් " අපි හැදුවා " යැයි කියමින් වෙන රටකට පෙන්වන්නට අපට තවමත් බැරි වුණේ ඇයි ?

අපෙන් කවුරුන් හෝ මේ දිවයිනේ සිට ජාත්‍යන්තරයට ගියා නම් ඒ තනිව නැගී සිටි අයයි. ඔවුන්ගේ කැපවීමේ ඵලයක් ලෙසයි. අප අපේ ම එකිනෙකාට වල කපමින් සිටින අතර අනෙක් ජාතීන් අප පසු කරමින් ගමන් කර ඇති අයුරු සිතා බලන්න.

චින්තනයේ දුබලකම

අඩුම තරමේ අප අද රෑට කන්නේ මොනවාද කියන එකවත් තීරණය කරගන්නට තරම් අප නිවහල් නැහැ. එය තීරණය කරන්නේ එක්කෝ අද රෑට විකාශය වන ටෙලි නාටකය...එක්කෝ බහු ජාතික සමාගම්වලට කඩේ යන වෙළද සමාගම් හා දැන්වීම් කරුවන්.

අද අපේ අවශ්යතා සියල්ල නිර්මාණය කර ඇත්තේ වෙනත් අය විසින්. අපට අවශ්ය කුමක්දැයි තීරණය කරන්නේ අප නෙවෙයි. නමුත් මුදල යන්නේ අපේ පසුම්බියෙන් නිසා අප සිතන්නේ එය අපේ නිදහස් තීරණයක් මත ලබා ගත් දෙයක් බවයි. අපේ පරාධීන බව අපටම නොපෙනෙන තරමට අප පිරිහිලා...

ඒ ගැන වෙනම කතා කරමු.

1 comment:

samanalee said...

very well said dear!