Sunday, May 16, 2010

මිය ගියවුන් වළ දමන්න


ලියන එක තරම් එපා කරපු අමාරු වැඩක් මේ දවස්වල තවත් නැහැ. ලියන්න ගත්තත් කොයි තරම් දිග විස්තරයක් වුණත් පේළි දෙක තුනකින් ඉවර කරන්නමයි හිතෙන්නෙ.. දවස් ගාණක ඉඳන් මතකයේ රැඳුණු .. අපේ ජීවිතවලටත් පොදු සත්‍යයක් මතක් කරල දෙන පොඩි සටහනක් තියන්න කියල හිතුව මේ පාර..

ගෙදර ගිහින් පුරුදු විදිහට එනකොට බස් එකක් අල්ල ගන්න බොරැල්ලෙ බෝ ගහ යට හිටිද්දි තමා මේ කතන්දරේට මුල පිරුණෙ. සාමාන්‍යයෙන් ටිකක් රෑ වෙද්දි මගේ කුලී බංගලාවට එන්න ඉඩ තියෙන බස් හොයාගන්න අමාරුයි. නිවාඩු දවස්වලට හොඳටම අමාරුයි... එදත් බෝ ගහ ගාව එහාට මෙහාට වෙවී බෙල්ල දික්කරන කොට එක පාරට මැදිවියෙත් මැද හරියෙ වගේ හිටපු ගැහ‍ැණු කෙනෙක් දුවගෙන දුවගෙන ඇවිත් මා ගාව නතර වුණා. සුදට හුරු ළා පාට සායකුයි හැට්ටෙකුයි ඇඳල හෑන්ඩ් බෑග් එකකුතු එල්ලං, අතින් කටින් තව සිලි මලු දෙකක් විතර එල්ලං...

මා ගාව නැවතිලා හති අරින ගමන් හිනාවක් එහෙම දාල කතා කරන්න පටන් ගත්ත.

." . අර අතන කාර් එකේ ඉන්න කොල්ලො දෙන්න මගේ අතින් ඇදල කතා කළානෙ.. බලන්න පාරක යන්න බැරි හැටි බයක් නැතුව.. මං මේ දුවගෙන ඔයා ළඟට ආවෙ ඒකයි.. තව කවුරු හරි ඉන්න කොට කරදරයක් නැහැනෙ.. "

මං ඈ දිහා බලල හිනා වුණා..
මං සාමාන්‍යයෙන් මග තොටේදි වැඩි කතා බහ තියෙන කෙනෙක් නෙවෙයි. ‍පොඩි කාලෙ අපි බස් එකේ ගමේ යද්දියි ආයෙ එද්දියි අපේ අම්ම මා එක්ක යන්න කැමති නැහැ... " ගොලුවෙක් එක්ක යනව වගේ මෙයා එක්ක ආවහම..වචනයක්වත් කතා කරන්නෙ නැහැ ".. ඒ අම්ම මගේ ගුණ වර්ණනා කරන හැටි.

" මං යන්නෙ රාජගිරියට. ඔයා යන්නෙ කොහාටද ? " ඈ අ‍ායිමත් අහනව.. " මං ඊට එහාට යනව.." මං කිවුව.

ඈ ආයෙමත් ඈ බහින තැන මට විස්තර කළා. මං ඒ ඉසවුව දන්නව. ඒ පාරෙ කුලී ගෙවල් කීයකට මං කතා කරල ඇද්ද ?

" මං කරන්නෙ ඇඳුම් මහන එක. ... පන්සල ගාව... මට පුළුවන් එමිබ්‍රොයිඩර්, ලස්සනට බතික් කරන්න, හැම දේම පුළුවන්.." ඈ කියනව. " අද ෆොන්සේකා මහත්තයට බෝධි පූජාවක් තිබුණනෙ.. මහන ළමයි ‍එක්ක මාත් ඒකට ගියා. ඒකයි ටිකක් රෑ වුණේ..."
ආයෙත් ඈ

ඈ දිගටම කතා කරන්නෙ හද ගැස්ම අඩු කරගන්න වගේ.. මං ආයෙත් හිනා වෙනව.

ඊ ළඟට බස් එකක් ආව. මං නැග්ග ගමන් ජනේලෙ අයිනෙන් වාඩිවුණා. ඈත් මගේ සීට් එකේම වාඩිවෙලා ආයෙත් කතාව. ..වචනවලට නිදහසක් ලැබුණෙ ටිකට් ගන්න මාරු සල්ලි හොයන්න විතරයි.. "ඉන්න, මං ගන්නම්..." මං කිවුව. ඇගේ වචනවලට ආයෙමත් පණ ආව.


" ඔයා බැඳලද ? " ඈ අහනව. මං " නෑ " කියල හිනාවුණා.. " තාම ඉගෙන ගන්න පාටයි." .. " නෑ ." . මං ආයෙම හිනාවුණා.

ඈ දිගටම කතාව පටන් ගත්ත.

" අම්මයි මායි විතරයි හිටියෙ. මල්ලි බැඳල වෙනම ඉන්නෙ. අම්ම ළඟදි නැතිවුණා.. ඒ හින්ද ගොඩක් පාලුයි. ඇඳට වෙලා හරි අම්ම ගෙදර හිටියනම් කියල හිතෙනව. අම්ම කෙනෙක් නැතිවුණහම ගෑණු කෙනෙකුට හොඳ නෑ. දැන් මං තනියම ඉන්නව...."

ඈ කියනව... මං මා ගැනම හිතනව..

" මට බඳින්න කෙනෙක් හිටිය.. ඈ ආයෙම කියනව... අපි මගුල් ඇඳුම් හිටන් ලෑස්ති කරල හිටියෙ. එයා හරිම හොඳයි. හැමදේම හොයල බලනව. හමුදාවෙ වැඩ කළේ... බඳින්න ටික දවසකට කළින්නෙ පූනරින් කෑම්ප් එකට ගැහුවෙ. 93. එයා ගැන ආරංචියක් නැතිවුණා..."

මං ආයෙමත් ළාවට හිනාවෙලා ඈ දිහා බලාගෙන ඉන්නව.

" මට ඊට පස්සෙත් යෝජනා ආව ". ඇගේ ඇස් බබළනව... " ඒත් කොහොමද බඳින්නෙ.. එයා ආවොත් හෙම .. ? එයා එනකොට මං බැඳල හිටියොත් මං එයාට මොනවද කියන්නෙ ??? " ඈ මං දිහා බලන් ඉන්නව.

මට හිනාවෙන්න අමතක වුණා.

" එයා කවද හරි එයි කියල මං බලන් හිටිය.. එයා හරිම කරුණාවයි.. එහෙම කෙනෙකුට පිටුපාන්නෙ කොහොමද ? " ඈ අහනව.

මට උත්තර නෑ.. මං ඈ වුණානම් මං කරන්නෙත් ඒකමයි. මමත් ඒ වගේ හර්ද කම්පාවකින් නැතත් මෝඩ කියල නොතේරුණ නිෂ්ඵල බලාහිටීම් වෙනුවෙන් කාලය නාස්ති කරල නැතිවද ?

අවුරුදු ගාණකට එහා පූනරින් සටන ජීවිතේ තවත් පැත්තක් පෙන්නමින් බස් එකේ යනව.. ගෙදර ඇවිත් තිරය ඉස්සරහ වාඩිවුණහමත් ඇඟිලි දුවන්නෙ පූනරින්වලට...

On November 11, around two in the morning, the LTTE launched a massive attack from land and the lagoon simultaneously engaging the Nagathevanthurai naval base and the army defence lines in Pooneryn. .......................................
The Sri Lankan military alleges that 200 soldiers were captured by the Tigers and then executed. Another 241 soldiers, including 8 officers were killed in the fighting itself. 469 LTTE fighters were killed. Up to 200 soldiers remain missing.

ගෙදර ආවහමත් මාව ගල්වෙලා වගේ දැනෙන්න පටන් ගත්ත. ඈ වෙනුවෙන්ද ?
නැහැ.
මා වෙනුවෙන්..
තවත් අය වෙනුවෙන්..
ඇයි ?
ඈ මට මා හොඳින් දන්නා ජීවිතේ‍ වෙනත් ඉසවුවක් යළි අවධාරණය කළ නිසා...
අපි ජීවිතේ තීරණාත්මක අවස්ථාවලදි අපව පසුකරගෙන ගිය ඇතැම් අය/දේවල් (ආපහු ?) එයි කියල බලා ඉන්නව. ඒ සිතිවිල්ලෙන් එහාට එක අඩියක්වත් උස්සල ඉස්සරහට යන්නෙ නෑ.. ඒත් ඇතැම් අය/ ඇතැම් දේවල් ආපහු එන්නෙ නෑ... යථාර්ථය ඒකයි. ඒක දැන දැනත් අපි හිතන්නෙම අතීතයේ ගිලී ගිය දේවල් ආයෙ එයි/ලැබෙයි කියල..කාලය නාස්ති කරනව...
මට කොතෙකුත් අය හමුවෙලා තියෙනව... තාමත් ජීවිතේ සිද්ධ නොවුණ දේවල්..අද වෙයි..හෙට වෙයි..අනිද්ද වෙයි.. කියල හිත හිතා ඉන්න.. ඒත් එහෙම වෙන්නෙ නෑ.. අද අහස කලු කරල නැත්නම් හෙට වැස්ස එයි කියල බලාගෙන ඉන්නෙ කොහොමද ? හිතේ තියෙන දේවල් හිතෙන් එහාට යන්නෙ නෑ..දන්නෙම නැතුව ජීවිතේ ගෙවිල ගිහිල්ල.. පරණ වෙච්ච බලා‍පොරොත්තු ටිකක් එක්ක..
මෙහෙම හිත හිත ඉන්න කොට මොකද වෙන්නෙ ?

අපි එක තැන ලැග්වෙලා බාධක හදාගෙන ඉන්නව. ඒක අප විසින් ඇති කරන පීඩනයක්.. ඇතැම්විට අපටම..
මට මෙහෙම කියන්න හිතෙනව... " පින් සිද්ද වෙයි..අතීතයට අතීතය විදිහටම ඉන්න දෙන්න.." එතනින් ඉස්සරහට යන්න. මළවුන් නැවත කැඳවන්න ගියහම අළුත් අයට ලෝකයේ ඉඩ මදිවෙනව. මැරුණු අයට මැරෙන්න දෙන්න. හිතින්..ජීවිතයෙන්..මතකයෙන්...

ඕෂොත් කොහේ හරි එහෙම කියල ඇති කියල මට නිකමට හිතෙනව.. මට හීනෙන් වගේ එහෙම මතකයකුත් තියෙනව.

පරණ පොට්ටනි උස්සගෙන යනකොට ගමන වෙහෙසයි. back pack එක සැහැල්ලු කරගන්න මං නම් කැමතියි. කාලය වේගයෙන් ගෙවෙන තරමට ජීවිතේ ගිලිහෙන වේගයත් දැනෙන නිසා...
ඉටුවෙයි කියල තනියෙන් දකින හීන අතාරින්න දැන් කාලය ඇවිත්...
.............

(අපට පෞද්ගලිකව දුක් වේදනා දෙන, හානියක් වෙන, කිසිත් සෙතක් නොවන ඇතැම් දේවල් අප අත් නොහරින්නේ ඇයි ? මට ඒ ගැන මගේම තර්කයක් තියෙනව. වැඩි දෙනෙක් අකමැතිවන... ඒ ගැන තව සටහනකින්...වෙන වෙලාවක)

Friday, May 7, 2010

Asoka Handagama is BACK with a ǝɔuǝɹǝɟɟıD.. !







විදූ ගෙ සිංදුව පහු ගිය සටහනින් පළ කළහම ගොඩක් දෙනෙක් ඒකට කැමැත්ත ප්‍රකාශ කරල තිබුණා. කිහිප දෙනෙකු වැඩි විස්තරත් අහලා තිබුණා.

හඳගම 'ළමයින්ට හා තරුණයින්ට වඩාත් සුදුසු ' නව ආකාරයක සිනමා නිර්මාණයක් කරළ. ඒක කාටත් එළඹෙන ජුනි මාසෙ 18 විතර වෙනකොට නරඹන්න පුළුවන් වෙයි කියල කියනව.

පාසල් නොයන විදූ නම් දරුවාගේ ජීවිතය උඩු යටිකුරු වන ආකාරය මේ නිර්මාණයේ අන්තර්ගතය කියල එහි වෙබ් අඩවියේ සඳහන් වෙනව. ( ඒක ගැන බැලුවට පස්සේ කතා කරමු :-) )

මගේ ප්‍රියතම චරිතාංග නිළියක වන චාන්දනී සෙනෙවිරත්න සහ මගේ ප්‍රියතම නළුවා වන සෞම්‍ය ලියනගේ සමග ගාමිණී හෙට්ටිආරච්චිත්, අළුතින් සිනමාවට එක් වන තණිෂ්ක විමලරත්න, ශමිලා නිමන්ති ප්‍රනාන්දු සහ හිමසල් ලියනගේත් තවත් කිහිප දෙනෙකුත් රංගනයෙන් එක්වන මේ සිනමා පටය පවුලේ කාටත් නැරඹිය හැකි බවට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අවසරය ලබා ගැනීමත් රසිකයින් ලද ජයග්‍රහණයක් වෙනවා නොඅනුමානයි.

Wednesday, March 31, 2010

පීර පීර මං හෙව්වා... මගේ ලෝකයට වීරයෙක් !!

අද උදේ විද්‍යුත් තැපෑලෙන් සිංදුවක සද්දයක් ඇහුණා.. මේක ගැන මොනවද කියන්නේ ? කියලත් සිංදුවේ අයිති කට්ටිය/කෙනා අහනවා. මගේ කමෙන්ට් එක පැත්තක තියලා කට්ටිය එක්ක බෙදාගන්න හිතුණා ඉස්සෙල්ලම සිංදුව..‍


මේ ගැන මොනවද හිතෙන්නේ ??


දේවකතාවල
නිසොල්ලාසවල
අන්ධකාරයේ සිනමා පටවල
පීර පීර මං හෙව්වා
මගේ ලෝකයට වීරයෙක්...


ඉර ගිනි ඇවිලී
ලේ පැහැ ගැන්වී
ප්‍රාර්ථනාවන් ගිනිගත් සවසක
දූවිලි නගරේ දෙනෝ දහක් මැද
ඔබේ .............. හඬ ඇහෙන තුරා

සුපර් මෑන්ලා ස්පයිඩර් මෑන්ලා
හැරී පොටර්ලා...
වීරයෝ වුණා අපේ

නෙක දුක් ගැහැටින්
හෙම්බත් වූවත්
ජීවිතයේ වෙර අත් නොහරන දන
තරම් වීරයන් තවත් කොහේ වෙද
සීන් හඬින් ඔබ කියනා තුරුමත්

සුපර් මෑන්ලා ස්පයිඩර් මෑන්ලා
හැරී පොටර්ලා...
වීරයෝ වුණා අපේ

නටඹුන් වී ගිය ගල් කණු අද්දර
වංශකතාවල අකුරු පේළි යට
වල් බිහිවී ගිය ප්‍රාර්ථනාවට
දලු ලා වැඩෙන්න ඉඩ දෙන්න...

දස අත සෙවූවත්
මුණ නොගැසී ගිය
තමන්ගෙ ලෝකේ සැබෑ වීරයා
තමා තුළම හඳුණාගන්න

තමා තුළම හඳුණාගන්න
තමා තුළම හඳුණාගන්න

වැඩි විස්තර පසුවට..

Sunday, March 14, 2010

?

හදෙහි සිරව හුන් දිගු හැඬුමක් සේ
අහස කඩා වැටුණා
වසන් කරන දුක නිරුවත් කරගෙන
සුළඟින් හීගඩු සළු ඇඳුණා

එදා ළඟින් සිටි දොඩමළු පෙම්හිත්
මුනිවතටම අද පෙම් බැඳලා
දිස්වෙන තිරයට අදෘශ්‍යමාන වී
අකුරු පුවරුවෙන් සෙනෙහස මැකිලා

අකලට මිය යන නුහුරු හීනයක
සුදුමැළිවුණු පැතුමන් අහුලා
හෙට දිනයට යළි පහන් පුදන්නද
පේවී පඬුරක් ගැට ගහලා

Tuesday, March 9, 2010

අමතක මතකය


අතදරු පෙම මල්වර වී වියපත් වූ වග අමතක
දිනක් වේද නොසිතූවෙමි මට අමතක වන තුරාම
අතැඟිලි අතරින් රූටා කාලය යන ඉක්මණටම
දිවුරා කී මග නොගිහින් ඇයි අපි මේ උන් තැන්වල ?

Monday, October 19, 2009

පොදු පුරුෂයාට හොඳයි.. අනිත් අයට නරකයි..



කාටවත් නොපෙනෙන ලංකාවෙ ප්‍රේක්ෂකයාගෙ නැත්නම් රසිකයාගෙ ඉරණම තීන්දු කරන කලාත්මක නොවන සාධක කිහිපයක් ගැන සරළ සටහනක් මේ.

එකක් තමා සිංහල බෞද්ධ නාමධාරී විචාරය, අනෙක සංස්කෘතික හා ආගමික විචාරය, අනෙක සන්නද්ධ හමුදා සහ දේශපාලනය

මේව ඇත්තටම අර්ථයෙන් ගත්තොත් විචාර නෙවෙයි. නමුත් දැනට එහෙම හඳුන්වමු‍.

අක්ෂරය සිනමා කෘතියෙන් පටන් ගත්තොත් 2006 දි , දි අයිලන්ඩ් පුවත්පතේ ගිය අවිචාරවත් විචාර සටහනක් නිසා අක්ෂරය ගැන අතාර්කික කරුණු කිහිපයක් සමාජයට එකතු වුණා. එතනින් පටන් ගත්තු ගමන ඉතා කෙටියෙන් කිවුවොත් මහේස්ත්‍රාත්වරියක් දූෂණය වීම අධිකරණයට අපහාසයක් ය, ළමයෙකු අපචාරයට යොදවා ගෙන ඇතිය ආදී විවිධ චෝදනා ඔස්සේ අක්ෂ‍රය ගිනි ගත්තා. නමුත් කාටවත් හිතුණේ නැහැ ඒ දූෂණයට ලක් වුණේ ගැහැණියක් මිසක් තනතුරක් නෙවේය කියලා.. ඒ වගේම ලංකා නීති පද්ධතියේ අදටත් නැති, "අසභ්‍ය" යන්න අර්ථ දක්වා ගැනීමට එම සිනමා කෘතියෙන් ලැබිය හැකිව තිබූ මහඟු පිටිවහල මග හරවමින් එය නැරඹීමට ප්‍රේක්ෂකයාට තිබූ අයිතියට විලංගු දැම්මා.

අක්ෂරය, සුළඟ එනු පිණිස, ඩාවින්චි කෝඩ් වැනි කෘති නැරඹීමට ප්‍රේක්ෂකයා කියන කෙනාට/සමාජයට තිබූ අයිතිය නිර්දය ලෙස වළලා දැම්මා. රූපවාහිනියෙන් චිත්‍රපටි බලන කොට කොටු රෙද්දක් දැම්මා (ඒත් ප්‍රේක්ෂකයා නෙවෙයි කට හෙල්ලුවේ)..

ඩාවින්චි කෝඩ් තහනම් කළේ ඇයි ? ලංකාවේ කතෝලික පල්ලියේ ඉල්ලීමට ඒක තහනම් කළාය කියල තමයි ප්‍රචාරය වුණේ. ඒ වුණාට ලෝකයේ ප්‍රබල කතෝලික රාජ්‍යවල එය ප්‍රදර්ශනය වුණා නම් මේ චුල රාජ්‍යයේ විතරක් වෙනම අපහාසයක් ඇයි ? මේ ගැන අර්නස්ට් පෝරුතොට පියතුමා කිවුවෙ මෙහෙමයි..

"මා දන්නා තරමට පාප්වහන්සේලා හා රාජගුරු ප්‍රසාදීන් වහන්සේලාගේ කාර්ය භාරය චිත්‍රපට නරඹා අනුමත කිරීම හෝ තහනම් කිරීම නොවේ. ඒ අයගේ කාර්ය ක්‍රිස්තු චරිතය දේව ප්‍රේමය ගැන දේශන කිරීම හා ඒ අනුව තමනුත් ජීවත් වී අනිත් අයට ජීවත්වීමට කියාදීම ය"

සුළඟ එනු පිණිස චිත්‍රපටයට මා පෞද්ගලිකව අකමැති වන හේතු තිබුණත් එය නැරඹීම මෙරට ප්‍රේක්ෂකයින්ගෙන් ඉවත් කරලීමට එකඟ විය නොහැකිය. මෙය කාලයක් දේශයක් ද්වීපයක් නැති 'අවකාශයකට අදාල කෘතියක් ලෙස කියවන්නන් 'ඉතා හොඳ' ලෙස දකින අතර 'අපේ' රටේ 'අපේ' ගමක 'අපේ 'රණ විරුවන් ගැන කියවෙන කතාවක් ලෙස කියවන්නන් ට 'ඉතා නරක' බලපෑමක් ඇති කර තිබිණි. එහෙත් මේ දෙපිරිසම එක්වී සාමාන්‍ය පොදු ප්‍රේක්ෂකයාට සියඇසින් එය බලන්නට තිබූ අවස්ථාව උදුරා දමන්නට කටයුතු කර තිබුණා.

පුරහඳ කළුවර රූ ගත කරන්න අවශ්‍ය හමුදා ඇදුම් ඉල්ලා ගන්නට ගිය විට පිටපත බැලූ නිලධාරීන් හමුදා රංගයන්ට අදාල කොටස් සංශෝධනය කරන ලෙස දැන්වූ බව ප්‍රසන්න විතානගේ සිනමා නිර්මාණකරුවා කියා තිබුණා.

දැන් ඇතැම් අය දන්නා පරිදි මේ දිනවල තිරගත වන ආකාස කුසුම් සිනමා කෘතියේ මුල් ජවනිකා කිහිපයක් අපේ රටේ දර්ශනය කරවන්නේ නෑ. ඒ ටික නරඹන්න පුළුවන් විදෙස්වල ඉන්න අයට විතරයි. හේතුව ආරංචි වන අන්දමට ඒ කොටස්වලින් අපේ සිනමා නිළියන්ට අපහාසයක් වෙනවාලු. ඒ නිසා ආරම්භක දර්ශන ඉවත් කර මෙරට ප්‍රදර්ශනයට අවසර ලැබිලා.. අ‍නේ අපි නොදන්න ගෞරවේ කියලා මට කියන්න හිතෙනවා.

සිනමා කෘතියක එන රංගනයක් කප්පාදු කරන්නට තරම් ගෞරවයක් පතන මේ පුද්ගලයින් දේවාලවල පූජාසනවල වැඩ ඉන්න අය කියලා හිතාගෙන ඉන්නවද දන්නෙ නැහැ. පොළ වේ පය ගහල ඉන්න දන්නේ නැති මිනිසුන් (පාලකයින්, ශිල්පීන්) ඉන්න රටක ඔන්න ප්‍රේක්ෂකයාට වෙන දේ..

සිනමාවට මෙහෙම වෙන අව් අස්සේ පහුගියදා පැවතුණ සාහිත්‍ය සම්මාන උළෙලවලදී සුනේත්‍රා රාජකරුණානායක ගේ පොතකට සම්මාන දෙකක් ලැබුණා. ස්වර්ණ පුස්තක සම්මානය සහ රාජ්‍ය සාහිත්‍ය සම්මානය. ඒ ‍පොදු පුරුෂයාට..

දැන් මේ කතාව ගත්තහම ඉහත කියපු සදාචාරවාදීන්ගේ ගෞරවයට ආත්මා භිමානයට රිදෙන පහරවල් මෙහිදී වදිනවා. මතුපිටින් ගත්තහම එකම පුරුෂයෙක් සමග බැ‍ෙඳෙන අම්මා සහ දුව ගැන යන කතාවක්.. යටි පෙළ කියෙව්වාම යුද්ධයේ නිරර්ථක බව විදහා පෙන්වමින් සාම මාවතක ගෞරවනීය බව සාකච්ඡා කරන කතාවක්..
තව නොයෙකුත් කියවීම් මේ හරහා කරන්න පුළුවන්..

දැන් මේ කරුණුම දෘශ්‍ය ලෙස සාකච්ඡා කෙරෙන සිනමා කෘති කැපිල්ලට හසුවෙනවා..ඒ රටේ ඒ පාලකයින්ගේ ඒ අමාත්‍යාංශයේ ඒ ඇමතිතුමා අතින්ම මේ පොතට දහසින් බැඳි ප්‍රසාද පියලි ලැබෙනවා..

මේ පරස්පරය අප කියවා ගන්නේ කොහොමද ?

ඇමතිතුමා පොත කියවලා නෑ... කොහොමත් ඔය කට්ටිය පොතක් පතක් හරියට කියවන්නේ නැහැනේ...
මම එහෙම හිත හදාගන්නවා..

ඒත් සාහිත්‍ය, සිනමාව කලාවන් හැම එහෙකටම එකම හැන්දෙන් බෙදන විචාර දෘෂ්ටියෙන් පිරිපුන් පාලකයින්, තීරකයින් අදාල තැන්වලට පත්වෙනකන් ප්‍රේක්ෂකයාගේ අයිතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙ 14 වගන්තියට විතරක් සීමා වුණ එකක් විතරක් නේද කියල ප්‍රේක්ෂකයෙක් විදිහට මට හිතෙන වාර අනන්තයි.

මේ ඔක්කොමත් සිද්ධ වෙද්දි නිහඬව ඉන්න ප්‍රේක්ෂකයා අර තමන් නිතර බලන හෝ බැලෙන රූපවාහිනියේ කොටු රෙද්ද ඉස්සරහා වත් ක්‍රියාකාරී වෙන්නේ නැහැ.

ගොලු හදවතේ සුගත් ට අරක්කු බොන්න මේ ආණ්ඩුවෙන් තහනම් කරලා.. අනේ සංසාරෙ කිවුවලු.. සිගරැට් හා මත්පැන්වලින් වැඩිම ආදායමකට හැම අයවැයෙන්ම ඉලක්ක තියන ආණ්ඩුව හෙළ උරුමය සනසවන්න ගෙනාපු දුම්කොළ හා මත්පැන් ආඥා පනතෙ එහෙම දෙයක් කරන්න කියල නැහැ.. ඒ කාලෙ සිනමා කෘති හැදුවෙ දුම්කොළ සංස්ථාවෙන් හරි ඩිස්ටිලරීස්ලගෙන් හරි සල්ලි අරන් නෙවිනෙ.. දශක ගණනාවක් මේ සමාජය ඒ සිනමා කෘති එක්ක හැදුණ වැඩුණ..ඒත් ඒව නිසා බීමට ඇබ්බැහි වුණ පිරිස වැඩි වුණාය කියල කවුද සමීක්ෂණ කරල තියෙන්නෙ..එහෙම හැදුණ සීයලගෙ තාත්තලගෙ මුණුපුරාල පුතාල දැන් ඒව බලල බීම පටන් ගනියි කියල හිතන පාලකයින්ට වඩා අර අසඩක් හොඳයි.

අනෙක් එක ඒ පනතෙ තියෙන්නෙ වෙළඳ දැන්වීම් ගැන විතරයි. ඉතින් මොන එහෙකටද මේ සිනමා කෘති පෙන්වද්දි රූපවාහිනී ආයතන කොටු දාන්නෙ.. ප්‍රතිපත්තියක් නැති රූපවාහිනී ආයතනත් මේ රටේ ප්‍රේක්ෂකයින්ට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් උරුම කරල දීල තියෙන අයිතීන් උල්ලංඝනය කරනවා.. මහ දවාලෙ..අමු ප්‍රසිද්ධියේ..

සිනමා කරුවන්ගෙ අයිතීන් ගැන විකල්ප මාධ්‍යයකින් හරි රාජ්‍ය නොවන සංවිධානෙකින් හරි පිට රටකින් හරි කතා කරනවා. ඒත් ‍මේ රටේ ප්‍රේක්ෂකයෝ ගැන කතා කරන්න කිසිම ‍කෙනෙක් නැහැ.

පාලනය විසින් රටේ ඉන්න වැඩිහිටියන් ළමයි බවට පත් කරල. ළමයින්ට සුදුසු ඒව විතරයි නරඹන්න පුලුවන්. ඒව සුදුසුද කියල තීරණය කරන්න තරම් හැකියාවක් වැඩිහිටියන්ට නැහැයි කියල තීරණය කරන පාලනය විසින් ඒ කාර්යය සන්නද්ධ හමුදාවලට, දේශපාලකයින්ට, ආගමික නායකයින්ට, සංස්කෘතික උරුමක්කාරයින්ට, නීති යේ අන්ධ කාන්තාවට පවරල දීල. කලාව කොහොමද මේ අයගෙ/මේවයෙ තීරණයක් වෙන්නෙ.. කලාව මේ හැම ආයතනයකින්ම නිදහස් වෙන්න ඕනෙ.

සිනමා භාෂාව වැඩි වැ ඩියෙන් හදාරන්න සම්පත් වැඩි කරන්න ඕනෙ. විචාර සම්ප්‍රදායන් ඉගෙනීමට හා ප්‍රායෝගිකව යෙදීමට දිරිමත් කරන්න ඕනෙ..එහෙමයි රටක කලාව ඉදිරියට යන්නෙ. විධිමත් විචාර සම්ප්‍රදායක් නැති රටක, විධිමත් ලෙස දැනුම ගලා ඒමේ ක්‍රමයක් නැති සමාජයක හැම කෙනෙක්ම හැම විෂයක් ගැනම අදහස් පළ කරන්න ගියහම වෙන වින්නැහිය අපේ රටට සිද්ධ වෙලා ගොඩක් කල්.. මේ ඒවයෙ ප්‍රතිඵල තමා. මේක හරියට සෝදා පාලුවීමක්, නාය යෑමක් වගේ..

ඩා වින්චි කෝඩ් තහනම් කරන රජය වෝටර් පෙන්වන්න විතරක් නෙවෙයි හදන්නත් අවසර දෙනව. පුදුම දෙබිඩි කමක්..

මේ සියල්ල තීරණය වෙන්නෙ කලාව ඇතුලෙදි නෙවෙයි. ඊට හාත්පසින්ම පරිබාහිර වෙනත් ස්ථානවලදි.. ඒකයි අපේ රටේ අරුමය..

‍පොත්වල තියෙන්න හොඳයි. සිනමාවට නරකයි. වේදිකා නාට්‍යයට නරකයි. මේක පුදුම තීරණයක්. මේ රටේ සාහිත්‍යයට යන්තමින් හරි තියෙන සාධාරණය සිනමාවටත් වේදිකාවටත් රූපවාහිනියටත් ලැබෙන දවසක් එන්න තව කොයි තරම් කල් යාවිද ?


ඒක ප්‍රේක්ෂකයාගෙ සිහිනයක්..

Monday, October 5, 2009

හඬන මුහුදට වැටුණ කඳුලැලි..

‍බොහෝ අය කතා ගොතනු දකිමි. මටද කතාවක් ලියන්නට සිතේ.

ඉදින්..එය "අද" ලියවෙන්නේ නම් එහි හැඳින්වීමේ පරිච්ඡේදය මෙසේ වනු ඇතැයි මට විටෙක සිතේ.

-----------------------------------------------
ඉතා කුඩා බිළිඳු අවදියේ පටන් වෙන් වන්නට සිදුවන වහළවල සෙවණ ලබා ඇති මුත් එය ජීවිතයේ නොනවතින අත්දැකීමක් වන විට කුමක් සිතේ දැයි දැන් කාගෙන්වත් ඇසිය යුතු නැත. සිහින නිවසක් වෙනුවට නිවසක් සිහිනයක් වූ ‍මොහොතක .. දැනෙන හිත් වේදනාව පොත් ගණන් කියවමින් තේරුම් ගැනීමට ඇවැසි නැත. රාත්‍රියක කුලී ගෙදරක ඇතුළතින් වැටුණු ගේට්ටු පියන්පත්වලට මෙපිටින් තනිව බලා සිටින්නට සිදුව ඇති විටක දැනෙන නොමිනිසත් කමේ හා කුහක බවේ සංවේගය අනුන්ගේ කඳුළු මතින් අවබෝධ කර ගත යුතු නැත.. ඒ අත්දැකීම් සියල්ල නොඅඩුව හුදෙකලාව විඳගැනීමේ සංයමය ඉගැන්වූ එක් පොතක් මා වෙත ඇත. ඒ ජීවිතය ගැන ලියැවෙන පොතයි.

ඒ පොතෙහි පෙඟී ගිය පිටු යළිත් "අනුල ද සිල්වා"ගේ "හඬන මුහුදෙ"හි පොඟවමින් ඔහේ වැතිරී සිටින මට ජීවිතයත් ප්‍රබන්ධයක් සේම අනුන් අතින් කඩතොලු වන, ගෙතෙන හෝ නිමවෙන්නක් නේ දෝ යි බොහෝ විට සිතේ.

පාසල් යවන වයසට පැමිණි විට "වැඩට යන අම්මා"සමග යාමට බැරි බව හඟවමින් මාගල් පැදුරක එතී දොර මුල්ලේ සැඟවී සිටි දිනයේ පටන් මේ වන විට නවාතැන් ගණනක තාවකාලික සෙවණ ලබමින් තවමත් නොනවතින ගමනක ඒ ජීවිතය ගමන් කරමින් සිටී.

ඒ සෑම තාවකාලික නවාතැනක්ම නොමැකෙන යමක් හදවතෙහි ලියා තිබේ.

කුරුඳුවත්තේ පොලිස් නිවාසයේ සිවු දෙනෙකුගේ කාමරයක හවුල් කාරියක වී රෑ තිස්සේ කාන්දු වන වතුර පයිප්පයක වතුරෙන් උදේට මුහුණ සෝදන්නට සිදු වීම එතරම් ගැටළුවක් නොවුයේ සිනාසෙන්නට හෝ කතා කරන්නට හෝ මුහුණට මුහුණ බලා ඉන්නට තවත් කිහිප දෙනෙකු එහි සිටි නිසා හෝ ඒ සියල්ලටමත් වඩා මා ශක්තිමත් වී සිටි නිසා විය යුතුය. අද වැනි දිනෙක නම් ඒ පයිප්පයට වඩා වේගයෙන් දෙනෙත් උතුරා යනු නිසැකය.

රත්මලානේ ඇනෙක්සියේදී මහා රැයක තනිව හිඳින විට සංගීත සංදර්ශයනයක රස බැලූ පිරිසක් පැමිණ එක දිගට ජනෙල් හා දොරවල්වලට පහර දී කලබල කර යන විටත් නිහඬව උපේක්ෂාවෙන් සිටින්නට පුලුවන් වූයේ වෙනත් තැවිල්ලක් සිතට ‍නොතිබූ නිසා විය හැකිය. හෝ සිතන්නට බොහෝ දේ තිබූ නිසා විය හැකිය.

මත්තේගොඩ දී ජීවිතය අධික පශ්චත්තාපයෙන් ගෙවා අන්තිමේ පිළිකාවක් සිරුර වසා ගන්නා තෙක් තැවුණු වැඩිහිටියෙකුගේ සියුම් හැඬුම්වලට රැය පුරා සවන් දෙමින් ආගන්තුකයෙකු ලෙස ගෙවුණු කාලය ද මෙතරම් සිතට වද දෙන්නක් නොවුයේ කුමක් නිසාදැයි අදටත් නොතේරේ. රාත්‍රිය සමග ගෙට ගෙවදින ගමන් වෙහෙස ට එය යටපත් වන්නට ඇත.

රාජගිරියේදී බිමට වැටෙන සියලු සටහන් පත් තෙත පොළවේ ජලය උරා ගනිද්දී, බිත්ති වැස්සට සීතල වී පෙඟී ගොස් පුල්ලි සෑදෙද්දී අසනීප වෙමින් ගෙවූ ජීවිතයට සමු දුන්නත් යළිත් එතැනට ගොස් ඒ හිමිකාරිය බලා එන්නට සිත් දුන්නේ ඒ සියල්ල පහසුවෙන් අතීතයක් බවට පත් කිරීමේ හැකියාවක් මා තුළ තිබූ නිසා විය හැකිය.

නේවාසිකාගාරවලට වැදී මාසයක නිවාඩුවකට විදුලිපත් යවා විභාගයට ලියන අතරේ ඒ විදුලි පුවත් නොලැබුණ බව දන්වා රැකියාවෙන් ඉවත් කර තිබියදීත් උපකාරයට දිව එන අය සිටි හෙයින් බොහෝ සිත් රිදී වුවද ඒ සියල්ල රැක ගත හැකිව තිබිණ.

බත්තරමුල්ලේ දී තෙමෙන වහළයෙන් කාමරයක ‍කොටසකට සීමිත වූ මගේ වටිනා වත්කම් කිහිපය රැක ගැනීමට අපහසු බව දැනෙන කාලය වන විට සිතින් ද කයින් ද බොහෝ සේ දුර්වල වී සි‍ටියෙමි.

දැන් ... කිසිවක් අතීතයට එක් කිරීමට හැකියාවක් නැත. තවත් අතීතයක් ඉතිරිව නැත. අතීතය යැයි අප සිතන කොටස ජීවිතයෙන් ගෙවී යන සමයක දළුලන අපේක්ෂා වෙනුවට ඉච්ඡා භංගත්වය හා කලකිරීම පමණක් තදින් සිතට දැනේ. විශේෂයෙන් තනිව බොහෝ දේ සිතන විට..දැනෙන විට..

ජීවිත පොතේ පරිච්ඡේද ගණනාවක වෙහෙස වචන කිහිපයකින් නිම කර දැක්විය හැකි නම්..එය මෙසේ වනු ඇත්දැයි නොදනිමි. ලිවීමෙහි මා දක්ෂ නැත. හැඟීම් ප්‍රකාශනයෙහි ලා ඊටත් දුබල ය.
------------------------------------------------------------

හද බි‍ඳෙන සරය හද රිදෙන සරය විය ‍නොයුතු හෙයින්, මෙම පිටුව හෙට හෝ අනිද්දා මකා දමන තෙක් .. මේ මොහොතේ ලියන්නට සිතෙන කතාව මෙය වනු ඇත. මෙය මොහොතක සිතිවිල්ලක් පමණක් වන හෙයින් කිසිවෙකු ඊට වගකිව යුතු නැත.







Saturday, September 12, 2009

සබඳ, මේ ජීවිතය මනරම් ය

සබඳ

මේ කුලී මාලිගාවෙහි ගෙවන ජීවිතය
මනරම් ය.

අසල ගස්වල
කොළ සැලෙන නද මිස
මිනිස් කටහඬින් තොරය.

ඉඳ හිට ලැබෙන
මොබයිල් පුවත් වැකියකින්
නිසලතාවය බිඳී ගියද,
ඉන් කිසිත් වෙනසක් සිදු නොවේ..

තනිව හැඬිය හැකිය
තනිව සිනාසිය හැකිය
තනිව වැළපිය හැකිය

තර්ජනයකින්
හෝ
මර්දනයකින් තොරව
ඇති තෙක්
උපවාස කළ හැකිය
වර්ජනය කළ හැකිය
හිස් පොකැට්ටුවකට
නිරවශේෂ බැංකු පොතකට
කමිටු රැස්වීම්වලින් තොරවම
ඒ සියල්ල තීරණය කළහැකිය

සියල්ල මගේය
මා පමණය

සබඳ
මේ කුලී මාලිගාවෙහි ගෙවෙන ජීවිතය
කෙතරම් අසිරිමත් ද ?

ණය පතකින් ලැබෙන ඇමතුමක්
බිල් පතකින් ලැබෙන තරවටුවක්
හිතවතුන් සේ ගෙට එබෙන

බලව සබඳ
මේ කුලී මාලිගාවෙහි
අසිරිය ..

ආතුරවන සිත
ගතටද රෝ බෝ කරන
එහෙත්
කිසිවෙකුත් නොදකින




Sharing Pain - ting s



අවුරුදු 6 දී දකුණු කකුල පෝලියෝ වැළඳී සිහින් වීමත්, වයස අවුරුදු 18 දී ගමන් ගත් බස් රිය විදුලි රියක ගැටී එහි කණුවක් යටි බඩ පසා කරගෙන මුත්‍රා මාර්ගයෙන් එළියට ඒමත්, දකුණු කකුල 11 පොළකින් බිඳීමත්, ශ්‍රීවාස්ථියද කොඳු ඇට පෙළද තෙපොළකින් බිඳීමත්, ඉළ ඇට කිහිපයක් කැඩීමත්, ශ්‍රෝණි පෙදෙස බිඳීමත්, දෙපා සන්ධි පැනීමත් සහ තවත් තුවාල සමග වෙළන ලද මිනියක් සේ මාසයකින් පසු නිවස බලා ගොස් ජීවිතය පුරා ශල්‍ය කර්ම 35කට මුහුණ දීමත්, ගබ්සාවීම් කිහිපයක් සිදුවීමත් අවසානයේ කුණුවන්නට පටන් ගත් දකුණු කකුල දණහිස අසලින් කපා ඉවත් කරන්නටත් සිදුවීම ඉවසා සි‍ටි ගැහැණියකට කිසිසේත් ඉවසන්නට නොහැකි වේදනාවක් විය.

ඒ ...........

සිය ප්‍රේමවන්ත සැමියාට අන් ඇසුරක් ඇති බව දැනගන්නට ලැබීම යි.

වෛද්‍යවරියක වන්නට පෙරුම් පුරමින් ඉගෙනුම ලැබූ ඇය සිය වේදනාවන් යටි සිතෙහි සඟවාගෙන සිනාමුසු මුහුණින් අන්‍යයන්ට ආකර්ෂණය වූවාය. ලේ, කඳුළු, ආවේගය, කැළඹීම සහ කෝපය හැකි අයුරින් කැන්වසයක සිත්තම් කළාය.





My painting carries with it the message of pain...
Painting completed my life...
I believe that work is the best thing ..."







මෙක්සිකෝවේ සංස්කෘතියට අයත් තද පැහැ ඇඳුම්, දිගු වර්ණවත් සායවල්, අලංකාර සළුපට, විශාල වර්ණිත හැඩ පබළු මාල තරම් ඇගේ ජීවිතය වර්ණවත් වී ද ?

ඇඳ මත වැතිර කණ්ණාඩියකින් සිය මුහුණ දෙස බලමින් ඇය තමන්වම සිතුවමට නැගුවාය.

"I paint myself because I am so often alone, because I am the subject I know best."











ඇගේ දෙවන අනතුර ලෙස පසුව ඈ
සලකනු ලැබුවේ ඇයගේ ප්‍රේමයයි. මක් නිසාද යත් සිත සුව කළ නොහැකි අන්දමින් බිඳී ඔත්පල කරවන්නට ඇගේ පෙම්වත් සැමියා සමත් වූ හෙයිනි.

සැමියාගේ ජීවිතය තුළ කිමිදී ගිලී යන්නට පතා සිටි ඇයට තමන් තනිවූ බවත් තනිව පෙනී සිටින්නට සිදුවන බවත් වැටහෙන විට ඇය සිත්තරියක වී සිටියාය. ඇගේ තනිවීමේ සාහසික ප්‍රකාශනය එය විය.

සිය හැඟීම් ජීවිතය තුළ සිර කරමින් මිනිසුනට දකින්නට අවශ්‍ය වූ ගැහැණිය සමාජයට ප්‍රක්ෂේපණය කරන්නට ඇය දක්ෂ වූවාය. අන්‍යයන්ගේ දස්කම් එළි දක්වන්නට සහය වෙමින් සංචාරයේ යෙදුණ ඇය විස්මිත ගැහැණියක වූවාය.

සිනාවෙන් සපිරි රූමත් ගැහැණියගේ බැල්මක පහස ලැබ ගන්නට පිරිමි සමාජය ලොල් විය.
ඩියෙ‍ගෝ රිවේරා සමග වූ විවාහය තුළ ට්‍රොට්ස්කිගේ පෙම්වතියද, පිකාසෝගේ මිතුරියකද, ආන්ද්‍රෙ බ්‍රෙටන්ගේ බිරිඳගේ සහ සේරා ජොසෆින් බේකර්ගේ සහකාරියද වූ ඇය සිය සබඳතාවලින් පිරිමි ලෝකය කැළඹුවාය.

දැඩි කොමියුනිස්ට්වාදිනියක වෙමින් ස්ටාලින්ට අතිශයින් ප්‍රිය කළ ඇය සිය ආතතීන් හමුවේ දේශපාලනික ක්‍රියාකාරකම් අත හැරියේ නැත.

සිය දිවි නසා ගන්නට කිහිප වරක් තැත් කළ මෙම ගැහැණිය වයස අවුරුදු 47න් සතියකට පසු සදහටම සිය කැන්වසය අත හැර දැමුවාය. ඒ පෙනහළු සිරවීමකිනි. එය ස්වාභාවික මර‍ණයක් ලෙස පිළි ගැනීමට තීරණය විය.

"I hope the leaving is joyful and I hope never to return".

මග්දලේනා කාර්මන් ෆ්‍රීඩා කාලෝ කැල්ඩරන් සිය දිනපොතෙහි අවසන් වරට ලියා තැබුවාය.

" Friend, sister of the people, great daughter of Mexico; you are still alive."

ඇගේ සොහොන් ගැබෙහි ලියා තිබේ.

Tuesday, September 8, 2009

මගේ සඳ




(But I am still trying.......)

HaPpY Birthday My Love !

දුරින් දුරු රට ගෙවා සපැමිණ
ස‍‍ඳෙන් සඳ දුක් කටොර ඉසිලුව
වරින් වර ළං වෙවී මා-පිය විලස
බි‍‍ඳෙන් බිඳ ඇස කඳුළු පිසලුව

දිනෙන් දින සඳ සේම මෝරන
පෙමින් පෙම හැර කිසිත් නොපැතුව
දෙව් බඹුන් දුන් පඬුර නුඹමද
මගේ හද නිති තුටින් නැහැවුව

නොගැලපෙන මුත් මෙකවි පද
ලියා තැබුමට එවන් සෙනෙහස
දුලබ කවි කම් අකුරු කරගෙන
සිහි කරන්නෙමි නිබඳ මගෙ සඳ

නිදුක් සුව විඳ මෙදිවිය තුළ
වරම් ඉල්ලමි නුඹව රැක දෙන
පැතුම් සහසක් හදෙහි රඳමින
සිඹිමි නුඹ හද සිරස පිරිමැද

Saturday, April 25, 2009

You bring me Frustration - හැමටම වඩා මා ගැන දුක හිතෙයි මට


ගීතයක්, ලියවිල්ලක් සහ හැඟුම් සමුදායක් විසින් මෙතෙක්‍ නොලියවුණු අන්දමේ යමක් සටහන් කරන්නට සිතේ. ගීතය තිස්ස අබේසේකරයන් විසින් වත්සලා අක්කා සිනමා පටයට ගොතන ලදුව කාලෝ විසේසිරිගේ සංගීතයට මාලනී බුලත්සිංහලයන් විසින් ගායනා කරන ලද්දකි.

පළමුව,

ගීතය මෙතැනින් අසන්න


දෙවනුව, එහි පද අතර සැඟවුණු අරුත සොයන්න.


සඳ මෝරා උඩු ගුවනට එන කලට

ඔබෙ රුව පෙනෙනවා කවුළුව තුළින් මට


ඉකි ලන හදින් තනි යහනේ ඉන්න විට

හැමටම වඩා මා ගැන දුක හිතෙයි මට


පහන් දොරින් හිරු එබිකම් කරන සඳ

මා අසලින් නුඹ නැතුවා දුකකි


සීත නිය තුඩින් මා ගත රිදෙන සද

ඔබෙ මුදු පහස මට නැතුවා දුකකි

විප්‍රලම්භ ශෘංගාරයේ ගැඹුරුම තැන් ස්පර්ශ කරමින් ගැයෙන මෙම ගීය මේ මොහොතේ වඩාත් සිත් ගත්තේ කාරණා කිහිපයක් නිසාවෙන්. මෙය ගැහැණියක විසින් තමන් වෙළා ඇති වේදනාව ගැන ආත්මානුකම්පාවක් උපදවා ගනිමින් ගැයෙන්නක්. අන් කිසිවෙකුට තේරුම් ගත නොහැකි, විශේෂයෙන් තමන් සමග බැඳුණු අනෙකාට අවබෝධ කොට ගත නොහැකි, අභ්‍යන්තරික පෙළීමක් ගැන කෙරෙන ස්වයං පාපොච්චාරණයක් බඳු යමක්...

ක‍ෑම-බීම, ඉඳුම්-හිටුම් හැරෙන්නට ජීවිතයේ අත්‍යවශ්‍ය ‍දේවල් ‍කොතෙකුත් තිබේ. ඒවා භෞතික අවශ්‍යතාම නොවේ. එහෙත් බොහෝ දෙනා වටහා නොගන්නා කාරණයද එයයි. තමන් මෙන්ම අනෙකාට ද අවශ්‍යතා ඇති බව, හැඟීම් ඇති බව නොතකන පුද්ගලයිනට ප්‍රේමය, නිදහස වැනි

බැඳීම් පක්ෂයේ ඇති අභෞතික

කාරණා ගැන වැටහීමක් නොමැත.

ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය ‍‍සේ අචින්ත්‍ය යැයි කියා ගන්නා අයට දැන් ගැටළු මතු වනු ඇත. ප්‍රේමය පූජනීය හා පිවිතුරු යමක් යැයි කීම ද ස්වාභාවික ප්‍රේමය කෙළෙසන කියමනකැයි වරෙක මට සිතේ.


ප්‍රේමයේ අරමුණ ජීවිතයේ සතුට හා සැපයයි. ඉතා කළාතුරකින් කිහිප දෙනෙකු ඊට එරෙහිව ජීවත් වන්නට ඉඩ ඇති මුත් එය අවිශ්වාස සහගත කල්පනාවකි. ප්‍රේමයෙන් ලබන සුඛය හෝ සතුට වරදක් බව මේ ලෝකයේ කුමන ආගමකවත් උගන්වා නැත. ප්‍රේමය යන වචනය සමගම රාගය, ආලය, ආශාව , රුචිය, කැමත්ත, වින්දනය, ඇලීම, කාමය ආදී එකිනෙකට වෙනස් සියුම් සංවේදනා රාශියක් ප්‍රකාශ වන බව පසුගිය බුදුසරණ කලාපයක වූ ලිපියක සඳහන් විය. ආදරය කිරීම, පේ‍්‍රම කිරීම යන හැඟීම වේගවත්ව ක්‍රියාකාරී වන කාමෝද්දීපන මානසිකත්වයක් ලෙස මෙන්ම සුඛ වේදනා මූලධර්මය මත ඇතිවන පෙළඹීමක් බව එහි සඳහන් ‍කර තිබේ. ( කියවන්න මෙතැනින් ).

ප්‍රේමය තුළ සුවය සෙවිය යුත්තේ එක් පාර්ශ්වයක් පමණ ද යනුවෙන් අසන ප්‍රශ්නයක් ලෙස මෙම ගීතය මේ මොහොතේ මට දැනෙමින් පවතී. එය අනෙකෙකුට වෙනත් අර්ථ උද්දීපනයක් ඇති කළාට කම් නැත.

ආදරය පිළිබඳ හැඟීම ආස්වාදය හා බැඳුණු ලිංගිකාසාව ඇසුරු කොට ගත්තකි

යන මතයට ප්‍රේමය නම් රාගයෙන් තොර සඳඑළිය සේ අචින්ත්‍යය යැයි කියන ඔබ ‍‍කොතෙක් දුරට එකඟ වනු ඇද්ද ?

ක්‍රිෂ්ණමූර්තිගේ මේ අදහස්

කියවා බලන මෙන් මම ඔබෙන් ඉල්ලා සිටිමි.

මෙහි මම යනු මේ බ්ලොගය ලියන පංචස්කන්ධය නොවේ.

මම යනු නියෝජනයකි.

තමන්ගේ ආසාවන් පමණක් ඉෂ්ට කරගනිමින් ඉවතට යන සියලු ප්‍රේමවන්තයින් දෙස බලා හිඳිමින් විප්‍රලම්භ ශෘංගාරය ගැන ගී ගයන පාර්ශ්වයන්ගේ නියෝජනය කි.

Friday, February 13, 2009

අපි තාමත් මුඩුක්කුවේ..


තිරෙන් එහා නොපෙනෙන පැත්තක්.. නොදකින කතාවක්.. වෙන අඩවියකින් උපුටා.. නොකියවූවන්ගේ දැනගැනීම පිණිස පළ කරමි.

Child stars of Slumdog Millionaire still live in slums

By EMILY WAX Washington Post


MUMBAI, India — This tangled neighborhood of pieced-together shacks along a railroad track seems an unlikely residence for movie stars. But here is where two of the child stars of the hit movie “Slumdog Millionaire” live, amid the rusted tin lean-tos in the shadow of this city’s high-rises for the wealthy.

The 8-year-old actors are at the center of controversy surrounding the Golden Globes-winning rags-to-riches movie. The film hit a nerve in India, launching soul-searching debates over the actors’ compensation, the movie’s portrait of the country’s vast poor and the title’s use of the word “dog,” which some slum dwellers consider so offensive that they ransacked a theater in Bihar’s state capital of Patna, where the film was being shown in India for the first time.

Emerging from her tiny, windowless shanty, the pixie-haired Rubina Ali, who plays the young romantic interest early in the film, says she loved making the movie and snapping photographs of Bollywood idols on the set. For the first time in her life, she set foot inside the city’s many five-star hotels. But her father, Rafiq Ali Kureshi, a carpenter who said he was a set builder for the film, broke his leg during filming and has been unemployed since.

Living farther along the sludge-coated tracks is Azharuddin Ismail, who played the young brother of the film’s main character. His family’s illegal shanty was recently demolished, and his father is suffering from tuberculosis. They live under a tarp. Much of his salary from the film has been spent on his father’s treatment and feeding his family, he said.

“Uncle Danny has sent us to school and is paying for that and we are happy,” said Rubina, using a term of affection to refer to Danny Boyle, the film’s British director. “But it’s still very tough for us.”

“Slumdog Millionaire” — or “Slumdog Crorepati,” as the Hindi-language version is known — received 10 Oscar nominations and became the modern-day fairy tale of the year in multiplexes across America. Amid the film’s U.S. box-office success — it had grossed almost $60 million by last weekend — comes ever-rising scrutiny within India of Boyle and the film’s distributors. They are accused of not having done enough to compensate some of the younger Indian actors and extras who worked on the film, and have been called peddlers of the country’s poverty.

Editorial writers and film critics have said that “Slumdog’s” popularity raises a larger issue: To what extent are filmmakers and artists responsible for improving the lives and fixing the societal dysfunction that made their movies possible? Or does that responsibility ultimately rest with a society or government, once its conscience has been pricked?

“We feel strongly that we want to do all we can for Rubina and Azharuddin, especially long term. And we have started the process of talking about what our responsibilities are. But at the end of the day, it is just a movie,” Boyle said in an interview. “In the end, India will have to address its own issues. They are too big to be solved by our efforts alone, although we can try.”

Despite its recent economic growth, India still has the largest number of malnourished children younger than 5 in the world — a total estimated by the United Nations at 57 million — along with some of the largest slums, especially here in the country’s entertainment and financial capital, where a vast stretch of low-lying tin roofs is the first thing visitors see from airplanes on arrival.

Boyle has put both Rubina and Azharuddin in schools — their first time to attend — and set up a trust fund that they can access once they finish their education. The film’s producers insist they have been generous, paying them more than three times the average annual salary of any adult in their neighborhood. The children’s parents dispute those figures.

This week, Britain’s Daily Telegraph quoted the parents as saying Rubina received 500 pounds, or roughly $730 at current exchange rates, for filming and Azharuddin, $2,475. The film producers have said the actors were paid more and given monthly and yearly stipends for schooling, although they did not release specific amounts. A third young actor, Ayush Mahesh Khedekar, comes from a middle-class family; his compensation has so far not been an issue.

Filmed on a modest $15 million budget, the two-hour film tells the harrowing tale of Jamal Malik, an orphan of Mumbai’s teeming slum, whose search for the girl he loves leads him to try to win India’s version of “Who Wants to Be a Millionaire,” hoping she will see him on the popular show. He answers the questions correctly but is arrested for cheating because no one believes a slum boy could have such knowledge.

The film, however, has a happy ending, with a classic Bollywood song-and-dance extravaganza.

The filmmakers, though, get a more troubled ending.

Some in the Indian media have called the movie “a poverty tour” that turns a profit by using India’s slums as its cinematic backdrop.

Playing on 350 screens across India, the film grossed $2.8 million in its opening weekend, according to Fox Star Studios — the box office gross reduced because of rampant piracy. The film has also been slammed because the main stars speak English, rare for slum dwellers who don’t have access to private schools that teach the language, a point of tension here.

Nicholas Almeida, a social activist and slum dweller, has filed a complaint in Indian court against Boyle and the Indian actors, contending that the film’s title is discriminatory and harks back to British rule, “when they called Indians ‘dogs.'"

“Slumdog” is far from the first film that has been accused of profiting from pain. The child stars of “The Kite Runner” said they were paid $1,000 to $1,500 per week, even though Screen Actors Guild members are paid $2,634 per week for principal speaking roles. Those involved in making that film point to another comparison to justify the actors’ pay rate: Average per capita income in Afghanistan is about $300 a year, according to the World Bank.

“It’s a very delicate issue. Because we know Danny Boyle means well. He was very good to the kids,” said Krishna Poojari, co-founder of Reality Tours and Travel, a company that uses part of its profits to run a school that teaches English in the Mumbai slums featured in the film. “If ‘Slumdog’ wasn’t such a big hit, what Boyle did for them would have been OK. But it’s making so much money around the world. More has to be done.”



Wednesday, February 11, 2009

නැගිටින්න තිරය ඉදිරියෙන් .. It's not a window on the world anymore..




තිරය ලෝකය පිළිබඳ කවුළුවක් ද ? ඇතැම් හු එසේ කියති.

එක් අතකට එය සැබෑවකි.
මක් නිසාද යත් රූපවාහිනිය අපට සැබවින්ම ළඟා විය නොහැකි ලෝකය අපේ දෙපා මුළට, දෑස් ඉදිරියට ගෙනවිත් අපට පෙන්වන නිසාය.‍

දෙවනුව එය එසේ නොවේ..
ඒ මක්නිසාද යත් රූපවාහිනී වැඩසටහන් සියල්ල ගොඩනගනු ලැබූ, සංස්කරණය කොට නිෂ්පාදන කරනු ලැබූ ඒවා වන හෙයිනි.. එය තථ්‍ය ලෝකය නොවේ.

රූපවාහිනිය තුළ දී යථාර්ථය සහ ප්‍රබන්ධය අතර බෙදුම්ඉර අවිශද වී බොඳ වී යන බව බෝඩ්‍රිලා, හාර්වි, ලී වැනි පශ්චාත්නූතනවාදී ලේඛකයින්ගේ අදහස විය. ඔවුනට අනුව එය ඡායාමාත්‍රයක් පමණක් විය. යථාව නොවන දෙය යථාවටත් වඩා යථාරූපී වීම එහිදී සිදුවේ.

<(O ඇස - - - - - - - - - - - - -තිරය |
අපි රූපවාහිණිය නරඹන්නේ යම් දුරකින් ඇස පිහිටුවමිනි. ඒ අප නරඹන්නේ තිරයක් වන ‍හෙයිනි. නිවැරදි දර්ශනයටත් සෞඛ්‍යයටත් සුදුසු වන පරිදි එම දුර තීරණය වී තිබේ.

මේ වන විට රූපවාහිනී තිරය සහ පරිගණක තිරය විසින් එම දුර අඩු කරගෙන යමින් තිබේ.

අප අපේ එදිනෙදා ජීවිතයේ සියලු ආවේගයන් තිරයක් හරහා මුදා හැරීමට පටන් ගත් මොහොතේ සිට තිරය සහ අප අතර දුර ළං වන්නට පටන් ගෙන තිබේ. කෙතරම් ළං වී ද යත් දැන් ඇස සහ තිරය කියා දෙකක් නොමැත.

දැන් ඇස = තිරය වී තිබේ.

ඇස සහ තිරය සමපාත වී අපි තිරය නමැති ඇසින් ලෝකය බැලීමට පටන් ගෙන තිබේ.

පෝයට අපේ ගෙදර අත්තම්මලා, නැන්දලා, ලොකු අම්මලා ගෙදර සිට දඹදිව වැඳ සිල් සමාදන් වෙති.

අනෙක් ඇත්තෝ දේශීය නාලිකාවේ දිය ඇලි, පරිසර චාරිකාවල සිට ඩිස්කවරි දක්වා ලෝකයේ සියලු වන ගහණ, සොබා සුන්දරත්වය ගෙදර පුටුවක් උඩ වාඩි වී සිට දැක බලා සිත් සනහා දැනුමැත්තෝ බවට පත්වෙති.

සියලු දුක්- සුසුම්,කඳුළු, පීඩා තිරයක් ඉදිරියේ සිට විසුරුවා හරිමින් ආවේගයන් සමනය කර ගනිති.

දරුවෝ පරිගණක තිරයක් ඉදිරිපිට සිට මඳ සිනා නගන්නේද , වැඩිහිටියෝ රූපවාහිණී තිරයක් ඉදිරිපිට සිට කඳුළු සලන්නේත් වෙනසක් නැතිවය.
දැන් ඇස සහ තිරය අතර පරතරය අහෝසි වී ගොස් ඇත. ඇස අධිනිශ්චය වී තිබේ. දැන් මේ ඇසෙන් අප දකින්නේ සැබෑ ලෝකය ද ?
දඹදිව ගොස් බෝධිය වඳින විට දැනෙන බෝ සෙවනේ සිහිල, පරිසරයේ වෙනස, හදවතේ බැතිබර බව තිරය ඉදිරියේදී අපිට දැනිය හැකි ද ?
දිය ඇල්ලක්, වන ගහණයක් නියමාකාරයෙන් නරඹන්නට නම් ඒවා එම ස්ථානයේම තබා නැරඹිය යුතුය. හතරැස් රාමුවකට ගලවා ගෙනා කොටසක් ලෙස, එකම කෝණයකින් චිත්‍රයක් නරඹන්නා සේ ලෝකය නැරඹිය හැකි ද ?
ඇස කාචයක් හෝ තිරයක් බවට පත් වූ විට පංචේන්ද්‍රියයන්ටම දැනෙන අත්දැකීමක් එළෙසින්ම දැනෙන සේ ඇසට මාරුකළ හැකි ද ?
අපේ නොවන ඇසකින් ලෝකය දකින අපට ඒ තුළ සැබෑ ලෝකයේ කාල අවකාශයන් කෙටි වී ඇති අන්දම නොපෙනේ.
ඇලක්, ගඟක්, පොකුණක් නැරඹීම එය අයත් පරිසරයේම තබා කළ යුත්තකි. එය නැරඹීමට නම් අදාල පරිසරය අවශ්‍ය ය. නැතහොත් එය තව දුරටත් නැරඹිය යුතු දෙයක් නොවනු ඇත. එහෙත් මේ සියුම් යථාර්ථය වටහා නොගන්නා අපි, ලෝකය අනුන්ගේ කාචයක් තුළින් නරඹමින් තෘප්තිමත් වීමට වෙර දරමින් සිටිමු. එහෙත් එය කෙතරම් දුරට පරිපූර්ණ දැයි යන්න පිළිබඳ වැටහීමක් නොමැත.


තිරයක් ඉදිරිපිටට වී සියල්ල දකින්නට පුරුදු වී සිටි කෙනෙකු තිරය ඉදිරිපසින් ගලවාගෙන නාට්‍යයක් බැලීමට ගිය දවසේ , තිරයකින් චිත්‍රපටි නැරඹීමට පුරුදු වී සිටි කෙනෙකු අතින් අල්ලාගෙන සිනමාශාලාවකට ගිය දවසේ ජීවිතයේ වෙනසක් සිදු නොවූ‍යේ දැයි අසා බලන්න. නැරඹීඹත් විඳීමත් දෙකකි. තිරයේ ඇසින් මේ දෙකින් එකක්වත් යථාරූපී ලෙස සිදු කළ නොහැකි යැයි මට සිතේ.

(බ්ලොග් ලිවිල්ලක් නිසා පෙබරවාරි 04 වැනිදාවක නිදහස අහිමි කර ගත් අයෙකු මතක් කරමින් ලියමි :p )

--

Sunday, January 11, 2009

මල් වලප

.

.





අපේක්‍ෂා සපිරි හද කුසුමක්ව පෙති විහිද
නටු මතින් හිස න ගා සිනාසෙන්නට තනන
ඇසිල්ලේ ප්‍රභාතේ පෙති එකින් එක සිඳින
තෙතමනය නොරැඳුනිද ඔය ඇඟිලි තුඩු අගට

වැසි වසින තෙක් බලා නව ළදලු හිස මතට
පළඳන්න දුක් විඳින තුරු අගිස් නොපෙනේද
අනුන් සිත සදනු වස් ඒ පැතුම් සිඳ දමන
උයන් පල්ලෙකු විනිද නුඹ තවත් මා අසල

නොදන්නා බඳුනකට‍ නෙළන්නට පෙර අතුව
මේ බිමේ දැවි දැවී මියෙන්නට පෙර අතුව
සිඳිනු මැන. සුවඳ දුන් මේ සිහින් නටු අගම
ජීවිතේ පැතුම් මල් පෙති එකින් එක ඉතින

...

Friday, November 28, 2008

පෙම්වතාගේ පෙම්වතියට..


අකල් හී පිබිදී ලිහී ගිය
මගේ මිහිරැති සිහින පොකුරම
වළ දමා පස් වසා නොනැගිටින බර තබා
සිනාසී සුබ පතමි කෝ දෑත් යුග දෙන්න

පණ වගේ නොවෙයි මා මගේ පණටත් වැඩිය
ආදරෙයි හැමදාම හෙටත් ඊයෙට වැඩිය
සඳයි තරු දකින දේ එළිය දන්නේ කොහොම
හිරු කොහිද පිසලන්න නෙතින් බට පිණි කඳුළ

ජීවිතය පිණි බිඳක් රැයෙහි තණ අග දිලෙන
රිදුම් ඇයි මේ තරම- නොඉවසයි දුබල හද
අවලාද නිම නොවන නොරිසි වේ තව දුරට
විඳගන්න ඉඩ නොදෙන සතුට දැන් ඔබ ගන්න

රුවින් මා අස වුවද හිතින් නුඹ හා ‍දොඩන
හිතින් මා ළඟ වුවද සැණින් නුඹ හද සිඹින
මගෙන් ගත් දේ වගෙද නුඹට දුන් පෙම් පිළිණ
ඉතින් මේ ආදරය තවත් මට උරුම නැත

තාත්තෙක් වගෙයි මං ආදරෙයි මගෙ මැණික
අසුරකින් මැකී ගිය වදන් හද පාරවන
සිප වැළඳ බඳ - පෙවූ මුව මී මතක
තෑගි කොට ලියා දෙමි මගේ අන්තිම පිළිණ

ආදරෙන් මං සුරැකි මගේ පෙම්වත් දෙවොල
පින් සිතින් බාර දෙමි පහන් දල්වා සුවඳ
සීරුවෙන් වාවගමි ගිලන් වූ මා සිරුර
මට අකැප වතාවත් වෙතින් නික්මී යන්න

ඉතින් ඇයි පමා තව ජීවිතය විඳගන්න
අගිල් දුම් සුවඳ පිරි දෙවොල මිණි හඬවන්න
ශෝකයේ රස වැරූ ඔබෙ රුවන් මැදුර වෙත
මගේ පණ සදිසි මා සුපෙම්වත ගෙන යන්න .

...

Wednesday, November 26, 2008

මෝසම් මුහුදේ පිහිණීම නොහොත් සමලිංගික ප්‍රේමය

හිත තැවෙන බොහෝ අවස්ථාවල හොඳ පොතක් කියවීම ඔසුවක් බව කවුදෝ කියා තිබෙනවා. මමත් එය පිළිගන්නවා. පොතක පිටු අස්සේ ගිලී ගිය විට බාහිර ලෝකය සමග සබඳතා බිඳී යනවා. හැඟීම් ප්‍රකාශනය දුර්වල වූ විටක අපේ හැඟීම් වෙනත් අය පැහැදිළිව දක්වා ඇති බව පෙනීමත් හිතට අස්වැසිල්ලක් ගෙන එන නිසා...

මං දෙපැයකට පෙර මෝසම් මුහුදේ පිහිණීම ට පටන් ගත්තා..ශ්‍යාම් සෙල්වදොරේ එක්ක.

"Swimming in the Monsoon Sea" ජේ.පී.වන්නිආරච්චි සිංහලට නගල තියෙනව.."මෝසම් මුහුදේ පිහිනීම" කියන නමින්. පරිවර්තන භාෂාව නම් ටිකක් ව්‍යවහරයෙන් ඈතයි වගේ දැනුණත් පොතේ අගට යද්දි භාෂාවෙයි සෝදුපත් දෝෂයි යටපත් වෙලා සංවේදීතාව ප්‍රබලවෙනව. පොතේ අන්තිම පිටුව වහද්දි අර කියපු දොස් ගැන වගක්වත් දැනෙන්නැති තරමට කම්පනයක් ඇතිවෙනව. සියුම් මිනිස් හැඟීම් එළිදරව් කරන්න ශ්‍යාම් කොයි තරම් විනයකින් කටයුතු කරල තියෙනවද කියන එක දැනෙනව. ඔතෙලෝ නළුවේ ඩෙස්ඩිමෝනාගේ චරිතයේ සිට කාෂියෝගේ චරිතය කරා අම්රිත්ව හැරවීම ඉතා සියුම් ලෙස කල්පනා කර කළ දෙයක් ලෙස අපට වැටහෙනව. කාෂියෝ කියන්නෙ අම්රිත්ගෙ ජීවිත රුචිය පිළිබඳ සංකේතයක් වගෙයි මට හැඟෙන්නෙ..

පවුල් අරගල තුළ ළමුන් මුහුණ දෙන අරගල සහ සාංකාවන් පිළිබඳ මෙවැනි සාහිත්‍යමය අත්දැකීමක් මයිකල් ඔන්ඩට්ජීගේ "Running in the Family" කෘතියෙනුත් හමුවන බව පැවසෙනවා. මා එය කියවා නැහැ.

මවගෙන් නොමිදුණු දරුවකුගේ භින්න පෞරුෂ ලක්ෂණත් තමන් පිළිබඳ සැබෑව තමා විසින්ම අනාවරණය කර ගැනීමත් සමග සංහිඳියාවකට පත්වෙමින් බාහිර ලෝකය හා එක්වන ආකාරයත් මේ පොතෙන් ආයාසයකින් තොරව දක්වා තිබෙන ආකාරය සිත්ගන්නා සුළුයි.

මෝසම් මුහුදේ පිහිනන්නන් ගැන කියන ශ්‍යාම් ලංකාවෙ පාඨකයින්ට අමුත්තෙකු නොවෙයි.

ඔහුගේ
" Funny Boy " කෘතිය " අමුතු ඉලන්දාරියා " නමින් සුගතපාල ද සිල්වා ශූරීන් අතින් සිංහලට හැරවුණා. එය හොඳම පිරිමි සමලිංගික නවකතාව (Best Gay Male Novel) ලෙස Lambda Literary Award දිනාගත්තා. කැනඩාවේ ප්‍රථම කෘතියට පිරිනැමෙන සම්මානයත් (Smithbooks/Books in Canada First Novel Award for 1994) දිනාගත්තා.

ඒ විතරක් නෙවෙයි. ඔහු විසින් ලියන ලද දෙවැන්න වූ Cinnamon Gardens කෘතිය ද රටවල් කිහිපයකදී සම්මානයට පාත්‍ර වුණා.

ශ්‍යාම්ගෙ තෙවන නවකතාව වන මෝසම් මුහුදේ පිහිනීමටත් සම්මාන (Lambda Literary Award in the Children's and Youth Literature category in 2006) හිමිවුණා.

සිංහල-දෙමළ මිශ්‍ර සම්භවයක් සහිත ශ්‍යාම් කොළඹ ඉපදිලා සිය පවුලේ උදවිය සමග වයස අවුරුදු 19 දි 1983 ජූලි කලබලත් සමග කැනඩාවට සංක්‍රමණය වූවෙක්. ඔහු ප්‍රකට ව සිටින්නේ සමලිංගිකත්වය වෙනුවෙන් නිබයව පෙනී සිටින්නෙකු ලෙසයි.මෙවැනි කෘතිවල ඇත්තේ ඔහුට ආගන්තුක අත්දැකීම් නොවන නිසාදෝ ඔහු ඉතා සංයමයකින් මෝසම් මුහුදේ පිහිනීම සිදු කොට තිබෙනවා. මෙම කෘතිය තුළැති මා සිත් ඇදගත් කරුණත් එයමයි.

මේ පොතේ මා සිත්ගත් දේ ගැන සටහනක් මිසක් විචාරයක් නෙවෙයි. අපූර්ව අනුභූතියක් නොවන නිසා විචාර සටහනකට යන්න තරම් සිතක් නැහැ.

අද පොත් කියවන දවසක් වෙලා. දැනට පොත් දෙකක් කියවා ඉවරයි. හවස මගේ කළණ මිතුරිය තවත් පොත් 3ක් ගෙනත් දීලා මා ගාව තිබූ පොත් දෙකක් රැගෙන ගියා. එක් පොතක් කියවීම ප්‍රමාද වෙන්නේ මගේ ලැප්ටොපය රත්වීම අවම කර ගැනීම සඳහා එම පොත මත තබා වැඩ කරන නිසයි. කොයි වෙලේ හරි පොතත් ගිනි ගනීවිද දන්නැහැ. එහෙම වුණොත් Rani Manicka ගෙ The Rice Mother ආපහුත් ගන්න වෙනව.

25.නොවැම්බර් 2008

-

Monday, November 24, 2008

නමක් නැති යමක්...

හඳටත් දුක හිතිලා
පිනි කඳුළු දුන්නා
තරු වැලත් සොවින් මැලවී
මඳ එළිය නිවා දැම්මා..

සුබ පතන්නට මග බලා සිටි
පැතුම් හදෙහිම ගොලුව තිබුණා
ආදරය විඳින්නට අවසරය නැති
සුසුම් සිරවී හඬා වැටුණා..

ගතින් පමණක් නොව හදින් වුව
දුරස් වූ බව තදින් දැනුණා..
නුඹ නොදන්නා නමුදු සොඳුරේ
මට මහා තනිකමක් දැනුණා..

Monday, November 10, 2008

සංස්කෘතික ගස්

" අදිසි : මගේ කණ්නාඩි දෙක කොළ පාටයි. ගසුත් කොළ පාටයි. අපි හැමෝම ගස් වගේ..
මම : ගස් සොබා දහමට අයිති වුණේ ඉස්සර ..ගස් කියන්නෙ සොබා දහමෙ කොටසක් කියලද කියන්නෙ .. ?
අදිසි : ඔව්. ගස් කියන්නෙ සොබා දහම තමයි
මම : හැම ගහක්ම .. ?
අදිසි : ඔව්. හැම ගහක්ම. පොළවෙන් මතුවෙන හැම ගහක්ම .. ඇයි ?
මම : නිකන්.. "



මේ සංවාදය ඇරඹෙද්දි මගේ අදහස වෙනස් එකක් වෙමින් තිබුණා..‍සොබාදහම ගැන..‍සොබාදහම ස්වාභාවිකද කියන එක ගැන.. මට හිතුණා සොබා දහම අතීතයේ තිබුණ අර්ථකථනවලින් දැන් යම් දුරකට ගැලවිලා කියල.

අදිසි සොබාදහම දැක්කෙ ගස්වලින්.. ඉස්සර අපි කවුරුත් කිවුවෙ සොබාදහම යනු ගස්, ගල්, ගංගා -ඇළ - දොළ සහ සතුන් ය...කියලනෙ. අපිට පාසල්වල ඉ‍ගැන්නුවෙත් එහෙමයි.

ඒත් මට කාලයක පටන් හිතෙමින් තියෙනව ගස් සහ සතුන් ඇතුළු මේ පරිසරයේ ස්වාභාවිකයි කියා හිතන ඇතැම් කොටස් එහෙම නැහැයි කියල.. එහෙනම් මොකක්ද වෙලා තියෙන්නෙ ?

ගස් - සතුන් ස්වාභාවිකයි ??
නැහැ.
සංස්කෘතිකයි.

ඉස්සර සොබාදහමට අයිතිවෙලා තිබුණු ගස් දැන් cultural Plants වෙලා..
සතුනුත් එහෙමයි.. බල්ලා යනු තව දුරටත් බල්ලා නොවේ. ඩොගී,,, ටොමී, රෝසි, බ්‍රවුනි, ටෝනි, කළුවා, සුද්දා, .................

ඉස්සර ගස් වැවුණේ ඒවාට ඕනෑ හැටියට.
දැන් ගස් වැවෙන්නේ අපට ඕනෑ හැටියට.

අපිට ඕනෑ උසට..අපිට ඕනෑ හැඩයට..අපිට ඕනෑ තැනක..අපිට ඕනෑ කාලයට..

ගඟ ගලන්නෙත් එහෙමයි.

මං පොඩි කාලෙ ගස්වලට ඇස් දෙක කිට්ටු කරල ‍ගොඩක් වෙලා ඒව දිහා බලාගෙන ඉන්න ආස කළා.. රතුයි සුදුයි පුංචි තිත් වැටුණ හබරල පැල..පුංචි තුන් හුලස් ඵලයක් ඇතුලෙ කිරි රස ඇට පිරුණු පොලව මට්ටමේ හැදෙන බිං තඹුරු ගස්.. දම්පාටයි සුදු පාටයි පාට දෙකින් එක සුවඳින් හැන්දෑවට පිපෙන yesterday today tomorrow මල් ගස්.. මං ඒ කාලෙ හිතුවෙ ඒ හැම දෙයක්ම ස්වාභාවිකයි කියල..

ශිෂ්‍යත්වලාභිනියක් වෙලා කොළඹට ආවට පස්සෙ මෙහේ කරක් ගහන කොට මං දැනගත්තා ඒවාට මිලක්, තත්වයක්, පංතියක් හා කාර්යයක් (role) නියම වෙලා තියෙනවා කියල..

පාට පාට හබරල පැල මෙහේ පෝච්චිවල හිටවලා විකුණන කොට, අපේ ගෙදර බිතක්කනේ තිබුණු දාර ගස් වහගෙන උඩට නැගුණු මනි ප්ලාන්ට් මෙහේ ගෙවල් ඇතුළෙ සමෘද්ධිය කැන්දන පූජා ගහක් වෙන කොට, වැට දිගට ලවක් දෙවක් නැතුව වැවුණ ක්‍රෝටන් ගස් මෙහේ අතු පාහලා පෝච්චිවල ඉන්දවෙන කොට, එක අතකට සතුටු හිතුණා කැළේ වැවිලා කවුරුවත් නොදැක මැරිලා යන ගස්වලට නියම වටිනාකමක් ලැබුණා කියලා.. ඒත් ඒක හරි ‍නෑ කියලා ඒ එක්කම හිතට දැනුණා..හිනත් ගියා.. මේ නිකං ගලවගෙන එන්න පුලුවන් ගස්නෙ කියලා...

ඒ විතරක්ද ? මල්වලට තේරුම් මැවිලා.. මල්වලට කෘත්‍යයක් පැටවිලා..
රෝස නම් ආදරය.. ලිලී නම් රෝගියෙකුට.. කානේෂන් නම් මළ ගෙදරකට.. මං ඕවා ඉගෙන ගත්තේ මරදානේ මල් සාප්පුවලින්... අක්කාට යාළුවන්ට හිටපු ගමන් මල් අරන් සුබ පතන්න යද්දි..
කොහොමද උපන්දිනේකට කානේෂන් දුන්නා නම්...

මෙහෙම වුණේ ඇයි ?

මට හිතෙන විදිහට කැළේ හිටපු අපි සංස්කෘතික මිනිසුන් වෙන්න ගිය තැනදි තමයි මේ ඔක්කොම කණපිට පෙර‍ලුණේ..

බටහිරට අනුව සංස්කෘතිය ස්වභාව ධර්මයට පරස්පරයි. ඒ කියන්නේ ස්වභාව ධර්මය මනුෂ්‍ය චිරස්ථිතිය සඳහා වෙනස් කරන තැනදි තමයි සංස්කෘතිය පැන නගින්නේ කියලා ඔවුන් විශ්වාස කරන්නේ. නමුත් පෙරදිග දර්ශනයේ එහෙම නැහැ. ස්වභාව ධර්මය තුළින්ම තමයි සංස්කෘතිය පැන නගින්නේ කියලා ඔවුන් පිළි ගන්නෙ..එහෙනම් ‍ස්වභාව ධර්මය සමග සහජීවනයෙන් හිටි අපට මොකද මේ වෙලා තියෙන්නෙ..

ස්වභාව ධර්මය පරදවා නැතහොත් ජයග්‍රහණය කරමින් සංස්කෘතික වන්නට දරණ උත්සාහයෙදි ස්වභාවික හෝ සොබාදහමට අනන්‍ය වූ දේවල් ඉතිරිවීම තව දුරටත් සිදුවන්නේ නෑ වගේ පෙනෙනවා.

දැන් බලන්න බෝ ගහ.. ඒක කොයි තරම් සංස්කෘතිකද ? ආගමික ද ? ‍දේශපාලනිකද ?

ඉතින් මං මේ කියන කතාව පරිසරයේ අසංඛෙය වූ සියලු ගහ කොළට සර්ව සාධාරණ වෙන්නේ නැහැ... නමුත් මෙහෙම පැත්තකුත් තියෙනවා‍ නේද කියලා මට හිතෙනවා..

ඉතා කෙටියෙන්.. දැනට එච්චරයි.

-

Saturday, November 8, 2008

ඔබ නග්නව .. !?


පරණ සටහන් අළුතින් දමන එක මං අකමැතිම වැඩක් වුණත් අද දවල් දවසෙ ඇහුණු කතාබහ කිහිපයක් නිසා එක් සටහනක් යළි කියවන්න හිතුණා. ඒ සටහන ලියවුණේ වෙනත් සටහනකට පිළිතුරක් විදිහට ..


ඒ විතරක් නෙවෙයි අද දවල් කෙනෙකු කිවුවා මගේ සටහන් පටන් ගන්නා විදිහට හාත්පසින්ම වෙනස් තැනකිනුයි ඉවර වෙන්නේ කියලා..ඒක complement එකක් විදිහට භාර ගන්න බැහැ. ඒත් බ්ලොග් කියන්නේ ඉතින් කියවන්න බල කෙරෙන ම දෙයක් නොවන නිසා මගේ කතා පැටලිලි සහගත වීම ගැන සමාවක් ඉල්ලන්න මට හිතෙන්නෙත් නැහැ.

ඒ සියලු දේවල් පත අට අනා එකට සිඳ ආයෙමත් මට මේ පරණ සටහනට කිසිසේත් නොගැළපෙන තැනකින් වෙනත් යමක් එකතු කරන්න හිතෙනව.

ජීවිතේ කටුක යථාර්ථයන්ට මුහුණ දෙමින් ආගමික වගේම දාර්ශනික වශයෙන් උසස් සිතිවිලි ධාරාවක් ලෝකයට දුන් මානව හිතවාදී කලාකරුවෙකු, ලේඛකයෙකු, චිත්‍ර ශිල්පියෙකු වගේම කවියෙකු ත් වූ ඛලීල් ජිබ්රාන් වරක් ආගම ගැන කතා කරමින් මෙහෙම කියනව..

............

සදාචාරය, තමන්ගේ හොඳම වස්ත්‍රය වශයෙන් අඳිනු ලබන තැනැත්තා වඩාත් නග්න භාවයට පත්වේ.

ඔහුගේ සම මත, වාතය හෝ හිරු සිදුරු ඇති කරන්නේ නැත.

තමාගේ පැවැත්ම ආචාර ධර්ම මගින් විග්‍රහ කර දැක්වීමට ප්‍රයත්න දරන්නා, ඔහුගේ සංතුෂ්ටිය කූඩුවක දමා හිර කර දමා ගනී....

............
......
ලෙබනන් ජාතිකයෙකු වූ ඛලීල් ජිබ්රාන්ගෙ දාර්ශනික සිතිවිලි ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨතම කෘතිය සේ සැලකෙන්නෙ The Prophet. ඒ 1923 දි..ඒකෙ එක තැනක කියනවා මහලු පූජකවරයෙකු ආගම ගැන යමක් ප්‍රකාශ කරන මෙන් දිවැසියාගෙන් ඉල්ලා සිටි විට ඔහු මෙසේ කීවේය.. කියා සටහනක්.. එම සටහනෙන් ගත් අදහස් කිහිපයක් පමණයි ඉහත සඳහන් වෙන්නෙ.

ඉතින් මට මගේ සංතුෂ්ටිය කූඩු ගත කරන්න ඕනි නැහැ. ඒ නිසාම මං අනෙක් අයව එහෙම කූඩුවල දානවට සතුටුත් නැහැ. ඒත් තම තමන් විසින්ම ස්ව කැමැත්තෙන් හදා ගත් එවැනි කූඩුවල සිරවුණු සමාජයක් ඇතුළෙ ජීවත් වෙන අපට ඒ හිර කුඩු ඇතුළටම යන්න බල කෙරෙන වෙලාවල්, වට-පිටාවල් අනන්තයි. සංතුෂ්ටිය ගැන මොන කතාද එතකොට..


.

Wednesday, November 5, 2008

රෝස මලේ නටුවෙ කටූ.....


" ඔයාට තියෙන්නෙ පිරිමි භාෂාවක් නෙ ".. මගේ සමීපතම මිතුරියගේ උපාධි නිබන්ධයක් කියවා බැලූ ඇයගේ ආචාර්යවරයා විසින් පවසන ලදැයි ඇය මා සමග කීවේ සිනාසෙමිනි. එය ඇයටත් මටත් පොදු විවේචනයක් ව තිබූවක් බැවින් කිසිවෙකු හෝ එසේ කීම අප පුදුමයට පත් කරවන්නේ නැත.

අපට කියන්නට ඇති දෙය විසින් එය කිව යුතු භාෂාව තෝරා ගනු ලබයි. එය අපේ වරදක් ‍නොවේ. " ඔයාට අර වගේ ඒව ලියන්න බැරිද ? " විටෙක ඇතැමුන් අසයි. ගැහැණියකගේ ජීව විද්‍යාත්මක වෙනස ඉක්මවා යන සමාජ ගොඩ නැංවීමක් විසින් ඇයගේ බස නිශ්චය කරනු ලැබ ඇත. එහෙයින් අප (ගැහැණු) සියල්ලන්ම රැයක දිලෙන සඳ සේ සිසිල්වද, මල වට පෙත්තක් මෙන් මුදුවද, පවනක දැවටි පිහාටුවක් සේ සැහැල්ලුවද සිතිය යුතුව ඇත, හැසිරිය යුතුව ඇත, බිණිය යුතුව ඇත.

මේ සියල්ල සිතට කා වැදීමට සමත් වූ සලරුවක් අද දෙවන වරටත් නැරඹීමට සිදුවිය. මිතුරියකගේ ඇවිටිල්ල නිසා චෝකර් බාලි නරඹද්දී උගත් ගැහැණියක ජීවිතයෙන් පලවා හරින පිරිමින් ඇයගේ රුව කෙරෙහි ආසක්ත වන අන්දම තාගෝරයන් විසින් ඇතුළාන්තය කම්පා කරවන පරිද්දෙන් ගොතා තිබෙන අයුරු දුටුවෙමු. ඉන්දියාව විසින් මේ චිත්‍රපටය අන්තර් ජාතික සම්මාන තරගවලින් වලක්වා ගන්නට ඇතැයි සිතෙන තරමේ සරදමක් ගැහැණියක විසින් එම වෘත්තාන්තයේදී සියුම් ලෙස ඉදිරිපත් කරනු ලබයි. එය නරඹන මෙන් මෙය කියවන ඔබෙන් ඉල්ලා සිටීමට මට සිතේ.

මේ ලියන මොහොතෙහි සිතිවිලිවලට පවා විද පීඩා කරවන මදුරුවන්ගේ නොනවතින කන්කෙඳිරිය පරයා ගෙමිදුල ඔබ්බෙන් පිහිටි දියෙහි හඬ නගන ජලචර පක්ෂීන්ගේ හඬ ඇසීමට ..
සිත ද කය ද එක ලෙස විඩාපත් කරවන ගිනියම් නගර ජීවිතය නිවා සුවපත් කරවීමට අනවරත වේගයෙන් කරකැවෙන වියළි සුළං පිඹින විදුලි පංකාවෙන් ඔබ්බෙහි හමන සුළ‍ඟෙහි සිරි සිරිය අසනු දැකීමට..
විහින් දවසේ සිරකාරියක වී ගෙවන කුටියේ බිම විසිරි දුහුවිල්ල මතින් පා සටහන් තබා ඇවිද ගොස් කවුළුවෙන් එබී ගෙමිදුලෙහි දම්පාට පිණි ජම්බු මල් රේණු විසිරි බිමෙහි ඇඳි සෙවනැලි රටා දකිනු බැලීමට..

මා පෙළඹවීමට ඔබ කැමති බව මම දනිමි.

ගල් බොරළු පිරි පොළවක ඇවිදින සඳ පතුල ඇනී වේදනා දෙන තුවාලයකට රෑ අහසෙහි දිලෙන තරු කැටයක් කඩා ඔසුවක් කොට බැඳ තබා සුවපත් විය හැකි නම්.. ඒ සියල්ල මට ද කළ හැකිවනු ඇත.

වචනවල කඳුළු නොරැඳුණු පමණින් ඒවා අසංවේදී යැයි කිව නොහැකිය..

-