Showing posts with label cinema. Show all posts
Showing posts with label cinema. Show all posts

Wednesday, March 31, 2010

පීර පීර මං හෙව්වා... මගේ ලෝකයට වීරයෙක් !!

අද උදේ විද්‍යුත් තැපෑලෙන් සිංදුවක සද්දයක් ඇහුණා.. මේක ගැන මොනවද කියන්නේ ? කියලත් සිංදුවේ අයිති කට්ටිය/කෙනා අහනවා. මගේ කමෙන්ට් එක පැත්තක තියලා කට්ටිය එක්ක බෙදාගන්න හිතුණා ඉස්සෙල්ලම සිංදුව..‍


මේ ගැන මොනවද හිතෙන්නේ ??


දේවකතාවල
නිසොල්ලාසවල
අන්ධකාරයේ සිනමා පටවල
පීර පීර මං හෙව්වා
මගේ ලෝකයට වීරයෙක්...


ඉර ගිනි ඇවිලී
ලේ පැහැ ගැන්වී
ප්‍රාර්ථනාවන් ගිනිගත් සවසක
දූවිලි නගරේ දෙනෝ දහක් මැද
ඔබේ .............. හඬ ඇහෙන තුරා

සුපර් මෑන්ලා ස්පයිඩර් මෑන්ලා
හැරී පොටර්ලා...
වීරයෝ වුණා අපේ

නෙක දුක් ගැහැටින්
හෙම්බත් වූවත්
ජීවිතයේ වෙර අත් නොහරන දන
තරම් වීරයන් තවත් කොහේ වෙද
සීන් හඬින් ඔබ කියනා තුරුමත්

සුපර් මෑන්ලා ස්පයිඩර් මෑන්ලා
හැරී පොටර්ලා...
වීරයෝ වුණා අපේ

නටඹුන් වී ගිය ගල් කණු අද්දර
වංශකතාවල අකුරු පේළි යට
වල් බිහිවී ගිය ප්‍රාර්ථනාවට
දලු ලා වැඩෙන්න ඉඩ දෙන්න...

දස අත සෙවූවත්
මුණ නොගැසී ගිය
තමන්ගෙ ලෝකේ සැබෑ වීරයා
තමා තුළම හඳුණාගන්න

තමා තුළම හඳුණාගන්න
තමා තුළම හඳුණාගන්න

වැඩි විස්තර පසුවට..

Monday, October 19, 2009

පොදු පුරුෂයාට හොඳයි.. අනිත් අයට නරකයි..



කාටවත් නොපෙනෙන ලංකාවෙ ප්‍රේක්ෂකයාගෙ නැත්නම් රසිකයාගෙ ඉරණම තීන්දු කරන කලාත්මක නොවන සාධක කිහිපයක් ගැන සරළ සටහනක් මේ.

එකක් තමා සිංහල බෞද්ධ නාමධාරී විචාරය, අනෙක සංස්කෘතික හා ආගමික විචාරය, අනෙක සන්නද්ධ හමුදා සහ දේශපාලනය

මේව ඇත්තටම අර්ථයෙන් ගත්තොත් විචාර නෙවෙයි. නමුත් දැනට එහෙම හඳුන්වමු‍.

අක්ෂරය සිනමා කෘතියෙන් පටන් ගත්තොත් 2006 දි , දි අයිලන්ඩ් පුවත්පතේ ගිය අවිචාරවත් විචාර සටහනක් නිසා අක්ෂරය ගැන අතාර්කික කරුණු කිහිපයක් සමාජයට එකතු වුණා. එතනින් පටන් ගත්තු ගමන ඉතා කෙටියෙන් කිවුවොත් මහේස්ත්‍රාත්වරියක් දූෂණය වීම අධිකරණයට අපහාසයක් ය, ළමයෙකු අපචාරයට යොදවා ගෙන ඇතිය ආදී විවිධ චෝදනා ඔස්සේ අක්ෂ‍රය ගිනි ගත්තා. නමුත් කාටවත් හිතුණේ නැහැ ඒ දූෂණයට ලක් වුණේ ගැහැණියක් මිසක් තනතුරක් නෙවේය කියලා.. ඒ වගේම ලංකා නීති පද්ධතියේ අදටත් නැති, "අසභ්‍ය" යන්න අර්ථ දක්වා ගැනීමට එම සිනමා කෘතියෙන් ලැබිය හැකිව තිබූ මහඟු පිටිවහල මග හරවමින් එය නැරඹීමට ප්‍රේක්ෂකයාට තිබූ අයිතියට විලංගු දැම්මා.

අක්ෂරය, සුළඟ එනු පිණිස, ඩාවින්චි කෝඩ් වැනි කෘති නැරඹීමට ප්‍රේක්ෂකයා කියන කෙනාට/සමාජයට තිබූ අයිතිය නිර්දය ලෙස වළලා දැම්මා. රූපවාහිනියෙන් චිත්‍රපටි බලන කොට කොටු රෙද්දක් දැම්මා (ඒත් ප්‍රේක්ෂකයා නෙවෙයි කට හෙල්ලුවේ)..

ඩාවින්චි කෝඩ් තහනම් කළේ ඇයි ? ලංකාවේ කතෝලික පල්ලියේ ඉල්ලීමට ඒක තහනම් කළාය කියල තමයි ප්‍රචාරය වුණේ. ඒ වුණාට ලෝකයේ ප්‍රබල කතෝලික රාජ්‍යවල එය ප්‍රදර්ශනය වුණා නම් මේ චුල රාජ්‍යයේ විතරක් වෙනම අපහාසයක් ඇයි ? මේ ගැන අර්නස්ට් පෝරුතොට පියතුමා කිවුවෙ මෙහෙමයි..

"මා දන්නා තරමට පාප්වහන්සේලා හා රාජගුරු ප්‍රසාදීන් වහන්සේලාගේ කාර්ය භාරය චිත්‍රපට නරඹා අනුමත කිරීම හෝ තහනම් කිරීම නොවේ. ඒ අයගේ කාර්ය ක්‍රිස්තු චරිතය දේව ප්‍රේමය ගැන දේශන කිරීම හා ඒ අනුව තමනුත් ජීවත් වී අනිත් අයට ජීවත්වීමට කියාදීම ය"

සුළඟ එනු පිණිස චිත්‍රපටයට මා පෞද්ගලිකව අකමැති වන හේතු තිබුණත් එය නැරඹීම මෙරට ප්‍රේක්ෂකයින්ගෙන් ඉවත් කරලීමට එකඟ විය නොහැකිය. මෙය කාලයක් දේශයක් ද්වීපයක් නැති 'අවකාශයකට අදාල කෘතියක් ලෙස කියවන්නන් 'ඉතා හොඳ' ලෙස දකින අතර 'අපේ' රටේ 'අපේ' ගමක 'අපේ 'රණ විරුවන් ගැන කියවෙන කතාවක් ලෙස කියවන්නන් ට 'ඉතා නරක' බලපෑමක් ඇති කර තිබිණි. එහෙත් මේ දෙපිරිසම එක්වී සාමාන්‍ය පොදු ප්‍රේක්ෂකයාට සියඇසින් එය බලන්නට තිබූ අවස්ථාව උදුරා දමන්නට කටයුතු කර තිබුණා.

පුරහඳ කළුවර රූ ගත කරන්න අවශ්‍ය හමුදා ඇදුම් ඉල්ලා ගන්නට ගිය විට පිටපත බැලූ නිලධාරීන් හමුදා රංගයන්ට අදාල කොටස් සංශෝධනය කරන ලෙස දැන්වූ බව ප්‍රසන්න විතානගේ සිනමා නිර්මාණකරුවා කියා තිබුණා.

දැන් ඇතැම් අය දන්නා පරිදි මේ දිනවල තිරගත වන ආකාස කුසුම් සිනමා කෘතියේ මුල් ජවනිකා කිහිපයක් අපේ රටේ දර්ශනය කරවන්නේ නෑ. ඒ ටික නරඹන්න පුළුවන් විදෙස්වල ඉන්න අයට විතරයි. හේතුව ආරංචි වන අන්දමට ඒ කොටස්වලින් අපේ සිනමා නිළියන්ට අපහාසයක් වෙනවාලු. ඒ නිසා ආරම්භක දර්ශන ඉවත් කර මෙරට ප්‍රදර්ශනයට අවසර ලැබිලා.. අ‍නේ අපි නොදන්න ගෞරවේ කියලා මට කියන්න හිතෙනවා.

සිනමා කෘතියක එන රංගනයක් කප්පාදු කරන්නට තරම් ගෞරවයක් පතන මේ පුද්ගලයින් දේවාලවල පූජාසනවල වැඩ ඉන්න අය කියලා හිතාගෙන ඉන්නවද දන්නෙ නැහැ. පොළ වේ පය ගහල ඉන්න දන්නේ නැති මිනිසුන් (පාලකයින්, ශිල්පීන්) ඉන්න රටක ඔන්න ප්‍රේක්ෂකයාට වෙන දේ..

සිනමාවට මෙහෙම වෙන අව් අස්සේ පහුගියදා පැවතුණ සාහිත්‍ය සම්මාන උළෙලවලදී සුනේත්‍රා රාජකරුණානායක ගේ පොතකට සම්මාන දෙකක් ලැබුණා. ස්වර්ණ පුස්තක සම්මානය සහ රාජ්‍ය සාහිත්‍ය සම්මානය. ඒ ‍පොදු පුරුෂයාට..

දැන් මේ කතාව ගත්තහම ඉහත කියපු සදාචාරවාදීන්ගේ ගෞරවයට ආත්මා භිමානයට රිදෙන පහරවල් මෙහිදී වදිනවා. මතුපිටින් ගත්තහම එකම පුරුෂයෙක් සමග බැ‍ෙඳෙන අම්මා සහ දුව ගැන යන කතාවක්.. යටි පෙළ කියෙව්වාම යුද්ධයේ නිරර්ථක බව විදහා පෙන්වමින් සාම මාවතක ගෞරවනීය බව සාකච්ඡා කරන කතාවක්..
තව නොයෙකුත් කියවීම් මේ හරහා කරන්න පුළුවන්..

දැන් මේ කරුණුම දෘශ්‍ය ලෙස සාකච්ඡා කෙරෙන සිනමා කෘති කැපිල්ලට හසුවෙනවා..ඒ රටේ ඒ පාලකයින්ගේ ඒ අමාත්‍යාංශයේ ඒ ඇමතිතුමා අතින්ම මේ පොතට දහසින් බැඳි ප්‍රසාද පියලි ලැබෙනවා..

මේ පරස්පරය අප කියවා ගන්නේ කොහොමද ?

ඇමතිතුමා පොත කියවලා නෑ... කොහොමත් ඔය කට්ටිය පොතක් පතක් හරියට කියවන්නේ නැහැනේ...
මම එහෙම හිත හදාගන්නවා..

ඒත් සාහිත්‍ය, සිනමාව කලාවන් හැම එහෙකටම එකම හැන්දෙන් බෙදන විචාර දෘෂ්ටියෙන් පිරිපුන් පාලකයින්, තීරකයින් අදාල තැන්වලට පත්වෙනකන් ප්‍රේක්ෂකයාගේ අයිතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙ 14 වගන්තියට විතරක් සීමා වුණ එකක් විතරක් නේද කියල ප්‍රේක්ෂකයෙක් විදිහට මට හිතෙන වාර අනන්තයි.

මේ ඔක්කොමත් සිද්ධ වෙද්දි නිහඬව ඉන්න ප්‍රේක්ෂකයා අර තමන් නිතර බලන හෝ බැලෙන රූපවාහිනියේ කොටු රෙද්ද ඉස්සරහා වත් ක්‍රියාකාරී වෙන්නේ නැහැ.

ගොලු හදවතේ සුගත් ට අරක්කු බොන්න මේ ආණ්ඩුවෙන් තහනම් කරලා.. අනේ සංසාරෙ කිවුවලු.. සිගරැට් හා මත්පැන්වලින් වැඩිම ආදායමකට හැම අයවැයෙන්ම ඉලක්ක තියන ආණ්ඩුව හෙළ උරුමය සනසවන්න ගෙනාපු දුම්කොළ හා මත්පැන් ආඥා පනතෙ එහෙම දෙයක් කරන්න කියල නැහැ.. ඒ කාලෙ සිනමා කෘති හැදුවෙ දුම්කොළ සංස්ථාවෙන් හරි ඩිස්ටිලරීස්ලගෙන් හරි සල්ලි අරන් නෙවිනෙ.. දශක ගණනාවක් මේ සමාජය ඒ සිනමා කෘති එක්ක හැදුණ වැඩුණ..ඒත් ඒව නිසා බීමට ඇබ්බැහි වුණ පිරිස වැඩි වුණාය කියල කවුද සමීක්ෂණ කරල තියෙන්නෙ..එහෙම හැදුණ සීයලගෙ තාත්තලගෙ මුණුපුරාල පුතාල දැන් ඒව බලල බීම පටන් ගනියි කියල හිතන පාලකයින්ට වඩා අර අසඩක් හොඳයි.

අනෙක් එක ඒ පනතෙ තියෙන්නෙ වෙළඳ දැන්වීම් ගැන විතරයි. ඉතින් මොන එහෙකටද මේ සිනමා කෘති පෙන්වද්දි රූපවාහිනී ආයතන කොටු දාන්නෙ.. ප්‍රතිපත්තියක් නැති රූපවාහිනී ආයතනත් මේ රටේ ප්‍රේක්ෂකයින්ට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් උරුම කරල දීල තියෙන අයිතීන් උල්ලංඝනය කරනවා.. මහ දවාලෙ..අමු ප්‍රසිද්ධියේ..

සිනමා කරුවන්ගෙ අයිතීන් ගැන විකල්ප මාධ්‍යයකින් හරි රාජ්‍ය නොවන සංවිධානෙකින් හරි පිට රටකින් හරි කතා කරනවා. ඒත් ‍මේ රටේ ප්‍රේක්ෂකයෝ ගැන කතා කරන්න කිසිම ‍කෙනෙක් නැහැ.

පාලනය විසින් රටේ ඉන්න වැඩිහිටියන් ළමයි බවට පත් කරල. ළමයින්ට සුදුසු ඒව විතරයි නරඹන්න පුලුවන්. ඒව සුදුසුද කියල තීරණය කරන්න තරම් හැකියාවක් වැඩිහිටියන්ට නැහැයි කියල තීරණය කරන පාලනය විසින් ඒ කාර්යය සන්නද්ධ හමුදාවලට, දේශපාලකයින්ට, ආගමික නායකයින්ට, සංස්කෘතික උරුමක්කාරයින්ට, නීති යේ අන්ධ කාන්තාවට පවරල දීල. කලාව කොහොමද මේ අයගෙ/මේවයෙ තීරණයක් වෙන්නෙ.. කලාව මේ හැම ආයතනයකින්ම නිදහස් වෙන්න ඕනෙ.

සිනමා භාෂාව වැඩි වැ ඩියෙන් හදාරන්න සම්පත් වැඩි කරන්න ඕනෙ. විචාර සම්ප්‍රදායන් ඉගෙනීමට හා ප්‍රායෝගිකව යෙදීමට දිරිමත් කරන්න ඕනෙ..එහෙමයි රටක කලාව ඉදිරියට යන්නෙ. විධිමත් විචාර සම්ප්‍රදායක් නැති රටක, විධිමත් ලෙස දැනුම ගලා ඒමේ ක්‍රමයක් නැති සමාජයක හැම කෙනෙක්ම හැම විෂයක් ගැනම අදහස් පළ කරන්න ගියහම වෙන වින්නැහිය අපේ රටට සිද්ධ වෙලා ගොඩක් කල්.. මේ ඒවයෙ ප්‍රතිඵල තමා. මේක හරියට සෝදා පාලුවීමක්, නාය යෑමක් වගේ..

ඩා වින්චි කෝඩ් තහනම් කරන රජය වෝටර් පෙන්වන්න විතරක් නෙවෙයි හදන්නත් අවසර දෙනව. පුදුම දෙබිඩි කමක්..

මේ සියල්ල තීරණය වෙන්නෙ කලාව ඇතුලෙදි නෙවෙයි. ඊට හාත්පසින්ම පරිබාහිර වෙනත් ස්ථානවලදි.. ඒකයි අපේ රටේ අරුමය..

‍පොත්වල තියෙන්න හොඳයි. සිනමාවට නරකයි. වේදිකා නාට්‍යයට නරකයි. මේක පුදුම තීරණයක්. මේ රටේ සාහිත්‍යයට යන්තමින් හරි තියෙන සාධාරණය සිනමාවටත් වේදිකාවටත් රූපවාහිනියටත් ලැබෙන දවසක් එන්න තව කොයි තරම් කල් යාවිද ?


ඒක ප්‍රේක්ෂකයාගෙ සිහිනයක්..

Friday, April 18, 2008

සිංදු අටයි ෆයිට් තුනයි- අකුණු ගොඩයි ලිපි හතරයි :(

සිංහල චිත්‍රපටි හදන ලේසිම විදිහ තමා සිංදු කීයද ?ෆයිට් කීය ද ? කියල දමාගන්න එක..මං කියන්නේ වාණිජ වට්ටෝරු චිත්‍රපට..(නැත්නම් සමහරු යුද්ධ ප්‍රකාශ කරයි)..

ඒක මතක් වුණේ හතරවෙනි පාරටත් ලොග් වෙලා පෝස්ට් ගණන කියවද්දි දුක හිතිලයි.

තාමත් අකුණු ගගහා වැස්ස..කෙළවරක් නෑ...

ආවොත් ආවා ගියොත් ගියා කියල හිතාගෙන ලොග් වුණා

වා නං වා - පෝ නං පෝ ..කිවුවලු

වැඩිම වුණොත් පරිගණකය අබිබගාත වෙයි.
ගෙදර දුරකථනයට කිසිවක් නොවී එහෙම වුණාට නම් කමක් නෑ
නැත්නම් ප්‍රතිපාදන සහ නේවාසික පහසුකම් අහෝසි වෙයි....


එහෙනම් නැවතත්...සිංහල බ්ලොග්කරුවන්ට ආ වඩා ආයිබෝ වේවා !

Saturday, March 8, 2008

Reel Therapy - fiction as a clinical tool..
උන්මාද සිතුවම් මැවේ බි‍ඳේ...

මට වැළඳී ඇති නිදන්ගත රෝග ස්වල්පයකින් එකක් ගැන කතා කිරීමට මේ සටහන වෙන් කරමි. මා වෙසෙන නගරයට එන මගේ හිත් ගන්නා සෑම සිනමා පටයක්ම නොවරදවා නැරඹීමයි මගේ රෝග ලක්ෂණය. මුලින්ම චිත්‍රපට නරඹන්නට ගියේ කවදා දැයි මතක නැති වුවත්, මා ඉතා කුඩා කාලයේ ලොකු මාමා විසින් වඩාගෙන රාත්‍රී දර්ශන සඳහා නිතර ඉංගිරියේ ගාමිණී සිනමා ශාලාවට මා රැගෙන යනවා සිහිනෙන් මෙන් මතකයි. එහිදී රන් මුතු දූව ලෙස මතකයේ ඇති, සල රුවෙහි එක් අයෙකුව කපා කොටා දමනවා දුටු මම හයියෙන් කැ ගසා හඬද්දී ලොකු මාමා යළිත් මා කර පින්නාගෙන පිටවී ආවාත් මතකයි.

පසුව මේ අග නගරයට ආ පසුව බො‍හෝ දෙනා කෙල්ලක ‍හෝ කොල්ලකු සිනමා ‍හලකදී හෝ ඒ අසලකදී දැකීම පවා ආනන්තරීය පාප කර්මයක් ලෙස සලකා කතා කරනු අසන්නට ලැබීමෙන් ම‍ගේ ආසාවන් සසළ වී ගියා.

පසුව අධ්‍යාපන කටයුත්තක් හමාර කිරීමේ උවමනාව මත චිත්‍රපට නැරඹීමේ අවශ්‍යතාවක් හදා ගන්න පුළුවන් වුණ නිසා මගේ රෝගය උත්සන්න අවස්ථාවට එළඹුණා. ඉතින් කවුරු ඇවිත් කිව්වත්, “දෝණියැන්දෑ බයිස්‍කෝප් හෝල් එ‍කක් ගාව උන්නා”...කියලා..මට අවසර පත්‍රයක් ලැබිලා තිබු‍ණේ.. “ඔව් මං ‍‍ෆිල්ම්ස් බලන්නේ රිසර්ච් එකකට”...  :)

ජීවිතයේ බොහෝ වෙහෙස හා නොයෙකුත් හැල හැප්පීම් මැද්දේ හර්දය වස්තුවේ කුණාටු ඇතිවෙන කොට මං තෝරා ගත් ක්‍රම වේද කිහිපයක් තිබුණා ඒවායින් ගොඩ එන්න. හොඳින් ස්නානය කිරීම, හොඳ පොතක් කියවීම හෝ චිත්‍රපටයක් නැරඹීම ඒ අතර ප්‍රධානයි. (පස්සෙ නම් දැනුණා කොළඹට චිත්‍රපට එන වේගය හොඳටම මදි කියලා  :))

ගොඩක් අය ඒකත් දැක්කේ පිස්සුවක් විදිහට..
ඔයාට පිස්සුද තනියම ෆිල්ම් හෝල් ගානෙ යන්න ? ..අනික සල්ලි නාස්ති කරන් ?..
ඔව් ඒක නම් ඇත්ත. මාසෙකින් ම චිත්‍රපටියක් බලන්න යන්න බැරිවුණා. කන-බොන-යන- එන කෙහෙල්මල්වලට ගිහින්ම සල්ලි නාස්ති වුණා...ජීවිතේ දුෂ්කරයි චාපා...

මගේ චිත්‍රපට බැලිල්ල දිහා සරදමින් බැලූ කෙනෙකු‍ට මං ළඟදි දවසක් කිවුවා..පිස්සුද ..මේකට කියන්නෙ Reel Therapy කියලා..

පස්සේ මට හිතුණා මේ ගැන ඇත්තටම සුළු විග්‍රහයකට ගිහින් අනිත් අයට මේක පිළිගන්වන්න පොඩි try එකක් දෙන්න ඕනි කියලා. මට හිතුණු හා දැනුණු දේවල් සහ මං හොයාගත් දේවල් එකට අනලා මෙහෙම කියන්න කැමතියි.

ඉතින් කෝ එන්න .. අපි wide angle එහෙකින් බලමු.

වර්ෂ 1930 දී පමණ William C. Menninger නමැති වෛද්‍යවරයා චික්ත්සාවන්හිදී මානසික ව්‍යාකූලතාවන්ගෙන් පෙළෙන රෝගීන් හට ප්‍රබන්ධ කියවීම නිර්දේශ කර තිබෙනවා. කවි, කෙටිකතා, නව කතා වැනි සාහිත්‍ය චිකිත්සීය ක්‍රියාවලිය තුළ‍ට ඇතුළු වී ඇත්තේ එසේයි. එහි නවතම හා වඩාත් සුගම සහ කාලය ඉතිරි කරන අංගය ලෙස එකතු ව ඇත්තේ සිනමා චිකිත්සාවයි. එය bibliotherapy ලෙසත් හඳුන්වන්න පුළුවනි.

ඒ තොරතුර ජාලයෙන් හොයාගත්තෙ. තව ලැබුණොත් එක් කරන්නම්. දැන් වෙන කතාවකට..
ඔබ අසා ඇති නේද Jacques Lacan ගැන ?
ඉස්සෙල්ලා මේ යොමුවෙන් කියවලා ආයිත් මෙහාට එන්න.

Lacan විසින් අපගේ ළමා කාලයේ අවස්ථාවන් දෙකක් පදනම් කර ගනිමින් අපගේ යථා ජීවිතය පිළිබඳ අප තුළ නිතර පවතින අතෘප්තියත්, ඉන් මිදීම පිණිස යම් බාහිර පරමාදර්ශ සමග අනන්‍යවීමට දක්වන කැමැත්තත් විවරණය කරයි. එහි මුල් අවස්ථාව වන mirror phase හිදී දරුවෙකුගේ කායික හැකියාවන් ඉක්මවා, කායික අවශ්‍යතාවන් වර්ධනය වන අතර, එය ඉටු කර ගැනීමට අසමත්වීම තුළ යම් අසහනකාරී, අතෘප්තිකර, අසම්පූර්ණබව පිළිබඳ හැඟීමක් ඔහු තුළ වැඩෙයි. ඔහු තමාට වඩා පරිපූර්ණ බාහිර image එකක් තුළට ප්‍රක්ෂේපණය කර ඒ තුළ සිට තමා දෙස බලයි.

යථා ජීවිතයේදී අප තුළ නිතර පවතින අතෘප්තියත්, ඉන් මිදීම පිණිස යම් බාහිර පරමාදර්ශ සමග අනන‍‍්‍යවීමට දක්වන කැමැත්තත් සමාජය අපේක්ෂා කරන තැනක සිට පුද්ගලයා තමා දෙස බැලීමට උත්සාහ දැරීමත් යන කරුණු මෙහිදී පදනම් කර ගනු ලැබේ.

සිනමා තිරය කැඩපතක් සේ දකින ප්‍රේක්‍ෂකයා ‍ඒ තුළ “මම” යන ප්‍රතිරූපගත කරගන්නා ලද පරමාදර්ශය දකියි. එම පරමාදර්ශය තුළ, ඔහු අයත් සමාජයේ සාරධර්ම, වටිනාකම්, අධිපති මතවාද කේන්ද්‍රණය වේ. නැතහොත් “මම” යන තැනට පත්වන සාමාන‍‍‍්‍ය පුද්ගලයා සමාජයේ අධිපති සම්මුති හා මතවාදයන්ගේ නිෂ්පාදනයක් වෙයි. එම පිළිගැනීම තුළින් හැඩගස්වනු ලැබූ පුද්ගලයෙකු වෙයි. එහිදී ප්‍රේක්‍ෂකයා, සිනමාව විසින් සමාජය තුළට නිර්මා‍ණය කරන ලද අර්ථ හා පිළිගැනීම්වල ගොදුරක් බවට පත්වේ. මේ තත්වය තුළ චිත්‍රපටයක් නරඹද්දී ඒ තුළ දිගහැරෙන අධිපති මතවාදී කේන්ද්‍රීය චරිත සමග ප්‍රේක්ෂකයා අනන්‍යවීමට උත්සාහ දරයි. එහිදී ඔහු විඳින යම් ගැටලුවකින් හෝ පීඩාකාරී භාවයන්ගෙන් නිදහස් වීම සඳහා යම් පරමාදර්ශ සමග අනන්‍යවීමත් හෝ බැහැර වීමත් සිදුවේ.


((උපුටා දැක්වීම මගේ අර ඉහත කිවූ පර්යේෂණ‍ ලියවිල්ලෙන්......) ඒ ලියවිල්ල ගොඩ නැගු‍ණේ සමාජ අසමානතාවක් වන ස්ත්‍රී පුරුෂ සමාජභාවී මතවාදය පිළිබඳ සිනමා ප්‍රකාශනයේ සමාජ විද්‍යාත්මක කියවීමක් ගොඩ නගන්න හිතාගෙනයි.)

ඉතින් ඒක මෙතෙන්ට ඇදගෙන ආවෙ සිනමාවෙ මේ මතවාදී බලපෑම නිසා අපි අපේ භාවයන් අපට නොදැනිම වෙනස් කර ගන්නා බව පෙන්වා දෙන්නයි. කෙටියෙන් කිවුවොත් අපිව දියවෙලා යනවා. අපි දන්නෙත් නෑ. අන්තිමට එළියට එන්නේ ඇතුළට ගිය කෙනා නෙවෙයි.

දැන් තේරෙනවනෙ.. චිත්‍රපට බලන එකෙත් විවිධාකාර ‍දේශපාලන ව්‍යාපෘති තියෙනවා කියලා. ඉතින් ඒ නිසා ආයෙත් කවදාවත් දන්න අඳුනන කෙනෙක් හෝ ‍දෙ‍න්නෙක් සිනමා ‍‍‍‍‍ශාලාවක් ඇතුළෙදි හෝ අසලකදි දැක්කොත් කට කැඩිච්ච කතාවක් කියන්නෙ නැතුව නොදැක්කා වගේ ඉන්න එක ටිකක් හරි මානුෂිකයි කියලා තමා මට කියන්න තියෙන්නෙ.

විවිධ පූජා කර්මවලට හා උපචාර විධිවලට සිනමා හල්වලට යන උදවියත් ඉන්නවා. ඒක් ඉතින් එයාලගෙ කැමැත්ත.

හැබැයි මට ෆිල්ම් බලන එක හැමදාමත් therapy එකක් ම තමා.