හිත තැවෙන බොහෝ අවස්ථාවල හොඳ පොතක් කියවීම ඔසුවක් බව කවුදෝ කියා තිබෙනවා. මමත් එය පිළිගන්නවා. පොතක පිටු අස්සේ ගිලී ගිය විට බාහිර ලෝකය සමග සබඳතා බිඳී යනවා. හැඟීම් ප්‍රකාශනය දුර්වල වූ විටක අපේ හැඟීම් වෙනත් අය පැහැදිළිව දක්වා ඇති බව පෙනීමත් හිතට අස්වැසිල්ලක් ගෙන එන නිසා...
මං දෙපැයකට පෙර මෝසම් මුහුදේ පිහිණීම ට පටන් ගත්තා..ශ්‍යාම් සෙල්වදොරේ එක්ක.
"Swim
ming in the Monsoon Sea" ජේ.පී.වන්නිආරච්චි සිංහලට නගල තියෙනව.."මෝසම් මුහුදේ පිහිනීම" කියන නමින්. පරිවර්තන භාෂාව නම් ටිකක් ව්‍යවහරයෙන් ඈතයි වගේ දැනුණත් පොතේ අගට යද්දි භාෂාවෙයි සෝදුපත් දෝෂයි යටපත් වෙලා සංවේදීතාව ප්‍රබලවෙනව. පොතේ අන්තිම පිටුව වහද්දි අර කියපු දොස් ගැන වගක්වත් දැනෙන්නැති තරමට කම්පනයක් ඇතිවෙනව. සියුම් මිනිස් හැඟීම් එළිදරව් කරන්න ශ්‍යාම් කොයි තරම් විනයකින් කටයුතු කරල තියෙනවද කියන එක දැනෙනව. ඔතෙලෝ නළුවේ ඩෙස්ඩිමෝනාගේ චරිතයේ සිට කාෂියෝගේ චරිතය කරා අම්රිත්ව හැරවීම ඉතා සියුම් ලෙස කල්පනා කර කළ දෙයක් ලෙස අපට වැටහෙනව. කාෂියෝ කියන්නෙ අම්රිත්ගෙ ජීවිත රුචිය පිළිබඳ සංකේතයක් වගෙයි මට හැඟෙන්නෙ..
පවුල් අරගල තුළ ළමුන් මුහුණ දෙන අරගල සහ සාංකාවන් පිළිබඳ මෙවැනි සාහිත්‍යමය අත්දැකීමක් මයිකල් ඔන්ඩට්ජීගේ "Running in the Family" කෘතියෙනුත් හමුවන බව පැවසෙනවා. මා එය කියවා නැහැ.
මවගෙන් නොමිදුණු දරුවකුගේ භින්න පෞරුෂ ලක්ෂණත් තමන් පිළිබඳ සැබෑව තමා විසින්ම අනාවරණය කර ගැනීමත් සමග සංහිඳියාවකට පත්වෙමින් බාහිර ලෝකය හා එක්වන ආකාරයත් මේ පොතෙන් ආයාසයකින් තොරව දක්වා තිබෙන ආකාරය සිත්ගන්නා සුළුයි.
මෝසම් මුහුදේ පිහිනන්නන් ගැන කියන ශ්‍යාම් ලංකාවෙ පාඨකයින්ට අමුත්තෙකු නොවෙයි.
ඔහුගේ " Funny Boy " කෘතිය " අමුතු ඉලන්දාරියා " නමින් සුගතපාල ද සිල්වා ශූරීන් අතින් සිංහලට හැරවුණා. එය හොඳම පිරිමි සමලිංගික නවකතාව (Best Gay Male Novel) ලෙස Lambda Literary Award දිනාගත්තා. කැනඩාවේ ප්‍රථම කෘතියට පිරිනැමෙන සම්මානයත් (Smithbooks/Books in Canada First Novel Award for 1994) දිනාගත්තා.
ඒ විතරක් නෙවෙයි. ඔහු විසින් ලියන ලද දෙවැන්න වූ Cinnamon Gardens කෘතිය ද රටවල් කිහිපයකදී සම්මානයට පාත්‍ර වුණා.
ශ්‍යාම්ගෙ තෙවන නවකතාව වන මෝසම් මුහුදේ පිහිනීමටත් සම්මාන (Lambda Literary Award in the Children's and Youth Literature category in 2006) හිමිවුණා.
සිංහල-දෙමළ මිශ්‍ර සම්භවයක් සහිත ශ්‍යාම් කොළඹ ඉපදිලා සිය පවුලේ උදවිය සමග වයස අවුරුදු 19 දි 1983 ජූලි කලබලත් සමග කැනඩාවට සංක්‍රමණය වූවෙක්. ඔහු ප්‍රකට ව සිටින්නේ සමලිංගිකත්වය වෙනුවෙන් නිබයව පෙනී සිටින්නෙකු ලෙසයි.මෙවැනි කෘතිවල ඇත්තේ ඔහුට ආගන්තුක අත්දැකීම් නොවන නිසාදෝ ඔහු ඉතා සංයමයකින් මෝසම් මුහුදේ පිහිනීම සිදු කොට තිබෙනවා. මෙම කෘතිය තුළැති මා සිත් ඇදගත් කරුණත් එයමයි.
මේ පොතේ මා සිත්ගත් දේ ගැන සටහනක් මිසක් විචාරයක් නෙවෙයි. අපූර්ව අනුභූතියක් නොවන නිසා විචාර සටහනකට යන්න තරම් සිතක් නැහැ.
අද පොත් කියවන දවසක් වෙලා. දැනට පොත් දෙකක් කියවා ඉවරයි. හවස මගේ කළණ මිතුරිය තවත් පොත් 3ක් ගෙනත් දීලා මා ගාව තිබූ පොත් දෙකක් රැගෙන ගියා. එක් පොතක් කියවීම ප්‍රමාද වෙන්නේ මගේ ලැප්ටොපය රත්වීම අවම කර ගැනීම සඳහා එම පොත මත තබා වැඩ කරන නිසයි. කොයි වෙලේ හරි පොතත් ගිනි ගනීවිද දන්නැහැ. එහෙම වුණොත් Rani Manicka ගෙ The Rice Mother ආපහුත් ගන්න වෙනව.
25.නොවැම්බර් 2008
-
Showing posts with label Shyam. Show all posts
Showing posts with label Shyam. Show all posts
Wednesday, November 26, 2008
මෝසම් මුහුදේ පිහිණීම නොහොත් සමලිංගික ප්‍රේමය
Posted by
සු
at
1:59 PM
9
comments
Labels: Best Gay Male Novel, Homosexual love, Shyam, Swimming in the Monsoon Sea
Subscribe to:
Posts (Atom)