Showing posts with label paintings. Show all posts
Showing posts with label paintings. Show all posts

Saturday, September 12, 2009

Sharing Pain - ting s



අවුරුදු 6 දී දකුණු කකුල පෝලියෝ වැළඳී සිහින් වීමත්, වයස අවුරුදු 18 දී ගමන් ගත් බස් රිය විදුලි රියක ගැටී එහි කණුවක් යටි බඩ පසා කරගෙන මුත්‍රා මාර්ගයෙන් එළියට ඒමත්, දකුණු කකුල 11 පොළකින් බිඳීමත්, ශ්‍රීවාස්ථියද කොඳු ඇට පෙළද තෙපොළකින් බිඳීමත්, ඉළ ඇට කිහිපයක් කැඩීමත්, ශ්‍රෝණි පෙදෙස බිඳීමත්, දෙපා සන්ධි පැනීමත් සහ තවත් තුවාල සමග වෙළන ලද මිනියක් සේ මාසයකින් පසු නිවස බලා ගොස් ජීවිතය පුරා ශල්‍ය කර්ම 35කට මුහුණ දීමත්, ගබ්සාවීම් කිහිපයක් සිදුවීමත් අවසානයේ කුණුවන්නට පටන් ගත් දකුණු කකුල දණහිස අසලින් කපා ඉවත් කරන්නටත් සිදුවීම ඉවසා සි‍ටි ගැහැණියකට කිසිසේත් ඉවසන්නට නොහැකි වේදනාවක් විය.

ඒ ...........

සිය ප්‍රේමවන්ත සැමියාට අන් ඇසුරක් ඇති බව දැනගන්නට ලැබීම යි.

වෛද්‍යවරියක වන්නට පෙරුම් පුරමින් ඉගෙනුම ලැබූ ඇය සිය වේදනාවන් යටි සිතෙහි සඟවාගෙන සිනාමුසු මුහුණින් අන්‍යයන්ට ආකර්ෂණය වූවාය. ලේ, කඳුළු, ආවේගය, කැළඹීම සහ කෝපය හැකි අයුරින් කැන්වසයක සිත්තම් කළාය.





My painting carries with it the message of pain...
Painting completed my life...
I believe that work is the best thing ..."







මෙක්සිකෝවේ සංස්කෘතියට අයත් තද පැහැ ඇඳුම්, දිගු වර්ණවත් සායවල්, අලංකාර සළුපට, විශාල වර්ණිත හැඩ පබළු මාල තරම් ඇගේ ජීවිතය වර්ණවත් වී ද ?

ඇඳ මත වැතිර කණ්ණාඩියකින් සිය මුහුණ දෙස බලමින් ඇය තමන්වම සිතුවමට නැගුවාය.

"I paint myself because I am so often alone, because I am the subject I know best."











ඇගේ දෙවන අනතුර ලෙස පසුව ඈ
සලකනු ලැබුවේ ඇයගේ ප්‍රේමයයි. මක් නිසාද යත් සිත සුව කළ නොහැකි අන්දමින් බිඳී ඔත්පල කරවන්නට ඇගේ පෙම්වත් සැමියා සමත් වූ හෙයිනි.

සැමියාගේ ජීවිතය තුළ කිමිදී ගිලී යන්නට පතා සිටි ඇයට තමන් තනිවූ බවත් තනිව පෙනී සිටින්නට සිදුවන බවත් වැටහෙන විට ඇය සිත්තරියක වී සිටියාය. ඇගේ තනිවීමේ සාහසික ප්‍රකාශනය එය විය.

සිය හැඟීම් ජීවිතය තුළ සිර කරමින් මිනිසුනට දකින්නට අවශ්‍ය වූ ගැහැණිය සමාජයට ප්‍රක්ෂේපණය කරන්නට ඇය දක්ෂ වූවාය. අන්‍යයන්ගේ දස්කම් එළි දක්වන්නට සහය වෙමින් සංචාරයේ යෙදුණ ඇය විස්මිත ගැහැණියක වූවාය.

සිනාවෙන් සපිරි රූමත් ගැහැණියගේ බැල්මක පහස ලැබ ගන්නට පිරිමි සමාජය ලොල් විය.
ඩියෙ‍ගෝ රිවේරා සමග වූ විවාහය තුළ ට්‍රොට්ස්කිගේ පෙම්වතියද, පිකාසෝගේ මිතුරියකද, ආන්ද්‍රෙ බ්‍රෙටන්ගේ බිරිඳගේ සහ සේරා ජොසෆින් බේකර්ගේ සහකාරියද වූ ඇය සිය සබඳතාවලින් පිරිමි ලෝකය කැළඹුවාය.

දැඩි කොමියුනිස්ට්වාදිනියක වෙමින් ස්ටාලින්ට අතිශයින් ප්‍රිය කළ ඇය සිය ආතතීන් හමුවේ දේශපාලනික ක්‍රියාකාරකම් අත හැරියේ නැත.

සිය දිවි නසා ගන්නට කිහිප වරක් තැත් කළ මෙම ගැහැණිය වයස අවුරුදු 47න් සතියකට පසු සදහටම සිය කැන්වසය අත හැර දැමුවාය. ඒ පෙනහළු සිරවීමකිනි. එය ස්වාභාවික මර‍ණයක් ලෙස පිළි ගැනීමට තීරණය විය.

"I hope the leaving is joyful and I hope never to return".

මග්දලේනා කාර්මන් ෆ්‍රීඩා කාලෝ කැල්ඩරන් සිය දිනපොතෙහි අවසන් වරට ලියා තැබුවාය.

" Friend, sister of the people, great daughter of Mexico; you are still alive."

ඇගේ සොහොන් ගැබෙහි ලියා තිබේ.

Wednesday, March 26, 2008

The Art of Copying or Copying Others' Art

පොඩි කාලෙ ගෙවල්වලට ගියහම කතා කරන්න දෙයක් නැති නිසාත්, අපටත් ප්‍රකාශ කරන්න අදහස් ඇතියි කියා කවුරුත් ඒ තරම් ගණන් නොගත් නිසාත් අහුලාගත් පත්තර කෑල්ලක් හෝ පොතක් කියවමින් නැත්නම් වට පිට නිරීක්ෂණය කරමින් ඉඳීමේ පුරුද්දක් ඇතිවුණා. ඔය කටාක්ෂ නිරීක්ෂණයට හසුවූ එක් දෙයක් තමයි මේ බො‍හෝ ගෙවල්වල මෝනාලීසාගෙ පින්තූරයක් තිබුණ බව. ඉතින් අපට එහෙම මෝනා ලීසාව හැම තැනකදිම වගේ දකින්න ලැබු‍ණෙ කවුරුන් හෝ විසින් මෝනා ලීසා ගෙ ඔරිජිනල් පින්තූරය ප්‍රතිනිර්මාණය කර ඉන් පිටපත් අසංඛ්‍ය සංඛ්‍යාවක් බෙදා හැර තිබූ හින්දයි. ඉතින් එහෙම නැත්නම් ඹය ලෝක ප්‍රසිද්ධ බොහෝ නිර්මාණ දැක බලා ගන්න අපට ලෝ‍‍කෙ වටේ යන්න වෙනවා. සීගිරි චිත්‍ර හෙම බලන්න ලෝකෙම අයට මේ පුංචි ලංකාවට එන්න වෙනවා.

ඉතින් ඒ කාලෙ මෙහෙම ලෝක ප්‍රසිද්ධ නිර්මාණ අපේ ඇහැට දැක බලාගන්න ලැබෙන එක පූරුවෙ වාසනාවක් කියලා හිතුණා.

ඒ කාලෙ චිත්‍ර අඳිනවාය කියන එක අපට නුහුරු වෙනත් කොහෙදෝ ඉන්න යම් පංතියකට උරුම වූ දෙයක් ය වාගෙ පූජනිය හැඟීමකුත් තිබුණා. මේ පූජා භාණ්ඩවලට තිබුණු ආනුභාවය හා ගෞරවය නිසාම මමත් ඒ වගේ ප්‍රතිනිර්මාණ කරන්න පුරුදු වුණා. ජෝර්ජ් කීට් ශිල්පියාගෙ පන්සල් චිත්‍ර අපේ ගෙදර බිත්තිවලට ආවෙ එහෙමයි.

මට චිත්‍ර අඳින හුරුව ආවෙ අපේ අම්මගෙන් වෙන්න ඇති. ස්කෝලෙ යද්දි බස්නාහිර පළාතෙන්ම පළමු තැන දිනූ අම්මගේ සහතික දකිද්දි මට එහෙම හිතුණා. ඒත් ‍පාසල් යන කාලෙ චිත්‍ර පන්තියකට යන්න තිබුණු ආසාවට ‍අනුබලයක් නොලැබුණ නිසා ඇතුළෙ හිටි චිත්‍ර අඳින්න ආසා ළමයා තරහා වුණා. ලියන්න ඉගෙන ගන්න කාගෙවත් අවසරයක් ඕන නොවුණ නිසා එයා විතරක් ඉතිරි වුණා.

මෙහෙම චිත්‍ර ප්‍රතිනිර්මාණය කිරීම ඒ කාලෙ ආස හිතෙන වැඩක් උණත් පස්සෙ ප‍ස්සෙ ඒ ගැන නොයෙකුත් විසදාගන්න බැරි ප්‍රශ්න හිතේ රළ ගහන්න පටන් ගත්තා.

විහාර මහා දේවි උද්‍යානයේ වැට රවුම, කොළඹ වි.වි.යේ ජිම් එක, වැට දිගට, කලා භවන, ලයනල් වෙන්ඩ්ට්, බෙයාර් ෆුට් ගැලරි, දැන්නම් රෙඩ් ඩොට් තීර්ථ ගැලරි වගේ තැන්වල චිත්‍ර ප්‍රදර්ශන බලන්න යාමේ ප්‍රතිඵලය තමා ඒ.

එකක් මේ චිත්‍ර ඇඳිල්ලයි චිත්‍ර බැලිල්ලයි ගැන...
ඒ ගැන වෙනම සටහනකින් කතා කරන්න හිතන් ඉන්නවා

මේ කතා කරන්නේ චිත්‍ර ප්‍රතිනිර්මාණය ගැන

මුලින්ම මගේ හිතට ආවේගයක් ආවෙ විහාර මහා දේවි උද්‍යානයේ වැට දිගට ඇවිදගෙන යද්දි විදෙස් ශිල්පිියෙකුගේ චිත්‍රයක් විකුණන්න ඒකේ වැටේ එල්ලලා තියෙනවා දැක්කහමයි. දෙවනුව මට මිතුරෙකු කීවේ කොළඹ ප්‍රසිද්ධ ලලිත කලායතනයක ජනප්‍රිය වූවන් අඳිනා චිත්‍ර ඇතැම් විදෙස් පොත් පත්වලින් පෙන්විය හැකි බවයි.

පස්සෙන් පහු දවසක බෝ මට කතා කරලා කිවුවා ගන්ධාර එකේ චිත්‍ර ප්‍රදර්ශනයකට ආරාධනාවක් තියෙනවා පුළුවනි නම් ගිහින් එයා වෙනුවෙන් පෙනී හි‍ටින්නය කියලා. ඉතින් මමත් සහෘද සිතින් කියලා හිතාගෙන ඒ පිළිබඳව පොඩි ප්‍රචාරයක් හෙම ඇරලා චිත්‍ර නරඹන්න ගියා. බැලූ බැලූ අත එක් එක් වර්ගයේ චිත්‍රය දෙක බැගින් තිබුණා..එක් එක් ශෛලියේ ඒවා කිහිපයක්...

ඒවා ගැන මගේ අදහස මං ඇවිත් බෝ ටම දුන්නේ නිර්මාණ ශිල්පියා එහි නොසිටි හින්දයි.

එතනින් මගේ ඇහැ වඩාම ගියේ මට හොඳට දැක පුරුදු Diego Rivera ගෙ Nude with Calla Lilies කියන චිත්‍රයේ ප්‍රති නිර්මාණය වෙතටයි. මං එහි හැම තැනම බැලුවා එහි නියම අයිතිකරුගේ නම කොහේ හෝ සටහන් වී ඇත්දැයි කියා.නමුත් තිබුණේ අපේ හිතවතාගේ අත්සන පම‍‍ණයි. වර්ණ සංයෝජනය, සංකලනය, රේඛා සියල්ල වෙන කෙනෙකුගේ...නම දැන් වෙන කෙනෙකුගේ... මට නම් දැනෙන්නේ වේදනාවක්.

ඉන් පසු මම ගියා ගන්ධාරය ඉදිරිපිට ඇති කලා කෘති පරිභෝජනය පිණිස සකස් කළ වෙළඳ සලකට. එහි හැම බිත්තියක්ම පාහේ චිත්‍රවලින් සරසා තිබුණා. ඇතැම්වා විකිණී අවසන්. ඊට පසුදින් මා තව මිතුරියකට ඇදුම් ගැනීම පිණිස ගියා පාමංකඩ වෙළඳ සලකට.. එය සරසා තිබුණේ මෙහි දැක්වෙන K. Kasse ගෙ සහ Isabelle Vital ගෙ චිත්‍රවලින්. නමුත් කොහෙවත් නමක් නම් තිබුණේ නෑ. එහි වැඩට හිටි ගෑනු දරුවන් කිවුවා “ අපේ සර්ගෙ යාලු‍වෝ වගයක් ඕවා කරන්නේ, සල්ලි දීලා තමයි ගන්නෙ” ව‍ගේ කතාවක්. ඕවා පිලස්තීනු වැඩ..

අපි කෙනෙකුගේ කවියක්, කතාවක්, ලිපියක් වෙනත් නමකින් තියෙනවා දැක්කාම මරාගන්න යන පුරුද්දක් ඇතිවුණත්, වෙනත් කෙනෙකුගේ නිර්මාණයක් අපේ නමකින් දමා නොගන්නෙත් නීතියෙන් යම් අයිතියක් නිර්මා‍ණකරුවාට තියෙන නිසා නෙවෙයි. ඒක සදාචාරය පි‍ළිබඳ එහෙමත් නැත්නම් හෘද සාක්ෂිය ගැන විචිකිච්ඡාවක් මිනිසුන් වශයෙන් අප තුළ ඇති නිසයි.

දැන් මෙහෙම අනුන්ගේ චිත්‍ර තමන්ගේ වගේ ඇඳ අනික් අය ඇන්දවීම අපේ රටේ ඇතැම් චිත්‍ර අඳින්නන්ට පුරුද්දට ගිහින්.. මම මේක වැරදියි කියලා එක පාරට කිවුවොත් ඔබ කියාවි.....

“හැමෝම ඔහොම හිතුවා නම් අපට ජීවිතේට මෝනාලීසාගේ තියා මේ රටේම හිටි කී‍ට් ගේ චිත්‍රයක්වත් බලාගන්න වෙන්නේ නැහැ...”


කියලා.. දැන් බලාගෙන ගියාම ඒකත් ඇත්තනෙ.

ඊ ගාවට ඔබ කියාවි..

“ අනේ ඔන්න ඔය චිත්‍ර අඳින්න පුළුවන් එකෙක් ඕකක් ඇඳලා කීයක් හරි හොයා ගත්තාම මක් වෙනවද ? “


කියලා. බලාගෙන ගියාම ඔන්න ඒකත් ඇත්ත.

දැන් මේ දෙකටම ඉඩ දීලා බලන් හිටියාම අර චිත්‍රයේ මුල් අයිතිකාරයා වන සැබෑ නිර්මාණකරුවාට අසාධාරණයක් වෙන්නේ නැද්ද ? ඒ නිසා මං කැමතියි ඒක මෙහෙම සංශෝධනය කරලා කියන්න.

“ඒ චිත්‍රවල මුල් අයිතිකරුවන් මිය ගිහින් නම්, ඔන්න අපට ආයේ ඒවා බලාගන්න බැරි වන නිසා ඒවා ආයේ ඇඳලා ඒ නියම නිර්මාණකරුගේ බව සඳහන් කරලා විකිණුවාට වුණත් කමක් නෑ.. “

දැන් මේකට ඔබ කොයිතරම් එකඟ ද ?

මේ කාරණය සදාචාරාත්මකයි කියලා පිළිගන්නවා නම් දැන් ඉහතින් ඔබ කිවු කාරණා දෙකම අහෝසි වෙනවා. එකඟයි ද?

එහෙමනම් අනුන්ගේ නිර්මාණයක් තමන්ගේ වගේ විකුණාගන්න එක ‍එහෙනම් වැරදි වැඩක් කියලා පි‍ළිගන්න වෙනවා. අනෙක් කාරණේ තමයි ලංකාව වගේ රටක මේ කාලය වන විට චිත්‍ර කියන්නේ එක්තරා පංතියක යම් තත්වයක් පිළිබඳ කාරණයක් ය කියන එක. සර‍ලව කිවුවොත් චිත්‍ර කියන්නේ මිල අධික විනෝදාංශයක්. එහෙම අඳින චිත්‍ර විකි‍ණෙන්නේ ඉලක්කම් 5න් ‍‍‍ඔබ්බට. දැනුත් කියන්න පුලුවන්ද හැම කෙනෙක්ම මෙහෙම චිත්‍රයක් ඇඳලා විකුණන්නේ එදා වේල හොයාගන්න කියලා ??

මම මේ කතා කරන්නේ ආභාසයන් ගැන නම් නෙවෙයි. වර්ණයේ, රේඛාවේ, සංකල්පයේ සිට ම කරන පිටපත් කිරීම හා ඒවා තමන්ගේ මෙන් පෙන්වීම ගැනයි. ඒවා හරහා සමාජ වටිනාකම් ගොඩනගා ගන්නා එක ගැනයි.

මේවා ඇත්තටම ජුගුප්සාජනක නැද්ද ?


මම අහන්නේ ඔබෙන් ..........