Thursday, December 30, 2010

තනිකඩ පුංචා ගැටගසමින් ලියූ කවිය




ලොවම උර මත දරා ජීවිතේ බර රැගෙන
අඳුර සමගින් තනිව ගාටමින් එන කලට
එකම කිරි සිනාවක සියලු ළතැවුල් මැකෙන
අරුම නොදනිමි තාම නුඹ ළඟදි සිත නිවෙන

හදන්නට දරුන් නැති හිස් උකුළ සරසන්න
පිටාරය ගලා යන සෙනේ ගඟ කිමිදෙන්න
මගෙ වාසගම් නැතද මගෙම යැයි හිත කියන
මට මෙන්ම අන් හැමට මාව අමතක කෙරුව

හිස දුවනැ'ඟිලි මැද සුදු පෑය දැක සැලෙන
නෙත අගට ආ රැල්ල අත ගගා සුසුම් ලන
මට හොරෙන් මා දිහා බලා ඇතුළෙන් තැවෙන
අම්මාගෙ හිත හැදුව අක්කාගෙ දූ මැණික

Wednesday, September 8, 2010

You're the euphony of my life
හද බිඳෙන සර නුඹම වී...




හීන බිඳී හිත පෑරෙයි මතු දාක
ආල නුරාවට වැට බැඳ හිටියාට
බාල බොළඳ හිත සනසා හැම දාක
හීන මකා නුඹ නතරව මා ගාව

විලක් කර නෙතග රහසේ තෙමුණාම
මවක් පියකු සේ හිත නිවු මිතුරාන
රැයක් දී ගියද උන් හද රඳවාන
සඳක් වීය නුඹ පුර පස ප්‍රියයාණ

ගෙවා පැමිණි මග සියුමැලි නැතුවාට
දෙපා රිදී මග පැටලී වැටුණාට
තබා ලකුණු නුඹ හැරෙමින් යනදාට
හැරී නොයමි මග නිම් නැතිවාට

පතා පැමිණියෙද සසරේ හමුවන්න
කියා නොසිතුවෙමි මං නුඹ නොදකින්න
අපේ හිත් සවිය ඇතියෙන් දුර යන්න
වැටී දෙවොල නොපතමි නුඹ රැකගන්න

‍කවිය නුඹම වී දිවි පොත පිරුණාම
කවිත් අමතකව ගිලිහුණි සඳලකර
යළිත් පසු පසට , ආ මග බැලුවාම
යමක් ලියමි නැතුවද කවිකම් සුරුව

You're my brother, friend, geek, guide and many more
Thank you for being there always

My dearest love,

May your dreams reach even higher
May your step seem even mighter
May your smile strech even wider
May you have a Birthday that's never been finer !

අඳුරු හද තුළ සහන් එළි වී
හිඳින මගෙ සඳ නෙතට කැප වී
නිවනු ඇත දිවි මේ සෙනේ හී
නිබඳ නුඹ වෙත පිරිත් සර වී

HaPpY Birthday !
:-)

...

Tuesday, August 17, 2010

බැංකු ආතති

කාලෙකට පස්සේ බ්ලොග් පෝස්ට් එකක් ලියලා ඒකට ටිකක් ගැඹුරින් හිතන ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා දැක්කහම සතුටුයි. ඒවා ගැන තව ටිකක් විවේකෙන් හිතන්න හිතාගෙන අද පොඩි සටහනක් දාන්න හිතුණා.. අද වුණ දෙයක් නිසා.
කවුරුවත් දන්නේ නැතිවට ටික දවසකට කළින් මගේ තාවකාලික භාණ්ඩාගාරය සම්පූර්ණයෙන්ම හිස්වුණා.. සුනාමියක් ආවා වගේ තමයි. ආර්ථික අවපාතයකට අහුවෙලා ඉන්න අස්සේ දවසක් ඊ බෑන්කින් බලද්දි මගේ බැංකු ගිණුමට කවුදෝ ලක්ෂ 3ක් විතර දාලා... ඉතින් ටික වෙලාවක් ඒක දිහා බලාගෙන කල්පනා කරද්දි මට තේරුණා බැංකුවට වැරදිලා වෙන දෙන්නෙකුගේ චෙක් පත් දෙකක් මගේ ගිණුමට දාලා කියලා. මේක ගැන දැනගත්තු මගේ සමහර යාලුවෝනම් කිව්වේ කියන්න යන්න එපා..ඔයාට වගකීමක් නෑ.. කියලා. මහ බැංකුවේ ඉන්න මගේ යාලුවෙකුත් කිව්වේ ටිකක් සද්දෙ වහලා ඉන්න කියලා.... එදා සිකුරාදා දවසක්. කෝකටත් කියලා මං බැංකුවට කතා කරලා විනාඩි ගාණක් වේටින් ඉඳලා.. තුන්දෙනෙකුට විතර කතා කරලා..කිව්වා.. මගේ ගිණුමට සල්ලි වගයක් ඇවිත් තියෙනවා. ඒවා මං දාපුවා නෙවෙයි ටිකක් බලලා මට කියනවද මොකක්ද වෙලා තියෙන්නේ කියලා ...
ඉතින් අන්තිමට ගත්තු කෙනා හරි හරි අපි බලන්නම් කියලා දඩ බඩ ගාලා ෆෝන් එක තිබ්බා...
සඳුදා මං බලද්දි ආපහුත්... මේ බැංකුව මටත් නොකියාම..අඩුම ගාණේ ස්තූතියි කියලාවත් නොකියා මගේ ගිණුමෙන් සල්ලි මාරු කරලා. !

සුහද හදක් ඇති දේශීය බැංකුව !!
සෙනසුරාදා ම එයාලා ඒක කරලා. හැබැයි සෙනසුරාදාට මේ අය දන්න තරමින්නම් වැඩ නැහැ. අනික් අතට අපිට නොකියා අපේ ගිණුමට අත පොවනවානම්, මේ බැංකු ගැන විශ්වාසයක් තියන්නේ කොහොමද අපි? මගේ ළඟින්ම ඉන්න කෙනා නම් කියන්නේ බැංකුවට අපිත් එක්ක රහස්‍ය භාවයක් නැහැ ඒ නිසා අපේ ගිණුම්වලට එයාලාට එහෙම බලෙන්ම හොට දාන්න පුළුවන් කියලා.. ඒත් එහෙම කරනවානම් බැංකුවලට ඕනමවෙලාවක අපේ ගිණුම්වල තියෙන සල්ලි එහෙ මෙහෙ කරන්න පුළුවන්නේ... අනේ මන්දා...මේ කතාව අහපු මගේ ඇතැම් යාලුවෝනම් කියන්නේ මෙහෙම වරදින සල්ලි දාන්නේ බැංකු කළමණාකරු/බැංකුව සතු ගිණුමකලු. අයිති අය හොයන් ආවොත් තමයි ඒවා එයාලගෙ ඒවාට දාන්නේ එතකොට කියලා..
එහෙමනම් ඉතින් ඒක කොයිතරම් වැරදිද.. ආයෙත්..අනේ මන්දා..මං හිතාගෙන හිටියේ බැංකුව මට කියලා සල්ලි ආපහු අරගත්තහම නියම අයිතිකාරයා කවුද කියලා බැංකුවෙන් මමත් දැනගෙනම ඒ සල්ලි දෙන්න පුළුවන් කියලයි. කවුරුවුණත් දුක් මහන්සියෙන් හම්බු කළ සල්ලි වෙන්න ඇති නේද කියලා ඒක මගේ ගිණුමේ තියෙනකම්ම මට හිතුණා. දැන් ඒක ඉවරයි. ඒවා නියම කෙනාට ගියාද කියලා දන්නේ බැංකුව විතරයි.

අද (16 සඳුදා)..
මම රෑ බත්තරමුල්ලේ පෙට් එකට ගියා.

ඒක ඇතුලේ ඉන්න මනුස්සයා වීඩියෝ ගේම් එකක් ගහනවා වගේ දැනුණ නිසා ටිකක් වෙලා බලා හිටියා. ඉන් පස්සේ ඒ මනුස්සයා ගේම් එක ඉවර කරලා සල්ලිත් මල්ලට ඔබාගෙන යන්න ගියා. මං මැෂින් එකට ගියාම ඒක මගෙන් අහනවා...
"ඔබට තවත් සේවාවන් අවශ්‍ය ද ?" කියලා !!
මෙන්න වැඩක්. මං ටිකක් බැලුවා. YES කියන එක එබුවා නම් මගේ ආර්ථික අවපාතයට ස්වීප් එකක් ඇදගන්න තිබුණා. මං ටක් ගාලා NO ඔබලා කාඩ් එකත් අරන් එළියට දුවලා හතර අතට බැලුවා.. සල්ලි ගත්ත කෙනා අතුරුදහන්. මං අල්ලපු බාටා කඩේට ගිහින් කිව්වා scenario එක. කියලා ‍කවුරු හරි ආවොත් කියන්න මං හෙට උදේ කාඩ් එක බැංකුවට ගෙනත් දෙනවා කිවුවා කියලා... මං ආවා.

ඒ මනුස්සයා තමන්ගේ ට්‍රාන්සැක්ෂන් ඉවර කරලාවත් නෙවි එළියට ඇවිත් තිබුණේ. මදැයි.. මට ගේ ගාවට එද්දි තමයි හිතුණේ ඒකේ සිකියුරිටි සඳ හිටියේ නැහැ නේද කියලා.. හිටියා නම්‍ හෙට උදේට පරිප්පු නොකා මට ඒක දීලා එන්න තිබුණා. දැන් මේ සිහි කල්පනාව නැතුව ගිය ඕ.ඩබ්ලිව්.කේ.පී.පත්මපෙරුම මහත්මයා නිසා හෙට මං බැංකු යනවා කියන්නේ අපේ අම්මාටත් මං නිසා ලොකුම පරිප්පුවකට වග කියන්න වෙනවා කියන එකයි.

අනික් බැංකු සිද්ධියත් මේ රටේ විතරක් අහන්න ලැබෙන තවත් එකක්. බිල් දිහා බලා ඉන්න කොට මට හිතුණා ඊ බෑන්කින් පැත්තේ රවුමක් දාලා සල්ලි තියෙනවානම් මේවා ගෙවලා දාන ‍එක හොඳ නේද කියලා. තව දවස් දෙක තුනක් යනකන් හිටියොත් candle light dinner නොවරදින බව පෙනුණ නිසා...ඉතින් ලොග් වෙන්න ගියා. මට මුර පදය මතක නැහැ. 3 පාරක් එපා කියලා කිවුවාට මතක නැත්නම් එක පාරක් ට්‍රයි කළත් එකයි 3 පාරක් කළත් එකයිනේ කියලා මං 3 පාරම ගහලා ඊට පස්සේ ඊ මේල් එකක් දැම්මා බැංකුවට මට "Excessive PIN tries" කියන පණිවිඩෙත් ආවා මගේ මුර පදය රිසෙට් කරළා දෙන්න කියලා. දවල් වෙනකන් බැලුවා උත්තර නෑ. ඉතින් මං කෝල් එකක් අරන් බැංකුවට කිවුවා මං ඊ මේල් එකක් දැම්මා මට උත්තර එන්න කොය් තරම් වෙලාවක් යාවිද කියලා. බැංකුව මගෙන් අහනවා..ඔයා ස්ටාෆ්ද ? ස්ටාෆ් නම් විතරයි ඒක රිසෙට් කරන්නේ.... අරක මේක..දැන් අපේ ඉන්ටර්නෙට් බෑන්කින් පාස්වර්ඩ් එකක් අමතකවුණහම අපි ඉන්ටර්නෙට් බෑන්කින් අතාරින්න ඕනද ? මම මට පුළුවන් උපරිම පැහැදිළි කළහම ඒ ළඳ මගේ ඊ මේල් එක බළලා මට කියනවා, හරි දැන් ඔයා ලොග් වෙන්නකො..ඔයාට පාස්වර්ඩ් අමතකයි කිවුවානෙ.. කියලා..
මං කිවුවා.. ඉතින් මං පාස්වර්ඩ් දන්නවානම් ලොග් වෙලානෙ.ඔයාට කතා කරන්නෙ නැහැනෙ.. මතක නැහැයි කියන්නෙ මතක නැහැම තමා..ටිකකින් මතක් වෙන්නෙ නැහැ... කියලා..

දීර්ඝ පැහැදිළි කිරීමකින් පසුව ඒ ළඳ මට ඊමේල් කරනවා රිසිට් එකක්. ඒකෙ ප්‍රින්ට් එකක් අරන්, අත්සන් කරලා, ස්කෑන් හෝ ෆොටෝකොපි කරලා බැංකුවට ෆැක්ස් කළහම දවස් දෙකකින් පාස්වර්ඩ් එක දෙන්නම්ලු ගේ ගාව තියෙන ශාඛාවට බස් එකේ ගිහින් ඉන්ටර්නෙට් බෑන්කින් පාස්වර්ඩ් එක අරන් එන්න !!!@$$%&^*()@!$$.................................................
සුහද හදක් ඇති.... බැංකුව !!



ඊට ලේසියි මං එවෙළෙම පාස් පොත අරන් බැංකුවට ගියානම් සල්ලි අරන් එනවා....

අපි ඇයි තාක්ෂණය පාවිච්චි කරන්නෙ ? අපේ ජීවිත පහසු කරගන්න.. එහෙමයි මේ මගේ ළඟින්ම ඉන්න කෙනා නිතරම මන්තරයක් වගේ කියන්නෙ. ජීවිතේ පහසු කරගන්න දියුණුම තාක්ෂණය පාවිච්චි කරන්න ගියාම සාමාන්‍ය ක්‍රමයටත් වඩා රස්තියාදු වෙන විදිහටයි අපේ රටේ පද්ධති ක්‍රියාත්මක වෙන්නෙ.... මට මතකයි ඉස්සරම ඉස්සර කාර්යාලවලට විද්‍යුත් තැපෑල ආව කාළෙ.. අපි වෙන ශාඛාවකට විද්‍යුත් ලිපියක් යැවුවහම දුරකථන ඇමතුමක් දීලත් කියන්න වෙනව "අපි ඊමේල් එකක් එවුව ටිකක් බලනවද ?" කියල.. මේක පස්සෙ කාලෙක රජයේ කාර්යාලවල ඊ- ක්‍රියාකාරකම් පැහැදිළි කරන හොඳම උදාහරණයක් බවටත් පත්වුණා. හිනා ගියාට කොයිතරම් ලොකු ඛේදවාචකයක් ඇතුළෙද අපි රටක් විදිහට නැගිටින්න දඟලන්නෙ කියල හිතෙන්නෙ නැද්ද ?

Sunday, August 8, 2010

පුංචි පුංචි කතා ටිකක් !


ඉතාලි ජාතික බර්නාදෝ බර්තොලුච්චි Gilbert Adairගේ The Holy Innocents නවකතාවෙන් හදන චිත්‍රපටය තමා The Dreamers(2003). මේක ඇමරිකාවෙ NC-17 ට රේටින්ග් වුණා. තියෝ සහ ඉසබෙල් නිවුන් සහෝදරයා සහ සහෝදරිය අතර සාමාන්‍යයෙන් ව්‍යභිචාරී යැයි පවසන සම්බන්ධයක් පවතිනවා. ඔවුන් එය සාධාරණීකරණය කර ගන්නේ තමන් Siamese Twins ලෙස හඳුන්වමින්. 1968 දී ප්‍රංශය තුළ වූ දේශපාලනික පිබිදීම ඓතිහාසික සිනමා පසුබිමක තබමින් අතිශය පුද්ගලවාදී ලිංගික තේමාවකින් චිත්‍රපටය ගොඩ නැගී ඇතැයි මට හිතෙනවා. මේ කරුණු තුනම එවකට ප්‍රංශ සමාජය තුළ වූ සම්ප්‍රදාය පිටු දැකීමේ විප්ලවීය පිබිදීමට සම්බන්ධ කොට තිබෙනවා....

ලංකාවෙත් ඒ වගේ ඇතැම් දේවල් සිදුවෙනවා. ඒත් ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැති..

හඳගමගේ අක්ෂරය ඒ වගේ කතාවක් කියන කොට ලංකාවේ ව්‍යවස්ථාපිත නීතිය ඒ කතාව කියන කෙනාට දඬුවම් දෙන්න මහන්සි වෙනවා.

ඒ අතරේ ...මේ සිවිලයිස්ඩ් කොළඹදී නඩුවක් ඇහෙනවා. චූදිතයාට වයස අවුරුදු 18 යි. අයියා.. වින්දිත නංගීට වයස අවුරුදු 14 යි. නංගිගේ නිවුන් දරු දෙන්නාගේ තාත්තා තමයි කූඩුවේ ඉන්න අයියා... නංගිට හම්බ වෙන්නේ කෙල්ලෝ දෙන්නෙක්.. දෙන්නගෙම හදවතේ සිදුරු. ඇප අරන් එළියට එන දහඅටේ අයියා සිය දිවි නසා ගන්නවා.

මේ කතාව ආවේගයෙන් කියමින් ගිය මගේ නීති ක්ෂේත්‍රයට කැපවෙලා ඉන්න මිතුරා චෝදනා කළේ ලංකාවෙ අධ්‍යාපන ක්‍රමයට..
"සෙක්ස් එඩියුකේෂන් කියලා මෙලෝ දෙයක් උගන්වන්නේ නෑ. කුතුහලය ආවාහම ළමයි මොනවද නොකරන්නේ ? ඕවා ස්කෝලවල උගන්වනවානම් ඉවරනේ.."

" අපි මේ ළමයි දෙන්නා මේ රටේ අයට හදා ගන්න දෙන්නේ නෑ. ලොකු වුණාම ප්‍රශ්න එනවානේ.. පිටරට කෙනෙක් ඉල්ලුවොත් ඇත්තම කියලා දෙන්නයි හිතන් ඉන්නේ"...

අම්මා වුණ නංගීව රැකවරණයට ගත් ළමා නිවාසයේ පාලිකාව මා එක්ක කිව්වා.

ළමා අම්මලා ඉන්න තැනක් වුණත් අපි ගියේ ඒ වගේ අකටයුතුකම්වලින් දෙමාපිය රැකවරණයෙන් ඈත්වෙලා ඒ නිවාසයේම ඉන්න පොඩිවුන් ටිකක් බලන්න. කෙල්ලො අටයි. කොල්ලො අටයි. ඔක්කොම අවුරුදු 5ට බාලයි.

16 දෙනාම පොරකකා ඇවිත් ඇ‍ෙඟේ එල්ලුණා.. " අනේ මාව වඩා ගන්න.. මාව වඩා ගන්න..දැන් මාව".. මාරුවෙන් මාරුවට ළමයි 16 දෙනෙක් වඩාගෙන අතත් රිදෙන්න ගත්තා. දාඩිය පෙරාගෙන අන්තිම එකාව බලෙන්ම බිම තිබ්බා.

අහස්ගෙ දෙවෙනි උපන් දිනේට මගේ යාලුවෝ‍ දෙන්නා ඒ පොඩි වුන්ට සපත්තුයි ඇඳුමුයි අරන් දුන්නා.. කලින් දවසේ ඒවා ගෙනිහින් තියලා අන්දන්න කියලා එදා අපි ගියේ කේක් කපලා තෑගි දීලා කාලා බීලා එන්න.. පොඩි කට්ටිය එක්ක.

හිත සංවේදී වෙන ගොඩක් කතා, සිදුවීම් එක්ක අවුරුදු 14ට අඩු අම්මලා මැටර්නිටි ගවුම් ඇඳන් ළපටි මූණුවලින් අපි දිහා බලමින් එහා මෙහා යනවා දැක්කහම මේ ලෝකේ ගැන පුදුම කලකිරීමක් එනවා. මටත් වැන්ඩෙටා කෙනෙක් වෙන්න හිතෙනවා.

මේ පාර්ටියට ආවා තවත් අපේ යාලුවෙකුගේ ‍පොඩි එකෙක්. දැන් ස්කෝලෙ එක වසරෙ. ස්කෝලෙ යන්න ගත්තහම සම්පූර්ණයෙන්ම අමුතු වෙලා. පොඩි එකීගේ අම්මා එළියේ බැම්මක් උඩ වාඩිවෙලා කේක් කෑල්ලක් කන්න ගත්තා. පොඩි එකී එපා කිවුවා.. ළමයි ගොඩට ආවෙත් නෑ. එයාට එතන ක්‍රමය ඇල්ලුවෙ නෑ.. පොඩි එකී එතනදි ‍මේ වගේ අදහස් ටිකක් පළ කරලා..
" Why do they celebrate their birthday with poor children ? "
" I don't like to play with them. I only play with Amaya..."
" Who is Amaya ?"
" one of my friends "
පොඩි එකීට සිංහල කතා කරන එකත් මදිකමක් වෙලා. ස්කෝලෙදි සිංහලවලට බිංදුවලු. අම්මාටයි තාත්තාටයි ස්කෝලෙන් කියලා.
අපි එන ගමන් ඒ විපර්යාසය ගැන කතා කරමින් ආවා. හදිසියේම මට The Dreamers මතක් වුණා..ඇත්තටම එහෙම වෙන එක වරදක් ද ? මට ඉබේම ඇහුණා..
වාහනේ ඇතුළේ අදහස් පළ වුණා. unethical.. illegal.. bla bla bla..
මගේ මිතුරා ආයෙත් කතා කළා..
"‍That is the difference between humans and animals !"
. . . . . . . . .. . . . .
අපි ජීවත්වෙන්නේ සතුන් වැනි මිනිසුන් පිරුණු සමාජයක ද ?

Sunday, May 16, 2010

මිය ගියවුන් වළ දමන්න


ලියන එක තරම් එපා කරපු අමාරු වැඩක් මේ දවස්වල තවත් නැහැ. ලියන්න ගත්තත් කොයි තරම් දිග විස්තරයක් වුණත් පේළි දෙක තුනකින් ඉවර කරන්නමයි හිතෙන්නෙ.. දවස් ගාණක ඉඳන් මතකයේ රැඳුණු .. අපේ ජීවිතවලටත් පොදු සත්‍යයක් මතක් කරල දෙන පොඩි සටහනක් තියන්න කියල හිතුව මේ පාර..

ගෙදර ගිහින් පුරුදු විදිහට එනකොට බස් එකක් අල්ල ගන්න බොරැල්ලෙ බෝ ගහ යට හිටිද්දි තමා මේ කතන්දරේට මුල පිරුණෙ. සාමාන්‍යයෙන් ටිකක් රෑ වෙද්දි මගේ කුලී බංගලාවට එන්න ඉඩ තියෙන බස් හොයාගන්න අමාරුයි. නිවාඩු දවස්වලට හොඳටම අමාරුයි... එදත් බෝ ගහ ගාව එහාට මෙහාට වෙවී බෙල්ල දික්කරන කොට එක පාරට මැදිවියෙත් මැද හරියෙ වගේ හිටපු ගැහ‍ැණු කෙනෙක් දුවගෙන දුවගෙන ඇවිත් මා ගාව නතර වුණා. සුදට හුරු ළා පාට සායකුයි හැට්ටෙකුයි ඇඳල හෑන්ඩ් බෑග් එකකුතු එල්ලං, අතින් කටින් තව සිලි මලු දෙකක් විතර එල්ලං...

මා ගාව නැවතිලා හති අරින ගමන් හිනාවක් එහෙම දාල කතා කරන්න පටන් ගත්ත.

." . අර අතන කාර් එකේ ඉන්න කොල්ලො දෙන්න මගේ අතින් ඇදල කතා කළානෙ.. බලන්න පාරක යන්න බැරි හැටි බයක් නැතුව.. මං මේ දුවගෙන ඔයා ළඟට ආවෙ ඒකයි.. තව කවුරු හරි ඉන්න කොට කරදරයක් නැහැනෙ.. "

මං ඈ දිහා බලල හිනා වුණා..
මං සාමාන්‍යයෙන් මග තොටේදි වැඩි කතා බහ තියෙන කෙනෙක් නෙවෙයි. ‍පොඩි කාලෙ අපි බස් එකේ ගමේ යද්දියි ආයෙ එද්දියි අපේ අම්ම මා එක්ක යන්න කැමති නැහැ... " ගොලුවෙක් එක්ක යනව වගේ මෙයා එක්ක ආවහම..වචනයක්වත් කතා කරන්නෙ නැහැ ".. ඒ අම්ම මගේ ගුණ වර්ණනා කරන හැටි.

" මං යන්නෙ රාජගිරියට. ඔයා යන්නෙ කොහාටද ? " ඈ අ‍ායිමත් අහනව.. " මං ඊට එහාට යනව.." මං කිවුව.

ඈ ආයෙමත් ඈ බහින තැන මට විස්තර කළා. මං ඒ ඉසවුව දන්නව. ඒ පාරෙ කුලී ගෙවල් කීයකට මං කතා කරල ඇද්ද ?

" මං කරන්නෙ ඇඳුම් මහන එක. ... පන්සල ගාව... මට පුළුවන් එමිබ්‍රොයිඩර්, ලස්සනට බතික් කරන්න, හැම දේම පුළුවන්.." ඈ කියනව. " අද ෆොන්සේකා මහත්තයට බෝධි පූජාවක් තිබුණනෙ.. මහන ළමයි ‍එක්ක මාත් ඒකට ගියා. ඒකයි ටිකක් රෑ වුණේ..."
ආයෙත් ඈ

ඈ දිගටම කතා කරන්නෙ හද ගැස්ම අඩු කරගන්න වගේ.. මං ආයෙත් හිනා වෙනව.

ඊ ළඟට බස් එකක් ආව. මං නැග්ග ගමන් ජනේලෙ අයිනෙන් වාඩිවුණා. ඈත් මගේ සීට් එකේම වාඩිවෙලා ආයෙත් කතාව. ..වචනවලට නිදහසක් ලැබුණෙ ටිකට් ගන්න මාරු සල්ලි හොයන්න විතරයි.. "ඉන්න, මං ගන්නම්..." මං කිවුව. ඇගේ වචනවලට ආයෙමත් පණ ආව.


" ඔයා බැඳලද ? " ඈ අහනව. මං " නෑ " කියල හිනාවුණා.. " තාම ඉගෙන ගන්න පාටයි." .. " නෑ ." . මං ආයෙම හිනාවුණා.

ඈ දිගටම කතාව පටන් ගත්ත.

" අම්මයි මායි විතරයි හිටියෙ. මල්ලි බැඳල වෙනම ඉන්නෙ. අම්ම ළඟදි නැතිවුණා.. ඒ හින්ද ගොඩක් පාලුයි. ඇඳට වෙලා හරි අම්ම ගෙදර හිටියනම් කියල හිතෙනව. අම්ම කෙනෙක් නැතිවුණහම ගෑණු කෙනෙකුට හොඳ නෑ. දැන් මං තනියම ඉන්නව...."

ඈ කියනව... මං මා ගැනම හිතනව..

" මට බඳින්න කෙනෙක් හිටිය.. ඈ ආයෙම කියනව... අපි මගුල් ඇඳුම් හිටන් ලෑස්ති කරල හිටියෙ. එයා හරිම හොඳයි. හැමදේම හොයල බලනව. හමුදාවෙ වැඩ කළේ... බඳින්න ටික දවසකට කළින්නෙ පූනරින් කෑම්ප් එකට ගැහුවෙ. 93. එයා ගැන ආරංචියක් නැතිවුණා..."

මං ආයෙමත් ළාවට හිනාවෙලා ඈ දිහා බලාගෙන ඉන්නව.

" මට ඊට පස්සෙත් යෝජනා ආව ". ඇගේ ඇස් බබළනව... " ඒත් කොහොමද බඳින්නෙ.. එයා ආවොත් හෙම .. ? එයා එනකොට මං බැඳල හිටියොත් මං එයාට මොනවද කියන්නෙ ??? " ඈ මං දිහා බලන් ඉන්නව.

මට හිනාවෙන්න අමතක වුණා.

" එයා කවද හරි එයි කියල මං බලන් හිටිය.. එයා හරිම කරුණාවයි.. එහෙම කෙනෙකුට පිටුපාන්නෙ කොහොමද ? " ඈ අහනව.

මට උත්තර නෑ.. මං ඈ වුණානම් මං කරන්නෙත් ඒකමයි. මමත් ඒ වගේ හර්ද කම්පාවකින් නැතත් මෝඩ කියල නොතේරුණ නිෂ්ඵල බලාහිටීම් වෙනුවෙන් කාලය නාස්ති කරල නැතිවද ?

අවුරුදු ගාණකට එහා පූනරින් සටන ජීවිතේ තවත් පැත්තක් පෙන්නමින් බස් එකේ යනව.. ගෙදර ඇවිත් තිරය ඉස්සරහ වාඩිවුණහමත් ඇඟිලි දුවන්නෙ පූනරින්වලට...

On November 11, around two in the morning, the LTTE launched a massive attack from land and the lagoon simultaneously engaging the Nagathevanthurai naval base and the army defence lines in Pooneryn. .......................................
The Sri Lankan military alleges that 200 soldiers were captured by the Tigers and then executed. Another 241 soldiers, including 8 officers were killed in the fighting itself. 469 LTTE fighters were killed. Up to 200 soldiers remain missing.

ගෙදර ආවහමත් මාව ගල්වෙලා වගේ දැනෙන්න පටන් ගත්ත. ඈ වෙනුවෙන්ද ?
නැහැ.
මා වෙනුවෙන්..
තවත් අය වෙනුවෙන්..
ඇයි ?
ඈ මට මා හොඳින් දන්නා ජීවිතේ‍ වෙනත් ඉසවුවක් යළි අවධාරණය කළ නිසා...
අපි ජීවිතේ තීරණාත්මක අවස්ථාවලදි අපව පසුකරගෙන ගිය ඇතැම් අය/දේවල් (ආපහු ?) එයි කියල බලා ඉන්නව. ඒ සිතිවිල්ලෙන් එහාට එක අඩියක්වත් උස්සල ඉස්සරහට යන්නෙ නෑ.. ඒත් ඇතැම් අය/ ඇතැම් දේවල් ආපහු එන්නෙ නෑ... යථාර්ථය ඒකයි. ඒක දැන දැනත් අපි හිතන්නෙම අතීතයේ ගිලී ගිය දේවල් ආයෙ එයි/ලැබෙයි කියල..කාලය නාස්ති කරනව...
මට කොතෙකුත් අය හමුවෙලා තියෙනව... තාමත් ජීවිතේ සිද්ධ නොවුණ දේවල්..අද වෙයි..හෙට වෙයි..අනිද්ද වෙයි.. කියල හිත හිතා ඉන්න.. ඒත් එහෙම වෙන්නෙ නෑ.. අද අහස කලු කරල නැත්නම් හෙට වැස්ස එයි කියල බලාගෙන ඉන්නෙ කොහොමද ? හිතේ තියෙන දේවල් හිතෙන් එහාට යන්නෙ නෑ..දන්නෙම නැතුව ජීවිතේ ගෙවිල ගිහිල්ල.. පරණ වෙච්ච බලා‍පොරොත්තු ටිකක් එක්ක..
මෙහෙම හිත හිත ඉන්න කොට මොකද වෙන්නෙ ?

අපි එක තැන ලැග්වෙලා බාධක හදාගෙන ඉන්නව. ඒක අප විසින් ඇති කරන පීඩනයක්.. ඇතැම්විට අපටම..
මට මෙහෙම කියන්න හිතෙනව... " පින් සිද්ද වෙයි..අතීතයට අතීතය විදිහටම ඉන්න දෙන්න.." එතනින් ඉස්සරහට යන්න. මළවුන් නැවත කැඳවන්න ගියහම අළුත් අයට ලෝකයේ ඉඩ මදිවෙනව. මැරුණු අයට මැරෙන්න දෙන්න. හිතින්..ජීවිතයෙන්..මතකයෙන්...

ඕෂොත් කොහේ හරි එහෙම කියල ඇති කියල මට නිකමට හිතෙනව.. මට හීනෙන් වගේ එහෙම මතකයකුත් තියෙනව.

පරණ පොට්ටනි උස්සගෙන යනකොට ගමන වෙහෙසයි. back pack එක සැහැල්ලු කරගන්න මං නම් කැමතියි. කාලය වේගයෙන් ගෙවෙන තරමට ජීවිතේ ගිලිහෙන වේගයත් දැනෙන නිසා...
ඉටුවෙයි කියල තනියෙන් දකින හීන අතාරින්න දැන් කාලය ඇවිත්...
.............

(අපට පෞද්ගලිකව දුක් වේදනා දෙන, හානියක් වෙන, කිසිත් සෙතක් නොවන ඇතැම් දේවල් අප අත් නොහරින්නේ ඇයි ? මට ඒ ගැන මගේම තර්කයක් තියෙනව. වැඩි දෙනෙක් අකමැතිවන... ඒ ගැන තව සටහනකින්...වෙන වෙලාවක)

Friday, May 7, 2010

Asoka Handagama is BACK with a ǝɔuǝɹǝɟɟıD.. !







විදූ ගෙ සිංදුව පහු ගිය සටහනින් පළ කළහම ගොඩක් දෙනෙක් ඒකට කැමැත්ත ප්‍රකාශ කරල තිබුණා. කිහිප දෙනෙකු වැඩි විස්තරත් අහලා තිබුණා.

හඳගම 'ළමයින්ට හා තරුණයින්ට වඩාත් සුදුසු ' නව ආකාරයක සිනමා නිර්මාණයක් කරළ. ඒක කාටත් එළඹෙන ජුනි මාසෙ 18 විතර වෙනකොට නරඹන්න පුළුවන් වෙයි කියල කියනව.

පාසල් නොයන විදූ නම් දරුවාගේ ජීවිතය උඩු යටිකුරු වන ආකාරය මේ නිර්මාණයේ අන්තර්ගතය කියල එහි වෙබ් අඩවියේ සඳහන් වෙනව. ( ඒක ගැන බැලුවට පස්සේ කතා කරමු :-) )

මගේ ප්‍රියතම චරිතාංග නිළියක වන චාන්දනී සෙනෙවිරත්න සහ මගේ ප්‍රියතම නළුවා වන සෞම්‍ය ලියනගේ සමග ගාමිණී හෙට්ටිආරච්චිත්, අළුතින් සිනමාවට එක් වන තණිෂ්ක විමලරත්න, ශමිලා නිමන්ති ප්‍රනාන්දු සහ හිමසල් ලියනගේත් තවත් කිහිප දෙනෙකුත් රංගනයෙන් එක්වන මේ සිනමා පටය පවුලේ කාටත් නැරඹිය හැකි බවට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අවසරය ලබා ගැනීමත් රසිකයින් ලද ජයග්‍රහණයක් වෙනවා නොඅනුමානයි.

Wednesday, March 31, 2010

පීර පීර මං හෙව්වා... මගේ ලෝකයට වීරයෙක් !!

අද උදේ විද්‍යුත් තැපෑලෙන් සිංදුවක සද්දයක් ඇහුණා.. මේක ගැන මොනවද කියන්නේ ? කියලත් සිංදුවේ අයිති කට්ටිය/කෙනා අහනවා. මගේ කමෙන්ට් එක පැත්තක තියලා කට්ටිය එක්ක බෙදාගන්න හිතුණා ඉස්සෙල්ලම සිංදුව..‍


මේ ගැන මොනවද හිතෙන්නේ ??


දේවකතාවල
නිසොල්ලාසවල
අන්ධකාරයේ සිනමා පටවල
පීර පීර මං හෙව්වා
මගේ ලෝකයට වීරයෙක්...


ඉර ගිනි ඇවිලී
ලේ පැහැ ගැන්වී
ප්‍රාර්ථනාවන් ගිනිගත් සවසක
දූවිලි නගරේ දෙනෝ දහක් මැද
ඔබේ .............. හඬ ඇහෙන තුරා

සුපර් මෑන්ලා ස්පයිඩර් මෑන්ලා
හැරී පොටර්ලා...
වීරයෝ වුණා අපේ

නෙක දුක් ගැහැටින්
හෙම්බත් වූවත්
ජීවිතයේ වෙර අත් නොහරන දන
තරම් වීරයන් තවත් කොහේ වෙද
සීන් හඬින් ඔබ කියනා තුරුමත්

සුපර් මෑන්ලා ස්පයිඩර් මෑන්ලා
හැරී පොටර්ලා...
වීරයෝ වුණා අපේ

නටඹුන් වී ගිය ගල් කණු අද්දර
වංශකතාවල අකුරු පේළි යට
වල් බිහිවී ගිය ප්‍රාර්ථනාවට
දලු ලා වැඩෙන්න ඉඩ දෙන්න...

දස අත සෙවූවත්
මුණ නොගැසී ගිය
තමන්ගෙ ලෝකේ සැබෑ වීරයා
තමා තුළම හඳුණාගන්න

තමා තුළම හඳුණාගන්න
තමා තුළම හඳුණාගන්න

වැඩි විස්තර පසුවට..

Sunday, March 14, 2010

?

හදෙහි සිරව හුන් දිගු හැඬුමක් සේ
අහස කඩා වැටුණා
වසන් කරන දුක නිරුවත් කරගෙන
සුළඟින් හීගඩු සළු ඇඳුණා

එදා ළඟින් සිටි දොඩමළු පෙම්හිත්
මුනිවතටම අද පෙම් බැඳලා
දිස්වෙන තිරයට අදෘශ්‍යමාන වී
අකුරු පුවරුවෙන් සෙනෙහස මැකිලා

අකලට මිය යන නුහුරු හීනයක
සුදුමැළිවුණු පැතුමන් අහුලා
හෙට දිනයට යළි පහන් පුදන්නද
පේවී පඬුරක් ගැට ගහලා

Tuesday, March 9, 2010

අමතක මතකය


අතදරු පෙම මල්වර වී වියපත් වූ වග අමතක
දිනක් වේද නොසිතූවෙමි මට අමතක වන තුරාම
අතැඟිලි අතරින් රූටා කාලය යන ඉක්මණටම
දිවුරා කී මග නොගිහින් ඇයි අපි මේ උන් තැන්වල ?