Friday, November 28, 2008

පෙම්වතාගේ පෙම්වතියට..


අකල් හී පිබිදී ලිහී ගිය
මගේ මිහිරැති සිහින පොකුරම
වළ දමා පස් වසා නොනැගිටින බර තබා
සිනාසී සුබ පතමි කෝ දෑත් යුග දෙන්න

පණ වගේ නොවෙයි මා මගේ පණටත් වැඩිය
ආදරෙයි හැමදාම හෙටත් ඊයෙට වැඩිය
සඳයි තරු දකින දේ එළිය දන්නේ කොහොම
හිරු කොහිද පිසලන්න නෙතින් බට පිණි කඳුළ

ජීවිතය පිණි බිඳක් රැයෙහි තණ අග දිලෙන
රිදුම් ඇයි මේ තරම- නොඉවසයි දුබල හද
අවලාද නිම නොවන නොරිසි වේ තව දුරට
විඳගන්න ඉඩ නොදෙන සතුට දැන් ඔබ ගන්න

රුවින් මා අස වුවද හිතින් නුඹ හා ‍දොඩන
හිතින් මා ළඟ වුවද සැණින් නුඹ හද සිඹින
මගෙන් ගත් දේ වගෙද නුඹට දුන් පෙම් පිළිණ
ඉතින් මේ ආදරය තවත් මට උරුම නැත

තාත්තෙක් වගෙයි මං ආදරෙයි මගෙ මැණික
අසුරකින් මැකී ගිය වදන් හද පාරවන
සිප වැළඳ බඳ - පෙවූ මුව මී මතක
තෑගි කොට ලියා දෙමි මගේ අන්තිම පිළිණ

ආදරෙන් මං සුරැකි මගේ පෙම්වත් දෙවොල
පින් සිතින් බාර දෙමි පහන් දල්වා සුවඳ
සීරුවෙන් වාවගමි ගිලන් වූ මා සිරුර
මට අකැප වතාවත් වෙතින් නික්මී යන්න

ඉතින් ඇයි පමා තව ජීවිතය විඳගන්න
අගිල් දුම් සුවඳ පිරි දෙවොල මිණි හඬවන්න
ශෝකයේ රස වැරූ ඔබෙ රුවන් මැදුර වෙත
මගේ පණ සදිසි මා සුපෙම්වත ගෙන යන්න .

...

6 comments:

හේම ජයන්ත කොළඹගේ said...

හිත සසල කරවන අනුභූතියක්. ඇත්තෙන්ම මා ඔබගේ නිර්මාණයෙන් කම්පණයට පත්උනා. ඒමෙන්ම එහි අපූර්වත්වයක් වින්දා.ඔබට සුභපැගුම්

malee_msg said...

හරීම මොකක්දෝ හැගීමක් හිතට ආවා මේක කියෙව්වම.. ඇත්තටම...!ලස්සනයි

ආගන්තුකයා said...

මේකත් ජීවිතය තමා... අපි ප්‍රාර්ථනා ගොන්නක් කර තියාගෙන අන්තිමට ඒවා ඉටු කරගන්න බැරුව දුක් විඳිනවා... ආලයේ පිවිතුරු බව සහ අසුන්දරත්වය...

Anonymous said...

කියා ගන්න , වචන නැති තරමටම ලස්සනයි.
හැමදාම ලියන්න 'සු'

Bo said...

අක්කේ, කියවූ සැනින්, හිතට දැනුන, මතකයේ රැඳුන කවි පන්තියක්. "ආදරෙයි හැමදාම හෙටත් ඊයෙට වැඩිය" කියා ගන්න බැරි තරම් ලොකු සෙනේහයක් වදන් කීපයකින් විස්තර කළ අයුරු අපූර්වයි. දුක කැටි උනත් ඒ දුක තුලත් සුන්දරත්වයක් දකින්න මේ කව අපිට ආරාධනා කරනවා. මහා ලොකු වචන වලින් නොකියා සරලව කිව්වොතින්. පුදුම ලස්සනයි අක්කා ! නිතර ලියන්නකෝ

Ansh Lucky Sri Jay said...

එක පාරටම පොල්ලකින් ඔලුවට ගැහුවා වගේ දැනුනේ..
I was kinda shocked..!!