Wednesday, November 26, 2008

මෝසම් මුහුදේ පිහිණීම නොහොත් සමලිංගික ප්‍රේමය

හිත තැවෙන බොහෝ අවස්ථාවල හොඳ පොතක් කියවීම ඔසුවක් බව කවුදෝ කියා තිබෙනවා. මමත් එය පිළිගන්නවා. පොතක පිටු අස්සේ ගිලී ගිය විට බාහිර ලෝකය සමග සබඳතා බිඳී යනවා. හැඟීම් ප්‍රකාශනය දුර්වල වූ විටක අපේ හැඟීම් වෙනත් අය පැහැදිළිව දක්වා ඇති බව පෙනීමත් හිතට අස්වැසිල්ලක් ගෙන එන නිසා...

මං දෙපැයකට පෙර මෝසම් මුහුදේ පිහිණීම ට පටන් ගත්තා..ශ්‍යාම් සෙල්වදොරේ එක්ක.

"Swimming in the Monsoon Sea" ජේ.පී.වන්නිආරච්චි සිංහලට නගල තියෙනව.."මෝසම් මුහුදේ පිහිනීම" කියන නමින්. පරිවර්තන භාෂාව නම් ටිකක් ව්‍යවහරයෙන් ඈතයි වගේ දැනුණත් පොතේ අගට යද්දි භාෂාවෙයි සෝදුපත් දෝෂයි යටපත් වෙලා සංවේදීතාව ප්‍රබලවෙනව. පොතේ අන්තිම පිටුව වහද්දි අර කියපු දොස් ගැන වගක්වත් දැනෙන්නැති තරමට කම්පනයක් ඇතිවෙනව. සියුම් මිනිස් හැඟීම් එළිදරව් කරන්න ශ්‍යාම් කොයි තරම් විනයකින් කටයුතු කරල තියෙනවද කියන එක දැනෙනව. ඔතෙලෝ නළුවේ ඩෙස්ඩිමෝනාගේ චරිතයේ සිට කාෂියෝගේ චරිතය කරා අම්රිත්ව හැරවීම ඉතා සියුම් ලෙස කල්පනා කර කළ දෙයක් ලෙස අපට වැටහෙනව. කාෂියෝ කියන්නෙ අම්රිත්ගෙ ජීවිත රුචිය පිළිබඳ සංකේතයක් වගෙයි මට හැඟෙන්නෙ..

පවුල් අරගල තුළ ළමුන් මුහුණ දෙන අරගල සහ සාංකාවන් පිළිබඳ මෙවැනි සාහිත්‍යමය අත්දැකීමක් මයිකල් ඔන්ඩට්ජීගේ "Running in the Family" කෘතියෙනුත් හමුවන බව පැවසෙනවා. මා එය කියවා නැහැ.

මවගෙන් නොමිදුණු දරුවකුගේ භින්න පෞරුෂ ලක්ෂණත් තමන් පිළිබඳ සැබෑව තමා විසින්ම අනාවරණය කර ගැනීමත් සමග සංහිඳියාවකට පත්වෙමින් බාහිර ලෝකය හා එක්වන ආකාරයත් මේ පොතෙන් ආයාසයකින් තොරව දක්වා තිබෙන ආකාරය සිත්ගන්නා සුළුයි.

මෝසම් මුහුදේ පිහිනන්නන් ගැන කියන ශ්‍යාම් ලංකාවෙ පාඨකයින්ට අමුත්තෙකු නොවෙයි.

ඔහුගේ
" Funny Boy " කෘතිය " අමුතු ඉලන්දාරියා " නමින් සුගතපාල ද සිල්වා ශූරීන් අතින් සිංහලට හැරවුණා. එය හොඳම පිරිමි සමලිංගික නවකතාව (Best Gay Male Novel) ලෙස Lambda Literary Award දිනාගත්තා. කැනඩාවේ ප්‍රථම කෘතියට පිරිනැමෙන සම්මානයත් (Smithbooks/Books in Canada First Novel Award for 1994) දිනාගත්තා.

ඒ විතරක් නෙවෙයි. ඔහු විසින් ලියන ලද දෙවැන්න වූ Cinnamon Gardens කෘතිය ද රටවල් කිහිපයකදී සම්මානයට පාත්‍ර වුණා.

ශ්‍යාම්ගෙ තෙවන නවකතාව වන මෝසම් මුහුදේ පිහිනීමටත් සම්මාන (Lambda Literary Award in the Children's and Youth Literature category in 2006) හිමිවුණා.

සිංහල-දෙමළ මිශ්‍ර සම්භවයක් සහිත ශ්‍යාම් කොළඹ ඉපදිලා සිය පවුලේ උදවිය සමග වයස අවුරුදු 19 දි 1983 ජූලි කලබලත් සමග කැනඩාවට සංක්‍රමණය වූවෙක්. ඔහු ප්‍රකට ව සිටින්නේ සමලිංගිකත්වය වෙනුවෙන් නිබයව පෙනී සිටින්නෙකු ලෙසයි.මෙවැනි කෘතිවල ඇත්තේ ඔහුට ආගන්තුක අත්දැකීම් නොවන නිසාදෝ ඔහු ඉතා සංයමයකින් මෝසම් මුහුදේ පිහිනීම සිදු කොට තිබෙනවා. මෙම කෘතිය තුළැති මා සිත් ඇදගත් කරුණත් එයමයි.

මේ පොතේ මා සිත්ගත් දේ ගැන සටහනක් මිසක් විචාරයක් නෙවෙයි. අපූර්ව අනුභූතියක් නොවන නිසා විචාර සටහනකට යන්න තරම් සිතක් නැහැ.

අද පොත් කියවන දවසක් වෙලා. දැනට පොත් දෙකක් කියවා ඉවරයි. හවස මගේ කළණ මිතුරිය තවත් පොත් 3ක් ගෙනත් දීලා මා ගාව තිබූ පොත් දෙකක් රැගෙන ගියා. එක් පොතක් කියවීම ප්‍රමාද වෙන්නේ මගේ ලැප්ටොපය රත්වීම අවම කර ගැනීම සඳහා එම පොත මත තබා වැඩ කරන නිසයි. කොයි වෙලේ හරි පොතත් ගිනි ගනීවිද දන්නැහැ. එහෙම වුණොත් Rani Manicka ගෙ The Rice Mother ආපහුත් ගන්න වෙනව.

25.නොවැම්බර් 2008

-

9 comments:

malee_msg said...

මම මේ ලේඛකයාගේ පොත් කියවලා නැහැ මට මතක තරමින්.... ඔත්තුව දුන්නට ස්තූතියි...එක පොතක් හරි හොයාගන්න උත්සහ කරන්නම්

Anonymous said...

අමුතු ඉලන්දාරියා නම් මම කියව්වෙ. ඔය පොත මට දෙනවද?
මම ඉක්මනට එන්න ඕනේ පොත් ටිකක් ඉල්ල ගන්න

amal ishantha said...

Funny Boy නම් කියෙව්වා. අවු 3,4 කට කලින් වගේ මතක. ඒ පොත නම් පරිවර්තනය ලස්සනට කරලා තිබ්බ හින්දා කියෙව්වා.

Maduka Jayalath said...

ඔය සම්බන්ධව වර්ණවත් සිනමා පටයක් තියෙනවා "Brokeback Mountain" කියල

වැඩිවිස්තර සඳහා මෙතනට යන්න.
http://www.imdb.com/title/tt0388795/

Pathum Punchihewa said...

ඇත්ත...ශ්‍යාම් ඉතාම සංයමයකින් යුතුව තමන් පෙනී සිටින මතවාදය විතරක් නොවෙයි, සියුම් මානුෂීය හැඟීම් විවරණයට ලක් කරනවා. මම "funny Boy" කියවලා තියෙනවා. මේ පොතත් කියවන්න ඕන..දැනුවත් කිරීම ගැන ස්තුතියි සහෝදරයා. අද ආසියාතික සාම්ප්‍රදායික චින්තනයට නම් සමලිංගිකත්වය කියන්නේ ඈඟ හිරිවට්ටන මාතෘකාවක්... ඒත් ඊට යටින් පවතින සමාජ හැඩතලයන් සහ සියුම් හැඟීම අඳුනගන්න පුළුල් මනසකින් බලන්න ඕන...

සු said...

:D
:D
මෙන්න මට සහෝදරයා කියන තවත් සහෝදරයෙක් !

Anonymous said...

ලැජ්ජවෙන් ඇබරි ඇබරි පොත් දෙකම ගත්ත. Attatama matat mehema dewal hitila tiyanawa iskole yana kale. funny boy hodai. monsoon nam translation hoda madi. mewaye waradak matanam penne na adare nam satekuta kellekuta kollekuta eka ha samana wenna one. sex karaddi eka wenas wenava gay da straight da lesbian da bi da kiyala.

කාංචනා අමිලානි said...

අමුතු ඉලන්දාරියා තරම් මෝසම මුහුදේ පිහිනීම රසවත්ව පරිවර්තනය කරලා නෑ කියලයි මට හිතෙන්නෙ.නමුත් මේ පොත් දෙකටම මම කැමතියි.ඉංග්‍රීසි පොත් දෙකත් කියවන්න උවමනාව තිබ්බට තාම ගන්න බැරි වුණා.පුලුවනි නම් කාල් මලර්ගෙ පොත් ගැනත් යමක් ලියන්න.මාව නම් අධික ප්‍රහර්ෂයට පත් කරපු ලේඛකයෙක් තමයි කාල් මලර් කියන්නෙ.

කාංචනා අමිලානි said...

අමුතු ඉලන්දාරියා තරම් මෝසම මුහුදේ පිහිනීම රසවත්ව පරිවර්තනය කරලා නෑ කියලයි මට හිතෙන්නෙ.නමුත් මේ පොත් දෙකටම මම කැමතියි.ඉංග්‍රීසි පොත් දෙකත් කියවන්න උවමනාව තිබ්බට තාම ගන්න බැරි වුණා.පුලුවනි නම් කාල් මලර්ගෙ පොත් ගැනත් යමක් ලියන්න.මාව නම් අධික ප්‍රහර්ෂයට පත් කරපු ලේඛකයෙක් තමයි කාල් මලර් කියන්නෙ.