Sunday, March 23, 2008

හුදෙකලා ලියවිලි එපාවෙලා..

දවස් ගාණක් තිස්සෙ බි‍ලොග් එක පුස් කනවා මම ම බලාගෙන හිටියා. හරියට මාව බිත්තියේ එල්ලලා මමම ඒ දිහා බලාගෙන ඉන්නවා වගේ. කොපමණ සද්දෙට හිතුවත් සමහර වෙලාවට බිහිරන් ඉන්නා තැනක සද්ද කරනවා වාගෙයි දැනෙන්නෙ. කවුරුත් හුදෙකලා සටන්වල..ඉඳහිට විහිළුවක් කරන්න හිතුවත් ඇතැම් අය ඉතා බරපතල ලෙස කඩන් පනින කොට නිකන් කේශනාලිකා පවා ඇඹරිලා යනවා දැනෙනවා. ‍ඇතැමුන් හරිම official.භයානක විදිහට දරදඬුවෙලා. " අපිට විහිලු කළොත් අපි අකුලාගෙන යනවා" වගේ මෝස්තරේ අය...අම්මෝ .. මෙහෙම තැන්වල සමාජගත වෙනවාට වඩා හුදෙකලාවීම කොයිතරම් ‍හොඳද කියලා මට එතකොට හිතුණා..

ඒත් මේ තනි සටන් හරිම වියළියි වෙලාවකට..පරිගණක තිරේකට ඔරවගෙන ඉන්නවට වඩා හොඳයි එළියට බැහැලා ඔ‍හේ ඇවිදින එක. ඒත් අන්තිමට කළුවරත් එක්ක ගෙට ගොඩවෙලා ආයෙමත් වාඩිවෙන්න වෙන්නේ මේ හැඟීමක් දැනීමක් නැති තිරය ඉස්සරහාම තමයි.

මට බෑ ඒත් කිසි දෙයක් ලියන්න. පොඩි සසළවීමක් ඇති ඇතැම් දේවල් අපට එපාම කරවන්න. හරියට අස්ථාවර සමතුලිතතාවකින් යුත් වස්තුවක් ඉතා කුඩා කම්පනයකින් පවා සමතුලිතතාව බිඳගන්නවා වගේ..ඔව් මට ඇත්තේ බිඳී යන සමතුලිතතාවක් තමා මේ සයිබර් සම්බන්ධතා ඇතුළේ..ඉතාම කුඩා කම්පනයකින් පවා සසැළෙන...

මටම කියලා ලියන්න හිතක් නැතිවුණත් මට හිතුණා වෙන කෙනෙකුගේ සටහනකට එකතු වෙන්න. අනවසරයෙන් සරන්න තරම් විශ්වාසයක් තවම ඇත්තේ බෝගේ අඩවියේ පමණයි. කවියට පෙම් බඳින නංගී මේ සටහන තබා ඇත්තේ Friday, 7 March 2008 පෙම් කවක් ලියන්නට...Pem Kavi යනුවෙනුයි. මමත් ඊට හවුල් සටහනක් තබන්නට හිතුවා.

ඉස්සෙල්ලා බෝගේ පෙම් කවත් කියවන්න. ඉන්පස්සේ මේකත් කියවන්න..
අනිවාර්ය නෑ..
නිකං කම්මැලිකම යන්න.


බෝගෙ පෙම් කවියට
-----------------
වැලෙන් කොළෙන් පණ් මියැදෙන වෙලාවට
හිතක් එන්න නැතිදෝ වැහි වලාවට
ඉඳහිට දකින් නුඹ සිහිවෙන පමාවට
හීල්ලුවා රෑ දාවල් පුරාවට

බහක් දුන්නෙ මටමයි පෙර පුරුද්දට
වාරෙට වහින වැහි බක් මහ පුරාවට
කුරහන් පීදුනේ නුඹෙ වාසනාවට
සඳක් වෙලා පායන් වැව් තලාවට



මගෙන් ..
--------

හේන් හතක් කිරි වැදෙනා හිනාවට
පාන් වුණයි හිත පිරිලා ලිය රුවට
වාන් දමන වැවි දියවර සමානෙට‍
ආල හිතක් බැඳුණයි රන් මැණිකේට


ග‍ඟෙන් දියෙන් එහා ගියත් හීන ගොතා
සඳක් ‍වෙලා උන්නත් දුර වෙවී පමා
හිතක් කොහෙද ඉන්නට නුඹ පැලේ දමා
සඳ එළියෙන් සැනහීයන් මගේ ළමා

--

2 comments:

Kanishka said...

"ඇතැමුන් හරිම official.භයානක විදිහට දරදඬුවෙලා. " අපිට විහිලු කළොත් අපි අකුලාගෙන යනවා" වගේ මෝස්තරේ අය...අම්මෝ .. මෙහෙම තැන්වල සමාජගත වෙනවාට වඩා හුදෙකලාවීම කොයිතරම් ‍හොඳද කියලා මට එතකොට හිතුණා..ෑ

ඒ ටික හරියට හරි. පුද්ගල සම්බන්ධතා ගනුදෙනු වලට පමණක් සීමා වුනාම ඔය දෂවෙනවා කියලයි මට හිතෙන්නෙ

Anandawardhana said...

විවිධ අයගේ නිශේධනාත්මක ප්‍රතිචාරවලින් සැලෙන්න නම් එපා. තනියම සීරියස් වෙන අය ඔහෙ හිටපු දෙන්! මේ බ්ලොග් අඩෙවිය පුස් කාකා තිබුනු බව නම් මම පිලිගන්නෙ නෑ :D pls check your visitor stats.

මම හැම දා ම උදේට කියවන බ්ලොග් කීපයෙන් එකක් මේක, ඔබ අලුතින් ලිව්වත් නැතත් මම නම් කවියක් දෙකක් කියවලා ලිපියක් නරඹලා ප්‍රතිප්‍රානකරනය - revitalize - වෙන්න මෙතනට එනවා. මෙතන ප්‍රතිචාරයක් ලියන්න බැරි වුනේ ඔබ වැඩිපුර කවි (නිර්මානාත්මක දෙවල්) පල කල නිසාත් එවැනි දේට දෙතුන් වරක් වත් සවිවේකීව නොකියවා ප්‍රතිචාර ලිවීමෙන් අසාධාරනයක් සිදු විය හැකි නිසාත් පමනයි.