Saturday, March 1, 2008

ලස්සන ගෙදර, අවශ්‍යතා සහ අවරසිකත්වය

අනුන්ගෙ ගෙවල් ගැන රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය කරන හිතවතෙකුගෙ ඒ වැඩ සටහන් මාලාවෙ 50 පිරෙන දවසට මං එයාට සුබ පතලා ඇරියා..මෙන්න මෙහෙම කියලා...මේ ඒ සම්පූර්ණ ලියුමම නෙවෙයි. මෙහි පළ කරන්න හිතාගෙන සංස්කරණය කළ, නමුත් මට කියන්නට හිතුණ දේ ඉතා කෙටියෙන්..
------------------------------------------------------------------------------------------

ඉස්සර කඩේකට ගිහින් ඉල්ලන්න වුණේ සබන් කෑල්ලක් වුණාට අද කඩේකට ගිහාම අහන්නේ මොන සබන් ද ඕනෙ කියලා...තෝරා ගැනීම් අනන්ත අප්‍රමාණ වෙන කොට, අවශ්‍යතාවන් අසීමිත වෙන කොට, වෙළඳපොළ ප්‍රසාරණය වෙනවා‍. මේ‍කෙ මුල මැද අග මාරු වෙමින් සිද්‍‍ධ වෙන්නෙ එකම දේ‍. අවශ්‍යතා තෘප්තිමත් කරන භාණ්ඩත්, භාණ්ඩ තෘප්තිමත් කරන අවශ්‍යතාත් විදිහට‍. මේ‍කෙ මුල නිශ්චිත නෑ. කිකිළි ද බිත්තරේද මුලින් ආවෙ වගේ එකක්. එහෙමත් නැත්නම් වක්‍රයක්. ..කොහොම වුණත් මාක්ස් කිවුවෙ මේ දෙකම ධනේශ්වර ක්‍රමයෙ බිහි කිරීමක් කියලා..ඒත් අද අපේ අවශ්‍යතා කියන්නෙ අ‍පේ ස්වාධීන තේරීමක් හෝ අපට ඇත්තටම ඇවැසි දේ නෙවෙයි. අපේ අවශ්‍යතා තීරණය කර දී තිබෙන්නේ වෙළඳ පොල විසින් කියන එක අපේ සමහර අයට තාමත් තේරෙන්නෙ නෑ.

ස්වභාවයෙන්ම අනුකරණයට හුරු වූ මිනිසාගේ එම පුරුද්දෙන් ඇති තරම් ප්‍රයෝජන ගනිමින් මිනිස් ආසාවන් අසීමිත ලෙස නිර්මාණය කිරීමේ ප්‍රොජෙක්ට් එක අද නොම්මර එකට කරගෙන යන්න අපේ රූපවාහිනී නාලිකා සමත් වෙලා තියෙනවා.

ඉතින් අපිත් රූපවාහිනී කැමරාවෙන් ඔලුව ස්ක්‍රීන් එක ඇතුළට ඔබාගෙන අනුන්ගේ ගෙවල් දිහා බලමින් අපේ හීන හදන වැඩ සටහන් තමා..ගෙවල් හදන හැටි අපට කියා දෙන වැඩසටහන්

අනුන්ගේ ගෙවල් දිහා කට ඇර‍‍ගෙන බලන් ඉන්න එක අතෑරලා..මේ රූපවාහිනී වැඩසටහන් පඨිතයක් (text) කියල හිතාගෙන කියවන්න (අර්ථ සම්පාදනය කරන්න පු‍ළුවන් වෙන්න) උත්සාහයක් ගත්තොත් අපට මොනවා පෙනේවිද ? Roland Barthe කියලා තියෙන විදිහට රූපවාහිනී පඨිතයක් කියන්නෙ තනිකරම ප්‍රේක්ෂකයාගෙ සම්පාදිතයක්. අපි බලන් ඉන්න මේ පඨිතයට තේරුම් දෙ‍න්නෙ අපියි.

මේකත් ඔලුවෙ තියාගෙන මේ වැඩසටහන් දිහා බැලුවහම මට නම් ඇත්තටම මේවා පේන්නෙ අදාල රූපවාහිනියට ලාභයක්, අනුග්‍රාහකයින්ට ප්‍රචාරයක්, වෙළඳපොළ ප්‍රසාරණයක්, අදහස් ප්‍රකාශකයින් සම්පත් දායකයින්ට සෝෂල් වැලියු එකක්, ගෙවල් අයිති අයට සමාජ තත්වයක්, බලන අයට ආසාවක්,
-ජීවිතය භාණ්ඩ කෑදරකමක් දක්වා ආසාව විස්ථාපනය කිරීමක්
-රූපවාහිනී පඨිතය හදන සිහින පොකුර යථාර්ථයක් බවට පත් කර ගැනීමේ නොහැකියාව ගැන වේදනාවක් (අපිට කොයින්ද සල්ලි..)
-කාලය උදුරා ගැන්මක් (උයන්න-පිහන්න-එකට කන්න- ගමනක් යන්න-කියවන්න-ලියන්න-නාන්න-මූණ හෝදන්න-ආදරේ කරන්න----තියෙන වෙලාව)...

ඉතින් ලස්සන, මාර, ටොප් ක්ලාස්, නියම, අමුතු, ආර්ට්, ක්ලැසික්, කලාත්මක..වගේ දේවල් වචනයෙන් පිට කරන ගමන් අපි මේවා දිහා බලා ඉන්න කොට ඒ වචන සෙට් එක පිටවෙන සද්දෙ ‍අපේ වුණාට ඒ වචන ඇත්තටම හැදුනෙ අර තිරය එහා ඉන්න ‍අයගෙ ඔලුවෙ කියන එක අපට අමතක වෙනවා. අපි හිතන්නෙ ඒවා අපේ ම සිතිවිලි කියලා...අපි තාමත් ඒව දිහා බලන් ඉන්නවා..ඒ කියන්නෙ අපි තාමත් එයාලගෙ ලණුව ගිලිමින් ඉන්නවා..ඉතින් හිස් තඩි කල, මැටි පෝච්චි, යකඩ දොර බෝල, චීන මල් පෝච්චි, ප්ලාස්ටික් මල් වැල්, දවාලටත් දැල්වෙන විසිතුරු ඉටි පන්දම්...ඕවා දිහා බලන් අපි හීන හදාගෙන හදාගෙන යනවා.

ගේ ඇතුළෙ ලොකු කලෙක්ෂන් එකක්. art/art object කියලා තමා ඔලුවට යන්නෙ. ඒවා එක්ක තව මොනවද තියෙන්නෙ

අද අපි ගෙයක් හදන් න ගිහාම, දන්න හැම එකටම එබිල බලල, දන්න කියන අය පරද්දන විදිහේ, අනිත් අය සලිත කරවන අන්දමේ ගෙයක් හදාගන්න තමා වැඩි දෙනා ට්‍රයි කරන්නෙ. ටයිල්ස් ලංකාවෙ. ෆිටින්ග්ස් අමෙරිකාවෙ‍. බල්බ් ඉතාලියෙ. පිඟන් බඩු එංගලන්තෙ‍‍.පේන්ටින්ග්ස් යුරෝපයේ.මල් පෝච්චි චීනෙ. ඉර හඳ නුවරින්. අපි හද්ද ගො‍ඩේ වගේ දෙයක් තමා ගෙයක් ඇතුළට එබුණොත් පේන්න තියෙන්නෙ. ඉලෙක්ට්‍ර්ක් බඩු, සැප පහසු පුටු ඇඳන්, ජනෙල් දොර තිර, ඉඳුල් බිංදුවක්වක් නැති ලස්සනම ලස්සන පිඟන් කෝප්ප, හැඳි-ගෑරුප්පු, මාළු ටැංකි, කිසිදාක බිමට බැහැල සෙල්ලම් කරල නැති බෝනික්කො, ටෙඩී බෙයාර්ල, පරිග‍ණක, කො‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ළ පෑන් පැන්සල්වලින් හැඩි නොවුණ මේස, වගේ ‍දේවල් එක්ක මේ art object පෑහෙන්නෙ කොහොමද ? focus වෙන්නෙ කොහොමද?

එහෙම ෆෝකස් වෙන දේවල් target කරන්නෙ මේ රටේ බහුතරයක් සාමාන‍‍‍්‍ය මිනිසුන්.

දැන් පොඩි theoy part එකක් ගේමු.

" ‍ප්‍රේක්ෂකයා හෙවත් audience යන පදයට පර්යාය ලෙස....
නරඹන්නා (viewer ) සහ පාඨකයා (reader) යන පද භාවිත වෙයි. මේ පද ඒකවචන ලෙස යෙදුණද ඒවායේ අර්ථ බහුවචන ය. ප්‍රේක්ෂකයා යනුවෙන් පොදුවේ දක්වන කල ඉන් තේරුම් ගන්නේ සම ජාතීය මිනිසුන් සමූහයක් නොවේ. කිසියම් වැඩසටහනක් නරඹා එයින් එකම ගණයේ අර්ථයක්, පණිවුඩයක්, මතවාදයක් ලබා ගන්නා නිෂ්ක්‍රීය පිරිසක් ද නොවේ. "


ඉතින් මේ විෂම ජාතීය ‍ප්‍රේක්ෂකයා මේ වැඩසටහනෙන් අර්ථ දක්වා ගන්නෙ කියවා ගන්නෙ මොනවද ? එහෙම නැත්නම් කොහොමද ?

-මේ වැඩසටහන් focus කරන්නෙ එක්තරා පංතියක එක්තරා තත්වයක්
-මේවායින් දේවල් මිලදී ගැනීමේ - අයිති කර ගැනීමේ හැකියාව ඉහළ මධ්‍යම පංතික සුළුතරයකට තියෙනවා.
-ඔරිජිනල් දේ නියම තැනින් මිලදී ගන්න බැරි අය ඩුප්ලිකේට් වස්තූන්වලින් සෑහීමකට පත් වෙනවා
‍මේවායින් පෙන්වන දේවල්වලට කාර්යයක් (role එකක්) තියෙනවා. ඒවා, ඒවා අයත් පංතිය වෙනුවෙන් කෘත්‍යාත්මකව පෙනී සිටිනවා.
-පඨිතය තුළින් ඒවා අගය කරමින්, අනිත් අයට පිළිගන්වමින් ස්වාභාවික හා සාමාන්‍යකරණය කරනවා

දැන් ඔබ හිතන්න එපා මෙය මගේ මනෝ විකාරයක් කියලා. ඉතින් මේවා සාමාන‍්‍ය දේවල් නම් ඇයි මේ කැමරාව එක ළඟ ගෙවල් කීපයකට නොගිහින්, තෝරා ගත් ගෘහ නිර්මාණ ශිල්පීන් ඇසුරු කරමින් නුවරින් එකයි, කෝට්ටෙන් එකයි, නාවලින් එකයි, කොල්ලුපිටියෙන් එකයි.....වගේ ගෙවල් හොයමින් යන්නෙ ?

නමුත් මේ වැඩසටහන්වල පෙනී ඉන්න අයම අපට කියනවා..මේවා අනුකරණය කරන්න බෑ කියලා..එහෙනම් ඇයි අපි මේවා දිහා බලා ඉන්නෙ..අනුන්ගේ ගෙවල්වලට එබිලා ශ්‍රී විභූතිය ගැන, වැසිකිළිවලට එබිලා පිරිසිදු කම ගැන, බෙඩ්රූම්ස්වලට එබිලා සැනසීම ගැන, කුස්සියට එබිලා ක්ලාස් එක ගැන ..පහන් සිතින් සතුටු වෙන්න තරම් අප දියුණු හින්දද ? අනුකරණය කරන්නත් බැරි, වියදම් කරලා අත් පත් කර ගන්නත් බැරි දෙයක් වෙනුවෙන් අපි සෑහෙන කාලයක් වැය කරමින් ඉන්නවා.

දැන් අපි දන්නවා අපිට ඒ වගේ ගෙයක් අයිති කර ගන්න බැහැ කියලා. ඒත් සිහින තවම ඉවර නෑ. ඊ ළඟට මේ පඨිතය අපිට කියනවා..බලන්න මේ ගෙවල් ඇතුළෙ තියෙන දේවල්..ඒවා ඔයාලට සල්ලිවලට ගන්න පුළුවන්නෙ...මොකද මේ පඨිතය දන්නවා මේක දිහා බලා ඉන්න හැමෝම ගෙවල් හදන අය නෙවි කියලා..ඉතින් එහෙම අයව පො‍‍ළඹනනවා මෙන්න ඔයාලගෙ ගෙවල් ඇතුළ ලස්සන කරන භාණ්ඩ (objects) මේවා අරගන්න...කියලා.

ඒ අතරේ යන වෙළඳ දැන්වීම්වලින් තව තව භාණ්ඩ අළෙවි කරනවා
context එකෙන් සමාජ පරමාර්ථ, ආසාවන්, මානසික අවශ්‍යතා ගොඩ නගනවා

ඒක අපි මෙහෙම කියමු

මධ්‍යම පාන්තික ආසාවන්, අභිලාසයන් නිෂ්පාදනය කරලා ඒවා ආයෙම වෙළඳ දැන්වීම්වලින් පුනර්නිෂ්පාදනය කරනවා..

ලස්සන, අලංකාරය පිළිබඳ මධ්‍යම පංතික ආසාවට වෙළඳ පොළක් හදනවා. එහෙම නැත්නම්..වෙළඳ පොළට විෂයක් හදනවා.
අවශ්‍යතා ගොඩ නැංවීමක් කරනවා
ආසාව වර්ධනය කරනවා
ඒ ආසාව කෑදර කමකට විස්ථාපනය කරනවා
ජීවිතයට බලෙන්ම අර්ථ හා ඉලක්ක නිර්මාණය කරනවා

දැන් ඔබ කියයි.. ඔයාට විකාර. අපි ලස්සන දේවල් ගන්නෙ ඕවා බළලා නෙවෙයි. අපිට කැමති නිසා. අපි කලාත්මක දේවල්වලට ආසයි ඒකයි..වගේ උත්තර.

දැන් ඔන්න ආයෙමත් theory part එකක්. ඒ තමයි කලා කෘති සම්බන්ධ Hanna Arendtගෙ විග්‍රහය.

කලා කෘති කියන්නෙ පරිභෝජනය කිරීමේ ක්‍රියාවලියෙනුයි, කා දැමීමේ (used up) ක්‍රියාවලියෙනුයි හිතාමතාම ඉවත් කරවලා, මානව ජීව අවශ්‍යතා පිළිබඳ පරිමණ්ඩලයෙන් ඈත් කොට හුදෙකලාව තබන දෙයක්..සාපේක්ෂ ස්ථිරතාවක් තියෙන දෙයක්..අවසානයේදී සදාකල් පවත්නා දෙයක්..ඉතිහාසයක් හරහා ආපු දෙයක්..අර්ථයක් ඇති දෙයක්...


දැන් එතකොට අපට තේරෙන දෙයක් තමා අපේ ගෙවල් ඇතුළෙ තියෙන්නෙත් මේ හැනා කියපු විදිහෙ පිලස්තීනු ලක්ෂණ කියලා. අයිති කර ගන්න බැරි කලාවට ව්‍යාජ අයිතිවාසිකම් කියා පාන..හැම දෙයක්ම ද්‍රව්‍යමය අගයන්ගෙන් මනින..ආසන්න ප්‍රයෝජ්‍ය වටිනාකමෙන් මනින..අවරසිකත්වයක්.

කාලයත් එක්ක සංස්කෘතියට (කලාවට) තියෙන උනන්දුව අළුත් වෙන කොට උසස් කියල සමාජ සම්මත තත්වය (status) , ගරුත්වය, නම්බුව ලබාගන්න හිතූ පිලස්තීනුවන් මුදලට ඒවා හුවමාරු කර ගත්තා. එතකොට පිළිමතලාවෙ හදන පිත්තල පහන්, බන්දේසි, ඉර-හඳ, කැටයම් කළ මල් පෝච්චි, හැඳි, හැ‍‍ළි-වළං, පිළිම දවස් ගණන් මිදුලෙ, පිළිකන්නෙ, ලිප් බොක්කෙ වළලලා තියලා පරණ පාට (ඇන්ටික්) ගැහුණාම ගොඩට ඇවිල්ලා, මධ්‍යම පාංතික නාගරික සල්ලිවලට මාරු වෙලා, ගෙවල්වල ස්තෝප්පු, බිත්ති, සාලෙ, කාමරවලට තත්වයයි නම්බුවයි ගෙනාවා. ‍ ආයෙම මේ පඨිත හරහා ඒවා විසින් ගොඩනගන ලද සංකල්ප ඒවා නර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඹන අයගෙ ඔලු ඇතුළෙ ස්ථාන ගත කරනවනවා. මේ පඨිත එහෙම පිටින්ම මානසික නිෂ්පාදන මාර්ගයක් නෙවෙයිද ?

දැන් ටිකකට කලින් මං කිවුවනේ මේ දේවල් ඒ ගෙවල් ඇතුළෙ කෘත්‍යාත්මකයි කියලා. කැමරාව විසින් focus කරන මේ (objects) විසින් තමා අද නිකමුන්ට ස්වයං උත්කර්ෂයක් ( self glorification) ලබා දෙන්නෙ‍. වටිනාකමක් අ‍ඩුයි කියල හිතෙන මිනිස්සුන්ට ස්වයං පරිපූර්ණත්වයක් ලබා දෙන්නෙ.

ඉස්සර නිශ්චිත අවකාශයකට බැඳී තිබුණු දේවල් අද ඒ ව්‍යුහයෙන් අහස් ගත වෙලා සමාජ හා පුද්ගල අංග සම්පූර්ණත්වයක් ඇති කරන දේ බවට පොලා පැනලා. සරළව කිවුවොත්, පන්සල්වල තිබුණ ඉර හඳ සේසත් චිත්‍ර සාලෙට ඇවිල්ලා.. කල, පෝච්චි දොරකඩට කොරිඩෝවට ඇවිල්ලා..ගෙදරට එකතු කරන මේ දේවල්වලින් එකම අවස්ථාවෙම social spiritual(තත්වය), material(ලා‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍භය) කියන sides එක පාර අයිති කර ගන්නවා.

කලා කෘතියක තත්වයෙන් පරිභෝජන වස්තුවකට පොලා පැනපු මේ ඔබ්ජෙක්ට්ස්වල යථාර්ථය තේරුම් නොගත් මිනිසුන් කිහිපදෙනෙකුගේ මේ විකාරය වැඩසටහන් හරහා සමාජ ගත වෙන්න පටන් ගන්නවා. ‍පුංචි මැටි කලයක් හරි පෝච්චියක් හරි ගෙනල්ලා ගෙයි මුල්ලක රඳව ගන්න මිනිසුන් පෙළඹවීම ගැන මට මහත් සංවේගයක් ඇතිවෙනවා. රූපවාහිනීවල කට්ටිය නම් මේ ධනවාදී ව්‍යාපෘතිය ඇතුළෙ සෑහෙන්න තෘප්තියක් ලබනවා.

දැන් මේ වෙනකොට අපි ජීවත් වෙන්නෙ video sphere එකක් ඇතු‍ළෙ..ප්‍රදර්ශනාත්මක (narcissistic) ආසාව agony එකක් වෙලා ඉවරයි.
මේ ගෙවල් ඇතුළෙන් මතුවෙන
-art object එකකට තමා කළ භාව විෂයික පරිශ්‍රමය ගැන හා ආයෝජනය ගැන ආඩම්බරයට පත් වෙන අය,
-යමක් තුළ එයටම අයත් ගෞරවයන් හා නෛසර්ගික වටිනාකමක් ඇතැයි සිතා එයට බැඳීමක් ඇති කර ගන්නා අය
යන මේ සියලු දෙනාගේ විකාර පුරුදු විචාරයක් නැතුව සමාජය ඇතු‍ළෙ seriousභාවයට පත් කරලා සැලකුම් අරන් දෙන්න මේ පඨිතයන් ක්‍රියා කරන විදිහ තමා මට මේ වැඩසටහන්වලින් පේන්නෙ‍.

අළුත් කිය කියා මොන චැනල් එකට දැම්මත් අන්තිමට හැඩය-පාට-පිළිවෙල-පෙනුම-නාමකරණ විතරක් වෙනස් වෙලා පරණ එකම වැඩසටහන තමා පෙන්වන්නෙ
හරියට පරණ ශරීරයකට අළුත් ඇඳුම් ටිකක් අන්දලා අනික් අයට කළින් ඉස්සර වෙලා දුවනවා ව‍ගේ වැඩක්..

Additional,

3 comments:

Anandawardhana said...

ඉතා වටිනා ලිපියක්. හැම වෙලේම ප්‍රතිචාර නොලීවත් ඔබේ බ්ලොග් එක මම නිතර කියවන පමනක් කොව දේවල් ඉගෙනගන්නා, හිතන්න පොලඹවන පිටුවක් බවට පත් වෙලා.

ජය!

Bo said...

රූපවාහිනී වැඩසටහන් බලද්දී අද මට පේන දෙයක් තමයි, "බලෙන් ඇන්දවීම සහ තම කැමැත්තෙන් ඇඳ " ගැනීම, ඔය එස් එම් එස් මගඩිත් ඒ වගේ තමයි, ඉතාම වටිනව අක්කේ මේ ලියවිල්ල, පුදුමෙ කියන්නේ, මේ නාලිකා වලින් ඉලක්ක කරන්නේ සමාජයේ එක ස්තරයක්, ඒවගේම ඒ පන්තියේ මහා විශාල පිරිසක් ඉන්නවා (සුළු හා මද්‍යම පාන්තික ), ඒකයි මේවා මාකට් වෙන්නේ.මේක සමාජයේ "මීඩියා මගඩි නාටක" හොඳාකාරව වටහා දෙන ලියවීමක්. ස්තූතියි

Kanishka said...

ඔබේ බ්ලොග් අඩවියෙන් බොහොමයක් දේවල් ඉගෙන ගත්ත බව කියන්න ඕන. මෙච්චර කාෙකට ප්‍රතිචාර පල කරන්න බැරි වුනත් බොහොම ආසාවෙන් ඔබව දිගටම කියවපු බව කියන්න අවශ්‍යයයි. දිගටම ලියාගෙන යන්න.