Wednesday, March 26, 2008

The Art of Copying or Copying Others' Art

පොඩි කාලෙ ගෙවල්වලට ගියහම කතා කරන්න දෙයක් නැති නිසාත්, අපටත් ප්‍රකාශ කරන්න අදහස් ඇතියි කියා කවුරුත් ඒ තරම් ගණන් නොගත් නිසාත් අහුලාගත් පත්තර කෑල්ලක් හෝ පොතක් කියවමින් නැත්නම් වට පිට නිරීක්ෂණය කරමින් ඉඳීමේ පුරුද්දක් ඇතිවුණා. ඔය කටාක්ෂ නිරීක්ෂණයට හසුවූ එක් දෙයක් තමයි මේ බො‍හෝ ගෙවල්වල මෝනාලීසාගෙ පින්තූරයක් තිබුණ බව. ඉතින් අපට එහෙම මෝනා ලීසාව හැම තැනකදිම වගේ දකින්න ලැබු‍ණෙ කවුරුන් හෝ විසින් මෝනා ලීසා ගෙ ඔරිජිනල් පින්තූරය ප්‍රතිනිර්මාණය කර ඉන් පිටපත් අසංඛ්‍ය සංඛ්‍යාවක් බෙදා හැර තිබූ හින්දයි. ඉතින් එහෙම නැත්නම් ඹය ලෝක ප්‍රසිද්ධ බොහෝ නිර්මාණ දැක බලා ගන්න අපට ලෝ‍‍කෙ වටේ යන්න වෙනවා. සීගිරි චිත්‍ර හෙම බලන්න ලෝකෙම අයට මේ පුංචි ලංකාවට එන්න වෙනවා.

ඉතින් ඒ කාලෙ මෙහෙම ලෝක ප්‍රසිද්ධ නිර්මාණ අපේ ඇහැට දැක බලාගන්න ලැබෙන එක පූරුවෙ වාසනාවක් කියලා හිතුණා.

ඒ කාලෙ චිත්‍ර අඳිනවාය කියන එක අපට නුහුරු වෙනත් කොහෙදෝ ඉන්න යම් පංතියකට උරුම වූ දෙයක් ය වාගෙ පූජනිය හැඟීමකුත් තිබුණා. මේ පූජා භාණ්ඩවලට තිබුණු ආනුභාවය හා ගෞරවය නිසාම මමත් ඒ වගේ ප්‍රතිනිර්මාණ කරන්න පුරුදු වුණා. ජෝර්ජ් කීට් ශිල්පියාගෙ පන්සල් චිත්‍ර අපේ ගෙදර බිත්තිවලට ආවෙ එහෙමයි.

මට චිත්‍ර අඳින හුරුව ආවෙ අපේ අම්මගෙන් වෙන්න ඇති. ස්කෝලෙ යද්දි බස්නාහිර පළාතෙන්ම පළමු තැන දිනූ අම්මගේ සහතික දකිද්දි මට එහෙම හිතුණා. ඒත් ‍පාසල් යන කාලෙ චිත්‍ර පන්තියකට යන්න තිබුණු ආසාවට ‍අනුබලයක් නොලැබුණ නිසා ඇතුළෙ හිටි චිත්‍ර අඳින්න ආසා ළමයා තරහා වුණා. ලියන්න ඉගෙන ගන්න කාගෙවත් අවසරයක් ඕන නොවුණ නිසා එයා විතරක් ඉතිරි වුණා.

මෙහෙම චිත්‍ර ප්‍රතිනිර්මාණය කිරීම ඒ කාලෙ ආස හිතෙන වැඩක් උණත් පස්සෙ ප‍ස්සෙ ඒ ගැන නොයෙකුත් විසදාගන්න බැරි ප්‍රශ්න හිතේ රළ ගහන්න පටන් ගත්තා.

විහාර මහා දේවි උද්‍යානයේ වැට රවුම, කොළඹ වි.වි.යේ ජිම් එක, වැට දිගට, කලා භවන, ලයනල් වෙන්ඩ්ට්, බෙයාර් ෆුට් ගැලරි, දැන්නම් රෙඩ් ඩොට් තීර්ථ ගැලරි වගේ තැන්වල චිත්‍ර ප්‍රදර්ශන බලන්න යාමේ ප්‍රතිඵලය තමා ඒ.

එකක් මේ චිත්‍ර ඇඳිල්ලයි චිත්‍ර බැලිල්ලයි ගැන...
ඒ ගැන වෙනම සටහනකින් කතා කරන්න හිතන් ඉන්නවා

මේ කතා කරන්නේ චිත්‍ර ප්‍රතිනිර්මාණය ගැන

මුලින්ම මගේ හිතට ආවේගයක් ආවෙ විහාර මහා දේවි උද්‍යානයේ වැට දිගට ඇවිදගෙන යද්දි විදෙස් ශිල්පිියෙකුගේ චිත්‍රයක් විකුණන්න ඒකේ වැටේ එල්ලලා තියෙනවා දැක්කහමයි. දෙවනුව මට මිතුරෙකු කීවේ කොළඹ ප්‍රසිද්ධ ලලිත කලායතනයක ජනප්‍රිය වූවන් අඳිනා චිත්‍ර ඇතැම් විදෙස් පොත් පත්වලින් පෙන්විය හැකි බවයි.

පස්සෙන් පහු දවසක බෝ මට කතා කරලා කිවුවා ගන්ධාර එකේ චිත්‍ර ප්‍රදර්ශනයකට ආරාධනාවක් තියෙනවා පුළුවනි නම් ගිහින් එයා වෙනුවෙන් පෙනී හි‍ටින්නය කියලා. ඉතින් මමත් සහෘද සිතින් කියලා හිතාගෙන ඒ පිළිබඳව පොඩි ප්‍රචාරයක් හෙම ඇරලා චිත්‍ර නරඹන්න ගියා. බැලූ බැලූ අත එක් එක් වර්ගයේ චිත්‍රය දෙක බැගින් තිබුණා..එක් එක් ශෛලියේ ඒවා කිහිපයක්...

ඒවා ගැන මගේ අදහස මං ඇවිත් බෝ ටම දුන්නේ නිර්මාණ ශිල්පියා එහි නොසිටි හින්දයි.

එතනින් මගේ ඇහැ වඩාම ගියේ මට හොඳට දැක පුරුදු Diego Rivera ගෙ Nude with Calla Lilies කියන චිත්‍රයේ ප්‍රති නිර්මාණය වෙතටයි. මං එහි හැම තැනම බැලුවා එහි නියම අයිතිකරුගේ නම කොහේ හෝ සටහන් වී ඇත්දැයි කියා.නමුත් තිබුණේ අපේ හිතවතාගේ අත්සන පම‍‍ණයි. වර්ණ සංයෝජනය, සංකලනය, රේඛා සියල්ල වෙන කෙනෙකුගේ...නම දැන් වෙන කෙනෙකුගේ... මට නම් දැනෙන්නේ වේදනාවක්.

ඉන් පසු මම ගියා ගන්ධාරය ඉදිරිපිට ඇති කලා කෘති පරිභෝජනය පිණිස සකස් කළ වෙළඳ සලකට. එහි හැම බිත්තියක්ම පාහේ චිත්‍රවලින් සරසා තිබුණා. ඇතැම්වා විකිණී අවසන්. ඊට පසුදින් මා තව මිතුරියකට ඇදුම් ගැනීම පිණිස ගියා පාමංකඩ වෙළඳ සලකට.. එය සරසා තිබුණේ මෙහි දැක්වෙන K. Kasse ගෙ සහ Isabelle Vital ගෙ චිත්‍රවලින්. නමුත් කොහෙවත් නමක් නම් තිබුණේ නෑ. එහි වැඩට හිටි ගෑනු දරුවන් කිවුවා “ අපේ සර්ගෙ යාලු‍වෝ වගයක් ඕවා කරන්නේ, සල්ලි දීලා තමයි ගන්නෙ” ව‍ගේ කතාවක්. ඕවා පිලස්තීනු වැඩ..

අපි කෙනෙකුගේ කවියක්, කතාවක්, ලිපියක් වෙනත් නමකින් තියෙනවා දැක්කාම මරාගන්න යන පුරුද්දක් ඇතිවුණත්, වෙනත් කෙනෙකුගේ නිර්මාණයක් අපේ නමකින් දමා නොගන්නෙත් නීතියෙන් යම් අයිතියක් නිර්මා‍ණකරුවාට තියෙන නිසා නෙවෙයි. ඒක සදාචාරය පි‍ළිබඳ එහෙමත් නැත්නම් හෘද සාක්ෂිය ගැන විචිකිච්ඡාවක් මිනිසුන් වශයෙන් අප තුළ ඇති නිසයි.

දැන් මෙහෙම අනුන්ගේ චිත්‍ර තමන්ගේ වගේ ඇඳ අනික් අය ඇන්දවීම අපේ රටේ ඇතැම් චිත්‍ර අඳින්නන්ට පුරුද්දට ගිහින්.. මම මේක වැරදියි කියලා එක පාරට කිවුවොත් ඔබ කියාවි.....

“හැමෝම ඔහොම හිතුවා නම් අපට ජීවිතේට මෝනාලීසාගේ තියා මේ රටේම හිටි කී‍ට් ගේ චිත්‍රයක්වත් බලාගන්න වෙන්නේ නැහැ...”


කියලා.. දැන් බලාගෙන ගියාම ඒකත් ඇත්තනෙ.

ඊ ගාවට ඔබ කියාවි..

“ අනේ ඔන්න ඔය චිත්‍ර අඳින්න පුළුවන් එකෙක් ඕකක් ඇඳලා කීයක් හරි හොයා ගත්තාම මක් වෙනවද ? “


කියලා. බලාගෙන ගියාම ඔන්න ඒකත් ඇත්ත.

දැන් මේ දෙකටම ඉඩ දීලා බලන් හිටියාම අර චිත්‍රයේ මුල් අයිතිකාරයා වන සැබෑ නිර්මාණකරුවාට අසාධාරණයක් වෙන්නේ නැද්ද ? ඒ නිසා මං කැමතියි ඒක මෙහෙම සංශෝධනය කරලා කියන්න.

“ඒ චිත්‍රවල මුල් අයිතිකරුවන් මිය ගිහින් නම්, ඔන්න අපට ආයේ ඒවා බලාගන්න බැරි වන නිසා ඒවා ආයේ ඇඳලා ඒ නියම නිර්මාණකරුගේ බව සඳහන් කරලා විකිණුවාට වුණත් කමක් නෑ.. “

දැන් මේකට ඔබ කොයිතරම් එකඟ ද ?

මේ කාරණය සදාචාරාත්මකයි කියලා පිළිගන්නවා නම් දැන් ඉහතින් ඔබ කිවු කාරණා දෙකම අහෝසි වෙනවා. එකඟයි ද?

එහෙමනම් අනුන්ගේ නිර්මාණයක් තමන්ගේ වගේ විකුණාගන්න එක ‍එහෙනම් වැරදි වැඩක් කියලා පි‍ළිගන්න වෙනවා. අනෙක් කාරණේ තමයි ලංකාව වගේ රටක මේ කාලය වන විට චිත්‍ර කියන්නේ එක්තරා පංතියක යම් තත්වයක් පිළිබඳ කාරණයක් ය කියන එක. සර‍ලව කිවුවොත් චිත්‍ර කියන්නේ මිල අධික විනෝදාංශයක්. එහෙම අඳින චිත්‍ර විකි‍ණෙන්නේ ඉලක්කම් 5න් ‍‍‍ඔබ්බට. දැනුත් කියන්න පුලුවන්ද හැම කෙනෙක්ම මෙහෙම චිත්‍රයක් ඇඳලා විකුණන්නේ එදා වේල හොයාගන්න කියලා ??

මම මේ කතා කරන්නේ ආභාසයන් ගැන නම් නෙවෙයි. වර්ණයේ, රේඛාවේ, සංකල්පයේ සිට ම කරන පිටපත් කිරීම හා ඒවා තමන්ගේ මෙන් පෙන්වීම ගැනයි. ඒවා හරහා සමාජ වටිනාකම් ගොඩනගා ගන්නා එක ගැනයි.

මේවා ඇත්තටම ජුගුප්සාජනක නැද්ද ?


මම අහන්නේ ඔබෙන් ..........

3 comments:

Malinthe Samarakoon said...

ඇත්තටම ජුගුස්සාජනකයි. චිත්‍ර විතරක් නෙමෙයි. බ්ලොග් ලිවීමෙත් මේ වගේ දේවල් වෙලා තියෙන හින්දයි මේක ලියන්න හිතුණෙ. මම දැකලා තියෙනවා සමහර බ්ලොග් තියෙනවා වෙනත් අය ලියූ දේවල් එහෙම්පිටින්ම අරගෙන මුල් ලිපිය ගත්තෙ කොතැනකින්ද කියන එක ගැන සඳහනක්වත් නොකරන. මේ වගේ වැඩ ඇත්තටම ජුගුස්සාජනකයි.

Anandawardhana said...

මේ තත්වය ඉතා ජුගුප්සාජනකයි. ඒ ගැන සැකයක් නැහැ. අන්තර්ජාලය ඔස්සේ මුහුනට මුහුන හමු නොවී සිතුවම් විකුනන තැන්වල මීටත් වඩා දුර්දාන්ත ආකාරයෙන් කොපි කොට සොරකම් කොට මඩිය තරකරගැනීම කිරීම සිද්ධ වෙනවා.

ආභාසයන් ගැන නම් ගැටලුවක් නැහැ තමයි.

හැබැයි මේ ගැන විරෝධය පහත දැක්වෙන වර්ගයේ වැඩ සමග පටලවා නොගත යුතුයි:

ප්‍රතිනිර්මානය සහ "අනුව නිමවන" කෘති නිපදවීම නම් අතිශය වැදගත් සහ අත්‍යවශ්‍ය අංගයක් සිතුවම් කලාවේ. මම මේ කියන්නේ යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදනය ගැන නෙමේ. චිත්‍ර කලා අධ්‍යයනය පැත්තෙන්. අතින් කරන ප්‍රතින්ශිපාදන. (reproductions)

එවැනි ප්‍රතිනිෂ්පාදන සිදු කිරීම දෘශ්‍ය කලා අධ්‍යාපනයේ ද වැදගත් අංගයක්. දෘශ්‍ය කලා ශිශ්‍යකු හෝ ප්‍රවීන සිත්තරකු වෙනත් පැරනි කලා ගුරකුගේ/ප්‍රවීනයකුගේ සිත්තමක් ප්‍රතිනිෂ්පාදනයේ යෙදීම බොහෝ විට සලකන්න පුලුවන් ලබන්න පුලුවන් ඉහලම අභ්‍යාසයක් හැටියට. ක්‍රමානුකූල ව මුල් කෘතිය අධ්‍යයනය කොට මුල් අග්‍රගන්‍ය සිත්තරා අනුගමනය කල මාර්ගය සොයාගෙන ඒ ඔස්සේ පියවර තබමින් මුල් කෘතිය පුනර්කරනය කිරීම... ඒක ආසන්න වශයෙන් පුරෝගාමියාගේ සපත්තුවලට බැස ඒ පාරේ මොහොතකට ගමන් කිරීමක් බඳුයි. මුල් සිත්තරා යෙදූ වර්න ස්තර අනුයමින්, තාක්ශනය අනුයමින් කෙරෙන මෙවැනි පුනර්කරන කිරීමක් හරි ම මනරම් දෙයක්. එය ඉතා බරපතල හැදෑරීමක්. ඒ අධ්‍යයනය අනභිබවනීයයි. වෙනත් විකල්පයක් නැහැ මේ අධ්‍යයනයට. ඒ වගේ ම ප්‍රතිනිෂ්පාදකයා අතින් මෙවිට සිදු වන්නෙ මුල් සිත්තරා දෙස - එම කෘතියට තුල ඔහුගේ මහාර්ඝ ගමන දෙස - ගෞරව සම්ප්‍රයුක්ත ව බැලීමක්.

අනුව නිමවන කෘතිත් තියෙනවනෙ. (works created after someone) පැරනි සිත්තරකුගේ තේමාව හා සංරචනය ම(composition) ගනිමින් එහි තමුන්ගේ ම පිටපතක් - version එකක්- ඉදිරිපත් කිරීමත් කලා ඉතිහාසය පුරාම දක්න්න ලැබෙන අනගි දෙයක්. හැබැයි මේ හැම විටක ම මුල් නිර්මානකරුවාව ගෞරව සම්ප්‍රයුක්තව සිහි කිරීම සිදු කරනවා. නැත්නම් වැඩේ බාලයි තමයි.

-------------------------------------
ප. ලි >>>>
"කොළඹ ප්‍රසිද්ධ කලායතනයක" ඉන්න අය ඇඳ ඇති දේවල් ගැන කර්නපරම්පරාවෙන් අසා කීමට වඩා ඒවා දැක හොයා බලා කීම තමයි වඩා හොඳ :D
සමහර විට ඒ අය ඉහත කී වර්ගයේ අධ්‍යයනාත්මක වැඩ කලා විය හැකියි. මොකද දෘශ්‍ය කලා පීඨවල නම් මේවා පාඨමාලාවල කොටස්. සීරියස් වැඩක්. මම නම් පිලිගන්නෙ නෑ ඔය තරම් බාල වැඩ දෘශ්‍ය කලා අධ්‍යයන ආයතන තුල (කොලඹ තියෙන්නෙ තුනක් පමන නේ) සිදු වෙනවා කියලා. එහෙම නම් ඒ ගැන නිශ්චිත ව කිව යුතුයි :-) පින්තූර සැසඳිය හැකියි.

වැටවල්වල විකුනන්න එල්ලලා තියෙන චිත්‍ර නම් ඉතින් විකුනා ගානක් හොයාගන්නා අටියෙන් පමනක් කල ඒවා බවයි මගේ මතය. ඒවාගේ ඔය කොයි හොරකමත් තියෙන්න පුලුවන්. නොතියෙන්නත් පුලවන්. පිටකොටුවෙන් කමිසයක් අරන් පිට නැති වුනා වගේ තමයි එවැනි තැන්වලින් කලාව ගන්න ගියොත්. සමහර විට එහෙම වෙන්න පුලුවන් :D

ඩනිෂ්ක said...

ඔව් ජුගුප්සාජනකයි!!
කොපි කරලා සල්ලි හම්බ කරන එක නම් හරි නැ තමා.