Friday, March 28, 2008

"මෙය ලියුමක් නොවේ" - Ceci n'est pas une letter


" මෙය ඇපල් ගෙඩියක් නොවේ "
Ceci n'est pas une apple



2008.03.28

සහෘද ආ.ව. වෙත ලියමි‍


ඔබ විසින් මෙම සටහන එක් කිරීම පුණ්‍ය කර්මයක් සිදු කිරීමක් හා සමානයි. බ්ලොග් සටහන් ලෙස ඇතැම්වා ලිවීමෙන් මා උත්සාහ ගන්නේ මගේ මතවාද ගොඩනැගීමට වඩා අන් අයගේ අදහස් එකතු කර ගැනීමටයි. ‍
එවැනි සටහන් ලිවීමේ දේශපාලනයේ එක් අංගයක් තමා ඒ.

අපට ඇස ගැටෙන හැම දෙයක් ගැනම ලියන්න හිතුණත්, කියන්න දේ තිබුණත් අපට ‍ඒ හැම දෙයක් ගැනම මතවාද හදන්නට හෝ පිළිගන්වන්නට බැහැ. නමුත් ලංකාවේ බො‍හෝ දෙනා අද කරමින් ඉන්නේ එයයි. මමත් ඇතුළු අද ලංකාවේ සමාජය තුළට දැනුම ගලා ඒමේ විධිමත් ක්‍රම නිසි ලෙස සම්පාදනය නොවී‍මේ ගැටළුව නිසා එක් අයෙකුට ඕනෑම දෙයක් කතා කිරීමේ හැකියාව ලැබිලා.

ගුවන් විදුලි/රූපවාහිනී නිවේදිකාවන් ගත්තාම ප්‍රේම කරන හැටි, විවාහය පවත්වාගෙන යන හැටි, දරුවන් තනන හැටි, ගෙවල් හදන හැටි, අසනීපවලට ප්‍රතිකාර සහ බණ භාවනා කරනා හැටි පවා කියා දෙනවා. ඇතැම් දේශපාලනඥයින් පරිසරය, කලාව, සාහිත්‍ය, සිනමාව, බණ දහම්, සෞඛ්‍යය, විද්‍යාව හා අධ්‍යාපනය යන සියලු දේ ගැන කතා කරන්නේ බලා-අසා සිටින්නන් ලොමු දැහැ ගන්වමින්.

ඉතින් මා නම් බ්ලොග් ලියන්නේ ඒ ආස්ථානයේ සිට නොවෙයි. නොදන්නා විෂයක් සම්බන්ධයෙන් වැඩෙන කුතුහලය ඒ ගැන දන්නා අය තුළින් අවුස්සා මගේ දැනුම පළල් කර ගැනීමේ අරමුණ ඇතිවයි ඇතැම් වා ලියන්නේ. මට ප්‍රතිචාර දැක්වීමෙන් ඔබ කර ඇත්තේ මගේ අරමුණ කරා ළඟාවීමට උපකාර කිරීමක්.

ආසාව තිබුණත් සිත යන හැම තැනම මාළිගාවල් හදාගන්නට බැරි මා වැනි අයට මෙසේ ඒ මාළිගාවල රජ කරන්නවුන් එළියට බැස හෝ සී මැදුරු කවුළුවලින් බලා හෝ ඒවායේ අභ්‍යන්තර විචිත්‍රත්වය හා ගැඹුර පහදා දෙන්නට සිතීම සැබවින්ම ආස්වාදජනකයි.

දැන් මගේ බලාපොරොත්තුව මේ ප්‍රතිචාරයේ සටහන් වන චිත්‍ර ප්‍රතිනිර්මාණය, ප්‍රති නිෂ්පාදනය, ආභාසය, අනුව නිමැවීම, මුල් කෘතිය හා නිර්මාණ සදාචාරය වැනි දෘශ්‍ය කලා විචාරය හා සම්බන්ධ සංකල්ප චිත්‍ර විෂයක් ලෙස හදාරා නැති ඒත් චිත්‍ර කියවන්නට කැමති සාමාන්‍ය මෙලෝ මනුස්‍සයෙකුට තේරෙන බාසාවකින් පැහැදිළි කරවා ගැනීමයි. දැන් දළ අදහසක් ලැබී තිබෙන මුත් ඇත්තටම චිත්‍රයක් හෝ එවැනි නිර්මාණයක් බලා රස විඳිමට මෙන්ම කියවා ගැනීමට ප්‍රමාණවත් සාමාන්‍ය දැනුමක්වත් අපේ සමාජයේ ඒ විෂය හදාරා නැති අයට නැති තරම්. චිත්‍ර ශිල්පියා(නිර්මාණකරුවා) සහ රසිකයා (සමාජය) අතර ඇති මේ හිස් අවකාශය පුරවන්නට මම ඔබට කළ විවෘත ආරාධනාවයි මගේ මේ සටහන.

එහෙමත් නැත්නම් .. මේ ප්‍රභූ ව්‍යාපෘතිය (Elite Practice) පොඩ්ඩක් මහ ‍පොළවට ගේන්න පොඩි support එකක් දෙන්න පුළුවන්ද කියලයි මං මේ ඔබෙන් අහන්නෙ ..

බොහෝ විට ගොළුවන් වගේ කලාගාරවල ඇති චිත්‍ර නරඹා හිස් වනමින් එළියට බහින පිරිසට ඉන් අත්වන සෙත අති විශාල බවයි මගේ හැඟීම.

ලංකාව‍ තුළ මේ මොහොතේ කලා විචාරය සමිබන්ධයෙන් ඇති පසුගාමීත්වය දුරු කළ හැක්කේ එම විෂය සම්බන්ධයෙන් විධිමත් හැදෑරීම් හා නව කියවීම් ඇති අයට පමණයි.

එහෙම නොවුණොත් දෘශ්‍ය කලා ආයතනවල ඇතැම් සීරියස් වැඩ ගැන කලාගාරවල බිත්ති‍ දෙස බලමින් වැරදියට කියවන අපට එම වැරදි හදා ගත හැකි වෙන මගක් නැහැ. 

René Magritte ගේ චිත්‍ර අධිතාත්විකවාදී මූලධර්මයන්හි පිහිටුවා කියවන්නට, Paul Cézanne ගේ පශ්චාත් උපස්ථිතිවාදී චිත්‍ර කියවා ගන්නට හෝ පැහැදිලි කරන්නට හොරෙන් අනුන්ගේ චිත්‍ර කොපි කර තමාගේ නම ගසා තමා‍ගේ බව අඟවමින් විකුණන පිලස්තීනුවන්ට කිසි දා ක කළ නොහැකියි.

විධිමත් හැදෑරීමක් නැති විචාරයට වෙන්නේ අර රතුපාට හුණු කැබැල්ලෙන් පමණක් චිත්‍රයක් ඇඳි දරුවාගේ එම චිත්‍රය ගැන පණ්ඩිතයින් කළ විචාරයට වුණ දේ ම තමයි..

මේ වන විට දෘශ්‍ය කලාව චිත්‍ර, වර්ණ, සිරුර, සංගීතය, ස්ථාපන, නර්තන, රංගන, නිරූපණ වැනි බහු මාධ්‍ය එක්ව නිර්මාණය කෙරෙන, සම්මත චිත්‍ර කලාවේ සාම්ප්‍රදායික කැන්වස‍යෙන් ඔබ්බට ගිය ඒවා. සාමාන්‍ය පෙළ විභාගයට චිත්‍ර ‍ඉගෙන ගත්තා කියලා අපිට මේවා තේරුම් ගන්න පුලුවන්ද ?

චිත්‍ර ශිල්පය දැන ගත්තාට මදි ප්‍රකාශන රීතිය දන්නේ නැත්නම්.

ඉතින් ගොළුවන් මෙන් දෘශ්‍ය කලා නරඹන අප ලවා කතා කරවිය හැක්කේ ඔබට පමණයි.

මගේ බිලොග් සටහනට ප්‍රතිචාර ලියා ඔබ අඩක් විවෘත කළ කවුළුව මුළුමණින් හැර දා ඇතුළට පිවිසෙන්නට ආරාධනා කරන්නේ කවදා ද?

මට ගනින්නට ඇඟිලි මදි නොවෙතැයි සිතමි.

‍කියවන්නටත් ලියන්නටත් වැඩි වැඩියෙන් විවේකය ලැබේවා !

-දැනට නවතිමි.

Wednesday, March 26, 2008

The Art of Copying or Copying Others' Art

පොඩි කාලෙ ගෙවල්වලට ගියහම කතා කරන්න දෙයක් නැති නිසාත්, අපටත් ප්‍රකාශ කරන්න අදහස් ඇතියි කියා කවුරුත් ඒ තරම් ගණන් නොගත් නිසාත් අහුලාගත් පත්තර කෑල්ලක් හෝ පොතක් කියවමින් නැත්නම් වට පිට නිරීක්ෂණය කරමින් ඉඳීමේ පුරුද්දක් ඇතිවුණා. ඔය කටාක්ෂ නිරීක්ෂණයට හසුවූ එක් දෙයක් තමයි මේ බො‍හෝ ගෙවල්වල මෝනාලීසාගෙ පින්තූරයක් තිබුණ බව. ඉතින් අපට එහෙම මෝනා ලීසාව හැම තැනකදිම වගේ දකින්න ලැබු‍ණෙ කවුරුන් හෝ විසින් මෝනා ලීසා ගෙ ඔරිජිනල් පින්තූරය ප්‍රතිනිර්මාණය කර ඉන් පිටපත් අසංඛ්‍ය සංඛ්‍යාවක් බෙදා හැර තිබූ හින්දයි. ඉතින් එහෙම නැත්නම් ඹය ලෝක ප්‍රසිද්ධ බොහෝ නිර්මාණ දැක බලා ගන්න අපට ලෝ‍‍කෙ වටේ යන්න වෙනවා. සීගිරි චිත්‍ර හෙම බලන්න ලෝකෙම අයට මේ පුංචි ලංකාවට එන්න වෙනවා.

ඉතින් ඒ කාලෙ මෙහෙම ලෝක ප්‍රසිද්ධ නිර්මාණ අපේ ඇහැට දැක බලාගන්න ලැබෙන එක පූරුවෙ වාසනාවක් කියලා හිතුණා.

ඒ කාලෙ චිත්‍ර අඳිනවාය කියන එක අපට නුහුරු වෙනත් කොහෙදෝ ඉන්න යම් පංතියකට උරුම වූ දෙයක් ය වාගෙ පූජනිය හැඟීමකුත් තිබුණා. මේ පූජා භාණ්ඩවලට තිබුණු ආනුභාවය හා ගෞරවය නිසාම මමත් ඒ වගේ ප්‍රතිනිර්මාණ කරන්න පුරුදු වුණා. ජෝර්ජ් කීට් ශිල්පියාගෙ පන්සල් චිත්‍ර අපේ ගෙදර බිත්තිවලට ආවෙ එහෙමයි.

මට චිත්‍ර අඳින හුරුව ආවෙ අපේ අම්මගෙන් වෙන්න ඇති. ස්කෝලෙ යද්දි බස්නාහිර පළාතෙන්ම පළමු තැන දිනූ අම්මගේ සහතික දකිද්දි මට එහෙම හිතුණා. ඒත් ‍පාසල් යන කාලෙ චිත්‍ර පන්තියකට යන්න තිබුණු ආසාවට ‍අනුබලයක් නොලැබුණ නිසා ඇතුළෙ හිටි චිත්‍ර අඳින්න ආසා ළමයා තරහා වුණා. ලියන්න ඉගෙන ගන්න කාගෙවත් අවසරයක් ඕන නොවුණ නිසා එයා විතරක් ඉතිරි වුණා.

මෙහෙම චිත්‍ර ප්‍රතිනිර්මාණය කිරීම ඒ කාලෙ ආස හිතෙන වැඩක් උණත් පස්සෙ ප‍ස්සෙ ඒ ගැන නොයෙකුත් විසදාගන්න බැරි ප්‍රශ්න හිතේ රළ ගහන්න පටන් ගත්තා.

විහාර මහා දේවි උද්‍යානයේ වැට රවුම, කොළඹ වි.වි.යේ ජිම් එක, වැට දිගට, කලා භවන, ලයනල් වෙන්ඩ්ට්, බෙයාර් ෆුට් ගැලරි, දැන්නම් රෙඩ් ඩොට් තීර්ථ ගැලරි වගේ තැන්වල චිත්‍ර ප්‍රදර්ශන බලන්න යාමේ ප්‍රතිඵලය තමා ඒ.

එකක් මේ චිත්‍ර ඇඳිල්ලයි චිත්‍ර බැලිල්ලයි ගැන...
ඒ ගැන වෙනම සටහනකින් කතා කරන්න හිතන් ඉන්නවා

මේ කතා කරන්නේ චිත්‍ර ප්‍රතිනිර්මාණය ගැන

මුලින්ම මගේ හිතට ආවේගයක් ආවෙ විහාර මහා දේවි උද්‍යානයේ වැට දිගට ඇවිදගෙන යද්දි විදෙස් ශිල්පිියෙකුගේ චිත්‍රයක් විකුණන්න ඒකේ වැටේ එල්ලලා තියෙනවා දැක්කහමයි. දෙවනුව මට මිතුරෙකු කීවේ කොළඹ ප්‍රසිද්ධ ලලිත කලායතනයක ජනප්‍රිය වූවන් අඳිනා චිත්‍ර ඇතැම් විදෙස් පොත් පත්වලින් පෙන්විය හැකි බවයි.

පස්සෙන් පහු දවසක බෝ මට කතා කරලා කිවුවා ගන්ධාර එකේ චිත්‍ර ප්‍රදර්ශනයකට ආරාධනාවක් තියෙනවා පුළුවනි නම් ගිහින් එයා වෙනුවෙන් පෙනී හි‍ටින්නය කියලා. ඉතින් මමත් සහෘද සිතින් කියලා හිතාගෙන ඒ පිළිබඳව පොඩි ප්‍රචාරයක් හෙම ඇරලා චිත්‍ර නරඹන්න ගියා. බැලූ බැලූ අත එක් එක් වර්ගයේ චිත්‍රය දෙක බැගින් තිබුණා..එක් එක් ශෛලියේ ඒවා කිහිපයක්...

ඒවා ගැන මගේ අදහස මං ඇවිත් බෝ ටම දුන්නේ නිර්මාණ ශිල්පියා එහි නොසිටි හින්දයි.

එතනින් මගේ ඇහැ වඩාම ගියේ මට හොඳට දැක පුරුදු Diego Rivera ගෙ Nude with Calla Lilies කියන චිත්‍රයේ ප්‍රති නිර්මාණය වෙතටයි. මං එහි හැම තැනම බැලුවා එහි නියම අයිතිකරුගේ නම කොහේ හෝ සටහන් වී ඇත්දැයි කියා.නමුත් තිබුණේ අපේ හිතවතාගේ අත්සන පම‍‍ණයි. වර්ණ සංයෝජනය, සංකලනය, රේඛා සියල්ල වෙන කෙනෙකුගේ...නම දැන් වෙන කෙනෙකුගේ... මට නම් දැනෙන්නේ වේදනාවක්.

ඉන් පසු මම ගියා ගන්ධාරය ඉදිරිපිට ඇති කලා කෘති පරිභෝජනය පිණිස සකස් කළ වෙළඳ සලකට. එහි හැම බිත්තියක්ම පාහේ චිත්‍රවලින් සරසා තිබුණා. ඇතැම්වා විකිණී අවසන්. ඊට පසුදින් මා තව මිතුරියකට ඇදුම් ගැනීම පිණිස ගියා පාමංකඩ වෙළඳ සලකට.. එය සරසා තිබුණේ මෙහි දැක්වෙන K. Kasse ගෙ සහ Isabelle Vital ගෙ චිත්‍රවලින්. නමුත් කොහෙවත් නමක් නම් තිබුණේ නෑ. එහි වැඩට හිටි ගෑනු දරුවන් කිවුවා “ අපේ සර්ගෙ යාලු‍වෝ වගයක් ඕවා කරන්නේ, සල්ලි දීලා තමයි ගන්නෙ” ව‍ගේ කතාවක්. ඕවා පිලස්තීනු වැඩ..

අපි කෙනෙකුගේ කවියක්, කතාවක්, ලිපියක් වෙනත් නමකින් තියෙනවා දැක්කාම මරාගන්න යන පුරුද්දක් ඇතිවුණත්, වෙනත් කෙනෙකුගේ නිර්මාණයක් අපේ නමකින් දමා නොගන්නෙත් නීතියෙන් යම් අයිතියක් නිර්මා‍ණකරුවාට තියෙන නිසා නෙවෙයි. ඒක සදාචාරය පි‍ළිබඳ එහෙමත් නැත්නම් හෘද සාක්ෂිය ගැන විචිකිච්ඡාවක් මිනිසුන් වශයෙන් අප තුළ ඇති නිසයි.

දැන් මෙහෙම අනුන්ගේ චිත්‍ර තමන්ගේ වගේ ඇඳ අනික් අය ඇන්දවීම අපේ රටේ ඇතැම් චිත්‍ර අඳින්නන්ට පුරුද්දට ගිහින්.. මම මේක වැරදියි කියලා එක පාරට කිවුවොත් ඔබ කියාවි.....

“හැමෝම ඔහොම හිතුවා නම් අපට ජීවිතේට මෝනාලීසාගේ තියා මේ රටේම හිටි කී‍ට් ගේ චිත්‍රයක්වත් බලාගන්න වෙන්නේ නැහැ...”


කියලා.. දැන් බලාගෙන ගියාම ඒකත් ඇත්තනෙ.

ඊ ගාවට ඔබ කියාවි..

“ අනේ ඔන්න ඔය චිත්‍ර අඳින්න පුළුවන් එකෙක් ඕකක් ඇඳලා කීයක් හරි හොයා ගත්තාම මක් වෙනවද ? “


කියලා. බලාගෙන ගියාම ඔන්න ඒකත් ඇත්ත.

දැන් මේ දෙකටම ඉඩ දීලා බලන් හිටියාම අර චිත්‍රයේ මුල් අයිතිකාරයා වන සැබෑ නිර්මාණකරුවාට අසාධාරණයක් වෙන්නේ නැද්ද ? ඒ නිසා මං කැමතියි ඒක මෙහෙම සංශෝධනය කරලා කියන්න.

“ඒ චිත්‍රවල මුල් අයිතිකරුවන් මිය ගිහින් නම්, ඔන්න අපට ආයේ ඒවා බලාගන්න බැරි වන නිසා ඒවා ආයේ ඇඳලා ඒ නියම නිර්මාණකරුගේ බව සඳහන් කරලා විකිණුවාට වුණත් කමක් නෑ.. “

දැන් මේකට ඔබ කොයිතරම් එකඟ ද ?

මේ කාරණය සදාචාරාත්මකයි කියලා පිළිගන්නවා නම් දැන් ඉහතින් ඔබ කිවු කාරණා දෙකම අහෝසි වෙනවා. එකඟයි ද?

එහෙමනම් අනුන්ගේ නිර්මාණයක් තමන්ගේ වගේ විකුණාගන්න එක ‍එහෙනම් වැරදි වැඩක් කියලා පි‍ළිගන්න වෙනවා. අනෙක් කාරණේ තමයි ලංකාව වගේ රටක මේ කාලය වන විට චිත්‍ර කියන්නේ එක්තරා පංතියක යම් තත්වයක් පිළිබඳ කාරණයක් ය කියන එක. සර‍ලව කිවුවොත් චිත්‍ර කියන්නේ මිල අධික විනෝදාංශයක්. එහෙම අඳින චිත්‍ර විකි‍ණෙන්නේ ඉලක්කම් 5න් ‍‍‍ඔබ්බට. දැනුත් කියන්න පුලුවන්ද හැම කෙනෙක්ම මෙහෙම චිත්‍රයක් ඇඳලා විකුණන්නේ එදා වේල හොයාගන්න කියලා ??

මම මේ කතා කරන්නේ ආභාසයන් ගැන නම් නෙවෙයි. වර්ණයේ, රේඛාවේ, සංකල්පයේ සිට ම කරන පිටපත් කිරීම හා ඒවා තමන්ගේ මෙන් පෙන්වීම ගැනයි. ඒවා හරහා සමාජ වටිනාකම් ගොඩනගා ගන්නා එක ගැනයි.

මේවා ඇත්තටම ජුගුප්සාජනක නැද්ද ?


මම අහන්නේ ඔබෙන් ..........

Sunday, March 23, 2008

හුදෙකලා ලියවිලි එපාවෙලා..

දවස් ගාණක් තිස්සෙ බි‍ලොග් එක පුස් කනවා මම ම බලාගෙන හිටියා. හරියට මාව බිත්තියේ එල්ලලා මමම ඒ දිහා බලාගෙන ඉන්නවා වගේ. කොපමණ සද්දෙට හිතුවත් සමහර වෙලාවට බිහිරන් ඉන්නා තැනක සද්ද කරනවා වාගෙයි දැනෙන්නෙ. කවුරුත් හුදෙකලා සටන්වල..ඉඳහිට විහිළුවක් කරන්න හිතුවත් ඇතැම් අය ඉතා බරපතල ලෙස කඩන් පනින කොට නිකන් කේශනාලිකා පවා ඇඹරිලා යනවා දැනෙනවා. ‍ඇතැමුන් හරිම official.භයානක විදිහට දරදඬුවෙලා. " අපිට විහිලු කළොත් අපි අකුලාගෙන යනවා" වගේ මෝස්තරේ අය...අම්මෝ .. මෙහෙම තැන්වල සමාජගත වෙනවාට වඩා හුදෙකලාවීම කොයිතරම් ‍හොඳද කියලා මට එතකොට හිතුණා..

ඒත් මේ තනි සටන් හරිම වියළියි වෙලාවකට..පරිගණක තිරේකට ඔරවගෙන ඉන්නවට වඩා හොඳයි එළියට බැහැලා ඔ‍හේ ඇවිදින එක. ඒත් අන්තිමට කළුවරත් එක්ක ගෙට ගොඩවෙලා ආයෙමත් වාඩිවෙන්න වෙන්නේ මේ හැඟීමක් දැනීමක් නැති තිරය ඉස්සරහාම තමයි.

මට බෑ ඒත් කිසි දෙයක් ලියන්න. පොඩි සසළවීමක් ඇති ඇතැම් දේවල් අපට එපාම කරවන්න. හරියට අස්ථාවර සමතුලිතතාවකින් යුත් වස්තුවක් ඉතා කුඩා කම්පනයකින් පවා සමතුලිතතාව බිඳගන්නවා වගේ..ඔව් මට ඇත්තේ බිඳී යන සමතුලිතතාවක් තමා මේ සයිබර් සම්බන්ධතා ඇතුළේ..ඉතාම කුඩා කම්පනයකින් පවා සසැළෙන...

මටම කියලා ලියන්න හිතක් නැතිවුණත් මට හිතුණා වෙන කෙනෙකුගේ සටහනකට එකතු වෙන්න. අනවසරයෙන් සරන්න තරම් විශ්වාසයක් තවම ඇත්තේ බෝගේ අඩවියේ පමණයි. කවියට පෙම් බඳින නංගී මේ සටහන තබා ඇත්තේ Friday, 7 March 2008 පෙම් කවක් ලියන්නට...Pem Kavi යනුවෙනුයි. මමත් ඊට හවුල් සටහනක් තබන්නට හිතුවා.

ඉස්සෙල්ලා බෝගේ පෙම් කවත් කියවන්න. ඉන්පස්සේ මේකත් කියවන්න..
අනිවාර්ය නෑ..
නිකං කම්මැලිකම යන්න.


බෝගෙ පෙම් කවියට
-----------------
වැලෙන් කොළෙන් පණ් මියැදෙන වෙලාවට
හිතක් එන්න නැතිදෝ වැහි වලාවට
ඉඳහිට දකින් නුඹ සිහිවෙන පමාවට
හීල්ලුවා රෑ දාවල් පුරාවට

බහක් දුන්නෙ මටමයි පෙර පුරුද්දට
වාරෙට වහින වැහි බක් මහ පුරාවට
කුරහන් පීදුනේ නුඹෙ වාසනාවට
සඳක් වෙලා පායන් වැව් තලාවට



මගෙන් ..
--------

හේන් හතක් කිරි වැදෙනා හිනාවට
පාන් වුණයි හිත පිරිලා ලිය රුවට
වාන් දමන වැවි දියවර සමානෙට‍
ආල හිතක් බැඳුණයි රන් මැණිකේට


ග‍ඟෙන් දියෙන් එහා ගියත් හීන ගොතා
සඳක් ‍වෙලා උන්නත් දුර වෙවී පමා
හිතක් කොහෙද ඉන්නට නුඹ පැලේ දමා
සඳ එළියෙන් සැනහීයන් මගේ ළමා

--

Saturday, March 15, 2008

කවි ලැදි ජනයින් සමාවී වදාරන සේක්වා..

දරු දුක- මීමන ප්‍රේමතිලක

සමන් පොහොට්ටුවක් බිමයි පිපෙන්නටත් කලින්
හඳත් වැසි තිබේ වලාකුළින් න‍බෝ ගැබේ
මොකෝ සොබාදමේ පවා මෙසේ විසේසයක්
හහා!හහා!කුඩා බබෙක් නිදයි මිනී වළේ...

මීමන ප්‍රේමතිලකයන්ගේ කවි සංකල්පනා ඔහුටම ආවේණික රටාවකින් යුක්තය. ඒ මග යන්නට පෙර අතුව ඉගෙන ගත යුතු බොහෝ දේවල් වෙතත්, මේ උත්සාහය ඒ වෙත බැඳුණු සිත හෙළිදරවි කරන්නට යොදා ගනිමි. මීමනයන්ගේ රසිකයෝ කවිකම් බැරි මට කමත්වා !

මේ මගේ දුලබ උත්සාහයයි.


රැය නිමා වෙලා හිරු නැගෙන්නටත් කළින්
සෙනේහයෙන් දෙඩු වදන් ගොලු වෙයිද නොම දැනේ
පිණි බිංදුවක් වගේ දිලී යළිත් මැ‍කී
නොයන් මේ හිතේ වැඩෙන පෙම් හැඟුම්

සරතැසින් මිලාන වූ පොළෝ තල පලා
වසන්තයේ ළදල්ලක් සිනාසෙයි නැගී හෙමින්
ජීවිතේ මහත් පැතුම් නැතත් සිනාසිසී‍ එසේ
අගෙයි ‍ඔබත් ඔබෙ හිතත් පෙමින් මට බැඳී

ආකාසයේ දුලන තරුපතී ඔබයි මගේ
කැළුම් වැදී ඒ සඳේ දිලෙන නිශා යම මමයි
සොරා ගනීවිදෝ අර තාරුකා ඔබත් මගෙන්
බියක් දැනේ විටින් විටේ සසලවා මගේ හිතත්

Sunday, March 9, 2008

මාතෘකාවක් නම් නෑ...


හද බිඳෙයි.
එහෙත් හද බිඳෙන්නේ නිහඬ හඬකිනි. එය වඩාත් හොඳ යැයි සිතෙන්නේ එවිට කිසිවෙකු කිසිදු පැණයක් නාසන හෙයිනි.

Saturday, March 8, 2008

Reel Therapy - fiction as a clinical tool..
උන්මාද සිතුවම් මැවේ බි‍ඳේ...

මට වැළඳී ඇති නිදන්ගත රෝග ස්වල්පයකින් එකක් ගැන කතා කිරීමට මේ සටහන වෙන් කරමි. මා වෙසෙන නගරයට එන මගේ හිත් ගන්නා සෑම සිනමා පටයක්ම නොවරදවා නැරඹීමයි මගේ රෝග ලක්ෂණය. මුලින්ම චිත්‍රපට නරඹන්නට ගියේ කවදා දැයි මතක නැති වුවත්, මා ඉතා කුඩා කාලයේ ලොකු මාමා විසින් වඩාගෙන රාත්‍රී දර්ශන සඳහා නිතර ඉංගිරියේ ගාමිණී සිනමා ශාලාවට මා රැගෙන යනවා සිහිනෙන් මෙන් මතකයි. එහිදී රන් මුතු දූව ලෙස මතකයේ ඇති, සල රුවෙහි එක් අයෙකුව කපා කොටා දමනවා දුටු මම හයියෙන් කැ ගසා හඬද්දී ලොකු මාමා යළිත් මා කර පින්නාගෙන පිටවී ආවාත් මතකයි.

පසුව මේ අග නගරයට ආ පසුව බො‍හෝ දෙනා කෙල්ලක ‍හෝ කොල්ලකු සිනමා ‍හලකදී හෝ ඒ අසලකදී දැකීම පවා ආනන්තරීය පාප කර්මයක් ලෙස සලකා කතා කරනු අසන්නට ලැබීමෙන් ම‍ගේ ආසාවන් සසළ වී ගියා.

පසුව අධ්‍යාපන කටයුත්තක් හමාර කිරීමේ උවමනාව මත චිත්‍රපට නැරඹීමේ අවශ්‍යතාවක් හදා ගන්න පුළුවන් වුණ නිසා මගේ රෝගය උත්සන්න අවස්ථාවට එළඹුණා. ඉතින් කවුරු ඇවිත් කිව්වත්, “දෝණියැන්දෑ බයිස්‍කෝප් හෝල් එ‍කක් ගාව උන්නා”...කියලා..මට අවසර පත්‍රයක් ලැබිලා තිබු‍ණේ.. “ඔව් මං ‍‍ෆිල්ම්ස් බලන්නේ රිසර්ච් එකකට”...  :)

ජීවිතයේ බොහෝ වෙහෙස හා නොයෙකුත් හැල හැප්පීම් මැද්දේ හර්දය වස්තුවේ කුණාටු ඇතිවෙන කොට මං තෝරා ගත් ක්‍රම වේද කිහිපයක් තිබුණා ඒවායින් ගොඩ එන්න. හොඳින් ස්නානය කිරීම, හොඳ පොතක් කියවීම හෝ චිත්‍රපටයක් නැරඹීම ඒ අතර ප්‍රධානයි. (පස්සෙ නම් දැනුණා කොළඹට චිත්‍රපට එන වේගය හොඳටම මදි කියලා  :))

ගොඩක් අය ඒකත් දැක්කේ පිස්සුවක් විදිහට..
ඔයාට පිස්සුද තනියම ෆිල්ම් හෝල් ගානෙ යන්න ? ..අනික සල්ලි නාස්ති කරන් ?..
ඔව් ඒක නම් ඇත්ත. මාසෙකින් ම චිත්‍රපටියක් බලන්න යන්න බැරිවුණා. කන-බොන-යන- එන කෙහෙල්මල්වලට ගිහින්ම සල්ලි නාස්ති වුණා...ජීවිතේ දුෂ්කරයි චාපා...

මගේ චිත්‍රපට බැලිල්ල දිහා සරදමින් බැලූ කෙනෙකු‍ට මං ළඟදි දවසක් කිවුවා..පිස්සුද ..මේකට කියන්නෙ Reel Therapy කියලා..

පස්සේ මට හිතුණා මේ ගැන ඇත්තටම සුළු විග්‍රහයකට ගිහින් අනිත් අයට මේක පිළිගන්වන්න පොඩි try එකක් දෙන්න ඕනි කියලා. මට හිතුණු හා දැනුණු දේවල් සහ මං හොයාගත් දේවල් එකට අනලා මෙහෙම කියන්න කැමතියි.

ඉතින් කෝ එන්න .. අපි wide angle එහෙකින් බලමු.

වර්ෂ 1930 දී පමණ William C. Menninger නමැති වෛද්‍යවරයා චික්ත්සාවන්හිදී මානසික ව්‍යාකූලතාවන්ගෙන් පෙළෙන රෝගීන් හට ප්‍රබන්ධ කියවීම නිර්දේශ කර තිබෙනවා. කවි, කෙටිකතා, නව කතා වැනි සාහිත්‍ය චිකිත්සීය ක්‍රියාවලිය තුළ‍ට ඇතුළු වී ඇත්තේ එසේයි. එහි නවතම හා වඩාත් සුගම සහ කාලය ඉතිරි කරන අංගය ලෙස එකතු ව ඇත්තේ සිනමා චිකිත්සාවයි. එය bibliotherapy ලෙසත් හඳුන්වන්න පුළුවනි.

ඒ තොරතුර ජාලයෙන් හොයාගත්තෙ. තව ලැබුණොත් එක් කරන්නම්. දැන් වෙන කතාවකට..
ඔබ අසා ඇති නේද Jacques Lacan ගැන ?
ඉස්සෙල්ලා මේ යොමුවෙන් කියවලා ආයිත් මෙහාට එන්න.

Lacan විසින් අපගේ ළමා කාලයේ අවස්ථාවන් දෙකක් පදනම් කර ගනිමින් අපගේ යථා ජීවිතය පිළිබඳ අප තුළ නිතර පවතින අතෘප්තියත්, ඉන් මිදීම පිණිස යම් බාහිර පරමාදර්ශ සමග අනන්‍යවීමට දක්වන කැමැත්තත් විවරණය කරයි. එහි මුල් අවස්ථාව වන mirror phase හිදී දරුවෙකුගේ කායික හැකියාවන් ඉක්මවා, කායික අවශ්‍යතාවන් වර්ධනය වන අතර, එය ඉටු කර ගැනීමට අසමත්වීම තුළ යම් අසහනකාරී, අතෘප්තිකර, අසම්පූර්ණබව පිළිබඳ හැඟීමක් ඔහු තුළ වැඩෙයි. ඔහු තමාට වඩා පරිපූර්ණ බාහිර image එකක් තුළට ප්‍රක්ෂේපණය කර ඒ තුළ සිට තමා දෙස බලයි.

යථා ජීවිතයේදී අප තුළ නිතර පවතින අතෘප්තියත්, ඉන් මිදීම පිණිස යම් බාහිර පරමාදර්ශ සමග අනන‍‍්‍යවීමට දක්වන කැමැත්තත් සමාජය අපේක්ෂා කරන තැනක සිට පුද්ගලයා තමා දෙස බැලීමට උත්සාහ දැරීමත් යන කරුණු මෙහිදී පදනම් කර ගනු ලැබේ.

සිනමා තිරය කැඩපතක් සේ දකින ප්‍රේක්‍ෂකයා ‍ඒ තුළ “මම” යන ප්‍රතිරූපගත කරගන්නා ලද පරමාදර්ශය දකියි. එම පරමාදර්ශය තුළ, ඔහු අයත් සමාජයේ සාරධර්ම, වටිනාකම්, අධිපති මතවාද කේන්ද්‍රණය වේ. නැතහොත් “මම” යන තැනට පත්වන සාමාන‍‍‍්‍ය පුද්ගලයා සමාජයේ අධිපති සම්මුති හා මතවාදයන්ගේ නිෂ්පාදනයක් වෙයි. එම පිළිගැනීම තුළින් හැඩගස්වනු ලැබූ පුද්ගලයෙකු වෙයි. එහිදී ප්‍රේක්‍ෂකයා, සිනමාව විසින් සමාජය තුළට නිර්මා‍ණය කරන ලද අර්ථ හා පිළිගැනීම්වල ගොදුරක් බවට පත්වේ. මේ තත්වය තුළ චිත්‍රපටයක් නරඹද්දී ඒ තුළ දිගහැරෙන අධිපති මතවාදී කේන්ද්‍රීය චරිත සමග ප්‍රේක්ෂකයා අනන්‍යවීමට උත්සාහ දරයි. එහිදී ඔහු විඳින යම් ගැටලුවකින් හෝ පීඩාකාරී භාවයන්ගෙන් නිදහස් වීම සඳහා යම් පරමාදර්ශ සමග අනන්‍යවීමත් හෝ බැහැර වීමත් සිදුවේ.


((උපුටා දැක්වීම මගේ අර ඉහත කිවූ පර්යේෂණ‍ ලියවිල්ලෙන්......) ඒ ලියවිල්ල ගොඩ නැගු‍ණේ සමාජ අසමානතාවක් වන ස්ත්‍රී පුරුෂ සමාජභාවී මතවාදය පිළිබඳ සිනමා ප්‍රකාශනයේ සමාජ විද්‍යාත්මක කියවීමක් ගොඩ නගන්න හිතාගෙනයි.)

ඉතින් ඒක මෙතෙන්ට ඇදගෙන ආවෙ සිනමාවෙ මේ මතවාදී බලපෑම නිසා අපි අපේ භාවයන් අපට නොදැනිම වෙනස් කර ගන්නා බව පෙන්වා දෙන්නයි. කෙටියෙන් කිවුවොත් අපිව දියවෙලා යනවා. අපි දන්නෙත් නෑ. අන්තිමට එළියට එන්නේ ඇතුළට ගිය කෙනා නෙවෙයි.

දැන් තේරෙනවනෙ.. චිත්‍රපට බලන එකෙත් විවිධාකාර ‍දේශපාලන ව්‍යාපෘති තියෙනවා කියලා. ඉතින් ඒ නිසා ආයෙත් කවදාවත් දන්න අඳුනන කෙනෙක් හෝ ‍දෙ‍න්නෙක් සිනමා ‍‍‍‍‍ශාලාවක් ඇතුළෙදි හෝ අසලකදි දැක්කොත් කට කැඩිච්ච කතාවක් කියන්නෙ නැතුව නොදැක්කා වගේ ඉන්න එක ටිකක් හරි මානුෂිකයි කියලා තමා මට කියන්න තියෙන්නෙ.

විවිධ පූජා කර්මවලට හා උපචාර විධිවලට සිනමා හල්වලට යන උදවියත් ඉන්නවා. ඒක් ඉතින් එයාලගෙ කැමැත්ත.

හැබැයි මට ෆිල්ම් බලන එක හැමදාමත් therapy එකක් ම තමා.

Friday, March 7, 2008

කිමද හැර නොයන කාරණ ?

මලක මියගිය සොයන සුසුවඳ
ළබැඳි සකිසඳ ඔබද ඉඳුවර
ගලන ගඟුලක හමන සිහිලක
සුවය සැදුමට තනන නිබඳව

හද බිඳෙන සර ඇසි ඇසී තව
කිමද මේ වෙහෙසෙන්න කාර‍ණ
ගිලෙන ඔරුවක බිඳෙන හබලක
මග කියා දෙන තරුව විලසට

හඬන ර‍ළ වැද සැළෙන වෙර‍ළත
තනන මාලිග සරිවු සිහිනය
කුමට දකිමුද අතැර යනු මැන
දුලන දිවි මග නොහැරි මා වෙත

-------

Tuesday, March 4, 2008

ගබ් පෙලහර - The "showering" of love



මගේ විදෙස් ගත මිතුරිය වරක් ලියා එවා තිබුණා baby shower එහෙකට ගියා කියලා. baby shower කිවුවහම අපිට නිකං අමුතු එකක් වුණත් ගබ් පෙළහර කිව්වොත් පුරුදු ගතියක් ‍දැනෙනවා නේද ? මේ ලංකාවේ ගබ් පෙළහර සහ මුහුදෙන් එහා baby shower ගැන පොඩි විස්තරයක්....

The baby shower has been stated by many sources to be originated in the late eighteen hundreds and received its name from the "showering" of love and gifts for the mommy-to-be. The baby shower started as a tea party for only women who would share the day with the mommy-to-be and her female family members. The gifts given to the new mom were very practical in nature as well as handmade.

Baby Shower InformationA baby shower was originally offered for the first baby of the mommy-to-be but that tradition has changed to being for all "new additions" to a family since they are all miracles and deserve to be showered with love and gifts. Typically, the baby shower is thrown in an afternoon time on a weekend when everyone can attend. The person throwing the baby shower is usually a family member (cousin, aunt, etc.) or close family friend. Originally, one baby shower would be thrown for a mommy-to-be, but today many women have more than one party because they have different groups of friends, co-workers and family members. (Source : babyshower101.com)

For more : http://en.wikipedia.org/wiki/Baby_shower

ගබ් පෙලහර

ගබ් පෙලහර විදිහට සැළකෙන්නෙ බිරිඳක් තමා ගැබ්ගෙන ඇතැයි දැන ගත් පසු ස්වාමියා සහ අන් අය විසින් ඇය සම්බන්ධයෙන් ඉටු කළ යුතු යුතුකම් සම්භාරයටයි.

සංයුක්ත නිකායෙ වත්ථු සූත්‍රයේ දැක්වෙන ආකාරයට, දිනක් බ්‍රාහ්මණයෙක් බුදු රජාණන් වහන්සේ හමුවන්ට ඇවිත් ප්‍රශ්න කිහිපයක් අහනවා.

"කිංසු වත්ථු මනුස්සානං" - "මිනිසාගේ උතුම්ම වස්තුව ක‍වරේද ?"

"පුත්ථා වත්ථු මනුස්සානං" - "මිනිසාගේ උතුම්ම වස්තුව දරුවාය"

බුදුන් වහන්සේගේ මේ පිළිතුරෙන් පැහැදිළි වන්නේ දරුවන් තරම් උතුම් සම්පතක් මිනිසාට නැති බවයි.එහිදී විතරක් නෙවෙයි. ධම්ම පදට්ඨ කතාවේ එන වනවාසී තිස්ස තෙරුන්ගේ කතා වස්තුවේත් මේ ගබ් පෙලහර ගැන සඳහන් වෙනවා.කාන්තාවක් ගර්භණී වූ පසු අපේ සමාජයේ මුල් ස්ථානය නිතැතින්ම ඇයට හිමිවෙනවා. දානයකදී වුවත් සංඝයා වහන්සේට පළමුව දන් පිළිගැන්වීම අපේ සිරිත වුවත් දරුවකු ලැබෙන්නට සිටින මවක් එතෙක් කුසගින්නේ තියන්නේ නැහැ. බුදු දහමේ පවා ඇයට වෙසෙසින් සලකා තිබෙන හැටි සාහිත‍‍යය ඇසුරින් හෙළි වෙනවා. ගැබිණි මවකට අන් අයට පළමුව ආහාර ගැනීම‍ට ඉඩ සැලසිය යුතු බව මානුස්මෘතියේ පවා සඳහන්.

දරුවන් ලැබිය යුතු මවක විසින් පිළිපැදිය යුතු උපදෙස් දක්වන පැරණි ග්‍රන්ථයන්ගෙන් එකක් තමා බුද්‍ධදාස රජු විසින් රචිත වෛද්‍යන සාරාර්ථ සංග්‍රහය. එහි ගර්භණී චිකිත්සා නම් පරිච්ඡෙදය වෙන්ව ඇත්තේ මේ සඳහා යි. මේ එහි එන එක් ශ්ලෝකයක්..

" ගුඩං ස්වර්ණඛලා මුලං - ගොසෘතං ක‍්ලීතකං
පිෂ්ටතා ‍ලොගිත ගෝදුර්ග්ග්‍ධෛර් ජශ්්‍ඨවා කාලෙ ප්‍රගෙ ප්‍රගෙ
ශශමංස රසේතාන්න මශ්නියාද්යා දිවානිශම්
සා ගර්භං වින්දතේ හත්වා දොෂං ඩිම්බා‍ශයාශ්‍රිතම් "


දරු ගැබක් සහිත කාන්තාව තම උදෑසන ආහාරය සඳහා හකුරු, බැබිල මුල්, එළඟි තෙල් හා වැල් මී රතු එළදෙනකගේ කිරෙන් අඹරා අනුභව කිරීමද, දිවා - රාත්‍රී මාංශ ‍වෑංජන සමග බත් අනුභව කිරීමද සුදුසු බවයි මින් කියවෙන්නේ.

මෙපමණක් නොවෙයි, ගැබිණි මව අධික සීතල, ඇඹුල් ‍හෝ උෂ් ණ ආහාරවලින් වලක්වා ගැනීම, සිත සතුටින් තැබීම, ප්‍රිය වචන හා බණ දහම් අසන්නට සැළැස්වීම, ආදරයෙන් රැක බලා ගැනීම සහ විශේෂයෙන් දොළ දුක සංසිඳවීමත් මෙම ගැබ් පෙලහරට අයත් දේවල් සේ සැලකෙනවා.

මෙම දොළදුක සංසිඳවීමේ ඉතිහාස කතාව මැණික්පාල බිසව හා මනු රජු ගෙන් ඇරඹි බවයි පොත පතෙහි සඳහන් වන්නේ.

අපේ රටේ සිදු කෙරෙන වැදගත්ම කාර්යයක් තමයි දරුවකු ලැබෙන්නට සිටින මවක් හත් මාසයක් ගෙවුණු තැන සිය දෙමාපියන්ගේ නිවසට චාරිත්‍රානුකූලව හැරලීම. ඔබට මතක ඇති මහ මායා දේවිය එසේ යන ගමනේ දී අතර මග සල් උයනක දී සිද්ධාර්ථ කුමරුන්ට උපත දුන් හැටි. මේ බව දැක්වෙන සිතුවම් රාමු කර අපේ ගමේ ගෙදරත් බිත්තියේ ගසා තිබෙනවා. මේ දෙමාපියන් ළඟට යන ගමන සුභ දවසක, සුභ හෝරාවකින් සියලු වැඩිහිටියන්ගේ ආශීර්වාදය මධ්‍යයේ සිදු කරනු ලබයි.

දෙමාපියන් සමීප‍යේ වෙසෙන කාලයේදී සිදු කරනු ලබන වත් පිළිවෙත් ද රාශියකි. අංගුලිමාල පිරිතෙන් මවට සෙත් පැතීම ඉන් විශේෂත්වයක් ගනියි.

මේ හැරෙන්නට නුවර ගම් පළාතේ හුරුළු දේවාලය ආශ්‍රිතව සිදු කෙරෙන පිළිවෙත් සහ මාතර ප්‍ර‍දේශයේ සිදු කරන අත්ත ගහ මැතිරීම ද එබඳු චාරිත්‍ර වේ.

දැන් පොඩ්ඩක් ආයෙ උඩට ගිහින් කියවන්න අර baby shower කතන්දරේ..දැන් ඒකෙ කියවෙන විදිහට නෑදෑ හිත මිතුරියන් සියලු දෙනා එකට එකතු වෙලා මේ අම්ම කෙනෙක් වෙන්න යන කාන්තාවට සිය සතුට පළ කරන්නට තෝරා ගත් උපචාර විධියක් තමා බේබි ෂවර් කියන්නෙ. ඉතින් අපට මේ වෙලාවෙ ‍හීන් සතුටක් දැනෙන්න ඕන..යුරෝපයේ එක දවසක සමරණ සතුට අපි නම් ඒ දරු පැටියා මෙලොව එළිය දකිනකම්ම ඒ අම්මත් එක්ක බෙදා ගන්න ඒ අම්මව දකින අහන ඇසුරු කරන හැම කෙනෙක්ම සූදානම් නිසා..

බස් එහෙකට නැග්ගමස ආසනයක් දෙන්නෙ, ඕනම තැනකදි ඉස්සෙල්ලම කන්න දෙන්නෙ, ඉස්සරහට මුණ ගැහෙන කොට හිත සන්තෝසෙන් පිරිල යන්නෙ, පෝලිමක ඉන්න කොට මුලට අඬ ගහන්‍‍නෙ අන්න ඒ නිසයි.

ඒ විතරක් ද ?

ගෙදරක බඩ දරු අම්ම කෙනෙක් ඉන්න කොට අහළ පහළ ගෙවල්වල මුළුතැන්ගෙවල් ඇතුළෙන් පොළොස් මාළුවක, කොස් තැම්බුමක සුවඳ එන්නෙත් මේ සන්තෝසය. ආදරය, ගෞරවය හැමෝගෙම හිතේ තියෙන හින්දයි.

ධනවාදයේ රටවල්වල එක දවසක සතුට පරිවාරයේ රටක දීර්ඝ කාලීන සතුටක් වෙලා ඒ සංස්කෘතිය පෝෂණය කරන එක ගැන අපි ආඩම්බර වෙන්න ‍ඕනෙ කියලා මට හිතෙනවා.

Saturday, March 1, 2008

ලස්සන ගෙදර, අවශ්‍යතා සහ අවරසිකත්වය

අනුන්ගෙ ගෙවල් ගැන රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය කරන හිතවතෙකුගෙ ඒ වැඩ සටහන් මාලාවෙ 50 පිරෙන දවසට මං එයාට සුබ පතලා ඇරියා..මෙන්න මෙහෙම කියලා...මේ ඒ සම්පූර්ණ ලියුමම නෙවෙයි. මෙහි පළ කරන්න හිතාගෙන සංස්කරණය කළ, නමුත් මට කියන්නට හිතුණ දේ ඉතා කෙටියෙන්..
------------------------------------------------------------------------------------------

ඉස්සර කඩේකට ගිහින් ඉල්ලන්න වුණේ සබන් කෑල්ලක් වුණාට අද කඩේකට ගිහාම අහන්නේ මොන සබන් ද ඕනෙ කියලා...තෝරා ගැනීම් අනන්ත අප්‍රමාණ වෙන කොට, අවශ්‍යතාවන් අසීමිත වෙන කොට, වෙළඳපොළ ප්‍රසාරණය වෙනවා‍. මේ‍කෙ මුල මැද අග මාරු වෙමින් සිද්‍‍ධ වෙන්නෙ එකම දේ‍. අවශ්‍යතා තෘප්තිමත් කරන භාණ්ඩත්, භාණ්ඩ තෘප්තිමත් කරන අවශ්‍යතාත් විදිහට‍. මේ‍කෙ මුල නිශ්චිත නෑ. කිකිළි ද බිත්තරේද මුලින් ආවෙ වගේ එකක්. එහෙමත් නැත්නම් වක්‍රයක්. ..කොහොම වුණත් මාක්ස් කිවුවෙ මේ දෙකම ධනේශ්වර ක්‍රමයෙ බිහි කිරීමක් කියලා..ඒත් අද අපේ අවශ්‍යතා කියන්නෙ අ‍පේ ස්වාධීන තේරීමක් හෝ අපට ඇත්තටම ඇවැසි දේ නෙවෙයි. අපේ අවශ්‍යතා තීරණය කර දී තිබෙන්නේ වෙළඳ පොල විසින් කියන එක අපේ සමහර අයට තාමත් තේරෙන්නෙ නෑ.

ස්වභාවයෙන්ම අනුකරණයට හුරු වූ මිනිසාගේ එම පුරුද්දෙන් ඇති තරම් ප්‍රයෝජන ගනිමින් මිනිස් ආසාවන් අසීමිත ලෙස නිර්මාණය කිරීමේ ප්‍රොජෙක්ට් එක අද නොම්මර එකට කරගෙන යන්න අපේ රූපවාහිනී නාලිකා සමත් වෙලා තියෙනවා.

ඉතින් අපිත් රූපවාහිනී කැමරාවෙන් ඔලුව ස්ක්‍රීන් එක ඇතුළට ඔබාගෙන අනුන්ගේ ගෙවල් දිහා බලමින් අපේ හීන හදන වැඩ සටහන් තමා..ගෙවල් හදන හැටි අපට කියා දෙන වැඩසටහන්

අනුන්ගේ ගෙවල් දිහා කට ඇර‍‍ගෙන බලන් ඉන්න එක අතෑරලා..මේ රූපවාහිනී වැඩසටහන් පඨිතයක් (text) කියල හිතාගෙන කියවන්න (අර්ථ සම්පාදනය කරන්න පු‍ළුවන් වෙන්න) උත්සාහයක් ගත්තොත් අපට මොනවා පෙනේවිද ? Roland Barthe කියලා තියෙන විදිහට රූපවාහිනී පඨිතයක් කියන්නෙ තනිකරම ප්‍රේක්ෂකයාගෙ සම්පාදිතයක්. අපි බලන් ඉන්න මේ පඨිතයට තේරුම් දෙ‍න්නෙ අපියි.

මේකත් ඔලුවෙ තියාගෙන මේ වැඩසටහන් දිහා බැලුවහම මට නම් ඇත්තටම මේවා පේන්නෙ අදාල රූපවාහිනියට ලාභයක්, අනුග්‍රාහකයින්ට ප්‍රචාරයක්, වෙළඳපොළ ප්‍රසාරණයක්, අදහස් ප්‍රකාශකයින් සම්පත් දායකයින්ට සෝෂල් වැලියු එකක්, ගෙවල් අයිති අයට සමාජ තත්වයක්, බලන අයට ආසාවක්,
-ජීවිතය භාණ්ඩ කෑදරකමක් දක්වා ආසාව විස්ථාපනය කිරීමක්
-රූපවාහිනී පඨිතය හදන සිහින පොකුර යථාර්ථයක් බවට පත් කර ගැනීමේ නොහැකියාව ගැන වේදනාවක් (අපිට කොයින්ද සල්ලි..)
-කාලය උදුරා ගැන්මක් (උයන්න-පිහන්න-එකට කන්න- ගමනක් යන්න-කියවන්න-ලියන්න-නාන්න-මූණ හෝදන්න-ආදරේ කරන්න----තියෙන වෙලාව)...

ඉතින් ලස්සන, මාර, ටොප් ක්ලාස්, නියම, අමුතු, ආර්ට්, ක්ලැසික්, කලාත්මක..වගේ දේවල් වචනයෙන් පිට කරන ගමන් අපි මේවා දිහා බලා ඉන්න කොට ඒ වචන සෙට් එක පිටවෙන සද්දෙ ‍අපේ වුණාට ඒ වචන ඇත්තටම හැදුනෙ අර තිරය එහා ඉන්න ‍අයගෙ ඔලුවෙ කියන එක අපට අමතක වෙනවා. අපි හිතන්නෙ ඒවා අපේ ම සිතිවිලි කියලා...අපි තාමත් ඒව දිහා බලන් ඉන්නවා..ඒ කියන්නෙ අපි තාමත් එයාලගෙ ලණුව ගිලිමින් ඉන්නවා..ඉතින් හිස් තඩි කල, මැටි පෝච්චි, යකඩ දොර බෝල, චීන මල් පෝච්චි, ප්ලාස්ටික් මල් වැල්, දවාලටත් දැල්වෙන විසිතුරු ඉටි පන්දම්...ඕවා දිහා බලන් අපි හීන හදාගෙන හදාගෙන යනවා.

ගේ ඇතුළෙ ලොකු කලෙක්ෂන් එකක්. art/art object කියලා තමා ඔලුවට යන්නෙ. ඒවා එක්ක තව මොනවද තියෙන්නෙ

අද අපි ගෙයක් හදන් න ගිහාම, දන්න හැම එකටම එබිල බලල, දන්න කියන අය පරද්දන විදිහේ, අනිත් අය සලිත කරවන අන්දමේ ගෙයක් හදාගන්න තමා වැඩි දෙනා ට්‍රයි කරන්නෙ. ටයිල්ස් ලංකාවෙ. ෆිටින්ග්ස් අමෙරිකාවෙ‍. බල්බ් ඉතාලියෙ. පිඟන් බඩු එංගලන්තෙ‍‍.පේන්ටින්ග්ස් යුරෝපයේ.මල් පෝච්චි චීනෙ. ඉර හඳ නුවරින්. අපි හද්ද ගො‍ඩේ වගේ දෙයක් තමා ගෙයක් ඇතුළට එබුණොත් පේන්න තියෙන්නෙ. ඉලෙක්ට්‍ර්ක් බඩු, සැප පහසු පුටු ඇඳන්, ජනෙල් දොර තිර, ඉඳුල් බිංදුවක්වක් නැති ලස්සනම ලස්සන පිඟන් කෝප්ප, හැඳි-ගෑරුප්පු, මාළු ටැංකි, කිසිදාක බිමට බැහැල සෙල්ලම් කරල නැති බෝනික්කො, ටෙඩී බෙයාර්ල, පරිග‍ණක, කො‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ළ පෑන් පැන්සල්වලින් හැඩි නොවුණ මේස, වගේ ‍දේවල් එක්ක මේ art object පෑහෙන්නෙ කොහොමද ? focus වෙන්නෙ කොහොමද?

එහෙම ෆෝකස් වෙන දේවල් target කරන්නෙ මේ රටේ බහුතරයක් සාමාන‍‍‍්‍ය මිනිසුන්.

දැන් පොඩි theoy part එකක් ගේමු.

" ‍ප්‍රේක්ෂකයා හෙවත් audience යන පදයට පර්යාය ලෙස....
නරඹන්නා (viewer ) සහ පාඨකයා (reader) යන පද භාවිත වෙයි. මේ පද ඒකවචන ලෙස යෙදුණද ඒවායේ අර්ථ බහුවචන ය. ප්‍රේක්ෂකයා යනුවෙන් පොදුවේ දක්වන කල ඉන් තේරුම් ගන්නේ සම ජාතීය මිනිසුන් සමූහයක් නොවේ. කිසියම් වැඩසටහනක් නරඹා එයින් එකම ගණයේ අර්ථයක්, පණිවුඩයක්, මතවාදයක් ලබා ගන්නා නිෂ්ක්‍රීය පිරිසක් ද නොවේ. "


ඉතින් මේ විෂම ජාතීය ‍ප්‍රේක්ෂකයා මේ වැඩසටහනෙන් අර්ථ දක්වා ගන්නෙ කියවා ගන්නෙ මොනවද ? එහෙම නැත්නම් කොහොමද ?

-මේ වැඩසටහන් focus කරන්නෙ එක්තරා පංතියක එක්තරා තත්වයක්
-මේවායින් දේවල් මිලදී ගැනීමේ - අයිති කර ගැනීමේ හැකියාව ඉහළ මධ්‍යම පංතික සුළුතරයකට තියෙනවා.
-ඔරිජිනල් දේ නියම තැනින් මිලදී ගන්න බැරි අය ඩුප්ලිකේට් වස්තූන්වලින් සෑහීමකට පත් වෙනවා
‍මේවායින් පෙන්වන දේවල්වලට කාර්යයක් (role එකක්) තියෙනවා. ඒවා, ඒවා අයත් පංතිය වෙනුවෙන් කෘත්‍යාත්මකව පෙනී සිටිනවා.
-පඨිතය තුළින් ඒවා අගය කරමින්, අනිත් අයට පිළිගන්වමින් ස්වාභාවික හා සාමාන්‍යකරණය කරනවා

දැන් ඔබ හිතන්න එපා මෙය මගේ මනෝ විකාරයක් කියලා. ඉතින් මේවා සාමාන‍්‍ය දේවල් නම් ඇයි මේ කැමරාව එක ළඟ ගෙවල් කීපයකට නොගිහින්, තෝරා ගත් ගෘහ නිර්මාණ ශිල්පීන් ඇසුරු කරමින් නුවරින් එකයි, කෝට්ටෙන් එකයි, නාවලින් එකයි, කොල්ලුපිටියෙන් එකයි.....වගේ ගෙවල් හොයමින් යන්නෙ ?

නමුත් මේ වැඩසටහන්වල පෙනී ඉන්න අයම අපට කියනවා..මේවා අනුකරණය කරන්න බෑ කියලා..එහෙනම් ඇයි අපි මේවා දිහා බලා ඉන්නෙ..අනුන්ගේ ගෙවල්වලට එබිලා ශ්‍රී විභූතිය ගැන, වැසිකිළිවලට එබිලා පිරිසිදු කම ගැන, බෙඩ්රූම්ස්වලට එබිලා සැනසීම ගැන, කුස්සියට එබිලා ක්ලාස් එක ගැන ..පහන් සිතින් සතුටු වෙන්න තරම් අප දියුණු හින්දද ? අනුකරණය කරන්නත් බැරි, වියදම් කරලා අත් පත් කර ගන්නත් බැරි දෙයක් වෙනුවෙන් අපි සෑහෙන කාලයක් වැය කරමින් ඉන්නවා.

දැන් අපි දන්නවා අපිට ඒ වගේ ගෙයක් අයිති කර ගන්න බැහැ කියලා. ඒත් සිහින තවම ඉවර නෑ. ඊ ළඟට මේ පඨිතය අපිට කියනවා..බලන්න මේ ගෙවල් ඇතුළෙ තියෙන දේවල්..ඒවා ඔයාලට සල්ලිවලට ගන්න පුළුවන්නෙ...මොකද මේ පඨිතය දන්නවා මේක දිහා බලා ඉන්න හැමෝම ගෙවල් හදන අය නෙවි කියලා..ඉතින් එහෙම අයව පො‍‍ළඹනනවා මෙන්න ඔයාලගෙ ගෙවල් ඇතුළ ලස්සන කරන භාණ්ඩ (objects) මේවා අරගන්න...කියලා.

ඒ අතරේ යන වෙළඳ දැන්වීම්වලින් තව තව භාණ්ඩ අළෙවි කරනවා
context එකෙන් සමාජ පරමාර්ථ, ආසාවන්, මානසික අවශ්‍යතා ගොඩ නගනවා

ඒක අපි මෙහෙම කියමු

මධ්‍යම පාන්තික ආසාවන්, අභිලාසයන් නිෂ්පාදනය කරලා ඒවා ආයෙම වෙළඳ දැන්වීම්වලින් පුනර්නිෂ්පාදනය කරනවා..

ලස්සන, අලංකාරය පිළිබඳ මධ්‍යම පංතික ආසාවට වෙළඳ පොළක් හදනවා. එහෙම නැත්නම්..වෙළඳ පොළට විෂයක් හදනවා.
අවශ්‍යතා ගොඩ නැංවීමක් කරනවා
ආසාව වර්ධනය කරනවා
ඒ ආසාව කෑදර කමකට විස්ථාපනය කරනවා
ජීවිතයට බලෙන්ම අර්ථ හා ඉලක්ක නිර්මාණය කරනවා

දැන් ඔබ කියයි.. ඔයාට විකාර. අපි ලස්සන දේවල් ගන්නෙ ඕවා බළලා නෙවෙයි. අපිට කැමති නිසා. අපි කලාත්මක දේවල්වලට ආසයි ඒකයි..වගේ උත්තර.

දැන් ඔන්න ආයෙමත් theory part එකක්. ඒ තමයි කලා කෘති සම්බන්ධ Hanna Arendtගෙ විග්‍රහය.

කලා කෘති කියන්නෙ පරිභෝජනය කිරීමේ ක්‍රියාවලියෙනුයි, කා දැමීමේ (used up) ක්‍රියාවලියෙනුයි හිතාමතාම ඉවත් කරවලා, මානව ජීව අවශ්‍යතා පිළිබඳ පරිමණ්ඩලයෙන් ඈත් කොට හුදෙකලාව තබන දෙයක්..සාපේක්ෂ ස්ථිරතාවක් තියෙන දෙයක්..අවසානයේදී සදාකල් පවත්නා දෙයක්..ඉතිහාසයක් හරහා ආපු දෙයක්..අර්ථයක් ඇති දෙයක්...


දැන් එතකොට අපට තේරෙන දෙයක් තමා අපේ ගෙවල් ඇතුළෙ තියෙන්නෙත් මේ හැනා කියපු විදිහෙ පිලස්තීනු ලක්ෂණ කියලා. අයිති කර ගන්න බැරි කලාවට ව්‍යාජ අයිතිවාසිකම් කියා පාන..හැම දෙයක්ම ද්‍රව්‍යමය අගයන්ගෙන් මනින..ආසන්න ප්‍රයෝජ්‍ය වටිනාකමෙන් මනින..අවරසිකත්වයක්.

කාලයත් එක්ක සංස්කෘතියට (කලාවට) තියෙන උනන්දුව අළුත් වෙන කොට උසස් කියල සමාජ සම්මත තත්වය (status) , ගරුත්වය, නම්බුව ලබාගන්න හිතූ පිලස්තීනුවන් මුදලට ඒවා හුවමාරු කර ගත්තා. එතකොට පිළිමතලාවෙ හදන පිත්තල පහන්, බන්දේසි, ඉර-හඳ, කැටයම් කළ මල් පෝච්චි, හැඳි, හැ‍‍ළි-වළං, පිළිම දවස් ගණන් මිදුලෙ, පිළිකන්නෙ, ලිප් බොක්කෙ වළලලා තියලා පරණ පාට (ඇන්ටික්) ගැහුණාම ගොඩට ඇවිල්ලා, මධ්‍යම පාංතික නාගරික සල්ලිවලට මාරු වෙලා, ගෙවල්වල ස්තෝප්පු, බිත්ති, සාලෙ, කාමරවලට තත්වයයි නම්බුවයි ගෙනාවා. ‍ ආයෙම මේ පඨිත හරහා ඒවා විසින් ගොඩනගන ලද සංකල්ප ඒවා නර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඹන අයගෙ ඔලු ඇතුළෙ ස්ථාන ගත කරනවනවා. මේ පඨිත එහෙම පිටින්ම මානසික නිෂ්පාදන මාර්ගයක් නෙවෙයිද ?

දැන් ටිකකට කලින් මං කිවුවනේ මේ දේවල් ඒ ගෙවල් ඇතුළෙ කෘත්‍යාත්මකයි කියලා. කැමරාව විසින් focus කරන මේ (objects) විසින් තමා අද නිකමුන්ට ස්වයං උත්කර්ෂයක් ( self glorification) ලබා දෙන්නෙ‍. වටිනාකමක් අ‍ඩුයි කියල හිතෙන මිනිස්සුන්ට ස්වයං පරිපූර්ණත්වයක් ලබා දෙන්නෙ.

ඉස්සර නිශ්චිත අවකාශයකට බැඳී තිබුණු දේවල් අද ඒ ව්‍යුහයෙන් අහස් ගත වෙලා සමාජ හා පුද්ගල අංග සම්පූර්ණත්වයක් ඇති කරන දේ බවට පොලා පැනලා. සරළව කිවුවොත්, පන්සල්වල තිබුණ ඉර හඳ සේසත් චිත්‍ර සාලෙට ඇවිල්ලා.. කල, පෝච්චි දොරකඩට කොරිඩෝවට ඇවිල්ලා..ගෙදරට එකතු කරන මේ දේවල්වලින් එකම අවස්ථාවෙම social spiritual(තත්වය), material(ලා‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍භය) කියන sides එක පාර අයිති කර ගන්නවා.

කලා කෘතියක තත්වයෙන් පරිභෝජන වස්තුවකට පොලා පැනපු මේ ඔබ්ජෙක්ට්ස්වල යථාර්ථය තේරුම් නොගත් මිනිසුන් කිහිපදෙනෙකුගේ මේ විකාරය වැඩසටහන් හරහා සමාජ ගත වෙන්න පටන් ගන්නවා. ‍පුංචි මැටි කලයක් හරි පෝච්චියක් හරි ගෙනල්ලා ගෙයි මුල්ලක රඳව ගන්න මිනිසුන් පෙළඹවීම ගැන මට මහත් සංවේගයක් ඇතිවෙනවා. රූපවාහිනීවල කට්ටිය නම් මේ ධනවාදී ව්‍යාපෘතිය ඇතුළෙ සෑහෙන්න තෘප්තියක් ලබනවා.

දැන් මේ වෙනකොට අපි ජීවත් වෙන්නෙ video sphere එකක් ඇතු‍ළෙ..ප්‍රදර්ශනාත්මක (narcissistic) ආසාව agony එකක් වෙලා ඉවරයි.
මේ ගෙවල් ඇතුළෙන් මතුවෙන
-art object එකකට තමා කළ භාව විෂයික පරිශ්‍රමය ගැන හා ආයෝජනය ගැන ආඩම්බරයට පත් වෙන අය,
-යමක් තුළ එයටම අයත් ගෞරවයන් හා නෛසර්ගික වටිනාකමක් ඇතැයි සිතා එයට බැඳීමක් ඇති කර ගන්නා අය
යන මේ සියලු දෙනාගේ විකාර පුරුදු විචාරයක් නැතුව සමාජය ඇතු‍ළෙ seriousභාවයට පත් කරලා සැලකුම් අරන් දෙන්න මේ පඨිතයන් ක්‍රියා කරන විදිහ තමා මට මේ වැඩසටහන්වලින් පේන්නෙ‍.

අළුත් කිය කියා මොන චැනල් එකට දැම්මත් අන්තිමට හැඩය-පාට-පිළිවෙල-පෙනුම-නාමකරණ විතරක් වෙනස් වෙලා පරණ එකම වැඩසටහන තමා පෙන්වන්නෙ
හරියට පරණ ශරීරයකට අළුත් ඇඳුම් ටිකක් අන්දලා අනික් අයට කළින් ඉස්සර වෙලා දුවනවා ව‍ගේ වැඩක්..

Additional,