Tuesday, May 15, 2012

Halloween වෙසක් !

වෙසක් ආවා. වෙනද වගේ ගෙදර ගිහින් කූඩු හදන්න බැරිවුණා.. ඉන්න ගෙදරවත් පහනක් පත්තු කරන්න බැරිවුණා.

වෙසක් එකට දවසකට කළින් ගෙදරට කෝල් එකක් ගත්තා. 
..නංගි කෝ ..
මං හිතුවේ.. වෙසක් කූඩු හදන්න ඔයා එනකන් නංගියි මල්ලියි බලා ඉන්නවා.. කියල චූටි අම්මා කියයි කියලා. ...එයා කූඩුවක් අලවනවා පුතේ.. ඒ වෙනුවට චූටි අම්මා කිවුවා.. 
..ආ...
මට කියන්න දෙයක් හිතාගන්න බැරිවුණා..
කූඩු කඩෙන් ගෙනාවද ?
නෑ.. නංගි හැදුවා කාඩ්බෝඩ්වලින්..මල්ලිට ස්කෝලෙ ගෙනියන්න කඩෙන් කූඩුවක් ගෙනාවනෙ. එයා ඒක බලන් හැදුවා..
..ආ...
බල්බ් දැම්මද ? 
ඔව් බාප්පා අළුත් බල්බ් වැලක් හයි කළා.. 
..ආ...
මට හෙනම තෝන්තු ගතියක් දැනුණා.. ඉතින් මාව ඕන වෙලා නැහැනේ කාටවත්. වෙසක් එකට ගෙදර යන්න හිතන් හිටි එකෙත් නිකන් හෙළවෙන ගතියක් දැනුණා..දුක හිතුණා.. මෝඩ  කඳුළු බිංදුවක් ළාවට ඇහැ පිහදාගෙන ගියා වගේ දැනුණා..මං හිතන් හිටියේ මං  හිටපු තැන හිස්තැනක් ඉතිරිවෙලා ඇති කියලා.. ඒවුණාට එයාලා ඒ හිස්තැන පුරවගෙන කියලා දැනුණහම නිකන් අමුතු හැඟීමක් දැනුණා.

ඉතින් ඒ වුණාට කොහොම හරි වෙසක් එකට ගෙදර ගියා. යන්න වුණා. මොකද අපේ ඔෆිස් එකේ වෙසක් කලාපයට යන්න වුණ නිසා.. මං කලින් දවසේ කඩේ  ගිහින් සුදු ඇඳුමක් අරන් පස්සෙන්දා නංගියි මල්ලියි චූටි අම්මයි එක්කන් නිල වෙසක් ගමනට ගියා. මගේ බොස් අපිව ගේ ළඟින් බස්සලා ගියා. ගේට්ටුවෙන් ඇතුළට එනකොට අයියලා අක්කලා පොඩි කලබලයක. අපේ මලයව දැක්ක ගමන් කෑ ගැහුවා.. 
අපි අයිස්ක්‍රීම් දන් සලක් දෙනවා එන්න එන්න කියලා. ඉතින් ඒක පටන් ගන්න වෙලා යන නිසා මං ඇහුවා මගේ ටීම් එකෙන්.. අපි යංද පන්සල්..එනගමන් දන්සැල් වඳිමු..කියලා. ඒවා ඉතින් කටින් පිටවෙනකොටම ස්ථිර වෙන නිසා අපි පන්සල් ගිහින් පාඩුවෙ කාලය ගෙවලා සුපුරුදු බ්‍රව්න්ස් දන්සලෙන් අයිස්ක්‍රීම් කාලා ඊට එහා දන්සලෙන් උණු සව් කැඳ බීලා ඉසිපතන වෙසක් කලාපයේ කුඩ තොරණයි, මට අනුව නම් හෙනම ග්‍රාම්‍ය විදිහට හදලා තිබුණ දික්තල-කාලගෝල රූකඩ කතාවෙන් ටිකකුයි, ඉසිපතන තොරණයි, ස්කෝලවල කූඩුයි බලාගෙන ගෙදර ආවා.. 

දෙවෙනි දවසේ අපේ ඉසම්මා (එයාගෙන් නම ඇහුවම කියන්නෙ එහෙමයි) එයාගෙ අම්මයි තාත්තයි මාලයි එක්ක ආවා. ඉතින් මාලා දන්සැල් වැඳලා නැති නිසයි, මගේ ටීම් එකේ පොඩි මෙම්බර්ට හා මට ගංගාරාමෙ වෙසක් බලන්න ආසාවක් තිබුණ නිසයි අපි ගංගාරාමෙ ගියා. 
පිත්තල හන්දියෙන් වෙසක් කලාපය පටන් ගන්න තැනම අයිස්ක්‍රීම් දන්සලෙන් දියවීගෙන යන අයිස්ක්‍රීම් කකා අපි ඇවිදගෙන වෙසක් කලාපයට ගියා. මම මල්ලිගෙ ්අතින් ඇදගෙන. මාලා නංගිගේ අතින් අල්ලගෙන. චූටි අම්මා අපි පස්සෙන් එනවා... කලාපේ වෙසක් කූඩු අවසන් වේගෙන එන හරියෙදි ගංගාරාමෙ දූපත පේන්න ගත්තා සුරපුරයක් වගේ. ඒ කියන්නේ පාට පාට ලයිට් පිරිලා. ඒ මදිවට ලයිට් බලන්න යන්න පෝලිමක්. ඉතින් අපිත් පෝලිමට යන ගමන් දැකපු දේවල් නිසා මං හැරිලා මාලාට  කිවුවා..
.. එහෙන් මෙහෙන් අල්ලන්න ආවොත් කන රත්වෙන්න එකක් දෙන්න...
(අම්මෝ මේ වෙසක් කාලෙ නේද ? මගේ යටි හිත මට කිවුවා. මේ ඇත්තටම මම ද කියලා මටත් හිතුණා)
ඉතින් මං ආවෙ වෙසක් බලන්න මිසක් සිල් ගන්න නෙවේනෙ. ඉතින් ඉවසීම කොහෙන්ද ? එක්කෝ ඒ  පරිසරය විසින් හික්මුණු සිතිවිලි අයින් කරලද මන්දා.. නිකන් නොතේරෙන සිතිවිලි අවුල් ජාලයක් ඒ වෙසක් කලාපයේ තිබුණා..
අයියෝ මේ සල්ලි නාස්තියක්. තනිකරම කානිවල් එකක්නේ මේ වෙසක් කියලා කරන්නේ.. හිත කිවුවා.
ඉතින් ෂෝක්නෙ. මේ දවසට නරක දේවල් නොකර නොහිතා මේ වගේ තැනකට ඇවිල්ලා හිත සන්තෝස කරගන්න එක. වෙසක් වෙන්නත් ඕන ඉස්සරහට මෙහෙම තමයි.. හිතේ අනික් පැත්ත කිව්වා. මං ගන්නේ කොයි පැත්තද කියලා මට විශ්වාස කරගන්න බැරිව ගියා..
අපි දූපතේ රවුමක් ගහලා කණ්ඩියක් උඩට ඇවිත් ඇණ තියාගත්තා. මාලයි චූටි අම්මයි ගියා නූඩ්ල්ස් ස්ටෝල් එකට පොරකාලා අපිට නූඩ්ල්ස් ගේන්න. එතකොට රෑ 11ට විතර ඇති. අපිට හොඳටම බඩත්ගිනි.
එහෙම ඉඳන් ඔන්න මං පීපල් වොචින් කරන්න පටන් ගත්තා.. මෙන්න එනවා කට්ටි කට්ටි. පවුල් පිටින්. රංචු පිටින්. 

පිරිමි ළමයි මෙන්න මේවා දාගෙන..  

ගෑණු අය මෙන්න මේවා දාගෙන  
මාරයි වෙසක් ! මට හිතුණා.. පොඩි ළමයින්ගේ ඔලුවල දිලිසෙන රතුපාට අං තට්ටු. තව රතු දිලිසෙන ලෝගු ඇඳපු කොල්ලෝ...වෙසක් එක කානිවල් එකක් (වුණ) නිසා සර්ව ආගමික අය පාරට බැහැලා..කනවා බොනවා..කාපු බීපු රොඩු පාර පුරා වීසි කරනවා.. ඒ අස්සේ පොඩි කෙල්ලෝ කොල්ලෝ ජෝඩු පිටින් ෆැන්සි ඩ්‍රෙස් ඇඳන්, පාර්ටි ඩ්‍රෙස් ඇඳන් පොඩි පොඩි ආදර කතා බහ... (කොහොම ගෙවල්වලින් ආවද මන්දා මේ වෙලාවට - ආයිත් මට සාම්ප්‍රදායික ප්‍රශ්න)
මේක තමයි වෙන්න ඕන..... ආයිත් මට හිතෙනවා...
මේක තමයි හැලොවීන් වෙසක්... මං හිතනවා..
හරිනේ..හැලොවීන් කියන්නෙත් සාන්තුවරයින්ගේ දවසක්ලුනේ.. ඒ අතින් ගත්තත් අපි  සමානයි. නපුරු ආත්ම පලවා හරින දවසක් කියලා කියනවානේ... ඒකත් ටිකක් සමානයි. මොකද අපි වෙසක් පෝයට සිල් සමාදන් වෙලා හිත- කය- වචනය සංවර කරගෙන කරන්නේ ඒ වගේ දෙයක්නේ.....මේ වෙනකොට නෝක්කඩුවක් තියෙනවා හැලොවීන් තියෙන රටවල්වලත් දැන් ඒකෙ තේරුම වෙනස්වෙලා..පොඩි ළමයි එක එක විදිහේ ඇඳුම් ඇඳන් ගෙයක් ගානේ ගිහින් ට්‍රික් ඔ ට්‍රීට් කරනවා කියලා... ඉතින් ඒකමනෙ දෙයියනේ මේ ඇස් පනාපිටම වෙන්නේ... අම්මලා තාත්තලා ළමයින්ට මාස්ක් අරන් දීලා .. අං පළන්දලා... විසිතුරු අන්දවලා වෙසක් දවසට එළියට එක්කන් එන එක.... ආයෙ වෙන මොනවද.
අනික හැලොවීන් වට්ටක්කා ගෙඩි හාරලා ඉටිපන්දම් ගහන එකයි, වෙසක් කූඩු සරසලා ඉටිපන්දම් ගහලා එල්ලන එකෙයි සමාන කමක් නැද්ද ?
අනික හැලොවීන් එකට බය හිතෙන රූප, ඇඳුම් හැම තැනම. මේ වෙසක් කූඩු ගාවත් යක්ෂ ඒ කිව්වෙ මේ සිංහල යක්කු නෙවේ අර රූපෙ ඉන්න වගේ මූණු දාලා හදපු පඹයො වගේ රූප තියෙනවා මං දැක්කා.. 
අනික වෙසක් බලලා අපි පයින්ම කොම්පඤ්ඤ වීදිය හරහා සලාකා පහු කරලා ටවුන් හෝල්වලට එද්දි ඉලන්දාරි සෙට් එකක් අර උඩ තියෙන මූණ දාගෙන ඇඟට පනිනවා. ඉතින් ඒකත් හැලොවීන් යාතු කර්මයක් නෙවෙයිද ?(මගේ ඇඟට පනින කොටම මං නැවතිලා අත දික් කළ පාරට කට්ටිය සසල වුණ එක වෙනම කතාවක්- අම්මෝ වෙසක් එකට තරහව..)
ඉතින් ගංගාරාමෙ වෙසක් කලාපෙට ගියාම නම් මට වෙසක් කියලා මෙතෙක් කල් දැනුණ හැඟීම් එකක්වත් දැනුණෙ නෑ.. ඒ නිසා මං ඒක ට සුදුසු නමක් හිතුවා.. ඒක තමා උඩ තියෙන්නේ..
බෞද්ධයො මා එක්ක අමනාප වෙන්න එපා. මට කරන්න දෙයක් නෑ.. පරිසරය අනුව සිතිවිලි ගලපා ගත්තා විතරයි. ඉතින් එහෙම හිතන්න එපා නම්, ඔය වෙසක් කලාපෙ වෙනස් කරවා ගන්න. මට හිතෙන විදිහ හරිනම්.....
එහෙනම් ඉතින් අවුලක් නැහැනේ..
හැමෝටම (ගෙවුණු) ප්‍රීතිමත් හැලොවීන් වෙසක් මංගල්ලයක් වේවා !

8 comments:

හසාරා බී - Hasara B said...

mamath gangarame giya.. ethokatath owa thama dakke... ratata giya kala :(

Anandawardhana said...

හ්ම්, ඒක හරි. හැලොවීන් තමයි. මේ ගතිය එන්න එන්න වැඩි වේවි. ඔය ගතියට අකමැති අයට කරන්න තියෙන්නේ වෙසක් දින කීපය retreat එකක් හැටියට හිතාගෙන පාරට නොබැස ඉන්න යි. මම සාමාන්‍යයෙන් කරන්නේ එහෙම යි.

ඇවිද්ද පය ...... said...

ඔයාගේ සංසංදනය හොඳයි. මෙහි යම් සමාන කමක් තියෙන බවත් ඇත්ත. ඒත් අද බොහෝ දෙනාට අමතක වෙලා තියෙන දෙයක් තමයි ඇයි අපි මේවා කරන්නේ කියන එක බොහෝ දෙනාට අමතක වෙලා. ඇත්තටම අපි පාන් කූඩුවක් හදන්න කොයි තරම් මහන්සි වෙනවද ? සමහර විට නිදිත් මරාගෙන, පාප්ප ගාගෙන, කොල අලවන්න, රැලි දාන්න. ඉතින් පස්සේ මේ කූඩුවට ඉටි පන්දමක් ගහනවා. සමහර විට ඒ ඉටිපන්දමෙන් හෝ වෙසක් කාලෙට වහින වැස්සෙන ඒ කූඩුව විනාශ වෙනවා. අපේ ජීව්තයත් මෙන්න මේ වගේ කියලා පේන්න තමයි මේ කොයි දේත් කරන්නේ. හැලොවීන් එකෙන් එයාල බලාපොරොත්තු වෙන්නේ වෙනම දෙයක්.

ඇවිද්ද පය ...... said...

ඔයාගේ සංසංදනය හොඳයි. මෙහි යම් සමාන කමක් තියෙන බවත් ඇත්ත. ඒත් අද බොහෝ දෙනාට අමතක වෙලා තියෙන දෙයක් තමයි ඇයි අපි මේවා කරන්නේ කියන එක බොහෝ දෙනාට අමතක වෙලා. ඇත්තටම අපි පාන් කූඩුවක් හදන්න කොයි තරම් මහන්සි වෙනවද ? සමහර විට නිදිත් මරාගෙන, පාප්ප ගාගෙන, කොල අලවන්න, රැලි දාන්න. ඉතින් පස්සේ මේ කූඩුවට ඉටි පන්දමක් ගහනවා. සමහර විට ඒ ඉටිපන්දමෙන් හෝ වෙසක් කාලෙට වහින වැස්සෙන ඒ කූඩුව විනාශ වෙනවා. අපේ ජීව්තයත් මෙන්න මේ වගේ කියලා පේන්න තමයි මේ කොයි දේත් කරන්නේ. හැලොවීන් එකෙන් එයාල බලාපොරොත්තු වෙන්නේ වෙනම දෙයක්.

විමුක්ති said...

ඔබටත්, වෙසක්බලා සිත සැනැසේවා...

burubabe.blogspot.it said...

වෙසක් මතක් වෙලා බලන්න වෙන්නේ නෑ කියලා නහයෙන් අඬ අඬා හිටියේ කලින් මම......
චින්තාගේ මේ ලිපියයි (http://c-u-l-t.blogspot.it/2012/05/blog-post_15.html) මේ ලිපියයි කියෙව්වම ඒක ඉක්මනින්ම මඟ හැරිලා හැලෝවීන් නම් ඔක්තෝබර් වලත් ඊට අමතරව ඔය ඇඳුම් විච්චූර්ණ බලන්න කානිවල් ෆෙස්ට් එකත් (http://en.wikipedia.org/wiki/Carnival) අපිට තියෙනවානේ කියලා හිත හදා ගත්තා.

වෙසක් අස්සේ ඉස්සරහට එන බහු ආගමික එකමුතුවට මාත් කැමතියි. ඒත් ඒක විකාරයක් වෙනවට නම් කැමති නෑ.

සු෴ said...

@හසාරා බී - ස්තූතියි. මටනම් ඇත්තටම (මට) දුකක් තියෙනවද නැද්ද කියන එක හිතාගන්න බෑ..

@Anandawardhana කාලෙකට පස්සෙ මුණගැහිල ඉන්නෙ.. :D කඩවුණු පොරොන්දුවකුත් තියෙනව.. මතකද මන්ද

@ඇවිද්ද පය ...... ස්තූතියි. හරි ඉතින් ඕක තමයි ජස්ටිෆිකේෂන් එක.. අනෙක් අතට ජීවිතය එහෙම වෙන නිසාම ටිකක් සැහැල්ලුවෙන් සන්තෝස වුණාට කමක් නෑ කියල හිතන අයට හැලොවීන් වෙසක් තමයි..

@ විමුක්ති - :)

@ burubabe ස්තූතියි චින්තන බ්ලොග් අවකාශේ ඉන්න බව දැනන් හිටියෙ නෑ.. කාලෙකින් බ්ලොග් ආශ්‍රයක් නොතිබුණ නිසා..

Anandawardhana said...

@සූ෴
හැබෑටම ඔව් නේන්නං. මට ඒක මතක් වෙනව :D බලමු බලමු, දැන් මමත් වැඩිපුර බ්ලොග් ලියන්න උත්සාහ කරනව. (නමුත් මම හිතාගෙන හිටියෙ පොරොන්දු ඉටු නොකර අවුරුද්දක් හමාරක් ගියාම ඒව අහෝසි වෙනව කියල. ඔය රටේ තොටේ සිද්ද වෙන්නෙ එහෙම නෙව.)

කාලෙකින් නැවත මුනගැහීම ප්‍රීතියක්. තව අහඹු සිද්ධියක්: මම පොඩි සටහන් කෑල්ලක් ලිව්ව. ඒකයි ඔයාගෙ අලුත් ලිපියයි අතර එක්තරා විදිහක සම්බන්ධයක් තියෙනව. නමුත් අලුත් ලිපිය දැනුයි දැක්කෙ, අරක ලිව්වට පස්සෙ.

@burubabe
මේ "බහු ආගමික එකමුතුව" එක ආගමක කට්ටියකගේ ක්‍රමයට බලහත්කාරෙන් කරන්න එන එක තමයි මට උහුලන්න අමාරු. ඒ ඒ ආගමික ප්‍රජාවන් ඇතුලෙන් පැන නඟින උත්සුකයක් තියෙනව නම් ඕක ලස්සන දෙයක් වෙන්න ඉඩ තියෙනවා කියලයි හිතෙන්නෙ.