Sunday, August 8, 2010

පුංචි පුංචි කතා ටිකක් !


ඉතාලි ජාතික බර්නාදෝ බර්තොලුච්චි Gilbert Adairගේ The Holy Innocents නවකතාවෙන් හදන චිත්‍රපටය තමා The Dreamers(2003). මේක ඇමරිකාවෙ NC-17 ට රේටින්ග් වුණා. තියෝ සහ ඉසබෙල් නිවුන් සහෝදරයා සහ සහෝදරිය අතර සාමාන්‍යයෙන් ව්‍යභිචාරී යැයි පවසන සම්බන්ධයක් පවතිනවා. ඔවුන් එය සාධාරණීකරණය කර ගන්නේ තමන් Siamese Twins ලෙස හඳුන්වමින්. 1968 දී ප්‍රංශය තුළ වූ දේශපාලනික පිබිදීම ඓතිහාසික සිනමා පසුබිමක තබමින් අතිශය පුද්ගලවාදී ලිංගික තේමාවකින් චිත්‍රපටය ගොඩ නැගී ඇතැයි මට හිතෙනවා. මේ කරුණු තුනම එවකට ප්‍රංශ සමාජය තුළ වූ සම්ප්‍රදාය පිටු දැකීමේ විප්ලවීය පිබිදීමට සම්බන්ධ කොට තිබෙනවා....

ලංකාවෙත් ඒ වගේ ඇතැම් දේවල් සිදුවෙනවා. ඒත් ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැති..

හඳගමගේ අක්ෂරය ඒ වගේ කතාවක් කියන කොට ලංකාවේ ව්‍යවස්ථාපිත නීතිය ඒ කතාව කියන කෙනාට දඬුවම් දෙන්න මහන්සි වෙනවා.

ඒ අතරේ ...මේ සිවිලයිස්ඩ් කොළඹදී නඩුවක් ඇහෙනවා. චූදිතයාට වයස අවුරුදු 18 යි. අයියා.. වින්දිත නංගීට වයස අවුරුදු 14 යි. නංගිගේ නිවුන් දරු දෙන්නාගේ තාත්තා තමයි කූඩුවේ ඉන්න අයියා... නංගිට හම්බ වෙන්නේ කෙල්ලෝ දෙන්නෙක්.. දෙන්නගෙම හදවතේ සිදුරු. ඇප අරන් එළියට එන දහඅටේ අයියා සිය දිවි නසා ගන්නවා.

මේ කතාව ආවේගයෙන් කියමින් ගිය මගේ නීති ක්ෂේත්‍රයට කැපවෙලා ඉන්න මිතුරා චෝදනා කළේ ලංකාවෙ අධ්‍යාපන ක්‍රමයට..
"සෙක්ස් එඩියුකේෂන් කියලා මෙලෝ දෙයක් උගන්වන්නේ නෑ. කුතුහලය ආවාහම ළමයි මොනවද නොකරන්නේ ? ඕවා ස්කෝලවල උගන්වනවානම් ඉවරනේ.."

" අපි මේ ළමයි දෙන්නා මේ රටේ අයට හදා ගන්න දෙන්නේ නෑ. ලොකු වුණාම ප්‍රශ්න එනවානේ.. පිටරට කෙනෙක් ඉල්ලුවොත් ඇත්තම කියලා දෙන්නයි හිතන් ඉන්නේ"...

අම්මා වුණ නංගීව රැකවරණයට ගත් ළමා නිවාසයේ පාලිකාව මා එක්ක කිව්වා.

ළමා අම්මලා ඉන්න තැනක් වුණත් අපි ගියේ ඒ වගේ අකටයුතුකම්වලින් දෙමාපිය රැකවරණයෙන් ඈත්වෙලා ඒ නිවාසයේම ඉන්න පොඩිවුන් ටිකක් බලන්න. කෙල්ලො අටයි. කොල්ලො අටයි. ඔක්කොම අවුරුදු 5ට බාලයි.

16 දෙනාම පොරකකා ඇවිත් ඇ‍ෙඟේ එල්ලුණා.. " අනේ මාව වඩා ගන්න.. මාව වඩා ගන්න..දැන් මාව".. මාරුවෙන් මාරුවට ළමයි 16 දෙනෙක් වඩාගෙන අතත් රිදෙන්න ගත්තා. දාඩිය පෙරාගෙන අන්තිම එකාව බලෙන්ම බිම තිබ්බා.

අහස්ගෙ දෙවෙනි උපන් දිනේට මගේ යාලුවෝ‍ දෙන්නා ඒ පොඩි වුන්ට සපත්තුයි ඇඳුමුයි අරන් දුන්නා.. කලින් දවසේ ඒවා ගෙනිහින් තියලා අන්දන්න කියලා එදා අපි ගියේ කේක් කපලා තෑගි දීලා කාලා බීලා එන්න.. පොඩි කට්ටිය එක්ක.

හිත සංවේදී වෙන ගොඩක් කතා, සිදුවීම් එක්ක අවුරුදු 14ට අඩු අම්මලා මැටර්නිටි ගවුම් ඇඳන් ළපටි මූණුවලින් අපි දිහා බලමින් එහා මෙහා යනවා දැක්කහම මේ ලෝකේ ගැන පුදුම කලකිරීමක් එනවා. මටත් වැන්ඩෙටා කෙනෙක් වෙන්න හිතෙනවා.

මේ පාර්ටියට ආවා තවත් අපේ යාලුවෙකුගේ ‍පොඩි එකෙක්. දැන් ස්කෝලෙ එක වසරෙ. ස්කෝලෙ යන්න ගත්තහම සම්පූර්ණයෙන්ම අමුතු වෙලා. පොඩි එකීගේ අම්මා එළියේ බැම්මක් උඩ වාඩිවෙලා කේක් කෑල්ලක් කන්න ගත්තා. පොඩි එකී එපා කිවුවා.. ළමයි ගොඩට ආවෙත් නෑ. එයාට එතන ක්‍රමය ඇල්ලුවෙ නෑ.. පොඩි එකී එතනදි ‍මේ වගේ අදහස් ටිකක් පළ කරලා..
" Why do they celebrate their birthday with poor children ? "
" I don't like to play with them. I only play with Amaya..."
" Who is Amaya ?"
" one of my friends "
පොඩි එකීට සිංහල කතා කරන එකත් මදිකමක් වෙලා. ස්කෝලෙදි සිංහලවලට බිංදුවලු. අම්මාටයි තාත්තාටයි ස්කෝලෙන් කියලා.
අපි එන ගමන් ඒ විපර්යාසය ගැන කතා කරමින් ආවා. හදිසියේම මට The Dreamers මතක් වුණා..ඇත්තටම එහෙම වෙන එක වරදක් ද ? මට ඉබේම ඇහුණා..
වාහනේ ඇතුළේ අදහස් පළ වුණා. unethical.. illegal.. bla bla bla..
මගේ මිතුරා ආයෙත් කතා කළා..
"‍That is the difference between humans and animals !"
. . . . . . . . .. . . . .
අපි ජීවත්වෙන්නේ සතුන් වැනි මිනිසුන් පිරුණු සමාජයක ද ?

5 comments:

Dinush said...

අද අපේ සමාජයේ මිනිස්සු 'දියුනුව'කියල හදුන්වන එක තනක් තමඉ ඔයාගෙ අවසාන වාචන ටිකෙන් ක්යවෙන්නෙ,සින්හල වරද්ද වරද්ද ඉන්ග්‍රීසි හරියට කතාකරන එක බොහොම විෂිෂ්ට දෙයක් විදියටයි අද සමාජය දකින්නෙ.
පුන්චි කලෙ ඉදලම ලමයින්ට සාර ධර්ම,වැදිහිටියන්ට සැලකිම,සහොදර බදිම්, මේ කිසිම දෙයක් ගැන අවබොදයක් ලබාදෙන්නැහැ.
ළමයින්ව දහම්පාසල් යවන්නැහැ.මෙතනදි දෙමාපියන් තමයි 80%ක්ම වගකියන්නොන.
මේදේවල් නිසයි අද මිනිසුන් තිරිසනුන් එකට හසිරෙන සමාජයක් බිහිවෙලා තියෙන්නෙ කියන එකයි අම්ගේ හගීම...

Ansh Lucky Sri Jay said...

ඔය කියන චිත්‍රපටය නම් බලා නැත.
පෝස්ට් එකෙන් කියවෙන්නෙ නම් මේ සමාජයේ එක්තරා තිත්ත ඇත්තක් කියලයි කියන්න තියෙන්නෙ.

ඔන්න පෝස්ට් එකක් අලුතින් දාපු එක ගැනත් බොහොම සතුටුයි.
:)

Anonymous said...

මිනිස්සු සත්තුන්ගෙන් වෙනස් වෙන්න දඟලන්නේ හරියට පොහොසත් අය දුප්පත් නෑදෑයොන්ගෙන් වෙන් වෙන්න දඟලනවා වගේ. ඒත් ඇත්තටම මිනිස්සුන්ගෙත් සත්ව කොටසක් තියෙනවා කියලයි මම හිතන්නේ. ඒ කොටස අපි නොහිතන තරම් අපි කරන වැඩ වලට බලපානවා. අපි අනිත් සත්තුන්ගෙන් වෙනස් වෙන්නේ තනිව (ස්වභාවධර්මයෙන් පිට) කොච්චර වැඩ කරන්න පුලුවන් ද කියන කාරණෙන්.

පොඩි එකාට සිංහල කතා කරන මදි කමක් කියල හැඟීම දෙන්නේ එයාට පුංචි කාලෙ ඉඳන් ඉංග්‍රීසි වැඩි පුර පුරුදු කරපු දෙමාපියොමයි.

Strawberry Kiss said...

මට මතක් උනේ අරුන්දතී රෝයි ගේ 'God of Small things' කතා පොත. නිවුන්නු අතර (සහෝදරයෙක් සහ සහෝදරියක්) ඇතිවන 'අසම්මත' සම්බන්දයක් එකෙත් තියෙනවා. හැබැයි ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ ඉතාම ඛේදනීය සහ මානුෂික විදියට. කතාව කියවන කොට අනුකම්පාවක් මිසක් පිළිකුලක් නම් දැනුනේ නෑ.
ඇත්තටම ඒක වැරදි දෙයක්ද? ඒක පාරටම හිතට එන්නේ නම් අප්‍රසන්න හැඟීමක්. එහෙම වෙන්නේ සමාජීයව සහ සංස්කෘතිකව අපි 'Condition' වෙලා නිසාද? නැත්තම් ජීව විද්‍යාත්මකව හැඩ ගැහිලද?
අපේ රාමු වලින් එහාට ගිහින් හිතන්න අමාරුයි. නමුත් තම තමන්ගේ රාමු හැරුනම වෙනත් රාමු තියෙන බවත්, ඒ සියලු රාමු වල එහා ලෝකයකුත් තියෙන බවත් ගොඩ දෙනෙක්ට තේරෙන්නේ නෑ.

සු෴ said...

Dinush අදහස්වලට බොහොම ස්තූතියි. ‍අළුතින් බ්ලොග් එක පැත්තෙ ආව කෙනෙක් වගෙයි... Ansh Lucky Sri Jay ස්තූතියි. දැන් මං දන්නව මට අළුත් නිරන්තර පාඨකයෙක් ඉන්නව කියල :-)
Anonymous කියල තියෙන්නෙ ලොකුකතාවක්.. ඒ වගේම වෙනම තර්කයක්!නමත් එක්ක කිවුව නම් කොයිතරම් වටිනවද ?
Strawberry Kiss ඔව් ඒ වගේ ඒව කියවල ඒවා වෙනස් විදිහට දැනිල තිබුණ නිසා තමයි එදා මටත් එක පාරටම ඒ ප්‍රශ්නෙ ඇහුණෙ... ඒත් ඒකට අනිත් අය උත්තර දීපු විදිහ මං දාල ඇතිනෙ.