Sunday, May 16, 2010

මිය ගියවුන් වළ දමන්න


ලියන එක තරම් එපා කරපු අමාරු වැඩක් මේ දවස්වල තවත් නැහැ. ලියන්න ගත්තත් කොයි තරම් දිග විස්තරයක් වුණත් පේළි දෙක තුනකින් ඉවර කරන්නමයි හිතෙන්නෙ.. දවස් ගාණක ඉඳන් මතකයේ රැඳුණු .. අපේ ජීවිතවලටත් පොදු සත්‍යයක් මතක් කරල දෙන පොඩි සටහනක් තියන්න කියල හිතුව මේ පාර..

ගෙදර ගිහින් පුරුදු විදිහට එනකොට බස් එකක් අල්ල ගන්න බොරැල්ලෙ බෝ ගහ යට හිටිද්දි තමා මේ කතන්දරේට මුල පිරුණෙ. සාමාන්‍යයෙන් ටිකක් රෑ වෙද්දි මගේ කුලී බංගලාවට එන්න ඉඩ තියෙන බස් හොයාගන්න අමාරුයි. නිවාඩු දවස්වලට හොඳටම අමාරුයි... එදත් බෝ ගහ ගාව එහාට මෙහාට වෙවී බෙල්ල දික්කරන කොට එක පාරට මැදිවියෙත් මැද හරියෙ වගේ හිටපු ගැහ‍ැණු කෙනෙක් දුවගෙන දුවගෙන ඇවිත් මා ගාව නතර වුණා. සුදට හුරු ළා පාට සායකුයි හැට්ටෙකුයි ඇඳල හෑන්ඩ් බෑග් එකකුතු එල්ලං, අතින් කටින් තව සිලි මලු දෙකක් විතර එල්ලං...

මා ගාව නැවතිලා හති අරින ගමන් හිනාවක් එහෙම දාල කතා කරන්න පටන් ගත්ත.

." . අර අතන කාර් එකේ ඉන්න කොල්ලො දෙන්න මගේ අතින් ඇදල කතා කළානෙ.. බලන්න පාරක යන්න බැරි හැටි බයක් නැතුව.. මං මේ දුවගෙන ඔයා ළඟට ආවෙ ඒකයි.. තව කවුරු හරි ඉන්න කොට කරදරයක් නැහැනෙ.. "

මං ඈ දිහා බලල හිනා වුණා..
මං සාමාන්‍යයෙන් මග තොටේදි වැඩි කතා බහ තියෙන කෙනෙක් නෙවෙයි. ‍පොඩි කාලෙ අපි බස් එකේ ගමේ යද්දියි ආයෙ එද්දියි අපේ අම්ම මා එක්ක යන්න කැමති නැහැ... " ගොලුවෙක් එක්ක යනව වගේ මෙයා එක්ක ආවහම..වචනයක්වත් කතා කරන්නෙ නැහැ ".. ඒ අම්ම මගේ ගුණ වර්ණනා කරන හැටි.

" මං යන්නෙ රාජගිරියට. ඔයා යන්නෙ කොහාටද ? " ඈ අ‍ායිමත් අහනව.. " මං ඊට එහාට යනව.." මං කිවුව.

ඈ ආයෙමත් ඈ බහින තැන මට විස්තර කළා. මං ඒ ඉසවුව දන්නව. ඒ පාරෙ කුලී ගෙවල් කීයකට මං කතා කරල ඇද්ද ?

" මං කරන්නෙ ඇඳුම් මහන එක. ... පන්සල ගාව... මට පුළුවන් එමිබ්‍රොයිඩර්, ලස්සනට බතික් කරන්න, හැම දේම පුළුවන්.." ඈ කියනව. " අද ෆොන්සේකා මහත්තයට බෝධි පූජාවක් තිබුණනෙ.. මහන ළමයි ‍එක්ක මාත් ඒකට ගියා. ඒකයි ටිකක් රෑ වුණේ..."
ආයෙත් ඈ

ඈ දිගටම කතා කරන්නෙ හද ගැස්ම අඩු කරගන්න වගේ.. මං ආයෙත් හිනා වෙනව.

ඊ ළඟට බස් එකක් ආව. මං නැග්ග ගමන් ජනේලෙ අයිනෙන් වාඩිවුණා. ඈත් මගේ සීට් එකේම වාඩිවෙලා ආයෙත් කතාව. ..වචනවලට නිදහසක් ලැබුණෙ ටිකට් ගන්න මාරු සල්ලි හොයන්න විතරයි.. "ඉන්න, මං ගන්නම්..." මං කිවුව. ඇගේ වචනවලට ආයෙමත් පණ ආව.


" ඔයා බැඳලද ? " ඈ අහනව. මං " නෑ " කියල හිනාවුණා.. " තාම ඉගෙන ගන්න පාටයි." .. " නෑ ." . මං ආයෙම හිනාවුණා.

ඈ දිගටම කතාව පටන් ගත්ත.

" අම්මයි මායි විතරයි හිටියෙ. මල්ලි බැඳල වෙනම ඉන්නෙ. අම්ම ළඟදි නැතිවුණා.. ඒ හින්ද ගොඩක් පාලුයි. ඇඳට වෙලා හරි අම්ම ගෙදර හිටියනම් කියල හිතෙනව. අම්ම කෙනෙක් නැතිවුණහම ගෑණු කෙනෙකුට හොඳ නෑ. දැන් මං තනියම ඉන්නව...."

ඈ කියනව... මං මා ගැනම හිතනව..

" මට බඳින්න කෙනෙක් හිටිය.. ඈ ආයෙම කියනව... අපි මගුල් ඇඳුම් හිටන් ලෑස්ති කරල හිටියෙ. එයා හරිම හොඳයි. හැමදේම හොයල බලනව. හමුදාවෙ වැඩ කළේ... බඳින්න ටික දවසකට කළින්නෙ පූනරින් කෑම්ප් එකට ගැහුවෙ. 93. එයා ගැන ආරංචියක් නැතිවුණා..."

මං ආයෙමත් ළාවට හිනාවෙලා ඈ දිහා බලාගෙන ඉන්නව.

" මට ඊට පස්සෙත් යෝජනා ආව ". ඇගේ ඇස් බබළනව... " ඒත් කොහොමද බඳින්නෙ.. එයා ආවොත් හෙම .. ? එයා එනකොට මං බැඳල හිටියොත් මං එයාට මොනවද කියන්නෙ ??? " ඈ මං දිහා බලන් ඉන්නව.

මට හිනාවෙන්න අමතක වුණා.

" එයා කවද හරි එයි කියල මං බලන් හිටිය.. එයා හරිම කරුණාවයි.. එහෙම කෙනෙකුට පිටුපාන්නෙ කොහොමද ? " ඈ අහනව.

මට උත්තර නෑ.. මං ඈ වුණානම් මං කරන්නෙත් ඒකමයි. මමත් ඒ වගේ හර්ද කම්පාවකින් නැතත් මෝඩ කියල නොතේරුණ නිෂ්ඵල බලාහිටීම් වෙනුවෙන් කාලය නාස්ති කරල නැතිවද ?

අවුරුදු ගාණකට එහා පූනරින් සටන ජීවිතේ තවත් පැත්තක් පෙන්නමින් බස් එකේ යනව.. ගෙදර ඇවිත් තිරය ඉස්සරහ වාඩිවුණහමත් ඇඟිලි දුවන්නෙ පූනරින්වලට...

On November 11, around two in the morning, the LTTE launched a massive attack from land and the lagoon simultaneously engaging the Nagathevanthurai naval base and the army defence lines in Pooneryn. .......................................
The Sri Lankan military alleges that 200 soldiers were captured by the Tigers and then executed. Another 241 soldiers, including 8 officers were killed in the fighting itself. 469 LTTE fighters were killed. Up to 200 soldiers remain missing.

ගෙදර ආවහමත් මාව ගල්වෙලා වගේ දැනෙන්න පටන් ගත්ත. ඈ වෙනුවෙන්ද ?
නැහැ.
මා වෙනුවෙන්..
තවත් අය වෙනුවෙන්..
ඇයි ?
ඈ මට මා හොඳින් දන්නා ජීවිතේ‍ වෙනත් ඉසවුවක් යළි අවධාරණය කළ නිසා...
අපි ජීවිතේ තීරණාත්මක අවස්ථාවලදි අපව පසුකරගෙන ගිය ඇතැම් අය/දේවල් (ආපහු ?) එයි කියල බලා ඉන්නව. ඒ සිතිවිල්ලෙන් එහාට එක අඩියක්වත් උස්සල ඉස්සරහට යන්නෙ නෑ.. ඒත් ඇතැම් අය/ ඇතැම් දේවල් ආපහු එන්නෙ නෑ... යථාර්ථය ඒකයි. ඒක දැන දැනත් අපි හිතන්නෙම අතීතයේ ගිලී ගිය දේවල් ආයෙ එයි/ලැබෙයි කියල..කාලය නාස්ති කරනව...
මට කොතෙකුත් අය හමුවෙලා තියෙනව... තාමත් ජීවිතේ සිද්ධ නොවුණ දේවල්..අද වෙයි..හෙට වෙයි..අනිද්ද වෙයි.. කියල හිත හිතා ඉන්න.. ඒත් එහෙම වෙන්නෙ නෑ.. අද අහස කලු කරල නැත්නම් හෙට වැස්ස එයි කියල බලාගෙන ඉන්නෙ කොහොමද ? හිතේ තියෙන දේවල් හිතෙන් එහාට යන්නෙ නෑ..දන්නෙම නැතුව ජීවිතේ ගෙවිල ගිහිල්ල.. පරණ වෙච්ච බලා‍පොරොත්තු ටිකක් එක්ක..
මෙහෙම හිත හිත ඉන්න කොට මොකද වෙන්නෙ ?

අපි එක තැන ලැග්වෙලා බාධක හදාගෙන ඉන්නව. ඒක අප විසින් ඇති කරන පීඩනයක්.. ඇතැම්විට අපටම..
මට මෙහෙම කියන්න හිතෙනව... " පින් සිද්ද වෙයි..අතීතයට අතීතය විදිහටම ඉන්න දෙන්න.." එතනින් ඉස්සරහට යන්න. මළවුන් නැවත කැඳවන්න ගියහම අළුත් අයට ලෝකයේ ඉඩ මදිවෙනව. මැරුණු අයට මැරෙන්න දෙන්න. හිතින්..ජීවිතයෙන්..මතකයෙන්...

ඕෂොත් කොහේ හරි එහෙම කියල ඇති කියල මට නිකමට හිතෙනව.. මට හීනෙන් වගේ එහෙම මතකයකුත් තියෙනව.

පරණ පොට්ටනි උස්සගෙන යනකොට ගමන වෙහෙසයි. back pack එක සැහැල්ලු කරගන්න මං නම් කැමතියි. කාලය වේගයෙන් ගෙවෙන තරමට ජීවිතේ ගිලිහෙන වේගයත් දැනෙන නිසා...
ඉටුවෙයි කියල තනියෙන් දකින හීන අතාරින්න දැන් කාලය ඇවිත්...
.............

(අපට පෞද්ගලිකව දුක් වේදනා දෙන, හානියක් වෙන, කිසිත් සෙතක් නොවන ඇතැම් දේවල් අප අත් නොහරින්නේ ඇයි ? මට ඒ ගැන මගේම තර්කයක් තියෙනව. වැඩි දෙනෙක් අකමැතිවන... ඒ ගැන තව සටහනකින්...වෙන වෙලාවක)

3 comments:

Ansh Lucky Sri Jay said...

"අපි ජීවිතේ තීරණාත්මක අවස්ථාවලදි අපව පසුකරගෙන ගිය ඇතැම් අය/දේවල් (ආපහු ?) එයි කියල බලා ඉන්නව. ඒ සිතිවිල්ලෙන් එහාට එක අඩියක්වත් උස්සල ඉස්සරහට යන්නෙ නෑ.. ඒත් ඇතැම් අය/ ඇතැම් දේවල් ආපහු එන්නෙ නෑ... යථාර්ථය ඒකයි. ඒක දැන දැනත් අපි හිතන්නෙම අතීතයේ ගිලී ගිය දේවල් ආයෙ එයි/ලැබෙයි කියල..කාලය නාස්ති කරනව..."

මේ කියලා තියෙන්නෙ මං ගැනද කියලා මට මොහොතකට හිතුණා.

Siribiris said...

"මිය ගියවුන් වළ දමන්න.."

හුහ්... ඔහේ නං කියයි...කොරන එක තමා අමාරු.

"අපට පෞද්ගලිකව දුක් වේදනා දෙන....."

එකත් ලීවා නං....

මොනවා වුනත් හරිම සංවේදී කතාව. මෝඩ කමට හරි ඒ වගේ කැපවීමකින් ඉන්න මිනිස්සුත් තාම මේ ලෝකෙ ඉන්නවා කියලා දැනගන්න ලැබීම සතුටක්...

TG said...

අහම්බෙන් වගේ මේ බ්ලොග් එකට ආවෙ . ගොඩක් පෝස්ට් කියෙව්ව .කියවලා නැවත නැවත හිතන්න ආයෙ කියවන්න ගොඩක් දේ මේ පිටුවෙ තියෙනවා .එත් පොඩි ප්‍රශ්නයක් 2010 Dec පස්සෙ ඇයි ලියල නැත්තෙ බ්ලොග් එක ? සමහර විට වැඩ රාජකාරි අධික නිසා වෙන්න ඇති . පුවන් වෙලාවක ආයෙත් ලියන්න පටන් ගත්තොත් නේද හොඳ ? ආප්ප කොත්තු හදනව වගේ නිර්මාණාත්මක දේවල් ලියන්න අමාරුයි .ඒක මම දන්නවා .නමුත් පුලුවන් වෙලාවට හොඳ සටහනක් ලියන්න .ඒක ගොඩක් වටිනවා කියවන අපිට .