Monday, October 19, 2009

පොදු පුරුෂයාට හොඳයි.. අනිත් අයට නරකයි..



කාටවත් නොපෙනෙන ලංකාවෙ ප්‍රේක්ෂකයාගෙ නැත්නම් රසිකයාගෙ ඉරණම තීන්දු කරන කලාත්මක නොවන සාධක කිහිපයක් ගැන සරළ සටහනක් මේ.

එකක් තමා සිංහල බෞද්ධ නාමධාරී විචාරය, අනෙක සංස්කෘතික හා ආගමික විචාරය, අනෙක සන්නද්ධ හමුදා සහ දේශපාලනය

මේව ඇත්තටම අර්ථයෙන් ගත්තොත් විචාර නෙවෙයි. නමුත් දැනට එහෙම හඳුන්වමු‍.

අක්ෂරය සිනමා කෘතියෙන් පටන් ගත්තොත් 2006 දි , දි අයිලන්ඩ් පුවත්පතේ ගිය අවිචාරවත් විචාර සටහනක් නිසා අක්ෂරය ගැන අතාර්කික කරුණු කිහිපයක් සමාජයට එකතු වුණා. එතනින් පටන් ගත්තු ගමන ඉතා කෙටියෙන් කිවුවොත් මහේස්ත්‍රාත්වරියක් දූෂණය වීම අධිකරණයට අපහාසයක් ය, ළමයෙකු අපචාරයට යොදවා ගෙන ඇතිය ආදී විවිධ චෝදනා ඔස්සේ අක්ෂ‍රය ගිනි ගත්තා. නමුත් කාටවත් හිතුණේ නැහැ ඒ දූෂණයට ලක් වුණේ ගැහැණියක් මිසක් තනතුරක් නෙවේය කියලා.. ඒ වගේම ලංකා නීති පද්ධතියේ අදටත් නැති, "අසභ්‍ය" යන්න අර්ථ දක්වා ගැනීමට එම සිනමා කෘතියෙන් ලැබිය හැකිව තිබූ මහඟු පිටිවහල මග හරවමින් එය නැරඹීමට ප්‍රේක්ෂකයාට තිබූ අයිතියට විලංගු දැම්මා.

අක්ෂරය, සුළඟ එනු පිණිස, ඩාවින්චි කෝඩ් වැනි කෘති නැරඹීමට ප්‍රේක්ෂකයා කියන කෙනාට/සමාජයට තිබූ අයිතිය නිර්දය ලෙස වළලා දැම්මා. රූපවාහිනියෙන් චිත්‍රපටි බලන කොට කොටු රෙද්දක් දැම්මා (ඒත් ප්‍රේක්ෂකයා නෙවෙයි කට හෙල්ලුවේ)..

ඩාවින්චි කෝඩ් තහනම් කළේ ඇයි ? ලංකාවේ කතෝලික පල්ලියේ ඉල්ලීමට ඒක තහනම් කළාය කියල තමයි ප්‍රචාරය වුණේ. ඒ වුණාට ලෝකයේ ප්‍රබල කතෝලික රාජ්‍යවල එය ප්‍රදර්ශනය වුණා නම් මේ චුල රාජ්‍යයේ විතරක් වෙනම අපහාසයක් ඇයි ? මේ ගැන අර්නස්ට් පෝරුතොට පියතුමා කිවුවෙ මෙහෙමයි..

"මා දන්නා තරමට පාප්වහන්සේලා හා රාජගුරු ප්‍රසාදීන් වහන්සේලාගේ කාර්ය භාරය චිත්‍රපට නරඹා අනුමත කිරීම හෝ තහනම් කිරීම නොවේ. ඒ අයගේ කාර්ය ක්‍රිස්තු චරිතය දේව ප්‍රේමය ගැන දේශන කිරීම හා ඒ අනුව තමනුත් ජීවත් වී අනිත් අයට ජීවත්වීමට කියාදීම ය"

සුළඟ එනු පිණිස චිත්‍රපටයට මා පෞද්ගලිකව අකමැති වන හේතු තිබුණත් එය නැරඹීම මෙරට ප්‍රේක්ෂකයින්ගෙන් ඉවත් කරලීමට එකඟ විය නොහැකිය. මෙය කාලයක් දේශයක් ද්වීපයක් නැති 'අවකාශයකට අදාල කෘතියක් ලෙස කියවන්නන් 'ඉතා හොඳ' ලෙස දකින අතර 'අපේ' රටේ 'අපේ' ගමක 'අපේ 'රණ විරුවන් ගැන කියවෙන කතාවක් ලෙස කියවන්නන් ට 'ඉතා නරක' බලපෑමක් ඇති කර තිබිණි. එහෙත් මේ දෙපිරිසම එක්වී සාමාන්‍ය පොදු ප්‍රේක්ෂකයාට සියඇසින් එය බලන්නට තිබූ අවස්ථාව උදුරා දමන්නට කටයුතු කර තිබුණා.

පුරහඳ කළුවර රූ ගත කරන්න අවශ්‍ය හමුදා ඇදුම් ඉල්ලා ගන්නට ගිය විට පිටපත බැලූ නිලධාරීන් හමුදා රංගයන්ට අදාල කොටස් සංශෝධනය කරන ලෙස දැන්වූ බව ප්‍රසන්න විතානගේ සිනමා නිර්මාණකරුවා කියා තිබුණා.

දැන් ඇතැම් අය දන්නා පරිදි මේ දිනවල තිරගත වන ආකාස කුසුම් සිනමා කෘතියේ මුල් ජවනිකා කිහිපයක් අපේ රටේ දර්ශනය කරවන්නේ නෑ. ඒ ටික නරඹන්න පුළුවන් විදෙස්වල ඉන්න අයට විතරයි. හේතුව ආරංචි වන අන්දමට ඒ කොටස්වලින් අපේ සිනමා නිළියන්ට අපහාසයක් වෙනවාලු. ඒ නිසා ආරම්භක දර්ශන ඉවත් කර මෙරට ප්‍රදර්ශනයට අවසර ලැබිලා.. අ‍නේ අපි නොදන්න ගෞරවේ කියලා මට කියන්න හිතෙනවා.

සිනමා කෘතියක එන රංගනයක් කප්පාදු කරන්නට තරම් ගෞරවයක් පතන මේ පුද්ගලයින් දේවාලවල පූජාසනවල වැඩ ඉන්න අය කියලා හිතාගෙන ඉන්නවද දන්නෙ නැහැ. පොළ වේ පය ගහල ඉන්න දන්නේ නැති මිනිසුන් (පාලකයින්, ශිල්පීන්) ඉන්න රටක ඔන්න ප්‍රේක්ෂකයාට වෙන දේ..

සිනමාවට මෙහෙම වෙන අව් අස්සේ පහුගියදා පැවතුණ සාහිත්‍ය සම්මාන උළෙලවලදී සුනේත්‍රා රාජකරුණානායක ගේ පොතකට සම්මාන දෙකක් ලැබුණා. ස්වර්ණ පුස්තක සම්මානය සහ රාජ්‍ය සාහිත්‍ය සම්මානය. ඒ ‍පොදු පුරුෂයාට..

දැන් මේ කතාව ගත්තහම ඉහත කියපු සදාචාරවාදීන්ගේ ගෞරවයට ආත්මා භිමානයට රිදෙන පහරවල් මෙහිදී වදිනවා. මතුපිටින් ගත්තහම එකම පුරුෂයෙක් සමග බැ‍ෙඳෙන අම්මා සහ දුව ගැන යන කතාවක්.. යටි පෙළ කියෙව්වාම යුද්ධයේ නිරර්ථක බව විදහා පෙන්වමින් සාම මාවතක ගෞරවනීය බව සාකච්ඡා කරන කතාවක්..
තව නොයෙකුත් කියවීම් මේ හරහා කරන්න පුළුවන්..

දැන් මේ කරුණුම දෘශ්‍ය ලෙස සාකච්ඡා කෙරෙන සිනමා කෘති කැපිල්ලට හසුවෙනවා..ඒ රටේ ඒ පාලකයින්ගේ ඒ අමාත්‍යාංශයේ ඒ ඇමතිතුමා අතින්ම මේ පොතට දහසින් බැඳි ප්‍රසාද පියලි ලැබෙනවා..

මේ පරස්පරය අප කියවා ගන්නේ කොහොමද ?

ඇමතිතුමා පොත කියවලා නෑ... කොහොමත් ඔය කට්ටිය පොතක් පතක් හරියට කියවන්නේ නැහැනේ...
මම එහෙම හිත හදාගන්නවා..

ඒත් සාහිත්‍ය, සිනමාව කලාවන් හැම එහෙකටම එකම හැන්දෙන් බෙදන විචාර දෘෂ්ටියෙන් පිරිපුන් පාලකයින්, තීරකයින් අදාල තැන්වලට පත්වෙනකන් ප්‍රේක්ෂකයාගේ අයිතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙ 14 වගන්තියට විතරක් සීමා වුණ එකක් විතරක් නේද කියල ප්‍රේක්ෂකයෙක් විදිහට මට හිතෙන වාර අනන්තයි.

මේ ඔක්කොමත් සිද්ධ වෙද්දි නිහඬව ඉන්න ප්‍රේක්ෂකයා අර තමන් නිතර බලන හෝ බැලෙන රූපවාහිනියේ කොටු රෙද්ද ඉස්සරහා වත් ක්‍රියාකාරී වෙන්නේ නැහැ.

ගොලු හදවතේ සුගත් ට අරක්කු බොන්න මේ ආණ්ඩුවෙන් තහනම් කරලා.. අනේ සංසාරෙ කිවුවලු.. සිගරැට් හා මත්පැන්වලින් වැඩිම ආදායමකට හැම අයවැයෙන්ම ඉලක්ක තියන ආණ්ඩුව හෙළ උරුමය සනසවන්න ගෙනාපු දුම්කොළ හා මත්පැන් ආඥා පනතෙ එහෙම දෙයක් කරන්න කියල නැහැ.. ඒ කාලෙ සිනමා කෘති හැදුවෙ දුම්කොළ සංස්ථාවෙන් හරි ඩිස්ටිලරීස්ලගෙන් හරි සල්ලි අරන් නෙවිනෙ.. දශක ගණනාවක් මේ සමාජය ඒ සිනමා කෘති එක්ක හැදුණ වැඩුණ..ඒත් ඒව නිසා බීමට ඇබ්බැහි වුණ පිරිස වැඩි වුණාය කියල කවුද සමීක්ෂණ කරල තියෙන්නෙ..එහෙම හැදුණ සීයලගෙ තාත්තලගෙ මුණුපුරාල පුතාල දැන් ඒව බලල බීම පටන් ගනියි කියල හිතන පාලකයින්ට වඩා අර අසඩක් හොඳයි.

අනෙක් එක ඒ පනතෙ තියෙන්නෙ වෙළඳ දැන්වීම් ගැන විතරයි. ඉතින් මොන එහෙකටද මේ සිනමා කෘති පෙන්වද්දි රූපවාහිනී ආයතන කොටු දාන්නෙ.. ප්‍රතිපත්තියක් නැති රූපවාහිනී ආයතනත් මේ රටේ ප්‍රේක්ෂකයින්ට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් උරුම කරල දීල තියෙන අයිතීන් උල්ලංඝනය කරනවා.. මහ දවාලෙ..අමු ප්‍රසිද්ධියේ..

සිනමා කරුවන්ගෙ අයිතීන් ගැන විකල්ප මාධ්‍යයකින් හරි රාජ්‍ය නොවන සංවිධානෙකින් හරි පිට රටකින් හරි කතා කරනවා. ඒත් ‍මේ රටේ ප්‍රේක්ෂකයෝ ගැන කතා කරන්න කිසිම ‍කෙනෙක් නැහැ.

පාලනය විසින් රටේ ඉන්න වැඩිහිටියන් ළමයි බවට පත් කරල. ළමයින්ට සුදුසු ඒව විතරයි නරඹන්න පුලුවන්. ඒව සුදුසුද කියල තීරණය කරන්න තරම් හැකියාවක් වැඩිහිටියන්ට නැහැයි කියල තීරණය කරන පාලනය විසින් ඒ කාර්යය සන්නද්ධ හමුදාවලට, දේශපාලකයින්ට, ආගමික නායකයින්ට, සංස්කෘතික උරුමක්කාරයින්ට, නීති යේ අන්ධ කාන්තාවට පවරල දීල. කලාව කොහොමද මේ අයගෙ/මේවයෙ තීරණයක් වෙන්නෙ.. කලාව මේ හැම ආයතනයකින්ම නිදහස් වෙන්න ඕනෙ.

සිනමා භාෂාව වැඩි වැ ඩියෙන් හදාරන්න සම්පත් වැඩි කරන්න ඕනෙ. විචාර සම්ප්‍රදායන් ඉගෙනීමට හා ප්‍රායෝගිකව යෙදීමට දිරිමත් කරන්න ඕනෙ..එහෙමයි රටක කලාව ඉදිරියට යන්නෙ. විධිමත් විචාර සම්ප්‍රදායක් නැති රටක, විධිමත් ලෙස දැනුම ගලා ඒමේ ක්‍රමයක් නැති සමාජයක හැම කෙනෙක්ම හැම විෂයක් ගැනම අදහස් පළ කරන්න ගියහම වෙන වින්නැහිය අපේ රටට සිද්ධ වෙලා ගොඩක් කල්.. මේ ඒවයෙ ප්‍රතිඵල තමා. මේක හරියට සෝදා පාලුවීමක්, නාය යෑමක් වගේ..

ඩා වින්චි කෝඩ් තහනම් කරන රජය වෝටර් පෙන්වන්න විතරක් නෙවෙයි හදන්නත් අවසර දෙනව. පුදුම දෙබිඩි කමක්..

මේ සියල්ල තීරණය වෙන්නෙ කලාව ඇතුලෙදි නෙවෙයි. ඊට හාත්පසින්ම පරිබාහිර වෙනත් ස්ථානවලදි.. ඒකයි අපේ රටේ අරුමය..

‍පොත්වල තියෙන්න හොඳයි. සිනමාවට නරකයි. වේදිකා නාට්‍යයට නරකයි. මේක පුදුම තීරණයක්. මේ රටේ සාහිත්‍යයට යන්තමින් හරි තියෙන සාධාරණය සිනමාවටත් වේදිකාවටත් රූපවාහිනියටත් ලැබෙන දවසක් එන්න තව කොයි තරම් කල් යාවිද ?


ඒක ප්‍රේක්ෂකයාගෙ සිහිනයක්..

13 comments:

Supun Budhajeewa said...

ඔය පරස්පරයන්ට හේතුව තමයි, ආණ්ඩුව විසින් වාරණය කරන නිර්මාණ වාරණය කරන්නේ නිසි අවබෝධයකින් හෝ පදනමකින් තොරව වීම. යම් හෙයකින් එහෙම යම් ප්‍රතිපත්තියක්. පදනමක් මත ඉඳගෙන කරණ වාරණයන් කළා නම්, පරස්පරතා මතු වෙන්න හේතුවක් නැහැ.

බොහෝ දුරට, මේ කරන වාරණ වලට හේතු වෙන්නේ ඒ ඒ නිර්මාණයේ දුර්වලතා නොව, නිර්මාණකරුවා සමග ආණ්ඩුවේ ඇති නොහොඳ නෝක්කාඩුකම් සහ ඒ ඒ අවස්ථාවේ පවතින දේශපාලන වාතාවරණය. ඒ කියන්නේ, හැම තැනින්ම මුක්කු ගහන් ඉන්න ආණ්ඩුවෙන් හෙළ උරුමය ගැළවුනොත් මේ ආණ්ඩුව දිගටම කරගෙන යන්න බාධා මතු වෙනවා, ඉතින් ඔවුන්ව සතුටු කරන්න විසි කරන මස් කටවක් තමයි ඔය "දුම්කොළ සහ මද්‍යසාර ආඥාපනත යටතේ වාරණය කරන ලදී!" කියලා රූප පෙට්ටි තිරේ වැටෙන්නේ. අපි හිතමු හැම තැනින්ම මුක්කු ගහගන්නේ නැතිව තනි පක්‍ෂයක් විදියට සාර්ථකව තමංගෙ ආණ්ඩුව කරන්නට සන්‍ධානයට හැකියාව තිබුනා කියලා, එහෙනම් ඔය කොටු කොටු වැටිල්ල තිරයට එන්නේ නැහැ. කොහොම උනත් පාලකයන්ගේ බලය රැකගැනීමේ ඕනෑ එපාකම් මත නිර්මාණකරුවාගේත්, ප්‍රේක්‍ෂකයාගේ නිර්මාණකරණ, රසවින්‍දන අයිතීන් අහිමි කිරීම හරිම කණගාටු දායකයි.

අනිත් අතට, ප්‍රේක්‍ෂකයන් ඔය කොටු කොටු සම්බන්‍ධව ප්‍රතිරෝධයක් නොදන්වන්නටත් හේතුවක් තියනවා කියලා මම හිතනවා. බුද්ධිමය දේපළ පනත කියලා එකක් කඩදාසි වල සඳහන් වෙලා තිබුනාට, ගමේ ගොඩේ උනත් "වීඩියෝ සෙන්ටර්" එකකින් *ඕනෑම වර්ගයක* චිත්‍රපටියක් මිලදී ගන්නට පුළුවං වගේම, දැං ඒ ඒ පැති වලත් වීඩියෝ ධාවක යන්‍ත්‍ර හෝ පරිගණක බහුලයි. ඒ වගේම, ඒ ඒ පැති වල ඉන්න අන්තර්ජාල සම්බන්ධතාවය තියන අය නිතරම අළුත් චිත්‍රපට ආදිය බාලා දෙන්න කටයුතු කරනවා. ඉතින්, තමන්ට පරිගණකයක් හෝ වීඩියෝ ධාවකයක් නොතිබුනත්, මිතරෙකුගේ නිවසට ගොස් හෝ තමන්ට ඕනෑ චිත්‍රපටියක් නැරඹීමේ හැකියා යම් දෙනෙකුට තියනවා. ඉතින් රූපවාහිනී ආයතන වලට සහ ආණ්ඩුවට ඕනෑ කුදයක් ගහගන්න කියලා අපේ අය විකල්ප මාර්ග ඔස්සේ තමන්ට ඕනෑ නිර්මාණ රසවිඳින්නට හුරු වෙලා ඉන්නවා. ඒක රූපවාහිනී ආයතන වල වෙළඳ දැන්‍වීම් අස්සෙන් නිර්මාණය අසීරුවෙන් රසවිඳින්නට වීමේ කරදරයෙන්ද ගැළවීමක්.

මට කණගාටුව වන්නේ මේ පාලකයින් රටේ ජනතාව ගැන සිතා සිටිනා ආකල්පයයි. අරක්කු බොනවා පෙන්නුවොත් අරක්කු බොන්නටත්, සිගරට් බොනවා පෙන්නුවොත් සිගරට් බොන්නටත්, බඩුවක් ගහනවා පෙන්නුවොත් බඩු ගහන්නටත් තරම් මේ රටේ මිනිස්සු මෝඩද? අනික මේ රටේ මිනිස්සු ඕවා කරන්න පටං ගත්තේ ඕක චිත්‍රපටියේ පෙන්නුවාට පස්සෙ විතරද?

රූපවාහිනී සහ ලාංකික චිත්‍රපටි නොබලන කෙනෙක් හැටියට මට මේ වාරණ අදාළ නොවුනත්, ඒවා බලන කෙනෙකුගේ අදහස් දැනගන්නට තිබුනා නම් හොඳයි.

-බිன்ku- said...

මෙසේ තහනමට ලක් වුවේ මේ චිත්‍රපටි විතරක් නොව, බොරදිය පොකුණ නම් (ඇතැම් විට ඔබත් ඇතැම් බොහෝ දෙනෙකුත් අසා නැතිව ඇති) චිත්‍රපටියත් තහනම් කරනු ලැබුවා. ඒ චිත්‍රපටියේ එකෙනික ලේබල් දමා ගැසුවත් මා නැරඹුණු විටදී නම් හැගුණේ ඒ චිත්‍රපටිය තුලින් ජිවිතය, ලිංගත්වය, ආශාව හා මායාව/රුවටීම ගැන කතාවකුත් දෙන බවකුයි දැනුනේ.

මෙන්න එහි ඇතැම් ජවනිකා :
http://www.youtube.com/watch?v=4R1ACj8HN1g

http://www.youtube.com/watch?v=xfHbuX1vg24


අගනාම අගනා ලිපියක් අක්කේ!

Anu said...

හොඳ ලිපියක්. අපේ රටේ චිත්‍රපටි රේටිං කරන ක්‍රමය හරිම වැරදියි. පිටරටවල නං ඕක කරන්නේ විවිධ වයස් පරිමාණ බලල වෙන් කරන එක. ඒත් අපේ රටේ කරන්නේ මොකක් හරි *අසභ්‍ය* කියන දර්ශණයක් තිබුනොත් වැඩිහිටියන්ට පමණයි ලේබලේ අලවන එක. හොඳ ලාංකීය සිනමාවක් හදන්න නං ඔන්න ඕක හදල ඉන්න ඕනි.

අනිත් එක ඔය රැඟුම් පාලක මණ්ඩලේ නීතිරීති තියන පොත කියවපු කෙනෙක් ඉන්නව නං ඒ තියන නීති වලට ලංකාවේ කිසිම කලාත්මකයි කියන චිත්‍රපටයක් පෙන්නන්න වෙන්නෙ නෑ. ඔක්කොම තහනං කරන්න වෙයි.

ඔය මණ්ඩලේවත් චිත්‍රපට සංස්ථාවේවත් ඉන්න අයගෙන් වැඩි දෙනෙත් සිනමාව ගැන මෙලෝ හසරක් දන්න අය නෙමේ. පරණ අධ්‍යක්ෂකවරුන්ගෙ පරණ චිත්‍රපටිම බදාගෙන ඒවට වැඳ වැඳ ඉන්නව මිසක් අලුතෙන් දෙයක් කරන්න උත්සාහ කරන අය නෙමේ.

දුටුගැමුණ චිත්‍රපටය මඟ හිටිය කියල ආරංචියි. ඒකත් රජයේ බලපෑමක් ලු.

ගෝමස් said...

දුටුගැමුණ චිත්‍රපටය මඟ හිටිය කියල ආරංචියි. ඒකත් රජයේ බලපෑමක් ලු.
ඇත්තටම ඒකනම් ටිකක් විකාරයි.. ඕක රජතුමාට මාකටිං වලට හදපු චිත්‍රපටියක් කියලා මම හිතන් හිටියෙ... මම නම් ලංකාවේ චිත්‍රපටි බලනවා. ඒවාට බනිනවා හොඳත් කියනවා. කතාව හරි අර චූලානන්ද කිව්වා වගේ පාරේ බලු පූට්ටුවක් තිබ්බත් බල්ලගෙ අයිතිකාරයට නඩු දාන රටක් මේක...

විකටය said...

great article!

i'll give you an example where the other film industries and we are at

ex: lets think about the acedemy
2008 Milk /The Reader
2007 Atonement / Juno
2005 Brokeback Mountain
these are the best nominated movies and some of the most appraised ones in the world. if these were made in sri lanka they would have been banned for sure by our ediots.

how can you make a movie about gay community like milk or brokeback without expressing sexuality. how can we address those type of issues.

it's ok for our people to see naked bodies of foriegn actresses and actors, but when one of our own sri lankan girls get naked on screen then their sensors get rattled. why is that? i don't know?

said...

හොඳ ලිපියක්
මන් හිතන්නේ අපේ රටේ වාරණය කරන්නේ ඒ වෙලාවට ඒක බලන කෙනාට හිතෙන හැටියට මිසක්, හැම එකටම පොදු නීති රීති පද්ධතියකට අනුව නෙමෙයි කියලා.

දුකා said...

"මන් හිතන්නේ අපේ රටේ වාරණය කරන්නේ ඒ වෙලාවට ඒක බලන කෙනාට හිතෙන හැටියට මිසක්, හැම එකටම පොදු නීති රීති පද්ධතියකට අනුව නෙමෙයි කියලා."

එළ කියමන මරණේ . . .!!

නිශාන්ත අනුරුද්ධ said...

nice one :)
good;

කැටපත් පවුර said...

nice try

.::පිස්සා::. said...

කෝ ඔයා?
බ්ලොග් ලියන්නේ නැත්තේ ඇයි?

ජයනි said...

මට අායෙත් මෙ ලිපිය මතක් වුනා.ඊයෙ campas එකෙ අක්ෂරය පෙන්නුවා.පෙන්නුවෙ music circle එකෙන්.අති බහුතරය music circle එකෙ මාර විදිහට විවෙචනය කළා කුණුහරප පෙන්නවා කියලා.කොහොමද ලංකාවෙ රසවින්දනය.මම තනියම hostal එකෙ අැදට වෙලා කල්පනා කළෙ අක්කෙ අපෙ සුචරිත වාදියො ගැන.

Danfun said...

හැම මඟුලක්ම දේශපාලනයට නතු වෙච්චි රටක කලාව ගැන අහවල් කතා ද ? දැන් අර ඡන්ද කාලෙ උගන්ඩාවේ අමීන් චිත්‍රපටිය කී සැරයක් නම් පෙන්නුවාද ? ඒකෙ දුම්වැටි, මත් ද්‍රව්‍ය විතරක් නෙමෙයි, මිනී මස් කන ජවනිකා පවා තිබුණා . නමුත් කොටු තියා වෙළඳ දැන්වීමක් වත් නොමැතිව නෙව පෙන්නුවේ .

අපේ පොන්න සදාචාර කාපාලුවන්ට ඔව්වා පෙනෙන්නේ නැති එක නොවැ වැඩේ .

har said...

well said akke, I think the issue is in the view of the work(film/book/song) is depending on the person to person, so who are in those boards to approve the work are too much politically polished to do their favor. I think they are giving some decisions against producer/director some times, sometimes they are allowing the film and after few days it prohibit to show public. I think that is coming from powerful third party. So, we can't assume those decisions taken from the board without involving other powerful third parties.

As I feel most of peoples thinking about their selves, not abt spectator. anyway this is a good view for all of us akki.