Monday, October 5, 2009

හඬන මුහුදට වැටුණ කඳුලැලි..

‍බොහෝ අය කතා ගොතනු දකිමි. මටද කතාවක් ලියන්නට සිතේ.

ඉදින්..එය "අද" ලියවෙන්නේ නම් එහි හැඳින්වීමේ පරිච්ඡේදය මෙසේ වනු ඇතැයි මට විටෙක සිතේ.

-----------------------------------------------
ඉතා කුඩා බිළිඳු අවදියේ පටන් වෙන් වන්නට සිදුවන වහළවල සෙවණ ලබා ඇති මුත් එය ජීවිතයේ නොනවතින අත්දැකීමක් වන විට කුමක් සිතේ දැයි දැන් කාගෙන්වත් ඇසිය යුතු නැත. සිහින නිවසක් වෙනුවට නිවසක් සිහිනයක් වූ ‍මොහොතක .. දැනෙන හිත් වේදනාව පොත් ගණන් කියවමින් තේරුම් ගැනීමට ඇවැසි නැත. රාත්‍රියක කුලී ගෙදරක ඇතුළතින් වැටුණු ගේට්ටු පියන්පත්වලට මෙපිටින් තනිව බලා සිටින්නට සිදුව ඇති විටක දැනෙන නොමිනිසත් කමේ හා කුහක බවේ සංවේගය අනුන්ගේ කඳුළු මතින් අවබෝධ කර ගත යුතු නැත.. ඒ අත්දැකීම් සියල්ල නොඅඩුව හුදෙකලාව විඳගැනීමේ සංයමය ඉගැන්වූ එක් පොතක් මා වෙත ඇත. ඒ ජීවිතය ගැන ලියැවෙන පොතයි.

ඒ පොතෙහි පෙඟී ගිය පිටු යළිත් "අනුල ද සිල්වා"ගේ "හඬන මුහුදෙ"හි පොඟවමින් ඔහේ වැතිරී සිටින මට ජීවිතයත් ප්‍රබන්ධයක් සේම අනුන් අතින් කඩතොලු වන, ගෙතෙන හෝ නිමවෙන්නක් නේ දෝ යි බොහෝ විට සිතේ.

පාසල් යවන වයසට පැමිණි විට "වැඩට යන අම්මා"සමග යාමට බැරි බව හඟවමින් මාගල් පැදුරක එතී දොර මුල්ලේ සැඟවී සිටි දිනයේ පටන් මේ වන විට නවාතැන් ගණනක තාවකාලික සෙවණ ලබමින් තවමත් නොනවතින ගමනක ඒ ජීවිතය ගමන් කරමින් සිටී.

ඒ සෑම තාවකාලික නවාතැනක්ම නොමැකෙන යමක් හදවතෙහි ලියා තිබේ.

කුරුඳුවත්තේ පොලිස් නිවාසයේ සිවු දෙනෙකුගේ කාමරයක හවුල් කාරියක වී රෑ තිස්සේ කාන්දු වන වතුර පයිප්පයක වතුරෙන් උදේට මුහුණ සෝදන්නට සිදු වීම එතරම් ගැටළුවක් නොවුයේ සිනාසෙන්නට හෝ කතා කරන්නට හෝ මුහුණට මුහුණ බලා ඉන්නට තවත් කිහිප දෙනෙකු එහි සිටි නිසා හෝ ඒ සියල්ලටමත් වඩා මා ශක්තිමත් වී සිටි නිසා විය යුතුය. අද වැනි දිනෙක නම් ඒ පයිප්පයට වඩා වේගයෙන් දෙනෙත් උතුරා යනු නිසැකය.

රත්මලානේ ඇනෙක්සියේදී මහා රැයක තනිව හිඳින විට සංගීත සංදර්ශයනයක රස බැලූ පිරිසක් පැමිණ එක දිගට ජනෙල් හා දොරවල්වලට පහර දී කලබල කර යන විටත් නිහඬව උපේක්ෂාවෙන් සිටින්නට පුලුවන් වූයේ වෙනත් තැවිල්ලක් සිතට ‍නොතිබූ නිසා විය හැකිය. හෝ සිතන්නට බොහෝ දේ තිබූ නිසා විය හැකිය.

මත්තේගොඩ දී ජීවිතය අධික පශ්චත්තාපයෙන් ගෙවා අන්තිමේ පිළිකාවක් සිරුර වසා ගන්නා තෙක් තැවුණු වැඩිහිටියෙකුගේ සියුම් හැඬුම්වලට රැය පුරා සවන් දෙමින් ආගන්තුකයෙකු ලෙස ගෙවුණු කාලය ද මෙතරම් සිතට වද දෙන්නක් නොවුයේ කුමක් නිසාදැයි අදටත් නොතේරේ. රාත්‍රිය සමග ගෙට ගෙවදින ගමන් වෙහෙස ට එය යටපත් වන්නට ඇත.

රාජගිරියේදී බිමට වැටෙන සියලු සටහන් පත් තෙත පොළවේ ජලය උරා ගනිද්දී, බිත්ති වැස්සට සීතල වී පෙඟී ගොස් පුල්ලි සෑදෙද්දී අසනීප වෙමින් ගෙවූ ජීවිතයට සමු දුන්නත් යළිත් එතැනට ගොස් ඒ හිමිකාරිය බලා එන්නට සිත් දුන්නේ ඒ සියල්ල පහසුවෙන් අතීතයක් බවට පත් කිරීමේ හැකියාවක් මා තුළ තිබූ නිසා විය හැකිය.

නේවාසිකාගාරවලට වැදී මාසයක නිවාඩුවකට විදුලිපත් යවා විභාගයට ලියන අතරේ ඒ විදුලි පුවත් නොලැබුණ බව දන්වා රැකියාවෙන් ඉවත් කර තිබියදීත් උපකාරයට දිව එන අය සිටි හෙයින් බොහෝ සිත් රිදී වුවද ඒ සියල්ල රැක ගත හැකිව තිබිණ.

බත්තරමුල්ලේ දී තෙමෙන වහළයෙන් කාමරයක ‍කොටසකට සීමිත වූ මගේ වටිනා වත්කම් කිහිපය රැක ගැනීමට අපහසු බව දැනෙන කාලය වන විට සිතින් ද කයින් ද බොහෝ සේ දුර්වල වී සි‍ටියෙමි.

දැන් ... කිසිවක් අතීතයට එක් කිරීමට හැකියාවක් නැත. තවත් අතීතයක් ඉතිරිව නැත. අතීතය යැයි අප සිතන කොටස ජීවිතයෙන් ගෙවී යන සමයක දළුලන අපේක්ෂා වෙනුවට ඉච්ඡා භංගත්වය හා කලකිරීම පමණක් තදින් සිතට දැනේ. විශේෂයෙන් තනිව බොහෝ දේ සිතන විට..දැනෙන විට..

ජීවිත පොතේ පරිච්ඡේද ගණනාවක වෙහෙස වචන කිහිපයකින් නිම කර දැක්විය හැකි නම්..එය මෙසේ වනු ඇත්දැයි නොදනිමි. ලිවීමෙහි මා දක්ෂ නැත. හැඟීම් ප්‍රකාශනයෙහි ලා ඊටත් දුබල ය.
------------------------------------------------------------

හද බි‍ඳෙන සරය හද රිදෙන සරය විය ‍නොයුතු හෙයින්, මෙම පිටුව හෙට හෝ අනිද්දා මකා දමන තෙක් .. මේ මොහොතේ ලියන්නට සිතෙන කතාව මෙය වනු ඇත. මෙය මොහොතක සිතිවිල්ලක් පමණක් වන හෙයින් කිසිවෙකු ඊට වගකිව යුතු නැත.







4 comments:

-බිன்ku- said...

අහෝ, අක්කේ කාලෙකින් පසු තබනා සටහනත් සමු ගැනීමේ සටහනක් කොට යන්නේ මන්ද? අඩුමැ තරමේ නුඹ පෙර ලිව් කවි හා හෘද්‍යාත්මක හඳ බිඳි කෙනෙකුට ඉතිරි කොට යන්නවත්...?

.::පිස්සා::. said...

අනේ..' සූ' මොකද උනේ?
බිංකු මලයයි මායි විතරක් නෙමෙයි, හැමෝම ඔයාත් එක්ක ඉන්නවා..
හැමෝගෙම ජීවිත වල 'අපල' කියලා කාලයක් එනවා... ඒ අපි ගිය ආත්මේ කරපු පව්...
ඒවා ගෙවන කල්, හිත හදාගෙන ඉන්නකෝ...

හිතින් වැටෙන්න එපා;

-බිன்ku- said...

ඔව්, ජිවිතේ කියන්නේ අමුතු දෙයක්. හමු වීම්, වෙන් වීම්, වෙනස් වීම් හා ඒකාකාරිත්වය එක්ක බැදුණ සතුට දුක ලෝල හා වේදනාත්මක ගැඟිම් කාලයත් එක්ක ගමන් කරන චාරිකාවක් තමා ජිවිතේ. ‍පිස්සා කී ලෙසම අපි නුඹත් එක්කයි, හැකි නිවාඩු පාඩු වෙලාවක ලියන්න, හිතින් නොසැලෙන්න.

සු෴ said...

" තනිකම කියන්නේ තමා එක්ක ඉන්න නොදැන සිටීම විතරයි "

මෙහෙම කියලා තියෙන දේ වැටහෙණ කෙනෙකුට හිතේ අවුලක් තියෙනවා කියලද කට්ටියට හිතෙන්නෙ ? :-)

හැමෝටම ස්තූතියි. එහෙම දෙයක් නෑ ..
;) මගේ බ්ලොග් එකේ පාලු කපනවාට නැවතත් ස්තූතියි