Wednesday, February 11, 2009

නැගිටින්න තිරය ඉදිරියෙන් .. It's not a window on the world anymore..




තිරය ලෝකය පිළිබඳ කවුළුවක් ද ? ඇතැම් හු එසේ කියති.

එක් අතකට එය සැබෑවකි.
මක් නිසාද යත් රූපවාහිනිය අපට සැබවින්ම ළඟා විය නොහැකි ලෝකය අපේ දෙපා මුළට, දෑස් ඉදිරියට ගෙනවිත් අපට පෙන්වන නිසාය.‍

දෙවනුව එය එසේ නොවේ..
ඒ මක්නිසාද යත් රූපවාහිනී වැඩසටහන් සියල්ල ගොඩනගනු ලැබූ, සංස්කරණය කොට නිෂ්පාදන කරනු ලැබූ ඒවා වන හෙයිනි.. එය තථ්‍ය ලෝකය නොවේ.

රූපවාහිනිය තුළ දී යථාර්ථය සහ ප්‍රබන්ධය අතර බෙදුම්ඉර අවිශද වී බොඳ වී යන බව බෝඩ්‍රිලා, හාර්වි, ලී වැනි පශ්චාත්නූතනවාදී ලේඛකයින්ගේ අදහස විය. ඔවුනට අනුව එය ඡායාමාත්‍රයක් පමණක් විය. යථාව නොවන දෙය යථාවටත් වඩා යථාරූපී වීම එහිදී සිදුවේ.

<(O ඇස - - - - - - - - - - - - -තිරය |
අපි රූපවාහිණිය නරඹන්නේ යම් දුරකින් ඇස පිහිටුවමිනි. ඒ අප නරඹන්නේ තිරයක් වන ‍හෙයිනි. නිවැරදි දර්ශනයටත් සෞඛ්‍යයටත් සුදුසු වන පරිදි එම දුර තීරණය වී තිබේ.

මේ වන විට රූපවාහිනී තිරය සහ පරිගණක තිරය විසින් එම දුර අඩු කරගෙන යමින් තිබේ.

අප අපේ එදිනෙදා ජීවිතයේ සියලු ආවේගයන් තිරයක් හරහා මුදා හැරීමට පටන් ගත් මොහොතේ සිට තිරය සහ අප අතර දුර ළං වන්නට පටන් ගෙන තිබේ. කෙතරම් ළං වී ද යත් දැන් ඇස සහ තිරය කියා දෙකක් නොමැත.

දැන් ඇස = තිරය වී තිබේ.

ඇස සහ තිරය සමපාත වී අපි තිරය නමැති ඇසින් ලෝකය බැලීමට පටන් ගෙන තිබේ.

පෝයට අපේ ගෙදර අත්තම්මලා, නැන්දලා, ලොකු අම්මලා ගෙදර සිට දඹදිව වැඳ සිල් සමාදන් වෙති.

අනෙක් ඇත්තෝ දේශීය නාලිකාවේ දිය ඇලි, පරිසර චාරිකාවල සිට ඩිස්කවරි දක්වා ලෝකයේ සියලු වන ගහණ, සොබා සුන්දරත්වය ගෙදර පුටුවක් උඩ වාඩි වී සිට දැක බලා සිත් සනහා දැනුමැත්තෝ බවට පත්වෙති.

සියලු දුක්- සුසුම්,කඳුළු, පීඩා තිරයක් ඉදිරියේ සිට විසුරුවා හරිමින් ආවේගයන් සමනය කර ගනිති.

දරුවෝ පරිගණක තිරයක් ඉදිරිපිට සිට මඳ සිනා නගන්නේද , වැඩිහිටියෝ රූපවාහිණී තිරයක් ඉදිරිපිට සිට කඳුළු සලන්නේත් වෙනසක් නැතිවය.
දැන් ඇස සහ තිරය අතර පරතරය අහෝසි වී ගොස් ඇත. ඇස අධිනිශ්චය වී තිබේ. දැන් මේ ඇසෙන් අප දකින්නේ සැබෑ ලෝකය ද ?
දඹදිව ගොස් බෝධිය වඳින විට දැනෙන බෝ සෙවනේ සිහිල, පරිසරයේ වෙනස, හදවතේ බැතිබර බව තිරය ඉදිරියේදී අපිට දැනිය හැකි ද ?
දිය ඇල්ලක්, වන ගහණයක් නියමාකාරයෙන් නරඹන්නට නම් ඒවා එම ස්ථානයේම තබා නැරඹිය යුතුය. හතරැස් රාමුවකට ගලවා ගෙනා කොටසක් ලෙස, එකම කෝණයකින් චිත්‍රයක් නරඹන්නා සේ ලෝකය නැරඹිය හැකි ද ?
ඇස කාචයක් හෝ තිරයක් බවට පත් වූ විට පංචේන්ද්‍රියයන්ටම දැනෙන අත්දැකීමක් එළෙසින්ම දැනෙන සේ ඇසට මාරුකළ හැකි ද ?
අපේ නොවන ඇසකින් ලෝකය දකින අපට ඒ තුළ සැබෑ ලෝකයේ කාල අවකාශයන් කෙටි වී ඇති අන්දම නොපෙනේ.
ඇලක්, ගඟක්, පොකුණක් නැරඹීම එය අයත් පරිසරයේම තබා කළ යුත්තකි. එය නැරඹීමට නම් අදාල පරිසරය අවශ්‍ය ය. නැතහොත් එය තව දුරටත් නැරඹිය යුතු දෙයක් නොවනු ඇත. එහෙත් මේ සියුම් යථාර්ථය වටහා නොගන්නා අපි, ලෝකය අනුන්ගේ කාචයක් තුළින් නරඹමින් තෘප්තිමත් වීමට වෙර දරමින් සිටිමු. එහෙත් එය කෙතරම් දුරට පරිපූර්ණ දැයි යන්න පිළිබඳ වැටහීමක් නොමැත.


තිරයක් ඉදිරිපිටට වී සියල්ල දකින්නට පුරුදු වී සිටි කෙනෙකු තිරය ඉදිරිපසින් ගලවාගෙන නාට්‍යයක් බැලීමට ගිය දවසේ , තිරයකින් චිත්‍රපටි නැරඹීමට පුරුදු වී සිටි කෙනෙකු අතින් අල්ලාගෙන සිනමාශාලාවකට ගිය දවසේ ජීවිතයේ වෙනසක් සිදු නොවූ‍යේ දැයි අසා බලන්න. නැරඹීඹත් විඳීමත් දෙකකි. තිරයේ ඇසින් මේ දෙකින් එකක්වත් යථාරූපී ලෙස සිදු කළ නොහැකි යැයි මට සිතේ.

(බ්ලොග් ලිවිල්ලක් නිසා පෙබරවාරි 04 වැනිදාවක නිදහස අහිමි කර ගත් අයෙකු මතක් කරමින් ලියමි :p )

--

5 comments:

| බින්කු | ßÎŋƙƲ | said...

100% True!

Anandawardhana said...

ඉතා ම අගනා සටහනක්. කලකට පස්සේ :-D

ආගන්තුකයා said...

කතාව ඇත්ත මට වාසනාවකට ඔය දේ විඳින්න බැරිවෙලා.... අපිට කොහෙන්ද අක්කෙ බූල් බල්ලෝ අපි බෝඩිම්කාරයොනේ.. ඇත්තටම දැන් තිරය හැමෝමව අන්දන්නත් පටන් අරගෙන... හරි වැරැද්ද හොයගන්න බෑ ලමයින්ගේ ලමාකම උදුරගෙන... කොටින්ම අපිව ඔය කියන තිරය තනි අලයො කරලා ඉවරයි...

Bo said...

ඇත්ත. තිරය ඉදිරිපිට ජීවිත ගොඩනගාගත් පිරිස අපමණයි. මිනිස්සුන්ට පෙන්වන්නේ ඔවුන්ට ලඟා කරගත නොහැකි දේ, ඒවා බලාපොරොත්තු ඇතිකරනවා. ටී වී එකේ පෙන්නපු කෑම එක හදන්න,අහවල් නිළිය වගේ සාරි අඳින්න, ඒ පෙන්නපු දේ අරගන්න මිනිස්සු පෙළඹෙනවා. මිනිස් සිතේ සියුම් තැන්වලට පහර දීලා ඔවුන් වටා පිරිස ඇතිකරගන්න මේ නාලිකා දක්ශවෙලා, කොහොමද හැම නාලිකාවකම බිහිවුන සුපර් ස්ටාර් රැල්ල. මේක වංචාවක්

රැපා said...

ඇත්තටම රූපවාහිණිය සීමා කරන තරමට ඇඟට හොඳයි. පොඩිකාලේ රොබින් හුඩ් බලද්දි තාත්තා බැන්නා "තොපිට ඔකෙ අජීර්ණෙ" කියල මට ඒක මතක් උනා ඔබේ සටහන බලද්දි.