Friday, October 31, 2008

අහසින් තරුවක් කඩා වැටෙනවා.....




තරුවක් සමග වරුවක් !

ලංකාවට සිනමාව ආවෙ ඒරොප්පෙන් කියල අපි කවුරුත් දන්නව. සිනමාවෙ කැමරාව, න්‍යාය, තාක්ෂණය මේ කොයිකත් එහෙන් ආපුව තමා. ඉතින් සිනමාව ගැන හදාරන එකත් ඒරොප්පෙ වැඩක්. වියදම් වැඩියි. බො‍හෝ දේවල් ඒ පොළවට සාපේක්ෂ යි. ඉතින් එහේ න්‍යායන් මෙහේ කතා කරනවා කියල බනින අය ටිකක් ඉවසීමෙන් වදාරලා හිටියොත් එහෙම නොකර බැරි හේතු තේරුම් ගන්න පුළුවන් වෙයි.

සිනමාව සහ තරු ගහයි පොත්තයි වගේ. තරු ගැන කතා කරන එකත් හරිම ආනන්ද ජනකයි. තරුවල ඉතිහාසය හරිම දේශපාලනිකයි වගේම වෙළඳපොල තර්කනයක්. ලංකාවෙ පොළව උඩ පිහිටෙවුවහම නම් හරිම දුක හිතෙනව.

අමෙරිකාවෙ මුල් කාලයේ චිත්‍රපට සමාගම් අතර උපන් ගැටුමකින් මේ තරු ගැන ලස්සන කතාවක් මතුවෙනව. Carl Laemule නමැත්තා වරක් හොයාගන්නව බයෝග්‍රාෆ් චිත්‍රපට සමාගමේ කෘතිවල රඟ පෑ ෆ්ලෝරන්ස් ලෝරන්ස් කියන නිළියට විශාල ප්‍රේක්ෂක ප්‍රසාදයක් තියෙනව ඈ වම බලන්න මිනිසුන් යනව කියල. ඔහු වැඩි මුදලක් ගෙවා මෙම නිළියගේ සේවය ලබාගෙන පුවත්පත්වලට ප්‍රකාශයක් කරනව ඇය මිය ගිහින් කියල. මින් ඇති වූ විශාල ආන්දෝලනය සිය වාසියට හරවා ගනිමින් ඔහු පසුව පවසනව ඇය ජීවතුන් අතර ඉන්නව මේ අසත්‍ය ප්‍රකාශයට තම ප්‍රතිවාදී චිත්‍රපට ව්‍යාපාරිකයින් වගකිව යුතුයි කියල. ඉතින් දැන් උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද්දේ ‍ෆ්ලෝරන්ස් ලෝරන්ස් සිනමා තරුවක් බවට පත්වෙනව. මින් පෙර සිනමා තරු හිටියත් පෞද්ගලික නමින් තරුවක් ලෙස ප්‍රසිද්ධියට පත් මුල්ම පුද්ගලයා ඇය බවට පත්වෙනව.

ඉන් පසුව ප්‍රේක්ෂක ජනයා ගවයාට වේෂ නිරූපණය කරවමින් තරු ව්‍යාපාරය වර්ධනය කිරීම දිගටම සිදු වෙමින් පවතිනව. නළු නිළියන්ගේ රූ-සොබා, විලාසිතා. රුචි-අරුචිකම් විකුණමින් මාධ්‍ය හරහා තරු ගොඩනැගීම හා පවත්වාගෙන යාම සිදු කරනව.

මේ පොළවෙ ඉන්න සිනමා තරු අහස් ගත කරවන ව්‍යාපෘතියේ වගකීම කරට අරන් ඉන්නේ සන්නිවේදන මාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන්.

මෙහෙම ආරම්භ වූ තරු ව්‍යාපාරයේ මුල් කාලයේදී Mary Pickford, Lillian Gish වැනි අය වික්ටෝරියානු අහිංසක ලලනාවිය නම් ප්‍රතිරූපයත්, Theodosia Goodman මෝහිණිය ප්‍රතිරූපයත් (Arab සහ Death යන වචනවල අකුරු මාරු කර Theda Bara යන නමින් ඇය ප්‍රසිද්ධ විය ) රඟ පාමින් තරු බවට පත් වුණා.

තරු ගැන වරු ගණන් කතා කළ හැකි වුවත් මේ ඊට අවකාශයක් නොවෙයි. මේ ආරම්භය " ලංකාවෙ සිනමා තරු " තේරුම් ගන්නඔබට පොඩි මග පෙන්වීමක් කරන්න යොදා ගත්තක්. මුලදිම කී පරිදි සිනමාව හා ආශ්‍රිත සියලු දේ ඒරොප්පෙ වැඩක්. තරු හැදුණෙත් ඒ ඒරොප්පෙන් වගේම තරු කියන සංකල්පයට ඊටම අනන්‍ය ලක්ෂණ රාශියක් අයත් වෙනව. ඒ අරුතින් ගත්තහම හැම නළුවෙක්ම නිළියක්ම තරුවක් නෙවෙයි. හැබැයි ඒක තේරුම් නොගත්ත ලං‍කාවෙ අපිට එහෙ බැලුවත් තරු - ‍මෙහෙ බැලුවත් තරු..

තරු ගොඩ නංවපු සිනමා ඉතිහාසය විසින් තීරණය කරන ලද අන්දමට
-තරු වැඩ කරන්නෙ පරමාදර්ශ එක්ක
-තරු ලෝකෝත්තරයි
-තරුවකට ආවේණික වූ භාෂාවක් ඇත
-තරුවක් යනු මනුෂ්‍යයෙකු නොවේ
-ලෝකෝත්තර ශ්‍රමයක් මත ක්‍රියාත්මක වේ
-තරුවකට එයටම අයත් වූ මිනිස් නොවන සංස්කෘතියක් ඇත
-සදාතනික කන්‍යාවියකි
-කිසිදා හුවමාරු නොවන සදා හුවමාරු භාණ්ඩයකි

දැන් ප්‍රශ්නයක්.. එතකොට ලංකාවෙ තරු නැද්ද ?
පිළිතුර .. නෑ.. ලංකාවෙ තියෙන්නෙ තරු තර්කනය විතරයි.

ඉහත කිවු කාරණා ගැන නිවි සැනසිල්ලෙ හිතා බැලුවොත් ඒ කතාව ඇත්ත කියල ඔබටත් තේරේවි. තරු වැඩ කරන්නෙ පරමාදර්ශ එක්ක. එයාට නිශ්චිත ගතිගුණ සහිත පරමාදර්ශ තියෙනව. හිතන්න එක්ස් කියල පුද්ගලයෙක් ඉන්නව. වයි කියල තව පුද්ගලයෙක් ඉන්නව.
එක්ස්ගෙ පරමාදර්ශය ඉසෙඩ්.
වයි ත් කැමතියි ඉසෙඩ් ට.
ඉසෙඩ් ට පරමාදර්ශයක් නැහැ.
එයාගෙ පරමාදර්ශය එයාමයි. ඊට එහා කෙනෙක් නැහැ. ඉසෙඩ්ගෙ පරමාදර්ශය අවලංගුයි. තමන්ගෙන් පිටත පරමාදර්ශයක් නැහැ. ඒක මැකිල. තමා තමයි තමන්ගෙ පරමාදර්ශය. ඉතින් එයා තරුවක්.

තරු ලෝකෝත්තරයි. ඇයි ඒ ? අපිට ළං වෙන්න බැහැ. අපිට අත්දකින්න බැහැ. අපි වැනිම වූ කෙනෙකු නෙවෙයි. අපි සාමාන්‍ය වැරැද්දක් කළාම ඒක ගාණක් නැහැ. ඒත් තරුවක් එහෙම කළාම ඒක පත්තර සඟරාවල ඉඳන් යනව. හැබැයි ඒකම අපිත් කරනව. නමුත් අපි වෙනස්. තරුව ලෝකෝත්තර විෂයක් වෙනව.

ඒ වගෙම තරුවකට පුහුණු ශ්‍රමයක් නැහැ. ගෙවන්නෙ ලෝකෝත්තර ශ්‍රමයකට.

තරුවකට ආවේණික භාෂාවක් තියෙනව. එයාට තියෙන්නෙ වෙනස් සංස්කෘතික ගතිගුණ. අපෙන් වෙනස්. ඒ වගේම තරු අතරත් ස්ත්‍රී-පුරුෂ භේදයේදී වෙනසක් තියෙනව. ස්ත්‍රී පාත්‍ර වර්ගයාගෙ ගතිගුණ භාෂාව තුළ අවතක්සේරුවට ලක්වෙනව..හදාරන්න චිත්‍රපට තුළින්.. මේ භාෂාව නඩත්තු වෙන්නෙ ව්‍යාපාරයක් වගේ. ඒක ඇතුළෙ ස්ත්‍රී තාරකාව තම තත්වය රැකගන්න වෙහෙසෙනව. වයසට ගියහම ක්ලෝස් අප්වලට එන්නෙම නැහැ. පිරිමියා ශක්තිය පෙන්වමින් තම තත්වය රැකගන්නව. ස්ත්‍රිය රූපය පෙන්වමින්..ස්ත්‍රිය වයස හංගනව. ඈ වයසට යන්නෙත් නැහැ. වයසට ගියාම වෙච්ච දේ හොයාගන්නවත් නැහැ. ඒකයි ඇයට නාර්සිස් මනසක් තියෙනව කියෙන්නෙ. ඇය සිනමා ප්‍රේක්ෂාගාරය සිය යහන් ගබඩාවේ කැඩපත බවට හරවා ගන්නවා කියල කියන්නෙ ඒකටයි.

නිශ්චිත ගතිගුණ කිහිපයක් මනුෂ්‍යයෙකු බවට පත් කර තිබීම නිසා එතන මනුෂ්‍යයෙකු නැහැ. ගුණාංග ටිකක් පුද්ගලයෙකුට ආරූඪ කරල. තරුවට සිද්ධ වෙනව ඒ තත්වයට ගරු කරන්න.

තරුවක් කියන්නෙ එහෙම පිටින්ම නිෂ්පාදනය කරන ලද භාණ්ඩයක් කියන එක දැන් පැහැදිළි වෙනව. මේ ගතිගුණ එක්ක තරු නඩත්තු කරගෙන යන්න පුළුවන් ප්‍රාග්ධනයක් තියෙන රටවලට විතරයි. අපේ වගේ රටවලට තරු හදන්නත් බෑ..නඩත්තු කරන්නත් බෑ... තරුවයි අපියි එකට හවුස් ඔෆ් ෆැෂන් ගිහින් ඉන්නවා දකින කොට තරුවෙ තරු ගුණය බිමට කඩන් වැටෙනවා.. ඒකයි අපිට තරු නැහැයි කියල කියන්නෙ.

ඒත් පත්තර හා සඟරාවල ලියන සිනමා ලේඛකයොයි කියාගන්න අය සිනමා නළු-නිළියන්ගෙන් මෙහෙම අහනව..

" ඔබ තරුවක්... ? "

ඇය/ඔහු කල්පනා කරල උත්තර දෙනව

" ම්.. ඔව් (මං එහෙම හිතනව)..."

ඉතින් අපිට දුක හිතෙනව.

ගාමිණී‍ට මාලන් බ්‍රැන්ඩෝ පරමාදර්ශයක් වෙනව. ඒත් අපිට ගාමිණී තරුවක්. මාලනී රුක්මණී දේවිව අගයනව. මාලනීත් අපිට තරුවක්... අර්ජුන් විජයට වේෂ නිරූපණය කර ගන්නව. සති අන්ත පත්තරවල තරුවකගේ විලාසිතාවල ට බම්බලපිටියෙන් ගත්තු බතික් ෂර්ට් එකක් ඇඳන් අර්ජුන් පත්තෙරේ ඉන්නව. රන්ජන් රැජිණි කාන්ත්වත් කොපි කරනව‍. අපට රංජන් සුපිරි තරුවක්..ෂාරුක් කවදාවත් කියන්නෙ නැහැනෙ මං අමිතාබ් බච්චන් ව අනුගමනය කරනව..අරයව අදහනව..මෙයා වගේ කියල..අන්න තරුවක් .. දැක්කද වෙනස..

තරු අපේ ඇ‍ඟේ හැපි හැපී බස්වල යනව..ෂොපින් යනව.. එම්.සී. එකේදි හම්බ වෙනව.ක්‍රෙස්කැට් එකේ එකට කෑම කනව.. චිත්‍රපටි බලද්දි අපේ ගාව වාඩිවෙලා චුයිංගම් හපනව..අපි අහස්ගත වෙලාද තරු පොළවට කඩා වැටිලද කියල හිතාගන්න බැහැ.

අපේ රටේ කවුරුත් කරන්නෙ බඩ වියත රැකගන්න රස්සාවක් මිසක් කලාවක් නෙවෙයිනෙ.. ඉතින් ඒ අහිංසක ව්‍යායාමයට අකුල් හෙළන්නෙ නැතිව මං අහල කියවල දැනගත්තු පොඩි විස්තරයක් බ්ලොග් එකේ ලියන්න හිතුව.. මොකද..අපේ රටේ සිනමා කලාවේදියොවත්, තරු ? වත් බ්ලොග් කියවන්නෙ නැති බවට මට විශ්වාසයක් තියෙන නිසා...

අනෙක සිනමාව අවරට ගියාය කියන රටේ තරු ගැන මොන තර්ක ද ?

ඔබ මට තරුවකි...
ගණඳුරු රැයකදි...
දිදුලන සඳ මෙන් ගුවන අරා...

කියල හිත හදාගම්මු.

-

4 comments:

Anonymous said...

ලංකාවෙ තරු (හිතාගෙන ඉන්න) සහ බටහිර තරු යි අතර වෙනස ප්‍රාග්ධනය නිසා ඇති වෙනවනම් කලාව තුල රඟපෑම් අතිනුත් බටහිර තරු ඉස්සරහින් ඉන්නෙ ඇයි?

අපි කාංචනා මෙන්ඩිස් රඟපාපු චරිත 10 ගමු. ඔක්කොම එකම විදිහ. එයා ලඅකාවෙ තරුවක්. ඒත් ටොම් හෑන්කස් ගමු. එයා අති විශිෂ්ටයෙක්. මේ වෙනසට හේතුව මොකද්ද?

සු said...

තරු කියන්නෙ එක සංකල්පයක් ..
නළු - නිළියො ඔක්කොටම තරු වෙන්න බැහැ..

ඔයා අහන ප්‍රශ්නෙට තරු අදාල නැහැ නේද ?

Anonymous said...

ඒ වුනාට සූ අක්කේ,

බටහිර තරු සංකල්ප වුනාට එයාලගෙ රඟපෑම් අති විශිෂ්ඨයිනෙ . එයාලා තරුවක් පිළිබද සංකල්පය අපේ හිතේ ඇදිල තියෙන විදිහට නිරූපණය කරනවනෙ .

Harshana said...

මට හිතෙන විදිහට ලංකාවෙ මාධ්‍ය තමයි මේ පිස්සු වැඩ කරන්නෙ, මොකද තම මාධ්‍ය ප්‍රසිද්ධ කර ගැනීමට නොයෙකුත් නොයෙකුත් පිස්සු වැඩසටහන් කරනව. මින්සසුත් ඉතින් මේ තරු කියන Concept එක වැරදියට වටහා ගන්නව. මොකද ප්‍රසිද්ධ උදවිය තරු ලෙස මාධ්‍ය මගින් හදුන්වා දුන්නම ඒ අයත් ඒක තම ප්‍රසිද්ධිය වර්ධනය කරගන්න භාවිතා කරනව නෙ.

අපේ රටේ බොහෝ අය කරන්නෙ අනුකරණය කියන එකනම් කාටත් පෙනෙන සත්‍යකි.