Monday, October 6, 2008

ඔබේ ‍බ්ලොග් මගේ ඇසින්

කාලෙකින් බ්ලොග් එකක් ලිව්වේ නෑ. ලියන්න දේවල්නම් නැතුව නෙවෙයි..නොලියා ඉන්න කාරණා නැතුවත් නෙවෙයි..
ඒත් බ්ලොග් කියවන පුරුද්ද නිසා නොදැනිම වගේ මමත් බ්ලොග්
බලන්නෙක් බවට පත්වුණා.. බ්ලොග් බලන ගමන් ‍ඒ බ්ලොග්කරුවන් දිරිමත් කරන්න හෝ ඒවා බලන
අනෙක් අයට පත්තියන් වෙන්න යමක් එකතු කළ හැකි නම් කිරීම මගේ පුරුද්දක්..අද මේ සටහන ලියවෙන්නේ ඒ පුරුද්ද නිසා..


මට ප්‍රශ්න දෙකක් තියෙනවා.
1. අපි ප්‍රසිද්ධ අවකාශයේ ලියන්නේ ඇයි ?
2. අපි එසේ ලියන ඒවා කියවන්නේ ඇයි ?

අපි ලියන්නේ අපේ ස්වයං වින්දනයට විතරක්ම නම්, අපිට පුළුවනි ඒවා දිනපොතක, වෙන පොතක හෝ වෙන යම් අප්‍රසිද්ධ තැනක සටහන් කරන්න.. එහෙනම් ඒකෙන්ම පැහැදිළියි අපි යමක් ප්‍රසිද්ධියේ ලියන්නේ වෙනත් අය අතරට එය යැවීමේ අදහසකින් කියා..
එක්කෝ එය හුදෙක් ආසාවක් පමණයි නැත්නම් අපට අන් අයට යමක් කිව යුතුව තිබෙනවා..

එහෙමනම් මේ අන් අය සඳහා කියන දෙය... වැරදි සහිත නම් .. ???

දැන් මොකද වෙන්නේ..
‍වැරැද්දට දිගු කලක් පවතින්න ඉඩ ඇරලා එය නිවැරදි බවට හැඟීමක් ඇති කරනවාද ? වරද නිවරද කර ගෙන අපත් යමක් ඉගෙන ගන්නා ගමන්
අන් අයටත් ඒ දෙය අවබෝධ කර ගන්නට ඉඩ දෙනවාද?

වඩාත් ශිෂ්ට දෙය නම් නිවරද සඳහා නම්‍යශීලී වීමයි.
ඒත් අප බොහෝ දෙනෙකුට එය නැහැ.

දෙවැන්න, මා නම් බ්ලොග් බලන්නේ කරුණු කීපයක් සඳහා.. මට විෂය නොවුණ නමුත් අන් අය සිතන පතන දේ ගැන අවබෝධයක් ලබා ගැනීමට..
එකතු කර ගත හැකි යමක් වේ නම් එකතු කර ගැනීමට... රස වින්දනයට.. එහි අතුරු කාරණාවක් තමා ඒ බලන ඒවායේ වැරදි හෝ අඩු පාඩුවක් ‍මගේ දැනීමේ හැටියට
ඇත්නම් පෙන්වා දීම.


ඒත් මේ ඇතැම් අය තමන් ලියන දේ නැවත කියවා එහි ඇති දේ ගැන සිතන බවක් පෙනෙන්නේ නැහැ.

අද උදේ මා දුටු බ්ලොග් සටහනකට සටහනක් එකතු කරන්නට යාමේදී එය විද්‍යුත් තැපෑලක් ආකාරයෙන් යවන්නටයි ඉඩ හදා තිබුණේ. එහෙම කරන්නට ගිය විටත් එම ලිපිනය සොයා ගන්න බෑ.. ඉතින් මේ සටහන් තියන අයට කරදර විඳින්නේ නැතිව එහෙම කරන්න ඉඩ දෙන්න මේ බ්ලොග්කරුවන්ට සිතිවිලි පහළ වේවා යැයි උදේ රැයින්ම ප්‍රාර්ථනා කරන්න හිතුණා..


ඒ ප්‍රාර්ථනාව මට පහළ කළේ http://sinhalalyricx.blogspot.com/ කියන බ්ලොග් අඩවිය විසිනුයි.

නිමිත්ත එහි වූ ගීයක්..

මෙන්න එහි ඇති ගීය ඒ ආකාරයටම...

Friday, September 26, 2008
දුරු කතර ගෙවාගෙන

දුරු කතර ගෙවාගෙන මං නොකියම ආවට
මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
අර බලන්න අර පුරහඳ අහසේ

දුම් වලාකුළේ තරුකැට හැංගිලා
ඇස් කොණින් බලා මට ඉඟි බිඟි කළා
මට ඉන්නට බැහැ කොළොම්තොටට වෙළා
උඹෙ කතා කරන දෑස මතක් වෙලා

මහ මැදුරු උඩින් පුරහඳ පායලා
උඹෙ මුහුණ පෙනුණි මුළු අහසම පුරා
ඒ සෙනෙහෙවන්ත කමට වහන් වෙලා
මට ගමට ඇවිත් ඉන්නට බැරිවුණා

ගායනය :- කරුණාරත්න දිවුල්ගනේ
Posted by MaX at 10:43 PM


දැන් මට කවුරුන් හෝ කියනවද .. මෙහි අන්තිම පේළියේ එන විදිහට මේ කථකයාට ගමට ඇව්ත් " ඉන්න බැරිවුණේ " ඇයි කියලා ????

කාටවත් කියන්න බැරිවෙයි.

මොකද ඒ පේළියට තේරුමක් නෑ.

නිර්මාණයකට අරුත් සපයා ගැනීම එය කියවන පාඨකයා සතු කාර්යයක් වුවත් (මා එසේ පිළිගන්නවා) මෙම ගීතයේ පසුබිම මා ටිකක් විස්තර කරන්නම්. එත‍කොට වත් මේ මුද්‍රණ දෝෂය කියවන අයට හසුවේවි.

" තරුණයෙක් සිය හද බැඳි තරුණිය (විවාහක යුවළක් වන්නටත් පිළිවන්) හැර දමා රැකියාවට හෝ යම් දේකට කොළඹ යනවා. ඔහුගේ ප්‍රියාවිය වෙසෙන ගම කොළඹින් දුර බැහැරක.. නමුත් කොළඹ නගරයේ දුමින් පිරුණු අහස, උස් ගොඩනැගිලි මේ තරුණයාගේ හිතේ විඩාවක් ඇති කරනවා. ඔහුට ඒ කර්කශ බව මැද්දේ සිය හිත නිවන තරුණිය සිහිපත් වෙනවා. ඔහු ඇයට නොදන්නවා යළි ඇය බලන්නට ගමට යනවා.. දැන් මේ තරුණිය හිතනවා.. " මට එනබවක් කළින් නොකියම මාව බලන්න ආවෙ මා ගැන සැකයක් හිතිල වගේ.. හරියට හොර අල්ලන්න ආව වගේ.. කියල ඇය අමනාපයට පත් වෙනවා.. මේ නෝක්කාඩුව තේරුමක් නැති දෙයක් .. එහෙම නොකියම දුර ගෙවාගෙන මං ආවෙ ඔබව මතක් වෙලාම යි කියල තරුණයා ඇය සනසන්න කියන හේතු කාරණා තමයි මේ ගීතයෙන් විස්තර කරන්නෙ.." අපට අහු නොවෙන සියුම් අවස්ථාවකින් ගීතයක් නිර්මාණය වෙලා..

හරි. දැන් යළිත් ගීතය මෙහෙම කියවන්න.


දුරු කතර ගෙවාගෙන
මං නොකියම ආවට
මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
අර බලන්න අර පුරහඳ අහසේ

දුම් වලාකුළේ තරුකැට හැංගිලා
ඇස් කොණින් බලා මට ඉඟි බිඟි කළා
මට ඉන්නට බැහැ කොළොම්තොටට වෙළා
උඹෙ කතා කරන දෑස මතක් වෙලා

මහ මැදුරු උඩින් පුරහඳ පායලා
උඹෙ මුහුණ පෙනුණි මුළු අහසම පුරා
ඒ සෙනෙහෙවන්ත කමට වහන් වෙලා
මට ගම නෑවිත් ඉන්නට බැරිවුණා

ඉතින් මේ අර්ථ විරහිත බව අර්ථ පූර්ණ කරන්න මං පණිවිඩයක් තියන්න හැදුවත් ඒ බ්ලොග් අඩවියේ කරුණු කාරණා මාව වෙහෙසට පත් කළ නිසා මං ඒක මගේ බ්ලොග් සටහනේ පල කළේ එහෙම බ්ලොග් පවත්වාගෙන යන ‍අපේ අන් අයගෙත් අවධානය යොමු වේවා කියන අදහසිනුයි.

තවත් දවසක බ්ලොග් සටහනක කවි සංකල්පනාවක් දැක්කා " මුකුලිත වුණු රුවැති මලේ - සුවඳ හමයි සතර අතේ....රොන්ගන්නට එයි බඹරැන් - නොවැරටෙන්න රැවැති මලේ" කියලා
මං ඒ සටහනට එකතු කළා මුකුලිත කියන්නේ පරවෙනවයි කියන එකටයි ඒවට බඹරුන් එන්නේත් සුවඳ හමන්නෙත් නැති නිසා ඒක විකසිත කියලා හැදුවා නම් හරි නේද කියලා අහලා..
දැන් මේ බ්ලොග් සටහනේ උඩින්ම තියෙනවා " බ්ලොග් ලියන සොයුරු සොයුරියන්ගේ දැනුම , අදහස් උරගා බලමින් මගේ දැනුම වැඩිකර ගැනීමට වෙර දරමි." කියලත්..තව සටහනකිනුත් දාල තියෙනවා හිතට එන ඒවා ලියන නිසා හිත නොරිද්දා අඩු පාඩු පෙන්වා දෙන්න කියලා... දැන් මේ අපි ලියන ඒවා කොයි තරම් අතාර්කිකද කියලා මට හිතෙනවා.. වැරදි අඩු පාඩු පෙන්වන්න කියලා පුන පුනා කියන ගමන් පෙන්නුවාම නොදැක්කා වගේ අර වරද එහෙමම සමාජ ගත කරන්න ඉඩ දෙනවා.

ඉතින් මෙහෙම ගියාම බ්ලොග් කියවන එකත් අවිචාරයක් කියලා මට වෙලාවකට කණස්සල්ලක් එනවා.

මේ අද බ්ලොග් කියවද්දී මට හිතුණු ඒවායින් ටිකක් විතරයි.. තව පාසල් යන කෙනෙක් බ්ලොග් එකක් ලියලා තිබුණා.. ඒක සතුටට කාරණයක්. චිරාන්ගෙ "මගේ ඉගෙනුම්" කියන බ්ලොග් එකට උපකාර කළ අයටත් ස්තූති කරන්න මේ‍ක අවස්ථාවක් කරගන්න කැමතියි.

ආයෙ මං බැලුවා ලංකා ගී පොත..
ඒකත් ‍ගොඩක් වෙහෙස වෙලා හදපු එකක්.. මට හිතුණා ඒකට සිනමා ගීත කියලා එකතුවකුත් ආවා නම් හොඳයි කියලා..ඒ අඩවිය භාර ඇත්තා‍ගේ අවධානයට ඒක යොමුවේවා..

අපේ සමාජයට දැනුම ගලා ඒමේ විධිමත් ක්‍රම නැහැ .. ඒ නිසා අපි එකිනෙකාගෙන් පෝෂණය වෙන්න ඕන..ඉතින් අනෙක් අය තමන්ට වඩා දන්නවා.. නෙවෙයි වෙන‍ කෙනෙක් මට අහු නොවුණ දෙයක් දන්න කෙනෙක් වෙන්න පුලුවන් කියන සිතිවිල්ල හැමදාම ‍හිතේ ඇති කරගෙන අන් අයගේ අදහස් කියවන්න පුළුවනි නම් ඒක කොයි තරම් අගේද ?

වරක් මගේ කවි සංකල්පනාවක තිබූ එක් වචනයක් එහි රිද්මය කඩන බව මට තරංග පෙන්වූ විට (ඔහුට එය පෙන්වා තිබුණේ ජගත් අයියා විසිනුයි) මං ක්ෂණිකව ඒ වචනය ඉවත් කළා.. මොකද මං බ්ලොග් එක ලියන්නේ එය වෙනත් අය කියවන බවට සවිඥානික වෙමිනුයි..

ඉතින් අද දවසේ මං බැලූ බ්ලොග් මගේ හිතේ ඇති කළ හැඟීම්වලින් ටිකකුයි මේ.. නියුට්‍රල් විදිහට කියවන එක ටිකක් අමාරු වැඩක් නිසයි මෙහෙම ලියන්න හිතුවෙ

කා එක්කවත් අරෝවකින් නෙවෙයි.. හිතවත් අදහස් කිහිපයක් පමණයි මේ..

8 comments:

තිලිණ said...

බ්ලොග් වලින් කරන්න පුලුවන් හොදම දේ තමයි දැනුම හුවමාරු කරන එක. ඒ නිසා වෙන කවුරු හරි වරද නිවැරදි කරනවා කියන්නේ එම වරද කල කෙනාට කරන ලොකු උපකාරයක්‌. තමන්ව විචාරය කරනවට අකමැති නම් ඉතින් බ්ලොග් ලියල වැඩකුත් නෑ.

හේම ජයන්ත කොළඹගේ said...

සොයුර ඔබේ අදහස් ඉතාමත් හෘදයාංගමයි. අනුන් විසින් ලියන ලද්දක් කුහකත්වයෙන් තොරව නිර්දය විචාරයට හසුකරන්නට හැකිවීම අන් අයගේද හිතසුව පිණිසයි. ඔබේ දෑස් තියුනුයි. ඒ නිසා අකුරු තුලින් ධ්වනිත වන වචනාර්ථය සහ ශබ්දාර්ථය ඔබ මනාව දකිනවා.ඔබේ විචාරශීලී සිත තියුනුයි. ඒ නිසා වගන්තිවල නියමාර්ථයම සොයනවා. එහි අවසාන ප්‍රතිඵලය යමෙකුගේ අඩුලුහුඩු ඒ අය හටම හෘදයාංගම ලෙස වටහා දීමට හැකිවීමයි. ඔබ එවන් අයට අනතුරු අගවනවා වචන හිස් වචන ලෙස නොව භාෂාමය සිද්ධාන්ත මත හසුරුවන ලෙස. අවශ්‍යවන්නේ එයයි. ඔබට මගේ හදපිරි ගෞරවය මෙසේ පිරිනමමි.

Chiran said...

ස්තුතියි, .........?
(මාමේ/නැන්දේ/අයියේ/අක්කේ)
මට අද හරියට සතුටු හිතුනා ඔබගේ සටහන දැකලා!
ගොඩක් ස්තුතියි.
මට බ්ලොග් එක හදාගන්න උදව් කළේ මගේ තාත්තා. ඔබගේ අගය කිරීම තාත්තටත් පෙන්නුවා.
මගේ අඩුපාඩු තියෙනවනම් හදාගන්නත් උදව් වෙන්න.

සුපුන් සුදාරක said...

බ්ලොග් එකක් කියන දේ සාමාන්‍යයෙන් කෙනෙක්ට පුද්ගලිකයි. ඒක නිසා තමන්ට ලැබෙන උපදෙස් පිලිපැදීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ඇති අයිතිය ඔහු සතුයි. එයින් ප්‍රකාශ වන්නේ ඔහුගේ අනන්‍යතාවයයි. අක්ෂර වින්‍යාසය ගැන සිංහල ‍බ්ලොග් අවකාශයේ ගත හැකි හොඳම නිදසුන වන්නේ ණ,ළ අක්ෂර ඉවත් කරමින් බ්ලොග් සටහන් ලිවීමයි. නමුත් ඔහු පොදු කටයුතු වලදී නිසි භාෂා රීතින් වලට ගරු කරමින් ලියනු දැකීමට හැකියි (මේ කවුද කියා සූ අක්කා දන්නවා නේ :) ) අන්න ඒ නිසා තමයි බ්ලොග් සාමාන්‍ය වෙබ් අඩවි වලින් වෙන් වෙන්නේ. මම නම් බ්ලොග් ලියන්නේ මගේ අදහස් ප්‍රකාශ කරන්න. එය අනිත් අයට ප්‍රචාරය කරන්නට වගේම එදිනෙදා සිදූවීම් වල මතක සටහන් තැබීමට. මෙහිදී ‍මෙය පුද්ගලික දිනපොතක නොලියා බ්ලොග් එකක ලියන්නේ ඇයි කියලා ඇහු‍වොත් මගේ උත්තරේ වෙන්නේ නම්, මම සාමාන්‍යයෙන් දිනපොත් පාවිච්චි කරන්නේ නැති නිසා වගේම වැඩිපුර පරිගණකයත් සමඟ ඉන්න නිසා. ඒ වගේම සිංහල භාෂාවේ නව මානයන් සොයා යෑමට ඇති කැමැත්ත නිසා. අපේ බ්ලොග් අඩවි වල තියෙන දෑ විශ්වාස කරන්න හෝ නොකරන්න කියලා කියවන්නන්ට බල කරන්න බෑ. තමා එයට කැමතිනම් එය විශ්වාස කරන්න පුළුවන්. බ්ලොග් වල වැරදි දෙයක් තියෙනවානම් එයට ප්‍රතිචාර එකතු කරන්නත් දැන් පහසුකම සලස්වලා තියෙනවානම්, වැරදි දෑ නිවැරදි කරන්න පුළුවන්. අපි යමක් දෙස බලන්නේ අපේ විදිහට. සමහර විට අපිට නරක විතරක් පේන්නත් සමහර විට ‍හොඳ විදිහට පේන්නත් පුළුවන්. සමහර විට දෙපැත්තම පේන්නත් පුළුවන් මේ වගේ වෙලාවක අපේ පුරුද්ද, හිත කැමති පැත්තට අපිට ඇදිලා යන්න පුළුවන්. අර අන්තිමට කියලා තියෙන කවි සංකල්පනාවේ වචනය ඉවත් කරපු එකට නම් මම විරුද්ධයි. :) කවියේ රිද්මය බිඳුනාට සමහර විට ඔයාගේ හිතේ රිද්මය ඒක වුනාද කියලා කවුද දන්නේ? (බ්ලොග් හරහා තම අනන්‍යතාවය ප්‍රකාශ කරනු ලැබේ) ඒ රිද්මය තවත් කෙනෙක් දැකලා ඒකෙන් තව අළුත් රිද්මයක් නිර්මාණය කරානම් ඒක වටිනවා නේද?

බ්ලොග් අඩවියකට කිසිම අයෙකුට අනිසි බලපෑම් කරන්න බෑ. නමුත් සාමාන්‍ය මට්‍ටමේ බලපෑමක් කරන්න අයිතිය තියෙනවා. මොකද ඒක ඒ අය කියවපු නිසා. ඒ වගේම, ඒ බලපෑම ප්‍රතික්ෂේප කරන්නත් බ්ලොග් ලියන්නෙකුට අයිතිය තියෙනවා.

(අනේ දිග වැඩිද මන්දා) :D ඔන්න මම බලපෑමක් කරන්නයි හදන්නේ! අයියෝ මේ comment captcha අයින් කරන්නකෝ. ඒ බලපැම ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ඔබේ අ‍තේ :D

Gaveen said...

මිනිස්සු විවිදයි. කවුරුත් එහෙමයි. බොහො දෙනෙක් හිතන පතන දෙයට මා එකඟ නැති වුනත්, එ අය වැරදියි කියන්නත් බැහැනෙ. නැතත්, මා හරියැයි කියන්නෙත් කොහොමද?

එ නිසා මගෙ බ්ලොග් කිරිමෙ අදහස, බොහො දුරට ප්‍රකාශනය පමණයි. බොහොම අවංකව කිවුවොත්, වැඩි පිරිසක් අතරට යාමට වඩා, සංවාදයකට ඉඩ ඇති පිරිසක් අතරට යාමයි මගෙ කැමැත්ත.

අනෙක් අයගෙ අදහස් ඉතා අගය කොට සලකතත්, අදහස් නොගැලපෙන තැනදි නොගැටි සිටිමයි මා කරන්නෙ. සංවාදය/විචාරය දියුණුවට කෙතරම් අගෙ වුනත්, බ්ලොග් අවකාශයෙ විටෙක වන අවිචාරවත් ගැටිම බොහො විට නොවැදගත් බවයි මගෙ තෙවසරක බ්ලොග් පලපුරුද්ද. :) එනිසයි මා වැඩි පිරිසක් අතරට යාම ගැන නොහිතන්නෙ.

සදත් ඉතින් සද වගෙ නොවැ. :)

මාසෙකින් විතර තමයි ඔබෙ බ්ලොග් සටහනක් දැක්කෙ. නැවතත් හරවත් සටහනක් තැබිම ගැන තුති.

(අකුරු දොස් ගැන කමන්න. ලිනක්ස්වල මගෙ යුනිකෙත පද්ධ්තිය තවම යාවත්කාල නොකළ නිසා සමහර අකුරු වදිනව හොරයි.)


@සුපුන් සුදාරක Captcha අයින් කළොත් Spam මකන්නම දවස යයි. :)

Bo said...

මමත් සුපුන් මල්ලී කියන එකට එකඟයි. බ්ලොග් එකක් කියන්නේ එකිනෙකාගේ අනන්‍යතාවයක්, ඒක නිකම් අයිතියක් වගේ දෙයක්. එය තුල තමන්ගේ මතයට ඉඩක් තිබුනට, විචාරය කිරීමට අනුන් සතුව අයිතියක් තියෙනවා, ඒකනේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ පොතක නොලියා අන්තර්ජාලයේ පොදු අවකාශයක ලියන්නේ.
මට මතක් වෙනවා, මට වුන සිදුවීමක්, spam වෙන එක නවත්තන්න මම comment moderation දාලා තිබ්බා. ඒත් බොහො දෙනෙක් ඒක ඉවත් කරන්න කියලා බලපෑම් කලා, මම ඒකට මගේ උත්තරේ දුන්නත්, බ්ලොග් ලියන වැඩිහිටියෙක් මට පැහැදිලි කරලා දුන්නා, බ්ලොග් එකක් කියන්නේ හැමෝගෙම අදහස් වලට කරන එකක් නෙමේ, ඒක තමන්ගේ තනි අයිතියට යටත් ඒවගේම එය තුල democratic rights නොමැති බව. ඒත් අරවගේ වැරදි නිවැරදි කිරීම්නම් කරන එක හොඳයි. මොකද අපි කවුරුත් 100% නිවැරදි නැති නිසා කවමදාවත්. ඒ නිසා මම ඔබේ උත්සහය අගය කරනවා. මන්දා මම නම් හිතන්නේ අපේ ව්‍යාකරණ වැරදි භාෂාමය රීති මේ හැම එකක්ම අපිට "මට ඕනා නිසා මම එහෙම ලියන්නේ නෑ" කියලා බැහැර කරන්න බෑ . මොකද භාෂාවක් කියන්නේ අනන්‍යතාවයක්.

kasun said...

කොනෙක් පුද්ගලික දිනපොතක් නොලියා ජාලයේ සටහනක් ලියන්නේ යම් යම් දේවල් බලාපොරොත්තුවෙන්. දැනුම හුවමාරු කර ගැනීමේ සිට තමන්ගේ මතවාද හා අදහස්, සංකල්පනාවන් ආදිය සමාජගත කිරීමේ උත්සහයක් ලෙසත්. කොහොම වෙතත් ඒ හැම එකකින්ම බලාපොරොත්තු වන දෙයක් තමයි. තමන්ට ආත්ම තෘප්තිය වගේම අන් අය තමන්ගේ අදහස් වෙත දක්වන සැලකිල්ල. ඒ නිසා තමයි අපි ලියන බ්ලොග් සටහනකට ලැබෙන ප්‍රතිචාරයෙන් සඳහා අපි ගොඩක් සංවේදී වෙන්නේ, මම හිතන්නේ.

අනික ලංකාව වගේ විසංවාදී සමාජයක බ්ලොග් අවකාශයේ හරි යම් සාධනීය සංවාදයන්ට මුල පිරෙනවා නම් ඒක වැදගත්.

අපි ලියන දේවල තාර්කික භාවය ගැන හිතුවොත්, ගොඩක් වෙලාවට මම කිසිවක් ලියන්නේ නැහැ, ඒ වචන වල ගැලපීම සහ එහි අදාලබව ගැන හිතන නිසාම, අන්තිමට වෙන්නේ මා ලියන දේ තවතවත් අවුල් සහගත වීම. මේ හින්දම තමා මම තවමත් හරියාකාරව බ්ලොග් සටහනක් නොලියන්නේ. මම ලියන දෙයින් මගේ අදහස හරියාකාරවම ප්‍රකාශ නොවෙයි කියන බයට.

මම බ්ලොග් දිගටම කියෙව්වත්, comments එකක් තියන පළවෙනි වතාව.එකත් දිග වැඩියිද මන්දා.

kasun said...

ආ පොඩි නිවැරදි කිරීමක්: මම කියන්න හැදුවේ මේ බ්ලෝග් එක දිගටම කියෙව්වත් comments කලේ අද කියලා. එත් 'මේ' නැතුව නෙව වැදිලා තියෙන්නේ :)