මේ හෑගොඩයන්ගේ කවිපොතක තේමාව මෙන්ම කවියක පදයක් පොඩ්ඩක් වෙනස් කරලා. මෙය සිහිවද්දී මට හදිසියේම ...මෙහි කථකයා ගැහැණියක වී පිරිමි සමාජයට සිදු කරන ප්‍රකාශනයක් වුණොත්.....කියා ක්ෂණිකව හිතට කා වැදී ගියා.
නමුත් මෙම කවියෙහි සැබැ අරුත ඒ ළඟින්වත් යන්නක් නොවේ.. මා කළේ මට රිසි පරිදි එහි පද කඩා විසි කර මට ඇවැසි පද කිහිපය පමණක් ගෙන වෙනත් තලයක තබා මා කැමති ප්‍රකාශනයක් සදහා භාවිත කිරීමයි. මන්ද යත් මා පාඨකයෙකු නිසා මා කියවන්නේ කර්තෘගේ ප්‍රකාශනය නොව මට අනන්‍ය වූ මගේ ප්‍රකාශනයක් වන හෙයිනි. මා පාඨනය කරන්න ගොඩ නගා ගනු ලබන්නේ පාඨකයා වන මා විසින් ම වන හෙයිනි.
ඉතින් දැන්
ඔබ පිරිමියෙකු වී
ගැහැණිය වන මා ගඟක් වූ විට.....
ලෝකය මා දකින්නේ කෙසේද ?
එකම නදියට බැසිය නොහැකිය දෙවරක් ...
බුදුන් වහන්සේ එසේ කීවේ ඇයි? මේ ලෝකයෙහි සියලු දෙය අනිත්‍ය බව පෙන්වීමටය. ක්ෂණයකින් සියලු දෙය වෙනස් වී නැති වී යන බව අවබෝධ කරවීමට ය.
ඒ එදාය.
අස්ථිර බව පිළිබදව ඩොක්සාව (=common belief or popular opinion) මේ මොහොත වන විට ගොඩ නැගී ඇත්තේ ගැහැණිය වටා ය. එහෙත් ධනාත්මකව නොවේ. විශේෂයෙන් ගැහැණිය සම්බන්ධතාවක් තුළ තබා සාකච්ඡා කරන විට..
පළමු සම්බන්ධතාවෙන් ගිලිහෙන විට එකී සමිබන්ධතාව තුළදී ඇලවී තිබූ අවංක/නිහතමානී/ලස්සන/ගැමි පෙනුමක් තියෙන/ හැදිච්ච ගතිගුණ තියෙන/නිවුණ/ සංවර/සත්‍යවාදී/ දක්ෂ/ ධෛර්යයෙන් වැඩ කරන/ කරුණාවන්ත/ ආදරේ/ උගත්/විශ්වාසවන්ත/වෙනත් කොල්ලෙක් දිහා ඇහැක් ඇර නොබලන/
මේ සියලු දෘෂ්ටිවාදී ලේබල් ගැලවී යන්නේ ඇලවී තිබුණාටත් වඩා ඉක්මණට ය.
ඉන් පස්සෙ ඇහෙන්නෙ තඹ සතේකට විශ්වාස කරන්න බැරි/ නැහැදිච්ච/සංකර/සක්කරවට්ටමක්/බොරු කාරියක්/චපලයි/ කිසි කමකට නෑ/බඩුවක්/ගිය එකමයි හොඳ....
අන්තිමට මේ අදහස තමා ලියාපදිංචි වෙන්නෙ.
එහෙම බලන කොට සම්බන්ධයක් පවතින්නේ දෙදෙනෙක්/දෙපාර්ශ්වයක් අතරෙ වුණාට ඇත්තටම සම්බන්ධයකට තියෙන්නෙ එක භාෂාවක් නේද ? ඒක තමා පිරිමි භාෂාව... හොඳ වුණත් නරක වුණත් ඒ දෙකම පිරිමි භාෂාවක්..අනෙක් අන්තය ගිලී ගිහින්..නිහඬයි..නෑ නිහඩ කරවලා..සම්බන්ධයේ ස්වභාවය පිළිබඳ අවසන් තීරණය සිදුකර තිබෙන්නේ පිරිමියා විසින් ..අන්තිමට සමාජය විසින් සාමාන්‍ය ලෙස එහෙමත් නැත්නම් සත්‍ය ලෙස පිළිගනු ලබන්නෙත් එයමයි.
ඒ සමාජය ගැහැණු පිරිමි දෙපිරිසෙන්ම යුක්ත වන විට, ඒ ගැහැණුන්ටත් අර පිරිමි මානසිකත්වය ආරෝපණය වෙනවා..එයාල බලන්නෙත් ඔව් ඇත්ත තමා...මානසිකත්වයෙන්. තමන්ගෙන් පිටවෙන්නෙ වෙන කෙනෙකුගේ භාෂාවක් හඩක් කියල දැනෙන්නෙවත් නැහැ. තමන් ඇතුළෙ තියෙන්නෙ වෙන කෙනෙක් හදපු ව්‍යුහයකට අයිති භාෂාවක් කියල හිතෙන්නෙවත් නැහැ.
මෙහි නරකම දෙය තමා මේ පිරිමි ගොඩනැගීම වැඩිපුරම පිටවෙන්නේ ගැහැණු හඬවලින් වීම..අන්තිමට ගැහැණු හිතන්නේ මේ තමන්ගේම අදහස්..තමන්ට පෙනෙන විදිහ..තමන් හිතන දේ..කියලා.
ඒ කියන්නෙ එක පාර්ශ්වයක භාෂාව හැමවිටම ස්වාභාවික ලෙස පිළිගැනීමට ලක් කරලා...ඒ තමයි පිරිමි පාර්ශ්වය. එයාලගෙ හඬ විතරයි එළියට ඇහෙන්නෙ. මේක තමයි සමාජ සම්මතය කියලා පිළිගන්නවා...දැන් මේක කොයිතරම් අස්වාභාවිකද කියලා ඔබට දැනෙනවද ?
මේක වඩාත් නරක වෙන්නෙ..තෙවනුව අදාල පාර්ශ්වය විසිනුත් ඔව් මේක තමා මගේ කරුමෙ ..මං කළ දේවල් නිසා අද මට මෙහෙම අහන්න වෙන්නෙ....කියල හිතන්න ගත්තොත් තමයි.. එතකොට ඒ නිශ්ශබ්ද පාර්ශ්වය අංගවිකල වෙන්නත් පටන් ගන්නව.
ඒත් ඒ තත්වය ආක්‍රමණය කළොත් මොකද වෙන්නෙ ?
ඉන් පස්සෙ දුෂ්ඨ චරිතයක් රඟපාන නිළියකගේ තත්වයට තමා වැටෙන්නේ. නමට පවා අපහාස-උපහාස, අවමන් ගැරහුම්, නොයෙකුත් කතන්දර...
මට මෙතනදි නදී වාසලමුදලිආරච්චිගේ “ ප්‍රේමය සමග ඩොක්සාවට එරෙහිව “ කියන පොතේ නිර්මාණයක් සිහිවෙනවා.
බැසිය
නොහැකිය
දෙවරක්
බුදුන් වහන්සේ
(ක්‍රි.පූ.560-480)
හෙරක්ලිටස්
(ක්‍රි.පූ.535-430)
මම
“නදී”
මි.
දැන් මේක ලියපු කෙනා මේක කියන්නෙ ඉතා පෞද්ගලික අර්ථයෙන්. තමන් “නදි”යක් කොට එහි බැස රිසි සේ දිය කෙළි පැවැත්වූවන් වෙනුවෙන්.. නමුත් එහි පෙරවදනෙන් නම් කියන්නේ ඇය ගඟ පිළිබඳ ස්ථිතික අදහස මේ හරහා කතිකාවක් කළ බවයි.
(දැන් මේ ගඟ ස්ථිතිකය යන්න මට එකඟවිය හැකි අදහසක් නොවේ. ගඟක ස්ථිතික භාවයක් නැත යන්න තේරුම් ගන්නට දර්ශනවාදයක් ඇවැසි නැත. තප්පර ගණනක් ගඟක් දෙස බලා සිට ඔබම තීරණය කරගන්න).
දැන් මේ නදී කියන කෙනාව අයින් කරල එතනට තව ඒ වගේ නදීලා සිය දහස් ගණනක් එක් කරලා..ඒ නදියෙන් දිය දෝතක් ගත් අනික් පාර්ශ්වයට මේ චෝදනාව එල්ල කළොත්..මට හිතෙනවා ඒක මේ විදිහට අර්ථ දෙකක් වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් කියලා...
මෙය පිරිමි පසින් කියවෙන විට
ඔව්..ඔයා ගඟක් වගේ..වෙනස්වෙන සුලුයි..චපලයි...විශ්වාස කළ නොහැකියි...දෙවෙනි පාරට දකින්න බැහැ කළින් දැකපු විදිහටම..(දැන් ඒකි අල්ලන්න බෑ..දැන් වෙන එකෙකුට සෙට්වෙලා)
ගැහැණු අන්තයෙන් කියවෙන විට
ඔවි..මං ගඟක් වගේ වෙනස් වෙනවා..පරණ මෝඩියම හොයන්න හදන්න එපා මගෙන්..ආයෙත් ඒ ගඟට බහින්න හම්බවෙන්නෙ නැහැ....දැන් මං වෙනස්..මට දේවල් සිද්ධවෙන විදිහ පැහැදිළියි..
(මට) ගැහැණියට එරෙහි මේ සියලු ඩොක්සාවන් ගොඩ නැගෙන්නේ ( මා )ඇය ගඟක් වන නිසා ද ?
දැන් මෙහි
පළමුවැන්න අවඥා සහගතයි
දෙවැන්න අභියෝගාත්මකයි
පළමුවැන්න ගැහැණිය සම්බන්ධ සමාජයේ (පිරිමි) ඩොක්සාවන් ට එකඟයි
දෙවැන්න ස්වාභාවික කරන ලද පිරිමි ඩොක්සාවන් ට එරෙහි යි.
එහෙම වුණ දවසක සමාජ සම්බන්ධතා අහෝසි වෙලා මිනිස් සම්බන්ධතා මතුවේවි. එතකොට ආදරයට, ප්‍රේමයට, විවාහයට විතරක් නෙවෙයි ජීවිතයට පවා අලුත් අරුත් එකතු වේවි. මේ කලකිරීම, මේ කුණුවීම නතර කරන්න පුලුවන් එහෙම විතරයි.
මට හිතෙන්නේ එහෙමයි.
-
2 comments:
මට තේරෙන විදිහට ලංකාව වගේ රටවල සංස්කෘතිය පවා හැඩ ගැහිලා තියෙන්නෙ කුහක කම් එක්ක. "ගෑණියෙක් වුනාම සංවර වෙන්න ඕනෙ , පිරිමියා (පියා/සැමියා) කියන දේට අවනත වෙන්න ඕන" වගේ සම්ප්‍රදායන් එක්ක ගොඩ නැගිල තියෙන සමාජයක්.
ඒවා සමාජ ගත වුනාම ඔබ කියනව වගේ කාලයක් යන කොට ගැහැණිය පවා අනෙත් ගැහැණු දකින්නෙ ඒ දෘෂ්ටි කෝණයෙන්. ධනවාදය විසින් ලංකාව වගේ රටවල මුලු මහත් සමාජයම අන්දල තියෙනවා වගේ අර විදිහෙ සම්ප්‍රදායන් හරහා ගැහැණිය අන්දවල ඉවරයි.
ගැහැණිය පිරිමිය ගැනත් ඔය විදිහෙ විවේචන වල යෙදුනොත් , එහෙම නැත්තනම් අහුවෙන හැම ගෑණි එක්කම යහන් ගත වන්න බලාගෙන ඉඳල පස්සෙ එළියෙදි ඒ ගෑහැණුන්ට ගණිකාවන්ගෙ තත්වයට ඇද දමල අපහාස කරන ඊනියා පිරිමියාට මතවාදිමය කනේ පහරක් ගැහුවොත් කොහොමට හිටීවිද?
කොහොමටත් එකම නදියට දෙවතාවක් බහින්න පුලුවන් කියල හිතාගෙන තමයි අපේ පිරිමි හිතාගෙන ඉන්නෙ. එහෙම නොවෙන බව මේ සංස්කෘතිකව පල් වෙලා ගඳ ගහන සමාජයට පෙන්නල දුන්න දවසට මිනිස්සු අතර ගනු දෙනු වෙනුවට සම්බන්ධතා ඇති වේවි.
මේ ලිපිය ලිව්වට ස්තූතියි.
අර්තාන්විත ලිපියක්. සමාජය කාන්තාව දෙස බලන ආකාරය හා කාන්තාවට තියෙන ස්ථානය පිළිබඳ විශාල ගැටලුවක් පවතිනවා. මන්ද පුරුෂාධිපත්‍ය මත පදනම් වූ සමාජයක සෑම දෙයම පුරුෂයා මුල් කොට පවැත්වීමයි සිදුවෙන්නේ. සෑම තැනදී ම වැඩි වාසි අත්වන්නේ පුරුෂයාට වීම කැපී පෙනෙන ලක්ෂණයක්.
වැරදි කරන උදවිය ම පෙරලා අහිංසකයන්ට ඇණුම් බැණුම් එල්ලකිරීම ඉතා කණගාටුදායකයි. කාන්තාවන්ට හිරිහැර කරන පිරිමින් ම පසුව ඒ කාන්තාවට විවිධ නින්දා කරමින් සුදනන්ගේ චරිත රඟපානු ලැබේ.
සොභාවධර්මය පවා පිරිමියාට වැඩි යහපතක් කර ඇති බවක් මෙවන් කාරනාවලදී හැඟැයි.මතවාදී වෙනසක් හා මානුෂවාදී දැක්මක් ලෝකයට පහල වුණු දාක කාන්තාවට නිදහසේ හුස්ම හෙලිය හැකි බව මගේ හැඟීමයි.
Post a Comment