Sunday, January 11, 2009

මල් වලප

.

.





අපේක්‍ෂා සපිරි හද කුසුමක්ව පෙති විහිද
නටු මතින් හිස න ගා සිනාසෙන්නට තනන
ඇසිල්ලේ ප්‍රභාතේ පෙති එකින් එක සිඳින
තෙතමනය නොරැඳුනිද ඔය ඇඟිලි තුඩු අගට

වැසි වසින තෙක් බලා නව ළදලු හිස මතට
පළඳන්න දුක් විඳින තුරු අගිස් නොපෙනේද
අනුන් සිත සදනු වස් ඒ පැතුම් සිඳ දමන
උයන් පල්ලෙකු විනිද නුඹ තවත් මා අසල

නොදන්නා බඳුනකට‍ නෙළන්නට පෙර අතුව
මේ බිමේ දැවි දැවී මියෙන්නට පෙර අතුව
සිඳිනු මැන. සුවඳ දුන් මේ සිහින් නටු අගම
ජීවිතේ පැතුම් මල් පෙති එකින් එක ඉතින

...

Friday, November 28, 2008

පෙම්වතාගේ පෙම්වතියට..


අකල් හී පිබිදී ලිහී ගිය
මගේ මිහිරැති සිහින පොකුරම
වළ දමා පස් වසා නොනැගිටින බර තබා
සිනාසී සුබ පතමි කෝ දෑත් යුග දෙන්න

පණ වගේ නොවෙයි මා මගේ පණටත් වැඩිය
ආදරෙයි හැමදාම හෙටත් ඊයෙට වැඩිය
සඳයි තරු දකින දේ එළිය දන්නේ කොහොම
හිරු කොහිද පිසලන්න නෙතින් බට පිණි කඳුළ

ජීවිතය පිණි බිඳක් රැයෙහි තණ අග දිලෙන
රිදුම් ඇයි මේ තරම- නොඉවසයි දුබල හද
අවලාද නිම නොවන නොරිසි වේ තව දුරට
විඳගන්න ඉඩ නොදෙන සතුට දැන් ඔබ ගන්න

රුවින් මා අස වුවද හිතින් නුඹ හා ‍දොඩන
හිතින් මා ළඟ වුවද සැණින් නුඹ හද සිඹින
මගෙන් ගත් දේ වගෙද නුඹට දුන් පෙම් පිළිණ
ඉතින් මේ ආදරය තවත් මට උරුම නැත

තාත්තෙක් වගෙයි මං ආදරෙයි මගෙ මැණික
අසුරකින් මැකී ගිය වදන් හද පාරවන
සිප වැළඳ බඳ - පෙවූ මුව මී මතක
තෑගි කොට ලියා දෙමි මගේ අන්තිම පිළිණ

ආදරෙන් මං සුරැකි මගේ පෙම්වත් දෙවොල
පින් සිතින් බාර දෙමි පහන් දල්වා සුවඳ
සීරුවෙන් වාවගමි ගිලන් වූ මා සිරුර
මට අකැප වතාවත් වෙතින් නික්මී යන්න

ඉතින් ඇයි පමා තව ජීවිතය විඳගන්න
අගිල් දුම් සුවඳ පිරි දෙවොල මිණි හඬවන්න
ශෝකයේ රස වැරූ ඔබෙ රුවන් මැදුර වෙත
මගේ පණ සදිසි මා සුපෙම්වත ගෙන යන්න .

...

Wednesday, November 26, 2008

මෝසම් මුහුදේ පිහිණීම නොහොත් සමලිංගික ප්‍රේමය

හිත තැවෙන බොහෝ අවස්ථාවල හොඳ පොතක් කියවීම ඔසුවක් බව කවුදෝ කියා තිබෙනවා. මමත් එය පිළිගන්නවා. පොතක පිටු අස්සේ ගිලී ගිය විට බාහිර ලෝකය සමග සබඳතා බිඳී යනවා. හැඟීම් ප්‍රකාශනය දුර්වල වූ විටක අපේ හැඟීම් වෙනත් අය පැහැදිළිව දක්වා ඇති බව පෙනීමත් හිතට අස්වැසිල්ලක් ගෙන එන නිසා...

මං දෙපැයකට පෙර මෝසම් මුහුදේ පිහිණීම ට පටන් ගත්තා..ශ්‍යාම් සෙල්වදොරේ එක්ක.

"Swimming in the Monsoon Sea" ජේ.පී.වන්නිආරච්චි සිංහලට නගල තියෙනව.."මෝසම් මුහුදේ පිහිනීම" කියන නමින්. පරිවර්තන භාෂාව නම් ටිකක් ව්‍යවහරයෙන් ඈතයි වගේ දැනුණත් පොතේ අගට යද්දි භාෂාවෙයි සෝදුපත් දෝෂයි යටපත් වෙලා සංවේදීතාව ප්‍රබලවෙනව. පොතේ අන්තිම පිටුව වහද්දි අර කියපු දොස් ගැන වගක්වත් දැනෙන්නැති තරමට කම්පනයක් ඇතිවෙනව. සියුම් මිනිස් හැඟීම් එළිදරව් කරන්න ශ්‍යාම් කොයි තරම් විනයකින් කටයුතු කරල තියෙනවද කියන එක දැනෙනව. ඔතෙලෝ නළුවේ ඩෙස්ඩිමෝනාගේ චරිතයේ සිට කාෂියෝගේ චරිතය කරා අම්රිත්ව හැරවීම ඉතා සියුම් ලෙස කල්පනා කර කළ දෙයක් ලෙස අපට වැටහෙනව. කාෂියෝ කියන්නෙ අම්රිත්ගෙ ජීවිත රුචිය පිළිබඳ සංකේතයක් වගෙයි මට හැඟෙන්නෙ..

පවුල් අරගල තුළ ළමුන් මුහුණ දෙන අරගල සහ සාංකාවන් පිළිබඳ මෙවැනි සාහිත්‍යමය අත්දැකීමක් මයිකල් ඔන්ඩට්ජීගේ "Running in the Family" කෘතියෙනුත් හමුවන බව පැවසෙනවා. මා එය කියවා නැහැ.

මවගෙන් නොමිදුණු දරුවකුගේ භින්න පෞරුෂ ලක්ෂණත් තමන් පිළිබඳ සැබෑව තමා විසින්ම අනාවරණය කර ගැනීමත් සමග සංහිඳියාවකට පත්වෙමින් බාහිර ලෝකය හා එක්වන ආකාරයත් මේ පොතෙන් ආයාසයකින් තොරව දක්වා තිබෙන ආකාරය සිත්ගන්නා සුළුයි.

මෝසම් මුහුදේ පිහිනන්නන් ගැන කියන ශ්‍යාම් ලංකාවෙ පාඨකයින්ට අමුත්තෙකු නොවෙයි.

ඔහුගේ
" Funny Boy " කෘතිය " අමුතු ඉලන්දාරියා " නමින් සුගතපාල ද සිල්වා ශූරීන් අතින් සිංහලට හැරවුණා. එය හොඳම පිරිමි සමලිංගික නවකතාව (Best Gay Male Novel) ලෙස Lambda Literary Award දිනාගත්තා. කැනඩාවේ ප්‍රථම කෘතියට පිරිනැමෙන සම්මානයත් (Smithbooks/Books in Canada First Novel Award for 1994) දිනාගත්තා.

ඒ විතරක් නෙවෙයි. ඔහු විසින් ලියන ලද දෙවැන්න වූ Cinnamon Gardens කෘතිය ද රටවල් කිහිපයකදී සම්මානයට පාත්‍ර වුණා.

ශ්‍යාම්ගෙ තෙවන නවකතාව වන මෝසම් මුහුදේ පිහිනීමටත් සම්මාන (Lambda Literary Award in the Children's and Youth Literature category in 2006) හිමිවුණා.

සිංහල-දෙමළ මිශ්‍ර සම්භවයක් සහිත ශ්‍යාම් කොළඹ ඉපදිලා සිය පවුලේ උදවිය සමග වයස අවුරුදු 19 දි 1983 ජූලි කලබලත් සමග කැනඩාවට සංක්‍රමණය වූවෙක්. ඔහු ප්‍රකට ව සිටින්නේ සමලිංගිකත්වය වෙනුවෙන් නිබයව පෙනී සිටින්නෙකු ලෙසයි.මෙවැනි කෘතිවල ඇත්තේ ඔහුට ආගන්තුක අත්දැකීම් නොවන නිසාදෝ ඔහු ඉතා සංයමයකින් මෝසම් මුහුදේ පිහිනීම සිදු කොට තිබෙනවා. මෙම කෘතිය තුළැති මා සිත් ඇදගත් කරුණත් එයමයි.

මේ පොතේ මා සිත්ගත් දේ ගැන සටහනක් මිසක් විචාරයක් නෙවෙයි. අපූර්ව අනුභූතියක් නොවන නිසා විචාර සටහනකට යන්න තරම් සිතක් නැහැ.

අද පොත් කියවන දවසක් වෙලා. දැනට පොත් දෙකක් කියවා ඉවරයි. හවස මගේ කළණ මිතුරිය තවත් පොත් 3ක් ගෙනත් දීලා මා ගාව තිබූ පොත් දෙකක් රැගෙන ගියා. එක් පොතක් කියවීම ප්‍රමාද වෙන්නේ මගේ ලැප්ටොපය රත්වීම අවම කර ගැනීම සඳහා එම පොත මත තබා වැඩ කරන නිසයි. කොයි වෙලේ හරි පොතත් ගිනි ගනීවිද දන්නැහැ. එහෙම වුණොත් Rani Manicka ගෙ The Rice Mother ආපහුත් ගන්න වෙනව.

25.නොවැම්බර් 2008

-

Monday, November 24, 2008

නමක් නැති යමක්...

හඳටත් දුක හිතිලා
පිනි කඳුළු දුන්නා
තරු වැලත් සොවින් මැලවී
මඳ එළිය නිවා දැම්මා..

සුබ පතන්නට මග බලා සිටි
පැතුම් හදෙහිම ගොලුව තිබුණා
ආදරය විඳින්නට අවසරය නැති
සුසුම් සිරවී හඬා වැටුණා..

ගතින් පමණක් නොව හදින් වුව
දුරස් වූ බව තදින් දැනුණා..
නුඹ නොදන්නා නමුදු සොඳුරේ
මට මහා තනිකමක් දැනුණා..

Monday, November 10, 2008

සංස්කෘතික ගස්

" අදිසි : මගේ කණ්නාඩි දෙක කොළ පාටයි. ගසුත් කොළ පාටයි. අපි හැමෝම ගස් වගේ..
මම : ගස් සොබා දහමට අයිති වුණේ ඉස්සර ..ගස් කියන්නෙ සොබා දහමෙ කොටසක් කියලද කියන්නෙ .. ?
අදිසි : ඔව්. ගස් කියන්නෙ සොබා දහම තමයි
මම : හැම ගහක්ම .. ?
අදිසි : ඔව්. හැම ගහක්ම. පොළවෙන් මතුවෙන හැම ගහක්ම .. ඇයි ?
මම : නිකන්.. "



මේ සංවාදය ඇරඹෙද්දි මගේ අදහස වෙනස් එකක් වෙමින් තිබුණා..‍සොබාදහම ගැන..‍සොබාදහම ස්වාභාවිකද කියන එක ගැන.. මට හිතුණා සොබා දහම අතීතයේ තිබුණ අර්ථකථනවලින් දැන් යම් දුරකට ගැලවිලා කියල.

අදිසි සොබාදහම දැක්කෙ ගස්වලින්.. ඉස්සර අපි කවුරුත් කිවුවෙ සොබාදහම යනු ගස්, ගල්, ගංගා -ඇළ - දොළ සහ සතුන් ය...කියලනෙ. අපිට පාසල්වල ඉ‍ගැන්නුවෙත් එහෙමයි.

ඒත් මට කාලයක පටන් හිතෙමින් තියෙනව ගස් සහ සතුන් ඇතුළු මේ පරිසරයේ ස්වාභාවිකයි කියා හිතන ඇතැම් කොටස් එහෙම නැහැයි කියල.. එහෙනම් මොකක්ද වෙලා තියෙන්නෙ ?

ගස් - සතුන් ස්වාභාවිකයි ??
නැහැ.
සංස්කෘතිකයි.

ඉස්සර සොබාදහමට අයිතිවෙලා තිබුණු ගස් දැන් cultural Plants වෙලා..
සතුනුත් එහෙමයි.. බල්ලා යනු තව දුරටත් බල්ලා නොවේ. ඩොගී,,, ටොමී, රෝසි, බ්‍රවුනි, ටෝනි, කළුවා, සුද්දා, .................

ඉස්සර ගස් වැවුණේ ඒවාට ඕනෑ හැටියට.
දැන් ගස් වැවෙන්නේ අපට ඕනෑ හැටියට.

අපිට ඕනෑ උසට..අපිට ඕනෑ හැඩයට..අපිට ඕනෑ තැනක..අපිට ඕනෑ කාලයට..

ගඟ ගලන්නෙත් එහෙමයි.

මං පොඩි කාලෙ ගස්වලට ඇස් දෙක කිට්ටු කරල ‍ගොඩක් වෙලා ඒව දිහා බලාගෙන ඉන්න ආස කළා.. රතුයි සුදුයි පුංචි තිත් වැටුණ හබරල පැල..පුංචි තුන් හුලස් ඵලයක් ඇතුලෙ කිරි රස ඇට පිරුණු පොලව මට්ටමේ හැදෙන බිං තඹුරු ගස්.. දම්පාටයි සුදු පාටයි පාට දෙකින් එක සුවඳින් හැන්දෑවට පිපෙන yesterday today tomorrow මල් ගස්.. මං ඒ කාලෙ හිතුවෙ ඒ හැම දෙයක්ම ස්වාභාවිකයි කියල..

ශිෂ්‍යත්වලාභිනියක් වෙලා කොළඹට ආවට පස්සෙ මෙහේ කරක් ගහන කොට මං දැනගත්තා ඒවාට මිලක්, තත්වයක්, පංතියක් හා කාර්යයක් (role) නියම වෙලා තියෙනවා කියල..

පාට පාට හබරල පැල මෙහේ පෝච්චිවල හිටවලා විකුණන කොට, අපේ ගෙදර බිතක්කනේ තිබුණු දාර ගස් වහගෙන උඩට නැගුණු මනි ප්ලාන්ට් මෙහේ ගෙවල් ඇතුළෙ සමෘද්ධිය කැන්දන පූජා ගහක් වෙන කොට, වැට දිගට ලවක් දෙවක් නැතුව වැවුණ ක්‍රෝටන් ගස් මෙහේ අතු පාහලා පෝච්චිවල ඉන්දවෙන කොට, එක අතකට සතුටු හිතුණා කැළේ වැවිලා කවුරුවත් නොදැක මැරිලා යන ගස්වලට නියම වටිනාකමක් ලැබුණා කියලා.. ඒත් ඒක හරි ‍නෑ කියලා ඒ එක්කම හිතට දැනුණා..හිනත් ගියා.. මේ නිකං ගලවගෙන එන්න පුලුවන් ගස්නෙ කියලා...

ඒ විතරක්ද ? මල්වලට තේරුම් මැවිලා.. මල්වලට කෘත්‍යයක් පැටවිලා..
රෝස නම් ආදරය.. ලිලී නම් රෝගියෙකුට.. කානේෂන් නම් මළ ගෙදරකට.. මං ඕවා ඉගෙන ගත්තේ මරදානේ මල් සාප්පුවලින්... අක්කාට යාළුවන්ට හිටපු ගමන් මල් අරන් සුබ පතන්න යද්දි..
කොහොමද උපන්දිනේකට කානේෂන් දුන්නා නම්...

මෙහෙම වුණේ ඇයි ?

මට හිතෙන විදිහට කැළේ හිටපු අපි සංස්කෘතික මිනිසුන් වෙන්න ගිය තැනදි තමයි මේ ඔක්කොම කණපිට පෙර‍ලුණේ..

බටහිරට අනුව සංස්කෘතිය ස්වභාව ධර්මයට පරස්පරයි. ඒ කියන්නේ ස්වභාව ධර්මය මනුෂ්‍ය චිරස්ථිතිය සඳහා වෙනස් කරන තැනදි තමයි සංස්කෘතිය පැන නගින්නේ කියලා ඔවුන් විශ්වාස කරන්නේ. නමුත් පෙරදිග දර්ශනයේ එහෙම නැහැ. ස්වභාව ධර්මය තුළින්ම තමයි සංස්කෘතිය පැන නගින්නේ කියලා ඔවුන් පිළි ගන්නෙ..එහෙනම් ‍ස්වභාව ධර්මය සමග සහජීවනයෙන් හිටි අපට මොකද මේ වෙලා තියෙන්නෙ..

ස්වභාව ධර්මය පරදවා නැතහොත් ජයග්‍රහණය කරමින් සංස්කෘතික වන්නට දරණ උත්සාහයෙදි ස්වභාවික හෝ සොබාදහමට අනන්‍ය වූ දේවල් ඉතිරිවීම තව දුරටත් සිදුවන්නේ නෑ වගේ පෙනෙනවා.

දැන් බලන්න බෝ ගහ.. ඒක කොයි තරම් සංස්කෘතිකද ? ආගමික ද ? ‍දේශපාලනිකද ?

ඉතින් මං මේ කියන කතාව පරිසරයේ අසංඛෙය වූ සියලු ගහ කොළට සර්ව සාධාරණ වෙන්නේ නැහැ... නමුත් මෙහෙම පැත්තකුත් තියෙනවා‍ නේද කියලා මට හිතෙනවා..

ඉතා කෙටියෙන්.. දැනට එච්චරයි.

-

Saturday, November 8, 2008

ඔබ නග්නව .. !?


පරණ සටහන් අළුතින් දමන එක මං අකමැතිම වැඩක් වුණත් අද දවල් දවසෙ ඇහුණු කතාබහ කිහිපයක් නිසා එක් සටහනක් යළි කියවන්න හිතුණා. ඒ සටහන ලියවුණේ වෙනත් සටහනකට පිළිතුරක් විදිහට ..


ඒ විතරක් නෙවෙයි අද දවල් කෙනෙකු කිවුවා මගේ සටහන් පටන් ගන්නා විදිහට හාත්පසින්ම වෙනස් තැනකිනුයි ඉවර වෙන්නේ කියලා..ඒක complement එකක් විදිහට භාර ගන්න බැහැ. ඒත් බ්ලොග් කියන්නේ ඉතින් කියවන්න බල කෙරෙන ම දෙයක් නොවන නිසා මගේ කතා පැටලිලි සහගත වීම ගැන සමාවක් ඉල්ලන්න මට හිතෙන්නෙත් නැහැ.

ඒ සියලු දේවල් පත අට අනා එකට සිඳ ආයෙමත් මට මේ පරණ සටහනට කිසිසේත් නොගැළපෙන තැනකින් වෙනත් යමක් එකතු කරන්න හිතෙනව.

ජීවිතේ කටුක යථාර්ථයන්ට මුහුණ දෙමින් ආගමික වගේම දාර්ශනික වශයෙන් උසස් සිතිවිලි ධාරාවක් ලෝකයට දුන් මානව හිතවාදී කලාකරුවෙකු, ලේඛකයෙකු, චිත්‍ර ශිල්පියෙකු වගේම කවියෙකු ත් වූ ඛලීල් ජිබ්රාන් වරක් ආගම ගැන කතා කරමින් මෙහෙම කියනව..

............

සදාචාරය, තමන්ගේ හොඳම වස්ත්‍රය වශයෙන් අඳිනු ලබන තැනැත්තා වඩාත් නග්න භාවයට පත්වේ.

ඔහුගේ සම මත, වාතය හෝ හිරු සිදුරු ඇති කරන්නේ නැත.

තමාගේ පැවැත්ම ආචාර ධර්ම මගින් විග්‍රහ කර දැක්වීමට ප්‍රයත්න දරන්නා, ඔහුගේ සංතුෂ්ටිය කූඩුවක දමා හිර කර දමා ගනී....

............
......
ලෙබනන් ජාතිකයෙකු වූ ඛලීල් ජිබ්රාන්ගෙ දාර්ශනික සිතිවිලි ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨතම කෘතිය සේ සැලකෙන්නෙ The Prophet. ඒ 1923 දි..ඒකෙ එක තැනක කියනවා මහලු පූජකවරයෙකු ආගම ගැන යමක් ප්‍රකාශ කරන මෙන් දිවැසියාගෙන් ඉල්ලා සිටි විට ඔහු මෙසේ කීවේය.. කියා සටහනක්.. එම සටහනෙන් ගත් අදහස් කිහිපයක් පමණයි ඉහත සඳහන් වෙන්නෙ.

ඉතින් මට මගේ සංතුෂ්ටිය කූඩු ගත කරන්න ඕනි නැහැ. ඒ නිසාම මං අනෙක් අයව එහෙම කූඩුවල දානවට සතුටුත් නැහැ. ඒත් තම තමන් විසින්ම ස්ව කැමැත්තෙන් හදා ගත් එවැනි කූඩුවල සිරවුණු සමාජයක් ඇතුළෙ ජීවත් වෙන අපට ඒ හිර කුඩු ඇතුළටම යන්න බල කෙරෙන වෙලාවල්, වට-පිටාවල් අනන්තයි. සංතුෂ්ටිය ගැන මොන කතාද එතකොට..


.

Wednesday, November 5, 2008

රෝස මලේ නටුවෙ කටූ.....


" ඔයාට තියෙන්නෙ පිරිමි භාෂාවක් නෙ ".. මගේ සමීපතම මිතුරියගේ උපාධි නිබන්ධයක් කියවා බැලූ ඇයගේ ආචාර්යවරයා විසින් පවසන ලදැයි ඇය මා සමග කීවේ සිනාසෙමිනි. එය ඇයටත් මටත් පොදු විවේචනයක් ව තිබූවක් බැවින් කිසිවෙකු හෝ එසේ කීම අප පුදුමයට පත් කරවන්නේ නැත.

අපට කියන්නට ඇති දෙය විසින් එය කිව යුතු භාෂාව තෝරා ගනු ලබයි. එය අපේ වරදක් ‍නොවේ. " ඔයාට අර වගේ ඒව ලියන්න බැරිද ? " විටෙක ඇතැමුන් අසයි. ගැහැණියකගේ ජීව විද්‍යාත්මක වෙනස ඉක්මවා යන සමාජ ගොඩ නැංවීමක් විසින් ඇයගේ බස නිශ්චය කරනු ලැබ ඇත. එහෙයින් අප (ගැහැණු) සියල්ලන්ම රැයක දිලෙන සඳ සේ සිසිල්වද, මල වට පෙත්තක් මෙන් මුදුවද, පවනක දැවටි පිහාටුවක් සේ සැහැල්ලුවද සිතිය යුතුව ඇත, හැසිරිය යුතුව ඇත, බිණිය යුතුව ඇත.

මේ සියල්ල සිතට කා වැදීමට සමත් වූ සලරුවක් අද දෙවන වරටත් නැරඹීමට සිදුවිය. මිතුරියකගේ ඇවිටිල්ල නිසා චෝකර් බාලි නරඹද්දී උගත් ගැහැණියක ජීවිතයෙන් පලවා හරින පිරිමින් ඇයගේ රුව කෙරෙහි ආසක්ත වන අන්දම තාගෝරයන් විසින් ඇතුළාන්තය කම්පා කරවන පරිද්දෙන් ගොතා තිබෙන අයුරු දුටුවෙමු. ඉන්දියාව විසින් මේ චිත්‍රපටය අන්තර් ජාතික සම්මාන තරගවලින් වලක්වා ගන්නට ඇතැයි සිතෙන තරමේ සරදමක් ගැහැණියක විසින් එම වෘත්තාන්තයේදී සියුම් ලෙස ඉදිරිපත් කරනු ලබයි. එය නරඹන මෙන් මෙය කියවන ඔබෙන් ඉල්ලා සිටීමට මට සිතේ.

මේ ලියන මොහොතෙහි සිතිවිලිවලට පවා විද පීඩා කරවන මදුරුවන්ගේ නොනවතින කන්කෙඳිරිය පරයා ගෙමිදුල ඔබ්බෙන් පිහිටි දියෙහි හඬ නගන ජලචර පක්ෂීන්ගේ හඬ ඇසීමට ..
සිත ද කය ද එක ලෙස විඩාපත් කරවන ගිනියම් නගර ජීවිතය නිවා සුවපත් කරවීමට අනවරත වේගයෙන් කරකැවෙන වියළි සුළං පිඹින විදුලි පංකාවෙන් ඔබ්බෙහි හමන සුළ‍ඟෙහි සිරි සිරිය අසනු දැකීමට..
විහින් දවසේ සිරකාරියක වී ගෙවන කුටියේ බිම විසිරි දුහුවිල්ල මතින් පා සටහන් තබා ඇවිද ගොස් කවුළුවෙන් එබී ගෙමිදුලෙහි දම්පාට පිණි ජම්බු මල් රේණු විසිරි බිමෙහි ඇඳි සෙවනැලි රටා දකිනු බැලීමට..

මා පෙළඹවීමට ඔබ කැමති බව මම දනිමි.

ගල් බොරළු පිරි පොළවක ඇවිදින සඳ පතුල ඇනී වේදනා දෙන තුවාලයකට රෑ අහසෙහි දිලෙන තරු කැටයක් කඩා ඔසුවක් කොට බැඳ තබා සුවපත් විය හැකි නම්.. ඒ සියල්ල මට ද කළ හැකිවනු ඇත.

වචනවල කඳුළු නොරැඳුණු පමණින් ඒවා අසංවේදී යැයි කිව නොහැකිය..

-

Saturday, November 1, 2008

වර්ණ

ඉසදියට යාම - දෙවන ගමන
ඉසදිය වක්කරනවා/ඉහ දියර නාවනවා - ගැහැණු ළමයකු වැඩිවියට පත් වූ විට ඇයගේ මව විසින් පළමු වරට නෑවීම


උපුටා ගැනීම : ධර්ම ශ්‍රී කාරියවසම් (2007) : සිංහල වාග් කෝෂය, පිටුව 90

දකුණු පළාත් වහර කියන කොටස යටතේ උසස් පෙළ නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත සරසවි පිවිසුම් පෙළ සිංහල වාග් කෝෂය පොතේ එහෙම සටහන් වෙනවා.

දෙවන ගමනෙදි සිය ලේලිය ගැන පැහැදෙන්න පුලුවන් සාක්ෂි තිබුණොත් නැන්දම්මා එළියෙදිම නාවලා ලේලිව ගෙට ගන්නවා කියන කතාව මං කාලෙකට ඉස්සර කොහේදි හරි කියවලා තිබුණා. ඒත් ඒ කොයි පළාතෙදිද කියන්න නම් මතකයක් නෑ. ඒත් ඒ කතාව මගේ හිතට වැදුණා.

ඉතින් ලේලිගේ ජීවිතේම තීරණය කරන මහා පොදු සාධකය නැන්දම්මා වුණ තැන් අනන්තයි. ඒක කාට හරි නරකට සිද්ධවෙනවා නම් මං ප්‍රාර්ථනා කරන්නෙ ඒ හැමෝටම මගේ අම්මාගෙ අම්මා (මං දන්න ලෝකෙ හොඳම නැන්දම්මා) සහ මගේ අම්මා (ඊ ගාවට හොඳම නැන්දම්මා) වගේ නැන්දම්මලා ලැබෙන්න කියලයි.

ඒ අතුරු කතාවත් එක්ක මට තවත් අමතක නොවන සිදුවීම් තුනක් තියෙනවා.. එකක් වැඩිහිටියෙක් සම්බන්ධයි. අනෙක සමාජ විද්‍යා උපාධිධාරිණියක් වුණ මගේ මිතුරියකගේ..අනෙක මගේ සොයුරියගේ මිතුරියකගේ..ඒවා මෙහි ලියන එක හොඳද කියලා මට හිතාගන්න බැහැ. නමුත් අපේ හැදියාවෙ වුණත් ඇතැම් නැහැදුණු තැන් තියෙනවා කියලා ඒ සිදුවීම් දෙකක් ‍දැකලා එකක් අහලා මං තීරණය කළා..

වැඩිහිටියන් සම්බන්ධ කතාව කියන්න ඕන නැහැ කියලා හිතුණා. මං ඉහත කිවු මගේ මිතුරිය " අපි මොකටද නිකන් සෙකන්ඩ් වෙන්නෙ " කියලා ඇගේ පෙම්වතා එපා කියද්දි තමන් විසින් තහවුරු කර ගත් සාක්කිය මටත් පෙන්නුවා..ඒක මට නම් හරිම ජුගුප්සාජනකයි.

අනෙක් සිද්ධිය ගැන නම් විශාල කම්පනයක් දැනුණා.. ඒ ගැහැ‍ණියගේ මිල මුදල්වලින් තමන්ගේ මහ ගෙවල් දොරවල් පවා හැදූ ඇගේ පෙම්වතා තමයි සාක්කිය හොයන්න ඉස්සර වෙලා තිබුණෙ. කාලයක් ගියත් තාමත් මේවායින් ‍මගේ හිත සසල වෙනවා. ඒ සිදුවීම් හරිම අමානුෂිකයි කියලයි මට හිතෙන්නේ.

ඇතැම් සිරිත් විරිත් ඇවැසිම නම් ඉතින් තිබුණාට කමක් නැහැ. ඒත් මෙහෙම ප්‍රදර්ශනාත්මකව නෙවේ. අතිශය පෞද්ගලික කටයුත්තක් මෙසේ ලෝක ප්‍රසිද්ධියට පත් කිරීම හැදුණු දෙයක් නෙවේ කියලයි මට හිතෙන්නේ.. මේක මගේ පෞද්ගලික අදහසක් විතරයි.

අනෙක් ඉතින් ප්‍රේම සම්බන්ධතා පැත්තෙන් බැලුවාම පරිත්‍යාග මිසක් වෙනත් දෙයක් ඉතිරි කරගන්න හිතන්නැහැනෙ බොහෝ අය.. එහෙම අයගෙ අර ප්‍රේමයම සදාකල් නොපැවතුණොත් මේ වගේ වෙලාවක එයා දෙන උත්තරේ මොන වගේ එකක් වේවිද කියලා මට හිතුණා. ආදරය දිව්‍යමය දෙයක් කියන අපි ඒකට නැහැදුණුකම කියන එක හරිද ?

අපිට (සමාජයට ) බැහැ තවත් දෙදෙනෙකුගේ සම්බන්ධතා විශ්ලේෂණය කරන්න. ඒවා දන්නේ ඒ අයම විතරයි. ඉතින් මං කවදාවත් මිනිසුන්ගේ සම්බන්ධතා ගැරහුම් ඇසින් බලන්න හිතන්නෙවත් නැහැ. හැමෝටම තම තමන්ට සාධාරණ හේතු තියෙනවා කියලා මං දන්නවා.

ආදරේට ටයිම් ටේබල් හදන්න බැහැනෙ..

මේ සියලු දේ ගැන හිතද්දි පහළ වුණු සංකල්පනාවක් වරක් බූන්දියේ ගියා. බූන්දි පොත දොරට වඩින දවසෙ ඒ සංකල්පනාව ගැන විවිධ මත ගැටුණු බව කණින් කොණින් ආරංචි වුණත්, ඕනෙම කෙනෙකුට තමන් කියවන විඳින නිර්මාණයක් සම්බන්ධයෙන් නිෂ්ක්‍රීය/අනුමැතික/විරෝධී කියවීමකට යන්න පුළුවන් කියල මං විශ්වාස කරන නිසා ඒවට කොහේදිවත් උත්තර දෙන්න යන්න හිතුවෙ නැහැ.

නමුත් පහු ගිය සති අන්තයක බූන්දි ගැන ලියපු සමර විජේසිංහයන් ඒ සංකල්පනාව ගැන මෙහෙම කියලා තියෙනවා මට අහම්බෙන් දකින්න ලැබුණා.


" ඉස දිය මංගල්ලෙට කියන එක සාමාන්‍යයෙන් යොදන්නෙ ගැහැණු ළමයෙක් මල්වර වීමෙන් පසු කරන ඉස සේදිල්ලට. සමහර විට මනාලියගේ කන්‍යාභාවය තහවුරු‍ කෙරෙන සිංහල චාරිත්‍රයටත් කියනවද කියල මම හරියට දන්නෙ නෑ "........

ඉතින් මට මේ වතාවෙ හිතුණ ඒක එතනට ආවෙ කොහෙන්ද කියල සටහන් කරන එක මගේ යුතුකමක් කියල. සමර විජේසිංහයන් මගේ ඒ පුංචි සංකල්පනාව සම්බන්ධයෙන් යෝජනා කර තිබූ දේවල් මගේ හිතේ සටහන් වුණා. දැනුමැත්තන් විසින් අන් අයට මග පෙන්වීම සඳහා යෝජනා කරන දේවල් මා නිතරම විවේකයෙන් සිතා බලනවා.

සමර විජේසිංහයිනි ඔබට ස්තූතියි..මේ පද කිහිපය මෙතරම් දුර ගෙන ගියාට..
තරංග ජයසේන - ඔබට ස්තූතියි ඔබේ වෙහෙසෙන් මේ පද සටහන් කොට ගෙන වෙනත් තැනක රඳවන්නට ගත් වෙහෙසට..

වෙන දිය හැකි දෙයක් නැහැ. මෙය - :) හැර.



-

Friday, October 31, 2008

අහසින් තරුවක් කඩා වැටෙනවා.....




තරුවක් සමග වරුවක් !

ලංකාවට සිනමාව ආවෙ ඒරොප්පෙන් කියල අපි කවුරුත් දන්නව. සිනමාවෙ කැමරාව, න්‍යාය, තාක්ෂණය මේ කොයිකත් එහෙන් ආපුව තමා. ඉතින් සිනමාව ගැන හදාරන එකත් ඒරොප්පෙ වැඩක්. වියදම් වැඩියි. බො‍හෝ දේවල් ඒ පොළවට සාපේක්ෂ යි. ඉතින් එහේ න්‍යායන් මෙහේ කතා කරනවා කියල බනින අය ටිකක් ඉවසීමෙන් වදාරලා හිටියොත් එහෙම නොකර බැරි හේතු තේරුම් ගන්න පුළුවන් වෙයි.

සිනමාව සහ තරු ගහයි පොත්තයි වගේ. තරු ගැන කතා කරන එකත් හරිම ආනන්ද ජනකයි. තරුවල ඉතිහාසය හරිම දේශපාලනිකයි වගේම වෙළඳපොල තර්කනයක්. ලංකාවෙ පොළව උඩ පිහිටෙවුවහම නම් හරිම දුක හිතෙනව.

අමෙරිකාවෙ මුල් කාලයේ චිත්‍රපට සමාගම් අතර උපන් ගැටුමකින් මේ තරු ගැන ලස්සන කතාවක් මතුවෙනව. Carl Laemule නමැත්තා වරක් හොයාගන්නව බයෝග්‍රාෆ් චිත්‍රපට සමාගමේ කෘතිවල රඟ පෑ ෆ්ලෝරන්ස් ලෝරන්ස් කියන නිළියට විශාල ප්‍රේක්ෂක ප්‍රසාදයක් තියෙනව ඈ වම බලන්න මිනිසුන් යනව කියල. ඔහු වැඩි මුදලක් ගෙවා මෙම නිළියගේ සේවය ලබාගෙන පුවත්පත්වලට ප්‍රකාශයක් කරනව ඇය මිය ගිහින් කියල. මින් ඇති වූ විශාල ආන්දෝලනය සිය වාසියට හරවා ගනිමින් ඔහු පසුව පවසනව ඇය ජීවතුන් අතර ඉන්නව මේ අසත්‍ය ප්‍රකාශයට තම ප්‍රතිවාදී චිත්‍රපට ව්‍යාපාරිකයින් වගකිව යුතුයි කියල. ඉතින් දැන් උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද්දේ ‍ෆ්ලෝරන්ස් ලෝරන්ස් සිනමා තරුවක් බවට පත්වෙනව. මින් පෙර සිනමා තරු හිටියත් පෞද්ගලික නමින් තරුවක් ලෙස ප්‍රසිද්ධියට පත් මුල්ම පුද්ගලයා ඇය බවට පත්වෙනව.

ඉන් පසුව ප්‍රේක්ෂක ජනයා ගවයාට වේෂ නිරූපණය කරවමින් තරු ව්‍යාපාරය වර්ධනය කිරීම දිගටම සිදු වෙමින් පවතිනව. නළු නිළියන්ගේ රූ-සොබා, විලාසිතා. රුචි-අරුචිකම් විකුණමින් මාධ්‍ය හරහා තරු ගොඩනැගීම හා පවත්වාගෙන යාම සිදු කරනව.

මේ පොළවෙ ඉන්න සිනමා තරු අහස් ගත කරවන ව්‍යාපෘතියේ වගකීම කරට අරන් ඉන්නේ සන්නිවේදන මාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන්.

මෙහෙම ආරම්භ වූ තරු ව්‍යාපාරයේ මුල් කාලයේදී Mary Pickford, Lillian Gish වැනි අය වික්ටෝරියානු අහිංසක ලලනාවිය නම් ප්‍රතිරූපයත්, Theodosia Goodman මෝහිණිය ප්‍රතිරූපයත් (Arab සහ Death යන වචනවල අකුරු මාරු කර Theda Bara යන නමින් ඇය ප්‍රසිද්ධ විය ) රඟ පාමින් තරු බවට පත් වුණා.

තරු ගැන වරු ගණන් කතා කළ හැකි වුවත් මේ ඊට අවකාශයක් නොවෙයි. මේ ආරම්භය " ලංකාවෙ සිනමා තරු " තේරුම් ගන්නඔබට පොඩි මග පෙන්වීමක් කරන්න යොදා ගත්තක්. මුලදිම කී පරිදි සිනමාව හා ආශ්‍රිත සියලු දේ ඒරොප්පෙ වැඩක්. තරු හැදුණෙත් ඒ ඒරොප්පෙන් වගේම තරු කියන සංකල්පයට ඊටම අනන්‍ය ලක්ෂණ රාශියක් අයත් වෙනව. ඒ අරුතින් ගත්තහම හැම නළුවෙක්ම නිළියක්ම තරුවක් නෙවෙයි. හැබැයි ඒක තේරුම් නොගත්ත ලං‍කාවෙ අපිට එහෙ බැලුවත් තරු - ‍මෙහෙ බැලුවත් තරු..

තරු ගොඩ නංවපු සිනමා ඉතිහාසය විසින් තීරණය කරන ලද අන්දමට
-තරු වැඩ කරන්නෙ පරමාදර්ශ එක්ක
-තරු ලෝකෝත්තරයි
-තරුවකට ආවේණික වූ භාෂාවක් ඇත
-තරුවක් යනු මනුෂ්‍යයෙකු නොවේ
-ලෝකෝත්තර ශ්‍රමයක් මත ක්‍රියාත්මක වේ
-තරුවකට එයටම අයත් වූ මිනිස් නොවන සංස්කෘතියක් ඇත
-සදාතනික කන්‍යාවියකි
-කිසිදා හුවමාරු නොවන සදා හුවමාරු භාණ්ඩයකි

දැන් ප්‍රශ්නයක්.. එතකොට ලංකාවෙ තරු නැද්ද ?
පිළිතුර .. නෑ.. ලංකාවෙ තියෙන්නෙ තරු තර්කනය විතරයි.

ඉහත කිවු කාරණා ගැන නිවි සැනසිල්ලෙ හිතා බැලුවොත් ඒ කතාව ඇත්ත කියල ඔබටත් තේරේවි. තරු වැඩ කරන්නෙ පරමාදර්ශ එක්ක. එයාට නිශ්චිත ගතිගුණ සහිත පරමාදර්ශ තියෙනව. හිතන්න එක්ස් කියල පුද්ගලයෙක් ඉන්නව. වයි කියල තව පුද්ගලයෙක් ඉන්නව.
එක්ස්ගෙ පරමාදර්ශය ඉසෙඩ්.
වයි ත් කැමතියි ඉසෙඩ් ට.
ඉසෙඩ් ට පරමාදර්ශයක් නැහැ.
එයාගෙ පරමාදර්ශය එයාමයි. ඊට එහා කෙනෙක් නැහැ. ඉසෙඩ්ගෙ පරමාදර්ශය අවලංගුයි. තමන්ගෙන් පිටත පරමාදර්ශයක් නැහැ. ඒක මැකිල. තමා තමයි තමන්ගෙ පරමාදර්ශය. ඉතින් එයා තරුවක්.

තරු ලෝකෝත්තරයි. ඇයි ඒ ? අපිට ළං වෙන්න බැහැ. අපිට අත්දකින්න බැහැ. අපි වැනිම වූ කෙනෙකු නෙවෙයි. අපි සාමාන්‍ය වැරැද්දක් කළාම ඒක ගාණක් නැහැ. ඒත් තරුවක් එහෙම කළාම ඒක පත්තර සඟරාවල ඉඳන් යනව. හැබැයි ඒකම අපිත් කරනව. නමුත් අපි වෙනස්. තරුව ලෝකෝත්තර විෂයක් වෙනව.

ඒ වගෙම තරුවකට පුහුණු ශ්‍රමයක් නැහැ. ගෙවන්නෙ ලෝකෝත්තර ශ්‍රමයකට.

තරුවකට ආවේණික භාෂාවක් තියෙනව. එයාට තියෙන්නෙ වෙනස් සංස්කෘතික ගතිගුණ. අපෙන් වෙනස්. ඒ වගේම තරු අතරත් ස්ත්‍රී-පුරුෂ භේදයේදී වෙනසක් තියෙනව. ස්ත්‍රී පාත්‍ර වර්ගයාගෙ ගතිගුණ භාෂාව තුළ අවතක්සේරුවට ලක්වෙනව..හදාරන්න චිත්‍රපට තුළින්.. මේ භාෂාව නඩත්තු වෙන්නෙ ව්‍යාපාරයක් වගේ. ඒක ඇතුළෙ ස්ත්‍රී තාරකාව තම තත්වය රැකගන්න වෙහෙසෙනව. වයසට ගියහම ක්ලෝස් අප්වලට එන්නෙම නැහැ. පිරිමියා ශක්තිය පෙන්වමින් තම තත්වය රැකගන්නව. ස්ත්‍රිය රූපය පෙන්වමින්..ස්ත්‍රිය වයස හංගනව. ඈ වයසට යන්නෙත් නැහැ. වයසට ගියාම වෙච්ච දේ හොයාගන්නවත් නැහැ. ඒකයි ඇයට නාර්සිස් මනසක් තියෙනව කියෙන්නෙ. ඇය සිනමා ප්‍රේක්ෂාගාරය සිය යහන් ගබඩාවේ කැඩපත බවට හරවා ගන්නවා කියල කියන්නෙ ඒකටයි.

නිශ්චිත ගතිගුණ කිහිපයක් මනුෂ්‍යයෙකු බවට පත් කර තිබීම නිසා එතන මනුෂ්‍යයෙකු නැහැ. ගුණාංග ටිකක් පුද්ගලයෙකුට ආරූඪ කරල. තරුවට සිද්ධ වෙනව ඒ තත්වයට ගරු කරන්න.

තරුවක් කියන්නෙ එහෙම පිටින්ම නිෂ්පාදනය කරන ලද භාණ්ඩයක් කියන එක දැන් පැහැදිළි වෙනව. මේ ගතිගුණ එක්ක තරු නඩත්තු කරගෙන යන්න පුළුවන් ප්‍රාග්ධනයක් තියෙන රටවලට විතරයි. අපේ වගේ රටවලට තරු හදන්නත් බෑ..නඩත්තු කරන්නත් බෑ... තරුවයි අපියි එකට හවුස් ඔෆ් ෆැෂන් ගිහින් ඉන්නවා දකින කොට තරුවෙ තරු ගුණය බිමට කඩන් වැටෙනවා.. ඒකයි අපිට තරු නැහැයි කියල කියන්නෙ.

ඒත් පත්තර හා සඟරාවල ලියන සිනමා ලේඛකයොයි කියාගන්න අය සිනමා නළු-නිළියන්ගෙන් මෙහෙම අහනව..

" ඔබ තරුවක්... ? "

ඇය/ඔහු කල්පනා කරල උත්තර දෙනව

" ම්.. ඔව් (මං එහෙම හිතනව)..."

ඉතින් අපිට දුක හිතෙනව.

ගාමිණී‍ට මාලන් බ්‍රැන්ඩෝ පරමාදර්ශයක් වෙනව. ඒත් අපිට ගාමිණී තරුවක්. මාලනී රුක්මණී දේවිව අගයනව. මාලනීත් අපිට තරුවක්... අර්ජුන් විජයට වේෂ නිරූපණය කර ගන්නව. සති අන්ත පත්තරවල තරුවකගේ විලාසිතාවල ට බම්බලපිටියෙන් ගත්තු බතික් ෂර්ට් එකක් ඇඳන් අර්ජුන් පත්තෙරේ ඉන්නව. රන්ජන් රැජිණි කාන්ත්වත් කොපි කරනව‍. අපට රංජන් සුපිරි තරුවක්..ෂාරුක් කවදාවත් කියන්නෙ නැහැනෙ මං අමිතාබ් බච්චන් ව අනුගමනය කරනව..අරයව අදහනව..මෙයා වගේ කියල..අන්න තරුවක් .. දැක්කද වෙනස..

තරු අපේ ඇ‍ඟේ හැපි හැපී බස්වල යනව..ෂොපින් යනව.. එම්.සී. එකේදි හම්බ වෙනව.ක්‍රෙස්කැට් එකේ එකට කෑම කනව.. චිත්‍රපටි බලද්දි අපේ ගාව වාඩිවෙලා චුයිංගම් හපනව..අපි අහස්ගත වෙලාද තරු පොළවට කඩා වැටිලද කියල හිතාගන්න බැහැ.

අපේ රටේ කවුරුත් කරන්නෙ බඩ වියත රැකගන්න රස්සාවක් මිසක් කලාවක් නෙවෙයිනෙ.. ඉතින් ඒ අහිංසක ව්‍යායාමයට අකුල් හෙළන්නෙ නැතිව මං අහල කියවල දැනගත්තු පොඩි විස්තරයක් බ්ලොග් එකේ ලියන්න හිතුව.. මොකද..අපේ රටේ සිනමා කලාවේදියොවත්, තරු ? වත් බ්ලොග් කියවන්නෙ නැති බවට මට විශ්වාසයක් තියෙන නිසා...

අනෙක සිනමාව අවරට ගියාය කියන රටේ තරු ගැන මොන තර්ක ද ?

ඔබ මට තරුවකි...
ගණඳුරු රැයකදි...
දිදුලන සඳ මෙන් ගුවන අරා...

කියල හිත හදාගම්මු.

-

Monday, October 6, 2008

ඔබේ ‍බ්ලොග් මගේ ඇසින්

කාලෙකින් බ්ලොග් එකක් ලිව්වේ නෑ. ලියන්න දේවල්නම් නැතුව නෙවෙයි..නොලියා ඉන්න කාරණා නැතුවත් නෙවෙයි..
ඒත් බ්ලොග් කියවන පුරුද්ද නිසා නොදැනිම වගේ මමත් බ්ලොග්
බලන්නෙක් බවට පත්වුණා.. බ්ලොග් බලන ගමන් ‍ඒ බ්ලොග්කරුවන් දිරිමත් කරන්න හෝ ඒවා බලන
අනෙක් අයට පත්තියන් වෙන්න යමක් එකතු කළ හැකි නම් කිරීම මගේ පුරුද්දක්..අද මේ සටහන ලියවෙන්නේ ඒ පුරුද්ද නිසා..


මට ප්‍රශ්න දෙකක් තියෙනවා.
1. අපි ප්‍රසිද්ධ අවකාශයේ ලියන්නේ ඇයි ?
2. අපි එසේ ලියන ඒවා කියවන්නේ ඇයි ?

අපි ලියන්නේ අපේ ස්වයං වින්දනයට විතරක්ම නම්, අපිට පුළුවනි ඒවා දිනපොතක, වෙන පොතක හෝ වෙන යම් අප්‍රසිද්ධ තැනක සටහන් කරන්න.. එහෙනම් ඒකෙන්ම පැහැදිළියි අපි යමක් ප්‍රසිද්ධියේ ලියන්නේ වෙනත් අය අතරට එය යැවීමේ අදහසකින් කියා..
එක්කෝ එය හුදෙක් ආසාවක් පමණයි නැත්නම් අපට අන් අයට යමක් කිව යුතුව තිබෙනවා..

එහෙමනම් මේ අන් අය සඳහා කියන දෙය... වැරදි සහිත නම් .. ???

දැන් මොකද වෙන්නේ..
‍වැරැද්දට දිගු කලක් පවතින්න ඉඩ ඇරලා එය නිවැරදි බවට හැඟීමක් ඇති කරනවාද ? වරද නිවරද කර ගෙන අපත් යමක් ඉගෙන ගන්නා ගමන්
අන් අයටත් ඒ දෙය අවබෝධ කර ගන්නට ඉඩ දෙනවාද?

වඩාත් ශිෂ්ට දෙය නම් නිවරද සඳහා නම්‍යශීලී වීමයි.
ඒත් අප බොහෝ දෙනෙකුට එය නැහැ.

දෙවැන්න, මා නම් බ්ලොග් බලන්නේ කරුණු කීපයක් සඳහා.. මට විෂය නොවුණ නමුත් අන් අය සිතන පතන දේ ගැන අවබෝධයක් ලබා ගැනීමට..
එකතු කර ගත හැකි යමක් වේ නම් එකතු කර ගැනීමට... රස වින්දනයට.. එහි අතුරු කාරණාවක් තමා ඒ බලන ඒවායේ වැරදි හෝ අඩු පාඩුවක් ‍මගේ දැනීමේ හැටියට
ඇත්නම් පෙන්වා දීම.


ඒත් මේ ඇතැම් අය තමන් ලියන දේ නැවත කියවා එහි ඇති දේ ගැන සිතන බවක් පෙනෙන්නේ නැහැ.

අද උදේ මා දුටු බ්ලොග් සටහනකට සටහනක් එකතු කරන්නට යාමේදී එය විද්‍යුත් තැපෑලක් ආකාරයෙන් යවන්නටයි ඉඩ හදා තිබුණේ. එහෙම කරන්නට ගිය විටත් එම ලිපිනය සොයා ගන්න බෑ.. ඉතින් මේ සටහන් තියන අයට කරදර විඳින්නේ නැතිව එහෙම කරන්න ඉඩ දෙන්න මේ බ්ලොග්කරුවන්ට සිතිවිලි පහළ වේවා යැයි උදේ රැයින්ම ප්‍රාර්ථනා කරන්න හිතුණා..


ඒ ප්‍රාර්ථනාව මට පහළ කළේ http://sinhalalyricx.blogspot.com/ කියන බ්ලොග් අඩවිය විසිනුයි.

නිමිත්ත එහි වූ ගීයක්..
‍
මෙන්න එහි ඇති ගීය ඒ ආකාරයටම...

Friday, September 26, 2008
දුරු කතර ගෙවාගෙන

දුරු කතර ගෙවාගෙන මං නොකියම ආවට
මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
අර බලන්න අර පුරහඳ අහසේ

දුම් වලාකුළේ තරුකැට හැංගිලා
ඇස් කොණින් බලා මට ඉඟි බිඟි කළා
මට ඉන්නට බැහැ කොළොම්තොටට වෙළා
උඹෙ කතා කරන දෑස මතක් වෙලා

මහ මැදුරු උඩින් පුරහඳ පායලා
උඹෙ මුහුණ පෙනුණි මුළු අහසම පුරා
ඒ සෙනෙහෙවන්ත කමට වහන් වෙලා
මට ගමට ඇවිත් ඉන්නට බැරිවුණා

ගායනය :- කරුණාරත්න දිවුල්ගනේ
Posted by MaX at 10:43 PM


දැන් මට කවුරුන් හෝ කියනවද .. මෙහි අන්තිම පේළියේ එන විදිහට මේ කථකයාට ගමට ඇව්ත් " ඉන්න බැරිවුණේ " ඇයි කියලා ????

කාටවත් කියන්න බැරිවෙයි.

මොකද ඒ පේළියට තේරුමක් නෑ.

නිර්මාණයකට අරුත් සපයා ගැනීම එය කියවන පාඨකයා සතු කාර්යයක් වුවත් (මා එසේ පිළිගන්නවා) මෙම ගීතයේ පසුබිම මා ටිකක් විස්තර කරන්නම්. එත‍කොට වත් මේ මුද්‍රණ දෝෂය කියවන අයට හසුවේවි.

" තරුණයෙක් සිය හද බැඳි තරුණිය (විවාහක යුවළක් වන්නටත් පිළිවන්) හැර දමා රැකියාවට හෝ යම් දේකට කොළඹ යනවා. ඔහුගේ ප්‍රියාවිය වෙසෙන ගම කොළඹින් දුර බැහැරක.. නමුත් කොළඹ නගරයේ දුමින් පිරුණු අහස, උස් ගොඩනැගිලි මේ තරුණයාගේ හිතේ විඩාවක් ඇති කරනවා. ඔහුට ඒ කර්කශ බව මැද්දේ සිය හිත නිවන තරුණිය සිහිපත් වෙනවා. ඔහු ඇයට නොදන්නවා යළි ඇය බලන්නට ගමට යනවා.. දැන් මේ තරුණිය හිතනවා.. " මට එනබවක් කළින් නොකියම මාව බලන්න ආවෙ මා ගැන සැකයක් හිතිල වගේ.. හරියට හොර අල්ලන්න ආව වගේ.. කියල ඇය අමනාපයට පත් වෙනවා.. මේ නෝක්කාඩුව තේරුමක් නැති දෙයක් .. එහෙම නොකියම දුර ගෙවාගෙන මං ආවෙ ඔබව මතක් වෙලාම යි කියල තරුණයා ඇය සනසන්න කියන හේතු කාරණා තමයි මේ ගීතයෙන් විස්තර කරන්නෙ.." අපට අහු නොවෙන සියුම් අවස්ථාවකින් ගීතයක් නිර්මාණය වෙලා..

හරි. දැන් යළිත් ගීතය මෙහෙම කියවන්න.


දුරු කතර ගෙවාගෙන
මං නොකියම ආවට
මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
අර බලන්න අර පුරහඳ අහසේ

දුම් වලාකුළේ තරුකැට හැංගිලා
ඇස් කොණින් බලා මට ඉඟි බිඟි කළා
මට ඉන්නට බැහැ කොළොම්තොටට වෙළා
උඹෙ කතා කරන දෑස මතක් වෙලා

මහ මැදුරු උඩින් පුරහඳ පායලා
උඹෙ මුහුණ පෙනුණි මුළු අහසම පුරා
ඒ සෙනෙහෙවන්ත කමට වහන් වෙලා
මට ගම නෑවිත් ඉන්නට බැරිවුණා

ඉතින් මේ අර්ථ විරහිත බව අර්ථ පූර්ණ කරන්න මං පණිවිඩයක් තියන්න හැදුවත් ඒ බ්ලොග් අඩවියේ කරුණු කාරණා මාව වෙහෙසට පත් කළ නිසා මං ඒක මගේ බ්ලොග් සටහනේ පල කළේ එහෙම බ්ලොග් පවත්වාගෙන යන ‍අපේ අන් අයගෙත් අවධානය යොමු වේවා කියන අදහසිනුයි.

තවත් දවසක බ්ලොග් සටහනක කවි සංකල්පනාවක් දැක්කා " මුකුලිත වුණු රුවැති මලේ - සුවඳ හමයි සතර අතේ....රොන්ගන්නට එයි බඹරැන් - නොවැරටෙන්න රැවැති මලේ" කියලා
මං ඒ සටහනට එකතු කළා මුකුලිත කියන්නේ පරවෙනවයි කියන එකටයි ඒවට බඹරුන් එන්නේත් සුවඳ හමන්නෙත් නැති නිසා ඒක විකසිත කියලා හැදුවා නම් හරි නේද කියලා අහලා..
දැන් මේ බ්ලොග් සටහනේ උඩින්ම තියෙනවා " බ්ලොග් ලියන සොයුරු සොයුරියන්ගේ දැනුම , අදහස් උරගා බලමින් මගේ දැනුම වැඩිකර ගැනීමට වෙර දරමි." කියලත්..තව සටහනකිනුත් දාල තියෙනවා හිතට එන ඒවා ලියන නිසා හිත නොරිද්දා අඩු පාඩු පෙන්වා දෙන්න කියලා... දැන් මේ අපි ලියන ඒවා කොයි තරම් අතාර්කිකද කියලා මට හිතෙනවා.. වැරදි අඩු පාඩු පෙන්වන්න කියලා පුන පුනා කියන ගමන් පෙන්නුවාම නොදැක්කා වගේ අර වරද එහෙමම සමාජ ගත කරන්න ඉඩ දෙනවා.

ඉතින් මෙහෙම ගියාම බ්ලොග් කියවන එකත් අවිචාරයක් කියලා මට වෙලාවකට කණස්සල්ලක් එනවා.

මේ අද බ්ලොග් කියවද්දී මට හිතුණු ඒවායින් ටිකක් විතරයි.. තව පාසල් යන කෙනෙක් බ්ලොග් එකක් ලියලා තිබුණා.. ඒක සතුටට කාරණයක්. චිරාන්ගෙ "මගේ ඉගෙනුම්" කියන බ්ලොග් එකට උපකාර කළ අයටත් ස්තූති කරන්න මේ‍ක අවස්ථාවක් කරගන්න කැමතියි.

ආයෙ මං බැලුවා ලංකා ගී පොත..
ඒකත් ‍ගොඩක් වෙහෙස වෙලා හදපු එකක්.. මට හිතුණා ඒකට සිනමා ගීත කියලා එකතුවකුත් ආවා නම් හොඳයි කියලා..ඒ අඩවිය භාර ඇත්තා‍ගේ අවධානයට ඒක යොමුවේවා..

අපේ සමාජයට දැනුම ගලා ඒමේ විධිමත් ක්‍රම නැහැ .. ඒ නිසා අපි එකිනෙකාගෙන් පෝෂණය වෙන්න ඕන..ඉතින් අනෙක් අය තමන්ට වඩා දන්නවා.. නෙවෙයි වෙන‍ කෙනෙක් මට අහු නොවුණ දෙයක් දන්න කෙනෙක් වෙන්න පුලුවන් කියන සිතිවිල්ල හැමදාම ‍හිතේ ඇති කරගෙන අන් අයගේ අදහස් කියවන්න පුළුවනි නම් ඒක කොයි තරම් අගේද ?

වරක් මගේ කවි සංකල්පනාවක තිබූ එක් වචනයක් එහි රිද්මය කඩන බව මට තරංග පෙන්වූ විට (ඔහුට එය පෙන්වා තිබුණේ ජගත් අයියා විසිනුයි) මං ක්ෂණිකව ඒ වචනය ඉවත් කළා.. මොකද මං බ්ලොග් එක ලියන්නේ එය වෙනත් අය කියවන බවට සවිඥානික වෙමිනුයි..

ඉතින් අද දවසේ මං බැලූ බ්ලොග් මගේ හිතේ ඇති කළ හැඟීම්වලින් ටිකකුයි මේ.. නියුට්‍රල් විදිහට කියවන එක ටිකක් අමාරු වැඩක් නිසයි මෙහෙම ලියන්න හිතුවෙ

කා එක්කවත් අරෝවකින් නෙවෙයි.. හිතවත් අදහස් කිහිපයක් පමණයි මේ..

Monday, September 8, 2008

සුබ පැතුම් !

A Birthday Wish to Someone ..
who's filled my world with so much love ..




සසර හුරු ලෙසින් නුඹ මුණ ගැසී
නිතර රැඳි නෙත කඳුලු මග හැරී
අතර මග දිවියෙ බර දැරු හැටී
ඒ මතක දිව අවුත් මගේ හද සිඹී

ළෙව් නැගෙන ස්නේහයෙ ඔසුවෙනී
මගෙ ළයේ දුක් තාප නසමිනී
කල් සපිරි සඳ සේම නැගෙමිනී
හිත් අහස එකළු කළ'යුරු අගී

ඉඳු සැව් විලස වැහි පිට ඇඳී
කවි ගී ලෙසින් ගල පිට රැඳී
සේයා සේම ළඟ ළඟ වැටී
මා හද බිඳෙන සර නුඹම වී

කල් බැලූ තුටු සිහින වියළෙමින
සුසුම් ගත වැදෙන දුර අප නැතී
අද රැයේ සීනයෙන් සිරස සිඹ
පැතුම් එක්කරමි ආදරෙන් හද පිරී

I wanted to wish Happy Birthday to You..
Because you give so much and expect so little in return…
Because you're a man who genuinely cares about others…
Because you make such a difference in the lives you touch…

You're wished a very happy birthday.

Friday, August 29, 2008

When finally..



සිඳී යයිද සඳේ රශ්මි කළුවරෙක ගිලී
මකා මෙතෙක් පිරී තිබූ සොඳුරු රූ දසුන්
රැයට අඳුර හාද වූ සෙයක් දැනේ මටත්
ගියොත් නිවී හැඟුම් ඔබේ සිතින් මා බැඳී


God wants us to meet a few wrong people before meeting the right one.
So when we finally meet the right people,
We should know how to be grateful to them.
-author not known

Friday, August 22, 2008

සිංහල බ්ලොග්කරුවන් වෙනුවෙන් ෆයර් Fox වේදිකාවට...

දැනුම් දීමක් !
සිංහල ෆයර්ෆොක්ස් සම්බන්ධයෙන් මෙතෙක් කල් පළ වූ වාද විවාද හා කිසිදු පදනමකින් තොරව එකිනෙකාට චෝදනා එල්ල කර ගනු ලබන බ්ලොග් සටහන් ද කියවීමි. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල නිවේදනයක් ‍වන මෙම ප්‍රකාශනයෙන් එම තත්වය හා ෆයර්ෆොක්ස් සිංහලකරණය සඳහා මිතුරු පදනමින් ඩනිෂ්ක නවීන් හට සහය දුන් බ්ලොග් සාමාජිකයින්ගේ එකී සටහන්හි පසුබිම මනාව පැහැදිළි කර දෙයි. මමද සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය දරන හෙයින් මගේ සටහන තුළ ද මෙය පළ කිරීම යුතුකමක් කොට සලකමි.

මින් ඉදිරියට මෙම කරුණ සම්බන්ධයෙන් තම තමන්ගේ හිතළු පළ කරන සියල්ලන් මෙම නිවේදනය හොඳින් කියවනු ඇතැයි සිතමි.

මෙය කිසිවෙකු වෙනුවෙන් පෙනී සිටීමක් සඳහා නොව, හුදෙක් සිංහල බ්ලොග්කරුවන්ගේ ආත්ම ගෞරවය රකිනු වස් පළ කරමි.

දැනුම්දීමයි!

සිංහල ෆයර්ෆොක්ස් සම්බන්ධව දැනට ඇතිවී තිබෙන තත්වය පිළිබඳව අප අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අදහස් කළෙමු.

දැනට මේ ඇතිවී තිබෙන තත්වය පිළිබඳව අපගේ අවධානය යොමු නොවූ පැතිකඩක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණ වන අතර පළමුව දැනට ඇති වී තිබෙන තත්වයේ පසුබිම මදක් පැහැදිලි කරගනිමු.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයින් කිහිප දෙනෙක් විසින් ඉක්ටා (ICTA) ආයතනයේ ක්‍රියා කලාපය විවේචනය කරමින් බ්ලොග් සටහන් ලියුවේ ආසන්න වශයෙන් පහත සඳහන් කරුණු පාදක කරගනිමින් ය.

1. මෝසිලා ආයතනය යටතේ ඇති විවෘත හා නිදහස් මෘදුකාංගයක් වන සිංහල ෆයර්ෆොක්ස් බ්‍රවුසරය ඉක්ටා ආයතනයේ සහ මොරටුව විශ්ව විද්‍යාලයේ නිෂ්පාදනයක්ය යනුවෙන් හුවා දැක්වීමට ගත් උත්සාහයත්,

2. ඒ පිළිබඳව මාධ්‍ය ආයතන වලට ඔවුන් විසින් පෙන්වූ වැරදි චිත්‍රයත්,

3. මාධ්‍ය ආයතන විසින් කළ වැරදි ප්‍රචාරය නිවැරදි නොකිරීම සම්බන්ධවත්,

4. පසුව සිංහල බ්ලොග්කරුවන් වෙත නිකුත් කළ කිසිම නිල තත්වයක් නැති මාධ්‍ය ප්‍රකාශයත්,

5. මොරටුව විශ්ව විද්‍යාලයේ හා ICTA විසින් ෆයර්ෆොක්ස් ඔවුන්ගේ නිෂ්පාදනයක්ය යනුවෙන් මාධ්‍යයන්ගේ ගිය ප්‍රකාශත්,

මෙම කරුණු එකක් හෝ කිහිපයක් අලලා ලියැවුනු සිංහල බ්ලොග් සටහන් නිසා පැන නැගුණු තත්වය මත අප සංගමයේ කාලිංග ඇතුලත්මුදලි මහතා සහ ඉක්ටා ආයතනයේ වසන්ත දේශප්‍රිය මහතා අතර සුහද ලිපි හුවමාරුවක් ද සිදුවිය. සිංහල බ්ලොග්කරුවන් කිසිවිටෙකත් ඉක්ටා ආයතනය සමඟ ප්‍රශ්න ඇතිකරගැනීමටවත්, වෛර බැඳ ගැනීමටවත් මේ නිසා අදහස් නොකළ අතර එසේ විවේචන ඉදිරිපත් කළේ පැහැදිලිවම පෙනෙන වැරදි කිහිපයක් ඉක්ටා ආයතනය මගින් සිතාමතා හෝ නොසිතා සිදුවී තිබූ නිසාය. එවන් ඇතැම් කරුණු ගැන වසන්ත දේශප්‍රිය මහතා විසින් අපට පැහැදිලි කිරීම් ඉදිරිපත් කළ අතර සිදුවී තිබූ ඇතැම් වැරදි ගැන කණගාටුව ද ප්‍රකාශ කරන ලදි. එමෙන්ම ඔහු ලබාදුන් ඇතැම් පිළිතුරු සම්බන්ධයෙන් අපේ නොසතුට හා විරුද්ධත්වයද ප්‍රකාශ විය.

ඩනිෂ්ක නවීන් විසින් ඔහුගේ අන්තිම බ්ලොග් සටහනේ කියා තිබූ ආකාරයට "ඉක්ටා ආයතනය යනු සිංහල ෆයර්ෆොක්ස් නිර්මාණය සඳහා දායක වුනු ප්‍රජාවේ එක් පාර්ශවයක්" පමණි යන්න අපද එකහෙළා ප්‍රකාශ කර සිටිමු. ඒ ෆයර්ෆොක්ස් සිංහලයට පර්වර්ථනය කිරීම සඳහා යම්කිසි කාලයක් එම කටයුත්තෙහි පූර්ණකාලීනව යෙදී සිටී ඩනිෂ්ක නවීන් හට මූල්‍යමය වශයෙන් අනුග්‍රහය දක්වමින්ය. රෙඩ්හැට් ආයතනයද ඒ අයුරින්ම ෆයර්ෆොක්ස් සිංහලයට පරිවර්ථනය කිරීම සඳහා ඩනිෂ්ක හට මූල්‍ය අනුග්‍රහය ලබාදීමෙන් මෙම කටයුත්තට දායක වූ තවත් ආයතනයකි. එමෙන්ම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයද එහි සාමාජිකයින්ද එම කාර්යය සඳහා නන් අයුරින් සහාය දැක්වීය.

ඉහත ආයතන වල අනුග්‍රහය යටතේ කටයුතු කිරීමට ඩනිෂ්කට ඔවුන් සමඟ ගිවිසුම්වලට එළඹීමට සිදුවී ඇති බවද අපි දනිමු. ගිවිසුම්වල අන්තර්ගත වූ කරුණු පිළිබඳව අපි දැනුවත් නැතත් ඉක්ටා ආයතනයේ වසන්ත මහතා විසින් කාලිංග වෙත එවා තිබූ අවසන් ලිපියේ සඳහන් පරිදි ෆයර්ෆොක්ස් සිංහලයට පරිවර්ථනය කිරීම ඩනිෂ්ක ඔවුන් සමඟ ඇතිකරගත් ගිවිසුමේ පරිදි "contractual deliverable" (භාරදිය යුතු කටයුත්තක්) බව පැවසේ. ෆයර්ෆොක්ස් සිංහලයට පරිවර්ථනය කරන්නේ ඉක්ටා ආයතනයේ පුද්ගලික ප්‍රයෝජනය සඳහා නම් එම ගිවිසුමේ පරිදි ඩනිෂ්ක විසින් කාර්යය නිමකර එය ඉක්ටා ආයතනයට අවශ්‍ය පරිදි භාවිතා කිරීමට දීම හෝ ගිවිසුම් ප්‍රකාරව එහි අයිතිය ඉක්ටා ආයතනයට ලබාදීම පිළිබඳව කිසිඳු ප්‍රශ්නයක් අපට නැත.

නමුත් ඉක්ටා ආයතනයේ ගිවිසුම ප්‍රකාරව ඩනිෂ්ක විසින් ෆයර්ෆොක්ස් සිංහලයට පරිවර්ථනය කර භාරදිය යුත්තේ ඉක්ටා ආයතනයට වුවත් එය ඇත්ත වශයෙන්ම භාර දී ඇත්තේ (ඉක්ටා අනුදැනුමද ඇතිව) මෝසිලා ආයතනය වෙතය. එමෙන්ම ඉක්ටා ආයතනයට ගිවිසුමකින් බැඳී සිටී ඩනිෂ්ක ඔහුගේ රාජකාරිය කළේද මෝසිලා ආයතනයේ දැක්ම, මෙහෙවර, අරමුණු, සහ ඉලක්ක (goals) වෙනුවෙන් ඔවුන්ගේ deadlines අනුවය. ඒ අනුව ඩනිෂ්ක විසින් මෝසිලා ෆයර්ෆොක්ස් 3.0 නිකුතුව සමඟ සිංහල අනුවාදයද 2008 ජූනි 17 දින නිකුත් කිරීම සඳහා භාරදුන්නේ මෝසිලා ආයතනය වෙතයි. ඉන්පසු මොසිලා වෙබ් අඩවිය ඔස්සේ ලංකාවේ මෙන්ම ලොව පුරා බොහෝ පිරිසක් ෆයර්ෆොක්ස් හි සිංහල අනුවාදය භාගත කරගන්නා ලද බව අපි දනිමු.

ඒ අනුව පෙනීයන්නේ ඉක්ටා ආයතනය විසින් ඩනිෂ්ක වෙත ඉදිරිපත් කළ ගිවිසුම විවෘත සහ නිදහස් මෘදුකාංග පිළිබඳව කිසිඳු සිතාබැලීමකින් තොරව, කිසිඳු ආකාරයකින් තර්කානුකූල නොවන, පදනම් විරහිත කොන්දේසි සහිත ලියවිල්ලක් බවත්, එම ගිවිසුම සඳහා මෝසිලා ආයතනයට හෝ ඩනිෂ්කට කොන්දේසි ඇතුලත් කිරීමට අවස්ථාවක් නොලැබී ඇති බව හෝ අවස්ථාවක් ලැබුණත් ඔවුන් විසින් කොන්දේසි ඇතුලත් කර නැති බවයි. එය වැඩිදුර නොසිතීම නිසා සිදුවූවක් විය හැකිය. (එවන් කොන්දේසි තිබේදැයි අපි නොදනිමු)

එමෙන්ම ඉක්ටා ආයතනය මෝසිලා ආයතනයේ කිසිඳු ප්‍රතිපත්ති ප්‍රකාශනයක් (Policy Statement) හදාරා නොමැතිව එම ගිවිසුම් සකස් කර ඇති බවත් පෙනී යයි. මක්නිසාද ඉක්ටා ආයතනයේ ගිවිසුම පරිදි ෆයර්ෆොක්ස් සිංහල සංස්කරණයේ අයිතිය ඉක්ටා ආයතනය සතුබව ප්‍රකාශ කළද, මෝසිලා දේශීයකරණ ව්‍යාපෘති සඳහා වන ප්‍රතිපත්ති ප්‍රකාශයේ (Mozilla Trademark Policy for Localization Projects : http://www.mozilla.org/foundation/trademarks/l10n-policy.html ) සඳහන් පරිදි නිල ෆයර්ෆොක්ස් සිංහල සංස්කරණයේ හිමිකාරීත්වය ඇත්තේ එම කාර්යය සිදුකළ කණ්ඩායමේ නායකයාට (නොහොත් හිමිකරුට) බව "The L10n team owner is the module owner for the translation" ලෙස පැහැදිලිව සඳහන් වේ. ඒ අනුව ඉක්ටා ආයතනය හා ඩනිෂ්ක නවීන් අතර කුමන ගිවිසුමක් ඇති වුවද ඊට පෙර සිට තිබූ මෝසිලා ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ෆයර්ෆොක්ස් සිංහල සංස්කරණයේ හිමිකාරීත්වය ඇත්තේ ඒ සඳහා මූලිකත්වය ගත් කණ්ඩායම් නායකයා වූ ඩනිෂ්ක නවීන් හටය. එයද මෝසිලා වෙබ් අඩවියේ "Browser/toolkit owner - Danishka Navin " (https://wiki.mozilla.org/L10n:Localization_Teams#Sinhala_.28si.2Csi-LK.29 ) යනුවෙන් පැහැදිලිව දක්වා ඇත.

තවත් අයුරකින් බැලුවත්, ඉක්ටා ආයතනය රාජ්‍ය ආයතනයක් නිසා දැනට අප භාවිතා කරන සිංහල ෆයර්ෆොක්ස් මෘදුකාංගය නිපදවීම සඳහා පූර්ණකාලීනව කටයුතු කළ පුද්ගලයාට මූල්‍යමය අනුග්‍රහය සපයා ඇත්තේ මහජනතාව විසින්මය. එය හරියට ගමක ප්‍රජාශාලාවක් ගොඩනැගීම සඳහා ග්‍රාම සංවර්ධන සමිතිය මඟින් මේසන්බාස් කෙනෙකුට ‍වේතනයක් ගෙවා අවශ්‍ය ගොඩනැගිල්ල සාදවාගත්තා හා සමාන කටයුත්තකි.

මෙම ඉක්ටා ආයතනය-සිංහල බ්ලොග්කරුවන්-ඩනිෂ්ක යන පාර්ශව අතර ඇතිවී ඇති තත්වයයෙන් තම අරමුණු මුදුන්පත් කරගැනීමට වෙර දරණ තවත් පාර්ශවයක්ද සිටින බව පෙ‍නී යයි. එම කරුණ පැහැදිලි කිරීම සඳහා මෙම ලිපිය ලිවීමට අදහස් කළ අතර පසුබිම පැහැදිලි කිරීමට ඉහත කරුණු ඉදිරිපත් කළෙමු.

සිංහල යුනිකේත සම්බන්ධ ඉතිහාසයය ගැන සලකාබැලීමේදී සිංහල යුනිකේත පිළිබඳව මත දෙකක් දරණ පිරිසක් ලංකාවේ සිටින බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි. ඉක්ටා ආයතනය ප්‍රමුඛ බහුතරයක් සිංහල යුනිකේතවල කිසිඳු අඩුපාඩුවත් නොමැති බවත්, එය ඕනෑම කෙනෙක්ට ඕනෑම පරිගණක පද්ධතියක් තුල භාවිතා කර නිවැරදිව සිංහල ලිවීමට හා කියැවීමට හැකි පරිදි මෙවලම් නිර්මාණය කර ඇති බවත් ප්‍රකාශ කරද්දී, තමන්ගේ පටු වාණිජ පරමාර්ථ මුදුන් පමුණුවාගැනීමට වෙර දරණ එක් පුද්ගලයෙකු සමඟ සිටින ඉතා සුළු පිරිසක් සිංහල යුනිකේත වල අඩුපාඩු ඇතැයි පවසමින් ඒ සඳහා විකල්පයක් තමන් සතුව ඇතැයි මොර දෙති. ඒ බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි.

ඩනිෂ්කගේ මූලිකත්වයෙන් සිංහල ෆයර්ෆොක්ස් එලිදැක්වීමත් සමඟ මෙම සිංහල යුනිකේත විරෝධී කල්ලියට තරු වීසි වී ඇත්තේ සිංහල යුනිකේතය සඳහා ප්‍රායෝගිකව ජාත්‍යන්තර පිළිගැනීමක් සිංහල ෆයර්ෆොක්ස් නිසා ලැබීම හේතුවෙනි. සිංහල යුනිකේත භාවිතයෙන් නිකුත්වූ ලොව ජනප්‍රියතම මෘදුකාංගය ෆයර්ෆොක්ස් වන බැවින් මෙම සිංහල යුනි‍කේත විරෝධී කල්ලි‍යේ "සිංහල යුනිකේත දෝෂ සහිතයි" යන තර්කය නිරායාසයෙන්ම බිඳී ඇත. එමෙන්ම ඔහුගේ විකල්ප සිංහල යුනිකේත මාලාවේ ඉරණමද ඒ සමඟම තීරණය වී ඇත. එම නිසා එම කල්ලියේ අලුත්ම සතුරන් වී ඇත්තේ ඩනිෂ්ක නවීන්, සිංහල ෆයර්ෆොක්ස් සහ සිංහල බ්ලොග්කරුවන් ය.

එමෙන්ම සිංහල යුනිකේතවල කිසිඳු අඩුපාඩුවක් නැතැයි කියා කීමටද ඉක්ටා ආයතනය ඇතුලු සිංහල යුනිකේත ප්‍රජාවට ඇති ප්‍රබලම සාධකයද සිංහල ෆයර්ෆොක්ස් බව අවිවාදයෙන් කිව හැකිය.

ඌරන් කැකුණ තලන විට හබන් කුකුලන්ට මඟුල් කීවා සේ, ඉක්ටා ආයතනය, ඩනිෂ්ක නවීන් සහ සිංහල බ්ලොග්කරුවන් අතර ගැටුමක් ඇතිවී ඇති මේ මොහොතේ සිංහල යුනිකේත විරෝධී කල්ලියට රජ මඟුල් අවස්ථාවකි. එම නිසා එම කල්ලිය විවිධ බ්‍ලොග් අඩවි ඔස්සේ මෙම ඇතිවී ඇති තත්වය හැකි තරම් උණුසුම් කර, අවුල් කර ඉක්ටා ආයතනය සහ සිංහල බ්ලොග්කරුවනුත්, ඩනිෂ්කත් කෙටවීමට උත්සාහ කරන බවක් පෙනේ. මෙම ප්‍රශ්නකාරී තත්වය දුරදිග ගොස් ඉක්ටා ආයතනයත්, සිංහල බ්ලොග්කරුවනුත්, ඩනිෂ්ක නවීනුත් විරසක වුවහොත් ඉන් උපරිම වින්දනයක් ලබන්නේ එම සිංහල යුනිකේත විරෝධී කල්ලියයි. එමෙන්ම එම තත්වය යටතේ සිංහල ෆයර්ෆොක්ස් හි ඉදිරි සංවර්ධන කටයුතුද කඩාකප්පල් වීමට ඉඩ ඇත.

කෙසේ වෙතත් මෙම කරුණ ගැන කිසිඳු තැකීමක්, දුරදිග සිතීමකින් තොරව කටයුතු කළ සහ කරන ඉක්ටා ආයතනයේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා සිංහල යුනිකේත විරෝධී කල්ලියේ අයට ඇති තරම් මඩ බාල්දි ප්‍රමාණයක් රැස්කරගත හැකිවී ඇත. අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් ඉක්ටා ආයතනයටත්, ඩනිෂ්ක නවීන්ටත්, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයටත්, එහි සාමාජිකයින්ටත් එරෙහිව අසත්‍ය ප්‍රකාශ සහ මඩ ප්‍රහාර ඔවුන් විසින් දියත් කරමින් පවතී.

ඔවුන් පවසන පරිදි ඉක්ටා ආයතනය විසින් මහජන මුදලින් ඩනිෂ්ක නවීන්ගේ කැනඩා සංචාරය සඳහා මුදල් වියදම් කර නැති බවත්, ඔහු කැනඩාවේ සංචාරයක නිරත වූයේ මෝසිලා ආයතනයේ ආරාධනාවක් මත "‍2008 ෆයර්ෆොක්ස් සමුළුවට" සහභාගීවීම සඳහා බවත්, ඒ සඳහා සියළු වියදම් මෝසිලා ආයතනය විසින් දරා ඇති බවත් ෆයර්ෆොක්ස් සිංහල කිරීමේ කටයුතු වලට හවුල් වූ පාර්ශවයක් වශයෙන් අප අවධාරණයෙන් කියා සිටිමු.

එබැවින් කරුණාකර එම පිරිසගේ අසත්‍ය ප්‍රචාර වලින් නොමඟ නොගොස් ක්‍රියා කරන ලෙසද, එවන් බ්ලොග් අඩවි වලට ගොස් අදහස් ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙසද සැමගෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම ඉක්ටා ආයතනයට හෝ වෙන යම් පිරිසකට/පුද්ගලයෙකුට පන්න පන්නා පහර දීමේ ප්‍රතිපත්තියක් සිංහල බ්ලොග්කරුවන් අතර නැති බවද කිව යුතුය.

තවද සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයින්ගේ බ්ලොග් සටහන් හෝ ප්‍රකාශ ඒ ඒ සාමාජිකයින්ගේ පුද්ගලික අදහස් වන බවද, ඒවා සංසදයේ අදහස් හෝ ප්‍රකාශ ලෙස වටහා නොගන්නා ලෙසද මතක් කර සිටිමු.

එමෙන්ම දුරදිග සිතා කටයුතු කරන මෙන්ද, තම නිලධාරීන්ගේ නොමනා ක්‍රියාකලාපය සොයාබලා වගකීමෙන් කටයුතු කරන ලෙස අවවාද කරන ලෙසද ඉක්ටා ආයතනයේ වගකිවයුතු ඉහළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය


Friday, August 15, 2008

මලින්තගේ i ෆෝනය සහ ආසාවේ අතෘප්තිය


සිදුවීම් කිහිපයක් අසන්නට දකින්නට ලැබිණ.

"අර අයියා ජාතික ඇඳුම ඇඳන් ජාතිය ආගම ගැන කතා කළාට කසාද බැන්දෙ කලිසම් කෝට් ඇඳල ‍බොන්න දීල ගොඩක් ජනප්‍රිය අය පිරිවරාගෙන...."

අනේ මන්ද ...

මගේ මිතුරියක මැසිවිල්ලක් නැගුවාය.

"මිනිස්සු කලාව, කවිය, ආගම, ජාතිය, භාෂාව වගේ දේවල් තෝරගන්නෙ තමන් වෙනුවෙන් තමන්ගේම පැවැත්මට මිසක් අවංකව ඒ දේවල් වෙනුවෙන් නෙවෙයිනෙ..ඒ නිසා ඕක පුදුම වෙන්න දෙයක් නෙවෙයි."

මම කීවෙමි.

ඒ එකකි.

දැන් පරණ සිදුවීමක් මතකයට නැගේ. හෙළ උරුමය බිහිවන සමයේ බොහෝ පිරිස් හිටි අඩියේ ආගම දහමට නැඹුරුවන අවධියේ එය අපේ කතාබහටද ලක් විය.

"ගමෙන් නගරෙට ආපු මිනිස්සු එඩරු නැටි වගේ. මුල් ඉදිරිලා.. ‍එහෙට අයිතිත් නැහැ. මෙහේ පැළවෙන්නත් බෑ.. මේ හිස්කම, අඩුව වහගන්නෙ ‍ඒ වෙනුවට වෙනත්‍ දෙයක් ආරෝපණය කරගෙන. තමන්ට වටිනාකමක් හොයාගන්න විවිධ ව්‍යාපාරවලට එකතු වෙනවා.. සාමුහික වෙන්න හදනවා"....එදා මම කීවෙමි.

දැන් තෙවනුව,
මලින්ත i pod එකක් ගෙන තිබේ. ඒ ඔහුට දුරකථනයක් හෝ පරිගණකයක් නැති නිසා නොවේ. එහෙනම් ඒ ඇයි ?

දැන් ඔහුම ඒ ගැන මෙහෙම කියයි.

-කොටින්ම කියනවා නම් පිස්සු වැඩක් තමයි.
-මොකද මෙච්චර වැඩ කරන්න තියෙද්දි මේකක් ගත්තු එක.
-මේක එකපාරටම ආපු හැඟීමක්.
-එකක් ගන්න තදටම අවශ්‍ය වුණා.
-ඒත් ඉතින් ටවුමට ගිය වෙලාවෙ මට තවත් බලාගෙන ඉන්න බැරිවුණා.
-ම් ඉතින්… මට කියන්න බැරි තරම් සතුටුයි.
මොකද මේකක් ගන්න එක මගේ හීනයක් වෙලා තිබුණු නිසා. ෂුවර් නැත්නම් මං ලියපු පරණ සටහන් බලන්නකො.
-පසුතැවිල්ලක් නෑ (දැනට) ඒත් ඉස්සරහට මොනවා හිතෙයිද කියන්න බෑ.
බලමුකො.

දැන් මේ සියල්ලෙහි පොදු සාධක ඉවත් කර ගැනීම ට බලමු.

හිස් බව, ආසාව, අසම්පූර්ණභාවය හා අතෘප්තිය

අප සියලු දෙනා තුළ අඩු වැඩි වශයෙන් මේ වා පවතී. අපි ඒවා සම්පූර්ණ කර ගැනීමට සමාජ ව්‍යාපාර, බුද්ධිමය ක්‍රියාකාරකම්, ආගම්, පාරිභෝගික භාණ්ඩ, පුද්ගලයින්, සහ කලාවේ පිහිට පතමු.

දැන් ඔබ.. අහවලා රූපවාහිනියේ/ගුවන් විදුලියේ සාහිත්‍ය-කලා වැඩසටහන් මෙහෙයවන්නේ කලාවට සාහිත්‍යයට ඇති ඇල්ම නිසා හෝ අහවලා සෝම හාමුදුරුවන්ගේ බණ අහන්නට යන්නේ ආගම දහමට ඇති ආදරය නිසා හෝ අහවලා අහවල් වාහනය, භාණ්ඩය අත්පත් කර ගත්තේ එහි උපරිම උපයෝගීතාව නිසා හෝ යැයි කියමින් මා සමග සටනට සැරසීම මදක් පමා කළ මැනව.

අප සියලු දෙනා උපදින්නේ ආ‍සාව සහ අතෘප්තිය තුළටය. අපේ අතෘප්තිය අප තෘප්ත කර ගැනීමට නම් අප විසින් අපේ ආසාව ජනනය කරන වස්තුව ලබා ගතයුතුව ඇත.
මලින්ත‍ගේ අයිපොඩය ඔහුගේ ආසාවේ වස්තුවයි. මක් නිසාද යත් ඔහුගේ ආසාව ජනනය කරන වස්තුව එය වන නිසාය. (මේකක් ගන්න එක මගේ හීනයක් වෙලා තිබුණු නිසා.) දැන් ඔහුගේ ආසාව තෘප්ත ද ? නැත..ටික කලකදී තමන්ගේ ආසාව එම වස්තුව තුළ නැති බව ඔහුට දැනෙන්නට පටන් ගනු ඇත. (-පසුතැවිල්ලක් නෑ (දැනට) ඒත් ඉස්සරහට මොනවා හිතෙයිද කියන්න බෑ. බලමුකො.) ආසාව අතෘප්තිකර වන්නේ එ හෙයිනි. එම නිසා ආසාව යනු කෙළවර වන දෙයක් නොවේ. එය යළි යළි උපදියි. එය කිසි දිනෙක පරිපූර්ණත්වයට ළඟාවන්නක් ද නොවේ.

(වැඩි දුර උදාහරණ ඇවැසි නම් කාලිංගගේ ලැප් ටොප් හෝ ජංගම දුරකථන ආසාවන් ගැන කියවා බලන්න). අසීමාන්තික භාණ්ඩ අවකාශයක කෙසේ එක් වස්තුවකින් ආසාව තෘප්ත වේ ද ?

අප විසින් ලබන මේ තෘප්තිය පරිපූර්ණවූවක් නොවේ නම් අප ඒවා ගොඩ නගා ගන්නේ කෙසේද ? අපට එම පරිපූර්ණභාවය මවා පෙන්වන කෙනෙකු සිටියි. ඒ පුද්ගලයා බෙහෙවින් තෘප්ත ය. පරිපූර්ණ ය.. ඔහු සිටින්නේ රූපවාහිනිය/වෙළඳ දැන්වීම් තුළය... අප විසින් තෘප්තිය සොයා යන්නේ මේ රූපවාහිනියේ සිටින තෘප්ත වූ අනෙකාට සාපේක්ෂ වෙමිනි.

එසේ නම් අප තුළ ආසාව සහ අතෘප්තිය මවන්නෝ ද සිටිති. මේ පරිභෝජන සමාජයේ ස්වභාවයයි.

දැන් මේ පළමු පුද්ගලයා සාහිත්‍ය‍යේ පරම ගැලවුම්කරුවකු ලෙස පෙනී සිටීම හෝ
දෙවනුව අප යම් සමාජ ආගමික ව්‍යාපාරයක කොටස් කරුවකු වීම හෝ
මලින්ත අයිෆෝනයක් ගැනීම හෝ
සිතන තරම් අහිංසක කාරණා ‍නොවන බව පෙනී යනු ඇතැයි සිතමි.

පාරිභෝගික භාණ්ඩ විසින් පුද්ගලයා වෙත අත් කර දෙන ප්‍රමෝදය බලන්න..(-ඒත් ඉතින් ටවුමට ගිය වෙලාවෙ මට තවත් බලාගෙන ඉන්න බැරිවුණා.-ම් ඉතින්… මට කියන්න බැරි තරම් සතුටුයි. )

දැන් මලින්ත අයිපොඩය උත්කර්ෂභාවයට පමුණුවයි. (දැන් තමයි තේරෙන්නෙ මිනිස්සු අයිපොඩ් වලට මෙතරම් වහ වැටිලා තියෙන්නෙ ඇයි කියලා. මට නම් හිතෙන හැටියට ඒ පරිශීලක අතුරුමුහුණත හින්දා වෙන්න ඕන (User Interface) පාවිච්චිය බොහොම පහසුයි. ලස්සනයි. වේගවත්.)

දැන් මලින්ත විසින් අයිපොඩය මිලදී ගෙන ඇතැයි ඔහු සිතා සිටියද සැබවින්ම වී ඇත්තේ අයිපොඩය විසින් මලින්තව මිලදී ගැනීම නොවේද ? මේ පාරිභෝගික ජීවියාගේ ඉරණමයි.

තාක්ෂණයේ වර්ධනය විසින් අතෘප්තිකර පාරිභෝගික රෝගියකු බිහි කොට ඇත.

දැන් මෙම සටහනට ඇවැසි නම් කුහකකම, ඉරිසියාව, ද්වේෂය වැනි අදහස් දැක්වීම් එකතු කළ හැක. එහෙත් .. ඒ මොහොතේදී ද හෙට දින සඳහා ඔබ විසින් අද ඔබගේ ආසාව තෘප්ත කරවන වස්තුව වෙනුවට වෙනත් ආදේශකයක්ද ඒ සමගම තෝරමින් සිටින බව ඔබට නොපෙනෙනු ඇත.
ඒ අපේ හැටිය.


---
මෙය කෙටි සටහනක් පමණි. කිසිවක් හොඳ හෝ නරක යැයි තීරණය කිරීම මගේ සීමාවෙන් බැහැර ය. එබන්දක් මින් සිදු නොවේ.

Thursday, August 14, 2008

හෙට...

Thursday, July 24, 2008

වෙහෙස

කියාගත නොහෙන සේ හද රැඳී
දරාගත නොහෙන බොහො වැළපුම්
උදාසන හිරුට පෙර විත් එබී
සදාතන සෙවනැල්ල වී මකා තනිකම්

හපාගෙන කන හිරු ම‍ඩල යට තනිවී
බදාගෙන ජීවිතේ හිතට ගෙන විරිකම්
සොයාගෙන මං හසර නොනවතින මාවතේ
ගෙවා ගිරි දුර්ග ගියා මදිද මේ දුර දැන්



ආදරය නමින් යුත් කිසිවකට ලොබ බැඳී
‍සතපවා සුබසීන විඳිනු රිසි මතුයම්
කාලයට පැරද වුව පාෂාණ විලසෙනී
හදාගෙන හිඳිම් තව- කරන් සිත පිරියම්

Monday, July 14, 2008

Block වුණ Blog සටහන්..

ජීවිතයත් හරියට බිලොග් එකක් වගෙයි වෙලාවකට..
ඇතැම් අය ස‍ටහන් තබා යන..
බො‍හෝ අය දැක දැකත් නුදුටුවාක් මෙන් සිටින...
තවත් අය යළි හැරී විත් බලන..
ඇතැම් අය ඇද කුද කියන..

බොහෝ අය නිහඬවම රස විඳින...

ජීවිතෙයි බිලොග් එකයි
එක වගෙ තමයි‍
හිතන කොට හිතන කොට හිතෙයි මට

කවුරු ආවත් ගියත්
කවුරු හිටියත් නැතත්
කවුරු එබුණත් නැතත්

අතැඟිලි සැලෙන තෙක් බ්ලොග් ලියවෙනවා දිගටම..

ඔබ ආවත් නැතත්
ඔබ දෙඩුවත් නැතත්
ඔබ හිතුවත් නැතත්

හදපණ ගැහෙන තෙක් ඔබ මගෙ හිතේ හැමදාම...

බ්ලොග්වල වුණත්

ලියන්න‍‍ට කිසිත් නැති
හිතන්නට තුටක් හිත නැති
දවස් ගෙවෙනවා මේ වගෙම

ඔබ ගැන සිතත්
ලියන්නට අකුරු මට මදි
හිතන්නට හිත ඉඩ මදි
පුදුමයි දවස් යන ඉක්මණ..

Friday, June 27, 2008

කෙවිලියට, කොවුල් රසික ජනයින්ට..


ශෝකය
--------

වසත් පණිවුඩ මුව දරාගෙන
නොවක් අසිරිය ලොවට බෙදමින
මිහිරි නද වුව සවන පිනවන
කුමට අන් කූඩුවක රැව්දෙන

හමන පවනට වුවද සසැලෙන
කපුටු නිවහන තුළ නිරන්තර
වෙරඹ වා මැද වුවද නොසැලෙන
පෙමක් ඇති බව නොදන්නෙද මිත

තුඩින් තුඩ ගා ගයන ගීයක
සරය අප ඇඟ පැහැය සදිසි ද
මෙතෙක් කල් විඳි සියලු කරදර
කෙසේ මිහිරට ගයනු හැකිවෙද

රතැත් දෑසින් බලව් කොවුලනි
වගක් නැතුවම එකට පත සිඳ
තවත් උර මත දරා අවමන්
තොපේ බර අප උසුලනායුර

මලින් තොර වුව තුරු උයන් මැද
සුළන් අවු වැසි එක සිතින් ගෙන
සොවින් වැළපෙන කපුටු රුව මම
අනුන් දුක ගෙන අනා වළඳන

එහෙව් දුක් විඳ ගයන ගීයට
නොවව් මිතුරනි ඉදින් විරසක
කපුටු පෙම දැක කිමද සැහැසිව
වසන්තයෙ හඬ අපට අකැපද ?

Painting by Judy Wise, 2007

Tuesday, June 24, 2008

ඔබ මිනිසෙක් මා ගඟක් නිසා------ (ඩොක්සාවට එරෙහිව ?)


මේ හෑගොඩයන්ගේ කවිපොතක තේමාව මෙන්ම කවියක පදයක් පොඩ්ඩක් වෙනස් කරලා. මෙය සිහිවද්දී මට හදිසියේම ...මෙහි කථකයා ගැහැණියක වී පිරිමි සමාජයට සිදු කරන ප්‍රකාශනයක් වුණොත්.....කියා ක්ෂණිකව හිතට කා වැදී ගියා.

නමුත් මෙම කවියෙහි සැබැ අරුත ඒ ළඟින්වත් යන්නක් නොවේ.. මා කළේ මට රිසි පරිදි එහි පද කඩා විසි කර මට ඇවැසි පද කිහිපය පමණක් ගෙන වෙනත් තලයක තබා මා කැමති ප්‍රකාශනයක් සදහා භාවිත කිරීමයි. මන්ද යත් මා පාඨකයෙකු නිසා මා කියවන්නේ කර්තෘගේ ප්‍රකාශනය නොව මට අනන්‍ය වූ මගේ ප්‍රකාශනයක් වන හෙයිනි. මා පාඨනය කරන්න ගොඩ නගා ගනු ලබන්නේ පාඨකයා වන මා විසින් ම වන හෙයිනි.

ඉතින් දැන්

ඔබ පිරිමියෙකු වී

ගැහැණිය වන මා ගඟක් වූ විට.....

ලෝකය මා දකින්නේ කෙසේද ?

එකම නදියට බැසිය නොහැකිය දෙවරක් ...

බුදුන් වහන්සේ එසේ ‍කීවේ ඇයි? මේ ලෝකයෙහි සියලු දෙය අනිත්‍ය බව පෙන්වීමටය. ක්ෂණයකින් සියලු දෙය වෙනස් වී නැති වී යන බව අවබෝධ කරවීමට ය.

ඒ එදාය.

අස්ථිර බව පිළිබදව ඩොක්සාව (=common belief or popular opinion) මේ මොහොත වන විට ගොඩ නැගී ඇත්තේ ගැහැණිය වටා ය. එහෙත් ධනාත්මකව නොවේ. විශේෂයෙන් ගැහැණිය සම්බන්ධතාවක් තුළ තබා සාකච්ඡා කරන විට..

පළමු සම්බන්ධතාවෙන් ගිලිහෙන විට එකී සමිබන්ධතාව තුළදී ඇලවී තිබූ අවංක/නිහතමානී/ලස්සන/ගැමි පෙනුමක් තියෙන/ හැදිච්ච ගතිගුණ තියෙන/නිවුණ/ සංවර/සත්‍යවාදී/ දක්ෂ/ ධෛර්යයෙන් වැඩ කරන/ කරුණාවන්ත/ ආදරේ/ උගත්/විශ්වාසවන්ත/වෙනත් කොල්ලෙක් දිහා ඇහැක් ඇර නොබලන/

මේ සියලු දෘෂ්ටිවාදී ලේබල් ගැලවී යන්නේ ඇලවී තිබුණාටත් වඩා ඉක්මණට ය.

ඉන් පස්සෙ ඇහෙන්නෙ තඹ සතේකට විශ්වාස කරන්න බැරි/ නැහැදිච්ච/සංකර/සක්කරවට්ටමක්/බොරු කාරියක්/චපලයි/ කිසි කමකට නෑ/බඩුවක්/ගිය එකමයි ‍හොඳ....

අන්තිමට මේ අදහස තමා ලියාපදිංචි වෙන්නෙ.

එහෙම බලන කොට සම්බන්ධයක් පවතින්නේ දෙදෙනෙක්/දෙපාර්ශ්වයක් අතරෙ වුණාට ඇත්තටම සම්බන්ධයකට තියෙන්නෙ එක භාෂාවක් නේද ? ඒක තමා පිරිමි භාෂාව... හොඳ වුණත් නරක වුණත් ඒ දෙකම පිරිමි භාෂාවක්..අනෙක් අන්තය ගිලී ගිහින්..නිහඬයි..නෑ නිහඩ කරවලා..සම්බන්ධයේ ස්වභාවය පිළිබඳ අවසන් තීරණය සිදුකර තිබෙන්නේ පිරිමියා විසින් ..අන්තිමට සමාජය විසින් සාමාන්‍ය ලෙස එහෙමත් නැත්නම් සත්‍ය ලෙස පිළිගනු ලබන්නෙත් එයමයි.

ඒ සමාජය ගැහැ‍ණු පිරිමි දෙපිරිසෙන්ම යුක්ත වන විට, ඒ ගැහැණුන්ටත් අර පිරිමි මානසිකත්වය ආරෝපණය වෙනවා..එයාල බලන්නෙත් ඔව් ඇත්ත තමා...මානසිකත්වයෙන්. තමන්ගෙන් පිටවෙන්නෙ වෙන කෙනෙකුගේ භාෂාවක් හඩක් කියල දැනෙන්නෙවත් නැහැ. තමන් ඇතුළෙ තියෙන්නෙ වෙන කෙනෙක් හදපු ව්‍යුහයකට අයිති භාෂාවක් කියල හිතෙන්නෙවත් නැහැ.

මෙහි නරකම දෙය තමා මේ පිරිමි ගොඩනැගීම වැඩිපුරම පිටවෙන්නේ ගැහැණු හඬවලින් වීම..අන්තිමට ගැහැණු හිතන්නේ මේ තමන්ගේම අදහස්..තමන්ට පෙනෙන විදිහ..තමන් හිතන දේ..කියලා.

ඒ කියන්නෙ එක පාර්ශ්වයක භාෂාව හැමවිටම ස්වාභාවික ලෙස පිළිගැනීමට ලක් කරලා...ඒ තමයි පිරිමි පාර්ශ්වය. එයාලගෙ හඬ විතරයි එළියට ඇහෙන්නෙ. මේක තමයි සමාජ සම්මතය කියලා පිළිගන්නවා...දැන් මේක කොයිතරම් අස්වාභාවිකද කියලා ඔබට දැනෙනවද ?

මේක වඩාත් නරක වෙන්නෙ..තෙවනුව අදාල පාර්ශ්වය විසිනුත් ඔව් මේක තමා මගේ කරුමෙ ..මං කළ දේවල් නිසා අද මට මෙහෙම අහන්න වෙන්නෙ....කියල හිතන්න ගත්තොත් තමයි.. එතකොට ඒ නිශ්ශබ්ද පාර්ශ්වය අංගවිකල වෙන්නත් පටන් ගන්නව.

ඒත් ඒ තත්වය ආක්‍රමණය කළොත් මොකද වෙන්නෙ ?

ඉන් පස්සෙ දුෂ්ඨ චරිතයක් රඟපාන නිළියකගේ තත්වයට තමා වැටෙන්නේ. නමට පවා අපහාස-උපහාස, අවමන් ගැරහුම්, නොයෙකුත් කතන්දර...

මට මෙතනදි නදී‍ වාසලමුදලිආරච්චිගේ “ ප්‍රේමය සමග ඩොක්සාවට එරෙහිව “ කියන පොතේ නිර්මාණයක් සිහිවෙනවා.

එකම “නදි”යට

බැසිය

නොහැකිය

දෙවරක්

බුදුන් වහන්සේ

(ක්‍රි.පූ.560-480)

හෙරක්ලිටස්

(ක්‍රි.පූ.535-430)

මම

“නදී”

මි.

දැන් මේක ලියපු කෙනා මේක කියන්නෙ ඉතා පෞද්ගලික අර්ථයෙන්. තමන් “නදි”යක් කොට එහි බැස රිසි‍ සේ දිය ‍කෙළි පැවැත්වූවන් වෙනුවෙන්.. නමුත් එහි පෙරවදනෙන් නම් කියන්නේ ඇය ගඟ පිළිබඳ ස්ථිතික අදහස මේ හරහා කතිකාවක් කළ බවයි.

(දැන් මේ ගඟ ස්ථිතිකය යන්න මට එකඟවිය හැකි අදහසක් නොවේ. ගඟක ස්ථිතික භාවයක් නැත යන්න තේරුම් ගන්නට දර්ශනවාදයක් ඇවැසි නැත. තප්පර ගණනක් ගඟක් දෙස බලා සිට ඔබම තීරණය කරගන්න).

දැන් මේ නදී කියන කෙනාව අයින් කරල එතනට තව ඒ වගේ නදීලා සිය දහස් ගණනක් එක් කරලා..ඒ නදියෙන් දිය දෝතක් ගත් අනික් පාර්ශ්වයට මේ චෝදනාව එල්ල කළොත්..මට හිතෙනවා ඒක මේ විදිහට අර්ථ දෙකක් වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් කියලා...

මෙය පිරිමි පසින් කියවෙන විට

ඔව්..ඔයා ගඟක් වගේ..වෙනස්වෙන සුලුයි..චපලයි...විශ්වාස කළ නොහැකියි...දෙවෙනි පාරට දකින්න බැහැ කළින් දැකපු විදිහටම..(දැන් ඒකි අල්ලන්න බෑ..දැන් වෙන එකෙකුට සෙට්වෙලා)

ගැහැණු අන්තයෙන් කියවෙන විට

ඔවි..මං ගඟක් වගේ වෙනස් වෙනවා..පරණ මෝඩියම හොයන්න හදන්න එපා මගෙන්..ආයෙත් ඒ ගඟට බහින්න හම්බවෙන්නෙ නැහැ....දැන් මං වෙනස්..මට දේවල් සිද්ධවෙන විදිහ පැහැදිළියි..


(මට) ගැහැණියට එරෙහි මේ සියලු ඩොක්සාවන් ගොඩ නැගෙන්නේ ( මා )ඇය ගඟක් වන නිසා ද ?

දැන් මෙහි

පළමුවැන්න අවඥා සහගතයි

දෙවැන්න අභියෝගාත්මකයි

පළමුවැන්න ගැහැණිය සම්බන්ධ සමාජයේ (පිරිමි) ඩොක්සාවන් ට එකඟයි

දෙ‍වැන්න ස්වාභාවික කරන ලද පිරිමි ඩොක්සාවන් ට එරෙහි යි.

එතකොට මේ දෙකෙන් අපි ගන්න ඕනෙ මේ දෙකෙන් කොයි පැත්තද ? සවිඥානික ගැහැණියක වෙනවාද පිරිමි සමාජය විසින් ගොඩනගන ලද මනසක් ඇති ගැහැණියක වෙනවාද කියන එක තම තමන්ට ධෛර්යය ඇති පමණින් තෝරා ගත යුතු දෙයක් විදිහටයි මට හිතෙන්නේ.

හුදෙකලාවට බයෙන් කවුරුන් හෝ ඉඳහිට මේ ඩොක්සාවන් විසංයෝජනය කරන්න හැදුවත්, අප ඉන්නා මේ සමාජය ඊයේත් අදත් හෙටත් ගැහැණිය ගොඩනගන ලද වස්තුවක් ලෙස කියවීම හා පිළිගන්වන්නට සැලැස්වීමේ වැඩ පිළිවෙල නතර කරන්නේ නැහැ. ඒ වැඩ පිළිවෙල කඩා බිඳ දමා අලුතින් හිතන්න පුලුවන් ධෛර්යයක් සියලු ගැහැණුන්ට හා පිරිමින්ට ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා.

එහෙම වු‍ණ දවසක සමාජ සම්බන්ධතා අහෝසි වෙලා මිනිස් සම්බන්ධතා මතුවේවි. එතකොට ආදරයට, ප්‍රේමයට, විවාහයට විතරක් නෙවෙයි ජීවිතයට පවා අලුත් අරුත් එකතු වේවි. මේ කලකිරීම, මේ කුණුවීම නතර කරන්න පුලුවන් එහෙම විතරයි.

මට හිතෙන්නේ එහෙමයි.



-

Sunday, June 1, 2008

Waiting for ....... - " The Suffering of Being "

ඔබ සැමුවෙල් බෙකට්ගේ Waiting for Godot නාට්‍යය ගැන අසා තිබෙනවාද?
එය 1948 දී ප්‍රංශ භාෂාවෙන් ලියා, 1953 ජනවාරි මස 5වන දා පළමු වරට වේදිකා ගත වුණා.
සිංහලෙන් එය "ගොඩෝ උන්නැහේ එනකං" යනු‍වෙන් වේදිකා ගත වුණා.
මට මතක හැටියට ලංකාවේ විකාර රූපී නාට්‍ය සමිබන්ධයෙන් කලක් යන තුරු පැවති එකම උදාහරණය එයයි.

කවදාවත් එන්නේ නැති කෙනෙකු එනකං බලා ඉන්නා දෙදෙනෙකුගේ එම බලා ඉඳිල්ල ගැනයි එම නාට්‍යය ගොඩ නැගී තිබෙන්නේ.
ගොඩෝ කියා කෙනෙකු ඉන්නවාදැයිවත් ඔහු එනතෙක් බලා ඉන්නා දෙදෙනා දන්නේ නැහැ.

මේ නාට්‍යය ගැන කතාකිරීම මඳකට කල් තබමු.

ඔබත් බොහෝ විට එලෙස කෙනෙකුන් එන තුරු බලා සිට ඇති නේද ?
මටත් එවැනි විටෙක ලියැවුණ කුඩා සංකල්පනාවක් මතක් වුණා.
පෙර දවසක සටහන් කෙරුණු...

හැබැයි .. කවදා හරි එනු ඇතැයි තවමත් සිතෙන..


සඳත්, කුමුදත් නිහඬවම සිනා සී
නිදි වරණ මට සරදම් කරයි..
සීත සුළඟත් මා තුරුළු කරගෙන
තනි වු හදවත පාරවයි

කොතෙක් නම් මග බලා උන්නත්
අපිට අපි තවමත් දුරයි
සෙනෙහසින් ඔබ හමුවෙතැයි සිතු
තවත් දවසක් අඳුරේ ගිලෙයි

-