Showing posts with label sinhala literature. Show all posts
Showing posts with label sinhala literature. Show all posts

Sunday, April 20, 2008

එහෙව් පුතා හැරදා මම්...

පහුගිය දොහක සෞන්දර්යය යනු කුමක්ද ? කියන ප්‍රශ්නය ගැන පොඩි කතා බහක් ඇති වුණා. ඒ ගැන විවිධ අයගේ මත අහන් ඉන්නත් සිද්ධ වුණා. සෞන්දර්යය ගැන නොයෙක් දෙනා කියල තියෙන දේවලුත් කතාබහට ලක් වුණා.

පෙරදිගින් භරත මුණි, අපරදිගින් ඇරිස්ටෝටල්..
ලංකාවෙන් සේකරයන්, ජී.බී., සරච්චන්ද්‍රයන්, වික්‍රමසිංහයන්..
ඉන්දියාවෙන් ආනන්දවර්ධන වැනි අය..
කාල් මාක්ස් වැන්නන්..

මේ සියල්ලන්ම එක් එක් අවස්ථාවලදී සෞන්දර්ය යනු කුමක්ද යන්න විවිධාකාරයෙන් විස්තර කරන්නට වෙර දරා තිබෙනවා.

මේ ආනන්දවර්ධනයන් තමා කිවුවෙ සෞන්දර්යය බිහි කරන්නේ ඖචිත්‍යය විසින් ය කියල. ඒ කියන්නේ උචිත-අනුචිත බව අනුව සුන්දර/අසුන්දරත්වය ඇතිවන බව..

ඉතින් අපි කවි ගැන කතා කරද්දි අපි සෞන්දර්ය හඳුනා ගන්නේ එහි ඇති අලංකාර ඇසුරින්. කාව්‍ය නිර්මාණයක විඳීම ඒ තුළ ඇති අලංකාර ඒ කියන්නේ උපමා උපමේය, ධ්වනි ආදී විවිධ දේවල් නිසා ඇතිවන බවයි සාමාන්‍ය පිළිගැනීම..

ඒ වුණත් කිසිම උපමාවක් නැති නමුත් විඳීම ඉතා තීව්‍ර කාව්‍ය සංකල්පනාවක මේ කතා බහේදී අහන්නට ලැබුණා..

මේ සටහන ලියන්නේ ඒ කව ඔබ හමුවේ තැබීමට මිස සෞන්දර්ය යනු කුමක්ද යන්න සාකච්ඡා කිරීමට නොවේ.

මේ කව සාවියක විසින් ඇගේ පැටවා මිනිසුන්ගේ උගුලකට හසු වූ විට වැළපෙන ආකාරය කියා පාන්නක්

මෙන්න ඒ කව‍‍

සත් අවුරුදු සාර මසක් පේව ගොසින් පුතෙක් ලබා ගත්තේ
හතර වටේ උගුල් තනා පුතාට කළ යුද්දේ
හැළිය වටේ බුබුළු දමා පුතා ඉදෙන සද්දේ
එහෙව් පුතා හැර දා මම් කෙසේ ඉඳිමි බැද්දේ


හා අම්මාගේ වැළපීම ඔබටත් නොදැනේද? හා පැටවා මරු විකල්ලෙන් උගුලෙහි දැඟලූ හැටි ඔබට නොපෙනේද ? හා පැටවා මරා හැළියක දමා පිසද්දී ඒ හැළිය වටා බුර බුරා නැගෙන ගිනිදැල් ඔබට නොපෙනේද? ඒ ගින්නෙන් හැළි‍යේ ඇතුළ බුබුළු දමමින් හා පැටවා පිසෙන ආකාරය සිතෙහි නොමැවේද?

යළි යළිත් කව කියවා බලන්න.

ඒ සිදුවීම, ඒ දැනීම, ඒ ශෝකය ඔබටත් දැනෙනවා නේද ? හැබැයි ඒ දැනවීම සඳහා කිසිදු වෙසෙස් අලංකාරයක් මෙහි භාවිත කොට නැහැ.

එහෙනම් සෞන්දර්යය යනු කුමක්ද යන්න හොඳින් සිතා බලා අවබෝධ කර ගත යුත්තක් බව දැන් වැටහෙනවා ඇති

00

Saturday, April 19, 2008

මිලී ඇසූ කල අම්මා මන් ද නිදී - ලිලී පැවසුවා උන්දැට නින්ද මදී

අපේ ජන කවියට කර්තෘ කෙනෙක් නෑ. ඒ ජන කවි අතර තේරවිලි කවි කියන්නේ ඉතාමත් රසවත් අංගයක්.
-යුගල පැදි සහ කේවල විසඳුම් දෙන ජන කවි
-යුගල පැදිවලට බහුවිධ විසඳුම් දෙන තේරවිලි
-ඒකල පැදිවලට බහුවිධ විසඳුම්
-පද පෙරළි
-පෙරළි පැදි
මේ ආකාරයේ නොයෙකුත් තේරවිලි කවිවලින් අපේ ජන කවිය ‍පෝෂිතයි. මේවා එකතු කර තබන අයට ඇත්තෙන්ම අපි ගරු කළ යුතුයි. පළාතෙන් පළාතට, විෂයෙන් විෂයට වෙනස් කවි රාශියක් අපේ ජන කවි සාහිත්‍ය තුළ තිබෙනවා.

මම දැන් මෙහි සටහන් කරන්නට යන්නේ පෙර‍‍‍‍‍‍ළි පැදි කීපයක්. මේවායේ කවියේ මුල හා අග පද පෙරළිමට පත් ව ඇති අයුරු ඉතා රසවත් නේද ?

උසාවියට ගෙව්වේ නම් දඩකාසී
ඒකට හරියන්ට ලැබුණේ කඩදාසී

මිලී ඇසූ කල අම්මා මන් ද නිදී
ලිලී පැවසුවා උන්දැට නින්ද මදී

මාසේ පඩිය දෙන්නට උන් කල් දෙනවා
නැති බැරි කමට බඩගින්නට දෙල් කනවා

මේ මුල පද පෙරළෙන හැටි...........

ගල් සිත් නිසයි කවුරුත් පව් කරන්නේ
සිල්ගත් පසුයි කොයි කාටත් දැනෙන්නේ

කහ සාරියත් අරගෙන මම යන කලට
සහකාරියත් පැනලා ගොස් ඇගෙ ගමට

පාරුවේ පුවක් පටවාගෙන යන කලට
පුරුවේ පවක් පල දුනි අනේ මට

මඩ කණ්ඩිය උඩින් ගිය විට ඇති පාර
කඩ මණ්ඩිය පෙනෙයි අත ළඟ පේන දුර

බනිස් මිල වැඩියි කියලා පලක් නැත
මිනිස් බල ඇතොත් හැමදා ඉදෙයි බත

මේ අන්තිම ‍කවියට නම් අපේ වෙළද කටයුතු හා පාරිභෝගික ඇමතිතුමාත් ආස වෙයි මං හිතන්නේ :)

මේ තේරවිලි කවි අඩංගු ‍බොහොම වටිනා පොතක් පල කර තිබෙනවා කිත්සිරි අලුත්ගේ කියන මහත්මයා. 360/4, මාගම්මන. හෝමාගම එතුමාගේ ලිපිනය..ඔබත් කැමති නම් ලිපියකින් ඒ උත්සාහය අගේ කරන්න ‍හෝ වෙනත් යමක් දැන කියා ගන්න පුළුවනි.