Sunday, April 20, 2008

එහෙව් පුතා හැරදා මම්...

පහුගිය දොහක සෞන්දර්යය යනු කුමක්ද ? කියන ප්‍රශ්නය ගැන පොඩි කතා බහක් ඇති වුණා. ඒ ගැන විවිධ අයගේ මත අහන් ඉන්නත් සිද්ධ වුණා. සෞන්දර්යය ගැන නොයෙක් දෙනා කියල තියෙන දේවලුත් කතාබහට ලක් වුණා.

පෙරදිගින් භරත මුණි, අපරදිගින් ඇරිස්ටෝටල්..
ලංකාවෙන් සේකරයන්, ජී.බී., සරච්චන්ද්‍රයන්, වික්‍රමසිංහයන්..
ඉන්දියාවෙන් ආනන්දවර්ධන වැනි අය..
කාල් මාක්ස් වැන්නන්..

මේ සියල්ලන්ම එක් එක් අවස්ථාවලදී සෞන්දර්ය යනු කුමක්ද යන්න විවිධාකාරයෙන් විස්තර කරන්නට වෙර දරා තිබෙනවා.

මේ ආනන්දවර්ධනයන් තමා කිවුවෙ සෞන්දර්යය බිහි කරන්නේ ඖචිත්‍යය විසින් ය කියල. ඒ කියන්නේ උචිත-අනුචිත බව අනුව සුන්දර/අසුන්දරත්වය ඇතිවන බව..

ඉතින් අපි කවි ගැන කතා කරද්දි අපි සෞන්දර්ය හඳුනා ගන්නේ එහි ඇති අලංකාර ඇසුරින්. කාව්‍ය නිර්මාණයක විඳීම ඒ තුළ ඇති අලංකාර ඒ කියන්නේ උපමා උපමේය, ධ්වනි ආදී විවිධ දේවල් නිසා ඇතිවන බවයි සාමාන්‍ය පිළිගැනීම..

ඒ වුණත් කිසිම උපමාවක් නැති නමුත් විඳීම ඉතා තීව්‍ර කාව්‍ය සංකල්පනාවක මේ කතා බහේදී අහන්නට ලැබුණා..

මේ සටහන ලියන්නේ ඒ කව ඔබ හමුවේ තැබීමට මිස සෞන්දර්ය යනු කුමක්ද යන්න සාකච්ඡා කිරීමට නොවේ.

මේ කව සාවියක විසින් ඇගේ පැටවා මිනිසුන්ගේ උගුලකට හසු වූ විට වැළපෙන ආකාරය කියා පාන්නක්

මෙන්න ඒ කව‍‍

සත් අවුරුදු සාර මසක් පේව ගොසින් පුතෙක් ලබා ගත්තේ
හතර වටේ උගුල් තනා පුතාට කළ යුද්දේ
හැළිය වටේ බුබුළු දමා පුතා ඉදෙන සද්දේ
එහෙව් පුතා හැර දා මම් කෙසේ ඉඳිමි බැද්දේ


හා අම්මාගේ වැළපීම ඔබටත් නොදැනේද? හා පැටවා මරු විකල්ලෙන් උගුලෙහි දැඟලූ හැටි ඔබට නොපෙනේද ? හා පැටවා මරා හැළියක දමා පිසද්දී ඒ හැළිය වටා බුර බුරා නැගෙන ගිනිදැල් ඔබට නොපෙනේද? ඒ ගින්නෙන් හැළි‍යේ ඇතුළ බුබුළු දමමින් හා පැටවා පිසෙන ආකාරය සිතෙහි නොමැවේද?

යළි යළිත් කව කියවා බලන්න.

ඒ සිදුවීම, ඒ දැනීම, ඒ ශෝකය ඔබටත් දැනෙනවා නේද ? හැබැයි ඒ දැනවීම සඳහා කිසිදු වෙසෙස් අලංකාරයක් මෙහි භාවිත කොට නැහැ.

එහෙනම් සෞන්දර්යය යනු කුමක්ද යන්න හොඳින් සිතා බලා අවබෝධ කර ගත යුත්තක් බව දැන් වැටහෙනවා ඇති

00

1 comment:

Madhawa said...

'සු' ඉදිරිපත්කර තිබූ උදාහරනය 'අපූරුයි'. ( මම 'අපූරුයි' කියන වචනෙට දැන් එච්චර කැමති නෑ. එෆ්. එම්. කරණය වෙලා නිසා. හදිස්සියෙ උචිත වචනයක් හොයාගන්න බෑ. )

මේ කවියේ කතානායිකාව සාවියක වුනත් අත්දැකීම 'වෙනත්, වෙනස් ' ආකාරයෙන් විඳගන්න පුලුවන්. රචකයා කියන්නේ හුදෙක් සාවියක පිලිබඳවම නෙවේ. ( මට එක්වරම හිතට ආවේ භීශන සමයේ මවකගේ අඳෝනාව. ) හුදෙකලා සිද්ධියක් එකිනෙකාගේ අත්දැකීම් සහ සිතුවිලි රටාවන් අනුව වෙනස් ආකාරයෙන් විඳගත හැකි පරිදි ඉදිරිපත් කිරීමෙන්'සෞන්දර්යයක්' උපදිනවා. නිර්මාණකරණය , වාර්ථාකණයෙන් වෙනස් වෙන්නෙ එතැනින්.

කාගේ වුනත් සාර්ථක උත්සාහයක්


..මාධව..