Tuesday, August 17, 2010

බැංකු ආතති

කාලෙකට පස්සේ බ්ලොග් පෝස්ට් එකක් ලියලා ඒකට ටිකක් ගැඹුරින් හිතන ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා දැක්කහම සතුටුයි. ඒවා ගැන තව ටිකක් විවේකෙන් හිතන්න හිතාගෙන අද පොඩි සටහනක් දාන්න හිතුණා.. අද වුණ දෙයක් නිසා.
කවුරුවත් දන්නේ නැතිවට ටික දවසකට කළින් මගේ තාවකාලික භාණ්ඩාගාරය සම්පූර්ණයෙන්ම හිස්වුණා.. සුනාමියක් ආවා වගේ තමයි. ආර්ථික අවපාතයකට අහුවෙලා ඉන්න අස්සේ දවසක් ඊ බෑන්කින් බලද්දි මගේ බැංකු ගිණුමට කවුදෝ ලක්ෂ 3ක් විතර දාලා... ඉතින් ටික වෙලාවක් ඒක දිහා බලාගෙන කල්පනා කරද්දි මට තේරුණා බැංකුවට වැරදිලා වෙන දෙන්නෙකුගේ චෙක් පත් දෙකක් මගේ ගිණුමට දාලා කියලා. මේක ගැන දැනගත්තු මගේ සමහර යාලුවෝනම් කිව්වේ කියන්න යන්න එපා..ඔයාට වගකීමක් නෑ.. කියලා. මහ බැංකුවේ ඉන්න මගේ යාලුවෙකුත් කිව්වේ ටිකක් සද්දෙ වහලා ඉන්න කියලා.... එදා සිකුරාදා දවසක්. කෝකටත් කියලා මං බැංකුවට කතා කරලා විනාඩි ගාණක් වේටින් ඉඳලා.. තුන්දෙනෙකුට විතර කතා කරලා..කිව්වා.. මගේ ගිණුමට සල්ලි වගයක් ඇවිත් තියෙනවා. ඒවා මං දාපුවා නෙවෙයි ටිකක් බලලා මට කියනවද මොකක්ද වෙලා තියෙන්නේ කියලා ...
ඉතින් අන්තිමට ගත්තු කෙනා හරි හරි අපි බලන්නම් කියලා දඩ බඩ ගාලා ෆෝන් එක තිබ්බා...
සඳුදා මං බලද්දි ආපහුත්... මේ බැංකුව මටත් නොකියාම..අඩුම ගාණේ ස්තූතියි කියලාවත් නොකියා මගේ ගිණුමෙන් සල්ලි මාරු කරලා. !

සුහද හදක් ඇති දේශීය බැංකුව !!
සෙනසුරාදා ම එයාලා ඒක කරලා. හැබැයි සෙනසුරාදාට මේ අය දන්න තරමින්නම් වැඩ නැහැ. අනික් අතට අපිට නොකියා අපේ ගිණුමට අත පොවනවානම්, මේ බැංකු ගැන විශ්වාසයක් තියන්නේ කොහොමද අපි? මගේ ළඟින්ම ඉන්න කෙනා නම් කියන්නේ බැංකුවට අපිත් එක්ක රහස්‍ය භාවයක් නැහැ ඒ නිසා අපේ ගිණුම්වලට එයාලාට එහෙම බලෙන්ම හොට දාන්න පුළුවන් කියලා.. ඒත් එහෙම කරනවානම් බැංකුවලට ඕනමවෙලාවක අපේ ගිණුම්වල තියෙන සල්ලි එහෙ මෙහෙ කරන්න පුළුවන්නේ... අනේ මන්දා...මේ කතාව අහපු මගේ ඇතැම් යාලුවෝනම් කියන්නේ මෙහෙම වරදින සල්ලි දාන්නේ බැංකු කළමණාකරු/බැංකුව සතු ගිණුමකලු. අයිති අය හොයන් ආවොත් තමයි ඒවා එයාලගෙ ඒවාට දාන්නේ එතකොට කියලා..
එහෙමනම් ඉතින් ඒක කොයිතරම් වැරදිද.. ආයෙත්..අනේ මන්දා..මං හිතාගෙන හිටියේ බැංකුව මට කියලා සල්ලි ආපහු අරගත්තහම නියම අයිතිකාරයා කවුද කියලා බැංකුවෙන් මමත් දැනගෙනම ඒ සල්ලි දෙන්න පුළුවන් කියලයි. කවුරුවුණත් දුක් මහන්සියෙන් හම්බු කළ සල්ලි වෙන්න ඇති නේද කියලා ඒක මගේ ගිණුමේ තියෙනකම්ම මට හිතුණා. දැන් ඒක ඉවරයි. ඒවා නියම කෙනාට ගියාද කියලා දන්නේ බැංකුව විතරයි.

අද (16 සඳුදා)..
මම රෑ බත්තරමුල්ලේ පෙට් එකට ගියා.

ඒක ඇතුලේ ඉන්න මනුස්සයා වීඩියෝ ගේම් එකක් ගහනවා වගේ දැනුණ නිසා ටිකක් වෙලා බලා හිටියා. ඉන් පස්සේ ඒ මනුස්සයා ගේම් එක ඉවර කරලා සල්ලිත් මල්ලට ඔබාගෙන යන්න ගියා. මං මැෂින් එකට ගියාම ඒක මගෙන් අහනවා...
"ඔබට තවත් සේවාවන් අවශ්‍ය ද ?" කියලා !!
මෙන්න වැඩක්. මං ටිකක් බැලුවා. YES කියන එක එබුවා නම් මගේ ආර්ථික අවපාතයට ස්වීප් එකක් ඇදගන්න තිබුණා. මං ටක් ගාලා NO ඔබලා කාඩ් එකත් අරන් එළියට දුවලා හතර අතට බැලුවා.. සල්ලි ගත්ත කෙනා අතුරුදහන්. මං අල්ලපු බාටා කඩේට ගිහින් කිව්වා scenario එක. කියලා ‍කවුරු හරි ආවොත් කියන්න මං හෙට උදේ කාඩ් එක බැංකුවට ගෙනත් දෙනවා කිවුවා කියලා... මං ආවා.

ඒ මනුස්සයා තමන්ගේ ට්‍රාන්සැක්ෂන් ඉවර කරලාවත් නෙවි එළියට ඇවිත් තිබුණේ. මදැයි.. මට ගේ ගාවට එද්දි තමයි හිතුණේ ඒකේ සිකියුරිටි සඳ හිටියේ නැහැ නේද කියලා.. හිටියා නම්‍ හෙට උදේට පරිප්පු නොකා මට ඒක දීලා එන්න තිබුණා. දැන් මේ සිහි කල්පනාව නැතුව ගිය ඕ.ඩබ්ලිව්.කේ.පී.පත්මපෙරුම මහත්මයා නිසා හෙට මං බැංකු යනවා කියන්නේ අපේ අම්මාටත් මං නිසා ලොකුම පරිප්පුවකට වග කියන්න වෙනවා කියන එකයි.

අනික් බැංකු සිද්ධියත් මේ රටේ විතරක් අහන්න ලැබෙන තවත් එකක්. බිල් දිහා බලා ඉන්න කොට මට හිතුණා ඊ බෑන්කින් පැත්තේ රවුමක් දාලා සල්ලි තියෙනවානම් මේවා ගෙවලා දාන ‍එක හොඳ නේද කියලා. තව දවස් දෙක තුනක් යනකන් හිටියොත් candle light dinner නොවරදින බව පෙනුණ නිසා...ඉතින් ලොග් වෙන්න ගියා. මට මුර පදය මතක නැහැ. 3 පාරක් එපා කියලා කිවුවාට මතක නැත්නම් එක පාරක් ට්‍රයි කළත් එකයි 3 පාරක් කළත් එකයිනේ කියලා මං 3 පාරම ගහලා ඊට පස්සේ ඊ මේල් එකක් දැම්මා බැංකුවට මට "Excessive PIN tries" කියන පණිවිඩෙත් ආවා මගේ මුර පදය රිසෙට් කරළා දෙන්න කියලා. දවල් වෙනකන් බැලුවා උත්තර නෑ. ඉතින් මං කෝල් එකක් අරන් බැංකුවට කිවුවා මං ඊ මේල් එකක් දැම්මා මට උත්තර එන්න කොය් තරම් වෙලාවක් යාවිද කියලා. බැංකුව මගෙන් අහනවා..ඔයා ස්ටාෆ්ද ? ස්ටාෆ් නම් විතරයි ඒක රිසෙට් කරන්නේ.... අරක මේක..දැන් අපේ ඉන්ටර්නෙට් බෑන්කින් පාස්වර්ඩ් එකක් අමතකවුණහම අපි ඉන්ටර්නෙට් බෑන්කින් අතාරින්න ඕනද ? මම මට පුළුවන් උපරිම පැහැදිළි කළහම ඒ ළඳ මගේ ඊ මේල් එක බළලා මට කියනවා, හරි දැන් ඔයා ලොග් වෙන්නකො..ඔයාට පාස්වර්ඩ් අමතකයි කිවුවානෙ.. කියලා..
මං කිවුවා.. ඉතින් මං පාස්වර්ඩ් දන්නවානම් ලොග් වෙලානෙ.ඔයාට කතා කරන්නෙ නැහැනෙ.. මතක නැහැයි කියන්නෙ මතක නැහැම තමා..ටිකකින් මතක් වෙන්නෙ නැහැ... කියලා..

දීර්ඝ පැහැදිළි කිරීමකින් පසුව ඒ ළඳ මට ඊමේල් කරනවා රිසිට් එකක්. ඒකෙ ප්‍රින්ට් එකක් අරන්, අත්සන් කරලා, ස්කෑන් හෝ ෆොටෝකොපි කරලා බැංකුවට ෆැක්ස් කළහම දවස් දෙකකින් පාස්වර්ඩ් එක දෙන්නම්ලු ගේ ගාව තියෙන ශාඛාවට බස් එකේ ගිහින් ඉන්ටර්නෙට් බෑන්කින් පාස්වර්ඩ් එක අරන් එන්න !!!@$$%&^*()@!$$.................................................
සුහද හදක් ඇති.... බැංකුව !!



ඊට ලේසියි මං එවෙළෙම පාස් පොත අරන් බැංකුවට ගියානම් සල්ලි අරන් එනවා....

අපි ඇයි තාක්ෂණය පාවිච්චි කරන්නෙ ? අපේ ජීවිත පහසු කරගන්න.. එහෙමයි මේ මගේ ළඟින්ම ඉන්න කෙනා නිතරම මන්තරයක් වගේ කියන්නෙ. ජීවිතේ පහසු කරගන්න දියුණුම තාක්ෂණය පාවිච්චි කරන්න ගියාම සාමාන්‍ය ක්‍රමයටත් වඩා රස්තියාදු වෙන විදිහටයි අපේ රටේ පද්ධති ක්‍රියාත්මක වෙන්නෙ.... මට මතකයි ඉස්සරම ඉස්සර කාර්යාලවලට විද්‍යුත් තැපෑල ආව කාළෙ.. අපි වෙන ශාඛාවකට විද්‍යුත් ලිපියක් යැවුවහම දුරකථන ඇමතුමක් දීලත් කියන්න වෙනව "අපි ඊමේල් එකක් එවුව ටිකක් බලනවද ?" කියල.. මේක පස්සෙ කාලෙක රජයේ කාර්යාලවල ඊ- ක්‍රියාකාරකම් පැහැදිළි කරන හොඳම උදාහරණයක් බවටත් පත්වුණා. හිනා ගියාට කොයිතරම් ලොකු ඛේදවාචකයක් ඇතුළෙද අපි රටක් විදිහට නැගිටින්න දඟලන්නෙ කියල හිතෙන්නෙ නැද්ද ?

6 comments:

Jay said...

අපරාදේ අක්කේ ඔයා අර transaction එක කියන්න ගියේ බැංකුවට. නිකන් උන්නා නම් ඉවරයි.
:D :D
හරි නම් මදි තමයි වැඩේ, ඒත් ඉතින් වැරැද්ද බැංකුවේ මිසක් ඔයාගේ නෙමෙයිනේ.
;)


"කාර්යාලවලට විද්‍යුත් තැපෑල ආව කාළෙ.. අපි වෙන ශාඛාවකට විද්‍යුත් ලිපියක් යැවුවහම දුරකථන ඇමතුමක් දීලත් කියන්න වෙනව "අපි ඊමේල් එකක් එවුව ටිකක් බලනවද ?" කියල.."

මගේ පළවෙනි රස්සාව කාලේ (A/L ඉවර වුණු අලුත වගේ)ඔහොම එකක් මටත් උනා. මොකද්ද මන්දා මේල් එකක් යවලා ඒ බ්‍රාන්ච් එකෙන් ඊගාවට කෑගහන්න ගත්තා. මේල් එකක් එව්වා නම් කෝල් එකක් දීලා කියන්න තිබ්බාලු එහෙම එකක් එව්වා, ඒකේ ගනුදෙනුවට අදාල විස්තර අඩංගු වෙලා තියෙනවා කියලා.
කාට කියන්නද ඉතින් මේවා, ඒ කාලේ පොඩි කමට බයෙන් කට වහගෙන බැනුම් අහන් උන්නා, හැබැයි දැන් වගේ නම් හෙම දනී මම.
:D :D

Kool said...

බැංකුව උ‍ෙඕ ගිනුමට අත දාලා බැලන්ස් එක වෙනස් කරලනම් ඒක නීති විරෝධියි. කිසිම කෙනෙකුට උඹෙන් අහන්නේ නැතුව එහෙම කරන්න බැහැ. සමහර විට උඹ අර කෝල් එකක් දීල කිව්ව නිසා උන් හිතන්න ඇති උඹ අවසර දුන්නා කියල.

මගේ මාමට ඔහොම වෙලා බැංකුවට නඩු දැම්මා වන්දි ඉල්ලලා. බැංකුව මොකක්ද කියල කියන්නේ නැහැ. අන්තිමට ලොකු වන්දියක් ගෙවල උන් ෂේප් වුනා.

බලන්න උඹටත් චාන්ස එකක් තියෙයිද කියල

වන්නි said...

හප්පේ... බැංකු ගැන නම් කතා කරන්න එපා. එක පාරක් මං පිට පලාතක බැංකුවකට ගිහින් කෑෂ් ඇඩ්වාන්ස් කරන්න ගියා පාස් පොතෙන්. මුං කියාපි මගේ සෙකියුරිටි සයින් එක ඒකේ නෑ කියලා. මං කියපි අපේ ගමේ ඔයගොල්ලංගෙම බැංකුවෙන් සිංහල අවුරුදු දා උදේම ගනු දෙනු කරලයි මේක ඔපන් කරේ, එතන හිටපු එකෙ‍ක් පොත උඩින් වෙන කොළයක් තියලා, මගෙන් සෙකියුරිටි සයින් එක ගත්තා කියලා. මුන් කියනවා ඒ වුනාට ඒක නෑලු. ඒක්කෝ උන් දැනගන්න ඕන ගන්න සයින් එක හරිද කියලා එවෙලේම චෙක් කරන්න. මොකෝ ඒක පේන එකක්යැ. නැත්තම් හදිසියකදී අපි තමයි අමාරුවේ වැටෙන්නේ. ලෙඩක් දුකක් චෙව්ව වෙලාවකනං විනාසයි නේ. ඔ‍ය එකක් විතරයි. බැංකු ගැන ලියනවනම් වෙනම බ්ලොග් එකක් අළුතෙන් ලියතැහැකි.

මං කිවුව බැංකුව ජාතියේ මහා පහන් ටැඹ ලු. හික්.

Unknown said...

ඇයි ඇදුමට පැලදුමට කරන නොසැලකිල්ල. හැමතැනටම කොට කලිසම ගහගෙන 'තෝරා බීඩි' එකේ සභාපති වගේ යන මට හැමදාම 'අපේ ජය එයාලගෙ පැතුම' වෙන බැංකුවෙන් ලැබුනෙ හිගාකන්න ගියා වගේ ලැබෙන ලුක් එකක්.

චන්දන එස්. ජයකොඩි said...

Su.... I think this explains why one of the biggest companies of this group got bankrupt.
I do not know whether this really is a "Bank with a Heart". But I am so sure that it doesn't have any Brain !

නලිනි චන්දිමා said...

අපේ බැංකුවල තාක්ෂණය ගැනනම් කතා කරල වැඩක් නෑ.
ඒටීඑම් මැෂින් එකේ තියෙනවා ක්රෙඩිට් කාඩ් බිලත් ඒකෙන්ම ගෙවන්න පුළුවන් බවට සඳහනක්. ඕක ගැන ඇහුවම බැංකුවෙ ක්රෙඩිට් කාඩ් අංශයෙන්, ඒ වහන්සෙ කියනවා, නෑ එහෙම බෑ ලු. එහෙම එකක් මෙෂින් එකේ ඇති බව කිව්වහම වෙන්න බෑලු.
මගෙ ඉන්ටර්නෙට් බෑංකිංවලටත් ඔය සෙතේම තමා. පාස්වර්ඩ් මතකත් නෑ; අනික දවස් 90ක්ද කොහෙද ඇතුළත මුකුත් ට්‍රාන්සැක්ෂන් එකක් කරලා නැත්තම්, ඒක කැන්සල් වෙනවලු. දුක හිතෙන්නෙ, ඔය මගුල ලබා ගැනීම සඳහා ඒ ගැන හරියාකාරව නොදැන සිටි බැංකු සේවකයන් පසුපස ඇවිදිමින්, ලියුම් ලියමින් වුණු මහන්සියට.
ඒ විතරක්යැ. වරක් මම අකවුන්ට් එකෙන් ටිකක් වැඩි මුදලක් ගන්න ගියා. කලෙක්ට් යුව කෑෂ් කියන තැනට එනකම්ම ගිහින්, ඊට පස්සෙ මෙෂින් එකෙන් වරදක් වුණු බව සඳහන් කරලා, ට්‍රීං ගාලා කාඩ් එක වැමෑරුවා. බලනකොට, මම ඉල්ලලා තියෙන ගාන ඒ මෙෂින් එකෙන් ගන්න බැහැ. එහෙම තියෙද්දි, එතනට එනකම් ප්‍රොසෙස් වෙන්නෙ කොහොමද? මුලදිම කියන්න එපැයි, එච්චර ගානක් ගෙවන්නෙ නැත කියල. ලස්සනම වැඩේ, ඒ ගාන මම ගත්තු හැටියට සඳහන් රිසිට් එකක් එක්ක, ගාන අකවුන්ට් එකෙන් අඩු වුණු එක!!

ඔන්න අපේ රටේ බැංකු තාක්ෂණය.