Saturday, April 25, 2009

You bring me Frustration - හැමටම වඩා මා ගැන දුක හිතෙයි මට


ගීතයක්, ලියවිල්ලක් සහ හැඟුම් සමුදායක් විසින් මෙතෙක්‍ නොලියවුණු අන්දමේ යමක් සටහන් කරන්නට සිතේ. ගීතය තිස්ස අබේසේකරයන් විසින් වත්සලා අක්කා සිනමා පටයට ගොතන ලදුව කාලෝ විසේසිරිගේ සංගීතයට මාලනී බුලත්සිංහලයන් විසින් ගායනා කරන ලද්දකි.

පළමුව,

ගීතය මෙතැනින් අසන්න


දෙවනුව, එහි පද අතර සැඟවුණු අරුත සොයන්න.


සඳ මෝරා උඩු ගුවනට එන කලට

ඔබෙ රුව පෙනෙනවා කවුළුව තුළින් මට


ඉකි ලන හදින් තනි යහනේ ඉන්න විට

හැමටම වඩා මා ගැන දුක හිතෙයි මට


පහන් දොරින් හිරු එබිකම් කරන සඳ

මා අසලින් නුඹ නැතුවා දුකකි


සීත නිය තුඩින් මා ගත රිදෙන සද

ඔබෙ මුදු පහස මට නැතුවා දුකකි

විප්‍රලම්භ ශෘංගාරයේ ගැඹුරුම තැන් ස්පර්ශ කරමින් ගැයෙන මෙම ගීය මේ මොහොතේ වඩාත් සිත් ගත්තේ කාරණා කිහිපයක් නිසාවෙන්. මෙය ගැහැණියක විසින් තමන් වෙළා ඇති වේදනාව ගැන ආත්මානුකම්පාවක් උපදවා ගනිමින් ගැයෙන්නක්. අන් කිසිවෙකුට තේරුම් ගත නොහැකි, විශේෂයෙන් තමන් සමග බැඳුණු අනෙකාට අවබෝධ කොට ගත නොහැකි, අභ්‍යන්තරික පෙළීමක් ගැන කෙරෙන ස්වයං පාපොච්චාරණයක් බඳු යමක්...

ක‍ෑම-බීම, ඉඳුම්-හිටුම් හැරෙන්නට ජීවිතයේ අත්‍යවශ්‍ය ‍දේවල් ‍කොතෙකුත් තිබේ. ඒවා භෞතික අවශ්‍යතාම නොවේ. එහෙත් බොහෝ දෙනා වටහා නොගන්නා කාරණයද එයයි. තමන් මෙන්ම අනෙකාට ද අවශ්‍යතා ඇති බව, හැඟීම් ඇති බව නොතකන පුද්ගලයිනට ප්‍රේමය, නිදහස වැනි

බැඳීම් පක්ෂයේ ඇති අභෞතික

කාරණා ගැන වැටහීමක් නොමැත.

ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය ‍‍සේ අචින්ත්‍ය යැයි කියා ගන්නා අයට දැන් ගැටළු මතු වනු ඇත. ප්‍රේමය පූජනීය හා පිවිතුරු යමක් යැයි කීම ද ස්වාභාවික ප්‍රේමය කෙළෙසන කියමනකැයි වරෙක මට සිතේ.


ප්‍රේමයේ අරමුණ ජීවිතයේ සතුට හා සැපයයි. ඉතා කළාතුරකින් කිහිප දෙනෙකු ඊට එරෙහිව ජීවත් වන්නට ඉඩ ඇති මුත් එය අවිශ්වාස සහගත කල්පනාවකි. ප්‍රේමයෙන් ලබන සුඛය හෝ සතුට වරදක් බව මේ ලෝකයේ කුමන ආගමකවත් උගන්වා නැත. ප්‍රේමය යන වචනය සමගම රාගය, ආලය, ආශාව , රුචිය, කැමත්ත, වින්දනය, ඇලීම, කාමය ආදී එකිනෙකට වෙනස් සියුම් සංවේදනා රාශියක් ප්‍රකාශ වන බව පසුගිය බුදුසරණ කලාපයක වූ ලිපියක සඳහන් විය. ආදරය කිරීම, පේ‍්‍රම කිරීම යන හැඟීම වේගවත්ව ක්‍රියාකාරී වන කාමෝද්දීපන මානසිකත්වයක් ලෙස මෙන්ම සුඛ වේදනා මූලධර්මය මත ඇතිවන පෙළඹීමක් බව එහි සඳහන් ‍කර තිබේ. ( කියවන්න මෙතැනින් ).

ප්‍රේමය තුළ සුවය සෙවිය යුත්තේ එක් පාර්ශ්වයක් පමණ ද යනුවෙන් අසන ප්‍රශ්නයක් ලෙස මෙම ගීතය මේ මොහොතේ මට දැනෙමින් පවතී. එය අනෙකෙකුට වෙනත් අර්ථ උද්දීපනයක් ඇති කළාට කම් නැත.

ආදරය පිළිබඳ හැඟීම ආස්වාදය හා බැඳුණු ලිංගිකාසාව ඇසුරු කොට ගත්තකි

යන මතයට ප්‍රේමය නම් රාගයෙන් තොර සඳඑළිය සේ අචින්ත්‍යය යැයි කියන ඔබ ‍‍කොතෙක් දුරට එකඟ වනු ඇද්ද ?

ක්‍රිෂ්ණමූර්තිගේ මේ අදහස්

කියවා බලන මෙන් මම ඔබෙන් ඉල්ලා සිටිමි.

මෙහි මම යනු මේ බ්ලොගය ලියන පංචස්කන්ධය නොවේ.

මම යනු නියෝජනයකි.

තමන්ගේ ආසාවන් පමණක් ඉෂ්ට කරගනිමින් ඉවතට යන සියලු ප්‍රේමවන්තයින් දෙස බලා හිඳිමින් විප්‍රලම්භ ශෘංගාරය ගැන ගී ගයන පාර්ශ්වයන්ගේ නියෝජනය කි.

1 comment:

සුදාර.... said...

අඳුරු ලොව සොඳුරුයි.
බැඳුම සැමදා කඳුළ ගෙන එයි.