Friday, August 15, 2008

මලින්තගේ i ෆෝනය සහ ආසාවේ අතෘප්තිය


සිදුවීම් කිහිපයක් අසන්නට දකින්නට ලැබිණ.

"අර අයියා ජාතික ඇඳුම ඇඳන් ජාතිය ආගම ගැන කතා කළාට කසාද බැන්දෙ කලිසම් කෝට් ඇඳල ‍බොන්න දීල ගොඩක් ජනප්‍රිය අය පිරිවරාගෙන...."

අනේ මන්ද ...

මගේ මිතුරියක මැසිවිල්ලක් නැගුවාය.

"මිනිස්සු කලාව, කවිය, ආගම, ජාතිය, භාෂාව වගේ දේවල් තෝරගන්නෙ තමන් වෙනුවෙන් තමන්ගේම පැවැත්මට මිසක් අවංකව ඒ දේවල් වෙනුවෙන් නෙවෙයිනෙ..ඒ නිසා ඕක පුදුම වෙන්න දෙයක් නෙවෙයි."

මම කීවෙමි.

ඒ එකකි.

දැන් පරණ සිදුවීමක් මතකයට නැගේ. හෙළ උරුමය බිහිවන සමයේ බොහෝ පිරිස් හිටි අඩියේ ආගම දහමට නැඹුරුවන අවධියේ එය අපේ කතාබහටද ලක් විය.

"ගමෙන් නගරෙට ආපු මිනිස්සු එඩරු නැටි වගේ. මුල් ඉදිරිලා.. ‍එහෙට අයිතිත් නැහැ. මෙහේ පැළවෙන්නත් බෑ.. මේ හිස්කම, අඩුව වහගන්නෙ ‍ඒ වෙනුවට වෙනත්‍ දෙයක් ආරෝපණය කරගෙන. තමන්ට වටිනාකමක් හොයාගන්න විවිධ ව්‍යාපාරවලට එකතු වෙනවා.. සාමුහික වෙන්න හදනවා"....එදා මම කීවෙමි.

දැන් තෙවනුව,
මලින්ත i pod එකක් ගෙන තිබේ. ඒ ඔහුට දුරකථනයක් හෝ පරිගණකයක් නැති නිසා නොවේ. එහෙනම් ඒ ඇයි ?

දැන් ඔහුම ඒ ගැන මෙහෙම කියයි.

-කොටින්ම කියනවා නම් පිස්සු වැඩක් තමයි.
-මොකද මෙච්චර වැඩ කරන්න තියෙද්දි මේකක් ගත්තු එක.
-මේක එකපාරටම ආපු හැඟීමක්.
-එකක් ගන්න තදටම අවශ්‍ය වුණා.
-ඒත් ඉතින් ටවුමට ගිය වෙලාවෙ මට තවත් බලාගෙන ඉන්න බැරිවුණා.
-ම් ඉතින්… මට කියන්න බැරි තරම් සතුටුයි.
මොකද මේකක් ගන්න එක මගේ හීනයක් වෙලා තිබුණු නිසා. ෂුවර් නැත්නම් මං ලියපු පරණ සටහන් බලන්නකො.
-පසුතැවිල්ලක් නෑ (දැනට) ඒත් ඉස්සරහට මොනවා හිතෙයිද කියන්න බෑ.
බලමුකො.

දැන් මේ සියල්ලෙහි පොදු සාධක ඉවත් කර ගැනීම ට බලමු.

හිස් බව, ආසාව, අසම්පූර්ණභාවය හා අතෘප්තිය

අප සියලු දෙනා තුළ අඩු වැඩි වශයෙන් මේ වා පවතී. අපි ඒවා සම්පූර්ණ කර ගැනීමට සමාජ ව්‍යාපාර, බුද්ධිමය ක්‍රියාකාරකම්, ආගම්, පාරිභෝගික භාණ්ඩ, පුද්ගලයින්, සහ කලාවේ පිහිට පතමු.

දැන් ඔබ.. අහවලා රූපවාහිනියේ/ගුවන් විදුලියේ සාහිත්‍ය-කලා වැඩසටහන් මෙහෙයවන්නේ කලාවට සාහිත්‍යයට ඇති ඇල්ම නිසා හෝ අහවලා සෝම හාමුදුරුවන්ගේ බණ අහන්නට යන්නේ ආගම දහමට ඇති ආදරය නිසා හෝ අහවලා අහවල් වාහනය, භාණ්ඩය අත්පත් කර ගත්තේ එහි උපරිම උපයෝගීතාව නිසා හෝ යැයි කියමින් මා සමග සටනට සැරසීම මදක් පමා කළ මැනව.

අප සියලු දෙනා උපදින්නේ ආ‍සාව සහ අතෘප්තිය තුළටය. අපේ අතෘප්තිය අප තෘප්ත කර ගැනීමට නම් අප විසින් අපේ ආසාව ජනනය කරන වස්තුව ලබා ගතයුතුව ඇත.
මලින්ත‍ගේ අයිපොඩය ඔහුගේ ආසාවේ වස්තුවයි. මක් නිසාද යත් ඔහුගේ ආසාව ජනනය කරන වස්තුව එය වන නිසාය. (මේකක් ගන්න එක මගේ හීනයක් වෙලා තිබුණු නිසා.) දැන් ඔහුගේ ආසාව තෘප්ත ද ? නැත..ටික කලකදී තමන්ගේ ආසාව එම වස්තුව තුළ නැති බව ඔහුට දැනෙන්නට පටන් ගනු ඇත. (-පසුතැවිල්ලක් නෑ (දැනට) ඒත් ඉස්සරහට මොනවා හිතෙයිද කියන්න බෑ. බලමුකො.) ආසාව අතෘප්තිකර වන්නේ එ හෙයිනි. එම නිසා ආසාව යනු කෙළවර වන දෙයක් නොවේ. එය යළි යළි උපදියි. එය කිසි දිනෙක පරිපූර්ණත්වයට ළඟාවන්නක් ද නොවේ.

(වැඩි දුර උදාහරණ ඇවැසි නම් කාලිංගගේ ලැප් ටොප් හෝ ජංගම දුරකථන ආසාවන් ගැන කියවා බලන්න). අසීමාන්තික භාණ්ඩ අවකාශයක කෙසේ එක් වස්තුවකින් ආසාව තෘප්ත වේ ද ?

අප විසින් ලබන මේ තෘප්තිය පරිපූර්ණවූවක් නොවේ නම් අප ඒවා ගොඩ නගා ගන්නේ කෙසේද ? අපට එම පරිපූර්ණභාවය මවා පෙන්වන කෙනෙකු සිටියි. ඒ පුද්ගලයා බෙහෙවින් තෘප්ත ය. පරිපූර්ණ ය.. ඔහු සිටින්නේ රූපවාහිනිය/වෙළඳ දැන්වීම් තුළය... අප විසින් තෘප්තිය සොයා යන්නේ මේ රූපවාහිනියේ සිටින තෘප්ත වූ අනෙකාට සාපේක්ෂ වෙමිනි.

එසේ නම් අප තුළ ආසාව සහ අතෘප්තිය මවන්නෝ ද සිටිති. මේ පරිභෝජන සමාජයේ ස්වභාවයයි.

දැන් මේ පළමු පුද්ගලයා සාහිත්‍ය‍යේ පරම ගැලවුම්කරුවකු ලෙස පෙනී සිටීම හෝ
දෙවනුව අප යම් සමාජ ආගමික ව්‍යාපාරයක කොටස් කරුවකු වීම හෝ
මලින්ත අයිෆෝනයක් ගැනීම හෝ
සිතන තරම් අහිංසක කාරණා ‍නොවන බව පෙනී යනු ඇතැයි සිතමි.

පාරිභෝගික භාණ්ඩ විසින් පුද්ගලයා වෙත අත් කර දෙන ප්‍රමෝදය බලන්න..(-ඒත් ඉතින් ටවුමට ගිය වෙලාවෙ මට තවත් බලාගෙන ඉන්න බැරිවුණා.-ම් ඉතින්… මට කියන්න බැරි තරම් සතුටුයි. )

දැන් මලින්ත අයිපොඩය උත්කර්ෂභාවයට පමුණුවයි. (දැන් තමයි තේරෙන්නෙ මිනිස්සු අයිපොඩ් වලට මෙතරම් වහ වැටිලා තියෙන්නෙ ඇයි කියලා. මට නම් හිතෙන හැටියට ඒ පරිශීලක අතුරුමුහුණත හින්දා වෙන්න ඕන (User Interface) පාවිච්චිය බොහොම පහසුයි. ලස්සනයි. වේගවත්.)

දැන් මලින්ත විසින් අයිපොඩය මිලදී ගෙන ඇතැයි ඔහු සිතා සිටියද සැබවින්ම වී ඇත්තේ අයිපොඩය විසින් මලින්තව මිලදී ගැනීම නොවේද ? මේ පාරිභෝගික ජීවියාගේ ඉරණමයි.

තාක්ෂණයේ වර්ධනය විසින් අතෘප්තිකර පාරිභෝගික රෝගියකු බිහි කොට ඇත.

දැන් මෙම සටහනට ඇවැසි නම් කුහකකම, ඉරිසියාව, ද්වේෂය වැනි අදහස් දැක්වීම් එකතු කළ හැක. එහෙත් .. ඒ මොහොතේදී ද හෙට දින සඳහා ඔබ විසින් අද ඔබගේ ආසාව තෘප්ත කරවන වස්තුව වෙනුවට වෙනත් ආදේශකයක්ද ඒ සමගම තෝරමින් සිටින බව ඔබට නොපෙනෙනු ඇත.
ඒ අපේ හැටිය.


---
මෙය කෙටි සටහනක් පමණි. කිසිවක් හොඳ හෝ නරක යැයි තීරණය කිරීම මගේ සීමාවෙන් බැහැර ය. එබන්දක් මින් සිදු නොවේ.

3 comments:

නිදහස් අදහස් said...

මේ ගැන තව අපූරුවට විස්තර කරල තිබුනා "පෙරදිග සුළං" ගියපාර කලාපයේ. ආසාව ඇතිවීම සහ අන්තිමේ දී අතෘප්තියට පත් වීම ගැන. මේ කාරණාව ගැන දිගටම හිතනකොට මට හිතෙනවා අපි ආදරය කරන්නෙත් තෘප්තියට පත් වෙන්න, අයිති කරගැනීමේ ආසාවෙන් කියල.ඒ ගැන මොකද හිතන්නෙ

haresh said...

මමත් ඔය ලිපිය කියෙව්වා. කවදාවත් අප‍ට අපව තෘප්ත කරගන්න බැරිකම තමයි මේ කතාවේ හරය. ආදරය ගැන නිදහස් කියල තියෙන දේ හරිද වැරදිද කියල මමත් තවම හිතනව. එක අතකට ඒක හරිම තමයි. ඔය අයිති කර ගැනීමේ අතෘප්තකර ආසාව නැතිව ආදරය හරිම දියාරු වෙයි. ඒක මිනිස් ස්වභාවය කියලයි මට හිතෙන්නේ. කාටවත් කරදරයක් නොවී ඔය ආසාවල් අවබෝධයෙන් තියාගත්තෙ නැත්නම් මම හිතන්නේ අපි කාටත් ජීවත් නවන්න අමාරුයි.

Aaloka said...

වටින සටහනක්! ඒකයි පරක්කු වෙලා දැක්කත් ප්‍රතිචාරයක් ලියන්න හිතුවෙ.

> "සැබවින්ම වී ඇත්තේ අයිපොඩය විසින් මලින්තව මිලදී ගැනීම නොවේද ?"

මේ කතාව සහතික ඇත්ත. මේක තමා වෙන්නෙ. අපි දකින දකින දේවල් වලට සංකල්ප පහල කරල ඇලෙනව. එහෙම කර කර බාහිරට බනිනව.

> "තාක්ෂණයේ වර්ධනය විසින් අතෘප්තිකර පාරිභෝගික රෝගියකු බිහි කොට ඇත."

නැහැ. පාරිභෝගිකයා (සත්වයා) ස්වභවයෙන්ම අතෘප්තිමත්. තාක්ෂණයේ වර්ධනය කියන්නෙත්, එයාගෙ අතෘප්තියේ පලයක්. වෙළෙන්ඳත් අතෘප්තිමත්, එයා ඔය දෙකම පාවිච්චි කරනව. වෙළෙන්ඳට බැනල වැඩකුත් නෑ.