Friday, November 28, 2008

පෙම්වතාගේ පෙම්වතියට..


අකල් හී පිබිදී ලිහී ගිය
මගේ මිහිරැති සිහින පොකුරම
වළ දමා පස් වසා නොනැගිටින බර තබා
සිනාසී සුබ පතමි කෝ දෑත් යුග දෙන්න

පණ වගේ නොවෙයි මා මගේ පණටත් වැඩිය
ආදරෙයි හැමදාම හෙටත් ඊයෙට වැඩිය
සඳයි තරු දකින දේ එළිය දන්නේ කොහොම
හිරු කොහිද පිසලන්න නෙතින් බට පිණි කඳුළ

ජීවිතය පිණි බිඳක් රැයෙහි තණ අග දිලෙන
රිදුම් ඇයි මේ තරම- නොඉවසයි දුබල හද
අවලාද නිම නොවන නොරිසි වේ තව දුරට
විඳගන්න ඉඩ නොදෙන සතුට දැන් ඔබ ගන්න

රුවින් මා අස වුවද හිතින් නුඹ හා ‍දොඩන
හිතින් මා ළඟ වුවද සැණින් නුඹ හද සිඹින
මගෙන් ගත් දේ වගෙද නුඹට දුන් පෙම් පිළිණ
ඉතින් මේ ආදරය තවත් මට උරුම නැත

තාත්තෙක් වගෙයි මං ආදරෙයි මගෙ මැණික
අසුරකින් මැකී ගිය වදන් හද පාරවන
සිප වැළඳ බඳ - පෙවූ මුව මී මතක
තෑගි කොට ලියා දෙමි මගේ අන්තිම පිළිණ

ආදරෙන් මං සුරැකි මගේ පෙම්වත් දෙවොල
පින් සිතින් බාර දෙමි පහන් දල්වා සුවඳ
සීරුවෙන් වාවගමි ගිලන් වූ මා සිරුර
මට අකැප වතාවත් වෙතින් නික්මී යන්න

ඉතින් ඇයි පමා තව ජීවිතය විඳගන්න
අගිල් දුම් සුවඳ පිරි දෙවොල මිණි හඬවන්න
ශෝකයේ රස වැරූ ඔබෙ රුවන් මැදුර වෙත
මගේ පණ සදිසි මා සුපෙම්වත ගෙන යන්න .

...

Wednesday, November 26, 2008

මෝසම් මුහුදේ පිහිණීම නොහොත් සමලිංගික ප්‍රේමය

හිත තැවෙන බොහෝ අවස්ථාවල හොඳ පොතක් කියවීම ඔසුවක් බව කවුදෝ කියා තිබෙනවා. මමත් එය පිළිගන්නවා. පොතක පිටු අස්සේ ගිලී ගිය විට බාහිර ලෝකය සමග සබඳතා බිඳී යනවා. හැඟීම් ප්‍රකාශනය දුර්වල වූ විටක අපේ හැඟීම් වෙනත් අය පැහැදිළිව දක්වා ඇති බව පෙනීමත් හිතට අස්වැසිල්ලක් ගෙන එන නිසා...

මං දෙපැයකට පෙර මෝසම් මුහුදේ පිහිණීම ට පටන් ගත්තා..ශ්‍යාම් සෙල්වදොරේ එක්ක.

"Swimming in the Monsoon Sea" ජේ.පී.වන්නිආරච්චි සිංහලට නගල තියෙනව.."මෝසම් මුහුදේ පිහිනීම" කියන නමින්. පරිවර්තන භාෂාව නම් ටිකක් ව්‍යවහරයෙන් ඈතයි වගේ දැනුණත් පොතේ අගට යද්දි භාෂාවෙයි සෝදුපත් දෝෂයි යටපත් වෙලා සංවේදීතාව ප්‍රබලවෙනව. පොතේ අන්තිම පිටුව වහද්දි අර කියපු දොස් ගැන වගක්වත් දැනෙන්නැති තරමට කම්පනයක් ඇතිවෙනව. සියුම් මිනිස් හැඟීම් එළිදරව් කරන්න ශ්‍යාම් කොයි තරම් විනයකින් කටයුතු කරල තියෙනවද කියන එක දැනෙනව. ඔතෙලෝ නළුවේ ඩෙස්ඩිමෝනාගේ චරිතයේ සිට කාෂියෝගේ චරිතය කරා අම්රිත්ව හැරවීම ඉතා සියුම් ලෙස කල්පනා කර කළ දෙයක් ලෙස අපට වැටහෙනව. කාෂියෝ කියන්නෙ අම්රිත්ගෙ ජීවිත රුචිය පිළිබඳ සංකේතයක් වගෙයි මට හැඟෙන්නෙ..

පවුල් අරගල තුළ ළමුන් මුහුණ දෙන අරගල සහ සාංකාවන් පිළිබඳ මෙවැනි සාහිත්‍යමය අත්දැකීමක් මයිකල් ඔන්ඩට්ජීගේ "Running in the Family" කෘතියෙනුත් හමුවන බව පැවසෙනවා. මා එය කියවා නැහැ.

මවගෙන් නොමිදුණු දරුවකුගේ භින්න පෞරුෂ ලක්ෂණත් තමන් පිළිබඳ සැබෑව තමා විසින්ම අනාවරණය කර ගැනීමත් සමග සංහිඳියාවකට පත්වෙමින් බාහිර ලෝකය හා එක්වන ආකාරයත් මේ පොතෙන් ආයාසයකින් තොරව දක්වා තිබෙන ආකාරය සිත්ගන්නා සුළුයි.

මෝසම් මුහුදේ පිහිනන්නන් ගැන කියන ශ්‍යාම් ලංකාවෙ පාඨකයින්ට අමුත්තෙකු නොවෙයි.

ඔහුගේ
" Funny Boy " කෘතිය " අමුතු ඉලන්දාරියා " නමින් සුගතපාල ද සිල්වා ශූරීන් අතින් සිංහලට හැරවුණා. එය හොඳම පිරිමි සමලිංගික නවකතාව (Best Gay Male Novel) ලෙස Lambda Literary Award දිනාගත්තා. කැනඩාවේ ප්‍රථම කෘතියට පිරිනැමෙන සම්මානයත් (Smithbooks/Books in Canada First Novel Award for 1994) දිනාගත්තා.

ඒ විතරක් නෙවෙයි. ඔහු විසින් ලියන ලද දෙවැන්න වූ Cinnamon Gardens කෘතිය ද රටවල් කිහිපයකදී සම්මානයට පාත්‍ර වුණා.

ශ්‍යාම්ගෙ තෙවන නවකතාව වන මෝසම් මුහුදේ පිහිනීමටත් සම්මාන (Lambda Literary Award in the Children's and Youth Literature category in 2006) හිමිවුණා.

සිංහල-දෙමළ මිශ්‍ර සම්භවයක් සහිත ශ්‍යාම් කොළඹ ඉපදිලා සිය පවුලේ උදවිය සමග වයස අවුරුදු 19 දි 1983 ජූලි කලබලත් සමග කැනඩාවට සංක්‍රමණය වූවෙක්. ඔහු ප්‍රකට ව සිටින්නේ සමලිංගිකත්වය වෙනුවෙන් නිබයව පෙනී සිටින්නෙකු ලෙසයි.මෙවැනි කෘතිවල ඇත්තේ ඔහුට ආගන්තුක අත්දැකීම් නොවන නිසාදෝ ඔහු ඉතා සංයමයකින් මෝසම් මුහුදේ පිහිනීම සිදු කොට තිබෙනවා. මෙම කෘතිය තුළැති මා සිත් ඇදගත් කරුණත් එයමයි.

මේ පොතේ මා සිත්ගත් දේ ගැන සටහනක් මිසක් විචාරයක් නෙවෙයි. අපූර්ව අනුභූතියක් නොවන නිසා විචාර සටහනකට යන්න තරම් සිතක් නැහැ.

අද පොත් කියවන දවසක් වෙලා. දැනට පොත් දෙකක් කියවා ඉවරයි. හවස මගේ කළණ මිතුරිය තවත් පොත් 3ක් ගෙනත් දීලා මා ගාව තිබූ පොත් දෙකක් රැගෙන ගියා. එක් පොතක් කියවීම ප්‍රමාද වෙන්නේ මගේ ලැප්ටොපය රත්වීම අවම කර ගැනීම සඳහා එම පොත මත තබා වැඩ කරන නිසයි. කොයි වෙලේ හරි පොතත් ගිනි ගනීවිද දන්නැහැ. එහෙම වුණොත් Rani Manicka ගෙ The Rice Mother ආපහුත් ගන්න වෙනව.

25.නොවැම්බර් 2008

-

Monday, November 24, 2008

නමක් නැති යමක්...

හඳටත් දුක හිතිලා
පිනි කඳුළු දුන්නා
තරු වැලත් සොවින් මැලවී
මඳ එළිය නිවා දැම්මා..

සුබ පතන්නට මග බලා සිටි
පැතුම් හදෙහිම ගොලුව තිබුණා
ආදරය විඳින්නට අවසරය නැති
සුසුම් සිරවී හඬා වැටුණා..

ගතින් පමණක් නොව හදින් වුව
දුරස් වූ බව තදින් දැනුණා..
නුඹ නොදන්නා නමුදු සොඳුරේ
මට මහා තනිකමක් දැනුණා..

Monday, November 10, 2008

සංස්කෘතික ගස්

" අදිසි : මගේ කණ්නාඩි දෙක කොළ පාටයි. ගසුත් කොළ පාටයි. අපි හැමෝම ගස් වගේ..
මම : ගස් සොබා දහමට අයිති වුණේ ඉස්සර ..ගස් කියන්නෙ සොබා දහමෙ කොටසක් කියලද කියන්නෙ .. ?
අදිසි : ඔව්. ගස් කියන්නෙ සොබා දහම තමයි
මම : හැම ගහක්ම .. ?
අදිසි : ඔව්. හැම ගහක්ම. පොළවෙන් මතුවෙන හැම ගහක්ම .. ඇයි ?
මම : නිකන්.. "



මේ සංවාදය ඇරඹෙද්දි මගේ අදහස වෙනස් එකක් වෙමින් තිබුණා..‍සොබාදහම ගැන..‍සොබාදහම ස්වාභාවිකද කියන එක ගැන.. මට හිතුණා සොබා දහම අතීතයේ තිබුණ අර්ථකථනවලින් දැන් යම් දුරකට ගැලවිලා කියල.

අදිසි සොබාදහම දැක්කෙ ගස්වලින්.. ඉස්සර අපි කවුරුත් කිවුවෙ සොබාදහම යනු ගස්, ගල්, ගංගා -ඇළ - දොළ සහ සතුන් ය...කියලනෙ. අපිට පාසල්වල ඉ‍ගැන්නුවෙත් එහෙමයි.

ඒත් මට කාලයක පටන් හිතෙමින් තියෙනව ගස් සහ සතුන් ඇතුළු මේ පරිසරයේ ස්වාභාවිකයි කියා හිතන ඇතැම් කොටස් එහෙම නැහැයි කියල.. එහෙනම් මොකක්ද වෙලා තියෙන්නෙ ?

ගස් - සතුන් ස්වාභාවිකයි ??
නැහැ.
සංස්කෘතිකයි.

ඉස්සර සොබාදහමට අයිතිවෙලා තිබුණු ගස් දැන් cultural Plants වෙලා..
සතුනුත් එහෙමයි.. බල්ලා යනු තව දුරටත් බල්ලා නොවේ. ඩොගී,,, ටොමී, රෝසි, බ්‍රවුනි, ටෝනි, කළුවා, සුද්දා, .................

ඉස්සර ගස් වැවුණේ ඒවාට ඕනෑ හැටියට.
දැන් ගස් වැවෙන්නේ අපට ඕනෑ හැටියට.

අපිට ඕනෑ උසට..අපිට ඕනෑ හැඩයට..අපිට ඕනෑ තැනක..අපිට ඕනෑ කාලයට..

ගඟ ගලන්නෙත් එහෙමයි.

මං පොඩි කාලෙ ගස්වලට ඇස් දෙක කිට්ටු කරල ‍ගොඩක් වෙලා ඒව දිහා බලාගෙන ඉන්න ආස කළා.. රතුයි සුදුයි පුංචි තිත් වැටුණ හබරල පැල..පුංචි තුන් හුලස් ඵලයක් ඇතුලෙ කිරි රස ඇට පිරුණු පොලව මට්ටමේ හැදෙන බිං තඹුරු ගස්.. දම්පාටයි සුදු පාටයි පාට දෙකින් එක සුවඳින් හැන්දෑවට පිපෙන yesterday today tomorrow මල් ගස්.. මං ඒ කාලෙ හිතුවෙ ඒ හැම දෙයක්ම ස්වාභාවිකයි කියල..

ශිෂ්‍යත්වලාභිනියක් වෙලා කොළඹට ආවට පස්සෙ මෙහේ කරක් ගහන කොට මං දැනගත්තා ඒවාට මිලක්, තත්වයක්, පංතියක් හා කාර්යයක් (role) නියම වෙලා තියෙනවා කියල..

පාට පාට හබරල පැල මෙහේ පෝච්චිවල හිටවලා විකුණන කොට, අපේ ගෙදර බිතක්කනේ තිබුණු දාර ගස් වහගෙන උඩට නැගුණු මනි ප්ලාන්ට් මෙහේ ගෙවල් ඇතුළෙ සමෘද්ධිය කැන්දන පූජා ගහක් වෙන කොට, වැට දිගට ලවක් දෙවක් නැතුව වැවුණ ක්‍රෝටන් ගස් මෙහේ අතු පාහලා පෝච්චිවල ඉන්දවෙන කොට, එක අතකට සතුටු හිතුණා කැළේ වැවිලා කවුරුවත් නොදැක මැරිලා යන ගස්වලට නියම වටිනාකමක් ලැබුණා කියලා.. ඒත් ඒක හරි ‍නෑ කියලා ඒ එක්කම හිතට දැනුණා..හිනත් ගියා.. මේ නිකං ගලවගෙන එන්න පුලුවන් ගස්නෙ කියලා...

ඒ විතරක්ද ? මල්වලට තේරුම් මැවිලා.. මල්වලට කෘත්‍යයක් පැටවිලා..
රෝස නම් ආදරය.. ලිලී නම් රෝගියෙකුට.. කානේෂන් නම් මළ ගෙදරකට.. මං ඕවා ඉගෙන ගත්තේ මරදානේ මල් සාප්පුවලින්... අක්කාට යාළුවන්ට හිටපු ගමන් මල් අරන් සුබ පතන්න යද්දි..
කොහොමද උපන්දිනේකට කානේෂන් දුන්නා නම්...

මෙහෙම වුණේ ඇයි ?

මට හිතෙන විදිහට කැළේ හිටපු අපි සංස්කෘතික මිනිසුන් වෙන්න ගිය තැනදි තමයි මේ ඔක්කොම කණපිට පෙර‍ලුණේ..

බටහිරට අනුව සංස්කෘතිය ස්වභාව ධර්මයට පරස්පරයි. ඒ කියන්නේ ස්වභාව ධර්මය මනුෂ්‍ය චිරස්ථිතිය සඳහා වෙනස් කරන තැනදි තමයි සංස්කෘතිය පැන නගින්නේ කියලා ඔවුන් විශ්වාස කරන්නේ. නමුත් පෙරදිග දර්ශනයේ එහෙම නැහැ. ස්වභාව ධර්මය තුළින්ම තමයි සංස්කෘතිය පැන නගින්නේ කියලා ඔවුන් පිළි ගන්නෙ..එහෙනම් ‍ස්වභාව ධර්මය සමග සහජීවනයෙන් හිටි අපට මොකද මේ වෙලා තියෙන්නෙ..

ස්වභාව ධර්මය පරදවා නැතහොත් ජයග්‍රහණය කරමින් සංස්කෘතික වන්නට දරණ උත්සාහයෙදි ස්වභාවික හෝ සොබාදහමට අනන්‍ය වූ දේවල් ඉතිරිවීම තව දුරටත් සිදුවන්නේ නෑ වගේ පෙනෙනවා.

දැන් බලන්න බෝ ගහ.. ඒක කොයි තරම් සංස්කෘතිකද ? ආගමික ද ? ‍දේශපාලනිකද ?

ඉතින් මං මේ කියන කතාව පරිසරයේ අසංඛෙය වූ සියලු ගහ කොළට සර්ව සාධාරණ වෙන්නේ නැහැ... නමුත් මෙහෙම පැත්තකුත් තියෙනවා‍ නේද කියලා මට හිතෙනවා..

ඉතා කෙටියෙන්.. දැනට එච්චරයි.

-

Saturday, November 8, 2008

ඔබ නග්නව .. !?


පරණ සටහන් අළුතින් දමන එක මං අකමැතිම වැඩක් වුණත් අද දවල් දවසෙ ඇහුණු කතාබහ කිහිපයක් නිසා එක් සටහනක් යළි කියවන්න හිතුණා. ඒ සටහන ලියවුණේ වෙනත් සටහනකට පිළිතුරක් විදිහට ..


ඒ විතරක් නෙවෙයි අද දවල් කෙනෙකු කිවුවා මගේ සටහන් පටන් ගන්නා විදිහට හාත්පසින්ම වෙනස් තැනකිනුයි ඉවර වෙන්නේ කියලා..ඒක complement එකක් විදිහට භාර ගන්න බැහැ. ඒත් බ්ලොග් කියන්නේ ඉතින් කියවන්න බල කෙරෙන ම දෙයක් නොවන නිසා මගේ කතා පැටලිලි සහගත වීම ගැන සමාවක් ඉල්ලන්න මට හිතෙන්නෙත් නැහැ.

ඒ සියලු දේවල් පත අට අනා එකට සිඳ ආයෙමත් මට මේ පරණ සටහනට කිසිසේත් නොගැළපෙන තැනකින් වෙනත් යමක් එකතු කරන්න හිතෙනව.

ජීවිතේ කටුක යථාර්ථයන්ට මුහුණ දෙමින් ආගමික වගේම දාර්ශනික වශයෙන් උසස් සිතිවිලි ධාරාවක් ලෝකයට දුන් මානව හිතවාදී කලාකරුවෙකු, ලේඛකයෙකු, චිත්‍ර ශිල්පියෙකු වගේම කවියෙකු ත් වූ ඛලීල් ජිබ්රාන් වරක් ආගම ගැන කතා කරමින් මෙහෙම කියනව..

............

සදාචාරය, තමන්ගේ හොඳම වස්ත්‍රය වශයෙන් අඳිනු ලබන තැනැත්තා වඩාත් නග්න භාවයට පත්වේ.

ඔහුගේ සම මත, වාතය හෝ හිරු සිදුරු ඇති කරන්නේ නැත.

තමාගේ පැවැත්ම ආචාර ධර්ම මගින් විග්‍රහ කර දැක්වීමට ප්‍රයත්න දරන්නා, ඔහුගේ සංතුෂ්ටිය කූඩුවක දමා හිර කර දමා ගනී....

............
......
ලෙබනන් ජාතිකයෙකු වූ ඛලීල් ජිබ්රාන්ගෙ දාර්ශනික සිතිවිලි ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨතම කෘතිය සේ සැලකෙන්නෙ The Prophet. ඒ 1923 දි..ඒකෙ එක තැනක කියනවා මහලු පූජකවරයෙකු ආගම ගැන යමක් ප්‍රකාශ කරන මෙන් දිවැසියාගෙන් ඉල්ලා සිටි විට ඔහු මෙසේ කීවේය.. කියා සටහනක්.. එම සටහනෙන් ගත් අදහස් කිහිපයක් පමණයි ඉහත සඳහන් වෙන්නෙ.

ඉතින් මට මගේ සංතුෂ්ටිය කූඩු ගත කරන්න ඕනි නැහැ. ඒ නිසාම මං අනෙක් අයව එහෙම කූඩුවල දානවට සතුටුත් නැහැ. ඒත් තම තමන් විසින්ම ස්ව කැමැත්තෙන් හදා ගත් එවැනි කූඩුවල සිරවුණු සමාජයක් ඇතුළෙ ජීවත් වෙන අපට ඒ හිර කුඩු ඇතුළටම යන්න බල කෙරෙන වෙලාවල්, වට-පිටාවල් අනන්තයි. සංතුෂ්ටිය ගැන මොන කතාද එතකොට..


.

Wednesday, November 5, 2008

රෝස මලේ නටුවෙ කටූ.....


" ඔයාට තියෙන්නෙ පිරිමි භාෂාවක් නෙ ".. මගේ සමීපතම මිතුරියගේ උපාධි නිබන්ධයක් කියවා බැලූ ඇයගේ ආචාර්යවරයා විසින් පවසන ලදැයි ඇය මා සමග කීවේ සිනාසෙමිනි. එය ඇයටත් මටත් පොදු විවේචනයක් ව තිබූවක් බැවින් කිසිවෙකු හෝ එසේ කීම අප පුදුමයට පත් කරවන්නේ නැත.

අපට කියන්නට ඇති දෙය විසින් එය කිව යුතු භාෂාව තෝරා ගනු ලබයි. එය අපේ වරදක් ‍නොවේ. " ඔයාට අර වගේ ඒව ලියන්න බැරිද ? " විටෙක ඇතැමුන් අසයි. ගැහැණියකගේ ජීව විද්‍යාත්මක වෙනස ඉක්මවා යන සමාජ ගොඩ නැංවීමක් විසින් ඇයගේ බස නිශ්චය කරනු ලැබ ඇත. එහෙයින් අප (ගැහැණු) සියල්ලන්ම රැයක දිලෙන සඳ සේ සිසිල්වද, මල වට පෙත්තක් මෙන් මුදුවද, පවනක දැවටි පිහාටුවක් සේ සැහැල්ලුවද සිතිය යුතුව ඇත, හැසිරිය යුතුව ඇත, බිණිය යුතුව ඇත.

මේ සියල්ල සිතට කා වැදීමට සමත් වූ සලරුවක් අද දෙවන වරටත් නැරඹීමට සිදුවිය. මිතුරියකගේ ඇවිටිල්ල නිසා චෝකර් බාලි නරඹද්දී උගත් ගැහැණියක ජීවිතයෙන් පලවා හරින පිරිමින් ඇයගේ රුව කෙරෙහි ආසක්ත වන අන්දම තාගෝරයන් විසින් ඇතුළාන්තය කම්පා කරවන පරිද්දෙන් ගොතා තිබෙන අයුරු දුටුවෙමු. ඉන්දියාව විසින් මේ චිත්‍රපටය අන්තර් ජාතික සම්මාන තරගවලින් වලක්වා ගන්නට ඇතැයි සිතෙන තරමේ සරදමක් ගැහැණියක විසින් එම වෘත්තාන්තයේදී සියුම් ලෙස ඉදිරිපත් කරනු ලබයි. එය නරඹන මෙන් මෙය කියවන ඔබෙන් ඉල්ලා සිටීමට මට සිතේ.

මේ ලියන මොහොතෙහි සිතිවිලිවලට පවා විද පීඩා කරවන මදුරුවන්ගේ නොනවතින කන්කෙඳිරිය පරයා ගෙමිදුල ඔබ්බෙන් පිහිටි දියෙහි හඬ නගන ජලචර පක්ෂීන්ගේ හඬ ඇසීමට ..
සිත ද කය ද එක ලෙස විඩාපත් කරවන ගිනියම් නගර ජීවිතය නිවා සුවපත් කරවීමට අනවරත වේගයෙන් කරකැවෙන වියළි සුළං පිඹින විදුලි පංකාවෙන් ඔබ්බෙහි හමන සුළ‍ඟෙහි සිරි සිරිය අසනු දැකීමට..
විහින් දවසේ සිරකාරියක වී ගෙවන කුටියේ බිම විසිරි දුහුවිල්ල මතින් පා සටහන් තබා ඇවිද ගොස් කවුළුවෙන් එබී ගෙමිදුලෙහි දම්පාට පිණි ජම්බු මල් රේණු විසිරි බිමෙහි ඇඳි සෙවනැලි රටා දකිනු බැලීමට..

මා පෙළඹවීමට ඔබ කැමති බව මම දනිමි.

ගල් බොරළු පිරි පොළවක ඇවිදින සඳ පතුල ඇනී වේදනා දෙන තුවාලයකට රෑ අහසෙහි දිලෙන තරු කැටයක් කඩා ඔසුවක් කොට බැඳ තබා සුවපත් විය හැකි නම්.. ඒ සියල්ල මට ද කළ හැකිවනු ඇත.

වචනවල කඳුළු නොරැඳුණු පමණින් ඒවා අසංවේදී යැයි කිව නොහැකිය..

-

Saturday, November 1, 2008

වර්ණ

ඉසදියට යාම - දෙවන ගමන
ඉසදිය වක්කරනවා/ඉහ දියර නාවනවා - ගැහැණු ළමයකු වැඩිවියට පත් වූ විට ඇයගේ මව විසින් පළමු වරට නෑවීම


උපුටා ගැනීම : ධර්ම ශ්‍රී කාරියවසම් (2007) : සිංහල වාග් කෝෂය, පිටුව 90

දකුණු පළාත් වහර කියන කොටස යටතේ උසස් පෙළ නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත සරසවි පිවිසුම් පෙළ සිංහල වාග් කෝෂය පොතේ එහෙම සටහන් වෙනවා.

දෙවන ගමනෙදි සිය ලේලිය ගැන පැහැදෙන්න පුලුවන් සාක්ෂි තිබුණොත් නැන්දම්මා එළියෙදිම නාවලා ලේලිව ගෙට ගන්නවා කියන කතාව මං කාලෙකට ඉස්සර කොහේදි හරි කියවලා තිබුණා. ඒත් ඒ කොයි පළාතෙදිද කියන්න නම් මතකයක් නෑ. ඒත් ඒ කතාව මගේ හිතට වැදුණා.

ඉතින් ලේලිගේ ජීවිතේම තීරණය කරන මහා පොදු සාධකය නැන්දම්මා වුණ තැන් අනන්තයි. ඒක කාට හරි නරකට සිද්ධවෙනවා නම් මං ප්‍රාර්ථනා කරන්නෙ ඒ හැමෝටම මගේ අම්මාගෙ අම්මා (මං දන්න ලෝකෙ හොඳම නැන්දම්මා) සහ මගේ අම්මා (ඊ ගාවට හොඳම නැන්දම්මා) වගේ නැන්දම්මලා ලැබෙන්න කියලයි.

ඒ අතුරු කතාවත් එක්ක මට තවත් අමතක නොවන සිදුවීම් තුනක් තියෙනවා.. එකක් වැඩිහිටියෙක් සම්බන්ධයි. අනෙක සමාජ විද්‍යා උපාධිධාරිණියක් වුණ මගේ මිතුරියකගේ..අනෙක මගේ සොයුරියගේ මිතුරියකගේ..ඒවා මෙහි ලියන එක හොඳද කියලා මට හිතාගන්න බැහැ. නමුත් අපේ හැදියාවෙ වුණත් ඇතැම් නැහැදුණු තැන් තියෙනවා කියලා ඒ සිදුවීම් දෙකක් ‍දැකලා එකක් අහලා මං තීරණය කළා..

වැඩිහිටියන් සම්බන්ධ කතාව කියන්න ඕන නැහැ කියලා හිතුණා. මං ඉහත කිවු මගේ මිතුරිය " අපි මොකටද නිකන් සෙකන්ඩ් වෙන්නෙ " කියලා ඇගේ පෙම්වතා එපා කියද්දි තමන් විසින් තහවුරු කර ගත් සාක්කිය මටත් පෙන්නුවා..ඒක මට නම් හරිම ජුගුප්සාජනකයි.

අනෙක් සිද්ධිය ගැන නම් විශාල කම්පනයක් දැනුණා.. ඒ ගැහැ‍ණියගේ මිල මුදල්වලින් තමන්ගේ මහ ගෙවල් දොරවල් පවා හැදූ ඇගේ පෙම්වතා තමයි සාක්කිය හොයන්න ඉස්සර වෙලා තිබුණෙ. කාලයක් ගියත් තාමත් මේවායින් ‍මගේ හිත සසල වෙනවා. ඒ සිදුවීම් හරිම අමානුෂිකයි කියලයි මට හිතෙන්නේ.

ඇතැම් සිරිත් විරිත් ඇවැසිම නම් ඉතින් තිබුණාට කමක් නැහැ. ඒත් මෙහෙම ප්‍රදර්ශනාත්මකව නෙවේ. අතිශය පෞද්ගලික කටයුත්තක් මෙසේ ලෝක ප්‍රසිද්ධියට පත් කිරීම හැදුණු දෙයක් නෙවේ කියලයි මට හිතෙන්නේ.. මේක මගේ පෞද්ගලික අදහසක් විතරයි.

අනෙක් ඉතින් ප්‍රේම සම්බන්ධතා පැත්තෙන් බැලුවාම පරිත්‍යාග මිසක් වෙනත් දෙයක් ඉතිරි කරගන්න හිතන්නැහැනෙ බොහෝ අය.. එහෙම අයගෙ අර ප්‍රේමයම සදාකල් නොපැවතුණොත් මේ වගේ වෙලාවක එයා දෙන උත්තරේ මොන වගේ එකක් වේවිද කියලා මට හිතුණා. ආදරය දිව්‍යමය දෙයක් කියන අපි ඒකට නැහැදුණුකම කියන එක හරිද ?

අපිට (සමාජයට ) බැහැ තවත් දෙදෙනෙකුගේ සම්බන්ධතා විශ්ලේෂණය කරන්න. ඒවා දන්නේ ඒ අයම විතරයි. ඉතින් මං කවදාවත් මිනිසුන්ගේ සම්බන්ධතා ගැරහුම් ඇසින් බලන්න හිතන්නෙවත් නැහැ. හැමෝටම තම තමන්ට සාධාරණ හේතු තියෙනවා කියලා මං දන්නවා.

ආදරේට ටයිම් ටේබල් හදන්න බැහැනෙ..

මේ සියලු දේ ගැන හිතද්දි පහළ වුණු සංකල්පනාවක් වරක් බූන්දියේ ගියා. බූන්දි පොත දොරට වඩින දවසෙ ඒ සංකල්පනාව ගැන විවිධ මත ගැටුණු බව කණින් කොණින් ආරංචි වුණත්, ඕනෙම කෙනෙකුට තමන් කියවන විඳින නිර්මාණයක් සම්බන්ධයෙන් නිෂ්ක්‍රීය/අනුමැතික/විරෝධී කියවීමකට යන්න පුළුවන් කියල මං විශ්වාස කරන නිසා ඒවට කොහේදිවත් උත්තර දෙන්න යන්න හිතුවෙ නැහැ.

නමුත් පහු ගිය සති අන්තයක බූන්දි ගැන ලියපු සමර විජේසිංහයන් ඒ සංකල්පනාව ගැන මෙහෙම කියලා තියෙනවා මට අහම්බෙන් දකින්න ලැබුණා.


" ඉස දිය මංගල්ලෙට කියන එක සාමාන්‍යයෙන් යොදන්නෙ ගැහැණු ළමයෙක් මල්වර වීමෙන් පසු කරන ඉස සේදිල්ලට. සමහර විට මනාලියගේ කන්‍යාභාවය තහවුරු‍ කෙරෙන සිංහල චාරිත්‍රයටත් කියනවද කියල මම හරියට දන්නෙ නෑ "........

ඉතින් මට මේ වතාවෙ හිතුණ ඒක එතනට ආවෙ කොහෙන්ද කියල සටහන් කරන එක මගේ යුතුකමක් කියල. සමර විජේසිංහයන් මගේ ඒ පුංචි සංකල්පනාව සම්බන්ධයෙන් යෝජනා කර තිබූ දේවල් මගේ හිතේ සටහන් වුණා. දැනුමැත්තන් විසින් අන් අයට මග පෙන්වීම සඳහා යෝජනා කරන දේවල් මා නිතරම විවේකයෙන් සිතා බලනවා.

සමර විජේසිංහයිනි ඔබට ස්තූතියි..මේ පද කිහිපය මෙතරම් දුර ගෙන ගියාට..
තරංග ජයසේන - ඔබට ස්තූතියි ඔබේ වෙහෙසෙන් මේ පද සටහන් කොට ගෙන වෙනත් තැනක රඳවන්නට ගත් වෙහෙසට..

වෙන දිය හැකි දෙයක් නැහැ. මෙය - :) හැර.



-